Follow by Email

Thursday, 31 May 2018

පුංචි රුපියල් සීය


"අපේ විශ්ව විද්‍යාලයේ සිසුන් අතර ගොඩක් ආර්ථික අපහසුතා තියෙන සොයුරු සොයුරියන් ඉන්නවා. එයාලට උදව් උපකාර කරන්න තමයි මේ ස්ව උපකාර සිශ්‍යත්ව වැඩ පිළිවෙල හැදුවේ .

ඒ සඳහා මුලිකව කටයුතු කල ජේශ්ඨ වෛද්‍ය සිසු සැල්වින් මහතාත් ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ මේ සඳහා මූලික වු ජේශ්ඨ කතිකාචාර්ය ජයසිංහ මහතාත් මා ඉතා ගෞරවයෙන් සිහිපත් කරනවා."

අතුරු සිදුරු නැතිව පිරී ඇති වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරය අල්පෙනෙත්තක් බිමවැටුනත් ඇහෙන තරම්ට නිශ්ශබ්ධයි.

කථිකයා  (අදාල කණ්ඩායමේ කණ්ඩායම් නියෝජිතයා) තව දුරටත් තම කථාව කරගෙන යනවා.

"ආදරණීය අම්මේ , තාත්තේ , අක්කේ , අය්යේ , නැන්දේ , මාමේ.. අද ඔබ සැම මෙම ස්ථානයට පැමිණ සිටින්නේ සුනිල් එදිරිසිංහ මහතාගේ සඳකඩපහණ ප්‍රසංගයේ ගී අහන්න පමණක් නෙවෙයි.

අප කණ්ඩායමේ සිටින ආර්තික අපසහුතා වැඩිම වෛද්‍යසිසුන් දෙදෙනෙක් ඔබගේ මේ සහභාගීත්වයේ අනුග්‍රහයෙන් සිශ්‍යත්ව ලබා ගන්නවා.

අප පසුගිය මාස කිහිපය පුරාවට ඔබ සැමගේ නිවාස , වැඩපොලවල් , වෙලඳසැල් වලට ඇවිත් ප්‍රවේශ පත් අලෙවි කලේ ඒ සඳහා මුදල් එකතු කර ගන්න"

සභා තොමෝ තවමත් ඉතා සාවධානයෙන්  කතාවට කන්දෙමින් සිටිනවා,  මීක් ගාන ශබ්දයක් නැතිව.

කථිකයා තම දකුණත ඉණ මතින් තබා ගන්නේ මහල් දෙකකින් යුතු ශ්‍රවණාගාරයේ සිටි දෙදහසක් පමණවූ ජනගහණය හදිසියේම දැක ඇතිවූ තැතිගැන්ම සමණය කර ගන්න.

ඒ වෙලාවේ එම කණ්ඩායමේ සමහරක් සිසුන්ගේ මුහුණුවල

"අය්යෝ මෙච්චර වැදගත් වෙලාවක ජයසිංහයා අර මොකක්ද කලේ "

 වැනි හැඟිමක ඉරියව් මතුවෙනවා, කණ්ණාඩි කුට්ටමට ඉහලින් හරහට ඉරි හතර පහක් අඳිමින්.

"වෛද්‍ය පීඨ ස්ව උපකාර ශිෂ්‍යත්ව අරමුදල වෙනුවෙන් ඔබ වැය කරනා පුංචි රුපියල් දහය , විස්ස, පණහා වාගේම ඔබ සමහරෙක් මේ වෙනුවෙන් වැයකල "පුංචි රුපියල් සීය " අපේ සහෝදර වරුන් දෙදෙනා ට ලොකු ගමනක් යන්නට ප්‍රයෝජනවත් වේවි."

 යැයි කතාවේ මැද හරියක් යද්දි කියවෙනවාත් සමඟම

 "සභාවේ තදින් සිනා"

"පුංචි රුපියල් සීය"

 කියද්දි සභාවේ ආරම්භවූ තදසිනහව මෙතෙක් පැවති නිශ්ශබ්දතාවය බිඳ හෙලමින්  එය සිනහා සාගරයක් බවට පත් කරනවා.

Saturday, 12 May 2018

ගහ ගනිමු


මේ කෙටි සටහන ලියවෙන්නේ  අප මේ දිනවල ලංකාවේ සිදු කරන වැඩක් හා සම්බන්ධව.

ගම , ගැමි සිරියාව, ගැමියන්ගේ කුහක කම්, වහල් බව ආදී කරුණු ගැන මුහුණු පොතේ දකින කරුණුත් මෙය ලියන්නට හේතුවක් වුණා.

අපි මේ දවස්වල ආර්ථික අපහසුතා නිසා කුඩා දරුදෙදෙනෙක් හට ආරක්ෂාකාරී නිවසක් ලබා දෙන්නට අපොහොසත් වූ පියෙකුට හා මවකට උදව් කරනවා.

ඒ ඔවුන්ට කාමර දෙකතුනක නිවසක් හදා ගන්නට සහය වීම මඟින්.

ප්‍රධාන බරපැන් දරන්නේ මා සහ මා සමඟ මෙවැනි කටයුතු වලට දිගටම දායක වන දෙදෙනෙක්.
ඊට අමතරම මුහුණු පොතේ අප හා ගණුදෙනු කරන මිතුරන් බොහෝ දෙනෙක් තම තමන්ට හැකි පමණින් උදව් කරනවා.

ශ්‍රම දායකත්වය  නිවැසි මව, පියා සහ අවුරුදු දහසයක් වයසැති පිරිමි දරුවා ගෙන් .

අපේ හිතවතුන් පිරිසක්  දෙතුන් වතාවකදි  ශ්‍රමදාන පවත්වා  ඔවුන් තිදෙනාට තනියෙන් කර ගන්න බැරි ලොකු වැඩ කරලා දුන්නා .

ඒ හරහා මාස දෙකක් වැනි කාලයක් තුල අදාල නිවසේ රැපියල් ලක්ෂ හතරක් පමණවටිනා වැඩක් කරන්නට පුළුවන් වුණා.

අප මුදලින් වැයකලේ රුපියල් ලක්ෂ දෙකකට ටිකක් වැඩි ප්‍රමාණයක්.  ඉතිරිය අදාල පවුලේ සහ අපේ හිත්වත් පිරිසගේ ශ්‍රමය.

ගෙදර අයිතිකාරයා ගේ අම්මයි තාත්තයි ජීවත් වෙන්නේ මේ නිවස හදන තැනට අල්ලපු වැටේ.

එයාගේ අම්මා තේ වත්තේ දළු කඩපු කෙනෙක්. තාත්තා කුලීවැඩ කරලා තමයි අපේ කතානායකයයි එයාගේ සහෝදර සහෝදරියනුයි හදලා තියෙන්නේ.

මේ සියළු දෙනාම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඌවේ දුෂ්කර ගම්මානයක ජීවත් වෙන ගැමියෝ.

අපේ ගමේ ඉඳලා මෙයාල ඉන්න ප්‍රදේශයට යන්න පැයක් විතර ගතවෙනවා.

මේ දක්වා දෙවතාවක් අපේ ගමේ සහ ගමට ආසන්න ලැයිම් කාමර වල ජීවත්වන පිරිසේ අය ( අපේ පසුගිය ව්‍යාපෘති වලින් උදව් ලැබූ පිරිසෙන් කිහිපදෙනෙක්)  සහ අපේ තාත්තා මේ නිවසේ වැඩට සහය වෙන්න ගිහින් තියෙනවා.

දැන් මේ නිවසේ වැඩ පවතින්නේ ගඩොල් ගෙන ඒම සහ වහලයට අවශ්‍ය  ලී සකසා ගන්නා පියවරේ.

මම සුපුරුදු පරිදි ලංකාවේ වෙලාවෙන් උදේ හතර හමාරට පමණ අපේ කතානායකයාගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගත්තා

( මා මේ වෙලාවට ඔහුට කතා කරන්නේ කාරණා දෙකක් නිසා එක මෙවර අපොස සා.පෙ. ලියන ඔහුගේ ලොකු පුතා පාඩම් කරනවද බලන්න , දෙක යන්තම් බිම් කළුවර මැකී ගෙහින් එළිය වැටෙන හෝරාවේදී නිවසේ වැඩ කරන්නට ඔහු හා ඔහුගේ බිරිඳ  සූදානම් කර තබන්න ).

"හලෝ.. @#$% **&..  කොහොමද වැඩ? ගහක් හොයා ගන්න පුලුවන් වුණාද? "

"නෑනේ සර් අපේ නෝනාගේ අයියා මගේ මස්සිනා නිකම් දෙන්නම් කියපු සපු ගහ දැන් දෙන්න බෑ කියනවනේ ? "

"ඒ කිව්වේ ? අපේ තාත්තා කිව්වනේ ඔයා කිව්වා කියලා මස්සිනා  නිකං ගහක් දෙනවා කිව්වා කියලා? "

"මුලදි කිව්වා තමයි සර් දැන් එයාගේ නෝනා කියනවලු අපටත් ලොකු මහත්වෙන්න ඉන්න කෙල්ලෝ දෙන්නෙක් ඉන්න එකේ ගහට රුපියල් පහලොස් දාහක් වත් ඉල්ලමු කියලා" .

"හරි හරි ඕක දහ දොලොස් දාහකට වත් අඩු කරලා ඉල්ලමු කෝ.

 මොනවද වර්ගය? ටර්පන්ටයින්ද?"

"නෑ නෑ සර් සපු ගහක්."

"සපු හරියන්නේ නෑ @#$% **&.. පරාල වලට.  ටර්පන්ටයින් ගහක් නැද්ද ලඟ පාත?"

"කරපන්ටැයින් ගහක් නම් තියෙනවා සර් අපේ තාත්තලාගේ මේ වත්තේ පල්ලැහැමයි තියෙන්නේ?"

"ඉතිං ඉල්ලමුකෝ @#$% **&.. අපි මෙච්චර වැඩක් කරන එකේ තාත්තා උදව්වක් හැටියට ගහක් දෙන්න බෑ කියන එකක් නෑ."

"මොන පිස්සුද සර් අපේ තාත්තා දෙයි මේන් කියලා .

මට කිව්වා  ගහ විකුණන්න ඉන්නේ පනස්  දාහක් විතර වටිනවා.  උඹට ඕනනම් විසිපන්දාහක් දීපන් කියලා"

"යකෝ මාර අම්මලා තාත්තලානේ තමන්ගේ පුතාගෙනුත් සල්ලි ඉල්ලනවද?"

" නෑ නෑ සර් එයාලත් හරි දුප්පත්.  ජීවත් වෙන්න කීයක් හරි හොයාගන්න තමයි බලනව ඇත්තේ."

"හරි හරි අපි කතා කරලා බලමු ගාණ පොඩ්ඩක් අඩු කර ගන්න හරි පුළුවන්ද වෙයිනේ.

දැන් තාත්තා නැඟිටලා ඇද්ද?

පුළුවන් නම් ඔය ෆෝන් එක අරන් උඩහ ගෙදරට යන්නකෝ. මම කතා කරන්නම් තාත්තට."

මගේ උපදෙස් පරිදි ජංගම දුරකතනයත් රැගෙනෙ අසල පිහිටි තම මාමණ්ඩියගේ නිවසට ගිය @#$% **&..  බිරිඳ එය තම මාමණ්ඩියට දුන්නා.

"තාත්තා මෙන්න අර සර් කතා කරනවා" කියමින්.

"හලෝ සර් මම $^#&%".

" හා කොහොමද $^#&% මහත්තයා . ඔයා ගහක් විකුණනවා කිව්වා නේද? "

"ඔව් ඔව් සර් ඒක රුපියල් පණස් දාහක් විතර වටිනවා. මට විසිපන්දාහක් දෙන්න මම ඒක මහත්තයලට දෙන්නම්."

"ඔයා දන්නවා නේද අපි ගහක් හොයන්නේ පුතාගේ ගේ වහලෙට ගන්න කියලා? බැරිද ඕක ටිකක් අඩු කරලා දෙන්න?. "

"හරි හරි සර් විසි දාහක් දෙන්නකෝ එහෙනම් "

"එහෙනම් වැඩේ හරිනේ අපි විසිදාහකට ගහ ගන්නවා .  සඳුදා වෙද්දි ඇඩ්වාන්ස් එකක් දෙයි පුතාලා ඇවිත් ආයේ වචනේ වෙනස් කරන්න එපා ඔන්න "

මා එසේ කීවේ ගමේ ගොඩේ අම්මලා තාත්තලා වාසිය වැඩි පැත්ත බලා වචනය වෙනස් කරන්නට ඉඩ ඇති බව ඉවෙන් මෙන් දැනගෙනයි.

මා අසා ඇති පරිදි මේ පවුලේ අම්මා තම වැඩි මහල් පුතා වූ අපේ කතානායකයාට හිතවත් අතර තාත්තා තරමක දැඩි සිතක් ඇත්තෙකි.

"හරි හරි එහෙනම් ඔය ෆෝන් එක නෝනටත් දෙන්නකෝ වචනයක් දෙකක් කතා කරන්න ."

මගේ උත්සාහය ඔහුගේ බිරිඳගේ මේ  දරුසෙනෙහස ( අනුකම්පාවා) ත් උපයෝගී කරගෙන ටර්පන්ටයින් ගසේමිල තව ටිකක් අඩු කර ගන්නටයි

මම අපේ කතානායකයාගේ මව සමඟ සුලු වේලාවක් කතා බහ කරද්දි නැවතත් $^#&% දුරකතනයට පැමිණියා .

"සර් විසිපන්දාහක් දෙන්න ගහ දෙන්නම්"

 මම කියලා කට ගත්තා විතරයි පියතුමා නැවතත් අදහස වෙනස් කරලා .

මට ඇත්තටම කේන්තියක් ආවත් මේ හැමෝම දුප්පත් මිනිස්සුනේ ( මුදලින් වගේම අදහස් වලිනුත් )  කියලා හිතලා ඒ කේන්තිය නිවාගත්තා .

"අපිට ඔයාගේ ගහ එපා . අපි තවගහක් බලලා තියෙනවා. "

  මම පිළිතුරු දුන්නා.

Thursday, 3 May 2018

මේ එලවළු ලාභ කාලේ.. වැඩිපුර එලවළු කමු රාලේ.. (බර ,බඩ අඩු කරගන්නේ කොහොමද?)



වෛද්‍යවරුන් විදිහට අප සැම දෙනාම අපේ ලෙඩ්ඩුන්ට කියන දෙයක් තමයි
1. ඔබේ බර අඩු කරගන්න නම් දවසකට අඩුම ගානේ පැය භාගයක් හෘදස්පන්ධනය වැඩි වෙන ලෙස ව්‍යායාම කරන්න (දිවීම, බයිසිකල් පැදීම වේගයෙන් ඇවිදීම වාගේ)
2.ඔබේ ආහාරයේ ඇති කාබෝහයිඩ්‍රෙට් ප්‍රමාණය අඩු කරන්න (බත්, පාන්,පීට්සා වගේ කෑම ප්‍රමාණය ) අඩු කරන්න
කියලා කියන එක.
ඒත් මේ වැඩේ අපිම කරන්න ගියාම තමයි රඟේ තේරෙන්නේ. පසු ගිය මාස තුනක කාලයක් මේ විදිහට බර/බඩ අඩු කරගන්න ගිහින් මම ඉගෙන ගත් දේ මේකයි. වැඩේ කරන්න පුළුවන් ලේසියෙන්ම. මම පහුගිය මාස තුන ඇතුලත කිලෝ පහක් අඩු කරගත්තේ ඒ විදිහට
1. හැමදාම හෝ අඩුම ගානේ සතිය ට දවස් පහක් කඳු නැගීම , බයිසිකල් පැදීම , ශීතල දවසක නම් ට්‍රෙඩ් මිල් එකේ දිවීම හෝ මේ දවස්වල වැඩි පුරම කරන්නාවාගේ වේගයෙන් ඇවිදීම කරා.
2. කෑම වේලකට ගන්නා කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය ( මම බත්ගුල්ලෙකුගේ නිසා බත් ප්‍රමාණය) පිඟානේ මුළු ප්‍රමාණයෙන් තුනෙන් එකකට සීමා කරා. ඉතිරි හරිය එලවළු සහ මස්,මාළු, සැමන්, බිත්තර වැනි ප්‍රෝටීන් වලින් පිරෙව්වා.
වැඩේ සාර්ථකයි. 
ලංකාවේ එලවළු ගණන් අඩු කාලේ මේ ක්‍රමේ අත්හදා බලන්න. අත්දුටුවයි , සත්‍යයි. ප්‍රතිඵල සැණෙකින්..