Follow by Email

Saturday, 2 June 2018

දසුන් ගේ කතාව පළමු කොටස ( යඩ බන්නා)


දසුන් එදා හවසත් පුරුදු පරිදි වත්ත පල්ලැහැට ගමන් කලේ කිසිම අරමුණක් නැතිවයි.

හක්ගල කඳු පැත්තෙන් ඉර බැහැගෙන යනහෝරාවේ මළහිරු දෙස හැලහොල්මනක් නැතිව වාගේ බලා ඉන්න එක ඒදවස් වල ඔහුගේ පුරුද්දක් වෙලා තිබුණේ.

දසුන් ගේ අම්මාට තම පොඩි පුතා වත්ත පල්ලැහැට ගමන් කරන එක ඒතරම් අමුත්තක් නෙවෙයි.

තමාත් සමඟ හරි හරියට පල්ලැහැ වත්ත එළිපෙහෙලි කරන්න ගිය දවසේ ඉඳලාම පොඩි පුතා ඉස්කෝලෙන් පස්සේ  ගෙදර ඇවිත් ඒ පැත්තට යන බව ඇය දැනගෙන සිටියා.

හෙමින් හෙමින් පල්ලැහැට ගාටන දසුන්ගේ හිතට එක එක අදහස් ගලාගෙන එනවා.

"ඇයි මට විතරක් මෙහෙම වෙන්නේ, මට කිසිම කෙනෙක් ආදරේ නෑ, කැමති නෑ " වගේ දේවල් ඒ අතර තිබුණා.

තාත්තා  බීගෙන ඇවිත් අම්මාටයි ලොක්කය්යටයි තඩිබාන හැටිත් කඳුලු පිරුණු දෑසින් බලන් හිටපු වෙලාවල් ගැනත් දසුන්ට මතක් වෙනවා.

ඒ දවස් වෙනකොට තාත්තා බීම නවත්වා හොඳ කෙනෙක් වෙලා තිබුණත් මෑත අතීතයේ සිදු වූ එවැනි සිදුවීම් දසුන්ගේ හිතෙන් සම්පූර්ණයෙන්ම මැකී ගොස් තිබුණේ නෑ.

බරපතළ හේතුවක් තිබුණේ නැතත්මේ වෙනකොට දසුන්ගේ අය්යා සහ අක්කා වගේම නංගියි මල්ලියිත් එයාට පෙනුනේ එයා එක්ක තරහින් ඉන්න අය වගේ.

ඒ වෙනකොට දසුන්ට වයස අවුරුදු දොලහක් විතරඇති. ඊට වඩා අවුරුදු තුනක් වැඩි මහළු දසුන් ගේ අය්යා ගමේම හිටපු තැන්පත්ම හා විනීතම ළමයෙක් . ඒත් ඒ කාලේ දසුන්ට අය්යා පෙනුණේ එහෙම නෙවෙයි .

එක දවසක් ලොක්කය්යා  පියාඹන වර්ගේයේ කැරපොත්තෙක් අතින් එල්ලා ගෙන එයා පස්සේ පාර දිගේ පැන්නුවා. පස්සේ අම්මට කියපු විදිහට නම් මල්ලියාගේ කැරපොත්තන්ට තියෙන භය නැති කරන්න. හැබැයි දසුන්ට මරභිය ගෙන දුන් සිදුවීමක් වුණා ඒක.

ගෙදර අනිත් අයට වඩා කේන්ති ගන්නා ගතියකුත් මේ දවස් වල දසුන්ට තිබුණා.

ඒනිසාම දෝ සෙල්ලම් කරන වයසේ පසුවූ ලමයින් වූ අය්යයි අනික් තුන්දෙනයි එකපැත්තක් වෙලා එයාගේ මේ කේන්තිය තව තව අවුස්සන විදිහේ වැඩ කරන්නටත්  පුරුදු වෙලා තිබ්බා.

අය්යාගේ විහිළු තහලු වලට භාජනය වීමට තරම් හේතු දසුන්ට තිබ්බේ නැතිවම නෙවෙයි .

ඒ දවස්වල හැම දාම වාගේ නින්දේදි ඇඳ තෙමන ලෙඩක් දසුන්ට තිබුණා.

එයාට නම් හැමදාම හීනෙන් පෙනෙන්නේ මල් ගහකට හරි මානං පඳුරකට හරි චූ දාන සීන් එකක් ඒ වුණාට එයාගේ ඇඳේම අනික් පැත්තේ හිටිය ලොක්කය්යා එයා වේගයෙන් හොල්ලන්නේ "ඇඳ හුජ්ජා උඹ අදත් ඇඳ තෙමුවා නේද යකෝ " කියමින්.

ඉතා අහිංසක කෙනෙක් වුණාට නම් ගම් පටබැඳීමේ රුසියෙක් වූ ලොක්කය්යා මේ සිද්ධිය මූලික කරගෙන දසුන්ට තවත් නමක් හැදුවා .

ඒ "දහතුන් පාරක් ඇඳ හුජ්ජා" කියලා.

මේ කාලේ ගෙදර අනෙක් අයත් එක්ක එකතු වෙලා දසුන්ව කේන්ති ගස්සද්දී " දහතුන් පාරක් ඇඳ හුජ්ජා " කිය කියා ඔහුට විහිළු කරන එක ලොක්කය්යා ගේ පුරුද්දක් වී තිබුණා.

මෙවැනි පසුබිමක් ගෙදර තිබුණත් දසුන්ට කියලා ලස්සන ලෝකයක් තව තැනක තිබුණා . ඒ එයාගේ ඉස්කෝලේ. දසුන් ඒකාලේ පංතියේ ජන්ප්‍රියම ළමයෙක් . ඔහු ඉගෙනීමටත් හරි දක්ෂයි . පංතියේ මුල් තුන් දෙනා අතරට එන්න තරම් ඉගෙනීමට ලැදියාවක් ඔහුට තිබුණා.

මේ සිද්ධි දාමයන් සමූහය මැද දෝලනය වෙමින් තිබූ දසුන්ගේ හිත තව තවත් දුකට පත් කරන්නට හේතුවක්  ඇතිවුණේ හිටිහැටියේමයි.

ඒ ඇඳේ චූ යන එක , කැරපොත්තන්ට භය එක , ගෙදර අනික් අයගේ විහිළු තහලු වලට ලක්වෙන එක වගේ " එයාගේ වර්ගයේ ප්‍රශ්න " අමතක කරන්නට තිබූ එකම මඟ වූ ඉස්කෝලේ යන එක හදිසියේම නවත්තන්නට වීම.

ඒ ටික දවසකට වුණත් දසුන්ට ඒ කාලය දැනුණේ  කල්පයක් වගේ.  හේතුව තමයි කොරේ පිටට මරේ කිව්වා වගේ  බඩ එළිය යන ලෙඩකුත් එයාට වැලඳීම.

ඕකම මදැයි ලොක්කය්යට එයා තමන්ගේ ආදරණීය ලොකු මල්ලියාට තවත් නමක් හැදුවා .

ඒ තමයි "යඩබන්නා" කියන නම.

එයා නංගිලා  මල්ලිලා එක්ක සෙල්ලම් කරද්දී "යඩ බන්නා, යඩබන්නා" කියමින් තම බාල සොහොයුරා සමච්චලයට ලක්කලා

එදා හවස වත්ත පහලට යද්දී මේ දේවල් හැම එකක්ම වාගේ දසුන්ගේ හිතට එහෙන් මෙහෙන් එබිකම් කලා. ඒ විතරක් නෙවෙයි මෑතකදි එහා ගමේ වස පානය කර ජීවිතය නැතිකර ගත් " බලු සුමනේ" අය්යා, පල්ලැහැ සුමනදාස අය්යා වගේ අයගේ මළ ගෙවල් වල අම්මත් එක්ක ගිය හැටි එයාට මතක් වුණා .

ඔහේ ඕනාවට එපාවට බාටා සෙරෙප්පු දෙක අද්ද අද්දා පල්ලැහැ වත්තට ආපු එයාට හැමදාම ඉර බහින  දිහා බලාගෙන සුසුම් හෙලනා තැන දර්ශනය වුණා . 

ඔහු හෙමින් හෙමින් එතැනට ලඟා වුණේ අර්තාපල් පඳුරු ටිකක් එහාට මෙහාට කරමින්. එහෙම යද්දී දසුන්ගේ නෙත හදිස්සියේම ඇදී ගියේ එතැනම වාගේ තිබුණ කහයි , රතුයි ලස්සණ මලක් වෙත.

දසුන්ගේ හිත එකපාරම ලොක්කය්යා මෑතකදී ගෙනා සමරු පොත වෙත ඇදී ගියා. එහි පළමු පිටුවේ අම්මා මෙහෙම කවි පදයක් ලියලා තිබ්බා එයාට මතකයි . 

" හලාහල විශය ගැබ් වී ඇතත් අලේ- කලා රසය පෙන්වයි නියඟලා මලේ".

ඒ සමරු පොතේම අන්තිම පිටුව සරසලා තිබ්බේ ඒ කාලේ හැඩි දැඩි තරුණයෙක් වූ පල්ලැහැ ලොකු මාමලා කුමාර අය්යා  ගේ ණකුරු වලින් . 

එයා ලියලා තිබුණේ    "කලා රසය ඇතිමුත්  නියඟලා මලේ- මලානේද කෑවොත් නියඟලා අලේ " කියලයි.

"මට කවුරුත් ආදරේ නෑ. මම මේ ලෝකෙට වටින්නේ නෑ . මම නියඟලා අල කනවා."

දසුන් තීරණයක් ගත්තා. 

හනිහනිකට නියඟලා පඳුර මුල පෑදූ ඔහු නියඟලා අල පොකුරක් අරන් කාගෙන කාගෙන ගියා.

4 comments:

  1. තමන්ගෙම සහෝදරය අතින් ඔය වගේ දෙයක් සිදුවීම කණගාටුවක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසා... අය්යල අක්කලත් පොඩි ළමයිනේ මෙතන. එයාලටත් තේරුම් යන්න නැතිව ඇති මල්ලී නිතර කේන්ති ගන්නේ, ඇඳේ චූ දාන්නේ මානසික බලපෑමක් නිසා කියලා. මේ කතාව පටන් ගත්තේ "ළමා කාලයේ ඇතිවන විශාදය / Childhood depression" රෝග තත්ත්වය ගැන කියන්නට ප්‍රවිශ්ඨයක් විදිහට.

      Delete
  2. Replies
    1. කතාවක් කියවන්නේ ඔහොමද? ඊලඟ කොටස එනකන් ඉන්නේ නැතිව? හ.. හහ්..හා.. ඔහොම යං.. ඔහොම යං ..පොඩ්ඩක් ඉවසන්න..

      Delete