Tuesday, 18 April 2017

අවුරුදු සුදානම (අවුරුද්දට කෙසෙල් ඉදවූ හැටි)


මෙවර සිංහල අවුරුදු සමයේ මා කණ වැකුණු දුරකථන සංවාදයක්  මේ පොස්ටුවට ලියන්නට මා පෙලඹවූවා කීවොත් නිවැරදියි.

ඇමතුම ආවේ ලංකාවේ අපේ නෑදැ නිවසකින් . අවුරුද්දට කෙසෙල් ගන්නට පළතුරු කඩේ ගිය කතාවත් කෙසෙල් කිලෝව බර ගණනක් වූ බවත් ඒ අන්තයෙන් කියවුණා.

එක යායට  කැලේ වැවී ඇති ගෙවත්තේ කෙසෙල් ගසක් දෙකක් හදා ගන්නට බැරි ඇයිදෝ යන පැනය මා සිත පැන නැගුණත් ගමේ රටේ සාමය වෙනුවෙන් ඒ ප්‍රශ්නය නොනගා සිටියා.

එහෙත් අපේ කාලේ අවුරුද්දට කෙසෙල් ඉදවූ හැටි ගැන සාකච්චාවක්  ඇති වන්නට මේ දුරකථන සංවාදය ප්‍රමාණවත් වුණා.

එහෙමනම්  දැන් නවසිය අසු ගණන් වල අපේ අවුරුදු සුදානම් වීමට යොමුවෙමු

අවුරුද්දට කෙසෙල් ඉදවූ හැටි




බක් මාසය හෙවත් අවුරුදු මාසය ආරම්භ වෙද්දී අපේ ගෙදර හැමෝටම අතිරේක වැඩ පවරන්නට අපේ අම්මා පුරුදු වී සිටියාය. 

ගෙදර බිත්ති ඩිස්ටැම්පර් , හුණු හෝ සමර ගා   අලුත් කිරීමේ රාජකාරිය සාමාන්‍යයෙන් ලොකු අක්කාට පැවරේ. 

මිදුල වතුපිටි කල එළි කිරීම සහ මල් පාත්ති සකස් කිරීම මටත් නංගිටත් පැවරෙන රාජකාරියයි. 

වත්තේ ඉහල ඇති වතුපාළු කෙසෙල් කැන් දෙකක්  හෝ තුනක් ඉදවීම බොහෝ විට මට පැවරෙන්නේ අම්මා විශ්වාස කල පරිදි කෙසෙල් කැන කපන්නාගේ අත් ගුණය ද කෙසෙල් ඉදීමට බල පෑ හැකි බැවිණි.

මේ රාජකාරියට අක්කා සහ අනික් අයද හවුල් වන අතර වැඩි වැඩ කොටස ඉටු කෙරෙන්නේ මගේ අතිනි.

"චුටි පුතා උඹ තවම කෙසෙල් කැන් කැපුවේ නෑ නේද? ඔය අක්කත් එක්කන් ගිහින් කෙසෙල් කැනක් කපාගෙන වරෙං"


සවස්  භාගයේ නිවසට වී සිටින මට අම්මා මගේ අවුරුදු රාජකාරිය මතක් කර දෙයි.

මම කුස්සියේ තිබෙණ වක් පිහියත් රැගෙන උඩහ වත්තට යන්නෙ ඇසිල්ලකින් 

උඩහ වත්තේ ඇති වතු පාළු පඳුර වෙත ලඟා වෙන අක්කා සහ මම එහි ඇති හොඳින් පැහුණු කෙසෙල් කැන් දෙකක් තෝරා ගන්නවා.

"ඒයි චුටි පුතා,  උඹ කෙසෙල් ගහ කපපං . මම කැණ අල්ල ගන්නම්. "

මගේ උදව්වට ආ අපේ අක්කා කෙසෙල් කැණ කුඩු පට්ටම් නොවී බේරා දීමේ භාර දුර කටයුත්තට අත ගැහුවේ ස්වෙච්ඡාවෙන්මයි.

වතු පාළු ගහේ බඩ මැදට මගේ අතින් එල්ල වන වක්  පිහි පාරත් සමග කෙසෙල් ගහ පර.. පර.. හඬක් සමගින් අක්කා සිටි පැත්තට පහත් වෙනවා.






හරී කියමින් කෙසෙල් කැනේ කෙසෙල් මුව පැත්තට වූ බණ්ඩර වහල්ලෙන් අල්ලා ගන්නා ඇය කෙසෙල් කැණ බේරා ගැනිම ගැන සතුටු වෙනවා.

මෙසේ කෙසෙල් කැන් දෙකක් හෝ තුන්ක් කපා ගත්තාට පසු අපි කෙසෙල් ඉදවීමට අවශ්‍ය අනෙක් කළමනා හොයා ගන්න යොමුවෙනවා.

කපා දැමූ කෙසෙල් ගස් වලම ඇති කෙසෙල් පඬරැල් ඉන් එක් වර්ගයක්

මම කෙසෙල් පඬරැල් ඉන් එක් වර්ගයක් කඩන අතරේ අක්කාව අනෙක් අමුද්‍රව්‍ය සොයන්නට යවන්නේ

"ඒයි චූටි ගිහිල්ලා අර උඩහ සපු ගහෙන් සපු කොළ ටිකක් කඩං වරෙංකෝ  "

කියමින් .

කෙසෙළ් වල දැමීම සහ දුම් ගැසීම 






මෙසේ අවශ්‍ය කළමනා එකතු කර ගන්නා අපි ඉන් පසුව යොමුවන්නේ කෙසෙල් වලක් කැපිමේ රාජකාරියටයි. 

ගෙට ඉහළ වත්තේ මිදුලට ආසන්න හොඳ තැනක් බලා කෙසෙල් වල කැපීම බොහෝවිට සිදුවන්නේ මගේ අතින්මයි. 

වේල්ලක් ඇති පාත්ති කොනක කපන අඩි 1.5X පමන කෙසෙල් වලට  වේල්ල පැත්තෙන් හිලක් හාරන්න මම අමතක කරන්නේ නෑ.ඒ වේල්ලේ හාරන සිදුර තමයි  දිනපතා කෙසෙල් වලට දුම් ගහන්න යොදා ගන්නේ. 

හොඳින් සකස් කල කෙසෙල් වල තුලට  මුලින්ම වියලුනු කෙසෙල් පරඬැල් සහ වියලුනු සවුක්කු කොළ ආදිය දමා ගිනි තැබීම අපේ සිරිතක්.
ඒ කෙසෙල් වල හොඳින් උනුසුම් කර ගන්නා අදහසින් .

අනතුරුව සපුකොල සහ කෙසෙල් පරඬැල් කෙසෙල් වල පුර අතුරණවා. 

දැන් කෙසෙල් කැන් කෙසෙල් වලේ පිළිවෙලට අඩුක්කරන්න ඕනේ. 

ඒ අතර කෙසෙල් ඇවරි අතරට සපු කොල සහ ඔබන්නත් අමතක කරන්න නරකයි. 

මේ වැඩ ටික මම කරන අතරේ අපේ අක්කා පිට පළු , අමු කෙසෙල් කොළ හෝ යුරියා බෑග් කෑලී වැනි අනෙක් අමු ද්‍රව්‍ය එකතු කරනවා. 

කෙසෙල් කැන් වලේ තැන්පත් කළාට පස්සේ උඩිනුත් ඇති පදම් සපුකොල සහ යොදන්න මම වග බලා ගන්නවා. 

අනතුරුව වලේ ගැටි අතර පිට පළු අතුරා ඊට උඩින් යුරියා බෑග් හෝ අමු කෙසෙල් කොළ ආස්තරණයක් යොදනවා. 

කෙසෙල් වල කපද්දී ගොඩ ඇද්ද පස් ආපහු කෙසෙල් වල වහන්න යොදා ගන්න මම උදලු කෙටියක් අරන් අර පිටපලු , කෙසෙල් කොළ ආස්තරණය වසමින් පස් ගොඩ කරනවා. 

කෙසෙල් වලේ පස් වලින්ම මැටි ගොඩක් අනාගන්නා අපේ අක්කා වලේ ගැටි වටා මැටි ගසමින් දුම් කාන්දු විය හැකි තැන් වස් දමනවා. 
මේ මැටි ගොඩ පළමු දුම් ගැසීමේදී ඉතා ප්‍රයෝජන්වත් වෙනවා. 

ඊලඟට යෙදෙන්නෙ මම කැමතිම රාජකාරිය. ඒ කියන්නෙ කෙසෙල් වලට දුම් ගැසීම. 

දණි පණි ගා කුස්සියට දුවන මම ආපහු කෙසෙල් වල ලඟට එන්නේ  අඟුරු පොල් කට්ටකුත් අරගෙනයි. 
ඊට අමතරව කුස්සියේ ඇති පන් කොළ වට්ටියකුත් අපේ වැඩේට අවශ්‍ය වෙනවා. 

වෙන වෙලාවට මට  වට්ටියක් අහලට වත් යන්න නොදෙන අපේ අම්මා කෙසෙල් ඉදවන්න වට්ටියක් දෙන්නෙ කිසිම පැකිළීමකින් තොරවයි. 

කෙසෙල් වලේ පැත්තකින් හාරා ඇති දුම් දමන හිලට අඟුරු ටික හලන මම ඒමතට  වියලුනු සවුක්කු කොල ආදිය දමා හොඳ දුමක් ඇති කරනවා. 
දැන් වට්ටිය එහා මෙහා වනමින් කෙසෙල් වල තුලට දුම යොමු කරනවා. 

ටික වෙලාවක් යද්දි කෙසෙල් වලේ උඩ ගොඩ කල පස් අතරින් එහෙන් මෙන් දුම් එන්න පටන් ගන්නවා.  

මේක දකින අක්කටත් මටත් හරි සතුටුයි. ඒ කියන්නේ වල පුරාම දුම පිරිලා කියන එකනේ. 

අර පසෙක තබා තිබ්බ මැටි ගොඩට ආයිත් වතුර ටිකක් ඉහින අපේ අක්කා දුම් ලීක් වෙන තැන් බල බලා මැටි ගහනවා. 
මම ඉතිං දිගටම දුම් ගහනවා. සියලුම දුම් කාන්දු වෙන තැන් වැහෙනකම්. 

කෙසෙල් වල කාන්දු එහෙම වහලා පිලිවෙළක් කරන කොට හොඳට කලුවර වෙලා. 

පහුවදා පාන්දරම අඟුරු පොල් කට්ටයි වට්ටියයි අරං කෙසෙල් වලට යන මට කිසිම දුම් කාන්දු වීමක් නැති බව දැක්කාම හරිම සතුටුයි. 








32 comments:

  1. අවුරුදු සමය ළංවෙන විට එදා දින
    කවුරුත් දුම්ගසා ඉදවයි කෙහෙල් කැන
    සෙව්වත් එවන් ක්‍රමයක් නැත මෙදා දින
    කවුරුත් කඩෙන් ක්ෂණිකව දැන් අරන් එන.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. නියම කෙසෙල් කවියක්!! ස්තුතියි , ජයවේවා !!!

      Delete
  2. මමත් එක් වරක් කර තිබෙනවා. මිහිරි මතකයක්.

    ReplyDelete
    Replies
    1. අපි ඒ කාලේ අවුරුදු කිට්ටු වෙනකොට ඔය විදිහට කෙසෙල් වලේ දාලා ඉදවනවා. දුම් ගහන සිදුරෙන් අතදාල කෙසෙල් ගෙඩියක් කඩාගෙන බලනවා ඉදිලද කියලා දවස් කිහිපයක් උදේ හවස දුම් ගැහුවට පස්සේ

      Delete
  3. Dan ithin kabayit thamayi ..sapu kola wenuwata කැප්පෙටියා kola thamayi gaththe..passe kaaleka රතිඤ්ඤා paththu karalaa walata dammaa

    ජය වේවා ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් සමහර පැතිවල කැප්පෙටියා කොළ තමයිලු ගන්නේ. රතිඤ්ඤා පත්තු කෙරිල්ලත් සමහරු කරනවා කියලා අහල තියෙනවා

      Delete
  4. මාත් මෙදා සැරේ වතුපාලු ඇවරියක් ගෙනාවා. කිලෝ එක එකසිය හැත්තෑවයි. ඔය වතුපාලු කියන්නෙ මහ විසාල ගහේ පුංචි කෙහෙල් කැනක් හැදෙන වර්ගය නෙ.

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදරට ආපු දුරකථන ඇමතුමෙනුත් ඔයවගේ ගාණක් තමයි කිව්වේ. ඒ අපි කෙසෙල් පැල 1000ක් 2005 ගම නැගුමේදී හිටවපු පළාතක.
      ව්තුපාලු කියන්නේ සුරංග කියන්නා වගේ ලොකු පඳුරක පුංචි කෙහෙල් කැන් හැදෙන වර්ගය තමා. ඒවගේ පැණි/ඇඹුල් මිශ්‍ර රසයක් එනවා . අපි හරි ආසයි වතුපාලු වලට ඒ නිසා

      Delete
    2. සුරංග අපි දන්න සිංහලෙන් කියහන් ඔය කෙහෙල් වර්ගය මොකක්ද කියල, උඹ අපේ පැත්තේ එකා නිසා අපි දන්න නමක් දන්නවා ඇතිනේ...

      Delete
    3. සමහර පැතිවල මේ වර්ග දෙකම එකක් කියලා සලකන්නේ අපේ පැත්තේ නම් කඳ සුදු , ඇඹුල් මිශ්‍ර පැණි රස කෙසෙල් වර්ගය වතුපාළු විදිහටත් කඳ රතු , ටිකක් පොඩි පහේ කෙසෙල් ගෙඩි හැදෙන / ඒත් ඇඹුල් කෙසෙල් වලට වඩා වෙනස් වර්ගයක ගෙඩි හැදෙන කෙසෙල් සුවඳෙල් විදිහටත් හඳුන්වනවා

      Delete
    4. ඔය සුරංග කියන පොඩි කෙසෙල් කැන හැදෙන වර්ගයට අපි කියන්නේ සුවඳෙල්ද කියලත් හිතෙනවා මොකද ඒ කෙසෙල් කැන් වල ඇවරි තුනහතරක් තමයි හැදෙන්නේ ..

      Delete
  5. දැන් මිනිස්සුන්ට කොහෙද ඕව කරන්න වෙලාවක්. කඩෙන් ගේන බෙහෙත් ගහපු ජරාව තමයි කන්නෙ.

    අපිනං කෙහෙල් ඔතන්න ගත්තෙ කැප්පෙට්ටිය කොල තමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් කාර්ය බහුල එහෙත් වැඩි වැඩක් නොකෙරෙන ජිවන රටාවක් ගත කරන කට්ටිය නේ දැන් ඉන්නේ? .. කැප්පෙටියා කොළ ගැන අහලා තියෙනවා.

      Delete
  6. කෙහෙල් කැනේ නැට්ටට රත් වෙච්ච යකඩයක් බස්සල ඉදෝන ක්‍රමේකුත් තියෙනව නේද?

    ReplyDelete
    Replies
    1. ඔය රත්වෙච්ච යකඩ බට සෙල්ලම අපේ පැත්තේ කඩ කාරයෝ කරනවා ඉස්සර එයාලට අමුවෙන් ගෙනැත් දෙන කෙසෙල් කැන් ඉදවන්න

      Delete
  7. අපිත් පොඩි කාලේ මෙහෙම තමයි කෙහෙල් ඉදෙව්වෙ. අපි කිව්වේ කෙසෙල් බිං කරනවා කියලා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. අපේ පැත්තේ සමහරු කෙසෙල් වල උඩින් රොඩු බොඩු පුරවපු කිරිපිටි ටින් එකක් තියලා ඒකෙන් දුම් ගහනවා වේල්ලේ හාරන් සිදුර වෙනුවට. කෙසෙල් බිං කරනවා කියන යෙදුමෙන්ම විස්තර කෙරෙනවා කරන වැඩේ නේද?

      Delete
  8. කැප්පෙටියා කොළ තමයි අපේ පැත්තෙත් පාවිච්චිය.පොල් මුඩු දුම්,රතිඤ්ඤා පිපිරවීම් එහෙමත් දුම හදාගන්න කරන වැඩ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. //පොල් මුඩු දුම්,රතිඤ්ඤා පිපිරවීම් එහෙමත් දුම හදාගන්න කරන වැඩ.// ඔව් ඔව් සමහර විට අර වට්ටියෙන් දුම් ගහන වේගේ වැඩිවෙලා කෙසෙල් වල තුලට ගින්දරත් යනවා . එළියට කිට්ටුවෙන් තියෙන ගෙඩි දෙක තුනක් කළුවෙන්න එහෙම පුළුවන් එහෙම වුණාම

      Delete
  9. අපිනම් කරන්නෙ රතිඤ්ඤා කරලක මැටි ටික කුඩු කරල පත්තු කරල වල ඇතුලට දාන එක.

    ReplyDelete
    Replies
    1. අහලා තියෙනවා මේ ගැන . අපි එහෙම කරලා නම් නෑ

      Delete
  10. අපේ පැත්තෙත් කෙසෙල් ඉදවන්න පාවිච්චි කළේ කැප්පෙට්ටියා කොල ඔබ අපව සුන්දර ළමා කාලයට නැවත අරන් ගියා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තේ ආවට. ඔව් ඔව් දැන් වැඩි චන්දේ කැප්පෙටියා කොළ වලට වගේ .. මට කියන්න අමතක වුණා අපේ පැත්තේ පැපොල් කොළත් ගන්නවා ඔය කෙසෙල් ඉදවන වැඩේට.

      Delete
  11. අපිත් ඔහොම කරල තියනවා සපු කොල වෙනුවට ගිනිසීරිය කොල දාලා .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බක්කරේ. ගිනිසීරියා ගැන ඇහුවාමයි. මම උඩින් කිව්වා වගේ අපේ පැත්තේ කට්ටිය පැපොල් කොළත් ගන්නවා කෙසෙල් ඉදවන වැඩේට

      Delete
  12. වතුපාලු = සුවඳෙල්?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රා ජේ. සමහර පැතිවල මේ වර්ග දෙකම එකක් කියලා සලකන්නේ අපේ පැත්තේ නම් කඳ සුදු , ඇඹුල් මිශ්‍ර පැණි රස කෙසෙල් වර්ගය වතුපාළු විදිහටත් කඳ රතු , ටිකක් පොඩි පහේ කෙසෙල් ගෙඩි හැදෙන / ඒත් ඇඹුල් කෙසෙල් වලට වඩා වෙනස් වර්ගයක ගෙඩි හැදෙන කෙසෙල් සුවඳෙල් විදිහටත් හඳුන්වනවා

      Delete
  13. බොරු මොකට මන් නම් කරලා නෑ...ඒත් අහලා තියෙනවා.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රස් ... දැන් නම් ගොඩාක් දෙනා මෙහෙම කෙසෙල් ඉදවනව අඩුයි.

      Delete
  14. අපි ලුණුගල ඉන්න කොට තාත්ත ඔහොම කෙහෙල් කැන් ගෙනත් දුම් ගැස්සෙව්වා අවුරුද්දට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අජිත්... ඔව් ඔව් ඒ පැතිවල ඔය ක්‍රමේ තිබුණා.

      Delete