Follow by Email

Tuesday, 5 June 2018

ළමා කාලයේ ඇතිවන විශාදය/ Childhood depression (දසුන්ගේ කතාවේ පළමු කොටසට පසුවදනක්)


පසුගිය වතාවේ ඔබවෙත ගෙන ආ දසුන්ගේ කතාවේ පළමු කොටස ( දෙවන කොටස එන්නේ මේකෙන් පස්සේ) විග්‍රහයට ලක් කරමින් කෙරෙන ලියවිල්ලක් මේක.

පළමු කොටස කියවුයේ නැත්නම් මෙතනින් එහාට ගිහින් එන්න.

අවුරුදු පහත් දොළහත් අතර වයසේ ලමුන්ටත් වැඩිහිටියන්ට වගේම  විශාදය නැත්නම් ඩිප්‍රෙසන් ( කැම්පස් භාෂාවෙන් කිව්වොත් ඩිප) හැදෙන්න පුළුවන්.

ළමා විශාදයේත් මූලික ලක්ෂණ වැඩිහිටි විශාදයට සමානයි. එහෙත් ළමයින්ට ආවේණික වූ යම් යම් අතිරේක රෝගලක්ෂණත්  ලමා කාලයේ ඇතිවන විශාදයේදි පෙන්නුම් කෙරෙන්නේ නැතිවාම නොවෙයි.

ළමා කාලයේ ඇතිවන විශාදය කල්  ඇතිව හඳුනා ගැනීමත් ඊට නිසි ප්‍රතිකාර කිරීමත් ඉතා වැදගත්.ඒ මෙම රෝග තත්ත්වය නිසා ළමයාගේ  "මනෝ සමාජීය වර්ධනය" බෙහෙවින්ම අඩාල වී ඔහුගේ/ඇයගේ පෞරැෂ වර්ධනයට දැඩි බලපෑමි කල හැකි නිසයි.
මෙවැනි ළමුන් වෛද්‍යවරයෙක් වෙත යොමුකරන්නට තරම් දැනුවත් වූ දෙමාපියන්/ගුරුවරුන් සිටීමම අනාගත සමාජයට මානසික ඒකාග්‍රතාවයෙන් යුත් /සුළු දෙයකටත් අධික ලෙස සසලවන තත්ත්වයෙන් මිදුනු යහපත් මිනිසුන් එක්කරන්නට හේතුවක් වෙයි.

එවන් දෙමාපියන් තම කුඩා දරුවා වෛද්‍යවරයා වෙත යොමුකරන්නේ ළමයාගේ අසාමාන්‍ය හැසිරීම සහ ඔහු ඇය විසින් ඉදිරිපත් කරනා කායික ආබාධ ( හිසේ කැක්කුම, බඩේ කැක්කුම වැනි සමඟයි.

ළමා විශාදය හඳුනා ගන්නේ කෙලෙසද?

වයස අවුරුදු පහත් - දොළහත් අතරේ ළමයෙක් පහත සඳහන් රෝග ලක්ෂණ පෙන්වයි නම් ඔහු ඔබේ පවුලේ වෛද්‍යවරයාටත් , ඔහු /ඇය හරහා ළමා මානසික වෛද්‍ය වරෙයෙකුටත් යොමු කිරීම සිදුකල යුතුය 

1. අධික ලෙස අඩාල වූ/ අවම වූ  "මනෝභාවය" ( Depressed "Mood" ) /ඩිප වැදුන මුඩ් එක

දසුන් ගේ මනෝභාවය ප්‍රදර්ශනය වූ හැටි මොහොතක් සිතන්න.ඔහු ඉතා ඉක්මණින් කේන්තිගන්නා , හොස්ස ලඟින් මැස්සෙක් යන්නට බැරි වර්ගයේ ළමයෙක් බව අම්මා, අක්කලා අය්යලා හැමෝම දැනගෙන හිටියා. ඒත් ඔහු පෙන්නුම් කල හැසිරීම් රටාව මෙවැනි ලෙඩක් බව එයාලා තෙරුම් ගත්තේ නෑ.
වෙනත් විදිහකින් කිව්වොත් මෙවැනි ළමුන් අධික ලෙස කේන්ති ගන්නා, ඉතා පහසුවෙන් කෝපය ඇවිස්සිය හැකි, කොයි වෙලාවෙත් අසතුටෙන් ඉන්නා වර්ගයේ අය.

2 . කිසිමදෙයකට ආශාවක් /ඇල්මක් නැතිකම " නිස්ස්සාස්වාදනය " Anhedonia

සාමාන්‍යයෙන් සම වයසේ ළමුන්ට සතුටක්/විනෝදයක් ගෙන දෙන තත්ත්වයේ ක්‍රියාකාරකම් වලට අකමැත්තක් පෙන්වන එකයි මේ වගේ ළමයි කරන්නේ. මේ කලෙ දසුන් වුණත් කට්ටියත් එක්ක සෙල්ලම් කරනවා වෙනුවට වත්තේ පල්ලැහැට ගොස් මළානික වී යන හිරු දෙස බලා ඉන්නයි පුරුදු වී සිටියේ

3. බඩේ කැක්කුම ,හිසේ කැක්කුම, පේශිසහ අස්ථිවල රිදීම් සහ අධික තෙහෙට්ටුව වැනි කායික/මනසට වඩා ශරීරයට සම්බන්ධ රෝග ලක්ෂණ පෙන්වීම ( somatic symptoms) 

4. නින්දට ඇති බාධා (නිදා ගන්නා රටාවේ වෙනස් කම්)

5. ආහාර අරුචිය  ( සම වයසේ ලමුන්ගේ දක්නට ලැබෙනා පරිදි බලාපොරුත්තුවන මට්ටමේ බරවැඩීවීමක්/ශරීර වර්ධනයක් දක්නට නොලැබීම, බඩගිනි නැතිවීම හෝ අධික ලෙස ආහාර අනුභවය එහෙත් ශරීරය කෙට්ටුවීම) .
අපි ආපසු දසුන් දෙසට හැරුණොත් මේ සිද්ධියට ආසන්න කාලයේදී දසුන්ගේ අම්මා මෙන්න මෙහෙම කියනවා . "බලන්නකෝ අක්කා මේකගේ තියෙන  දුෂ්ඨකමද කොහෙද ඇට්ටරය වගේ කොච්චර කෑවත් මේ ළමයා මහත් වෙන්නේ නෑනේ..අනික් ළමයි සේරටම වඩා කෑමත් කනවා . ඒත් ඇඟේ මස් කලඳක් නෑනේ මේ ළමයගේ"

6. ක්‍රියාකාරිත්වයේ වෙනස්කම් ( functinal disturbances )

සමාජයෙන් ඉවත්වීම ( සමාජ නිෂ්ක්‍රමණය/ social withdrawal ) , පවුලේ අය, පාසැල් යහළුවන් සමඟ කරනා ගණුදෙනු  අඩු කිරීම.සමස්තයක් ලෙස ක්‍රියාකාරීත්වයේ අඩුවක් පෙන්වීම  මෙවැනි ළමුන් තුල දක්නට ලැබෙනවා. දසුන් ගේ ක්‍රියාකාරිත්වයත් මෙයට බොහෝ දුරට සමානවයි තිබුණේ . 
කෙසේ වෙතත්ඔහුගේ පාසැල් මිතුරන් හා තිබුණු ගනුදෙනු අඩු නොවීම මෙහිදි ඔහුගේ මානසික සෞඛ්‍යයට යහපත් ලෙස බලපෑවා කිව්වොත් නිවැරදියි . මානසික වෛද්‍යවරු/චිකිත්සකයින්  "ආරක්ෂක උපක්‍රම  /Protective factors"  කියන්නේ මෙන්න මේ වගේ සම්බන්ධතා වලට.

7. හැසිරිම් රටාවේ වෙනස්කම් (behaviour changes ) 

අධික ලෙස කේන්ති ගැනීම, ආවේගශීලි වීම සහ ආවේගයන් පාලනය කර ගැනීමේ අපහසුව ( දසුන්ගේ මේ ලක්ෂණ ඔක්කොම තිබුණා) ,  ප්‍රියයන්ගෙන් වෙන්වීමෙන් ඇතිවන කාංසාව ( separation anxiety ).පවුලේ අනික් අයත් එක්ක කේන්ති ගිහින් ආවේගය පාලනය කරගන්න බැරිවුණහම දසුන් අමුතු දේවල් කරනවා. නියඟලා අල කාලා දිවිනහගන්න හදපු එකත් සමහර විට මැරෙන්නම හිතුවට වඩා ආවේගය නිසා කල දෙයක් වෙන්න පුළුවන් . මෙවැනි ළමුන් තම අත්පා කපා ගැනීම , මුහුණ කොනිත්තා ගැනීම , අතපය සූරා ගැනීම වගේ තමන් විසින්ම තමන්ට හානි කරගන්නා දේවල්කරනවා.

8. සියදිවි හානි කර ගැනීමට සිතීම ( suicial ideation)
මරණය ගැන සිතීම, මරණය ගැන අනෙක් අය සමඟ කතා කිරීම, මම මැරිලා ගියානම් හොඳයි කියමින් තම යහළු යෙහෙළියන්ට , නෑදෑ හිතවතුන්ට පැවසීම මෙවැන්නන් අතින් සිදුවෙන්න පුළුවන් . ඒ වගේ වෙලාවට " තෝ මැරිලා ගියත් අපට මොකද? නැති හැටියකට තොලොංචි වෙලා, මකබා වෙලා පල " යැයි  විහිලුවට හෝ තමන්ට පැමිණි ආවේගය නිසා ම පවසන අයත් නැත්තේම නෑ . එහෙත් ඇත්තටම කල යුත්තේ අදාල ළමයා ඉක්මණින් මානසික සෞඛ්‍යය ගැන ලැදියාවක් ඇති , ඒවෙනුවෙන් කාලය යෙදිය හැකි වෛද්‍යවරයෙක් වෙත යොමු කිරීමයි

මේ වගේ ලක්ෂණ පෙන්නුම් කරන දරුවෙක්/දැරිවියක් වෙත්නම් වහාම වෛද්‍ය උපදෙස් ගැනීම ඉතා වැදගත්.

නැවතත් දසුන් ගේ කතාවට පිවිසුණොත් ඔබ දකින්නට ඇති දෙයක් තමයි ළමා කාලයේ ඇතිවන විශාදයට ඔහු වැනි ඉගෙනීමට දක්ෂ ළමයෙක් වුවත් ගොදුරු විය හැකි බවත් ඒ සඳහා හේතු කාරක විය හැකි අවදානම් තත්ත්ව ( risk factors for depression)  රාශීයක් ඔහුගේ නිවස සහ ඒ අවට සමාජ වටපිටාවේ තිබුණ බව. එවැනි කාරණා සහ ඔහුගේ ජීවිතය බේරන්නට තරම් හේතුවිය හැකි "ආරක්ෂක උපක්‍රම/protective factors"  මොනවාද යන්න ඉදිරියේදී කතා කරමු.




No comments:

Post a Comment