Monday, 28 June 2021

දසුන්ගේ කතාව දෙවන කොටස ( එකලත් භවං )

 


මේ කතාවේ මුල් කොටස ලියැවිලා ටික කාලයක් වෙනවා . ඒකට මෙතැනින් ගිහින් එන්න .

එදා හවස එහෙම පල්ලැහැ වත්තේ ඉඳන් නියඟලා අල කාලා ආපු දසුන් රෑ කෑමෙන් පස්සේ කාටත් නොකියා නිදා ගත්තේ "හෙට උදේ වෙද්දි මම ජීවතුන් අතර නැතිවෙයි " යන සිතිවිල්ලත් සමඟයි.  පුදුමෙකට වගේ ඔහුට නියඟලා නිසා වමනේ ගියේවත් බඩ රිදුනේවත් නෑ . හැබැයි යඩබන තත්ත්වය තවත් වැඩිවුණා .(එහෙම වැඩිපුර යඩ බන්න හේතුව නියඟලා වල තියෙන "කොල්චිසීන්"  නම් රසායනික ද්‍රව්‍යය බව දැන ගන්නකොට දසුන් සෑහෙන දුරක් ගිහිල්ලා ). 

කොහොම හරි ඔන්න පහුවදාට එළිවුණා කියමුකෝ . වෙනදා  තම පොඩි පුතත් එක්කං එහා ගමේ වගාකරන මාළු මිරිස් කොටුවට යන දසුන්ගේ අම්මා එදා උදෙන්ම කොටුවට පිටත් වුණේ තනියමයි . ඒ මාළු මිරිස් කොටුවට පස් දාන්න. පොඩි පුතා හිටියානම් කඩියා වගේ වැඩකරලා ඇයට උදව් කරනා බව දැනුනත් ඔහුගේ  බඩ එළිය යන රෝග තත්ත්වය නිසා ඔහුව නිවසේ නවතා යන්නට ඇය තීරණය කළා ඒ තනියට දසුන්ගේ ලොකු අය්යත් නංගීයි මල්ලියි දෙන්නත්  තියලා යන ගමන්මයි . ලොකු අය්යා ඒ කාලේ  වැඩිය කුඹුරු වතු පිටි වල යන කෙනෙක් නෙවෙයි . එයා ඉගෙන ගන්න වැඩ තමයි වැඩි පුර කරන්නේ.

 මේ දවස් වල දසුන්ගේ තාත්තා පාරේ මිනිස්සු අදින වාහනේක ( අසල නගරයක ජීවත්වූ මුස්ලිම් මුදලාලි කෙනෙකුගේ වාහනයක් )  වැඩ,  එයත් උදේ පාන්දරම ඒ රස්සාවට ගිහිල්ලා .

අම්මයි තාත්තයි දෙන්නම ගෙදර නැති අල්ලපනල්ලේ  දැන් නංගියි මල්ලියි ලොකු අය්යයි තමයි දසුන් තනියට ගෙදර ඉන්නේ.

නැවතත් ලොකු අය්යයි , නංගියි මල්ලියි එක පැත්තකටත් , දසුන් අනික් පැත්තටත් බෙදිලා සටන පටන් ගන්නවා . 

"යඩ බන්නා , යඩ බන්නා , දහතුන් පාරක් ඇඳ හුජ්ජා " ලොකු අය්යා දසුන්ට කොලොප්පම් කරන්න ගත්තා .  ඒ කාලෙ දසුන්ට හරියට කේන්තිත් යනවා .. අවුරුදු දහතුනක ළමයෙක් විදිහට ඉස්කෝලේ නමක් එහෙම දිනාගෙන සිටි ඔහු තම අය්යා විසින් බිංදුවට්ම බස්සා කතා කිරීම ඒක තවත් තීව්‍ර කරන්න හේතුවක් වුණා ..

දසුන් එකපාරම අය්යා ට ගහන්න පැන්නා .  අය්යා දසුන්ට වඩා ඉක්මණ් , ඔහු කරේ දසුන් සාලෙන් එළියට තල්ලු කරලා දොර වහගන්න එක .. කුස්සියේ දොරත් එයා නංගී ලවා අගුළු දම්මලා .

දැන් දසුන් එළියේ අනික් තුන්දෙනා ඇතුළේ .. එයා කෑ ගහ ගහ ඉස්සරහ දොරට ගහනවා  

"අඩෝ ලෙබ්බෙයා, හොඳ හිතින් දොර ඇරපං , මං උඹට ගහන්නේ නෑ  මට කක්කුස්සියට යන්න ඕනේ . 

"හූ හූ යඩ බන්නා , යඩ බන්නා මෙන්න මූට ආයෙත් යඩ බනවළු , ඔය කොහේ හරි එළියට පළයං" 

අය්යත් අගුලු දැමූ දොරට ඇතුළේ සිට කෑ ගහනවා..

දැන් දසුන්ට කරගන්න දෙයක් නෑ දර පොල්ලක් අරන් ඉස්සරහ දොරට ගහනවා , ආයි මිදුළේ අනික් පැත්තෙන් ගිහින් කුස්සියේ කළු තඩි දොරට ගහනවා . ඇතුළේ ඉන්න අයත් භය බිරාන්ත වෙලා දොර අරින්නෙම නෑ . ඇයි දසුනයා දරපොල්ලකුත් අරන් ගේ ඇතුළට ඇවිත් මොනවයින් මොනවා කරයිද දන්නෑනේ... ඔන්න ඔහොම කෝපයෙන් කෑ ගහ ගහ ගිය දසුන් එක පාරම සද්ද නැතිවෙනවා .. ඊට පස්සේ එයා යන්නේ අගුව පැත්තට ..

 එහෙම යද්දි එයාට එක පාරම පෙනෙනවා අම්මා අගුවේ වේල්ලේ හාරපු වළක තියලා තියෙන දේවල් , වීදුරු කටු , කණ්ණාඩි කෑලී අරවා මේවා අතරේ දසුන්ට දිස්වෙනවා තවත් දෙයක් " මෙතමෙඩිෆොස්" කියලා ලියලා ලේබලයක් අලවපු බෝතලයක්. එයා එක උගුරට ඒකෙන් සෑහෙන්න ප්‍රමාණයක් උගුරට හලා ගන්නවා .. එක පාරම උගුරෙන් පහළ ඔක්කොම පිච්චිලා යනවා වගේ එයාට දැනෙනවා . ඊට පස්සේ වේල්ලට කකුලක් හේත්තු කරගෙන හිටගන්න ඔහු .. අර බෝතලේ ලේබල් එක කීතු කීතු වලට ඉරනවා.. 


වයස දහතුනයි , ලොකු තේරුමක් , බරක් පතළක් තේරෙන්නෙත් නෑ හැබැයි වෛද්‍ය වරයෙකුට අවශ්‍ය වැදගත්ම සාක්ෂිය ඔහු නැති කරනවා... ඊට පස්සේ වැනි වැනී ඉස්සර දොරලඟට එන ඔහු වෙව්ලන ස්වරයෙන් තම ආදරණීය අය්යාට කතා කරනවා .. 

"#$%@.. දැන්වත් දොර ඇරපං , මං වස බිව්වා " ...

අය්යා මුලින්ම හිතන්නේ මල්ලී විහිළුවක් කරනවා කියලා , හැබැයි අවුරුදු දාහතක් වෙන කෙනෙක් නිසා සමහර විට තේරුම් ගන්නත් ඇති මල්ලීගේ ස්වරය එන්න එන්නම දුර්වල වෙනකොට ඔහු දොර අරිනවා .. හැබැයි මල්ලීට වාරු නෑ .. මල්ලී කොහොම හරි වත්තං කරගෙන කුස්සිය පැත්තේ රෙදි හෝදන ගල ලඟට අරන් යන ඔහු 

"උඹට පිස්සුද යකෝ? , උඹ මොනාද මේ කරගත්තේ? "  

කියමින් තම දකුණු අත මල්ලීගේ අමාශය දෙසටම යවනවා , ඒ මල්ලීට බලෙන් වමනේ කරවන්න .. ඒ වැඩේ තරමක් සාර්ථක වෙනවා නිල්පාට මෙතමෙඩිෆොස් සහිත ආමාශ ද්‍රව්‍ය සෑහෙන ප්‍රමාණයක් එළියට එනවා . ඒ අතර නංගියි මල්ලියි අපේ පොඩි අය්යා වස බිව්වා , පොඩි අය්යා වස බිව්වා කියමින් ගමේ පහළට දුවනවා . දසුන්ගේ වෙලාවට අම්මා තාත්තා නැතත් අහල පහළ ඉන්න අය එක් රොක් වෙනවා .

පල්ලැහැ ගෙදර අක්කා දුවගෙන එන්නේ " $%@. මල්ලී සබන් වතුර පොවන්න , සබන් වතුර පොවන්න කියමින් " 

ඔය අතර දසුන් ගේ තවත් ගැලවුම් කාරයෙක් එනවා . ඒ තමයි  ලී ඉරණ ප්‍රේමේ අය්යා , එයා ඒ වෙලාවේ ඊට ටිකක් පහළින් ගෙදරක ගහලා තිබ්බ පලංචියේ ලී ඉර ඉරයි ඉඳලා තිබ්බේ .. 

"ඕවා කර කර ඉඳලා හරියන්නේ නෑ . කෝ කොල්ලා දියල්ලා මෙහාට .. "පියේ මල්ලී , දුවලා ගිහිං වෙනුර මුදලාලිගේ වාහනේ තියෙනවද බලපං,  මං කොල්ලා අරන්  එනවා උඹේ පස්සෙන් .. වාහනේ ටවුමට යන්න ඉස්සෙල්ලා නවත්තා ගනිං   &*# මල්ලියා වස බීලා කියපං . ඉක්මණින් ඉස්පිරිතාලෙට අරන් යන්න ඕනේ කියපං "  ප්‍රේමේ අය්යා තම පලංචියේ ලී ඉරණා අනික් සගයාට උපදෙස් දෙනවා ..

 ප්‍රේමෙ අය්යා දසුන් කරට ගනිද්දී එයාට සිහිය නෑ .. කෙසෙල් කඳක් වගේ ඔහුගේ දකුණු කර හරහා කඩා වැටිලා තමයි එයා ඉන්නේ .. ඔන්න ප්‍රේමේ දැන් දසුනුත් කරේ දාගෙන ගමේ පල්ලැහැට යන අඩිපාර දිගේ දුවනවා .. දසුන්ට එක පාරම දැනෙනවා තමන්ගේ ඔළුව බඹරයක් වගේ කැරකෙනාවා " බෲම් ම් " ගාලා සද්දයක් එනවා වගෙත්  එයාට දැනෙනවා .. මේ මොහොතකට සිහිය ආව වෙලාවක් එතකොට එයාට පේනවා තමන් ඇඳගෙන ඉන්නේ රතුපාට කොටු කොටු සරමක් සහ අඩිය හිල් වෙන්න ඔන්න මෙන්න බාටා දෙකක් බව . 

  "ප්‍රේමෙ අය්යා,  කොහෙද මාව අරං යන්නේ ?"  ඉස්පිරිතාලෙට මිසක් වෙන කොහාටද?  මොනවද මල්ලී මේ කරන ගොං වැඩ? කොච්චර වටින ජීවිතයක්ද මේ ? සාකච්චාව අතර දසුන්ට ආයිත් සිහි නැතිවෙනවා තවමත් ප්‍රේමේ අය්යා කන්දේ පහළට දුවන ගමන් .. 

ඔන්න ටික දුරක් යද්දී දසුන්ට ආයිත් පොඩ්ඩක් සිහිය එනවා "ප්‍රේමේ අය්යා , මගේ සෙරෙප්පුව , මගේ  සෙරෙප්පුව ", දසුන්ගේ පයේලා සිටි සෙරෙප්පු දෙකෙන් එකක් කකුලෙන් ලිස්සා වැටෙනවා ඔහුට දැනිලා .. "මොන සෙරෙප්පුද මල්ලී මේ වෙලාවේ ඉස්සෙල්ලා ඔයාගේ පණ බේරගෙන ඉඳිමු සෙරෙප්පු එකට දෙකක් ගන්න බැරියැයි ".. ප්‍රේමේ ඇත්තටම කොල්ලා ගේ පණ කෙන්ද බේරාගන්නේ කෙලෙසෙදැයි වෙහෙසෙයි , ඒත් කොල්ලාට ලොකු සෙරෙප්පුවයි.. 

ඔන්න ආයිත් දසුන්ගේ සිහිය විකල්වී ගිය මොහොතක් , ඔහුට පාරේ ඒ කොටස මතකයේ රැඳෙන්නේ නෑ ..කොහොමින් කොහොම හරි දසුනුත් රැගෙන එන ප්‍රේමේ අය්යා ගමේ ඉස්කෝල ලඟට ඇවිත්  කියමුකෝ.

ඔන්න ආයිත් එයාට සිහිය එනවා .. දැන් දසුන්ට ඉස්කෝලේ ලඟ තියෙන පියතිලක අය්යලා කඩේ පෙනෙනවා .. වාහනේ තියෙන ගෙදරට තව ටික දුරයි . ඔය අතරේ ගමේ සියළු විස්තර පෝය දවසේ සිල්ගත්තම එහෙම කතා කරන ආත්තම්මා කෙනෙක් ප්‍රේමේ අය්යට කතා කරනවා .. මොන මොනවා හරි ගොඩක් කියලා  අන්තිමට "අපි කොහොමද දැනගන්නේ ?  " කියලා කෑල්ලක් එයා අහනවා දසුන්ට යන්තම් මතකයි ... එතකොටත් දසුන්ට සිහිය නෑ (එහෙම නැත්නම් සිහිය එනවා යනවා වගේ තත්ත්වයක්) . එකපාරම එයාට මාර නිදහසක් දැනෙනවා . දැන් එයා ඉන්නේ පියතිලක අය්යලා කඩේට උඩ අහසේ පාවෙමින්වගේ එහෙම ඉද්දි තමයි අර ආතම්මා ප්‍රේමේ අය්යගෙන් විස්තර අහන්නේ.

දසුන් එහෙම ඉහල  අහසේ සැහැල්ලුවෙන්  ඉන්න ගමන්ම ආතම්මට උත්තර දෙනවා

" ඇයි මේ බිත්තියේ සුදු පාට තියෙන්නේ ? ඇයි ඔය කාක්කෝ , උළමෝ එහෙම ඉන්නේ අඬන්න? " කියලා

ඊට පස්සේ එයා ට එයාගේ ඔළුවෙම කවියක් ගාථාවක් වගේ එකක්  ඇහෙනවා ... එක පදයක් ඉවරවෙන්නේ "එකලත් භවං"   කියලා  තව තව පද තියෙනවා ඒ වා ඉවර වෙන්නේ කවියක එළිසමය වගේ ... සමහර විට එකලත් භවං කිව්වේ එක ආත්ම භවයක් වගේ වෙන්න   ඇති කියලා එයාට හිතෙනවා .. ඒ පාර අර ඔළුවේ ඇතුළේ වේගයෙන් වෙන භ්‍රමණය වීමත් සමඟ එයාට ආයිත් සිහිය නැතිවෙනවා .. 

ආයි සිහිය එද්දී එයා නගරයේ දිස්ත්‍රික් රෝහළේ එළියේ කාණුවක් අයිනේ පඩියක වාඩි කරවලා ඇටෙන්ඩන් මහත්තයෙක් සබන් වතුර පොව පොවා වමනේ කරවනවා ... 



ඊට පස්සේ මොනවා වෙයිද ? කියවමු ඊලඟ කොටසින් 

 

 

5 comments:

  1. Replies
    1. තැන්කූ ....තැන්කූ.... ඊලඟ කොටසත් බලන්න ලබන සතියේ එනවා

      Delete
  2. https://helmalu.blogspot.com/2018/06/childhood-depression.html

    ReplyDelete
  3. ඒක අපූරු කතාවක්..ඊලඟ කොටස එනකල් බලාඉන්නවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මම මේ හරහා පොඩි වැඩ ටිකක් කරන්නයි ඉන්නේ . එකක් තමයි කොවිඩ්-19 කාලේ තරුණකාලේ මානසික අවපීඩනය/Depression , සාංකාව/Anxiety සහ ළමා කාලයේ සිදුවන හිරිහැර කිරීම්/Bulling ගැන කතා කරන්නයි ඉන්නේ .. ඊලඟ කොසටත් ලඟදිම එනවා

      Delete