Friday, 9 April 2021

බිබිලේ බාප්පා


 


අපේ බිබිලේ බාප්පා (අම්මාගේ මද්දුම නංගීගේ මහත්තයා ) ගැන කියන්නට කතා බොහෝමයක් තිබේ.. වෘත්තියෙන් ගුරුවරයෙක් වූ ඔහු බිබිල ප්රදේශයට එන්නේ 1970 ගණන්වල මුල්කාලයේය. එකල ජනශූන්ය පළාතක් වූ බිබිල නගරයට තරමක් දුරින් පිහිටි විශාල ඉඩමක් (ඇත්තෙන්ම කැලෑවක් ) තම නිවහන කරගන්නා ඔහු ඉන් කිලෝමීටර් ගණනාවක් දුරින් පිහිටි මො/ඉළුකාපතන කණිෂ්ඨ විද්යාලයේ උපගුරුවරයෙක් ලෙස වැඩට ගියේ බයිසිකලයෙනි.
උදේ පාන්දරින් නැඟිට පාසැලට යන්නට පෙරත් පාසැළ අවසන් වී නිවසට ආවෙලේ සිට රෑ හත අට වෙනකනුත් නිවස අසළ ගෙවත්තේත් ඊට මඳ දුරකින් පිහිටි ඒ ඉඩමේම අනික් කෙළවරේ ඔහුවිසින්ම අස්වද්දන්නට යෙදුනු කුඹුරේත් වැඩකරන්නට පුරුදු වී සිටි ඔහු කම්මැළි කම කුමක්දැයි වත් දන්නා කෙනෙක් නොවන බව මගේ හැඟීමයි.
අසූවේ මුල්භාගය වගේ වන විට කුඩා දියණියන් තිදෙනෙකු ගේ පියා බවට පත්වූ ඔහු නොසෑහෙන්න මහන්සි වී වැඩකළේ ඒ දියණියන් වෙනුවෙන් සුරක්ෂිත නිවහනක් , යහපත් අනාගතයක් ගොඩ නැඟීමේ අරමුණ පෙරදැරි කරගෙන යැයි මට සිතේ.
තමන් ගෙවත්තේ වගාකළ පොල් , තැඹිළි දෙහි, දොඩම් , අළු කෙසෙල් ආදියත්, කුඹුරෙන් ගත් වී අස්වැන්න කොටා සරිකර ගත් හාල් වලින් පංගුවකුත් අම්මලාගේ පවුළේ හැමෝටම වගේම අපිටත් අරගෙන සිංහල අවුරුද්දට අපේ ගෙවල් වල එන බිබිලේ බාප්පා මේ මාසයේ සිහිවෙන්නට විශේෂ හේතුවක් තිබේ.
1984 අවුරුද්දේ තමන්ගේ වත්තේ බව භෝග වලින් නෙලාගත් අස්වැන්න ලොරියක පටවාගෙන කොළඹ යන්නට ඔහුතීරණය කිරීමත් (බිබිලේ පොළේ ඒවා විකුණනවාට වඩා වැඩි ලාභයක් කෙළින්ම කොළඹ ගොස් විකීණීමෙන් ලාභාගන්නට සිතා), ඒ ලාභයෙන් එතෙක් අත්තිවාරමට පමණක් සීමාවී තිබූ නිවස ගොඩ නැඟීමට සැලසුම් කර තිබීමත් ආදී බාප්පාගේම හිතේ තිබ්බ සිතුවිළි වල ප්රතිඵලයක් ලෙස සිදු වූ අවාසනාවන්ත සිද්ධියක් සිදුවන්නේ 1984 අප්රේල් මාසයේදී වීමයි.
ඒ අවසනාවන්ත දවස උදාවන්නේ 1984 අප්රේල් තිස්වෙනිදිනයි . මේ කියන දවසේ අපේ බිබිලේ බාප්පා තමන්ගේ හොඳම යාළුවාගේ ලොරියේ දෙහි , දොඩම් ,පොල් ,කෙසෙල් ආදිය ( තමන්ගේ වත්තේ අස්වැන්න ) පුරවාගෙන දහ අට වංගුව හරියෙන් යද්දී හොඳම යාළුවා අතින් ලොරිය පෙරළෙනවා . ඒ පෙරලෙන්නේ බාප්පා ගමන් කළ පැත්තට අනතුරින් බාප්පත් ලොරියේ පිටිපස්සේ ගිය ගෝලයත් ( ඔහු දෙහි මිය යන්නේ දොඩම් , දෙහි ගෝනි වලට යටවෙලා ) මිය යනවා .. සිද්ධිය වන විට ලොකු නංගිට අවුරුදු නවයයි .. ඒ සිද්ධිය තදින්ම බලපෑවේ එයාට . පස්සේ ලොකු නංගිලා දෙන්නා අපේගෙදර ඉඳන් ඉස්කෝලේ යන්න එක්කං එනවා .. එක එක හැල හැප්පීම් මැද ගලාගිය ඔවුන්ගේ ජීවිත දැන් සෑහෙන දියුණු වෙලා . තුන් දෙනාම රජයේ රැකියා වල . ලොකු නංගී තාත්තාවගේම ගුරු වෘත්තියට ගිහින් අනික් දෙන්නම හෙදසොයුරියන් ... මේ මෑතකදි ලොකු නංගී මට ෆේස්බුක් හරහා කතාකරලා එයා වැඩ කරන ඉස්කෝලේ ( බිබිලේ මො/සිරිධම්මපාල විද්යාලයේ) පාසැල් උපකරණ ගන්න බැරි ළමුන් පිරිසකට ඒවා ගන්න සහය වෙන්න කියලා අපෙන් ඉල්ලුවා . බාප්පා අපෙන් වෙන්වෙලා අවුරුදු විසිහතක් වෙන දවසේ ඔහුව අනුස්මරණය කරලා පාසැළේ ළමුන්ට පොත්පත් , සපත්තු ආදී උපකරණ පරිත්යාග කරන වැඩක් කරන්න අපි කතාවුණා .

No comments:

Post a Comment