Tuesday, 28 February 2017

අල වගේද ගෝවා



මේ කියන්න යන්නේ මට සිදු වූ ඇබැද්දියක් සහ ඒ ඇබැද්දිය නිසා මම සූපවේදියෙක් වුණ හැටි ගැන කතාවක්.

දිනය 2014 අගෝස්තුමාසේ දිනයක්. මේ වෙනකොට මම අපේ පළමු නිවාස ව්‍යාපෘතියට බැහැලම වැඩ.

ඒ මදිවට වැඩ කළේ නිවසේ සිට කිලෝමිටර් 200 ක් දුරින් පිහිටි රෝහලක.

සතියට දෙවතාවක් විතර ගෙදර එන මම ආපු වෙලේ ඉඳන් කරන්නේ පරිගනකය ලඟට වී නිවාස ව්‍යාපෘතිය ගැන ලියන එක හෝ මුහුණු පොතේ මිතුරන් මිතුරියන් ඊට උනන්දු කරවන එක

මේ අතර සමහර "මිතුරියන්"  ව්‍යාපෘතියට උදව් කරන අතරම මගේ ගුණ වයමින් බ්ලොග් වල හෝ මුහුණු පොතේ කමෙන්ට්ස් එහෙමත් දානවා.

කලින් කියන්න බැරි වුණා මම මුලින්ම බ්ලොග් ලියන්න පටන් ගත්තේ කලු සහ අලෙක්ස් පවුල වෙනුවෙන් අපි පටන් ගත් නිවාස ව්‍යපෘතියට මිනිස් රැස් කර ගන්න

මේ සියල්ල දෙස උපේක්ෂාවෙන් බලා සිටි නිම්මි ටිකෙන් ටික මගේ සමාජ සේවා වැඩ ගැන කළබල වෙනවා.

ඇයි යකඩෝ කොයි නෝනද කැමති තමන්ගේ මහත්තයා කලාතුරකින් ගෙදර ඇවිත් මුහුනට මුහුන හමුවී නැති මිනිස්සුන්ට ගෙවල් හදන්න ස්යිබර් අවකාශයේ හමුවු එවැනිම නොදුටු මිතුරු මිතුරියන් ඇසුරු කරමින් කල් ගෙවනවාට.

මේ කලබළ ගතිය නිසාම මේ කියන දවසේ

 "මට බෑ අද උයන්න . පුලුවන් විදිහට කෑම හදාගෙන කන එකයි තියෙන්නේ .කොච්චර වත් අහක ඉන්න මිනිස්සු ගැන හොයනවා. ගෙදර ඉන්න මිනිස්සු ගැන වගක් නෑ"

කියමින් එදින මගේ දවල් ආහාරය පිලියෙල නොකල නිම්මි කාමරයට වි සිටියා.

මේ වෙනකොටත් වාද විවාද කොට සිටි මම

" මම ආශ කරන දේවල් තමයි මම කරන්නේ. 

මේ ගෙදර හදන වැඩේට මම ආශයි. ඒවට භාදා කරන්න එපා " 

යැයි කියමින් ඇය තව තවත් තරහා ගන්වලයි තිබුණේ.

......දැන් ඉතින් මොනවා කරන්නද?

පුලුවන් විදිහකට මොනවා හරි හදනවා......

රයිස් කුකර් එකේ බතක් ගැසු මම ශීතකරණය ඇරියේ  මොනවා හරි එක එලවලුවක් හදනවා ‍යැයි සිතමින්.

අතට අහුවුණේ ලොකු ගෝවා බෑයක්.

අද අලුත් ක්‍රමෙකට ගෝවා එකක් හදන්න ඕනේ .. මම වැඩ පටන් ගත්තා.

මෙන්න මේවා තමයි මම යොදා ගත් දෙවල්

1. හොඳින් කොල තද වුණ ගෝවා බෑයක්
2. හොඳට ඉදුනු තක්කාලි ගෙඩියක්
3. ලොකු රතුලූණු ගෙඩියක් (රතුපාට බී ලුණු ගෙඩියක් )
4. සුදුලූනු, කරපිංචා,අබ ,අමු මිරිස්, උලුහාල්,  කහ සහ ගම්මිරිස් කුඩු
5. උම්බලකඩ ස්වල්පයක්





මුලින්ම අපේ අම්මා කියන "ගොන්කුට්ටි වගේ" සයිස් එකට ගෝවා කෑල්ල කපා ගත්තා. 




ඊට පස්සෙ තක්කාලි, ලූනු ආදියත් මේ විදිහට කපා ගත්තා.










කපාගත් ගෝවා එකට කහකුඩු යහමින් එකතු කලා, ගම්මිරිස් කුඩු ස්වලපයකුත් උම්බලකඩත් ඒකටම දැම්මා.




මේ අතරේ තක්කාලි, අම්මුමිරිස්, ලූනු සහ සුදුලූනු වෙනම තියා ගත්තා.

ෆ්‍රයින්  පෑන් එකක් අරන් යහමින් තෙල් දමා  රත්වෙන්න තිබ්බා.



හොඳට රත් වු තෙල්  එකට "චෝස්" යන චයිනිස් හඬ එන පරිදි තක්කාලි, ලූනු , අමු මිරිස් සහ කරපිංචා මිශ්‍රණය එකතු කලා.



හැන්දක් අරන් මිශ්‍රණය එහා මෙහා කරන අතරේ ගෝවා ටික ලිප ලඟට ගත්තා.
 විනාඩි දෙකක් පමන තක්කාලි මිස්‍රනය බැදුණු පසු ගෝවා ටික ඒකට එකතු කලා.




තව විනාඩි පහක් පමණ ගෝවා ටික හැන්දෙන් එහා මෙහා කරමින්  තැම්බෙන්න තිබ්බා.

අවසානයේ නියම ගෝවා බැදුමක් එක්ක බත් කෑවා.

ටික වෙලාවකට පසු කුස්සියට පැමිණි නිම්මී මගේ ගෝවා එක සමඟ බත් කනවා දැක්කත් එහි ගුණ අගුණ එදා දැන ගන්න බැරි වුණා.

"ඒයි අර වගේ ගෝවා එකක් හදන්න කෝ ආයෙත්"

කියමින් ඈ මගේ සූප සාස්ත්‍රය වර්ණනා කලේ මම ඊලඟ වතාවේ නිවාඩු ආවහම.


මේ තියෙන්නේ ඒ මගේම රෙසිපියට ගෝවා එකක හදන හැටි . මේක හැදුවේ  2017 පෙබරවාරි  28වෙනිදා

Saturday, 25 February 2017

ඔස්ට්‍රේලියානු වෛද්‍ය කවුන්සිල විභාගය පලමු කොටස ( AMC part 1)





පසුගිය කළාපයෙන් මා මිත්‍ර දිමුතු විභාගයෙන් සමත් වූ ආකාරය ඔබ වෙත ගෙන ආවෙමි.

විභාගය සමත්වී  සිටි දිමුතු   නගරයේ සිට  කිලෝමීටර් 200ක් පමණ දුරින් පිහිටි පළාතක රැකියාවක් ලබා පිටත්  වී ගියේ  ශ්‍රී ලාංකික බොහෝ දෙනෙක් සතුටට පත් කරමිණි.


දිමුතුට එසේ  පළමු කොටස අවසානයේ රැකියාවකට යා හකිවුයේ තවත් කාරණා දෙකක් සම්පුර්ණ කිරීමෙන් පසුවයි.

ඊට ආසන්නම කාලයෙදී  අවුරුදු දෙකක් හෝ තුනක් ලංකාවේ "පවුලේ වෛද්‍ය වරයෙකු" (GP) ලෙස වැඩ කර තිබීමත්  IELTS විභාගයෙන් ලකුණු 7 කට වඩා ලබා ගැනිමත් ඒ කාරණා දෙකයි .

මෙම මූලික අවශ්‍යතා සම්පුර්ණ කිරිමෙන් පසු දිමුතුට  ඔස්ට්‍රේලියානු වෛද්‍ය මණ්ඩලයේ තාවකාලික ලියාපදිංචිය (provisional registration with AHPRA)  ලැබුණේය.

ඒ අනුව ඔහු පුහුණුවන "පවුලේ වෛද්‍ය වරයෙකු"  ( trainee GP)  ලෙස සේවය ආරම්භ කලේ සැලකිය යුතු වැටුපක් ලබමිණි


 ඉන් ටික  කලකට පසු  ආචාර්ය උපාධිය අවසන් කල මම  (2009 ඔක්තෝබර් වෙද්දී) ඉතිරිව තිබු විසා කාලය  (දෙසැම්බර් දක්වා)  AMC විභාගයේ පළමු කොටසට වැය කරන්නට සිතා ගත්තෙමි.

මේ වන විටත් මගේ අදායම් මාර්ග වී තිබුණේ වෛද්‍ය  සිසුන්ට ඉගැන්වීම  සහ නිම්මි ගේ  අතිරේක රැකියාවල  ආදායමයි.

 ඒවායින් විභාග ගාස්තු ගෙවා විභාගයට ලියාපදිංචි වන්නට් මට හැකිවුයේ   රුහුණු විශ්ව විද්‍යාලයෙන් මගේ උපාධිය සනාථ කිරීමෙන් පසුවයි (Primary course verification ).

ඒ අනුව මට AMC පලමු කොටසට මුළු වැර යොදා සුදානම් වීමට ලැබුණේ මාස කිහිපයක් පමණි.

කෙසේ වෙතත්  සිසුන්ට ඉගැන්වූ මානසික රෝග, ස්නායු රෝග සහ පේශි සහ අස්ථි සමබන්ධ  ඒකක මට අලුතින් පාඩම් කරන්නට අවශ්‍ය වුයේ නැත.

විභාගය යට  යන බව දැන සිටි අය අතර නිතර නිතර ඒ ගැන අසමින් සිටි අයෙක් වුයේ අපේ ලඟම හිතවතා  බුද්ධි ප්‍රසන්නයි.

දිමුතුගෙන් පසු  බිහිවන ඊළඟ දොස්තර (ඕස්ට්‍රේලියාවේ වැඩ කරන්නට හැකි) මා විය යුතු යැයි බුද්ධි තදින්ම විශ්වාස කළේය.

අපේ නිම්මිට අනුව නම් බුද්ධි මගේ "අය්යා " විය.

" කවිඳු කොහොමද ? දැන් විභාගෙට ලෑස්තිද ? ඔය පොඩි පොඩි වැඩ නවත්තලා විභාගෙට බර දාන්න "

යැයි පවසමින් බුද්ධි මට දුරකථන ඇමතුම් දෙනවිට

අන්න ඔයාගේ අය්යා කතා කරනවා කියමින් නිම්මි මට විහිළු කරයි.

ඇත්තම කියනවා නම් ඇඩිලේඩ් නුවර මෝටර් කාර්මික ශිල්පියෙක් ලෙස සේවය කල බුද්ධි  එක කුස උපන් සොහොයුරෙකු මෙන් මගේ දියුණුව ගැන සොයා බැලුවේය.

ඒ නිසාම මා විභාගයට යන දිනය මෙන්ම ඒ වෙනුවෙන් මගේ ඇති සුදානම ගැනද   බුද්ධිව නිතර නිතර දැනුවත්  කරන්නට  මමද පුරුදු වුයෙමි.


විභාගය දා


කාලය ගතවී ගොස් විභාගය පැවැත්වෙන දිනයද උදාවිය.  විභාගයට කලින් දවසේ බුද්ධි ගෙන් මට සුබ පතා දුරකථන ඇමතුමක් ද ලැබිණි, 

"කවිඳු  හොඳට විභාගේ කරන්න ඕනේ. භයවෙන්න එපා ඔයාට පුළුවන්  . දිමුතුත් කරපු එකේ  ඔයාට බැරි වෙන්න හේතුවක් නෑ "

ඔහු මා අස්වසාලමින් පැවසුවේය. 

උදේ පාන්දරම  නිම්මි සකස් කර දුන් කිරිබත් සහ ලුණු මිරිස් වල රස බැලු මම ඇඩිලේඩ් බලා යන බසයකට ගොඩ වුයෙමි.

විභාග ශාලාව තිබුණේ  King William Road එකේමය. ගොඩනැගිල්ලේ පහළ තට්ටුවට වී සිටි පිරිස අතර සිටි හඳුනන මුහුණකි.

"හලෝ කොහොමද? ඇලන් මේ පාර විභාගේ කරන්නේ නැද්ද?  "

මම ඇයගෙන් ඇසුවෙමි.

"අනේ නෑ කවිඳු.  ගිය පාර අපි දෙන්නම කරලා බැරිවුණා නේ . 

විභාග ගාස්තුවත් බර ගාණක් වෙනවනේ . 

අපි කතා වුණා මේ පාර මම විතරක් කරලා ඇලන් මාස කිහිපයකට පස්සේ විභාගේ කරා නම් හොඳයි කියලා .

එයා අද වැඩ.  මම මේ පාර වත් ගොඩ ගියොත් හොඳයි.  මට හරි බයයි අනේ මම මේ පාරත් ෆේල් වෙයි කියලා "

අපේ මිතුරියගේ මුහුණ දහඩියෙන් පිරී ගොසිණි . ඇය ඇත්ත වශයෙන්ම "විභාග ආතතියෙන් " පෙළෙන බව දක්නට තිබිණි. 

" හරි හරි භය වෙන්න එපා විභාග තියෙන්නේ අපි වගේ මිනිස්සුන්ට කරන්න නේ . 

ෆේල් වුනොත් ආපහු කරමු . ඕක එච්චර හිතට ගන්න එපා "

මම අපේ සහ දිමුතුගේ මිත්‍රයා වූ ඇලන්ගේ බිරිඳ අස්වසමින් පැවසුවෙමි. 

විභාගය ඇරඹිණි . පරිගණක ගත ප්‍රශ්න එකින් එක තිරයේ දිස්වෙන අතර විනාඩි දෙකක් තුල ප්‍රශ්නය කියවා පිළිතුරු සැපයිය යුතු විය. 

මම සිටි ස්ථානය පිහිටියේ කිංග් විලියම් පාර අයිනේ ජනේලයක් අද්දරට වන්නටයි. 

x ray චායාරුප සහිත ප්‍රශ්න දහයක් පමණ විභාගයට ඇතුලත් විය. 

ජනේලයෙන් වැටෙන හිරු රශ්මිය නිසා  පරිගණක තිරය දිලිසීම මගේ x කිරණ  ප්‍රශ්න  වලට උත්තර සැපයීම  සංකුල කිරීමට හේතුවක් විය.

කෙසේ වෙතත් නියමිත කාලය අවසන් වන විට සියලු ප්‍රශ්න වලට දන්නා හැටියට පිළිතුරු සැපයුවෙමි. 

විභාගය නිමවී ගෙට ගොඩ වන විටම නිම්මි අපට ලැබුණු ආරධනාවක් ගැන පැවසුවාය . 

ඒ බුද්ධි ප්‍රසන්නලා නිවසේ රාතී‍්‍ර කෑමකට  එන්නැයි කල ආරාධනාවයි. 

එදා රෑ නිම්මිත් සුපුනුත් සමග  බුද්ධි ලා ගෙදර ගිය මම බුද්ධි ගේ සහ ශිරාණි ගේ විහිළු තහළු මැද සියළු  විභාග ආතති මුදා හැරියෙමි.

විභාගය සමත් වීමෙන් පසු කල හැකි/ කල යුතු දේවල් ගැන කතා බස් කරන්නටද අපි අමතක නොකළෙමු. 

ඇලන් ගේ බිරිඳද මා සමගම විභාගයට පෙනී සිටි බව දැනගත් බුද්ධි ලා ඇලන්ගේ බිරිඳද විභාගයෙන් සමත් විය යුතු යැයි ඉත සිතින්ම ප්‍රර්ථනා කළහ. 

ප්‍රතිඵල ඇවිත්



ඒ වන විට ගතවෙමින් තිබුණේ මම ශිෂ්‍යයෙක්  ගත කල අවසන් කාලයයි.  

අධ්‍යාපන කටයුතු  අවසන්  නිසා ඇඩිලේඩ් පංසල සමග  මෙන්ම ශ්‍රී ලංකික හිතවතුන් කල අනෙකුත් සමාජ ක්‍රියාකාරකම් සමගද සමිප සබඳතාවක්  ඇති කර ගත්තෙමි.

මා සහ සුපුන් එක් වී වගා කල අබ කොළ , වට්ටක්කා දළු සහ ලාංකික හිත්වතෙකුගෙන් ලබාගෙන තවන් දැමු තිබ්බටු පැල හිතවතුන් අතර බෙදා හැරුණේ ඒ අනුවයි.

දැන් දැන් මට සහ නිම්මිටද පැරණි ඇඩිලේඩ් වාසි ශ්‍රී ලාංකිකයින් අතර තරමක පිළිගැනීමක් ගොඩ නැගෙමින් පවතී ( සිසුන් කාලයේ අපට සමීප වුයේ  බුද්ධි, සුමින්ද අය්යලා සහ සුරාජ්ලා  ආදී පවුල් කිහිපයක් පමණි).

මෙසේ කාලය ගත වෙද්දී  ඒ තීරණාත්මක දිනය පැමිණියේය.  උදේ දහයයි තිහ වෙද්දී  AMC අන්තර්ජාල පිටුව බැලු  නිම්මිත් මමත් අධික ලෙස සතුටට පත් වූයෙමු.

ඒ මගේ විභාග අංකයත්  විභාගය සමත් පිරිස අතරේ තිබුණ බව ස්ථිරවම දැනගන්නට ලැබීමත් සමගයි.

මම වහාම මගේ ජංගම දුරකථනයට  අත පෙව්වෙමි.

"හලෝ කවිඳු කොහොමද ? මොකක්ද ආරංචිය  " 

එහා පැත්තෙන්  මගේ හොඳම හිතවතා ( නිම්මිට අනුව මගේ අය්යා ) නොඉවසිල්ලෙන් මෙන් අසයි 

"ඔන්න මං ඔයාට ඕන දේ කළා.  මේක නම් ඔයා වෙනුවෙන්ම  කරපු දෙයක් "

"මොකක්ද අප්පා මන් වෙනුවෙන් කරපු දේ ? 

ශිරාණි ට අළුත් රස්සාවක් වත්ද ?  

එයා තවමත් කවිඳු අල්ලලා දුන්න පත්තර පාර කරනවා "

"නෑ නෑ.. මං විභාගේ පාස්.

 මං කිව්වා වගේ මම මේ විභාගේ කරේ ඔයාගේ උවමනාවටමයි "

"නෑ .. හෙහ් .. හෙහ් හෙහ්..  හෙහ්... නියමයිනේ  කවිඳු . 

ඕක තමයි මං කිව්වේ ඔයාට ඕක බැරිවෙන්නේ නෑ කියලා 

දැන් ඉතිං දිමුතුට වගේ හොඳ ජොබ් එකකට යන්නයි තියෙන්නේ "

බුද්ධි ගේ හඬ වෙනදා මෙන්ම ලයාන්විතය.  මගේ සාර්ථකත්වය  ගැන ඔහු ඉතාමත් සතුටට පත් වී තිබේ.  

වාහන විදුලි පද්ධති  අස්සේ තම කාලය ගෙවනා ඔහු  වෙනදා මෙන් ලහිලහියේ  මගේ ඇමතුමට සමුදෙන්නට අද  සුදානම් නැත. 
 "බුද්ධි ඔයා වැඩනේ මම තියන්නම්.  

හවසට ගෙවල් පැත්තේ එන්නම් කෝ කතා කරන්න "

අනුන්ගේ දියුණුව ගැන හදවතින්ම සතුටුවන මේ අහිංසක මිනිසා 

"මගේම සොයුරෙක් මෙන් "  නොවේදැයි සිතු මගේ නෙතට කඳුලක් නැගිණි.

සතුටු කඳුළු පිසගත් මා නැවතත් නිම්මි වෙත පියමැන්නෙමි. 

Friday, 24 February 2017

ඔස්ට්‍රේලියානු වෛද්‍ය කවුන්සිලයේ ලියාපදිංචි විමේ තොරතුරු (මා ආ මාවත පළමු කොටස)




ඔස්ට්‍රේලියාවේ වෛද්‍ය වරයෙක් ලෙස ලියාපදිංචි වීමේ අදහසක් මට පහල වන්නේ 2009 වසරේදී.

ඒ අදහස මා තුය මුලින්ම ඇතිකලේ මට අහම්බෙන් හමුවු තවත් ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක්.

 ඔහු  දිමුතු මුණසිංහ නම් කොළඹ  විශ්ව විද්‍යාලයෙන් පිටවු අයෙක්.


දිමුතු  ඒ වනවිට ඔස්ට්‍රේලියාවට ඇවිත් ගතවී තිබුණේ සති කිහිපයක් පමණයි.

දරු දෙදෙනාත් බිරිඳත් ජීවත් කරවීමට  ක්‍රමයක් හොයමිනුයි ඔහු සිටියේ.  මම මා දැන සිටි හොඳම ක්‍රමය "කොළ දැමිම " ඔහුට අල්ලා දුන්නෙමි.

ඒ මා කොළ බෙදන පාරක සිටි "ශ්‍රි ලාංකික ඉංජිනේරුවෙක්" මගෙන් කල ඉල්ලිමක ප්‍රතිඵලයක් වශයෙනි.

දිමුතු සොයාගෙන මා ඔහුගේ නිවසට ගිය මුල්ම  දිනයේ ඔහුගේ අසල්වැසියා අපේ තවත් හිතවතෙක් වු බුද්ධි බව දැන ගත්තෙමි.

අප මෙන් අලුත  ලංකාවෙන් පැමිණි අයට බොහෝ උදව් උපකාර කල බුද්ධි දිමුතුලාටද සෑහෙන උදව් කල අයෙකි.

මෙසේ  මා හා සම්බන්ධ වු  දිමුතු තම සී වී එක හැදීම ආදිය සඳහා මා නිවසට පැමිණියේය.

මගේ පරිගණකය පාවිච්චි කර තම ලියකියවිලි සකස් කල ඔහු ඒ වන විට පී එච් ඩී සිසුවෙක් වු මා සායනික වෛද්‍ය මාවතට හරවන්නට අඩිතාලම දම්මේ මෙලෙසයි.

මේ කියන කාලයේ දී  දිමුතුට මා  සොයා දුන් රැකියාවට අමතරව තවත් සුලු සුලු රැකියා ලැබී තිබුණු අතර තවත් ශ්‍රී ලාංකික පවුල් කිහිපයක්  මිතුරන් ලෙස එක් වී තිබිණි

"මචන් කවිඳු මම උඹට කියන්නමයි හිටියේ. .  මෙහේ ඉන්න  ලංකාවේ උන් මහ අමුතු පොරවල් .

මේ ලඟදි මට එකෙක් කියනවා  මම නිකම් පැන්ශන් ගිය පොලිස් කාරයා වගේලු.

දොස්තර කම නොකරන දොස්තරලා ඒ වගෙයි කියලා අපිට සවුත්තුව දානවා බන් මේ යක්කු.

 මම කොහොම හරි විභාගේ දාගන්නවා  ඔවුන්ට උණ ගැනෙන්න. ඔය යක්කු උඹටත් එක එක කතා කියනවා මං හිතන්නේ.

ඔය  PhD තියෙද්දි උඹත්  AMC exam කරපන්  කෝ බන්. අපි දෙන්නට එකට පාඩම් කරන්නත් පුලුවන් එතකොට. "

'උන් මොනාද බං දන්නේ . ඔය ගොඩ දෙනෙක් මිකැනික් හරි අසියිලම් අරන් හරි ආපු අයනේ.

මෙඩිසින් වල තියෙන එක එක පැති ගැන ලොකු දැනුමක් උන්ට නෑ ඔහේ කටට එන පලියට එක එක දේවල් කිව්වට.

 උඹ ඕවා ගණන් ගන්න එපා බං . උඹේ පාඩුවේ විභාගේ කරපං.

මමත් ටික ටික AMC එකට වැඩ කරන්නම් . හැබැයි මම විභාගේ කරන්නේ PhD එක ඉවර වෙලා. ලන්කාවෙ එවුන් ඕන දෙයක් කියා ගද්දෙන්  "

"හහ් හහ්  හා ඒ වා මම දන්නේනෑ .

ඔය කවිඳුවා ලෙඩ්ඩු බලන්න බයයි. ඒකයි ඔය කැම්පස් එකට වෙලා ඉන්නේ 

කියලා තමයි ලන්කාවේ උන් උඹ ගැන නම් කියන්නේ"

මෙසේ දිමුතු ගෙන් ලැබුණු අධික බල කිරීම නිසාම  PhD එකේ අවසාන හරිය කරමින් සිටි මම  ඔස්ට්‍රේලියානු වෛද්‍ය කවුන්සිලයේ (AMC)  විභාගයට සූදානම් වන්නට තිරණය කලෙමි.

ඔස්ට්‍රේලියානු වෛද්‍ය කවුන්සිලයේ විස්තර 



ඔස්ට්‍රේලියානු වෛද්‍ය කවුන්සිලය (AMC)  යනු ඔස්ට්‍රේලියාවේ වෛද්‍ය වරුන් ලියාපදිංචි කරන ආයතනයයි .

එය ශ්‍රී ලංකාවේ වෛද්‍ය කවුන්සිලයට ( Sri Lanka Medical Council)  සමාන සේවාවක් සලසන ආයතනයකි. 

ඔස්ට්‍රේලියාවේ වෛද්‍යවරයෙක් ලෙස ලියාපදිංචි වීමට නම් දිමුතුත් මමත් දෙදෙනාම (අප විදේශ උපාධි ලබා ගත් අය නිසා ) මේ විභාගයෙන් සමත් විය යුතුය. 

ඒ වන විට අප සිටියේ අඩිලේඩ් පුරවරයේ. 

ඇඩිලේඩ් යනු විභාගයට සූදානම් වන පිරිස් ( ලන්කාවේ මෙන්ම ඉන්දියාව, බන්ග්ලාදේශය වැනි රටවල දොස්තරවරු ) අඩුවෙන්ම සිටින පළාතක්.  

විභාග සුදානම් විමේ පහසුකම් වුණත් හරි අඩුයි.

මේ විභාගය කරන බොහෝ දෙනෙක් මෙල්බන් හරි සිඩ්නි හරි යන්න පෙලඹෙනවා.

හේතුව ඒ නගර දෙකේ AMC exam කරන අය වැඩි වීමත් , ඒ වෙනුවෙන් ඇති පහසුකම් වැඩි වීමත්,  යන කරුණු දෙකයි ( විශේෂයෙන් මෙල්බන් නුවර )

මට PhD එක නිසා විභාගෙට වැඩ කරන්න වුණේ අඩුවෙන්.

දිමුතු "ඇලන්" නම් තවත් ශ්‍රි ලාංකික දොස්තර කෙනෙක් ( රුසියානු  උපාධිධාරියෙක්)  සහ ඔහුගේ බිරිඳ  (තවත් රුසියානු උපාධි ධාරිණියක් ) සමග පාඩම් කලා.

මේ නව සම්බන්ධතා සමගා දිමුතු මගෙන් ඈත්වී ගිය අතර මම තනියම විභාගයට වැඩ කරන්න පටන් ගත්තා.

ඔස්ට්‍රේලියානු වෛද්‍ය කවුන්සිලය  හරහා  ලියාපදිංචි වීමට අප විසින්  AMC part 1 and  Part 2 නම් විභාග දෙකක් කල යුතු වුණා.
මුලින්ම තිබුණු part 1 එකට බහුවරණ ප්‍රශ්ණ 300ක් තිබුණා. වර්ත්මානයේ එය 150ක් දක්වා අඩු කරලා තියෙන්නේ.

එය පරිගණක ගත විභාගයකින් කල යුතුයි. විභාග ගාස්තුවම ඩොලර් 2000ක් වගේ මට මතක

මමත් දිමුතුත් මුලින්ම වැඩ කලේ මේ පළමු කොටස කරන්න.

AMC exam පළමු කොටස කරන්න අපට ඉඩ ලැබෙන්නේ අපේ උපාධි පිළිගත් වෛද්‍ය විද්‍යාලයකින් ලබා ගෙන ඇති බව තහවුරු කර ගැනිමෙන් පසුවයි.

Primary course verification නම් වු මේ ක්‍රියාවලියට මස දෙක තුන්ක් හෝ ඊට වැඩි කාලයක් ගතවෙන්න පුලුවන් (ඔබ උපාධිය ගත් විශ්ව විද්‍යාලයේ කාර්යක්ෂමතාවය අනුව ).

දිමුතු සහ ඇලන් මට පෙරාතුව විභාගයට පෙන සිටි අතර මම reasech එක කරන අතරේ හෙමින් හෙමින් විභාගයට සූදානම් වුණා.

ඒ තවත් ශ්‍රී ලාංකික වෛද්‍යවරියක් ලබා දුන් පැරණි බහුවරණ ප්‍රශ්න පත්‍ර උපයෝගී කරගෙන.

ඊට අමතරව විශ්ව විද්‍යෑලයේ පුස්තකාලයෙන් බහුවරණ ප්‍රශ්ණ පොත් සහ අනෙකුත් පොත් ගෙනැත් බැලුවා.

මේ අතර ඒ වන විට පත්තර බෙදීම නවතා වැඩිහිටියන් බලාගන්නා තැනක වැඩ කල දිමුතු රාත්‍රී සේවය් මුර වැඩියෙන් කරන්නට වුණා.

 හේතුව ලෙස ඔහු කිව්වේ සියලු නේවාසිකයින් නින්දට ගිය පසු ඔහුට විභාගයට පාඩම් කරන්නට ගොඩාක් ඉඩ ලැබෙන බවයි .

ටික කලක් මෙසේ ගෙවී යද්දී ඇලන් යුවලත්  දිමුතුත් විභාගයට පෙනී සිටි බව මට ආරංචි වුණා.

මේ  වන විට මමත් ටිකෙන් ටික විභාග කරන මාවතට පිවිස සිටි අතර මා ඉගෙනගත් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය සිසුන්ට කල "පාර්ට් ටයිම්"  ඉගැන්විමත් මගේ විභාග සූදානමට බෙහෙවින් ප්‍රයොජනවත් වුණා. 

මෙසේ මාස දෙක තුනක් ගෙවී යද්දී මට දුරකතන ඇමතුමක් ලැබුණා.

ඒ දිමුතුලා නිවසට අල්ලපු නිවසේ සිටි   බුද්ධි ප්‍රසන්න නම් අපෙ හිතවතා ගෙන් .

"කවිඳු අන්න ඔයාගේ යාලුවා දිමුතු විභාගෙන් පාස් වෙලා .

හෙට අනිද්දාම  ඩොක්ට කෙනෙක් විදිහට වැඩ පටන් ගන්නලු යන්නේ.

මමනම් කියන්නේ ඔයාටත් ඔය විභාගේ කරන්නයි තියෙන්නේ .

දිමුතුට පුලුවන් නම් ඔයාට තවත් හොඳට පාස් වෙන්න පුලුවන්නේ.

 ඔයා කැම්පස් කොල්ලොන්ටත් උගන්නන එකේ"


දිමුතුටත් වඩා මා විභාගය වෙනුවෙන් උනන්දු කල අනෙක්  පුද්ගලයා වූ  "බුද්ධි" මා හට පැවසුවේය.

"නියමයි බුද්ධි දිමුතුවාට නම් දැන් හරි.

ඒක නෙවෙයි ඇලන්ලට කොහොමද?  ඒ දෙන්නත් ගොඩ ගියානම් නියමයි නේද? "

"නෑනේ ඒ දෙන්නම ෆේල් වෙලානේ .හැබැයි ආපහු කරයි"

මට දිමුතු ගැන අධික සතුටක් දැනුණු අතර මටත් විභාගය කල හැකි බවක් ද දැනෙන්නට වුණා.

ඇලන් ලා අසමත් වීම ගැනත් කනගාටුවක්  දැනුණේ ඔවුන් දෙදෙනාත්  දිමුතුලා වගේම අලුත් රටක අලුත් ජීවන රටාවකට හුරුවෙන අතරේ සුලු සුලු රැකියා කරමින් සිටි අය බව මා හොඳින් දැන සිටි නිසයි .

AMC සංඛ්‍යා ලේඛණ වලට අනුව  විභාගයේදී ශ්‍රී ලන්කා උපාධිදාරින් රුසියානු උපාධිධාරීන්ට වඩා  ඉදිරියෙන් ඉන්නා බවත් සනාථ වී තිබුණා.








ඊලඟ කොටස ( AMC- part 1) මෙතැනින්

Tuesday, 21 February 2017

&*%$ නිවසේ දැන් තත්වය











අනාරක්ෂිත වහලයක් යට කුඩා දරු දැරියන් තිදෙනක් සිටී නිවසක් ගැන මම ඔබට කිව්වේ මිට මාස කිහිපයකට පෙරයි.

ඒ අපේ ගමේ පාරම්පරික ඉඩම් හිමිව තිබී පසුව ඒවා ටිකින් ටික අහිමි වී ගිය &&*%$ සහ ඔහුගේ පවුලේ විස්තරයයි.




රංජිත්ගේ නිවස අප සමබන්ධ වන විට තිබුණේ මෙහෙමයි 

තරුණ එළවලු ගොවියෙකු ලෙස මා &*%$ත්ලාගේ කුඹුරේ එළවළු හැදු සැටිත් වසර දෙකක් අප එසේ කරනු බලා සිටි &*%$ ඉන් පන්නරය ලබා එලවලු වගාවට බැස්ස හැටිත් මම ඔබට කීවෙමි.

මේ කතා සියල්ලෙන් අනතුරුව අපි &*%$ ලාගේ නිවස ළමයින් සහ ඔහුට ආරක්ෂිතව ජිවත් විය හැකි තත්වයකට ගොඩනගන්නට තීරණය කළෙමු.

අවශ්‍ය ප්‍රතිපාදන මගෙන් සහ මගේ බ්ලොග්  සහ මුහුණු පොතේ හිතවතුන්ගෙන් .

අපි ලඟදි ලංකාවට ගිය වෙලාවේ &*%$ ලා මුණ ගැහෙන්න ගියා . අපේ බ්ලොග් හිතවතා "ලොකු පුතා " දුන්න ෆිලර් එහෙම අරගෙන.

&*%$ ගේ ළමයින්ට තෑගිබෝග එහෙම අරගෙන අපේ නිම්මිත් මා සමග ගියා.

මේ චයාරුප වලින් පෙනෙන්නේ &*%$ නිවසේ අලුත්ම තත්වය. පෙනෙන හැටියට එයාලට කුස්සිය කපරාරු කරගන්න සහ වයරින් එක ඉවර කර ගන්න බැරිවෙලා තාම ..


&*%$ නිවසේ ඉදිරිපස  පෙනුම



කුස්සිය (  කපරාරු කරවන්න බැරිවුණ)


&*%$ ගේ බිරිඳ කුස්සියේ ( මෙසේ යට තියෙන්නේ ලොකුපුතා දුන්න ෆිලර් ටින් දෙක/කළු පාට බැරල් දෙක  )


කාමරයක් , &*%$ත්ගේ එළවළු වලට බෙහෙත් ගහන ටැංකිය පසෙකින් 



ළමයි පාඩම් කරන මේසය  ( භාගෙට කල වයරින් එකත් සමග ) 


  විසිත්ත කාමරය 



මා ආ මගට පෙර වදනක් ( කුඩා කල මට හමුවු දොස්තරලා)



පසුගිය කාලපයෙන් 

මා මේ කියන්නට යන කතාව ගොඩනැගෙන්නේ මගේ ලමා කාලයත් තරුන කාලයත් අතර සිදුවු සිද්ධි දාමයක් මුල් කරගෙනයි.

මට දොස්තර වරයෙක් සමග මුලින්ම ගනුදෙනු කරන්නට ලැබෙන්නේ මට වයස හයක්-හතක් පමන වු කාලයකයි.

ඒ කාලයේ අපේ තාත්තා දුශ්කර සේවය නිසා නිවසින් බැහැර ගොස් සිටි අතර අප බලාගත්තේ අම්මා විසිනි.

මට හමුවු මුල්ම  දොස්තර 


ඒ නමසිය හැත්තැ හතේ වසරයි. ජේ. ආර්. ජය්වර්ධන මැතිතුමා රට භාරගත් අලුතම වාගේ දවසක්.

කුඩා දරු දැරියන් කිහිප දෙනෙක් සමග පැමිනි මවක් ඉස්පිරිතාලේ ලඟින් බස් එකෙන් බැස්සා.

ලමුන් ටිකත් ඇදගෙන ඈ මුලින්ම පිය නගන්නේ අසල ඇති හෙලමුදුනේ කඩයට"




මුදලාලි මට ශත විසිපහේ මුද්දර දෙකක් දෙන්න"

"ඇයි   නන්ගි පුතාලාට බෙනේත් ගන්නද? "

ඔව් මුදලාලි මේ ලමයින්ට තුවාල වගයක් හැදිලා .   ඒවා දැන් පැසවා ගෙන එනවා වගේ. "

මුද්දර ටිකත් රැගෙන ලඟ ඇති රෝහල වෙත පිය මනින ඇය බෙහෙත් ගන්න ආ රෝගින් සිටි පෝලිමට එකතු වුනා. 

 (ඒ කාලේ ආන්ඩුවේ ඉස්පිරිතාලෙන් බෙහෙත් ගන්නට යද්දී ශත විසිපහේ මුද්දරයක් රැගෙන ආ යුතුය)


පෝලිම කෙලවරේ වෙන තැන  මේසයක  ඉන්නේ ඇටෙන්ඩන් නෝනා කෙනෙක්. 

මුද්දර ටික අතට ගත් ඇටෙන්ඩන් නෝනා හා කතාවට පිවිසෙන ඒ මව (අපේ අම්මා) 

"අද කවුද ඉන්නේ? ලොකු මහත්තයද? දෙවෙනි මහත්තයද?  යැයි ඇයගෙන් විමසා සිටියාය. 

"මේ වෙලාවේ ඉන්නේ දෙවෙනි මහත්තයා. 

ඩීඇම්මෝ මහත්තයා වෝඩ් රවුන්ඩ් ඉවරවෙලා තමයි ඔපීඩියට එන්නේ"

පෝලිම ටිකෙන් ටික කෙටි වී  ගොස් අප දැන් සිටින්නේ  වෛද්‍ය වරයා සිටින  ස්ථානයට  ආසන්නවය. 

එතනත් තව ඇටෙන්ඩන් කෙනෙකි. 

"ඔයාලගේ වෙලාව හොඳයි. මේ දැන් ඩීඇම්මෝ මහත්තයා වෝඩ් රවුන්ඩ් ඉවරවෙලා ආවේ."

අප පරික්ශා කල  දොස්තර මහතා අපේ තුවාල  ආසාධනය වී ඇති බවත්  ඒ හරහා වකුගඩු ආදියට හානි විය හැකි බවත් අම්මාට පැවසුවේය. 


"මේ ලමයින්ට ඉන්ජෙක්ශන් කෝස් එකක් දෙන්න වෙනවා"  

යැයි අම්මාට පැවසු ඔහු අප හට පෙනිසිලින් එන්නත නිර්දේශ කලේය. 


ඒ අනුව  මට හමුවු මුල්ම දොස්තර මහතා DMO  (District Medical Officer) කෙනෙක් වු අතර  රජයේ විශ්ව විද්‍යාලයක උපාධිය ලැබු MBBS වෛද්‍ය වරයෙක් විය. 

ඒ කාලේ අපේ ඉස්පිරිතාලේ ඔපීඩි එකේ ( Out Patient Department ) වැඩිපුරම හිටියේ  දෙවැනි මහත්වරුන්ය. 

ඔවුන් වාට්ටුවේ රොගීන් බැලුවේ  DMO නිවාඩු ගිය විට පමනි.  

රොහලේ බාහිර රෝගී අන්ශය පාලනය කල ඔවුන්ට  මහතාට වඩා රෝගින් සමග ගනුදෙනු කරන්නට අවස්තාව ලැබී තිබුනි.

රෝගීන් සමඟ තිබුන මේ සමීප බව නිසාම  ඊට කලින් අපේ ඉස්පිරිතාලේ සිටි දෙවැනි මහත්තයා රෝහල් සේවයෙන් ඉවත් වී සිටියේය. 

ඒ තමාගේම පුද්ගලික බෙහෙත් ශාලාවක් දමා ගැනීම සඳහායි. 

එසේ රජයේ සේවයෙන් සම්පුර්ණයෙන් ඉවත් වී හැත්තෑ ගණන් වලම අපේ පැත්තේ ප්‍රයිවෙට් කලේ පරන්ජෝති නම් ද්‍රවිඩ වෛද්‍ය වරයෙකි .

සාමාන්‍ය මිනිසුන්ට මේ දෙගොල්ලන්ම දොස්තර වරු වුවද මේ අයගේ වෛද්‍ය අධ්‍යාපණයේ මූලික වෙනස් කම් රාශියක් තිබේ. 

ඒ  ගැන කියන්නට පෙර මට හමුවු දෙවැනි දොස්තර ගැන කියවමු.

මට හමුවු දෙවැනි දොස්තර


මේ සිදුවිම් මාලාව වන විට මගේ වයස අවුරුදු දහයක්  හෝ එකොලහක්.

කුඩා කාලයේම වෙළ්ඳාමට හුරු වූ මම වෙසක් සැමරීමට සුදානම් වෙමිනුයි හිටියේ.

වෙසක් එකට මගේ ප්ලෑන් එක වුණේ වෙසක් කාඩ් කඩයක් දාන එක.

අපේ වත්ත පහලින් පාරේ යන සෝමෙගේ ලමයින්ට එහෙම වෙසක් කාඩ් විකුණන්නයි බලාපොරොත්තු වුණේ.

වත්තේ පල්ලැහැට ගිල මම  ටර්පන්ටයින් අත්තක් කපන්න ගත්තේ වෙසක් කාඩ් කඩේ වහලේ හරස් ලීයට දාන්න හිතාගෙන.

ලියේ උඩ දණහිස තියා ගත් මම ඒ කෙලවරට ගහපු වක් පිහිපාර කෙලින්ම මගේ දකුණු දණහිස පසාරු කළා.

මතකේ හැටියට එච්චර ලේ ආවේ නෑ.

මම වක් පිහියත් අතින් අරගෙන තුවාලයත් අතින් වහාගෙන කුස්සිය දිහාවට කන්ද නැග්ගා.

අඩිය තියන වාරයක් පාසා "චර චර" ගාමින් මගේ දණහිස සද්ද වෙනවා.

ලොකු තුවාලයක් තිබුණත් මට බයස් දැණුනේම නෑ.

"අම්මා මගේ කකුල කැපුනා"

දෙය්යනේ!!  ලොකු තුවාලයක්  නේ. චුටි පුතා උඹ මොනාද මේ කරගත්තේ?

තුවාලේ තරම දැක්ක අම්මා හොඳටම භයවුණා.

එතකොට වෙලාව හවස හය හමාරට විතර ඇති.

හරිනම් ඒ   වෙනකොට  තාත්තා වෑන් එකේ වැඩ ඉවර කරලා පුන්චිරාළ මාමලා කඩේට ඇවිත් ඉන්න ඕනේ.

"චුටි දුවලා ගිහිං බලපන් තාත්තා පුංචි රාළ මාමලා කඩේද ඉන්නේ කියලා.

ඉක්මනට එන්න කියපං මල්ලි ඉස්පිරිතාලේ ගෙනියන්න.

මේකා හුඟක් යටට කපාගෙන. ඉස්පිරිතාලේ නවත්තන්නත් වෙයිද දන්නේ නෑ . ඉක්මනට පලයන් ඔතන බලා ඉන්නේ නැතිව. "

අම්මා වහ වහා අක්කා වෑන් එක ගේන්න පිටත් කර යැව්වා.



ටික වෙලාවකින් පුංචි රාළ මාමලා වෑන් එකත් අරගෙන තාත්තා ආවා. ඉස්සරහ සිට් එකේ පුංචි රාළ මාමත් හිටියා.

දෙන්නම තරමක් අනුමත වී තිබුණු බවයි පෙන්න තිබුණේ.

"හා නගින්න නගින්න පුතා "  මාමා මාව ඉක්මන් කෙරෙව්වා.

"බලන්නකෝ අය්යා මේ කොල්ලත් කර ගන්න දේවල් .

ගියා මහා ලොකුවට වෙසක් කාඩ් කඩ දාන්න "

අම්මා  මගේ ඔළුව අතගාමින් පැවසුවා.

"ලොකු තුවාලයක් අය්යා . මෙයාට නම් ගාණක් වත් නෑ.  අච්චර දුරක් ඇවිදන් ආවනේ සද්දයක් වත් නැතිව

හිරිවැටිලා වෙන්න ඇති මයේ හිතේ "

 ඇය මම මෙතරම් ගැඹුරු තුවාලයක් තබාගෙන මීටර් 100-200ක් ඇවිදගෙන ආ එක ගැන පුදුම වෙමින් පැවසුවා.

" හරි අපි යන් එහෙනම් . නංගි එන්න ඕනේ නෑ . අපි දෙන්නා ගිහින් එන්නම් "

පුංචි රාළ මාමා අම්මාට පවසනවාත් සමගම ඩෙලිකා එක නගරය බලා පිටත් වුණා.

හෙලමුදුන ඉස්පිරිතාලේ ලං වෙද්දී  පුංචි රාළ මාමා තම හඬ අවදි කළා.

"දොරේ අපි විජයජෝති එකට යන් . දැන් ඉස්පිරිතාලේ ගියොත් ඔතන ගොඩක් වෙලා බලන් ඉන්න වෙනවා.

මහත්තයා තව ටිකක් රෑ වෙනකන් දිස්පැන්සරියේ ඉන්නවා"

තාත්තාත් කිසිත් නොකියා තම හාම්පුතාගේ අදහසට එකඟවෙමින් වෑන් එක නගරය බලා ධාවනය කළා.

පුංචි රාළ මාමා ලොකු මුදලාලි කෙනෙක් නිසා ඒ කාලේ බෙහෙත් ගත්තේ "විජයජෝති එකෙන්"

ඒක  ඉස්සර ඉස්පිරිතාලේ හිටපු විජයජෝති කියන දෙවැනි මහත්තයා ගේ බෙහෙත් සාප්පුව.

"ඉන්න දොරේ මම මහත්තයා ඉන්නවද බලලා එන්නම් "

බෙහෙත් සාප්පුව ලඟට ගිය සැණින් පුංචි රාළ මාමා ඉස්සර වුණා.

මමත් තාත්තාත් වෑන් එකට වෙලා ඉන්නවා.

"දොරේ මහත්තයා නම් ඉන්නවා. හැබැයි ටිකක් බීලා ඉන්නේ .

 පුතා එක්කං එන්න කිව්වා බලන්න."

මාමා ගේ හිතවත් කම නිසා දොස්තර මහතා මා බලන්නට එකඟ වූ සෙයකි.

තාත්තාත් මමත්  මාමා පසුපසින් විජයජෝති එක ඇතුළට ගියෙමු.

"කෝ වාඩි වෙන්න බලන්න " දොස්තර මහතා මා පරික්ෂා කරන්න පටන් ගත්තා.

" පිහියේ තුඩ නේද වැදුනා කිව්වේ?

ටිකක් ඇතුළට කැපිලා.  මේකට මැහුම් දාන්න වෙනවා.

ලෝකල් දිදී ඉන්න ගියොත් තවත් රිදෙනවා. අපි මෙහෙම්මම මහලා දාමු "

දොස්තර මහතා අමු අමුවේම මගේ තුවාලය මහන්නයි සුදානම.

"මිසී ඔය සුචර් ට්‍රේ එක ලැස්ති කරන්න.  ලෝකල් ඕනේ නෑ "

තාත්තාගේ  හෝ මාගේ විරෝධයක් නැති බව දුටු ඔහු වැඩට බැස්සා.

මතක හැටියට විජයජෝති බැලුවේ තුවාලේ ගැන විතරයි.

 රුධිර සැපයුම ,ස්නායු හෝ පේශි ක්‍රියාකාරිත්වය වැනි දේවල් චෙක් කිරීමක් විජයජෝති අතින් සිදු වුණේ නෑ.

මගේ නහයට ඔහුගේ මුවින් පිටවන මධ්‍යසාර ගඳ වහනය වෙද්දී  ( මින් යම් තරමක නිර්වින්දනයක්  සිදුවන්නට ඇති )  විජයජෝති  ජරබර ගා මගේ තුවාලය මැහුම් හතරකින් වසා දැම්මා.

තම ඉදිකට්ටට ලොකු බයිට් එකක් නොගත් ඔහු මැහුම් දැම්මේ සමේ උඩම ස්ථරයට පමණයි.

  මෙය  සනාථ වුයේ සති කිහිපයක් ගත වෙද්දී තුවාලය සනීප වුවද මගේ දණහිස කොට්ට ගෙදයක් මෙන් ඉදිමෙන්නට ගැනීමත් සමගයි.

මැහුම් දැමීමෙන් පසු බෙහෙත් කරල් තොගයක්  මට ලියා දුන් ඔහු මැහුම් කපන්නට දවස් හතකින් එන ලෙස පවසා අප පිටත් කලා.

"රුපියල් එකසිය පනහයි . " ගාණ කියද්දී තාත්තා උඩ ගිය බව පෙනුණත් පුංචිරාළ මාමා ඔහුගේ බිය තුනී කලේ

"දොරේ මම බිල ගෙවන්නම් " කියමින්.

කාලය ගෙවී ගොස් තුවාලය වියලුනු අතර විජයජෝති මහතා මැහුම් කැපීමෙන් පසු අපි ඔහුගෙන් ඉවත් වුණා.

එහෙත් මගේ දකුණු දණහිස වමට වඩා ඉදිමෙන්නට පටන් ගත්තා. ලොකු කැක්කුමක් තිබුණේ නැති නිසා මම පුරුදු පරිදි පාසල් යන්නත්  ගොවි තැන් වැඩ කරන්නත් පටන් ගත්තා.

ඉදිමුම පෙනන්න ගියේ තවත් දොස්තර මහත්තයෙක් ලඟට ඒ  අපේ පැත්තේ MOH (Medical Officer of  Health)මහත්තයා ඔහුගේ නිලනිවසේ ගරාජයේ කල ප්‍රයිවට් එකට.

සතිපතා ඔහු ලඟට යන අපට බෙහෙත් කරල් පොදියක් (amoxcyllin සහ cloxacillin) දෙන ඔහු

"මේ බෙහෙත් ටික බීලා බලමු ඉදිමුම් බහියි"කියමින් අප අස්වැසුවා.

මාස දෙක තුනක් ගිය තැන ඉදිමුම අඩු නැති නිසා තාත්තා මාව බදුල්ලේ central එකට අරන් ගියේ ස්ර්ජන් කෙනෙකුට පෙනන්න.

"මේක  අයින් කරන්න ඕනේ.  හෙට සර්ජරි එක කරනවා අද 18 වාටුවට ඇතුල්වෙන්න"

මගේ දණහිස  පරික්ෂා කල ස්ර්ජන් මහත්තයා පැවසුවා.

මගේ වර්තමාන දැනුම අනුව සිද්ධිය මෙසේ සම්පිණ්ඩනය කල හැකියි. :

දණහිස අවට ඇති පටක වර්ග , සම සහ අනිකුත් ස්තර ගැන කිසිදු අවභෝදයක් නොතිබූ පරන්ජෝති

(ඇපොතිකරි පාඨමාලවට  ගොඩක් human anatomy උගන් වන්නේ නැත)  යටින් ඇති ස්තර සියල්ල අමතක කර  හමේ ඉහල ස්ථරය පමණක් මසා තිබේ.

එහෙත් මගේ වක් පිහි පහර කෙලින්ම දණහිස් සංදියේ ඇති  ලසිකා පටලයද සිදුරු කර හංදිය තුලටම ගොස් තිබේ.

මට ඇතිවී තිබුණේ එම පටල අතර ලේ එකතු වීම නිසා ඇතිවූ joint effusion එකකි.

මගේ වෙලාවට එය ආසාදනය නොවී තිබුණි.

 MOH දුන් ප්‍රතිජීවක එම ආරක්ෂාවට හේතුව වුවද  නිට්ටාවටම සුව වීමට අවශ්‍ය ශල්‍යකර්ම ගැන MOH වත් සිතුවේ නැත.

හංදිය අසාදනය වී septic arthritis නම් තත්වයට ගියා නම් අද මෙය ලියන්නට කවිඳු කෙනෙක් නැත.


කව්ද මේ දෙවැනි මහත්වරු (ඇපොතිකරි වරු ) ?

මා දන්නා හැටියට දෙවනි මහත්වරු හෙවත් AMP වරු තෝරාගත්තේ  උසස් පෙළ වැඩ 3ක් සමත් අයගෙනි.  

මැතිවරණ කොට්ටශයකින් එක් අයෙක් මේ සඳහා බඳවා ගත් අතර ඔවුන්ට අවුරුදු දෙක හමාරක පුහුණුවක් ලබා දෙන ලදී. 

මගේ මතකය නිවැරදි නම් ඔවුන් පුහුණු කෙරුණේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ ආයතනයකයිනි. 

සමන්තත්  සමග උසස් පෙළ කල ඔහුගේ පන්ති සගයෙක් 1984 දී අපේ ගමෙන්  AMP කෝස් එකට තේරුණා මතකය. 

ඒ කාලේ අපේ සමන්ත කිව හැටියට  (උසස්පෙළ ප්‍රතිඵල මේඩිසින් යන්න මදි වේවි යැයි සිතු සමන්තද  AMP ට්‍රයි කලා මට මතකය)  පළාතේ මන්ත්‍රී තුමාගේ අත්සන මේ අයදුම් පත්‍රයට අත්‍යවශ්‍ය විය.

ඒ අනුව ශ්‍රී ලංකා කාරයකු වූ සමන්තට නොලැබුණු මන්තී‍්‍ර අත්සන ආර්. ඇම්. අප්පුහාමි මහතා ගෙන් ලබා ගත් සුමින්ද අය්යා අපේ පළාතෙන් AMP කෝස් එක කරන්නට ගියේය.  (සුමින්දට තිබුණේ වැඩ හතරකි).

සුමින්දට වඩා හොඳ ප්‍රතිඵල ගත් අපේ සමන්ත පේරාදෙණියේ රජයේ විශ්ව විද්‍යාල උපාධිය සඳහා තේරුණේ අප කාගේත් සිත් සතුටු කරමිණි. 

මේ AMP වරු තේරෙන ක්‍රමය ගැන එක් කතාවක් පමණි. 

ඊට පෙර වසරක අපේ පැත්තෙන් AMP ගොස් තිබුණේ  ශ්‍රී ලංකා එකේ ප්‍රභල සාමාජිකයෙකු ගේ පුත් රුවනකි ( පසු කලෙක එම ශ්‍රී ලංකා සාමාජිකයා ඌව පළාත් සභා මන්ත්‍රී කෙනෙක් වුණා මට මතකය ) 

පැවති රජය යුඇන්පී වුවද තාත්තගේ සම්බන්ධ කම් හරහා මේ කියන තැනැත්තා  AMP යන්නට ඇත. 

මුල් කාලයේ වතු දොස්තර වරු ලෙසත් , පසුව රෝහල් බාහිර රෝගී අංශ වලත් සේවය කල මේ AMP වරු පසුකාලීනව  පුද්ගලික අංශයට  හෝ ත්‍රිවිධ හමුදා ආදියට අනුයුක්ත වුහ. 

මම පේරාදෙණිය වෛද්‍යපීටයේ උගන්වන කාලය වනවිට AMP පාඨමාලව නවතා දමා තිබිණි. 

ප. ලි. 

බ්ලොග්, මුහුණු පොත් ආදියේ හෝ ඔබ අපට එදිනෙදා හමුවන "දොස්තර මහතුන්"අතර AMP මහත්වරු වේ නම් ඒ අය 

මේ විජයජෝති මහතා වැනි සහ  මන්ත්‍රී චිට් වලින් අපේ ගමෙන් ගිය අය්යලා දෙන්නා වැනි අය  විය හැකි බවද/ සමහර විට එසේ නොවිය හැකි බවද කරුණාවෙන් සලකන්න.

ඊලඟ  කොටස මෙතනින් 

Saturday, 18 February 2017

මා ආ මග (මම ඔස්ට්‍රේලියාවේ සායනික වෛද්‍ය වරයෙක් වෙන්නට කල දේවල්)


මේ දිනවල ලන්කාවේ  වැඩිපුරම  කතාවෙන  මතෘකාව  තමයි පෞද්ගලික  අධ්‍යාපනය  සහ  එය  ප්‍රමිතිගත කිරීම.

සායනික වෛද්‍ය වරයෙක් වෙන්නට කල යුතු  දේවල් මොනවාද යන්න ගැන හරි අවබෝධයක් නොමැති අය පවා  බ්ලොග් අවකාශයේ වෛද්‍ය වරුන් දැඩිලෙස විවේචනය කරන අයුරුද දුටුවෙමි.

මේ බ්ලොග් පොස්ට් මාලාව වෛද්‍ය අධ්‍යාපනයේ විවිධ පැති ගැන සාකච්චා කිරිමට යොදා ගන්නට සිතුවේ එබැවිනි.

මේ කතාබහට  ශ්‍රි ලන්කාවේ දැනට වෛද්‍යවරුන් ලෙස වැඩ කරන/හඳුනා ගන්නා කන්ඩායම් කිහිපයක් ගැනත් කියන්නයි මගේ බලාපොරොත්තුව


"පොදු, පෞද්ගලික හෝ විදේශගත" යන කුමන අකාරයකින් කලත් වෛද්‍ය අධ්‍යාපනය ලෙහෙසි පහසු එකක් නොවේ.

මේ කන්ඩායම් වලින්  සමහරකට (විදෙස් උපාධි ලබා ගත් අය අයට)  ඊටත් වඩා අමාරු  වන්නේ සායනික වෛද්‍යවරයෙක් ලෙස ලන්කාවේ ලියාපදින්චි විමේ කටයුත්තයි.

ඒ අපහසුතාවට ඒ අකාරයෙන්ම හෝ ඊටත් වඩා වැඩියෙන් ලන්කාවෙන් විදේශගත වන වෛද්‍ය වරුනට  මුහුන දෙන්නට සිදුවන හැටි  ඉදිරියේදි  ..

අනාගත විදෙස් රැකියා බලාපොරොත්තුවෙන්   වෛද්‍ය අධ්‍යාපනය ලබන ඔබටත් මෙය මහඟු පිටිවහලක් වේවි!!!

ඊලග කොටස මෙතැනින් ( මා අග මගට පෙර වදනක් )

ඔස්ට්‍රේලියානු වෛද්‍ය කවුන්සිලයේ ලියාපදිංචි විමේ තොරතුරු 

ඔස්ට්‍රේලියානු වෛද්‍ය කවුන්සිල  විභාගය පලමු කොටස  ( AMC part 1)

Wednesday, 15 February 2017

වැටුනත් නැගිටින සුමීර



දෙදහස් හයේ  ජනවාරි  වල සිදුකල මග නැගුම හා ගම නැගුම වැඩ වලදී සුමිර අවසාන වතාවට දුටු අප ඔහුගේ පියාගේ හදිසි අභාවය ගැන අසා බොහෝ සේ කම්පා වීමු.

ඊට අමතරව මැද පෙරදිග ගොස් එහිම නතර වූ ඔහුගේ මවගේ කතාවද සුමිර ගැන අපට කියා පෑවේ  ඔහු තවත් අසරණ වූ  තත්වයේ කතාවකි .

එහෙත්  ලීල් නැතිවී මාස කිහිපයක් ගත වූ තැන අළු ගසා දමා නැගිටින්නට සුමිර තීරණය කර තිබිණි.

ඒ බව අපට ආරංචි වුයේ නිම්මිත්  ඇයගේ නංගි අමරාත් අතර වූ දුරකථන සංවාදයක් තුලිනි.

"ඒයි ඒක නෙවෙයි මොනවද ගමේ අලුත් ආරංචි එහෙම? "

නිම්මි තම සුපුරුදු පැනය යොමුකළේ කතාවේ මැද හරියකදීය.

' ඔයාට මතකද අර ඇක්සිඩන්ට් වුණ සුමීර?"

"ඔව් ..ඔව්  මේ අය්යත් එක්ක ඉස්සර වත්තේ එහෙම වැඩකලේ එයානේ ?"

" අන්න හරි ,... සුමිර දැන් රස්සාවකට යනවනේ "

" කොහෙද කොහෙද?  ඒ ළමයා ගේ මොළේ ට හානිවුණ නිසා වැඩක් පොලක් නොකර නිකන් ඉන්නවා කියලා නේද කිව්වේ ?"

" ඒ ලීල් ගෙදර ඉන්න කාලේ නේ . ලීල් මැරුණට පස්සේ සුමිරලාට සල්ලි වලින් තවත් අමාරු වුණා .

ඒක හින්දා වෙන්න ඇති මේ ලඟදි  ඉඳලා  සුමිර  අර  පින්නවල  කඩදාසි හදන තැන වැඩට යනවලු. "

" පින්නවල කඩදාසි  කම්හලක්  තියෙනවාද ? එහෙනම් අලුත දාපු එකක් වෙන්න ඇති ?"

" ඇයි දන්නේ නැද්ද අර අලිබෙටි වලින් කඩදාසි හදන්නේ අන්න එතන තමයි  එයා වැඩ කරන්නේ . සතියේ දවස් පහම වැඩලු. .

සුමිර හොඳට එකේ වැඩ අල්ලාගෙන යනවලු. මාසේ අන්තිමට  අත්තම්මා අතටත් ගානක් දෙනවා කියන්නේ ? "

"කවුද කිව්වේ ? "

"ලීල්ලැයි අම්මම තමයි කිව්වේ මේ ලඟදි මෙහේ ආව වෙලාවක "

"නියමයිනේ .. එහෙනම් සුමිර සාමාන්‍ය අතට හැරුණා? අපේ බයේ හිටියේ කොල්ලා දිගටම අමුතු වෙලා ඉඳියි කියලා "

"ඔව් .. ඔව්   හැබැයි ඉස්සර වගේ නෙවෙයි දැන් එයා ටිකක් අඩුවෙන්  තමයි කතා කරන්නේ .

ඒ වුනාට  ආත්තම්මා එක්ක  නම් හරි එකතුයිලු.   ලැබෙන පඩිය එහෙම්මම ආතම්මා අතට දෙනවලු. "


සුමිර නැවතත් අපට හමුවෙයි 


මෙවර අප ශ්‍රී ලංකාවට ගියේ හරියටම අවුරුදු තුනකට පසුවයි.  

මෙවර ලංකාගමනය තනිකරම නැවත හමුවීම්. අලුත් හමුවීම් ආදියෙන් පිරි තිබුණු එකකි. 

මට මතක හැටියට 2014 සිදු වූ අපේ ලංකාගමනේ දී සුමිර අපට හමු වුවේ නැත. 

එහෙත් මෙවර මා නිම්මිලා ගෙදරට පැමිණ ඇතිබව දෑන ගත් සුමිර  සිය ආත්තම්මා සමග අප බලන්නට ආවේය.

"පුතේ පුතේ  මෙන්න යාළුවෙක් ඇවිල්ලා...... අය්යා බලල යන්න ඕනේ කියලා "

නිම්මිලා අම්මා   ඇතුල් කාමරයේ සිටි මා අමතන හඬ සාලය දෙසින් ඇසෙන්නට  විය.

"බණ්ඩාරවෙල ගිය වෙලාවේ ඉඳන් යාලුවෝ නෑදැයෝ මග දිගට  

පාරේ යන ඔක්කොම මෙයාගේ අක්කලා හරි නැන්දලා හරි .

 ගමනක් යන්න පාරට බැස්සොත් අඩියෙන් අඩියට වාහනේ නවත්තනවා නෑදෑයින්ට කතා කරන්න.


කවුද අම්මේ ඔය අය්යා බලන්න ආපු මල්ලී ? "

මට කලින් නිම්මි අමුත්තාගේ විස්තර ඇසුවාය.

" මේ සුමිර  ඇවිල්ලා අත්තම්මත් එක්ක . ඔයාල ඇවිත් ඉන්න බව කිව්වහම එන්න ඕනේ කිව්වලු අය්යා බලල යන්න "

"ආ සුමිරද ?  කොහොමද අම්මා දිගටම අතන වැඩ කරනවද ? "

" ඔව් ඔව් දැන් අවුරුදු ගානක්ම ඒ කඩදාසි හදන තමයි එයා වැඩ" 

නිම්මිත් අම්මාත් සුමිර ගැන කතා කරන අතරම  මම  සුමිර ඉන්නා තැනට පිය මැන්නෙමි.   

එතෙක් අම්මා සමග කතා කරමින් සිටි නිම්මිද  මා සමගම සුමිර සිටි තැනට ආවාය. 

" හා සුමිර කොහොමද ?  අද වැඩ නැද්ද? "

" හොඳින් ඉන්නවා . මම වැඩට යන්නේ සතියේ දවස් වල විතරයි " 

යැයි පිළිතුරැ දුන්නද කිසියම් අධික  කුලෑටි ගතියක් සුමිරගේ  පිළිතුරේ ගැබ්වී තිබිණි 

මා සහ නිම්මි  ඇසු ප්‍රශ්න වලට සුමිරට වඩා පිළිතුරු දුන්නේ ඔහුගේ ආත්තම්මා විසිණි.

"දැන් ගජ ඉලංදාරියෙක් නේ ?   කසාදයක් බඳින්නත් කාලේ හරි වගේ "

මම නැවතත් සුමිරට පැවසුවේ ඔහුගේ අවධානය මා දෙස යොමු කරගනිමිනි.

කුලෑටි ගතියක් පෙන්වා සිනහසුණු ඔහු එතැනින් එහාට මාතෘකාව ගෙන යන්නට උනන්දු වුයේ නැත.

එහෙත් මා එසේ පවසද්දී සුමිරගේ අත්තම්මාගේ නෙත් දිලිසී නිවී ගියේ කිසියම් බලාපොරොත්තු සහගත හැඟීමක් නැතිවම නොවේ.


සුමිරලාගේ අනාගත බලාපොරොත්තු




තම පියාගේ අභාවයෙන් පසු සුමිර ජිවත් වුයේ ඔහුගේ බාප්පා ගේ නිවසේය ( ලීල් ලා මහා ගෙදර) .

සුමිරට අමතරව අත්තම්මා සහ මල්ලිද එම නිවසේ වාසය කළෝය.

අවුරුදු 23ක් වූ ඔහුගේ  නංගි  මේ වන විටත්  ඔවුන්ගේ ආත්තම්මා විසින් විවාහ කරදී තිබිණි.

සුමිරගේ අනාගත සැලසුම් ගැන අප දැන ගත්තේ ඔවුන්ගේ අත්තම්මා සහ නිම්මිලා අම්මා අතර වූ සාකච්චාවක ප්‍රතිඵලයක් වශයෙනි.

එම ආරංචියට අනුව සුමිර  කාමර දෙකක් සහිත ගෙයක් හදාගන්නට සුදානම් වෙමින් සිටියි.

 ඒ අත්තම්මා සහ බාප්පා විසින් වෙන්කර  දී ඇති කුඩා ඉඩම් කැබැල්ලකයි.

ඒ ඉඩම් ඇත්තේ  බාප්පා සිටින වත්තේම කොටසක බවයි නිම්මිලා අම්මා පවසන්නේ.


කාමර දෙකක්  ගොඩනැගීම සඳහා සුමිර විසින් මේ වනවිටත් අත්තිවාරමක් දමා ඇති බවත්,   නිම්මිලා අම්මාගේ ගෙවල්  හදා දෙන බෑණාගේ උදව් ඒ වෙනුවෙන් ලබා දෙන්නට පුළුවන් නම් හොඳ බවත්   සුමිරලා ආත්තම්මා වැඩි දුරටත් පවසා තිබේ.

සුමිරට  උදව් කරන්නට  මා මෙන්ම නිම්මිද කැමැත්තෙන් පසුවෙයි .

එය  හොඳ ආරම්භයකි.

එහෙත්  බණ්ඩාරවෙල  ප්‍රදේශයේ නිවාස හතරක්  ගොඩ නැංවීමට සහය වීමේ ප්‍රතිඵලයක් ලෙස    (මානසිකව) ඉතා වෙහස කර තත්වයකට පත්වූ   මම  තවමත් ඉන්නේ පාදයක් පසුපසට තබා ගෙනයි.


එම වෙහෙසට හේතුව ලෙස මා දකින්නේ  එක් නිවසක හිමිකරුගේ මව  (චමින්දගේ මව ) විසින් ගමපුරා කරගෙනයන   "මහත්තයලා අපේ ගේ හදා දුන්නේ භාගෙට " යන ප්‍රචාරය සහ එම ප්‍රචාරය අපේ වැඩ අධීක්ෂණය කල අපේ තාත්තා ඇතුළු ගෙදර අයට බලපා ඇති ආකාරයත් ය.


එමෙන්ම අනෙකුත් නිවාස හිමි පවුල් දෙක  ( ඇලෙක්ස්/ දයානි පවුල  සහ  රංජිත් රාජපක්ෂ පවුල )  සහ මා අතර ගොඩනැගී ඇති සමිප මානුෂිය හිතවත් කම්ද  අපේ බොහෝ දෙනෙකුට දිරවන්නේ නැත.

ඒ  නිසාම මා හා නිම්මි ඇතුළු පවුලේ සැම සාමාන්‍ය හිතවතුන් ලෙස  ඒ ගෙවල් වලට යෑම අවහිර කල "අපේ අය"  එය මා විසින් පමණක් සිදුකල  " official visit"  එකක් බවට පත්කර සතුටු වුහ.


දැන් අපි සුමිරගේ නිවසේ වැඩට  බැස්සහොත් එවැනිම "මානසිකව හිරිහැර කාරී" තත්වයක්  මාවනැල්ල ගමේද ඇතිවේවි යැයි සාධාරණ  "භයක්/සැකයක් " මා සිතෙහි මෙන්ම  නිම්මි  තුලද ඇතිවී තිබේ.

අපි සුමීරාලට උදව් කල යුතුය . එහෙත් එහි "සිමාව කොතැනකදැයි"  මම තවම සිතමින් පසුවන්නෙමි.


වෙනත් අයුරකින් කිවහොත්,  අපේ පුද්ගලික සහය පමණක් පළකර ඉතිරිය සුමිරටම  කර ගන්න ඉඩ හරිනවාද ?
නොඑසේනම්  මුල් නිවාස හතරේදී මෙන්  අනෙකුත් හිතවතුන්ද එක් කරගෙන   "ඉස්සර මෙන් ලොකු  වැඩකට අත ගසනවාද?"  යන්න තවමත්   මසිතේ රැඳුනු පැනයකි.

අප ඉදිරියේදී සුමිරලා  ගේ නිවසේ ගමන්මග කොයිදෙසටද  යන්න ගැන කතා කරමු.


Saturday, 11 February 2017

කබලෙන් ලිපට



සුමීර   දැඩි සත්කාර ඒකකයට  ගෙන යෑමට තරම් බරපතළ වූ හදිසි අනතුර ගැන පසුගිය පොස්ටුවෙන්  ඔබ හා කතා කලෙමි.

එහි සඳහන් කල පරිදි නිම්මිත් මමත් දිනපතා වැඩට යන ගමන් හෝ වැඩ ඇරී එන ගමන් ඔහු ගේ විස්තර බලා එන්නට අමතක නොකළෙමු.

මෙසේ දින අටක් හෝ දහයක් ගත වෙද්දී  සුමීරට සිහිය ආ  බව නිම්මිට දැනගන්නට ලැබී තිබුණි.

අපේ කුඩා මිතුරාට  නැවතත් පියවි සිහිය ලැබීම ගැන සතුටු වූ අප ඔහු බලන්නට ගියේ ඔහු කුමන ආකාරයකින් අප හඳුනා ගනියිදෝ යන දෙගිඩියාවෙන් යුතුවයි.

සිහිය ආ මුල් දවස් වල සුමීරට  රිය අනතුර හෝ ඊට ආසන්නයේ සිදුවූ දේවල් පිළිබඳව හෝ මතකයක් තිබුනේ නැත.

ඒ නිසාම ඔහුට නිම්මි අක්කගේ හෝ ඇයගේ ස්වාමියාගේ විශේෂ වැදගත් කමක්ද පෙනුණේද නැත.

දොස්තරවරුන්ගේ මතය වුයේ සුමීර ගේ  මස්තිෂ්කයේ හැඟීම් පාලනය කරන කොටස වූ පුර්ව මස්තිෂ්කය  (frontal lobe) කොටසට හානි වීම නිසා ඔහුගේ හැසිරීමේ බරපතළ වෙනස් කම් විය හැකි බවයි.



මේ වෙනස් කම් වලට සමාජශීලි වීමේ වෙනස්කම් , මිනිසුන් සමග හැඟීම් හුවමාරු කරගැනීමේ වෙනස්කම් ආදිය ඇතුළත්ය.

ඒ කෙසේ වෙතත් සුමීර නැවත පියවි  සිහිය ලැබීම ගැන ඔවුන්ගේ පවුලේ අය වගේම අපිද සතුටු වූයෙමු.

සුමීර අප සමග අනතුරට පෙර දැක්වූ ඇඟලුම් කමෙහි අඩුවක් නොවුනද  ඔහු අප හා කතා බහ කරද්දී  මෙම සමාජශීලි නොවන ගතිය කැපී පෙනුණා කිවොත් නිවැරදිය.





මෙසේ  ක්‍රම ක්‍රමයෙන් සනීප වූ සුමීර නැවත ඔහුගේ දෙමව්පියන් සමග කුලියාපිටියේ නිවසට ගිය අතර.  මාස ගණනාවක් යන තෙක්ම අපට ඔහු ගැන හෝ ඔහුගේ පවුලේ අය ගැන හෝ ආරංචියක් ලැබුනේ නැත.

අපට නැවතත් සුමීර මුණගැසෙන්නේ  2004 වසරේදීය . ඒ  පශ්චාත් උපාධිය සඳහා  ශිෂ්‍යත්වයක් ලැබ නෙදර්ලන්තයට  ගිය මා සමග නිම්මිත් සුපුනුත්  එකතු වීමත් සමගයි.

එතෙක් අපේ නුවර කුලී නිවසේ තිබු සියළුම බඩු භාණ්ඩ ( පුටුසෙට් , අල්මාරි , ශීතකරණය ආදිය) නිම්මිලා නිවසට ගෙනත් දාන්නට අපි තීරණය කළෙමු.

පාරේ සිට නිම්මිලා ගෙදරට බඩු අදින්නට ආ පිරිසේ පුවක් බාස්, සුමිරගේ තාත්තා ලීල් මෙන්ම අපේ කුඩා හිතවතා සුමිරද වුහ.

කුලීවැඩ කිරීමෙන්ම ඇඟ පත හැදී පාංශු දේහධාරියෙකු  ලෙස දිස්වූ  ලීල් පුවක් බාස් මෙන්ම කඩිසර අයෙකි.

 මේ කියන දවසේ බඩු අදිමින් සිටි ලීල්  අපේ  ෆ්‍රිජ් එක තනියම කරේ තියාගෙන නියර දිගේ ආ හැටි මට තාමත් මතකය.

ලීල් ගේ පස්සෙන්  නිම්මිගේ  කුඩා කැසට් රේඩියෝව රැගත් සුමිර එනවා දුටුවෙමි.

එසේ අපේ බඩු අදින්නට පැමිණ සිටි  සුමිර  අපට හමුවන විට ඔහු සැහෙන්න සාමාන්‍ය අතට හැරී සිටියේය.

එහෙත් මාත්සමග වගා කරද්දී තරම් කුළුපග බවක් ඒ වන විටත්  සුමීරගෙන් දිස්වූයේ නැත.

 ඒ   වසර කිහිපයකට පෙර සිදු වූ හදිසි අනතුරේ බලපෑම නිසා විය යුතුය.

මේ වන විට සුමිරලා අම්මා නැවතත්  මැද පෙරදිග ගොස් සිටි අතර  (ආරංචියේ හැටියට ඈ සුමිරගේ  හදිසි අනතුරින් ටික දවසකට පසු නැවත මැදපෙරදිග ගොස් තිබේ)  එවර රටින් පිටවූ ඈ කිසි දිනක නැවතත් ලංකාවට පැමිණ නැත.

2004 වනවිටත්  අම්මා නැති සුමිර , ඔහුගේ මල්ලි සහ නංගි සමග  මාවනැල්ලේ ආතම්මා ළඟ ජිවත් වුයේ ඒ  නිසාය.

ඒ වනවිට  සුමිරගේ තාත්තා  ඔවුන් සමග සිටියද  දවල් කාලයේ කුලී වැඩ කර ලැබෙන මුදලින් හවස් වෙද්දී   කසිප්පු හෝ අරක්කු වලින් සප්පායම් වන්නට පුරුදු වී සිටියේය.

2004  රටින් පිටවූ අපට සුමීරලා ගැන නැවත දැනගන්නට ලැබුණේ නිම්මි සහ අමරා අතර සිදු වූ දුරකථන සාකච්චා වලදී පමණි.

ඒ කාරණා අතර  පුවක් බාස් ගේ දියණියගේ වයසේ වූ සුමිරගේ නංගි අඩු වයසින් විවාහ කර දීම සහ  සමීරගේ මල්ලිගේ දඩබ්බර ක්‍රියා නිසා ගමේ අනෙක් අයට සිදු අලාභ ආදිය ගැන විස්තරද විය.

සුමිරලා  කබලෙන් ළිපට 

මේ කියන කාලය වන විට අප සිටියේ  නෙදර්ලන්තයේ නොව ඕස්ට්‍රේලියාවේය.  

හරියටම කියනවා නම්  මේ කාලය වෙද්දී අපේ  ගම නැගුම , මග නැගුම ආදී මාවනැල්ලේ සියලු සංවර්ධන කටයුතු අවසාන කර වසර දෙකක්  වත් ගතවී තිබිණි.

මා එසේ කියන්නේ අපේ ගම නැගුමේ වැඩ වල වැඩ කල සගයින් ( දිනපතා වැටුපට )  අතර  පුවක් බාස්, ගනේවත්ත , සුසන්ත පමණක් නොව සුමීරගේ පියා ද වූ නිසාය. 

එදා හදිසියේ අමරාගෙන්  නිම්මිට ලැබුණු දුරකථන ඇමතුමකි. 

" හලෝ  කොහොමද ? මොනවද විස්තර ඔය පැත්තේ ? "

"විස්තර තමයි හරි වැඩේනේ    අන්න ලීල් හදිසියේම පපුවේ අමාරුවක් හැදිලා මැරිලා "

" මොනවා අර සුමිරගේ තාත්තා ?"

" ඔව් ඔව් ඒ ලීල් තමයි.  අද දවල් පල්ලැහැ පැත්තේ කුඹුරක වැඩ කර කර ඉද්දි එක පාරම පපුව රිදෙනවා කියලා . 

එවෙලේම ඉස්පිරිතාලෙට ගෙනිච්ච්ලු . ඒත් යනකොටත් පණ ගිහිල්ලලු "

"අපරාදේ දැන් සුමිරලාට අම්මාත් නෑ , තාත්තාත් නෑ . 

පවු අසරණ ළමයි " .

දුරකථන සංවාදය අවසන් වුයේ සුමිරලාට අම්මා පමණක් නොව තාත්තාද නැතුව ගිය නරක ආරංචිය අප වෙත  ලබා දෙමිනි.

අපි නැවතත් සුමිර ලා පවුල ගැන ශෝක වූයෙමු . 

Friday, 10 February 2017

'A Lush Countryside in Sri Lanka' a Painting by Lasith Kulasekara!




මේ  වීඩියෝවේ  තියෙන්නේ  අපි මහියංගණේ සොරබොර වැව  බලන්න ගිහිං  ගත්තු  දර්ශනයක්අ පේ පුතා චිත්‍රයට නගපු හැටියි.

Wednesday, 8 February 2017

ජීවිතයත් මරණයත් අතර සටනක


මෙතෙක් කතාව

නිම්මිලා ගෙදර ගිය මුල්ම දවස් වල මට සුමීර මුණගැහෙන්න ලැබුණු හැටි ගිය වර පොස්ට් එකෙන් ඉදිරිපත් කලෙමි.
එදා සුමීරත් එක්ක අවර වැලට මැස්ස ගැසීමෙන් පසු සති දෙක තුනක්ම සුමීර  මගේ අත් උදව්වට  ආවා.

මමත් සුමීරත් එකතු වී කල වැඩ අතරට නිම්මිලා ගෙදර  අවට  කල කෙසෙල් වගාව , ගම්මිරිස් සහ එනසාල්
වගාවත් ඇතුලත්. සති අන්තයේ මාවනැල්ලේ ගොස් නිම්මිලා ගෙදර අය බලන අතරේ මගේ සහ සුමීරගේ වගා හවුලද කෙමෙන් කෙමෙන් ඉදිරියට ඇදුනා.

සතියේ දවස් වල නිම්මිත් මමත් දෙදෙනාම වැඩට යන නිසා මාවනැල්ල ගැන සොයාබැලෙන්නේ  හරි අඩුවෙන් .

එදා  සතියේ මැද දවසක් . උදේ පාන්දරම මගේ  ඇල්කටෙල් දුරකතනය නාද වුණා. ( ඒ කාලේ අපි කුලියට හිටපු ගෙදරට ටෙලිෆෝන් තිබුනේ නෑ මගේ  ජංගම දුරකථනය විතරයි අපිට තිබුණේ )

නිම්මි දුරකතනයට උත්තර දෙනවා

"මොනවා ?

නෑ වෙන්න බෑ  මේ ගිය ඉරිදා හොඳට හිටිය කොල්ලනේ ?

අය්යා ට හරි දුක හිතෙයි ඇහුවම "

නිම්මි දිගටම කථාව.

මට ඇහෙන්නේ සංවාදයේ  හරි අඩක් පමණයි.

ඉතිරි හරිය අනුමාන කරන්න වෙනවා.

කතාවෙන්නේ කවුරු ගැනද කියලා දැනගන්න කම් දැන්නම් ඉවසිල්ලක් නැති ගාණයි.

මම තවමත් ඇල්කටෙල් එකේ එල්ලිලා ඉන්න නිම්මි දිහාවට ගියා .

" මොකද ? මොකද  කලබලේ?

 කවුද දැන් ඔය කතා කරන්නේ ?

කාටද හොඳටම ආමාරු ? "

මගේ ප්‍රශ්න මාලාව යොමුවුණේ එවැනිම ප්‍රශ්න මාලාවක් දුරකතනයේ අනෙක් අන්තයට යොමු කරමින්සිටි නිම්මි වෙතට

"හරි වැඩේනේ වෙලා තියෙන්නේ . සුමීර වාහනේකට  යට වෙලාලු . ඔළුවටත් තුවාලයි ලු .

කුළියාපිටියෙදී ලු ඇක්සිඩන්ට් එක වෙලා තියෙන්නේ

කුළියාපිටියේ  ඉඳලා  මහනුවර දැඩිසත්කාර ඒකකයට මාරු කරලා එවලාලු  ඊයේ රෑම"

නිම්මි අමරා ඇය වෙත දැනුම් දුන් විස්තරය නැවත වරක් මට පැවසුවාය.   ඇයගේ දෙනෙතින් කඳුළු කඩා වැටෙන්නට ආසන්නය

"සුමීර ඉන්නේ මාවනැල්ලේ නේ  එයා  මොනවද කුළියාපිටියේ කරන්නේ ? "

හිතේ ඇතිවූ අධික කම්පනය සහ කනගාටුව යටපත් කරගත් මම නිම්මිගෙන් ඇසුවෙමි.

මිට දෙදෙනිකට පෙර මා හා උරෙණුර ගැටී වැඩ කල මගේ  සගයා කුළියාපිටියේ  ගියේ ඇයි.?

ඔහු වාහනයකට  යටවුයේ කෙසේද?.

නොවිසඳුන ප්‍රශ්න රාශියකි.

"හරි හරි අපි ඉක්මනට ලෑස්ති වෙලා අයිසියු  එකට යමුකෝ එතකොට විස්තර දැනගත්තැකි  නේ ? "

නිම්මි ඊලඟට කල යුතු හොඳම දේ මට මතක් කර දුන්නාය.

දඩි බිඩි ගා විනාඩියට දෙකට සුදානම් වූ  මම  නිම්මි සුදානම් වෙනතෙක් කල්පනාවේ යෙදුනෙමි.

එදා නිම්මි උදේ හතට සේවයට් යන දවසකි. ඒ සුමීර  නතර කර සිටිනවා යැයි කියූ මහනුවර මහා රෝහලේමය.

"යමු .. යමු"  මා මෙන් ඉතා ඉක්මණින් සුදානම්  නිම්මිටත් සමීරගේ ඇත්තම තත්ත්වය බලාගන්න හදිස්සි පාටය.

"පවු අනේ අම්මත් ළඟ නැති කොල්ලා . ගොඩක් අමාරුද දන්නේ නෑ නේද? "

"හරි හරි නගින්නකෝ  කාර් එකට  ගිහිල්ලම බලාගමුකෝ "

මම හිතේ ඇති වූ බලවත් කනගාටුව සඟවා ගනිමින් පැවසුවෙමි.

අපි උදේ හයයි කාල පමණ වෙද්දී  සුමීර බලන්නට පිටත් වීමු.

මම  පේරාදෙණිය  හරහා වාහනය පදවමින් සිටියෙමි .  ගැටඹේ  පංසල  අසල  ඒ වෙලාවෙත්  මහා පිරිසක් ගැවසී සිටිති .

"සුමීරට  බරපතළ  අමාරුවක් නැත්නම්  හොඳයි. පවු අහිංසක ළමයා"

නිම්මි කියන්නේ ගැටඹේ  බෝධියටද  අසළ සිටින මටද  කියා පැහැදිලි නැත.

විනාඩි කිහිපයක්  ඇතුළත අපි නුවර මහා රෝහල වෙත ලඟා වීමු.

කඩිමුඩියේ වාහනයෙන් බැස ගත්අපි   දැඩිසත්කාර ඒකකය වෙත පියමැන්නෙමු.

"හලෝ නිම්මි මිස් මොකද මේ පැත්තේ? "

නිම්මි හඳුනන හෙද සොයුරියක් දොරෙන් ඔලුව දමා අප පිළිගත්තාය.

" අපේ ගමේ ළමයෙක් මෙහාට ගෙනාවලු සුමීර කියලා ? කුළියාපිටියේ  ඉඳන්?

අපි ආවේ සුමීර බලන්න ."

"ආනේ නිම්මි මිස් සමීර ඔයාලා දන්න පවුලක  ලමයෙක්ද?

බලන්නකෝ  මෙහෙමත් අම්මලා? "

"ඇයි ඇයි මොකද වෙලා තියෙන්නේ  ? අපි දන්නා හැටියට නම් සුමීරගේ අම්මා හිටියේ රට "

"ඔව් ඔව් රට තමයි ඉඳලා තියෙන්නේ. හැබැයි සුමීරගේ අම්මා  මේ ලඟදි ලංකාවට ඇවිල්ලා.

ඊට පස්සේ එයා සමිරව එයාගේ ගමට එක්කං ගිහිල්ලා .

සුමීර අම්මා එක්ක ගමේ ගිහින් ඉද්දි තමයි මේ ඇබැද්දිය වෙලා තියෙන්නේ "

"ඒ කියන්නේ  සුමීර වාහනේකට අහුවෙලා තියෙන්නේ අම්මලා ගමේදී ?

මොනවා කරන්න ගිහිල්ලද ? "

"අපිට ආරංචි හැටියට මොකක් හරි දේකට අම්මා එයාගේ පස්සෙන් පන්නලා   දඬුවම් කරන්න වත් වෙන්න ඇති .

අම්මාට බයේ දුවන සුමීර කෙලින්ම පාර හරහා දුවලා ළඟ ලඟම වෑන් එකක් එද්දී .

කොල්ලා ඒකට යටවෙලා මිස් "

"අය්යෝ අපරාදේ ..ගොඩක් තුවාල තිබුණද?"

" ඩිප්රෙස්ඩ්   ෆ්රාක්ච්ර් එකක් තිබුණා ඔළුවේ .

වැඩිපුර  හානි වෙලා තියෙන්නේ   මොළේ ඉස්සරහ කොටසලු .  නියුරෝ සර්ජරි එකෙන් පස්සේ  එයා  දැන් ඉන්ඩියුස් කෝමා  එහෙක ඉන්නේ මම හිතන්නේ  "

නිම්මිගේ මිතුරිය  සුමීර සිටිනා බරපතළ තත්වය අපට විස්තරකලාය  .

ඒ අනුව  කපාලයේ  අස්ථි බිඳී මොළයේ  ඉදිරි පස කොටසට  බලපෑමක් ඇතිවී තිබු සුමීර  ශල්‍යකර්ම යෙන් පසු   සිහි නැතිකර    දැඩිසත්කාර ඒකකයේ  මැෂින් වලට සම්බන්ධ කර සිටියි.

ඔහු සිටින්නේ තවමත් සිහි නැති තත්ත්වයකය.

අප නිම්මිගේ මිතුරියත් සමග රෝගියාගේ ඇඳ ලඟට ලඟා වූයෙමු.

ඔහුගේ හිස සම්පුර්ණයෙන් වෙළුම් පටි වලින් ඔතා තිබේ.

ඔහු බට ගොඩකින්  මැෂින් කිහිපයකට සම්බන්ධ කර ඇත.

ළඟ ඇති මොනිටරයෙන්  බීප් , බීප්  හඬක් නගමින්  සුමීරගේ  නාඩි සහ රුධිර පීඩනය  ආදී  මිනුම්  පෙන්නුම් කරයි.



සුමීර ඇත්තටම සිටින්නේ ඉතා බරපතළ  තත්ත්වයකය.

ඔහු මේ ගත කරන්නේ ජීවිතයත් මරණයත් අතර මොහොතක  යැයි කිවහොත් එය අතිශෝක්තියක් නොවේ .

නිම්මිට  හැඬේන්නට ආසන්නය.  මමත් අධික ලෙස ශෝක වුයෙමි.

අප මිට දිනකිහිපයකට  පෙර මාත් සමග හරි හරියට වැඩ කල මගේ පුංචි මිතුරා ගැන හදවතින්ම ශෝක වූයෙමු.




ජීවිතයත් මරණයත් අතර.....

නිම්මිලා ගෙදර ගිය මුල්ම දවස් වල මට සුමීර මුණගැහෙන්න ලැබුණු හැටි ගිය වර පොස්ට් එකෙන් ඉදිරිපත් කලෙමි.
එදා සුමීරත් එක්ක අවර වැලට මැස්ස ගැසීමෙන් පසු සති දෙක තුනක්ම සමීර  මගේ අත් උදව්වට  ආවා.

මමත් සුමීරත් එකතු වී කල වැඩ අතරට නිම්මිලා ගෙදර  අවට  කල කෙසෙල් වගාව , ගම්මිරිස් සහ එනසාල්
වගාවත් ඇතුලත්. සති අන්තයේ මාවනැල්ලේ ගොස් නිම්මිලා ගෙදර අය බලන අතරේ මගේ සහ සමීරගේ වගා හවුලද කෙමෙන් කෙමෙන් ඉදිරියට ඇදුනා.

සතියේ දවස් වල නිම්මිත් මමත් දෙදෙනාම වැඩට යන නිසා මාවනැල්ල ගැන සොයාබැලෙන්නේ  හරි අඩුවෙන් .

එදා  සතියේ මැද දවසක් . උදේ පාන්දරම මගේ  ඇල්කටෙල් දුරකතනය නාද වුණා. ( ඒ කාලේ අපි කුලියට හිටපු ගෙදරට ටෙලිෆෝන් තිබුනේ නෑ මගේ  ජංගම දුරකථනය විතරයි අපිට තිබුණේ )

නිම්මි දුරකතනයට උත්තර දෙනවා

ඉතිරි  කොටස මෙතැනින්...

Sunday, 5 February 2017

සුමීර නෑයින් බලන්න ඇවිත්




ඒ දෙදාහේ  අවුරුද්දේ  අගහරිය.
අප  විවාහ වුන අලුතම .

මේ වෙනකොට පේරාදෙණිය  අවට  ප්‍රදේශයක  නැවතී සිටි  නිම්මිත්  මමත් පුරුද්දක්  ලෙස සතිඅන්තයේ මාවනැල්ලේ පිහිටි  එයාලගේ මහ ගෙදර යනවා .

සිකුරාදා  හවස  මාවනැල්ලට  යන අප නැවත  එන්නේ  ඉරිදා හවස් වෙද්දී . ඒ සඳුදා විශ්ව විද්‍යාලයේ වැඩට යන්න බලාගෙන.

ගෙදර ගිය ගමන් නිම්මිලා අම්මා හදන තේ එක බොන මම ඉන්පසුව වහාම යන්නේ නිම්මිලා ගෙවත්ත  එළි පෙහෙළි කරන්න .

උදැල්ලක්, කැත්තක්  සහ  තවත් අඩුම කුඩුම අරන් වැඩට  බහින මගේ  තනියට නිම්මිලාගේ සුරතල් බල්ලා වූ බන්ටියත්  එනවා.

කුස්සිය පැත්තේ මිදුලේ වේල්ලට උඩින් තිබුණ කොටස තමයි මම මුලින්ම ශුද්ධ කලේ.  ඒ බෝංචි පාත්තියක් වට්ටක්කා  මන්ඩියක්  ආදී ගෙදර දොරට අවශ්‍ය එළවළු ටිකක් හදන්න හිතාගෙන  .

මුල්ම වතාවේ දෙකේ මෙහෙම වැඩ කරගෙන යද්දී  හිටියේ බන්ටිත් මමත් පමණක් වුවත් සති දෙක තුනක් යද්දී මට තවත් උදව් කරුවෙක් අහුවුණා.  ඒ තමයි සමීර.

"පුතේ , පුතේ .. මෙන්න ඔයාට උදව්වට කෙනෙක් ඇවිල්ලා " නිම්මිලා අම්මා කුස්සියේ සිට මට කතාකරනවා.

මම ඒ වෙලාවේ   නිම්මිලා මිදුලේ තිබු අවර වැලට  මැස්සක් ගහන්න ලෑස්ති වෙනවා.  කුස්සිය අසළම තිබු අවර වැල ඔහේ ඕනෑවට  එපාවට  එතැනම තියෙන ග්ලිරිසීඩියා  ගහක එතෙනවා.

"කවුද අම්මා ? එවන්න එවන්න  මම මේ  මැස්සක් ගහන්න ලී  එකතු කරනවා . දෙන්නෙක් ඉන්නවා නම්  ඒ වැඩේට  ලේසියි "

" මේ අර ලීල් ලැයි  ලොකුපුතා  සුමීර ඇවිල්ලා  . අය්යාට උදව් කරන්න කියලලු  ආවේ "

අම්මා මට අමුත්තා හඳුන්වා  දුන්නාය.  නිම්මිලා ගමට සම්බන්ධ වී  ගතවී තිබුණේ සති කිහිපයක් පමණි.

ඒ දවස්වල ඉස්සරහ ගෙදර සිටි " පුවක් බාස් " මා දෙස එහෙන් මෙහෙන් බලා ගියද මේ වන විට මට මාවනැල්ලේ මිතුරන් සිටියේ නැත.

ඒ අනුව  බලනකල මේ එන්නේ මගේ පළමු "මාවනැල්ලේ සගයා" ය.


මම  ඔහු ඉතා ලෙන්ගතු අයුරින් පිළිගත්තෙමි.

"ආ .. එන්න එන්න සුමීර  . කරුණා නැන්දද එන්න කිව්වේ  ?  නැත්නම් ඔයාටම හිතිලා ආවද? "

" නෑ නැන්දා එන්න කිව්වේ නෑ. මට හිතිලම ආවා  අය්යා තනියෙන් වැඩ බව දන්න නිසා"

" සුමීර , ඔයා ඉස්කෝලේ යනවද?  "

"ඔව්  ඔව්  කොන්ඩදෙණියේ  කනිස්ටෙට යන්නේ "

" ගෙදර වෙන කවුද ඉන්නේ සුමීර? "

" මල්ලියි, තාත්තයි  ආතම්මයි"

"ඇයි අම්මා ? "

"අම්මා ඉන්නේ රට "

"අම්මා  සුමීරලට සල්ලි එහෙම එවනවා ඇති එහෙනම්  ?"

සුමීර  මගේ ඒ පැනයට  උත්තර දුන්නේ නැත.   කතාව මදකට නැවතූ මම  සමීර  කරන්නට  ආ රාජකාරිය  ගැන  කතා කළෙමි.

" සුමීර , මම  මේ  අවර වැලට මැස්සක් ගහන්න හදන්නේ  . ඔයාට  පුළුවන් නේද  මට ලී  එහෙම  ගෙනල්ලා දෙන්න ?"

"අපොයි පුළුවන්  අය්යා  ලී  කපලා දෙන්නකෝ  මං ගෙනැත් දාන්නම්"


ඒ  වනවිට  අවුරුදු දහයක් -දොළහක්  පමණ  වයසක වූ සුමීර මගේ වැඩට උදව් කරන්නට එක පයින්ම  කැමති  පාටය.

නිම්මිලා වත්තේ උඩහට ගිය මම  අවශ්‍ය තරමට  ලි  කෝටු  කපා ගත්තෙමි.  මගේ  පසු පසින් වැටුන  සුමීර ඒ ලි කෝටු එකින් එක අවර වැල  ලඟට  ගෙන එන්නට පටන් ගත්තේය.

"සුමීර  කරුණා නැන්ද ගෙන් අලවංගුව ඉල්ලන් එනවද?  "

මම දැන් අත් උදව් කරුවා හරිහරියට වැඩට යොදවන්න  පටන් ගත්තෙමි.

සුමීරත්  මට නොදෙවෙනිව  මහන්සි වෙමින් අවර වැලට මැස්සක් ගැසීමට වෙහෙසෙයි.

අලවංගුව අතට  ගත් මම වෙර  යොදා වලවල්   හාරන්නට පටන් ගත්තෙමි.

සුමීර  මම  හාරන හාරන වල ලඟින්  මැස්සට  උවමනා කරන කණු ගෙනැත් තබයි.

මම නැවතත් කතාව පටන් ගත්තෙමි.

" සුමීර  ඔයාගේ මල්ලිගේ  වයස කීයද?  මෙහේ එන වෙලාවේ  මල්ලි එක්ක සෙල්ලම් කරන්න තිබ්බනේ ඔයාට? "

" අපෝ මල්ලි පොඩියි . එයාට  අවුරුදු හතරයි වෙන්නේ.  මල්ලි හරි සැරයි මම කැමති නෑ එයත් එක්ක සෙල්ලම් කරන්න "

"ඇයි මල්ලි ඔයාටත් සැර කරනවද ? "

" ඔව් ඔව්  අත්තම්මා නම් කියන්නේ මල්ලි ඉපදුණ  ගමන් එයා මෙහේ දාලා අම්මා රට ගිය නිසා එයා මුරණ්ඩු වුණා කියලා තමයි "

"ඉතිං තාත්තා  ? එයා බලන්නේ නැද්ද මල්ලි ගැන ? "

" බලනවා බලනවා . තාත්තා  දවල්ට  කුලී වැඩට එහෙම යනවනේ . අර  පුවක් අත්තත් එක්ක  එහෙම වැඩ කරන්නේ ලීල් කියලා එක්කෙනෙක්  ඒ තමයි අපේ තාත්තා "

කතාව පිටම  සුමීරත්  මමත් මැස්සට අවශ්‍ය  කණු සිටුවා අවසන්  කළෙමු.

දැන් තිබෙන්නේ  කණු එකිනෙක යා කරමින්  ග්ලිරිසීඩියා  කෝටු  බැඳීමේ   රාජකාරියයි.

නිම්මිලා කුස්සියේ තිබු වංගෙඩියක්   රැගෙන  ආ  මම  එය අනික් පැත්ත  දමා එහි උඩ නැග ගත්තෙමි.

"සමීර  මට කෝටුවක් දෙන්න ?  "  නියම  උදව් කරුවෙකු සේ  සුමීර මගේ බසට අවනත වෙයි

  "දැන් හොඳ සුමීර වගේ මම මේ   කෝටුව  මෙතන  ගැට ගහන කන්  ඔය  පැත්තෙන්   අල්ල  ගන්න"

මම  කෝටුවේ  එක  අන්තයක්  කෙසෙල්  පොත්තකින් ඉරා ගත්  කෙසෙල්  " ලණු "  යොදා  ගෙන  මැස්සේ කණුවලට ගැට ගසන්නට පටන් ගත්තෙමි .

සුමීර අනික් පසින්  ඒ කෝටුව  අල්ලා ගෙන මා දෙස බලා සිටියි.

" අය්යා  හැම සෙනසුරාදාම  මෙහේ එනවද ? "

" ඔව්  .. ඇයි සුමීර එහෙම ඇහුවේ නෑ  එහෙනම් මාත් හැම සෙනසුරාදා ඉරිදම  මෙහේ එනවා "

" ඒ කියන්නේ සුමීර හෙටත් මගේ උදව්වට එනවද ?  "

" ඔව්  කමක් නෑ නේද මම ආවට ? "

" කමක් නෑ. කමක්  නෑ . එහෙමනම හෙටත් එන්නකෝ සමීර  අපි මොනවා හරි වැඩක් කරමු හෙටත් .

මම හිතාගෙන ඉන්නේ කෙසෙල් පැල ටිකක් හදන්න  . ඒක වත් කරන්න බැරියැ හෙට ? "

මම සුමීරගේ අදහසට  උල්පන්දම් දෙමින් කතා කලෙමි.


එදා දවල්  දෙක තුන වෙද්දී  සුමීරත්  මමත් පංකාදු පහේ මැස්සක්  ගසා අවසන් කළෙමු.

අලුත් බෑණාගේ  සහ   සුමීරගේ  හපන්කම්  දුටු  නිම්මිලා අම්මා සතුටින්  පිනා ගොස් සිටියාය  .

"ආ  ඔය අය්යයි මල්ලියි දෙන්නා අත පය සෝදා ගෙන  එහෙම එන්න බත් ටිකක් කන්න .

කිරිකොස් මාලුවකුයි  කැකිරි ඇඹුලක්  එහෙම හදලා තියෙන්නේ ඔන්න "


                                 කැකිරි ( චායාරුපයට අනුග්‍රහය  සාරභූමි මුහුණුපොත් පිටුව )

සතියට  දෙකට  නිම්මිලා අම්මා මම කැමති මාළු  පිණි ආදිය  හඳුනාගෙන තිබේ.

කිරිකොස් මාලුව  මගේ ප්‍රියතම ආහාරයකි.

කැකිරි  ඇඹුල  ගැන නම් දන ගත්තේ  මාවනැල්ලේ යන්න එන්න පටන් ගත්තායින් පසුවයි.

මැස්සේ වැඩ නිමා කල සමීරත්  මමත් දහවල් ආහාරයට ගෙට ගොඩ වූයෙමු.

"ආ  දොස්තර අය්යාට  හොඳ මල්ලි කෙනෙක් හම්බවෙලා  තියෙන්නේ ?

 සුමීර  දිගටම  අය්යාගේ උදව්වට  එනවලු  නේද  අම්මා  ?"

කියමින්  හිනහ වෙමින් නිම්මි සමිරටත්  මටත්  කැකිරි  බෙදුවාය .





'



මම , නිම්මිලා අම්මා  සහ  සමීර  2002  දී


ඊළඟ  කොටසට  මෙතැනින්  පිවිසෙන්න

Saturday, 4 February 2017

සුමීර සහ අපි



මේ චායා  රුපයේ  දකුණු කෙලවරේ ඉන්නේ සුමීර .  සුමීර අම්මත්  තාත්තත් දෙන්නම (ළඟ) නැති ළමයෙක් . ජිවත් වෙන්නේ ආච්චි  අම්මා  ළඟ . (සුමීරයි මමයි අතරමැද ඉන්නේ සුමීරගේ  ආච්චි අම්මා එහෙම නෙවෙයි නිම්මිලා අම්මා).

 සුමීර මට මුලින්ම  හමුවන්නේ  වසර 2000 දී මම මුලින්ම  නිම්මිලාගේ  ගෙදර  ගිය දවස්වල.

ඒ කාලේ  මම සති අන්තයට  නිම්මිලා ගෙදර ඇවිත් කියා ආරංචි වූ සැණින්  සුමීර නොවරදවාම එහෙ එනවා. හේතුව  මම පස්සේ කියන්නම්.

මේ පාර මම ලංකාවේ ගිය වෙලාවෙත්  සුමීර  මාව බලන්න ආවා.

ඉස්සර වගේ නෙවෙයි සුමීර දැන් ගජ ඉලන්දාරියෙක්

  ඒ වෙලාවේ නිම්මි දුන්න  චොක්ලට්  එහෙම අරන් ආපහු  ගිය සුමීර  මාව නුදුරු අතීතයට  අරන් ගියේ සැණෙකින්.

ඒ අතීතය සුමීර සහ මගේ ගණුදෙනු වල රසවත් තොරතුරු  වගේම  සමීරගේ අනාගතය සම්පුර්ණයෙන් වෙනස් කල අවසනාවන්ත සිදුවීම්  වලින් පිරිලයි තියෙන්නේ.

ඒ නිසාම  සුමීර ගේ  සහ අපේ ගණුදෙනු ගැන  ගොඩක් කතා තියෙනවා කියන්න .

ඒවා  එකින් එක ඉදිරියේදී  ඔබ අතට පත් කරන්නයි  බලාපොරොත්තුව.

අපි සුමීර සමග හමුවෙමු.