Follow by Email

Saturday, 22 June 2019

ෆයිනල් ලෝන්ග් කේස් එක


එදා මගේ ළමාරෝග විෂයයේ අවසාන විභාගය දවස . උදේ පාන්දර කිරිකොකා වගේ ඇඳගෙන ලෝන්ග් කේස් එකට යන්න ලෑස්තිවෙලා ෆැකල්ටියෙන් පාර පැන්නා හොස්පිටල් එක දිහාට අපේ ගෘප් එකේ කොල්ලෝ කෙල්ලො සෙට් එකත් එක්ක. 
"ගිය ගමන්ම දඩස්ගාලා වාඩිවෙන්නේ නැතිව ඉන්න ගුරුවරු දෙන්නට ගුඩ් මෝනින් කියන්න ඕනේ හිනාවෙලා ඔළුව පහත් කරලා කතා කරන ගමන්, ගෑණු පිරිමි දෙන්නෙක් හිටියොත් ඉස්සෙල්ලා ගෑණු කෙනාට ආචාර කරන්න ඕනේ , ඊට පස්සේ තමයි පිරිමියාට"
කට්ටිය කතා වෙවී යනවා. මමත් දෙය්යනේ කියලා ලෝන්ග් කේස් ගොඩදාගන්න හිතාගෙන කාමරයේ ඇතුළට ගියා..
යනකොටම මගේ හිත පොඩ්ඩක් ගැස්සිලා ගියේ මගේ පස්සේ අවුරුදු තුනක් තිස්සේ පන්න පන්නා හිටිය අපේ ගුරුතුමා එතනත් ඉන්නවා . 
මම එහා පැත්තේ හිටිය අත්තනායක මැඩම්ට ගුඩ්මෝනින් මැඩම් කිව්වා . එයාත් හලෝ ගුඩ්මෝනින් කියලා කියලා ඉවරවෙනවත් එක්කම 
....එහා පැත්තේ දඩබඩ ගාලා සද්දයක් එනවා සිංහලෙන්ම ...... 
"එහෙම පුරුද්දක් නෑනේද? මොකද තමුන්ට අපිට ගුඩ්මෝනින් කිව්වෙත් කට ගෙවෙනවද? ගුරුවරයෙකුට කියලා කිසිම ගරුසරුවක් නැති හැටි?, මෙහෙම ළමයින්ට උගන්වනවට අපිට මඩුවළිගෙන් තලන්න ඕනෑ"
මෙන්න එහා පැත්තේ හිටපු මහත්තයා මට එකසිය ගාණට බැනගෙන බැනගෙන යන්වා .
ලඟ හිටපු අනික් එග්සැමින ලේඩිත් එක පාරම භයවුණා . මමත් උඩගියා මොකක්ද බොල මේ වෙන්න යන්නේ කියලා . අපේ සත්ගුණවත් ගුරුතුමා මට එහාපැත්තෙන් මෙහාට හැරෙන්න වත් නොදී තමයි සද්දේ දැම්මේ.. 
මමත් උඩබිම නැතිවුණත් කට වහන් හිටියේ නෑ සිංහලෙන්ම උත්තර දුන්නා .
"කෝ කොහෙද සර් මට හැරෙන්න වත් වෙලාවක් දුන්නැයි ගුඩ් මෝනින් කියලා කියන්න තමයි ඔයා පැත්තට හැරෙන්න හැදුවේ"
එතුමා එදා උඩ පැන්නට සිද්ධිය දෙපාර්තමේන්තුවටම ගිහින් තිබුණාද කොහෙද.. ශෝට් කේස් දවසේ මාව හොයාගෙනම ආපු ළමා රෝග මහාචාර්ය තුමා " කෝ ඔය ළමයා මෙහාට එන්න මාත් එක්ක ෂෝට් කේසස් දෙක කරන්න" කියලා මගේ අතින් ඇදගෙන යන්නට ඔය සිද්ධියම හේතුවෙන්න ඇති. 
අපේ අම්මා මට හැමදාම කියන දෙයක් රිසල්ට්ස් ආපු දවසේ ආයිත් මතක් වුණා 
"හතුරෙකුට වුණත් හොඳක්ම කරපං .. උඹට කව්දාවත් වරදින්නේ නෑ මයෙ පුතේ . උඹට වැරැද්දක් කරපු එකෙකුට හරියන්නෙත් නෑ කොයිවෙලේ හරි පඩිසන් දෙනව" 
අද අපි ඔය සන්තෑසි ඔක්කොටම මුහුණදීලා බාධක පිට බාධක පහුකරලා ඇවිත් නිදහසේ හුස්මක් ගන්නවා. අපිට වධ දීපු අය එකින් එකා ගානේ රිදවීම් වලට මුහුණ දෙමින් යනවා . මේ දවස් වල අපේ යාළුවගේ වාරෙද කියලත් හිතෙනවා

Thursday, 20 June 2019

ශාරීරික ආබාධිතයෙක් නිසා මතුවූ මානසික අබාධය ( ප්‍රජා සෞඛ්‍ය විද්‍යා පාඩමක් )



එදා අපේ ප්‍රජා සෞඛ්‍ය විද්‍යා ප්‍රායෝගික කණ්ඩායමේ අවසාන ඇගයීම තිබෙන දවස . අපේ කණ්ඩායමේ සිසු සිසුවියන් දෙන්නා බැගින් තම තමන්ට වෙන්කර දී ඇති නිවාස වල වැසිකිළි  , මුළුතැන්ගේ පිරිසිදුද , කුඩා ළමුන් මන්දපෝශණයෙන් තොරද, අරක්කු කසිප්පු බොන තාත්තලා නැද්ද ? සියළු කල්පවතින රෝග සහිත අය සායන වලට යොමු කරලාද වගේ දේවල් ඔක්කොම තිතට හරිගස්සලා ප්‍රජා වෛද්‍ය හෝ ළමාරෝග අංශයේ  ගුරුවරයෙක් , ගුරුවරියෙක් එනකන් බලාගෙන ඉන්නවා. මමයි මගේ හිතවතා නිර්මාල් දෙදෙනාත් එහෙමම හිටියා .

"ජයේ අපිට අහවල් සර්  එන්නත්  ඉඩ තියෙනවළු මචෝ . පොර මේ ප්‍රජා වෛද්‍ය අපොයින්ට්මන්ට් එකේ ළමා රෝග පාර්ට් එක බලනවළුනේ"  තරමක චකිතයකින් යුතුව සිටි නිර්මාල් පවසා සිටියා.
 කවුරු ආවත් අපි  මොකට භය වෙනවද අපිත් කණ්ඩායමේ අනික් කරපු විදිහටම වැඩ කරළානේ තියෙන්නේ . මම හිත හදාගත්තා. ඒත් "ජයසිංහ මට තමුන්ව මතකයි " කියමින් අපේ කණ්ඩායම මුලින්ම ළමාරෝග ඒකකයට ( සතියකට පමණක් ) ගිය දවසේ මාව භය කරන්නට මෙතුමා කියූ ඒ උදාන වාක්‍ය මගේ හිතෙත් එහෙන් මෙහෙන් සක්මන් කරනවා මට දැනුණා. වෙන දෙයක් වෙච්චාවේ අපේ අල්ලන්න තරම් වැරැද්දක් නෑනේ මම හිත හදා ගත්තා..



ඔන්න උදේ පාන්දරම අපේ ප්‍රජා වෛද්‍ය විද්‍යා කණ්ඩායම ගාල්ල උළුවිටිකේ පැත්තේ තිබ්බ අපේ ගමට ගිහිල්ලා ඉන්නවා. මමත් නිර්මාලුත් අපිට වෙන්කර තිබූ පළමුවෙනි ගෙදරට ගියේ තව ටික වෙලාවකින් සිදුවෙන  ආචාර්ය හෝ මහාචාර්ය අගමනයට සියල්ල සූදානම් ද බලන්න  .

ප්‍රජා වෛද්‍ය ඒකකයේ මහාචාර්ය තුමිය ගේ සිට වෙන ඕනෑම ආචාර්යවරෙයක් හෝ ලමා රෝග අංශයේ ඒ වෙනුවෙන් උනන්දුවෙන් සිටි ආචාර්ය වරයෙක් දෙන්නෙක් ගේ පැමිණීම අප හැමෝම බලාපොරොත්තු වුණා . ළමා රෝග කට්ටිය හැම ප්‍රජා වෛද්‍ය ගම්මානයකට ගිහින් තිබුණේ නෑ . ඒ නිසා අපේ ගමට නොපැමිණෙන්නත් ඉඩ තිබුණා . එහෙම වුණානම් හොඳයි වැනි හැඟීමකුත් සිසුන් අතර නොතිබුණාම නෙවෙයි. හේතුව කවුරුත් දන්නව. මේ ලියමනේ පහළට යනකොට ඒ   ඇයිද කියලත් තේරුම් යයි

කලින් දවසේ හවස ගිහින්;   හෙට උදේ බල්ලා බැඳලා තියන්න, මිදුල අතුගාලා , ටොයිලට් එක හෝදලා ඒක ලඟින්  පුවරවපු වතුර බාල්දියක් , සබන් කැටයක්වගේ ඒවා තියලා තියන්න කියලා එහෙම කියලයි තිබුණේ.


"මල්ලී අම්මා ඉන්නවද  ?  " ගෙදර ඉස්සරහ හිටියේ  පොඩි මල්ලී කෙනෙක්.

" අක්කේ මෙන්න ස්ටුඩන්ට් මහත්තුරු ඇවිල්ලා"   කියමින් ඔහු ගෙට දුවගෙන ගියා.

"හා මහත්තයා කොහොමද ? "

"  අපි හොඳින් ඉන්නවා නංගී , කෝ අම්මා නැද්ද ? අද අපේ ටෙස්ට් එකට කැම්පස් එකේ සර්ලා මැඩම්ලා එනවා. ඔක්කොම හරිනේ මොකුත් ප්‍රශ්නයක් නෑනේ? "
කියමින් නිර්මාල් සහ මම ගේ සාලය , මිදුල , වැසිකිළි , ලිඳ ආදී සියළු මර්මස්ථාන පරීක්ෂාකර බැලුවා.

"අම්මා මාමලා ගෙදර ගියා මහත්තයා" කියමින් ඈ අප  ගේ වටේ කැඳවාගෙන යනවා.

එකපාරම ගෙදර දකුණු අත පැත්තට යද්දී ජනේලය අයිනේ සිමෙන්තියේ වාඩි වෙලා ඉන්න අමුත්තෙක්  .  මාසයකට දෙකකටත් වඩා මෙහි ආගිය අපි කවදාවත්  දැකලා තිබ්බ නැතිකෙනෙක්.

"මේ කවුද නංගී මේ . මෙයා ගෙදර කෙනෙක් නෙවෙයි නේද?"

" නෑ අය්යා මෙයා අපේ මාමා කෙනෙක් වෙලාවකට මෙහේ ඇවිත් ඉන්නවා . එයාට ඇවිදින්න බැරිවුණේ කොයිකාලෙද? මෙයා පොඩි කාලේ ඉඳන්ම අබ්බගාත වෙලා කියලා තමයි අම්මලා කියන්නේ "

හදිසියේම මතුවු ආබාධිත අමුත්තා දුටු නිර්මාල් සහ මම පොඩ්ඩක් කළබල වූවා කිවහොත් නිවැරදියි . මොකද නිවසේ සාමාජිකයෙක් නොවුණත් සර්ලා මැඩම්ලා එනවෙලාවට මෙයා ගේ වගතුගත්  අපි දැනගෙන ඉන්න ඕනෑනේ.

හනි හනිකට ඔහුගැන විස්තර ටිකක් එකතු කර ගත්තත් අපේ මූලික හෝ අවසාන රිපොර්ට් එකේ  හෝ නොසිටිය , ගෙදර ඇත්තන් විසින්   අපට කලින් දන්වා නොසිටි කෙනෙක් නිසා ඇත්ත විස්තරේ ප්‍රජාව බලන්නට ගුරුවරුන්ට කියමු යැයි අප දෙදෙනාම පැහැදිළි එකඟතාවයක ආවෙමු .

ඒ කෙසේ වුවත් හදිසියේ පහළ වූ අමුත්තා අපේ ප්‍රජාව්‍යාපෘතිය අවුල් කරන්නට හේතුවක් වනු ඇතැයි අපි කිසිවිටෙකවත් නොසිතුවෙමු.
"බ්‍රාස් , ....බෝස් "  පාරේ ලඟම තිබූ තඩි මඩවලක් ඉසිරවමින් ගිය  ලොකු තඩි පැජරෝවකි.  එය අප සිටි නිසි නිවස පසුකර ගොස් නැවැත්වීය.
තවම උදේ අටවත් වී නැතිනිසා ආචාර්ය මණ්ඩලයේ කෙනෙක් එවෙලේම මතුවනු ඇතිබවක් වත් අපට සිතී තිබුණේ නැත .  වාහනයෙන් බැස එන්නේ අපට හුරු පුරුදු ළමාරෝග අංශයේ ආචාර්ය වරයෙකි .

 මා සහ නිර්මාල් දුටු ඔහු කෙලින්ම අපගේ ප්‍රාජා ව්‍යාපෘතියේ පළමු නිවාසය වෙත ලඟා විය.

"කෝ ගෙදර කට්ටිය ? ඔයාලට ගෙවල් කීයක් තියෙනවද ? මට ඒ ඔක්කොම බලන්න ඕනෑ"

කියමින් ඔහු නිර්මාල අතේ තිබූ ෆයිල් එක ඉල්ලා ගත්තේය . පිළිවෙලින් වැසිකිළිය ලිඳ ආදිය බලමින් එන ඔහුට මේ දක්වා කිසිදු වැරැද්දක් හමුවී තිබුණේ නැත . එහෙත් එක්වරම ජනෙලය ලඟ දඟර ගසා ගෙන සිටිනා අර ආබධිත තරුණයා ඔහුගේ නෙත ගැටුණේය. වටිනා ඉල්ලමක් මතුවූවා  වැනිහැඟීමක්  ඔහු තුලින් දිස්වූයේ ආබාධිතයින්  බලා ගැනීම ප්‍රජා වෛද්‍ය විද්‍යාවේ  ප්‍රධානම අංගයක් බව ඔහුට පෙනුන නිසා විය යුතුය.

"මෙයා කවුද?  මෙයා මේ ගෙදර කෙනෙක්ද?"

 ඔහු අර තරුණියගෙන් ප්‍රශ්න කර සිටියාය .

ඔව් සර් මෙයා අපේ මාමා කොච්චර් කිව්වත් මෙහාට ඇවිල්ලා ඉන්නවා . අපිට මෙයාගෙන හරි කරදරයි සර් . මෙයා හැමදාම මෙහෙම අපේ ගෙදරට ඇවිත් ඔහේ බලාගෙන ඉන්නවා තරුණිය කියවාගෙන ගියේ නිර්මාල් ගේ සහ මගේ ඇස් උඩ ඉන්දවමිනි.

"කෝ මෙයා ස්තීර පදිංචිකාරයෙක් විදිහට මේ රිපොර්ට් එකේ දාලා නෑනේ? මෙහෙම බොරු රිපොර්ට් ලියනවද ?"  වහාම මෙයා පැය විසිහතරක් ඇතුළත කොහාට හරි නිවාසකයට ගිහින් දානවා . දාලා අද හවස් වෙද්දි මට ලියුම ගෙනැත් දෙනවා ."

 "නැත්නම් දෙන්නම කොමියුනිටි  මෙඩිසින්  ඇපොයින්ට්මන්ට් එකම් රිපීට්"





කියා අපට තර්ජනය  කළ එතුමා එතැනින් ඉවත් වූයේ අපේ ඊලඟ ගෙදරට යන්න අවශ්‍ය බව කියමිනි..



 ඉතිරිය ඊලඟ කොටසින්

Saturday, 15 June 2019

ඔය ඇහෙන්නේ "හරිප්‍රිය" ගේ හඬයි



"හා ඩොක්ටර් එන්න එන්න කාලෙකින් ? කොහොමද දැන්  ප්‍රයිවෙට් එක?
අළුත් කාර් එක ගත්තට පස්සේ සෙනඟ එහෙම වැඩිවෙලා ඇතිනේ?
අළුතින් අකවුන්ට් එහෙම අරිනවානම් ඔන්න අපි එක්කම පටන්ගන්න ඕනෑ හරි?"

මා පේරාදෙණිය මහජන බැංකුවට ඇතුළ්වෙද්දි  කළමනාකාරතුමා මා පිළිගත්තේ එලෙසයි.  ඔහුගේ කාමරයේ තවත් තලත්තෑනි මහත්මයෙක් වාඩිවීසිටී .  කළමනාකාර මේසයේ අනෙක් පස තිබූ  පුටුවට අතදිගු කල අපේ හිතවතා "ඩොක්ටර් වාඩිවෙන්න , ප්‍රොෆෙසර් දොඩන්දූව  , මේ අපේ හොඳ හිතවතෙක් ඩොක්ටර් ජයසිංහ මෙඩිකල්  ෆැකල්ටි එකේ ලෙක්චරර් කෙනෙක් "  කියමින් මා ඔහුගේ අනෙක් සඟයාට හඳුන්වා දුන්නේය.

මා දෙස ඉතා හොඳින් බැලූ මහාචාර්යවරයා  " කොහොමද කවිඳු ? මට ඔයා හොඳට මතකයි  ඔයා හිටියේ රුහුණේ නේද? " කියමින් මට අතට අත දෙමින් අල්ලාපසල්ලාපයට අවතීර්ණවිය .

මට එහා පැත්තෙන් වාඩිවී සිටින්නේ  මහාචාර්ය තනතුරක් දරන්නට තරම්  පැසුණු සහ නිවුණු පෙනුමක් ඇති එහෙත්  අප , බැංකු කළමණාකාරවරයා වැනිම  පොළවේ පයගසා ඉන්නා තත්ත්වයේ පෙනුමක් ඇති පුද්ගලයෙක් බව මා එසැණින් වටහා ගත්තෙමි.

ප්‍රොෆෙසර් දොඩන්දූව ? මටත් හොඳට හුරු පුරුදු නමක් ? මෙයා කොහොමද මාව දන්නේ ?

මම කල්පනාවට වැටුණේ රුහුණ කියන නමත් එපාවී පේරාදෙණියට පැමිණ සිටි මට ඒ අමිහිරි අතීතය ගැන කියන්නට හදන මොහු කවුද යන්න ගැන විපිළිසර වෙමිනි

"අපි රුහුණේදි හම්බවෙලා තියෙනවා .
ඔයාට මතකද ඕගොල්ලන්ගේ බැච් එකේ ප්‍රශ්නයක් ඇවිත්  අපිත් එක්ක මීටින් එකකට ආවා ?

කවිඳු ඔයා නම් මාර බඩුවක් එදා මට මතකයි ඔයා ඩොක්ටර්  සමරසේනට ඇඬෙන්න කතාවක් කළා."

ඉතා  සැහැල්ලු ගති පැවතුම් ඇති මිනිසෙකු වූ මොහු මගේ අතීතය ගැන වැදගත් තොරතුරක්  අපේ බැංකු මිතුරා අත තැබුවේ

" මෙයා මෙහෙම හිටියට හරි කථා කාරයා මිස්ට ගුණසේකර,  කැම්පස් එකේ ලෙක්චරර් කෙනෙක් එක්ක හරිහරියට වාද කළා මම  මාතර ඉන්න කාලේ"  කියමිනි .

ප්‍රොෆෙස දොඩන්දූව ? ප්‍රොෆෙස දොඩන්දූව?  මොහු කවුද?

උපැස් යුවල යටින් මා හා සමඟ හරිහරියට සංවාදයේ යෙදෙනා ඒ ඇස් දෙක තුලින් මම කෙලින්ම කරාපිටිය වෛද්‍යපීඨයේ පීඨමණ්ඩල රැස්වීම් ශාලාව වෙත ගමන් කලෙමි


ඒ මම කරාපිටිය වෛද්‍යපීඨයේ දෙවනවසර අවසාන වී තුන්වන වසර ආරම්භ කරන්නට සූදානමින් සිටි කාලයයි . මේ වනවිට දෙවන පෙළ සම්මාන සාමාර්ථ ලබාසිටි දහදොළොස් දෙනා අතරට මමත්  එක්වී  සිටියෙමි.

මා කලින් තැනක ලියාතිබූ පරිදි  "ජේෂ්ඨ සිශ්‍ය කණ්ඩායම් අවනත යැයි සිතුණු" සහ "ආචාර්ය මණ්ඩලයට දැඩිව හිතවත්කම් දැක්වූවා යැයි සිතුණු"   සිසුන් දෙපැත්තටම වෙන්වී සිටි බැච් එකක් වූ අපේ ශිෂ්‍ය කණ්ඩායම එක්සේසත් කරන්නට අවශ්‍ය වී සිටි කාලයකි.

මේ කියන දිනයට ටිකකලකට පෙර  සෙකන්ඩ් එම් බී එකේ ආතතියට ඉතා හොඳින් මුහුණ දී සිටි මට  කණ්ඩායම් නියෝජිත කම බලෙන් කඩා වැටුණේ

"සමාජවාදී සහ තරමක් කළබල කාරී  සිසුන්  යැයි සිතුණු" සහ "ආචාර්ය මණ්ඩලයට දැඩිව හිතවත්කම් දැක්වූවා යැයි සිතුණු සිසුන්" කණ්ඩායම් විසින් දෙකට කඩන්නට හදන කණ්ඩායමක් කෙසේ හෝ ඉස්සරහට ඇදගෙන යන සමඟිය සමාදානය ඇතිකිරීමේ කාර්යභාරයද සමඟයි.

කෙසේ වුවත් මේ අපසමඟ අල්ලාපසල්ලාපයේ යෙදෙන මහාචර්ය  හිතවතා (අප දැන් සිටින්නේ බැංකු කළමණාකරුගේ ලඟම හිතවතුන් දෙදෙනෙක් ලෙස ඔහුගේ කාර්යාල කාමරයේය ) කියන සිදුවීම වෙද්දී මේ කියු ඉඟුරු   කල්ලි දෙක නැවතත් කඹ අදිමින් සිටි කාලයක් උදාවෙමින් තිබිණි.

ඒ අපේ තුන්වන වසර ආරම්භකරන්නට ඔන්න මෙන්න කියා  තිබෙද්දි එකල ජී එම් ඕ එකේ ලොක්කා වූ ඩොක්ටර් "හරිප්‍රිය " විශ්ව විද්‍යාලය සමඟ තදබල ගැටුමකට අවතීර්ණ වී සිටි නිසයි.

ඔහුගේ වාට්ටුවට එකම එස් එච් ඕ කෙනෙක් වත් නැතිවෙද්දී ශල්‍යවෛද්‍ය මහාචාර්ය ඒකකය එස් එච් ඕලාගෙන් පිරීයෑම ඔහුට නොරිස්සූ කාරණයයි.

ඊට අමතරව,  සමාජවාදී සහ තරමක් කළබල කාරී   සිසුන් නොදැනමෙන් සිටි එහෙත් ප්‍රසිද්ධ රහසක් වූ  "හරිප්‍රිය " ගේ රුහුණේ පැතලොජි එකට එන්නට තිබූ අවශ්‍යතාවය සහ ඊට විරුද්ධව සමරසේන ඇතුළු එකල  පීඨමණ්ඩලය ගෙනගිය විරුද්ධවාදී වැඩපිළිවෙල මේ කාරණාවලට යටින් තිබූ සත්‍ය කතාවයි.

හරිප්‍රිය වුවද කරන්නට හැදුවේ අපේ සිසුන් ලවා කොස් ඇට බාවන්න හැදීමේ වැඩකි . ඒ බව අපට තේරුම් ගියද අපේ සහෝදරවාදී සිසුන් පෙනීසිටියේම "හරිප්‍රිය තමයි හරි" යන මතය වෙනුවෙනි.

හරිප්‍රියගේ වාට්ටුවට එස් එච් ඕ ලා නො එන්න හේතුව  ඔහුත් සමඟ එකට වැඩ කරන්නට බොහෝ එස් එච් ඕ ලා අකැමති වීමයි . එහෙත් එය අපට අදාල කාරණයක් යැයි මට සිතුණේ නැත  .

 අරකියූ කණ්ඩායම් දෙකේ අනික් පාර්ශවය සමහරවිට හරිප්‍රිය සමඟ ලඟින් ගණුදෙනු කරන්නට ඇත. එහෙත් සාකාච්චාවක් ගන්න කියා මැද පාර්ශව සිසුන් කිහිපදෙනෙක් සමඟ මා ඔහුගේ වාට්ටුවට ගිය සෑම වෙලාවකම  "ඔයාලා එක්ක මට ගණුදෙනුවක් නෑ "කියමින් අපව මඟහරින්නට ඔහු මඟ බලාගත්තේය .

මම පීඨමණ්ඩල ශාලාවේ  හතරැස් කොටුවක් ලෙස සකස්කර තිබූ විශාල මේස සමූහයේ එහාපැත්තේ වාඩිවී සිටිමි.

මගේ දකුණු අතපැත්තෙන් ඉන්නේ ආචාර්ය මණ්ඩලයට දැඩිව හිතවත්කම් දැක්වූවා යැයි සිතුණු කණ්ඩායමේ නායකයා ලෙස නිලනොවන ලෙස පෙනී සිටි පුද්ගලයාය.

 වම් පැත්තෙන්  සමාජවාදී සහ තරමක් කළබල කාරී   සිශ්‍යයෙක් සිටි.  ඒ කාලයේ සිටි හොඳම සහෝදර ශිෂ්‍යයෙක් වූ ඔහු අද අද අදහස් වලින් ඒපැත්ත පළාතකවත් නැත.

මේ කණ්ඩායම් දෙක බැලන්ස් කරමින් අපේ අධ්‍යාපනය ඉදිරියට ගෙනියන්නට දතකන මම මැදට වී සිටිමි.

අප වැල්ලමඩමේ සිට කරාපිටියට උපකුලපති තුමා එන බව අසා ඔහුත් සමඟ හදිසි  හමුවක් ඉල්ලා සිටියේ ඊට දින කිහිපයකට පෙරයි.

ඒ හරිප්‍රිය-වෛද්‍යපීඨ බලාරගලය නිසා "සාලවනයේ වඳුරා" බවට පත්වෙමින් සිටි අපේ සිශ්‍ය කණ්ඩායම  ඉන් බේරාගන්නා ආකාරය ඔහුගෙන් විමසා සිටින්නටයි.

දිගලෝගුවක් ඇඳගත් උපකුළපතිතුමා ශාන්තදාන්තව ඇවිත් අප ඉදිරියෙන් එක එල්ලේ ඇති  එහෙත් මීටර් ගණනාවක් එහායින් තිබූ  මේසය ඉදිරියෙන් අසුන් ගත්තේය. ඒත් සමඟම එකල  ආචාර්ය මණ්ඩලයේ සැලකියුතු චරිතයක් නොවුණත් පීඨ ප්‍රධානි සුහද ගම්ලත්ගේ ලඟම හිතවතා වූ ජේෂ්ඨ කතිකාචාර්ය වරයෙක් පැමිණසිටී.

"මචං ජයේ කෝ ඩීන් නෑනේ ? " අපේ සහෝදර පාර්ශවයේ හිතවතා කළබල වී ඇති සෙයකි.

කලින්ම සැලසුම් කර රඟදක්වන නාඩගම ගැන දන්නා ආචාර්ය මණ්ඩලයට දැඩිව හිතවත්කම් දැක්වූ වා යැයි සිතුණු හිතවතා කළබලයක් නැත.

මේ වනවිටත් "උඹ අපි මාතරට හරි ක්ලිනිකල් කරන්න යන්න කැමැතියි කියපන්"  කියා ඔහු සිය පාර්ශවයේ අදහස මට දන්වා තිබිණි.

 ජවිපෙ හිතවාදී යැයි පෙනී සිටි අනික් හිතවතා සිටියේ හරිප්‍රිය තරම් ශිෂ්‍ය හිතවාදී සර් කෙනෙක් ලොවෙත් නෑ  වැනි පදනමකිනි .

මම මැදය .  "සාලවනයෙන් වඳුරා ගලවා ගන්නේ කෙසේදැයි"  මගේ ඔළුව යකාගේ කම්මල මෙන්  කල්පනා කරයි.

"මේ මහාචාර්ය දොඩන්දූව  උපකුලපතිතුමා . ඔය "සහෝදරවරුන්ගේ සායනික ප්‍රශ්නය කථා කරන්න ඇවිල්ලා ඉන්නේ . එහෙනම්,   මොකක්ද ඔය සහෝදරයාගේ නම කිව්වේ ? ජයසිංහ නේද? අනික් සහෝදරවරු  නෙවෙයි ඔය සහෝදරයා ප්‍රශ්නය ඉදිරිපත් කරන්න " අචාර්ය අමරසේන  (එකල ඩීන් ගේ අතකොළුව ) මට කෙලින්ම අතදික්කරමින් පැවසූවේ "සහෝදරයා" යනවචනය මට මුලින්ම පාවිච්චි කල ආචාර්ය වරයා ලෙස ඉතිහාස ගතවෙමිනි .

ඔහු ආචාර්ය මණ්ඩලයට දැඩිව හිතවත්කම් දැක්වූ වා යැයි සිතුණු සහෝදරයාට භය නැත. එහෙත්   සමාජවාදී  යැයි සිතුණුසොහොයුරාට ඉතාමත් භයපක්ෂපාතය.

ජයසිංහ කවුදැයි ඔහු එදා තබා අද වෙනතෙක් වත්  දන්නේ නැත. ඔහු පමණක් නොව අපේ ශිෂ්‍ය කණ්ඩායමේම සිටි සමහර හිතවතුන් පවා ජයසිංහ කවුදැයි හරියට හඳුනාගත්තේ නැත.

මම පටන්ගත්තෙමි.

" උපකුලපතිතුමා , අචාර්ය මණ්ඩලයේ නියෝජිත සමරසේන මහතා සහ මගේ කණ්ඩායමේ හිතවතුන් දෙදෙනාගෙන් අවසරයි . මම  අහවල් කණ්ඩායමේ ශිෂ්‍ය නියෝජිත . අපි තුන්වන වසරේ සායනික පුහුණුව පටන්ගන්න ප්‍රමාදවෙලා ඉන්නේ . ඒ ගැන කතා කරන්න තමයි අපි ඔබතුමාගෙන් හදිසි සාකච්චාවක් ඉල්ලුවේ . මම මුලින්ම කියන්න ඕනේ මම කිසිදු පාර්ශවයක් නියෝජනය කරන කෙනෙක් නෙවෙයි මම නියෝජනය කරන්නේ අපේ ශිෂ්‍ය  කණ්ඩායම සහ ඔවුන්ට සායනික කටයුතු ආරම්භ කරන්නට නොහැකිවී ඇති ගැටළුව."

   සමරසේන මහතා ගේ මුහුණ තරමක් ඇඹුල් වනු දුටු  උපකුලපති තුමා  හරි ඔයා ගැටළුව ඉදිරිපත් කරන්න . අපි සාකච්චා කරමු  යැයි මාව දිරිමත් කළේය .

"අපි තාම සායනික කටයුතු පටන්ගෙන නෑ ඒ නිසා රෝහල් පාලනය වෙන හැටි ගැන මට ලොකු අවබෝධයක් නෑ ඒත් අපිට ආරංචී වී ඇති හැටියට හරිප්‍රිය මහත්තයාගේ වාට්ටුවට එස් එච් ඕ ලා නෑ .ඒ නිසා එයා අපිට උගන්වන්න බෑ කියනවා . හැබැයි මහාචාර්ය ඒකකයේ එස් එච් ඕලා වැඩිපුරත් ඉන්නවාලු . ඔබතුමාට පුළුවන්නම් මහාචාර්ය ඒකකයත් එක්ක කතා කරලා ඒ අයගෙන් දෙන්නෙක්  හරිප්‍රිය මහත්තයාගේ වාට්ටුවට දෙන්න කියන්න . මම ඉතා සරළව දෙවන වසරේ සිසුවෙකුගේ දැනීමේ හැටියට ගැටළුව ඉදිරිප කළෙමි.

එය අසා සිටි උපකුල පතිතුමා හැරින්නට වත්වෙලාවක් නොවීය .

සමර්සේන මහතා අතිශය කේන්තියට පත්වූ බව පෙනෙන්න්නට තිබිණි

 "දිස් ඊස් හරිප්‍රියස් වොයිස් , දිස් ඊස් හරිප්‍රියස් වොයිස් " කියමින් ඔහු විසුළුකාරී ලෙස උඩ පනින්නට විය .

මම ඉතා සංවරව , සාවධානව දෙවන කොටස පටන්ගත්තෙමි.

"එක එක අයගේ හඬවල් ශිෂ්‍යන් අතර තියෙන්න පුළුවන් ,හැබැයි මම මෙතන ඉන්නේ මගේ  පෞද්ගලික හඬවෙනුවෙන් වත් නෙවෙයි. මම මේ කණ්ඩායමේ ශිෂ්‍ය නියෝජිතයා . මට වගකීමක් තියෙනවා එයාලගේ ගැටළුව ඔබතුමාලට ඉදිරිපත් කරන්න . ඒකට මට කාගෙවත්  හඬක් වෙන්න ඕනේ  නෑ.."

 අසළ සිටි සැවොම මීක් ගාන ශබ්ධයක් නැති ගාණට නිශ්ශබ්ද විය . මගේ දෙපැත්තේ සිටි සහෝදර දෙපළ මුහුණෙන් මුහුණ බලති. සමරසේනයෝ නිරුත්තර විය .

එහෙත් එද සිට  ඇරඹුනේ සමරසේනයන්  ශිෂ්‍ය කණාඩායමක් වෙනුවෙන්  හඬ නැගූ මගෙන් පෞද්ගලිකව පළිගැනීමට  සිතා ගුරුවරයෙකුට තබා  ජාති හතුරෙකුටවත් තරම් නොගැලපෙන තරමේ පහත් සහ නිහීන තත්ත්වයක වූ පළිගැනීම් මාලාවක් වෙනුවෙන් යොමුවූ අවස්ථාවක සමාරම්භයයි

පසු සටහන:

අද සමරසේන මහතා උසස් අධ්‍යාපන ආයතනයක් ඉහළම පුටුවකට ගොස්  එදාටත් වඩා ළාමකව හැසිරෙමින් සිටියි.

සහෝදර පාර්ශවය නියෝජනය කළ සිසුවා   ඉතා  ඉහල සමාජ කුළකයක් සමඟ ගණුදෙනු කරනා ප්‍රභලයෙකි.   සහෝදර  කැක්කුම් ඒ පැත්ත පළාතකවත් නැත.

ආචාර්ය මණ්ඩලයට දැඩිව හිතවත්කම් දැක්වූ කොහේ කොහේ ඉන්නවාදැයි මම නොදනිමි.

අපි තවමත් හඬක් නැති ඌවේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් සුළුවෙන් හෝ යමක් කරන්නට උත්සාහ කරමින් සිටින්නෙමු .

එදා පේරාදෙණිය මහජන බැංකුවේ කළමනාකරුගේ කාමරයේ  මා සමඟ දොඩමළු වූයේ අනූ ගණන්වල වැල්ලමඩමේ  පාලකයාව සිටි මහාචාර්ය දොඩන්දූව මැතිතුමාය

එසේ අපිත් සමඟ සුහද සංවාදයේ යෙදුන   ඔහු මගේ සිතිවිළි එක්දහස් නමසිය අනූ ගණන්වල කරාපිටිය වෛද්‍යපීඨයේ බෝඩ් රූම් එකට අරන්යන්නට සමත්වුයේ ඇසිල්ලකිනි.


ඊලඟ කොටස මෙතැනින්

අපේ පුතා බඹරකන්ද ඇල්ල අඳින හැටි (How to Paint a Beautiful Waterfall in Acrylics/Oils)

Saturday, 8 June 2019

හොඳම දේ දරුවන්ටයි



අපේ මී මැසි පාලක කරුණාරත්න මහතා වගේම බණ්ඩාරවෙල මී මැසි පාලනය කළමණාකරණය කරන වසන්ත සංජීවත් මේ දවස්වල මී මැස්සෝ වගේම කඩිසරයි . එහාට දුවනවා මෙහාට දුවනවා. අද උදේ වරුවේ කරුණාරත්න මහත්මා හිටියේ බණ්ඩාරවෙල වලස්බැද්දේ. ඊයේ හිටියේ දෝව උඩුකුඹල්වෙල. 
මීට සුළුමොහොතකට පෙර වසන්තත් කරුණාරත්නත් යන දෙදෙනාම හිටියේ මී මැසි පෙට්ටි මිලදී ගන්න ගිහින් . අද දවසේ වලස්බැද්දට ගිය කරූ මහතාට දැක ගන්න ලැබුණු දේවල් ඔහුවත් ඒ හරහා වසන්තලා සහ අපිත් ඉතාමත් සතුටුදායක තත්ත්වයකට පත්කලා .
1. වලස්බැද්දට දුන්න පෙට්ටි 22 කම දැන් ජනපදවලින් පුරවලා ඉවරයි. ( අභයරාජා ප්‍රමුඛ වල්ස්බැද්දේ සමිති සාමාජික සාමාජිකාවන් විසින්)
මේ සමිතියේ වැඩිපුර ඉන්නේ සාමාජිකාවෝ.
2. කරූ මහතා එහි යනතෙක් බලාගෙන හිටපු අමුත්තෙකුගේ කථාව. 
ඔහු පහළොස් හැවිරිදි පාසැල් දරුවෙක් අම්මාට උදේම කියලා පාසැල් නොගිහින් නැවතිලා කරූ මහතා දෙන මී මැසි පාලන අධ්‍යාපනයට වහවැටිලා. 
කරූලා , වසන්තලා අභයරාජලා ඇතුළු අපෙන් පස්සේ පරිසරයට ,ගහටකොළට සතා සීපාවට ආදරේ කරන ළමයෙක් හැදෙන බව දුටු කරූට හරි සතුටුයි. අපි වැය කරන කාළය , ශ්‍රමය සහ මිලමුදල් අපතේ නොයා අනාගත පරපුරටත් යමක් යනවා දැක්කම සතුටු නොවී කොහොමද ?

Monday, 3 June 2019

සොඳුරු සිහිනයක් -"ගමන් ගෙඩියක්"





සති අන්තයේ මහ අමුතු හීනයක් දැක්කා . ගුමු ගුමු ගාගෙන අපේ වත්තේ ( බණ්ඩාරවෙල මාරබැද්දේ මයෙ හිතේ ) පහළට "ගමන් ගෙඩියක්" යනවා . මගේ අතේ තිබ්බේ පෑණක් විතරයි . 
මම හනි හනිකට අම්මාටත් කෑගහගෙන ගෙට දුවනවා "අම්මා ඉලත්තට්ටුවක් ගේන්න .. ඉලත්තට්ටුවක් ගේන්න ." මොකද චූටි පුතා උඹ මේ ආඟිරි දෙන්නේ ? මොන මල යකෙක් වැහුණද උඹට? "
" නෑ නෑ මේ "ගමන් ගෙඩියක්" යනවා අම්මා ඉකමණට ඉලත්තට්ටුවයි යකඩ ඇණයකුයි ගේන්න. මේ මී මැස්සෝ ටික කොහේ හරි ගහක නවත්ත ගන්න. "
අම්මා එනපාටක් නෑ මම ලඟ තිබ්බ ටකරම් කෑල්ලකට ගගහා ගමන්ගෙඩිය පස්සෙන් දුවනවා. මී මැස්සො පස්සේ දුවලා දුවලා මහන්සියටම මට ඇහැ ඇරුණා.
බලනකොට මම ඔස්ට්රේලියාවේ මගේ ගෙදර ඇඳේ . කොහොමවුණත් "ගමන්ගෙඩිය" එක්ක මම බණ්ඩාරවෙලටම ගිහින් ..
මේ දවස් වලවෙන මොනවා ගැනද ඉතිං හීන දකින්නේ? මී මැස්සන් ගැන මිසක්. ........



ඔන්න ඕකයි ගමන් ගෙඩියේ කථාව