Saturday, 25 February 2017

ඔස්ට්‍රේලියානු වෛද්‍ය කවුන්සිල විභාගය පලමු කොටස ( AMC part 1)





පසුගිය කළාපයෙන් මා මිත්‍ර දිමුතු විභාගයෙන් සමත් වූ ආකාරය ඔබ වෙත ගෙන ආවෙමි.

විභාගය සමත්වී  සිටි දිමුතු   නගරයේ සිට  කිලෝමීටර් 200ක් පමණ දුරින් පිහිටි පළාතක රැකියාවක් ලබා පිටත්  වී ගියේ  ශ්‍රී ලාංකික බොහෝ දෙනෙක් සතුටට පත් කරමිණි.


දිමුතුට එසේ  පළමු කොටස අවසානයේ රැකියාවකට යා හකිවුයේ තවත් කාරණා දෙකක් සම්පුර්ණ කිරීමෙන් පසුවයි.

ඊට ආසන්නම කාලයෙදී  අවුරුදු දෙකක් හෝ තුනක් ලංකාවේ "පවුලේ වෛද්‍ය වරයෙකු" (GP) ලෙස වැඩ කර තිබීමත්  IELTS විභාගයෙන් ලකුණු 7 කට වඩා ලබා ගැනිමත් ඒ කාරණා දෙකයි .

මෙම මූලික අවශ්‍යතා සම්පුර්ණ කිරිමෙන් පසු දිමුතුට  ඔස්ට්‍රේලියානු වෛද්‍ය මණ්ඩලයේ තාවකාලික ලියාපදිංචිය (provisional registration with AHPRA)  ලැබුණේය.

ඒ අනුව ඔහු පුහුණුවන "පවුලේ වෛද්‍ය වරයෙකු"  ( trainee GP)  ලෙස සේවය ආරම්භ කලේ සැලකිය යුතු වැටුපක් ලබමිණි


 ඉන් ටික  කලකට පසු  ආචාර්ය උපාධිය අවසන් කල මම  (2009 ඔක්තෝබර් වෙද්දී) ඉතිරිව තිබු විසා කාලය  (දෙසැම්බර් දක්වා)  AMC විභාගයේ පළමු කොටසට වැය කරන්නට සිතා ගත්තෙමි.

මේ වන විටත් මගේ අදායම් මාර්ග වී තිබුණේ වෛද්‍ය  සිසුන්ට ඉගැන්වීම  සහ නිම්මි ගේ  අතිරේක රැකියාවල  ආදායමයි.

 ඒවායින් විභාග ගාස්තු ගෙවා විභාගයට ලියාපදිංචි වන්නට් මට හැකිවුයේ   රුහුණු විශ්ව විද්‍යාලයෙන් මගේ උපාධිය සනාථ කිරීමෙන් පසුවයි (Primary course verification ).

ඒ අනුව මට AMC පලමු කොටසට මුළු වැර යොදා සුදානම් වීමට ලැබුණේ මාස කිහිපයක් පමණි.

කෙසේ වෙතත්  සිසුන්ට ඉගැන්වූ මානසික රෝග, ස්නායු රෝග සහ පේශි සහ අස්ථි සමබන්ධ  ඒකක මට අලුතින් පාඩම් කරන්නට අවශ්‍ය වුයේ නැත.

විභාගය යට  යන බව දැන සිටි අය අතර නිතර නිතර ඒ ගැන අසමින් සිටි අයෙක් වුයේ අපේ ලඟම හිතවතා  බුද්ධි ප්‍රසන්නයි.

දිමුතුගෙන් පසු  බිහිවන ඊළඟ දොස්තර (ඕස්ට්‍රේලියාවේ වැඩ කරන්නට හැකි) මා විය යුතු යැයි බුද්ධි තදින්ම විශ්වාස කළේය.

අපේ නිම්මිට අනුව නම් බුද්ධි මගේ "අය්යා " විය.

" කවිඳු කොහොමද ? දැන් විභාගෙට ලෑස්තිද ? ඔය පොඩි පොඩි වැඩ නවත්තලා විභාගෙට බර දාන්න "

යැයි පවසමින් බුද්ධි මට දුරකථන ඇමතුම් දෙනවිට

අන්න ඔයාගේ අය්යා කතා කරනවා කියමින් නිම්මි මට විහිළු කරයි.

ඇත්තම කියනවා නම් ඇඩිලේඩ් නුවර මෝටර් කාර්මික ශිල්පියෙක් ලෙස සේවය කල බුද්ධි  එක කුස උපන් සොහොයුරෙකු මෙන් මගේ දියුණුව ගැන සොයා බැලුවේය.

ඒ නිසාම මා විභාගයට යන දිනය මෙන්ම ඒ වෙනුවෙන් මගේ ඇති සුදානම ගැනද   බුද්ධිව නිතර නිතර දැනුවත්  කරන්නට  මමද පුරුදු වුයෙමි.


විභාගය දා


කාලය ගතවී ගොස් විභාගය පැවැත්වෙන දිනයද උදාවිය.  විභාගයට කලින් දවසේ බුද්ධි ගෙන් මට සුබ පතා දුරකථන ඇමතුමක් ද ලැබිණි, 

"කවිඳු  හොඳට විභාගේ කරන්න ඕනේ. භයවෙන්න එපා ඔයාට පුළුවන්  . දිමුතුත් කරපු එකේ  ඔයාට බැරි වෙන්න හේතුවක් නෑ "

ඔහු මා අස්වසාලමින් පැවසුවේය. 

උදේ පාන්දරම  නිම්මි සකස් කර දුන් කිරිබත් සහ ලුණු මිරිස් වල රස බැලු මම ඇඩිලේඩ් බලා යන බසයකට ගොඩ වුයෙමි.

විභාග ශාලාව තිබුණේ  King William Road එකේමය. ගොඩනැගිල්ලේ පහළ තට්ටුවට වී සිටි පිරිස අතර සිටි හඳුනන මුහුණකි.

"හලෝ කොහොමද? ඇලන් මේ පාර විභාගේ කරන්නේ නැද්ද?  "

මම ඇයගෙන් ඇසුවෙමි.

"අනේ නෑ කවිඳු.  ගිය පාර අපි දෙන්නම කරලා බැරිවුණා නේ . 

විභාග ගාස්තුවත් බර ගාණක් වෙනවනේ . 

අපි කතා වුණා මේ පාර මම විතරක් කරලා ඇලන් මාස කිහිපයකට පස්සේ විභාගේ කරා නම් හොඳයි කියලා .

එයා අද වැඩ.  මම මේ පාර වත් ගොඩ ගියොත් හොඳයි.  මට හරි බයයි අනේ මම මේ පාරත් ෆේල් වෙයි කියලා "

අපේ මිතුරියගේ මුහුණ දහඩියෙන් පිරී ගොසිණි . ඇය ඇත්ත වශයෙන්ම "විභාග ආතතියෙන් " පෙළෙන බව දක්නට තිබිණි. 

" හරි හරි භය වෙන්න එපා විභාග තියෙන්නේ අපි වගේ මිනිස්සුන්ට කරන්න නේ . 

ෆේල් වුනොත් ආපහු කරමු . ඕක එච්චර හිතට ගන්න එපා "

මම අපේ සහ දිමුතුගේ මිත්‍රයා වූ ඇලන්ගේ බිරිඳ අස්වසමින් පැවසුවෙමි. 

විභාගය ඇරඹිණි . පරිගණක ගත ප්‍රශ්න එකින් එක තිරයේ දිස්වෙන අතර විනාඩි දෙකක් තුල ප්‍රශ්නය කියවා පිළිතුරු සැපයිය යුතු විය. 

මම සිටි ස්ථානය පිහිටියේ කිංග් විලියම් පාර අයිනේ ජනේලයක් අද්දරට වන්නටයි. 

x ray චායාරුප සහිත ප්‍රශ්න දහයක් පමණ විභාගයට ඇතුලත් විය. 

ජනේලයෙන් වැටෙන හිරු රශ්මිය නිසා  පරිගණක තිරය දිලිසීම මගේ x කිරණ  ප්‍රශ්න  වලට උත්තර සැපයීම  සංකුල කිරීමට හේතුවක් විය.

කෙසේ වෙතත් නියමිත කාලය අවසන් වන විට සියලු ප්‍රශ්න වලට දන්නා හැටියට පිළිතුරු සැපයුවෙමි. 

විභාගය නිමවී ගෙට ගොඩ වන විටම නිම්මි අපට ලැබුණු ආරධනාවක් ගැන පැවසුවාය . 

ඒ බුද්ධි ප්‍රසන්නලා නිවසේ රාතී‍්‍ර කෑමකට  එන්නැයි කල ආරාධනාවයි. 

එදා රෑ නිම්මිත් සුපුනුත් සමග  බුද්ධි ලා ගෙදර ගිය මම බුද්ධි ගේ සහ ශිරාණි ගේ විහිළු තහළු මැද සියළු  විභාග ආතති මුදා හැරියෙමි.

විභාගය සමත් වීමෙන් පසු කල හැකි/ කල යුතු දේවල් ගැන කතා බස් කරන්නටද අපි අමතක නොකළෙමු. 

ඇලන් ගේ බිරිඳද මා සමගම විභාගයට පෙනී සිටි බව දැනගත් බුද්ධි ලා ඇලන්ගේ බිරිඳද විභාගයෙන් සමත් විය යුතු යැයි ඉත සිතින්ම ප්‍රර්ථනා කළහ. 

ප්‍රතිඵල ඇවිත්



ඒ වන විට ගතවෙමින් තිබුණේ මම ශිෂ්‍යයෙක්  ගත කල අවසන් කාලයයි.  

අධ්‍යාපන කටයුතු  අවසන්  නිසා ඇඩිලේඩ් පංසල සමග  මෙන්ම ශ්‍රී ලංකික හිතවතුන් කල අනෙකුත් සමාජ ක්‍රියාකාරකම් සමගද සමිප සබඳතාවක්  ඇති කර ගත්තෙමි.

මා සහ සුපුන් එක් වී වගා කල අබ කොළ , වට්ටක්කා දළු සහ ලාංකික හිත්වතෙකුගෙන් ලබාගෙන තවන් දැමු තිබ්බටු පැල හිතවතුන් අතර බෙදා හැරුණේ ඒ අනුවයි.

දැන් දැන් මට සහ නිම්මිටද පැරණි ඇඩිලේඩ් වාසි ශ්‍රී ලාංකිකයින් අතර තරමක පිළිගැනීමක් ගොඩ නැගෙමින් පවතී ( සිසුන් කාලයේ අපට සමීප වුයේ  බුද්ධි, සුමින්ද අය්යලා සහ සුරාජ්ලා  ආදී පවුල් කිහිපයක් පමණි).

මෙසේ කාලය ගත වෙද්දී  ඒ තීරණාත්මක දිනය පැමිණියේය.  උදේ දහයයි තිහ වෙද්දී  AMC අන්තර්ජාල පිටුව බැලු  නිම්මිත් මමත් අධික ලෙස සතුටට පත් වූයෙමු.

ඒ මගේ විභාග අංකයත්  විභාගය සමත් පිරිස අතරේ තිබුණ බව ස්ථිරවම දැනගන්නට ලැබීමත් සමගයි.

මම වහාම මගේ ජංගම දුරකථනයට  අත පෙව්වෙමි.

"හලෝ කවිඳු කොහොමද ? මොකක්ද ආරංචිය  " 

එහා පැත්තෙන්  මගේ හොඳම හිතවතා ( නිම්මිට අනුව මගේ අය්යා ) නොඉවසිල්ලෙන් මෙන් අසයි 

"ඔන්න මං ඔයාට ඕන දේ කළා.  මේක නම් ඔයා වෙනුවෙන්ම  කරපු දෙයක් "

"මොකක්ද අප්පා මන් වෙනුවෙන් කරපු දේ ? 

ශිරාණි ට අළුත් රස්සාවක් වත්ද ?  

එයා තවමත් කවිඳු අල්ලලා දුන්න පත්තර පාර කරනවා "

"නෑ නෑ.. මං විභාගේ පාස්.

 මං කිව්වා වගේ මම මේ විභාගේ කරේ ඔයාගේ උවමනාවටමයි "

"නෑ .. හෙහ් .. හෙහ් හෙහ්..  හෙහ්... නියමයිනේ  කවිඳු . 

ඕක තමයි මං කිව්වේ ඔයාට ඕක බැරිවෙන්නේ නෑ කියලා 

දැන් ඉතිං දිමුතුට වගේ හොඳ ජොබ් එකකට යන්නයි තියෙන්නේ "

බුද්ධි ගේ හඬ වෙනදා මෙන්ම ලයාන්විතය.  මගේ සාර්ථකත්වය  ගැන ඔහු ඉතාමත් සතුටට පත් වී තිබේ.  

වාහන විදුලි පද්ධති  අස්සේ තම කාලය ගෙවනා ඔහු  වෙනදා මෙන් ලහිලහියේ  මගේ ඇමතුමට සමුදෙන්නට අද  සුදානම් නැත. 
 "බුද්ධි ඔයා වැඩනේ මම තියන්නම්.  

හවසට ගෙවල් පැත්තේ එන්නම් කෝ කතා කරන්න "

අනුන්ගේ දියුණුව ගැන හදවතින්ම සතුටුවන මේ අහිංසක මිනිසා 

"මගේම සොයුරෙක් මෙන් "  නොවේදැයි සිතු මගේ නෙතට කඳුලක් නැගිණි.

සතුටු කඳුළු පිසගත් මා නැවතත් නිම්මි වෙත පියමැන්නෙමි. 

8 comments:

  1. Congrats doc..!! 👍🏽👍🏽👍🏽👊🏽

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ටික්කා. මේ 2009 අගදි වෙච්ච සිද්දියක් . ඊට පස්සේ ගොඩක් දේවල් සිදුවුණා ඉදිරියෙදි ලියන්නම්

      Delete
  2. AMC-Part-1 පාස් වී ජොබ් කරන්න හැකියි ද, රෙජිස්ට්‍රේෂන් නැතුව?

    ReplyDelete
    Replies
    1. "provisional registration " වලින් පුලුවන්. දිමුතු ගියේ එහෙම.

      Delete
  3. /* මා සහ සුපුන් එක් වී වගා....*/

    පුතා 2009 දී ඒ පොඩි කාලෙත් වැඩකාරයෙකු නේ....!!!

    ReplyDelete
  4. ඔව් එතකොට එයාට අවුරුදු හයයි. ලොකුවට වැඩක් කරේ නැතත් මාත් එක්ක ඇවිත් පස් ගොඩව්ෆුල් අවුස්සන්න එහෙම එනවා එයා. අපිපොඩි කාලේ වගෙම තමයි

    ReplyDelete
  5. ඔය විභාග,ඉස්පිරිතාල,රැකියා,වාහන කතා සෑහෙන සමීප ගතියක් දැනෙනවා ගස්ලබ්බගෙ අක්කත් ඔය පැත්තෙම රොම්බ කටු කන නිසා.. හෙහ් හෙහ්
    ඒ නිසා මේ පෝස්ට් බෲස් ගාල කියවනවා එක දිගට.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මෙහාට එන වෛද්‍යවරියන්ගේ කතාව වෙනම එකක් ඒ ගොඩස් දෙනෙක් එනෙ මහත්තයා ( බොහෝවිට ඉන්ජිනේරුවෙක් හෝ අකවුන්ටන් කෙනෙක්) එන නිසා. සමහරු ඉක්මණින් විභාගේ දාගෙන වැඩකරනවා. අනික් අය ළමයි බමයි ගණුදෙනු නිසා තරමක් ප්‍රමාද වෙනවා. කොහොමත් රොම්බ කටු තමයි සුලු කාලෙකට හරි.

      Delete