Follow by Email

Friday, 14 February 2020

ඔවා දෙනු පරහට


මගේ සිත තැන්පත්ය, තැන්පත්ය තැන්පත්ය
දයා කරුණා සිතින් පිරුණු සිත් පිරිසිදුය
පරිසරය මා රකී රකිමි මා පරිසරය 
පාසලේ මව් දකින හොඳම දරුවා මමය

ඒ එක්දාස් නමසිය අසූ ගණන් වල මුල් හරියේ . හැත්තෑ හතේ රාජ්‍ය පාක්ෂික මිනිසුන් විසින් රට පුරා මැරකම් හොරකම් ස්ත්‍රී දූෂණා ආදිය සිදුකර අවසන නැවත රටේ ධාර්මික බව , නීතිගරුක බව , විනය සංහිදියාව ඇතිකරන්න උත්සාහා කරන කාලයක්. මේ කාලේ රාජ්‍ය පක්ෂයේ දේශපාලකයෝ , අළුත් අළුත් පූජක වරු , රාජ්‍ය නොවන සංවිධාන ආදී විවිධ කණ්ඩායම්   තරුණ තරුණියන්, පාසැල් ශිෂ්‍යයින් අවිහිංසාවට යොමුකරවන්න  උනන්දුවෙමිනුයි හිටියේ . උදාහරණයක් විදිහට  පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේ බණ්ඩාරවෙල නගරසභා ශාලාවේ අතුරුසිදුරු නැතිව  පිරුණු උපාසක උපාසිකාවන්ට බණකිව්වේ මේ දවස්වලම තමයි

මේ කාලේ මමත් අපේ යාළුවෝ කල්ලියත් හිටියේ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ පොඩිපංති වල . මේ වෙනකොට අපේ තාත්තලා , බාප්පලා ඇතුළු එකල විරුද්ධ පාක්ශිකයින්ගෙන් හොඳටම පළිගන්න, ඔවුන් ඈත ප්‍රදේශ වලට මාරුකරන්න එහෙම පියවර ගත් පාලක පක්ෂයේ නායකයා අතිගරු ජනාධිපති  ජේ ආර් ජයවර්ධන උතුමාණෝ ධර්මිෂ්ඨ සමාජයක් බිහිකරන්න වෙහෙසෙනවා..
එතුමාගේ අමාත්‍ය මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යාපන ඇමතිතුමා විදිහට හිටියේ ගරු සමරවීර වීරවන්නි මැතිතුමා. එතුමා ඒ දවස්වල අපේ ඉස්කෝලෙට නිතර ආව ගිය කෙනෙක්

මම  මේ කාලේ කිරිඔරුවේ එළවළු කොටුවල හදන එළවළු එහෙම  විකුණන්නත් ඒවා විකුණලා අම්මා කියන බඩු ගෙනෙන්නත්  ඉරිදට  පොළේ එහෙම යන කොළුගැටයෙක් .

එහෙම  පොලේ යන සමහරක් දවස්වලට  අම්මා මට කියනවා

" චූටිපුතා එනකොට මාර්කට් එකේ මැද තියෙන මුස්ලිම් මස් කඩෙන් මස් රාත්තලක් අරන් වරෙන් .. හැබැයි මතක ඇතිව   තනිමස්  ඉල්ලන්න ඕනේ නැත්නම්  උන් කටු තියෙන මස් දානවා" කියලා

අපේ ගෙදර හරක්මස් කන්නේ අක්කයි ,මායි තාත්තයි විතරයි . අය්යටයි අනික් නංගිලා දෙන්නටයි කරප්පන් දානවා මස් කෑවම. අම්මා මස් කන්නෙත් නෑ ඒ වුණාට අපිට හරි රසට මස් උයලා දෙනවා. මම ඒ කාලෙත් මිල මුදලට , සකසුරුවමට කැමතියි වගේම සල්ලි හොයාගන්න එක එක ක්‍රම පාවිච්චි කරනවා.

ඒ වගේ එක උපක්‍රමයක් තමයි අම්මාට තනි මස් රාත්තලක් ගේනවා කියලා ගිහින් තම්බි මුදලාලිගෙන් කටුමස් රාත්තලක් අරන් එන එක . ඉතිරිවෙන රුපියල් කිහිපය මගේ  මුදල් එකතුවට යනවා හැම සතිඅන්තයේම වගේ

ඔයකාලේ සමරවීර වීරවන්නි මැතිතුමා ඊ ඩබ්ලිව් අධිකාරම් නම් මහත්මයෙකුත් එක්කරගෙන අපේ ඉස්කෝලෙට එනවා . ඇවිල්ලා ඔය ඉහතින් කියපු සිංදුවත් අපිට පුරුදු කරනවා .ඒ ඉස්කෝලේ ස්වෙච්චාවෙන් එයාලා ඇති කරපු අමධ්‍යප සංවිධානයත් , බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ නිර්මාංශ සංගමයටත් සාමාජිකයින් ලෙස අපේ පංතිවල හිටපු ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳවා ගැනීමෙන් අනතුරුව ..
මමත් හා හා පුරා කියලා  ඉස්කෝලේ  නිර්මාංශ සංගමයට බැඳුනා .. අමධ්‍යප සංවිධානයටත් එකතු වුණා . සතියේ දවස්වල " මගේ සිත තැන්පත්ය , තැන්පත්ය කිය කියා වීරවන්නි මහත්තයාලා එක්ක  කිය කියා ඉඳලා සති අන්තෙට  අම්මා උයලා දෙන හරක්මස් එහෙම රස  විඳිනවා නිර්මාංශාහාර සංගමයේ සාඩම්බර සාමාජිකයෙක් විදිහට .

මට මේ වැඩේ වැරැද්දක් කියලා හිතුණේ නෑ.  ඇයි ඉතිං...... අපිට ඒ දවස් වල ආදර්ශමත් චරිත ලෙස පෙනුණු වීරවන්නි මහත්තයයි එයාලගේ  නායකතුමයි දෙන්නත්  ධර්මිෂ්ඨ සමාජයක් බිහිකරමු කියලා  කියමින්  කරේ ඊට ටිකක් පරස්පරතාවයක් දක්වපු වැඩමනේ.

හොඳවෙලාවට මම අමධ්‍යප සංවිධානයේ විධිවිධානවලට නම් තවමත් ගරුකරනවා.. ඒ නිසාමදෝ කොල්ලෝ ටික එක පැත්තකට වෙලා බි බී ඉන්න .. කෙල්ලෝ ටික අනික් පැත්තට වෙලා බීල බීලා වාතවෙන තමන්ගේ කුඩා කල පාසැල් මිතුරන් සහ ඔවුන්ගේ දුවා දරුවන් ගැන දුක්වෙන පංති සගයන්ගේ "ගෙට්ටු ගෙදර්" සාද වලට එන්නත් පොඩි මැළිකමක් තියෙනවා

Saturday, 8 February 2020

පුටු කතාවක්



මම මහාවිද්‍යාලයට ආවේ හයේ පංතියේදී වුණාට පල්ලැහැ ඉස්කෝලේ ( ධර්මාශෝකේ) ඉඳලා උඩහ ඉස්කොලේට එද්දි මම ආවේ අනික් අයට පස්සේ. සාලියලා , ලක්සිරිලා , ඉන්දික කටුගහලා ,අපේ රුවන් ආටිගලලා වගේ කට්ටිය උඩහ ඉස්කෝලේට ඇතුළත් වෙන විභාගේ ලියලා මහා විද්‍යාලෙට ගියා . මම විතරයි පහේ ශිෂ්‍යත්වේ පාස් අයගෙන් ජනවාරියෙම උඩහට නොයා ශිෂ්‍යත්වයේ ප්‍රථිපල  වලට ඉස්කෝලේ ලැබෙනකං ඉඳලා උඩහට ගියේ.

ඔන්න මාර්තු අප්‍රේල් වගේ  කාලේක අම්මා මාවත් එක්කන් උඩහ ඉස්කෝලෙට  ගියා අර තිලකසිතේ තිලකසිරි අය්යා කිව්වා වගේ ඒ කාලේ අපි පුටුවක් ගෙදරින් ගේන්න ඕනේ. අපේ තාත්තා ඒ කාලේ තාවකාලිකව වැඩ නැතිව හිටපු ලිපිකරුවෙක්  ( ඊට කලින් බණ්ඩාරවෙල අධ්‍යාපන කාර්යාලයේ හිටියේ) කොහොමහරි ඉස්කෝලෙට යන දවසේ පුටුවක් ගෙනියන්න ඕනෑ නෑ කියපු තාත්තා එයාගේ ඒ කාලේ හිතවතෙක් වෙච්ච එතකොට  බණ්ඩාරවෙල මමවි හිටපු  නියෝජ්‍ය විදුහල්පතිතුමාට දෙන්න කියලා තුණ්ඩු කෑල්ලක් දුන්නා ( මට පුටුවක්  ලබාදෙන්න ක්‍රමයක් කියලා වෙන්න ඕනේ ඒකෙ තිබුණේ)
කොහොමහරි නි. විදුහල්පතිතුමා " මේ කවුද මෙයා මම අඳුරන්නේ  නෑ කියලා තුණ්ඩු කෑල්ල විසිකරා"
දැන් මට පුටුවක් නෑ, හා පුරා කියලා ඉස්කෝලෙ ගිය දවසෙම  හිටගෙන  ඉන්න වෙන හැඩක් තියෙන්නේ..

ඔන්න  මම නිල්පාට බෑග් එකත් පිටේ එල්ලගෙන අම්මත් එක්ක අර ලෝහ වැඩ කාමරේට පහලින් තිබ්බ බිල්ඩිම අයිනෙන් 6  බී එක හොයාගෙන   යනවා කොට බිත්ති උඩින් පල්ලැහැ ඉඳන් උඩට ආපු අපේ ගැංසිය කෑ ගහනවා .

" මචං කිටී , මචං කිටී අපේ පංතියට වරෙන් අපේ පංතිය වරෙන්" කිය කියා

අන්තිමට  &*&** ටීචර් ( අපේ තාත්තගේ යාළුවා  &*&** අංකල් ගේ නෝනා , අපේ  &*&** ගේ ම්මා) භාරව හිටපු පංතිය මම ගියා .

මට පුටුවක් නැතිබව දැක්ක සාලිය ලා ඇතුළු ගැංසියේ කොල්ලෝ මට අයිනකින් වාඩි වෙන්න ඉඩ දුන්නා මුල්ම  දවසේ. දෙවැනි දවසේ අම්මා ගෙදර කෑම මේසේ තිබ්බ ලී පුටුවක්  ගෙනියන්න දුන්නා .. ඒක ඉස්කෝලේ තිබ්බ අනික් පුටු එක්ක ගත්තම ටිකක් වෙනස්. ඒත් ඒක ඉස්කෝලට ගිහින් දාලා සාලිය, ලක්සිරි , කට්ටා , මාබොට්ටා ඇතුළු අපේ කට්ටියගේ සහයෙන් හොඳ පුටුවක්  සොයාගත්තා.
කොහොම හරි ගෙදරින් ගෙනා ලී පුටු කබල පැත්තකට දාලා ඊට වඩා ලස්සන පුටුවක තමයි මම ඊට පස්සේ  දිගටම වාඩි වුණේ

Saturday, 1 February 2020

උදව් කරන්න ප්ලීස්!!

මගේ බ්ලොග් එකේ අවුලක් !! මට ඔබේ කොමෙන්ටු වලට රිප්ලයි කරන්න බෑ ගූග්ල් අකවුන්ට් එකෙන් . අනික් අයගේ ඒවට කමෙන්ට් කලත් යන්නේ ඇනොනිමස් (කරනවටත් නෙවෙයි.. ඊයේ තිලකසිතට කොමෙන්ටුවක් දැම්මා එතකොටයි අහුවුණේ)
"බ්ලොගර් සෙටින්ග්ස්" අවුලක් වගේ