Follow by Email

Friday, 4 December 2020

දෙය්යෝ මරාදමයි!!



ඩෙන්න ඩෙනා ඩෙන නා ඩෙන ඩෙන්නෝ

ඩෙන්න ඩෙනා ඩෙන නා ඩෙන ඩෙන්නෝ

ආයුබෝ වේවා !!!

ඇයිද යකුනි තොපි ...පිට්ටු නොකන්නේ.......

ලුණු නැති පිට්ටුව ..... කොහොමද කන්නේ ...

ආයිබෝ වේවා !!!

කොස් ගහ මුදුනේ ... ටකේ බඳින්නේ.....

කඹේ නටන කොට.... ටකේ වදින්නේ....

ආයිබෝ වේවා !!!

"ඔන්න ආයිත් එහා ගෙදර තොවිළයක්ද කොහෙද? කොයි එකීටද? දන්නේ නෑ මේපාර කළු කුමාරයා වැහිලා තියෙන්නේ?"   අම්මා කියන්නේ මේ තොවිල් සද්දය ඇහීමත් සමඟයි .. ඒ අපේ අල්ලපු ගෙදර කුසුමක්කලා ගෙදර  ඒ කාලේ නිතර නිතර සිදුවූ බළි තොවිල්ගැන අපේ අම්මාගේ කියැවීමයි .. "අම්මා මම යනවා තොවිළේ බලන්න කියමින් අපේ අය්යා වැට පැන්නේ සූකිරි අය්යලා (කුසුමක්කලා ) ගෙදරට යන්නටයි . චූටිපුතා උඹ එහෙම යනවා නෙවෙයි ඔය පැත්තේ ඔය මිනිස්සු හූනියම් කපනවා අරවා මේවා කරනවා කියලා මොනවා කරනවද කව්ද දන්නේ?  

අපේ ගෙදර එහා පැත්තේ අපි කියනවිදිහට "එහා ගෙදර  " හිටියේ රජයේ තේවත්තේ තේ දළු කඩන පවුලක් . ඇත්තටම එයාලා ලැයිමේ ඉඳලා අපේ ගෙට එහා පැත්තෙන් ගෙනත් නවත්තලා තියෙන්නේ තාත්තගේ අය්යා කෙනෙක් වන කරුණේ ලොකු තාත්තා .. 

"මල්ලීගේ තනියට කියලා අය්යා කරපු හපන්කමනේ ඔය. මෙහාට ගෙනැත් දාලා ලැයිමෙ හිටපු විදිහට ඉන්න දෙන්නේ නැතිව" අම්මා ආඩපාළි කියන්නේ ඒ කාලේ නිතරනිතර හදි හූනියම් කැපීම් , තොවිළ් පවිල් කිරීම් එහාගෙදරසිදුවූ නිසයි.



මාතර වේරදූවේ සිට බණ්ඩාරවෙලට පැමිණ සිටි පවුලක් වූ මේ අය "ඩබ්ලිව්  ඩී ලා කට්ටිය"  ලෙස හඳුන්වන්නට ගම්වාසීන් පුරුදු වී සිටියහ . ඒ වේරදූව ධනපාලලාගේ නම් වාසගමක් සහිත නම් ඔවුන්ට තිබුණු  නිසාය.

අම්මා ඔය කට්ටිය මාතර කට්ටියක් කියන්නේ ඇත්තද? කට්ටඩියෝ එහෙම හොඳට දන්න කට්ටියක් කියනවනේ? " පැණය අක්කාගෙනි.  .. "

"උං මාතර කියලා අපි බයවෙයි .. අපේ ආතම්මත් මාතර කැකණදුරේ ගෑනියෙක් බොලව් !! අපෙත් මාතර ලේ තියෙනවා ".. අපේ අම්මා ඒ කියන්නේ දුවන හේවාගේ ගිමාරාහාමි නමින් බණ්ඩාරවෙල කිරිඔරුවට දීග ආ අම්මා ගේ ආත්තම්මා  ගැනයි . ගිමාරාහාමි විවාහ වී තිබුණේ කිරිඔරුවේ පැරණිම පවුල්වලඉන් එකක් වන කහටගහවත්ත පවුළේ  "කහටගහවත්තේ මුත්තා" නමින් හැඳින්වූ අම්මාගේ මුත්තා සමඟයි. ඔහු රාජපක්ෂ කෙනෙකි..  කොඩිවිණ , තොවිල් පවිල් කරන මාතර කට්ටියට ඇති භය නැති කරගන්නට අම්මා යොදාගන්නේ මාතර ම උපන් ඇගේ අත්තම්මා, දෝන ගිමාරාහාමි ආත්තම්මාගේ සම්බන්ධයයි.

පසුව අපේ අය්යාගෙන් දනගත් පරිදි එදා තොවිළය කරලා තිබුණේ එහා ගෙදර කුසුමා අක්කාටයි .. පුහුළ් ගෙඩිය කපන්න සොහොනට අරන් ගිය බවත් , කුකුළ් බිල්ලේ බෙල්ල කැඩීමත් සමඟ ආතුරයා (කුසුමා අක්කා) ගේ ඇඟට වැහී සිටි යකා එහා ගෙදර කොස් ගහේ අත්තක්ද බිඳගෙන පිටවූ බවත් අපේ අය්යා කියනවා මා අහගෙනය .. 

ඒ කාලේ එහා ගෙදර වගේම තොවිල් පවිල් , හදි හූනියම් කැපීම් කල තවත් ගෙදරක් අපේ ගමේ තිබිණි . ඒ අපට ගෙවල් කිහිපයක් පහළින් තිබූ විමල් නැන්දලා ගෙදරයි 

වරින් වර විමල් නැන්දලා ගෙදරට එක එක ගුරුන්නාසේ ලා පැමිණෙන අතර වරක් එහි පැමිණ තරුණ ගුරුන්නාන්සේ කෙනෙක් ගැන මට සෑහෙන මතකයක් තිබේ .. සුදු හීන්දෑරි කෙනෙක් වූ ඔහු වයස විසිපහක් -තිහක් අතරේ වූ අයෙකි .. ගමේ අයට විමල්නැන්දලා මේ ගුරුන්නාන්සේ  හඳුන්වා දී තිබුණේ දෙය්යෝ නමිනි.. ඔහුට ගුරුන්නාන්සේ කියනවාට අකැමති බවත් ඔහු දෙය්යෝ නමින් හැඳින්විය යුතු බවත් කියා තිබුණි. ඒ කාලේ දෙය්යෝ ( මට මතක හැටියට බණ්ඩාරවෙල වටගමුවේ පවුළකට සම්බන්ධ කෙනෙක්)  නිතර නිතර ඒ පළාතේ ගෙවල් වල තොවිල් පවිල් කලේය . ඒ ඔහුට ලැබී තිබුණු කාලි අම්මාගේ වරයක් හෝ වෙසමුණි වරමක් හෝ රාවණා වරමක් වැනි යමක් නිසා ඔහුට ලැබී තිබුණා යැයි කිවූ බලයක් පාවිච්චි කරමිනි.. නිතර නිතර විමල් නැන්දලා ගෙදර ආ ගිය දෙය්යෝ නිසා ආවේශ වූ විමල්නැන්දාගේ දුවක් පසුකලෙක දේවතාවියක් වෙන්න නියමිත බවට කසුකුසුවක් තිබුණා මතකය . 

ටික කලක් බණ්ඩාරවෙල ගැවසුණු දෙය්යෝ ගැන කිසි ආරංචියක් නැතුව ගිය අතර ඔහු විවාහ වී වැල්ලවාය ප්‍රදේශයට ගිය බව දනගන්නට ලැබුණි .

ඒ කාලේ දෙය්යෝ එන්නේ සුදු සරමක් හා කමිසයක් ඇඳ බඳ වටා රතු පටියකුත් හිසේ එක පැත්තකට එල්ලෙන සේ බැඳ ගත් තවත් රතු පටියකුත්   බැඳගෙනයි ..

දෙය්යෝ වැල්ලවායට ගොස් පවුල් පංසල් වී දරු දැරියන් තිදෙනෙක් ද හදාවඩා ගෙන සිට තිබේ .. ඔහු ගැන අපට නැවත ආරංචි වෙන්නේ පත්තර වල පොල්ගෙඩි අකුරින් වැටුණු ප්‍රවෘත්තියක් නිසාය . 

බණ්ඩාරවෙල තොවිළ් පවිල් කරගෙන දැහැමින් සෙමින් සිටි දෙය්යෝ වැල්ලවායේදීද දෙවිකම අතහැර නැත . අවාසනාවකට ඔහු හදි හූනියම් කර හෝ හදි හූනියම් කපා තිබුණේ වැරදි මිනිසුන්ටය .

 දෙවියෝ , දෙවියන්ගේ බිරිඳ , දරු තිදෙනා කපා කොටා මරා දමා දෙය්යෝ වාසය කල පැල් කොටේටම දමා ගිනිතබා තිබුණේ  ඔහු හූනියමක් කලා යැයි සැකපිට හූනියම වැදුනු පවුළක් විසින්ම යැයි පුවත් පතේ සඳහන් වී තිබිණි .. 

වෙලාවට දෙය්යන්ට වැහී තිබූ කාලි අම්මා  හෝ වෙසමුණියා  එහි පැමිණ නොතිබිණි නැත්නම් ඔවුන්ටත් අත්වනු ඇත්තේ දෙය්යන්ට සහ පවුළට අත්වූ ශෝචණීය ඉරණමමය..

Sunday, 22 November 2020

අළකොළ මාළුවක් ( ව්‍යංජනයක් )/ඇඹුලක් හදන හැටි.

 


අවශ්ය ද්රව්ය : වෙළ් අළ කොල ලපටි දළු සහ දඬු , ගොරකා කෑළි කිහිපයක් , සුදුළුණු යහමින්, රතුළුණු , උම්බලකඩ ස්වල්පයක් , අබ , උළුහාල් , මිරිස් කුඩු , තුනපහ කුඩු , කහ කුඩු.. ගම්මිරිස්





මුළින්ම මැටි ඇතිළියක් ගෙන එහි වතුර උතුරන්නට තබා එයට මිරිස් , තුනපහ , කහ , සුදුළුණු , ගොරකා කැබැළි දෙක තුනක් ආදිය දමා වතුර උණුවෙන්න හරින්න
ඒ අතරේ අළකොළ දඬු සහ දළුවල පිටත සිවිය නියපොත්තෙන් කඩා බෝංචි වල නූල් හරින්නා වාගේ පිටත සිවිය ඉවත් කරන්න.. ඊට පසු අළකොළ දළු සහ දඬු හීනියට කපාගන්න.. එසේ කපා ගත් අලකොල නටන වතුර තිබෙන ඇතිළියට දාන්න..

කෙළින්ම කපලා උයන්නේ නැතිව දවසක් දෙකක් වට්ටියක දමා පවණේ වේලලත් අළකොළ උයන්න පුලුවන් . ඉස්සර අපේ ගෙදරට පල්ලැහැ ගෙදර ජීවත්වූ ජේන් අක්කා අළකොළ උයන්නේ එහෙම පවනේ වේලලා .

දැන් ලුණු ස්වල්පයක් ද එක්කර අලකොළ අර වතුරේ හොඳටම තැම්බෙන්න හරින්න .. අලකොළ උයද්දී හැන්ද ගහන්න එපා කියලා තමයි අපේ අම්මා කියන්නේ ඒ නිසා හැඳි ගෑමෙන් සම්පූර්ණයෙන්ම වලකින්න අළකොළ හොඳට බෙරිවෙන්න ඉදෙනකම්.. ඊට පස්සේ හොඳින් ඉදුනු අලකොල ටික භාජනයකට දාලා අර ඇතිළියට යහමින් පොල්තෙල්/ ඔලිව් තෙල් / සූර්යකාන්ත තෙල් ( ඕනෑම තෙල් වර්ගයක්) දාලා හොඳින් තලා ගත් සුදුළුණු. බික් කිහිපයක් සහ අබ ස්වල්පයක් දමා තෙල් හොඳට කරවූ පසු අර අළකොල ටික තෙලට දමන්න .. දැන් ඉතිං තියෙන්නේ බත් , රොටී හෝ පාන් එක්ක අළකොළ සප්පායම් වෙන්න තමයි..

ආ.. තව එකක් අළකොළ කාලා ඇල්වතුර බොන්න එපා කට කහන්න පුලුවන්, උණුවතුරම බොන්න

Saturday, 21 November 2020

වෙල් අලකොළ මාළුව ... ඔරිජිනල් එක වාගෙමයි

 



ගෙවල් අතර මාළු පිණි හුවමාරු කරගන්නා එක අපි කුඩා කාළයේ අපේ ගෙවල් පැත්තේ තිබුණ සිරිතක් .. විශේෂයෙන් දවල් කෑම වෙලාවට වගේ සහ හවස් වෙද්දී රෑ කෑමට පෙර පල්ලැහැ ගෙදර ජේන් අක්කලා ගෙදරත් අපේ ගෙදරත් මේ මාළු ගෙනියන වැඩේ සිද්ධ වෙනවා ..

අම්මා උයපු බෝංචි , කැරට් , වට්ටක්කා , අවර , මුකුණු වැන්න වගේ ජාති සහ තාත්තා පොළෙන් ගෙනෙන වැටකොළු , පතෝල , ඉන්නල වගේ මාළුවක් ජේන් අක්කලා ගෙදරට අරන් ගියාම ගෙනිච්ච භාජනේ පුරවලාම කොස් , දෙල් , රුබා, නිවිති දාපු පරිප්පු වගේම ජේන් අක්කාගෙ ඉවුම් පිහුම් වල අපි කැමතිම මාළුව .. අලකොළ මාළුව අපිට ගෙනියන්න දෙනවා ... අපි කෑදර කමට අළකොළ , රුබා වගේ කෑම ජාති පැන පැන කනකොට ( මේ දෙජාතියම ජේන් අක්කලාගේ උඩහ පීල්ල ලඟ වත්තේ යහමින් තිබුණා ) අම්මා කෑ ගහනවා "ඕවා වැඩිය කන්න එපල්ලා බං ලේ බඩ යන්න පුළුවන්" කියලා .



ඒ මොනාකිව්වත් ජේන් අක්කා ගේ අළකොළ මාළුවටයි , ඒ විදිහටම උයන රුබා කොළ ( රුබාබ්) මාළුවටයි ඒ වගේම තෙල් දාලා හදන කොස් මාළුවටයි ගහන්න කෑමක් හතර දිග්බාගයකම තිබ්බේ නෑ.



ඊයේ වට්ස් ඇප් තාක්ෂණය හරහා අම්මාගෙන් සජීවී උපදෙස් ගනිමින් හැදූ මේ අලකොළ මාළුව හදලා ඉවර වෙලා රහ බල්ද්දී මට ජේන් අක්කා මතක් වුණා . මම ඒ බව ලෝභ නැතිවම අම්මාටත් කිව්වා ..




අළකොල ඇඹුලක් (මාළුවක්/ව්‍යංජනයක් ) හදන හැටි ඊලඟ කොටසින්

පෝස්ටර් ව්‍යාපාරය



වයස අවුරුදු 23 සිට 27-28 දක්වා වූ තරුණ ජීවිතයේ වටිනාම කාලවකවාණුවක් මා ගෙවා දැම්මේ ගාල්ලේ මහමෝදර රෝහල ආශ්‍රිතවයි . ඒ වෛද්‍ය සිශ්‍යයෙක් ලෙස කරාපිටියේ පිහිටි රුහුණු වෛද්‍යපීටයට යන්න එන්න ටිකක් දුරබැහැර වුණත් නිදහස අතින් උපරිම වූ අපේ ආදරණීය ශිෂ්‍ය නේවාසිකාගාරය පිහිටා තිබුණේ මහමෝදර රෝහල් බිමේම කොටසක නිසයි.

අප මහමෝදර ජීවත්වූ කාලය රසකතා , භයානක කතා සහ සදානොමැකෙන මතක සටහන් වලින් පිරී ඉතිරී ගිය කාලයකි. සාමාන්‍යයෙන් මම ගැටුම්කාරි ගණුදෙණු වලට මැදිහත්වන්නෙක් නොවූවද මේ කියන්නට යන්නේ මහමෝදර අහම්බයෙන් මෙන් සිදුවෙන්නට ගිය ගැටුම් කිහිපයක විස්තරයි. 

ඒ කාලේ කරාපිටිය අවට බෝඩිම් වල රුපියල් අටසීය දාහ අතර මුදලක් අය කළ අතර විශේෂයෙන් අපේ බැච් එකේ අය වැඩි පිරිසක් රුපියල් 30 ක මාසික ගාස්තුවක් අය කළ මහමෝදර වෙනුවට තෝරාගත්තේ ඔය කියන පෞද්ගලික නිවාසමයි. ඔවුන්ගේ තර්කය වූයේ මහමෝදර හොස්ටල් ගියොත් වල බහින්න වෙන බවත් , පාඩම් කරන්නට වෙලාවක් නොලැබෙන බවත්ය.  එමෙන්ම ඒ කාලේ වනවිට මහමෝදර ශිෂ්‍ය දේශපාලනයට සම්බන්ධ අය ( විශේෂයෙන් 13 කණ්ඩායමේ ) සිටි තැනක් ලෙසද ප්‍රසිද්ධ වී තිබුණි.

ඒ නිසා 14 වන කණ්ඩායමේ කිසිවෙක් මහමෝදරට යන්නට වැඩි කැමැත්තක් දැක්වූයේ නැත. මේ සිරිත වෙනස් කරමින් මා මහමෝදරට යන්නට තීරණය කලේ   රැග් සීසන් එකේදීමය. ඒ සීනියර්ස්ලා ගේ රැග් වලට , දේශපාළන ගණුදෙනු වලට භය වෙනවාට වඩා මට මගේ දෙමව්පියන්ට කරදර නොකර මහපොළෙන් පමණක් ජීවත්වීමට හොඳම සහ පහසුම ක්‍රමය මහමෝදර පදිංචියට යාමබව වැටහුණු නිසයි. මුලින්ම තනියෙන්ම මහමෝදර විසූ මගේ තනියට තව බැචාලා දෙන්නෙක් පසු කාලීනව එකතු වූහ. කෙසේ වුවත් අදටත් පවතින වාර්තාවක් ලෙස සිශ්‍ය කණ්ඩායමක අඩුම නියෝජනයක් මහමෝදරට දෙන්නට  ඇත්තේ 14 වන කණ්ඩායම බව මාගේ විශ්වාසයයි.

මේ අවම සිසුන් සංඛ්‍යාවක් සිටින කණ්ඩායමක් වීම සමහරවිට වාසි සහගත විය හැකිවුවත් අනෙක් කණ්ඩායම් වල අයට  බලය , සවිය පෙන්වීමේදි අවාසි සහගතවිය හැකිය .. මේ කියන්නට යන්නේ එවැනි තදබල ලෙස අවාසි සහගත බව පෙනී ගිය අවස්තාවක් ගැනයි.

 තනියෙන් ජීවත් වුවද , විශාල කණ්ඩායමක් ලෙස ජීවත් වුවද ජේෂ්ඨ කණ්ඩායම් වල සිසුන්ට ඉහළින් නොයන්නට , ඔවුන්ට අදාළ ගෞරවය ලබාදෙන්නට සහ සමහර විට ඔවුන්ගේ කීමට අවනත වෙන්නට හුරුවූ ජීවන රටාවක් එකළ මහමෝදර තිබුණා කිව්වොත් නිවැරදියි. 


උදාහරණයක් ලෙස හොස්ටල් එකේ තිබූ හොඳම කාමර ( දොර අගුල්දමා යා හැකි , වෙනායෙකොට වහලේ උඩින් එන්නට බැරි , සින්ක් එකක් තිබූ කාමර ආදිය ) පාවිච්චි කලේ එකල සිටි ජේෂ්ඨම සිසුන් විසිනි. අප හොස්ටල් යන කාලයේ ඒවායේ සිටියේ වසර ගණනක් විභාග ෆේල් වෙමින් සිටි " ක්‍රොනික් වෙමින් සිටි " අය්යලා පිරිසකි. එකින් එක මේ කාමර හිස් වෙද්දී ජේෂ්ඨත්වයේ පිළිවෙලට ඒව අනෙකුත්  කණ්ඩායම් වල සිසුන්ට  හිමි වුණා . 

ඒ අනුව සින්ක් එකක් තිබ්බ කාමරය බුලත්ටත් , සෙමා නමින් ප්‍රසිද්ධව සිටි වසර ගණනාවක්  (දහයක් හෝ දොළහක්) වෛද්‍යපීටයේ සිටි අයෙක් භාවිත කල යටතට්ටුවේ කුඩා  කාමරයක් මටත් හිමිවුණා.. උඩ තට්ටුවේ  12 සහ 13 කණ්ඩායම් වල අයගේ  ගණුදෙනුවලට  වැඩි කැමැත්තක් දැක්වූ මගේ රූමා මේ සිද්ධියෙන් තරමක් හිත් අමනාප කර ගත්තත් මා මගේ පෞද්ගලිකත්වය අගය කල නිසා ගත් තීරණයක් ඒ අලුත් කාමරයකට යෑම . 

අප කළින් සිටි කාමර උඩින් විවෘත ලෑලි ගසා වෙන්කල කාමර වී අතර දොර උඩ වතුර කෝප්පයක් සෙට් කර බකට් කිරීම , අවශ්‍ය නම් උඩින් අනෙක් කාමර වලට යෑමට හැකිවීම සහ මැද මිදුළේ එහා පැත්තේ සිට කෑ ගසා පාඩම් කිරීමට භාධා කිරීම වැනි දේවල් කල හැකි වුණා. 

මා හොස්ටල් ගිය මුල්ම කාලයේ සිදුවූ යම් සිද්ධියක් මීට උදාහරණයක් ලෙස දක්වන්න පුළුවන්. මගේ කාමරයේ ඒ දවස්වල හිටියේ මම විතරයි ඊට ටික කලකට පස්සේ තමයි මගේ රූමා ඒකට එන්නේ..

 ඔන්න මම දවසක් මැද මිදුල පැත්තට වෙන්න තිබ්බ මේසේ ලඟට වෙලා හිස්ටොලොජි පොතක් කියවමින් ඉන්නවා. එක පාරම එහා පැත්තේ ජනේලෙකින් ඔලුව දාපු කෙනෙක් 

" අඩෝ මූණා උඹ මොනවටද ඔච්චර ක්‍රෑම දෙන්නේ.. පොඩ්ඩක් සෙල්ලම් කරළා එහෙම හිටපන් බං " 

කියලා කෑගහනවා.. මම ඔළුව පහත්කරගෙන පාඩම්  කරනවා . මේ කියන කෙනා අපේ කාමරේට ඉස්සරහ කාමරේට නිතර යන එන අය්යා කෙනෙක් .. 

මම "%& අය්යා මම  පොඩ්ඩක් පාඩම් කරන්න හිතුවා " කියලා හිනා වෙවී වැඩේ කරගෙන යනවා .. විනාඩියක් දෙකක් යන්නත් පෙර %& අය්යා මගේ පිටිපස්සේ මොකද මම දොර ලොක් කරලා තිබුණේ නෑ.. 

මගේ උරහිස උඩින් පොතට එබුණු ඔහු එක පාරම " මෙන්න මූණා හිස්ටෝ අදිනවෝ" කියලා මුළු හොස්ටල් එකටම ඇහෙන්න කෑ ගහනවා..  

මේ  කාලේ %& අපිට වඩා බැචස් තුනක් විතර සීනියර් කෙනෙක්  . කාගෙත් ගෞරවය දිනාගත්ත කෙනෙක් ලෙස පෙනී හිටියේ .  ලැජ්ජාවට පත්වූ මම පොත බැලිල්ල නවත්වා පත්තර මේසය දිහාට ගියා වගේ මතකයි.. 

ඔහුගේ හිතේ තිබ්බේ මොකක්ද දන්නේ නෑ සමහර විට කොල්ලෝ වුණාම ටිකක එළියට පහළියට ගිහින් ඉන්න ඕනේ වගේ අදහසක් වෙන්න පුළුවන් ..

හරි එකෙන් කමක් නෑ . කියන්න හිතපු කතාව කියමුකෝ. සිද්ධිය වුණේ අපි තුන්වන වසරේ ඉන්න කාලේ. අපේ තුන්වන වසරේ විභාගේ කට ලඟටම ඇවිල්ලා .. ඔන්න මම හිටපු කාමරේ ( යට තට්ටුවේ හොස්ටල් එකේ පොදු මුළුතැන්ගෙයට අල්ලපු කාමරේ ) ට වෙලා මම පාඩම් කර කර ඉන්නවා . කුස්සිය පැත්තෙන් පොඩි පොඩි සද්ද ටිකක්  ඇහුණත් මම ගණන් ගන්නේ නැතිව වැඩ . ඔන්න එක පාරම " කිමද සුමිහිරියේ මේ අරුමේ .." කියමින් සිංදුවක් ඇහෙනවා ඒ පැත්තෙන් . බැලින්නම් කොල්ලෝ කිහිපදෙනෙක්  කුස්සියේ මේසයකට තට්ටු දදා සිංදු කියනවා.. විභාගෙ අතලඟ නිසා මටත් වැඩ හිරවෙලා හිටියේ .. " උඹලා මොකද  මෙතන කරන්නේ ? අපිට පාඩම් කරන්න භාදා වෙනවා කියලා තේරෙන්නෙ නැද්ද? කියන සිංදුවක් වෙන දිහාක ගිහින් කියාගනිල්ලා මට පාඩම් කර ගන්න තියෙනවා "

 මම සද්දයක් දැම්මා .. බලනකොට කට්ටියක් කුස්සියේ බිම එළාගෙන පෝස්ටර් අඳිනවා ( මතක හැටියට ඒ කාලේ මහමෝදර තිබ්බ වෛද්‍ය - හෙදි ගැටුමේ කොටසක් විදිහට ගහපු පෝස්ටරයක් හරි එහෙමත් නැත්නම් මාතරින් ආපි ශිෂ්‍ය සංගම් පෝස්ටරයක් හරි ) . ඒ කාලේ කිසියම් කණ්ඩායමකට විභාගයක් තිබුණ කාලයක නම් භාදාවෙන ලෙස සද්ද බද්ද නොකරන සිරිතක් නේවාසිකාගාරයේ තිබ්බා . ඒ සිරිත කඩවීම ගැනයි මම විරෝධය පළකරේ . අනික වැඩේ කරන්නෙත් අපේ කණ්ෂ්ඨ සිශ්‍යයෝ වගයක් නේ . ඒ නිසාත් මම ජේෂ්ඨයා නිසා තනියෙන්ම තමයි සටනට ගියේ.

මෙතන පොඩි @# යා ඇතුළු අපේ ජූනියර් කණ්ඩායම් දෙකක සෙට් එක තමයි හිටියේ . හැමෝම පොඩ්ඩක් තුෂ්ණිම්භූත වෙලා ගියා වෙන්න ඕනේ කැම්පස් එකේ වැඩටකට /දේශපාලන වැඩකට ( ශිෂ්‍ය සංගම් වැඩකට ) මම විරුද්ධ වෙන කොට . මතක හැටියට කව් රු හරි කිව්වා මතකයි .. " මේක පොදු වැඩක් . අපි කරන්නේ ඔය හැමෝම වෙනුවෙන් කරන වැඩක් . ඒකයි අපි කුස්සිය තෝරගත්තේ " කියලා ..  පොදු වැඩක් නම් කොමන් රූම් එකට පළයල්ලා ඕකත් අරන්, කොමන් රූම් තියෙන්නේ ඒකට තමයි " මම ආයිත් සටනට  ගියා 

 .. මට  කොහොමටත් ඒ දවස්වල පොඩි @# ඇතුළු පිරිස පෙන්නන්න බෑ .. හේතුව දැන් කියන්න පුළුවන් ඒ කාලේ නොකිව්වාට .. අපි හැමෝම රැග් කාලා ජේෂ්ඨයන්ගෙන් වාතවෙලා ආපු තැනට ඔහු ආවේ අය්යා ශිෂ්‍ය සභාවේ සභාපති නිසා තිබ්බ @#අය්යාගේ මල්ලී කියන ගැම්මෙන්, මම ඒකට කැමතිම නෑ .. මොකද අපි හැමදාම හිතුවේ සමානාත්ම තාවයෙන් සළකනවා කිව්වාම අරයෙගේ මල්ලී මෙයාගේ අය්යා කියලා විශේෂයක් නෑ  පාරම්පරිකව කල විදිහට පිළිගැනීම් සිදුවිය යුතු බවයි . 

මාසතුනක් ජූනියස්ලා ගණන් ගන්නේ නැත්නම් ඒක සිශ්‍ය සභාවේ සබාපතිගේ මල්ලිටත් අදාලයි .. ඉතිං මගේ එක රූමේක් "@#අය්යා , @#අය්යා " කියමින් නැලවුණාට මට වැඩේ ඇල්ලුවේ නෑ මම මාස තුනක් නොව බොහෝ කලක් පොඩි @# නොසලකා හැරියා ( @#ලා දෙන්නා මේක කියවනවා නම් ඔන්න දැන් තේරුම් ගන්න පුළුවන් වෙයි හේතුව ) තවත් එකක් මගේ මෙ නොරුස්ණා ගතිය තවත් වැඩි කරමින් ඔහුත් මා හමුවන හැම තැනම " හා "කට්ටිය"   ...  කොහොමද කියමින් මට "කට්ටිය " යැයි ආමන්ත්‍රණය කරන්න ගත්තා . 

විශේෂයෙන් 13 අය සහ %& අය්යා @# මල්ලීට දැක්වූ කරුණාව අපට නොපෙන්වූ එකක් නිසා මම දිගටම මේ නොරුස්ණා ගතිය පවත්වා ගෙන ගියා මතකයි.. ඒවා මතක් වෙනකොට දැන් හිනා කාලා පණ ගියත් ඒ කාලයේ සිද්දි ඔහොමයි ඉතිං .. @# ලා දෙන්නම නරක එවුන් නෙවෙයි තරුණ කාලේ අපිට එහෙම පෙනුණට වැඩිහිටියන් ලෙස ඔවුන්ගේ ලොකු වැරැද්දක් පෙනෙන්නේ නෑ  (ඒ කාලේ පෙනී හිටි  දේශපාලන මත වලට හාත්පසින්ම විරුද්ධ මත දැරීම විතරයි ඉතිං වෙනසකට තියෙන්නේ).

පෝස්ටර් ලියමින් සිටි කට්ටිය සිංදුව නවතා ටිකකින් විසිර ගියා   ඊට ටික වෙලාවකට පස්සේ හෙන ගැංසියක් ( අපේ සීනියර් බැච් එකේ/13  සෙට් එකක්ම ) එනවා මාව හොයාගෙන. "මුණා මොකෝ උඹ මේ අපේ කට්ටියගේ පෝස්ටර් වැඩේ භාධා කරනවා කියන්නේ?" කට්ටියගේ ප්‍රධානියා ඒ කාලේ එම කණ්ඩායමේ සිශ්‍ය සංගම් නියෝජිතයා මගෙන් අහනවා .. මම කාරණේ පැහැදිළි කරා "මට විභාගයක් තියෙනවා පොදු වැඩ පෝස්ටර් වැඩ ඕනෙ දෙයක් අපිට භාධා නොවෙන විදිහට කරගත්තට කමක් නෑ .. කට්ටිය මෙතන කෑ ගහන්න ගත්තා ඒකයි විරුද්ධ වුණේ. .. ඉතිං මුන්ට පුළුවන්නේ කොමන් රූම් එකට ගිහින් පෝස්ටර් අඳින්න .." මම මගේ සින්නන්ට උත්තර දුන්නා.. එතන කොහොමටත් දහපහළොස් දෙනෙක් ( සීනියර් , ජූනියර් ඔක්කොම ඉන්න ඇති ) මම හිටියේ තනියෙන්. 

"ඇයි උන් කොමන් රූම් යන්නේ ? උඹ තනි මිනිහනේ උඹ ගියානම් ඉවරනේ .."

 ජේෂ්ඨ කණ්ඩායමේ තවත් කෙනෙක් කිව්වා . දැන් සමහරු අත්දෙක බැඳගෙන එහෙම මා දිහා බලන් ඉන්නවා . සීනියර් බැච් එකේ කටකාරයෝ දෙන්නෙක් මාත් එක්ක හෝ ගාලා කතාව . ලොකු ගැටුමකට   එන  ලකුණක් නම් පෙනුණේ  නෑ .  කොහොම වුණත් මාත් අතහැරියේ නෑ .. 

"එහෙම කොහොමද  තනි , ලොකු කණ්ඩායම් කියලා වෙනසක් නෑ  විභාගේ කරන එකාට ප්‍රමුඛතාවය තියෙන්න ඕනේ .. උඹලා  කව් රු කොහොම කිව්වත් මෙතන ආයි සද්ද කරන්න දෙන්නේ නෑ . අරන් පලයල්ලා උඹලා ගේ පෝස්ටර් කොමන් රූම් එකට මම මගේ රූම් එකේම තමයි පාඩම් කරන්නේ "

මගේ මතකය නම් කට්ටිය පෝස්ටර් අඳින්න වෙන තැනක් ( කොමන් රූම් හරි වෙන කාමරයක් හරි ) හොයාගෙන ගිය බවයි . එහෙම නැත්නම් කුස්සියේම පෝස්ටර් ඇන්ද සද්ද නොකර .. කොහොමහරි පස්සේ දවසක අපේ ජේෂ්ඨ කණ්ඩායමේ නියෝජිතයා මාත්තෙක්ක මේ කතාව කිව්වා..

" මචං උඹනම් මරු පොරක් අපි අච්චර සෙනඟක් ඇවිල්ලත් උඹ සරෙන්ඩර් වුණේ නෑ නේ අපිට එහෙම වෙන්නත් හෙන ගටක් තියෙන්න ඕන බං  "

( මෙසේ කිව්වේ ඒ කාලේ සටන්කාමී සිශ්‍යයෙක් ලෙස පෙනී සිටි දැන් දේශපාලන/පෞද්ගලික හේතුමත ඊට හාත්පසින්ම  විරුද්ධ මත දරණ කෙනෙක් , ඒත් මනුස්සයෙක් හැටියට හරි හොඳ ගති පැවතුම් තියෙන කෙනෙක් ).. 

ඊට පස්සේ තමයි මාත් හිතලා බැලුවේ  කට්ටියම එකතුවෙලා මට සටනක් දුන්නානම් තනි මම මොනවා කරන්නද?

 හැබැයි උන් එහෙම කලෙත් නෑ . තර්කය පිළි අරන් අයින් වුණා 


Saturday, 14 November 2020

පිරිත් සාජ්ජය

 



අපේ අය්යා ලංකාවෙන් යන දවසේ අම්මයි තාත්තයි දෙන්නම හෝ ගාලා ඇඬුවා .. ඒ කාලේ කෙනෙක් පිටරටකට යනවා කිව්වහම තමන් අතහැරලා යනවා වගේ හැඟීමක්නේ එන්නේ.. ඒ නිසාද එහෙමත් නැත්නම් තමන්ගේ බලාපොරොත්තුව , තමන් ගැන හොයාබලන්න ඉන්න ලොකුපුතා තමන්ගෙන් දුරස්වෙලා යන නිසා ඇඬුවද කියලා දන්නේ ඒ දෙන්නම තමයි  .. 

මම ලංකාවෙන් යනවා කිව්වහම අම්මලා හඬුවේ නෑ සන්තෝෂ වුණා . ලංකාවේ හිටියානම් එතෙක් ගත්තාවගේ දඩබ්බර තීරණ තවත්ගනියි කියලා හිතිලද  , මෙයා රටගියොත් අපේ අනික් දරු දැරියන්ට සහ ඔවුන්ගේ ස්වාමි පුරුෂයින්ට සහ ඒ පවුල්වල දරුවන්ට හොඳක් වෙයි කියලා හිතලද , එහෙමත් නැත්නම් මම ලංකාවෙන් ගියේ අය්යා රට හැරගිය කාලේම නොව  අවුරුදු පහකට පස්සේ  නිසාද යන්නත් දන්නේ ඒ දෙන්නම තමයි.. කොහොමවුණත්  මම  වැඩිදුර අධ්‍යාපනය සඳහා නෝර්වේ රාජ්‍යට යන්න යනවා කියන්න මමත් නිම්මිත්  බණ්ඩාරවෙල ආ අන්තිම  වතාවේ එයාලා හොඳ  වැඩ සටහන් ටිකක් ලෑස්ති කරලා තිබ්බා .මේ කතාව ඒ ගැනයි.

මේ වෙනකොට මට විදෙස්ගත වෙන්න අවශ්‍ය සියළු කටයුතු සූදානම් වී තිබිණි. විශ්ව විද්‍යාලයේ නිවාඩු අනුමැතියේ සිට නොර්වේ දේශයෙන් ලැබිය යුතු විද්‍යුත් තැපැල් පණිවිඩ , ලියුම් කියුම් සියල්ලද  ලැබී තිබිණි.. එද හවස වැඩ ඇරිලා ඇවිත් ගෙදර ඉද්දී එන දුරකතන ඇමතුමකි ..

"චුටි පුතා , මේ සති අන්තේ මේ පැත්තේ එන්නද ඉන්නේ ?"  තාත්තා අහන්නේ මම ගෙදර එන දවසක් වෙලාවක් නොකියා හිතුණ ගමන් ගෙදර එන්නට පුරුදු වූ සිටි කෙනෙක් බව ඔහු පලපුරුද්දෙන්ම දන්නා නිසයි .." යන්න ඉස්සෙල්ලා ගෙදර එන අන්තිම පාරනේ කලින් කියලා එන්න.." .. "ඇයි ලොකු පාටියක් වත් සෙට් කරනවද තාත්තලා ? " " නෑ පාටියක්ම නෙවෙයි නෑදෑයෝ ටිකට ඔයාට කතාකරන්න වැඩක් ලෑස්ති කරා  . රටින් පිටත්වෙන්න ඉස්සෙල්ලා එහෙම කරන එක හොඳයිනේ? " අම්මයි තාත්තයි කිසියම් හෝ වැඩකට අර  අදිති. දෙන්නාට දෙන්නා තම තම නෑදෑ පරපුර අපට මුණගස්වන්නට යමක් සංවිධානය කරණු පෙනේ..

 "ඒයි ඒක නෙවෙයි අන්න කට්ටිය දවසක් දෙකක එහේ ඉඳලා නෑදෑයෝ එක්ක කතා කරන්න ලෑස්තිවෙලා එන්න කියනවා " මම නිම්මීට කීවෙමි.. "ලොකුතැන මොනවද දන්නේ නෑ ලෑස්ති කරන්නේ පුතණ්ඩියට? හරි එහෙනම් යමුකෝ බලන්න"  නිම්මිත් ඔල්ලොකුවට මෙන් කියයි..

අපේ දාහත ශ්‍රී ටොයෝටා ඩීඑක්ස් වැගන් එ  බණ්ඩාරවෙල යන්නට අවශ්‍ය බඩු පුරවා ගත්තෙමි.. රන්දෙනිගල රජමාවත හරහා ගමන ආරම්භ කලෙමු. මුළින්ම නුවර ආසන්නයේම තිබෙන රජයේ පශු ගොවිපොළේ කිරි කඩයෙන් මී කිරිත්  ඉන් පසු මග දිගට හමුවණ ඉරිඟු , අඹ , දෙල් , පළාවර්ග , එළවළු ආදිය විකුණන ළමා සහ ගැහැණු වෙලඳ  සමූහයාගෙන් බඩු ගැනීම නිම්මිගෙත් මගෙත් ගමන් චර්යාවේ ප්‍රධාන අංගයකි .. මහියංගණට ආසන්න වෙද්දී කොට්ට පුළුන් විකුණන වෙලඳුන් ගෙන් කොට්ට පුළුන්ද වරක් රැගෙන ගියේ අම්මලාට කොට්ට හදාගන්නයි.. බණ්ඩාරවෙල පැත්තට යද්දී එහේ අයටත් නුවර පැත්තට එද්දී කෑගල්ලේ අයටත් දෙන්නට මාර්ගස්ථ වෙලඳුන්ගෙන් එළවළු පළතුරු හා වෙනත් බඩු ගැනීමේ අපදෙදෙනාම ඉතා ආශාවෙන් කල දෙයකි. 

මග දිගට තාත්තාගෙන් දුරකථන ඇමතුම් එයි "දැන් කොහෙද? දවල්ට උයලා තියන්නද? මොනවද හදලා තියන්නේ?"  ඔවැනි ප්‍රශ්න රැළකි . මඥඥොක්කා කොළ කිරිහොදිත් එක්ක  , කොස්, වට්ටක්කා දළු , අළකොළ මගේ ලිස්ට් එකේ උඩින්ම තියෙන කෑම වර්ග බව  අම්මා සහ තාත්තා හොඳින් දනිති.

හවස්වෙද්දී නිම්මිත් මමත් බණ්ඩාරවෙල නිවසට ලඟා වීමූ .. හාත්පස මීදුමෙන් වැසුණු තේවතු පාරේ වාහනයෙන් වගේම පයින් යන්නත් අප දෙදෙනාම දැක්වූවේ දැඩි කැමැත්තකි .. ගෙ උඩහා පාරේ ( ඒ කාලේ අපේ නිවසටම යන්නට පාරක් තිබ්බේ නැත , පසු කලෙක පාර හැදුවේද මගේ  අනුග්‍රහයෙනි ) වාහනය දමා තේවත්තේ නෙත්ති කාණුව දිගේ පල්ලැහැහට බහින ටිකට එන ශීතලත් , හාත්පස වෙලාගන්නා මීදුමත් අප නුවර කොළඹ ආදී ප්‍රදේශ වල අප විඳි පරිසරයට හාත්පසින්ම වෙනස් පරිසරයක් අපට මවාපායි.

ගෙදරට එන විටත් සාළයේ මුල්ලක එක විස්තරයකි. තාත්තගේ අක්කගේ පුතා පණ්ඩිතේ අය්යා මනරම් පිරිත් මණ්ඩප්පයක් හදමින් සිටියි .. තාත්තා , මේ මොකද මේ? නෑ ඔයා රට යන එකටයි , ඔයදෙන්නට සුභ පතන්නයි පොඩි පිරිතක් ලෑස්ති කරා . හම්බවෙන්න ඉන්න දරුවටත් හොඳයි නේ .. ඒ වනවිට අපේ පුතා සුපුන් මාස හතරක පහක කළලයකි තාත්තා කියන්නේ ඔහුට ආශිර්වාදයක්වෙන්නත් එක්ක පිරිතක් කියවන බවයි. 

අපේ නැන්දගේ පුතා වන පණ්ඩිතේ අය්යා පළාතේම ඉන්න දක්ෂම කළාකාරයෙකි , චිත්‍ර , මූර්ති , පිරිත් මණ්ඩප වගේම තොරණ් ඇතුළු ආගමික වැඩසටහන් වලට ඔහු ප්‍රසිද්ධය.. ඒ වගේම පළාතේ හොඳම කැටයම් ශිල්පියා ලෙසද ඔහු ප්‍රසිද්ධියක් උසුළයි.

"ආ...චූටි මල්ලී දැන්ද ආවේ? "කියමින් පණ්ඩිතේ අය්යාද කතාවට එක් වෙයි . ඔහු තාත්තලා පැත්තේ කෙනෙකි . එහෙත් අපේ ගෙදර වැඩවල වැඩි ඉඩකඩ ලැබෙන්නේ කිරිඔරුවේ අම්මගේ පැත්තේ කට්ටියටය කුස්සිය පැත්තට යද්දී ලොකු මාමා , පොඩ්ඩේ මාමා , පොඩි පුංචී සහ අපේ පොඩිම මාමා ඇතුළු  බජාර් එකම එහි පැමිණ සිටියහ . 

නිම්මිත් අම්මලාත් ගේ ඇතුළෙ ඉද්දී මම එළියට ගියෙමි  ලොකු මාමත් පොඩ්ඩේ මාමත් මාත් සමඟ කතාවට එක්වූහ .. "නියමයිනේ රට යන්න තියෙන එක ? කොච්චර දෙයක්ද  මේවගේ වැටිලා ඉන්නවට වඩා ? "  ලොකුමාමා කියයි .. පොඩ්ඩේ මාමා ඊට වඩා එහාට කල්පනා කර තිබිණි .. " දැන් ගියාම ඉස්සර පැල්වල ගිය ඒවා එහෙම අමතක වෙයිද දන්නේ නෑ? "

" මොන පිස්සුද?  ඕවා හැමදාම මතක තියනවා  .. මතකද පන්සල පහුවෙච්ච ගමන් තියෙන හරස්ගෙදරවත්ත මැදින් යද්දී බීඩියක් පත්තු කරගන්න හැටි .. මේ උඹ මේවා ගිහින් ලොකු අක්කගේ කණේ එහෙම තියෙනවා නෙමෙයි කියකියා ?  මම පොඩ්ඩෙ මාමාට ඔහුගේ තරුණ කාලයේ දඩබ්බර වැඩ මතක්කර දුන්නෙමි.. පොඩ්ඩේ මාමා කිරිඔරුවේ මහගෙදර දඩබ්බරම චරිතයයි.. බීඩී බීම , ගෙදරින් හොරෙන් පැනලා ගිහින් මැණික් ගැරීම,මැණික් සල්ලි වලින් කිරිඔරුවට මුලින්ම කැසට් රේඩියෝවක් ගෙන ඒම , මල්වත්තේ සැළුන් එකට ගිහින් කොණ්ඩේ ක්‍රේල් කිරීම  වගේ ඒ කාලේ අපිට පෙනුණ අළුත් දේවල් වැඩිපුර කලේ  පොඩ්ඩේ මාමාය. 

"කොහොමද වතුරට ෆයිට් කරගත්ත හැටි ? " මම ලොකු මාමාට අපි එළවළු හදද්දී සිදු වූ වතුර ගැටුම් මතක් කර දුන්නෙමි. පොඩි පොඩි සිද්ධි තිබුණාට කිරිඔරුවේ මාමාලා සෙට් එක  අපේ ළමා හා තරුණ කාලයේ අපේ ලොකුම ශක්තියයි.. අපි හැදී වැඩුණේ ඔවුන් ඇසුරේය .. පොඩ්ඩේ මාමා බීඩි බිව්වට අපිට බීඩි  පෙව්වේ නැත .. 1989 රැඩිකල්  දේශපාලනයට අපි ඔවුන්ගෙන් සමහරෙක් ඇදගත්තා මිස ඔවුන් අපිව කිසිම අනතුරුදායක දෙයකට යොමුනොකලේ ලොකු අක්කාට ඔවුන්ගේ තිබුණ බලවත් ගෞරවයත් භයපක්ෂපාත කමත් නිසාය.. 

අද අප මෙන්ම ඔවුනුත් ජීවිතයේ ලබාගත යුතු දේවල් සියල්ලක් ලභා සැනසීමෙන් කල් ගෙවන්නේ 1989/90 භීමසමයේ රාත්‍රී ගණන් කිරිඔරුවේ හූරියගස්වැල්ල කුඹුරු යායේ පැල්වල ,භියෙන් , සැකයෙන් ජීවත්වූ අතීතයකටද හිමිකම් කියමිණි . පොඩ්ඩේ මාමා මට මතක් කර දෙන්නේ  තම අක්කා විසින් කොල්ලෝ දෙන්නා බේරාදෙන ලෙස සියළුම වගකීම් ඔවුන්ට පවරාදී තිබූ ඒ කාළය ගැනයි .

කතාබස් එකෙන්ම වෙලාව ගතවී ගෙන යයි  රෑ අට අටහමාර වෙද්දි කිරිඔරුවේ සියල්ලෝමත් මාරබැද්දේ සහ කොළතැන්නේ පවුල්වල අයත් වරින්වර අපේ ගෙදරට ලඟාවෙති. 

ඒ අතරේ  පුදුමයක් සිදුවෙයි අපේ ජීවිත කාලෙටම අපේ ගෙදරට පය තබා නොතිබූ පිරිසක්ද ඒ අතර සිටිති .. ඒ ගමේතිබූ ප්‍රධාන ගිහි පිරිත් කණ්ඩායම් දෙකක් එකක සාමාජිකයින්වන කිරිඔරුවේ සමරේ මාමා දඹකොටේ  සිරිසේනමාමා , පල්ලැහැ විළියොන් මාමා ඇතුළු එම කණ්ඩායමේ නායක එස් ආර් කිරිබණ්ඩේ මාමා ඇතුළු පිරිසයි.. 

මේ අය අපේ තාත්තා නායක්ත්වය දැරෑ ගිහි පිරිත් කණ්ඩායමට ආරාධනානොකරන තැන්වල ( විශේෂයෙන් කිරිඔරුවේ ) පිරිත් කියන කණ්ඩායමයි..  තාත්තලා කණ්ඩායම ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා කාරයන්ගෙන් සමන්විත් වූ එකකි කිරිබණ්ඩේ මාමලා කණ්ඩායම ඒ කාලේ තද යූඑන්පී එකකි ( දැන් නම් සමරේ මාමා ඇතුළු බොහොදෙනෙක් පොහොට්ටු කරුවන් වී සිටිතී.

  අර ඉංග්‍රීසියෙන් "ෆිටින්ග්ලි "  කියලා කියන්නා වගේ  මේ අය සැපත්වී තිබුණේ අපේ ගෙදර ඉන්නා  පක්ෂ, පාට , ලොකු පොඩි උස්පහත් භේද කිසිවක් නොසළකන , පසුගිය අමනාපකම් කිසිවක් හිතේ තියාගෙන ඒවා පස්සේ පන්නන්නේ නැති එකම සාමාජිකායාගේ ආශිර්වාද පිරිත් සජ්ජායනයටයි .. ඒ බව හැඟවෙන හරබර අනුශාසනාවක්  එස් ආර් කිරිබංඩේ මාමා  අතින් කෙරුණේ ඒ නිසා විය යුතුය.. 

තාත්තලා ගේ වැඩ වලට සාමාන්‍යෙන් විරුද්ධ වෙන ගතියක් මගේ තිබුණත් එදා පිරිත් මුළු පැය දහයම නිදි නොලබා අසන්නට මම තීරණය කළෙමි. නිම්මීද මුළු රෑම පිරිත් කොටුවේ දොර ලඟම මා අසලින් වාඩිවී සිටියාය. 

  මව් කුසේ සිටම පිරිත් ඇසූ පුරුද්දට දෝ මන්දා වයස දාහතක් වෙලත්, උපන්දා සිට වැඩි හරියක් ලංකාවෙන් පිට ජීවත් වෙලත් අපේ සුපුන් තවමත් නිදාගන්නේ මහපිරිත අසමිනි

Friday, 6 November 2020

අපේ "ස" කමුද ආප්ප එක්ක ලුණු මිරිස්



 එක්දාස් නමසිය අනූතුන - අනූහත කාලය අප මහමෝදර වෛද්‍ය ශිෂ්‍ය නේවාසිකාගරයේ ගතකල කාලයයි . අවුරුදු 23 ක තරුණයෙක් ලෙස නේවාසිකාගරයට ගිය මට ආශ්‍රය කරන්න ලැබුණේ ඒ සමවයසේ සහ ආසන්න වයස්වල පිරිසකි.. අවුරුදු ගණනාවක් විභාගය කරමින් සිටි අපට වඩා වයසින් ගොඩක් වැඩි කිහිපදෙනෙකුත් එහි සිටියේ වුවද අපේ ආශ්‍රය වැඩියෙන්ම තිබුණේ අපට එකක් හෝ දෙකක් ඉහළ ශිෂ්‍ය කණ්ඩායම් සහ එකක් අඩු ශිෂ්‍ය කණ්ඩායම සමඟයි .. මහමෝදර අපේ කණ්ඩායමේ අය සිටියේ ඉතාම අඩුවෙන් (තුන්දෙනෙක් ) නිසා අපේ ලඟම හිතවතුන් වූයේ දොළොස්වන කණ්ඩායමේ අය කිහිපදෙනෙකි.. විශේෂයෙන් දොළහේ බුලත් , ජගත් රණවක , සෙට්ටි දිමන්ත ඇතුළු අම්පාරේ කට්ටිය ( මගේ එක රූමෙක් අම්පාරේ කෙනෙක්නිසා )  අපට ඉතා සමීපව ඇසුරු කරන්නට ලැබුණු  පිරිස අතර වූහ

නේවාසිකාගාරයේ වැඩි පිරිසක් එකළ ආහාර ගත්තේ මහමෝදර රෝහළ පිටිපස්සේම නිවසක ජීවත්වු මුස්ලිම් ඇන්ටී (තම්බි ඇන්ටී) ලාගේ ගෙදරින්.. රෑ හතට විතර එහිගොස් ඇති පදම් බත් , කොස් මාළු හොදි හරක් මස් ( බොහෝ විට හරක්ගේ වැඩිපුර ආහාරයට නොගන්න කොටස් අඩංගු ) පරිප්පු ආදිය සහිත සප්පායම් වෙන අපි නැවත් හොස්ටල් එකට ඇවිත් දඬුබස්නාමානය , රාත්‍රී ප්‍රවෘත්ති ආදිය රූපවාහිනියෙන් බලන්නෙමු.. ඉන්පසු හෙමින් හෙමින් එකා දෙන්නා පාඩම් කරන්නට තම කාමරවලට ඇදෙයි .. හිටි ගමන් බුලත් ගේ තබ්ලා වාදනයක් ආදිය ඇහුණත් සාමාන්‍යයෙන් පරිසරය සාමකාමීය .. 

හිටි ගමන් රාත්‍රියක  සමහරවිට රෑ එකොළහට දොළහට අපි කොළඹ පාර දිගේ ටිකක් දුර ගොස් රාත්‍රී කඩයකින් ආප්ප කන්නට පුරුදුවී සිටියෙමු .. බිල් ගෙව්වේ තමතමන්ද කින්ද මන්ද කියා මතක නැතත් ජගත් රණවක, අපේ තුන්දෙනා ( සමන් , බණ්ඩාර සහ මම ) සෙට්ටි , දිමන්ත , බුලත් වැනි අය සෙට් වී මේ ආප්ප කෑම සඳහා පිටවූ බව මතකය .. මේ කඩෙන් වාගෙම සමහර විට අබේසේකර එකෙනුත් අපි ආප්ප , ළුණු මිරිස් , කොත්තු ආදිය ගත් බව මට මතකය ... සාමාන්‍යයෙන් දිග කළිසම් හැඳ , ශර්ට් උඩින් දමා තරමක් පිළිවෙලට සූදානම් වන අප වැඩිපුර කැමති ඒ ඇඳුමට බාටා දෙකක් පැලඳ  ගත්විට ලැබෙන සැහැල්ලු ගතියටයි අසළින් තිබෙන මුහුදු වෙරළෙන් එන ශීතල සුළඟත් විදිමින් යන මේ ගමන සෑහෙන්න විනෝදමත් එකකි .. මේ කඩ කාරයෝ දෙන්නම අපි කව්ද යන්න දන්නාමුත් ( අසල ජීවත්වන වෛද්‍ය සිසුන් ) ඕනාවට වඩා වැඩි පුර අපත් සමඟ භජනයට එන්නේ නැත . 

එහෙත් අපේ ආප්ප කෑමේ රටාවත්  හෝටල් කරුවන් ගේ සාත්තු සප්පායමුත් වෙනස් වූ සිද්ධිය සිදුවූයේ ද මේ කාලයේමය . ඒ මහමෝදර රෝහලත් මුස්ලිම් ඇන්ටිලා ගෙදරත් අතර කුඩා බිම්තීරුවක පාර අයිනේ අළුතින් ආරම්භ කල ආප්ප කඩයත් සමඟයි .. ඒ අසළම පිහිටි නිවසක ජීවත්වූ තරුණ යුවළක් ආරම්භ කල ඒ ආප්ප කඩය කුඩා පෙට්ටි කඩයක් වුණත් ඉතාම පිළිවෙළට සකස්කල එකකි. ස්වාමියා ආප්ප කඩේ වැඩකරන අතර බිරිඳ නිවසින් සීනි සම්බල් , ළුණු මිරිස් ආදිය සාදවා ගෙනැත් තැබුවාය .. ගැණුම් කරුවන්ට වාඩිවෙන්නට කුඩා ලී බංකු දෙකක් සහ ලී මේසයක් සකස්කර තිබූ එහි තිබූ පිරිසිදු කම සිත් ඇදගන්නා සුළුය .. තරුණ සැමියා තරමක ගණන් කාරයෙකු බව දන්නා ගැණුම් කරුවෝ කිසිවෙක් දෙන්නගෙන් එක්කෙනෙකුට වත් පාර්ට් දාන්න ගියේද නැත..

මෙතෙක් අබේසේකර කොත්තු හෝ අනික් හෝටලයෙන් ආප්ප කකා හිටි ජගත් , බුලත් ඇතුළු අපි හැමෝම මේ අළුත් ආප්ප කඩයට හුරුවුණේ  ඉබේටමය ..




 "මූණා , සංජේ , ලසඳා  වරෙව් ආප්ප කන්න යන්න " ආරාධනාව ජගත් ගෙන් හෝ බුලත්ගෙන්ය .. 

ආප්ප කඩේට යන අපේ ජේෂ්ඨයෝ   " මුදලාලි බිත්තර ආප්ප පහයි ප්ලෙන් ආප්ප දහයයි දාන්න " කියා කියන්නේ ලෝකයක් වටිනා යමක් ඇණ්වුම් කරන්නාක් මෙනි.. 

ඇත්තටම අපට පෙනි පෙනී හදන මේ කඩේ ආප්ප   ඉතා රස ඒවාය..  ලුණු මිරිසද ඉහින් කණින් දාඩිය දාන ගාණට සැරට හදා තිබූ එකකි.. 

 අප එකිනෙකා ලඟට ආප්ප සහ ලුණු මිරිස් භාජන ගෙනැත් තබනා මුදලාලිත් අබේසේකරලාට වඩා වෙනස්ය.. 

"සර් කොහොමද ? ඊයේ රෑ එකදෙක වෙනකම් පාර්ටි නේද?  අපට ඇහුණා සාජ්ජේ බරටම යනවා?"  . මේ කියන්නේ එක එක හේතු මත බොහෝවිට සිකුරාදා රාත්‍රී වලට නේවාසිකාගාරයේ පවතින සාජ්ජ ගැනයි ..

උඩ තට්ටුවේ ඉස්සරහම කොටසේ  නේවාසිකාගාර පාළක ගමගේ මහත්තයාගේ කාමරයට උඩින් කෑල්ලට එකතුවෙන් අපි ( මුලින්ම බුලත්ගේ තබ්ලාවත් ඊට පස්සේ ටිකෙන් ටික බටනලා ගිටාර් ආදියත් මෙතැනට  එයි ) සිංදු කියමින් විනෝදවෙන හැටි  අසා සිටි මුදලාලි ඒ ගැන අපත් සමඟ කතාකරන්නට මැළිවන්නේ නැත.


කොහොමටත් කට පුරා "සර් " කියා අප අමතන එකට හිතයටින් අප බොහෝදෙනෙක් කැමතිවූයෙමු.. අප ජීවත්වූයේ ඉතාමත් සරළ සාමාන්‍ය ඇවතුම් , පැවතුම් ඇති පිරිසක් ලෙස වුණත් මේ ඉන්නේ පොඩි දොස්තර මහත්තුරු බව ඔහු දන්නා බව අපට ඒත්තු ගැන්වූ තරුණ මුදලාලි අපේ සිත් ඇදගත්තේ නිතැතින්මය.. 

ඔහු ආප්ප කඩේ පටන් ගැනීමත් සමඟ අපේ ආප්ප කෑමේ රාත්‍රී ගණනද එන්න එන්නම වැඩි වෙන්න විය ..

"ඉහින් කණින් දාඩිය එනකං ආප්ප කෑවා බං " කියමින් බඩ අතගගා හොස්ටල් එකේ පඩිපෙළ නඟිනා අම්පාරේ ජගත්ගේ රුව මට තවමත් මැවී පෙන්නෙනේඒ සියළු රසබර මතකයන් අවදිකරවමිනි 

Wednesday, 28 October 2020

රත්තී සහ හරක් බාස්

 



අපේ ළමා කාලය ළමයෙක් ලෙස ලැබිය යුතු සියළුම අත්දැකීම නොඅඩුව ලබන්නට  තරම් වාසනාවන්ත එකකි . විටෙක කර්කශ යැයි යමෙකුට හැඟුණත් අද තලත්තෑනි මිනිසුන් ලෙස ආපසු හැරී බලද්දී මෙහෙම දේවල් ඒ කාලේ සිදු නොවුණානම් කවදානම්  ඉතිං මේ අත්දැකීම් ලබන්නදැයි  සිතෙන තරමට ඒවා ආශ්වාද ජනකය. 

මේ කියන සිදුවීම දාමය සිදුවෙද්දි මමත් අය්යත් දෙන්නාම පාසැල් යන වයසේ පසුවූ තරුණයින්, අය්ය උසස්පෙළ කරද්දී වගේ කාලයක් වූ ඒ දිනවල මම අට නවය වසරේ ශිෂ්‍යයෙක්.

ඒ අය්යා , අක්කා හා මම අඩුවැඩි වශයෙන් අම්මාගේ උදව්වට කුඹුරට වතුපිටිවලට එහෙම ගිය කාලයකි.

කිරිඔරුවේ හූරියගස්වැල්ල කුඹුරුයාය එකල අපේ වගා බිමයි . අපි අම්මා සමඟ වැඩකල කුඹුරු කෑල්ලට එහායින් තිබූ අපේ මුත්තාට අයත් කුඹුරක් ඒ කාලේ වරකාදණ්ඩේ පවුළකට උකසට දී තිබිණි.

වරකාදණ්ඩෙන් ආ කට්ටිය අතර කෙල්ලොම ගොඩක් , කොල්ලෝ දෙන්නෙක් ආදිය හිටියා මතකය . ඒ කාලේ අපේ ලොකුමාමා වරකාදණ්ඩේ  එක නැන්දා කෙනෙක් එක්ක යාළුවී සිටි කාලයකි  (ඔහු පසුව ඒ නැන්දා හා විවාහ වූවේය.

ලොකු මාමා සමඟ වරකාදණ්ඩේ යන එන ගමන් වලට සමහර වෙලාවට අපේ අය්යාද එක්කරගෙන යන්නට ඔහු පුරුදු වී සිටියේය . ඒ නිසා වරකාදණ්ඩේ කට්ටිය මට වඩා අය්යා සමඟ හිතවත් විය.

ඒ හිතවත් කම් වල ප්‍රතිඵලය ලෙස වරක් ඔවුන් අපේ අය්යාට තෑග්ගක් දුන්හ . ඒ සජීවී තෑග්ගකි . ඇත්තටම ලස්සනම ලස්සන රතු පැහැති බටු හරක් පැටික්කියෙක්  දක්කාගෙන අපේ අය්යයි ලොකුමාමා යි අපේ ගෙදරට කන්ද නැඟි ඒ  දිනය මට තාම මතකය.

"ඕං ලොකු අක්කා වරකාදණ්ඩෙන් අපේ ශාන්තට තෑග්ගක් දුන්නා .. 

මේ  වැස්සි පැටියා ශාන්තට බැඳගන්න කියලා දුන්නා වරකාදණ්ඩේ මාමණ්ඩි"

"වැඩේ හොඳයි ලොකු මල්ලී . අපේ එළවලු වලට දාන්න ගොම ටිකක් එහෙම ගන්නත් පුළුවන් නේ"

එදා හවසම අම්මා , අය්යා අක්කා ඇතුලු අපි හැමෝම එකතුවෙලා පොඩි ගාලක් හදනවා.. අයිනක තදට හිටවපු කණුවක රත්තී ගැට ගහනවා..

"මෙයා මේ ගෙවන්නේ අවසාන තිරිසන් ආත්මේ " අම්මා වසුපැටියාගේ පිට අතගාමින් කියනවා .. 

 "අම්මා කොහොමද එහෙම කියන්නේ ? ඇයි ලබන ආත්මේ මොකද වෙන්නේ? " 

"බලපන්   චූටි , මේ වැස්සි තනි රතුපාටයි නේ. හඳක් ලපයක් මොකවත් නෑ නේ?  තනි පාට සත්තු ඊලඟ ආත්මෙ මිනිස්සු වෙලා උපදිනවලු "

අම්මා වැස්සිගේ   ඊලඟ ආත්මය ගැන අනාවැකි පළකරන්නීය 

අපි හැමෝම වැස්සී වටකරගෙන ආදරය දක්වන්නට පටන්ගත්තෙමු . ටිකෙන් ටික ඇය අපට කීකරුවූවාය.

වැස්සී ගෙදරට ගෙනාවේ අය්යා වුණාට,  වැඩිපුරම වල් කැපුවේ  . ඇය ගෙවල් අසල මානං පතනේ බඳින්න අරන් ගියේ අම්මා, අක්කා හෝ මා විසිනි . උදේට වල් ගෝණියයි, හවසට වල් ගෝණියයි , හිටපු ගමන් පුන්නක්කු එහෙම ලැබීගෙන එනකොට රත්තී ටිකෙන් ටික ආරන්නට මෝරන්නට පටන් ගත්තීය .

ඔය අතරේ මම හිමින් හිමින් තව වැඩක් පටන්ගත්තෙමි  . ඒ අසල ඇති තේවත්තේ වගේම  පල්ලැහැ ගෙදර සිරිසේන මාමලා ගෙදරත් දකින්නට ලැබෙන රට වල්   පඳුරු වලින් කෑලි කිහිපය බැගින් ගෙන එමින් අපේ වත්තේ පාත්ති දෙකක් අතර ඇති වේල්ලේ සෝදාපාළුව වලක්වන දෙයක් ලෙස රට වල් වගාකිරීමයි.

ටික කාලයක් යනවිට අපේ ගෙදර ඉහල සහ පහළ කොටස් දෙකේම පාත්ති ගැට්ටේ සරුසාර  රට වල් පඳුරු රාශියක් වැවෙන්නට විය . 

දැන් රත්තීට අපේ වත්තෙන්ම කෑම සපයාගන්නට පුළුවන්  ඒ අපේ සරුසාර රට වල් පඳුරු වලට පින් සිද්ධ වන්නටයි.

මෙසේ ටික කාලයක් ගතවිය . රත්තී දැන් කේප්ප වැස්සියක් ගාණට ලොකුමහත්වී ඇත. බටු හරකෙක් යැයි කියන්නට කීයටවත් බැරි තරම් ඇය වැඩී සිටියාය .. ඒ වගේම පොලිෂ් කරා මෙන් දිලිසෙන ලොම් ඇති ලස්සන වැස්සියක් ලෙස ඈ පෙනෙන්නට විය . කළාතුරකින් අපේ පැත්තේ එන ලොකු මාමලා  නැන්දා පවසන්නේ වරකදණ්ඩේ සිටින රත්තිගේ පරපුරේ කිසිම කෙනෙක් මෙතරම් පුෂ්ඨිමත්ව වැඩී නොසිටි බවයි ..

  රත්තිගේ තිරිහන් කාළයේදි ඇය අම්මා සහ අපට සෑහෙන සැර පාර්ට් දැම්මාය . විශේෂයෙන් වල්ගය උස්සා කකුල් කරකවා දුවන්නට පටන් ගන්නා ඇය . අප ලණුව අතහැරියෙ නැත්නම් අපේ කකුල් කැඩී යන තරමට අපව වට්ටනු නො අනුමානය.  ඒ කාලේ රත්ති එසේ විසේකාර ලෙස හැසිරෙද්දී මා නම් කරන්නේ යන දිහාක ගිහින් නැවතියන් කියලා ලණුව අත හරින එකයි .


ඔය කාලයේ එක දවසක කිරවණාබිස්සේ මදුරසිංහ අය්යලා තාත්තා ගොනෙක් රැගෙන අපේ ගෙදරට ආවේ රත්තිගේ මේ දැඟලිල්ලේ ප්‍රතිඵලයක් ලෙසයි . ඔහුගේ සහයට අපේ ලොකුමාමාද ඇවිත් හිටියා මතකය . අපට ඒ පැත්තට නොයන ලෙස අම්මා අවවාද කර තිබූ නිසා අප ඒ පැත්තේ සිදුවූයේ කුමක්දැයි  නොදන්නෙමු .

කෙසේ හෝ ටික කලක් යද්දී ඇය ගැබිණියක් වී තිබිණි. අපි සියළු දෙනා නැඟී එන කිරි අම්මාට වල් කපාදෙමින් සාත්තු කළෙමු.

හේතුව කුමක්දැයි මතක නැත. අම්මාගේ පොඩිම මල්ලී එක දවසක්  රත්තී කිරිඔරුවට රැගෙන ගියේ "එහේ වැඩිපුර වල් තියෙනවා ඒ නිසා හරකා  කහටගහ වත්තේ බඳිමු " කියමිනි. මා සහ අක්කා වැඩේට එතරම් කැමැත්තක් නොදැක්වූවත් අම්මා සහ අපේ පොඩි මාමා අපේ රතු වැස්සී කිරිඔරුවට රැගෙන ගියෝය. 

පසුදා උදෑසනම අම්මා සොයාගෙන එන පුරුදු කටහඬකි .

ලොකු අක්කා .. ලොකු අක්කා හරකට වෙඩි තියලා .. දෙය්යනේ ඒ මොන අපරාදයක්ද? ඇයි උඹ හරකා බැඳලා තිබ්බේ නැද්ද? 

නෑ නෑ මං පොඩි අක්කලා ගෙට උඩහ තිබ්බ කැලෑ මංඩියේ ඌ බැඳලා හිටියේ .. මට ඊයේ ගාලක් හදන්න වෙලාවක් තිබ්බේ නෑ .

හරකා මැරිලා නෑ .. පතරොම් තුනක් බඩ ඇතුලට  ගිහින් එකක් වත් එළියට ඇවිත් නෑ

"වරෙව් යන්න ..  හරකා බේරගන්න පුළුවන් ඇති . පව් අසරණ සතා" අම්මා කෑ ගසන්නීය 

අම්මා අක්කා ඇතුළු අපි හැමෝම අම්මා පස්සේ වැටුණෙමු .

අපි යනවිට හරකා පැත්ත වැටී සිටියේ අප දෙස අසරණව බලා සිටිමිනි .. 

"කව්ද මේ වැඩේ පාහරයෝ?"

 අම්මා කෑ ගසන්නීය 

" ලොකු අක්කා කෑ ගහන්න එපා . ඊයේ මාරබැද්දේ $% බණ්ඩේ අය්යයි පල්ලැහැ පඬිතුමා අය්යයි දඩයමේ ගිහින් .. පඬිතුමා අය්යා ටෝච් එක ගහණ කොට අන්න ඌරා ඇහැ දෙනවා ඇහැදෙනවා තියපං කියලා $% බණ්ඩේ අය්ය වෙඩි තිබ්බලු . එකක් නෙවෙයි තුනක්ම තියලා .."

විස්තරේ කියමින්  අම්මා අස්වසන්නට හදන්නේ  හරකා වෙඩි කෑ තැනට පහළින් තිබූ ගෙදර ජීවත් වූ පොඩි පුංචීය

අපි හැමෝම දැන් වෙඩි කෑ එළදෙන වටකරගෙනය 

රත්තී කෙඳිරි ගාන්නේ අමාරුවෙනි .. උම්බෑ ...... උම්බෑ .... අම්මා ගවදොස්තර සොයා අය්යා පිටත්කර හැර ටික වෙලාවකින් ගොසිණි .. රත්තීගේ බඩ සහ පපුව ප්‍රදේශය එන්න එන්නම ඉදිමීගෙන එයි ..අම්මා ,අක්කා මම ඇතුළු සියළු දෙනා ලොකු මාමලා ගෙපැල ඉදිරිපස තැනක වැතිරී සිටින රත්තී  දෙස බලා සිටියෙමු ... අපේ බොහෝ දෙනෙක් ගේ දෑස්වල කඳුළු පිරී ඉතිරී ගොසිනි . අසල්වැසි නිවසේ සිටි පියුම් මාමලා නැන්දා .. "කවුද කරුණක්කේ මේ සහගහණ අපරාදේ කළේ  ? 'යැයි අම්මාගෙන් අසයි .. අම්මා තවම වැලපෙයි .. පිළිතුර දුන්නේ මා විසිනි .. 

"වෙන කවුද ඉතිං අර හරක් බාසා මිසක් " 



$% බණ්ඩේ අය්යා යනුවෙන් අපේ පුංචි අම්මා එදා සඳහන් කලේ තාත්තගේ ලොකු අය්යා ගැනයි . ඔහු ගමේ නමගිය මේසන් බාස් කෙනෙකි. හරකා වෙඩිතැබූ බාස් නිසා ඔහු "හරක් බාස්" ලෙස නම් කරන්නට මම තීරණය කළෙමි. එදාසිට සෑහෙන කාලෙකට මම ඔහුව අමතන්නේ ඒ නමිනි . ඒ අපේ ආදරණීය හරකා වෙඩි තබා මරාදැමීමේ ප්‍රධාන සැකකරු ඔහු වූ නිසයි .

එදා රෑ වෙද්දී එහි පැමිණි පශු වෛද්‍ය වරයා ලොකු පැණඩෝල් ගොඩක් රත්තීට දියකර දෙන්නට කීවේ ඇයගේ බඩේ ඇති වෙඩි උණ්ඩ එළියට ගන්නට විදිහක් නැතිබව කියමිනි.

එදා මහ රෑ වෙනතෙක් අපි රත්තී ලඟ මුර කළෙමු.. ගිනි මැලයක් ගහලා   ඒ වටා එක්වී සිටි ලොකු මාමා , පොඩි මාමා ,අම්මා ඇතුළු අප සැම බලා සිටිද්දී ඇය අවසන් සුසුම් හෙළුවේ රෑ දෙගොඩ හරියේය.. 

අපි ඒ සැණින් වලක් කපා ඇය එහි මිහිදන් කලෙමු ..

අම්මා  මුලසිටම ලොකුමාමාට කියා සිටියේ  වෙන කවුරුහරි ඇවිත් හරකා මසට විකුණන්නට ගෙනයා හැකි බැවින් තව රැයක් දෙකක් යනතෙක්  ඇයගේ සොහොන මුර කරන ලෙසයි .. අපි මල් තබා , නිවන් සැප ලැබේවා යයි පුවරු ආදිය ඇයගේ සොහොනේ උඩ තැබුවෙමු..

අම්මා කී පරිදිම ඇය මේ වනවිට නම් මිනිස් ආත්මයක් ලබා ඇතුවාට සැක නැත.


හරක් බාස් කතා වස්තුව මින් සමාප්තයි !! කියවූ ඔබ සැමට ස්තූතියි 

Monday, 31 August 2020

පෙරළු නැවුම් පස (අපරාජිත චරිත ගොඩනැඟෙන හැටි ගැන පෙරවදනක්):

 



පෙරළු නැවුම් පස (අපරාජිත චරිත ගොඩනැඟෙන හැටි ගැන පෙරවදනක්):

ඒ 1982, අපේ බාප්පා ( ඒවෙනකොට ජූලි වැඩ වර්ජනයෙන් මට්ටුවෙලා නැවත රැකියාව ලැබිලා ) තමන්ගේ බිරිඳගේ ගම වූ හොරණ ප්‍රදේශයට යන්න තීරණය කරපු කාලේ.. 
අපේ බාප්පා ඒ කාලේ බණ්ඩාරවෙල සීවලී විද්‍යාලයේ චිත්‍රකර්ම ගුරුවරයා ජූලි වර්ජනයට එක්වෙලා හිටපු කෙනෙක් .. තාත්තලා වගේම බාප්පත් ප්‍රගතිශීලි දේශපාලනයේ (එකල ශ්‍රී ලනිප ) යෙදුන කෙනෙක් අසුදෙකේ ජනපතිවරණයේ කොබ්බෑකඩුව , විජය කුමාරණතුංග එහෙම ආපුරැස්වීම සංවිධානය කරේ තාත්තා , බාප්පා ඇතුළු පිරිස . බාප්පා තමයි ඒ රැස්වීමේ කථිකයින් හඳුනව දුන්නේ... 

කියන්න යන කතාව පටන්ගනිමුකෝ. බාප්පා ගමරට අතෑරලා හොරණට යද්දි (අපේ බාප්පා විශ්‍රාම ගියේ හොරණ තක්ශිලාවේ විදුහල්පති විදිහට ) අපේ තාත්තාට එයාලා හිටපු ගෙදර තාත්තලා මහගෙදර භාරදීලා ගියා .. අපි හිටපු ගෙදර වහලා අපි ගමේ පල්ලැහට ආවා ජීවත්වෙන්න. ඒ ගෙදර සහ ගෙදර වත්ත බාප්පයි පුංචි අම්මයි ඒ තරම් ප්‍රයෝජනයට අරං තිබුණේ නෑ. මේ දවස්වල අපේ තාත්තත් රජයේ සේවයේ නෑ බාප්පා වගේම එයත් වැඩ තහනම්වෙලා හිටියේ. ඒ ගෙදරට යනකොට මගේ වයස අවුරුදු දොළහයි , අය්යට දාසයයි එයා සාමාන්‍යපෙළ ලියන්න ලෑස්ති. මහගෙදර ඉඳන් පාඩම්කරන්න බෑ රෑට හොල්මන් සද්ද ඇහෙනවා කියලා අය්යා අඹදන්ඩේගම (බඹරගම ) අපේ නැන්දලා ගෙදර ගියා මමයි අක්කයි නංගිලා දෙන්නයි තමයි අම්මලා එක්ක ඒ ගෙදර හිටියේ ..

ආතම්මාගේ සහ මුත්තාගේ ජීවමාන ප්‍රමාණයේ උඩුකය පිංතූර දෙකක් මේ ගෙදර සාලේ එල්ලලා තිබුණා . ඒ දෙක දිහා බලන්න අපි ඔක්කොම භයයි ඒ දවස්වල . රෑට සාලයෙන් එහා මෙහා යන්නේ බිම බලාගෙන ඒ ආත්තම්මයි මුත්තයි හොල්මන් කරයි කියලා . අපේ අයියා ගෙදරත් අතෑරලා ගියාට අපි ඒ ගෙදර ඉඳන් මහ වැඩ ගොඩක් කරා .. උදේම ඉස්කෝලේ ගිහින් ගෙදර ආවට පස්සේ අම්මා සහ තාත්තා එක්ක අපෙ බාප්පලා වත්තට යනවා . ඒ වත්තේ නැති ගස් ජාතියක් නැති තරම් . බාප්පලාට ඒ සල්ලි උල්පත නොපෙනුනාට අපිට එහෙම වුණේ නෑ . දවසින් දෙකෙන් අපි වැඩේට බැස්සා.

අම්මයි තාත්තයි ගෙට උඩහින් තිබුණ තේ කෑල්ලට ඔට්ටුවුණා .වදුලට තිබුණ වැඩි ටර්පන්ටයින් ගස්වල අතු පෑහලා දර යාර ගහලා විකුණුවා . අම්මා තාත්තා අපි හැමෝම තේ වත්තේ පෙට්ටි කාණු කපලා පස් ගොඩදාලා තේවත්ත පිළිවෙලක් කරා . 

තේ වත්තේ තිබුණු ජෑම්පේර ගස්ටිකට මගේ ඇහැ ගියා නංගිලා එකෙකුට වත් ජෑම්පේර අල්ලන්න දෙන්නේ නෑ මම ඒ දවස්වල ඒවා ඔක්කොම ගමේ ජෑම් කෝඩියල් එහෙම හදන සීලවතී ටීචර්ලා ගෙදරට විකුණනවා මම. ඒ පේරහුණ්ඩුවක් ශතවිසිපහක් ගානේ. ඒ මුදලට අමතරව නොමිලේ ජෑම්බෝතලයක් සහ කෝඩියල් බෝතලයකුත් මට දෙනවා ඒ ටිචගේ මහත්තයා (එයාතමයි ඒ කාලේ ජෑම්, කෝඩියල් වැඩේ කලේ).

ඔය අතරේ තාත්තලාට තවත් දෙයක් අහුවුණා බාප්පලා වත්තේ ඒ තමයි කුස්සියට එහායින් තිබ්බ කිතුල් ගහ . ඒ කිතුලේ පළමුවෙනි වරට මලක් පීදුනා අපි එහාට ගිය අළුතම . ඒකටත් තාත්තලා අත තිබ්බා ඒ කිරිඔරුවේ ඉන්න අප්පච්චි මුත්තා ලවා කිතුලට බෙහෙත් තියලා . ඊට පස්සේ අපි හකුරුහදන්නත් පටන්ගත්තා අපි බාප්පලා ගෙදර ... එතැනින් වැඩේ නැවතුනේ නෑ වත්තේ තිබුණ ලොකු ගිරා අඹගහ ටත් කිට්ටු කලා වසරට දෙවතාවක් මේ ගහ පිරෙන්න ගෙඩි හැදෙනවා ඒවා ගමේ කොල්ලොගෙන්වලා කඩවලා විකුණන්න ගත්තා .. වත්තේ තිබුණ අලිපේර ගස් තවත් ආදායම් මාර්ගයක් වුණා . ගෙට පහළින් තිබ්බ කොටසේ තමයි මගේ ගණුදෙනු වැඩිපුරම තිබුණේ .. හවස හතරට විතර වත්ත පහළට යන මම නැවත ගෙදර එන්නේ රෑ හතට අටට විතර . ඒ හරියේ තිබුණ එනසාල් පඳුරු ,කෙසෙල් පඳුරු , කෝපිගස් ආදී සියළු දේවල්වලට සාත්තු කරන්නේ මම තමයි ඒ කාලේ .මේ හැමදේම සුළු කාලෙකින් සල්ලි බවට හැරවුණා.. එනසාල් , කෝපි වලට එහෙම හොඳ මිලක් තිබුණා ඒ කාලේ.

මේ වෙලඳ භෝග සාත්තුවට අමතර බෝංචි තක්කාලි මාළු මිරිස් වගේ එලවළුත් වෙනකක් තබා කූර තම්පලා වැනි පළාවර්ගත් පාත්ති දාලා හැදුවා ඒ පහළ කොටසේ .. ඒ වැඩ වැඩිහරියක් කරේ මමයි අක්කයි තමයි .. 

වැඩ ඉවරවෙලා නානකොට (වත්තේ පහළ තිබුණ ලිඳෙන්) එහාගෙදර ඉන්න ලොකුතාත්තා යනවා ඔයහරියෙන් .. කළුවරේ නාන පොඩි කොල්ලා දැකලා (හැමදාම මම නාන කොට රෑහත හතහමාර වෙනවා ) ලොකුතාත්තා මෙහෙම කියනවා
" ආ චූටිපුතා දැන්ද නාන්නේ? "අයිසේ තමුසේ මාරළමයෙක් නේ හලෝ? .. මට එහෙම ඔයවගේ කොල්ලෙක් හිටියානම් මමත් මිනිහෙක් තමයි .. අපිට නෑනේ ඔහොම කොල්ලෝ "

ටික දවසක් යද්දි ඔහේ කැලෑවට ගිහින් වගේ තිබ්බ ගුණසේකර ඉස්කෝලේ මහත්තයාගේ ගෙවත්ත දළුකඩන , එළවළු පළතුරු කැඩෙන වෙන එකක් තබා කුඩා කුකුළු පාලනයකුත් කෙරෙන ගෙවත්තක් බව ගම පුරා පැතිරෙනවා .. ආරංචිය හොරණටත් යනවා .. යන්නේ හොඳ විදිහට නෙවෙයි 

"වැඩිකල් නොගිහින් ඔයාගේ ඉඩම විජේරත්න මහත්තයයි එයාගේ පවුළයි අල්ලාගනියි " 

කියලා තමයි බාප්පාව භය කරන්නේ කට්ටිය .. ඉතිං බාප්පා අපේ තාත්තාට ආපහු ගේ භාරදීලා අපේ උඩහා තියෙන ගෙදරට යන්න කියනවා. ඒ ගෙදර වත්ත ඒ කාලේ බාප්පලා ගෙවත්ත වගේ සශ්‍රීක නෑ මුත්තා හදපු ගිරා අඹ පැළයකුයි ජෑම්පේර පැලයකුයි එක කොස් ගහකුයි තමයි ගස් කොළන් විදිහට තිබුණේ..

අපේ අම්මා මේ වැඩේ ගැන හරියට දුක්වුණා . අපි ඔක්කොම එකතුවෙලා ගොඩ නංවපු ගෙවත්තනේ එයාට කණගාටුයි. අද වගේම ඒ කාලෙත් අම්මට සමීපම දරුවා මම තමයි .. මම අම්මාට යෝජානවක් ගෙනාවා . අපි පල්ලැහැ වත්තේ තිබුණ ගස් කොළං වර්ග හැම එකක්ම අපේ වත්තේ හදමු. බාප්පා දීලා තිබුණ අවසාන දිනය ලංවෙනකොට අපේ උඩහා ගෙදරවත්තේ තාත්තලා මහගෙදර වත්තෙත් නැති ගස් හැදුනා . ගෙට පහළින් එනසාල් මණ්ඩි කිහිපයක් හැදුවේ මගේම දෑතින් ඒ හරියෙම මාළු කෙසෙල් පැළ , වතුපාළු , සුවඳෙල් කෙසෙල් පැලත් හැදුවා .. ගමේ උඩහරියේ කොහේවත් ඒ දවස් වල කිතුළ් තිබුණේ නෑ . අය්යයි මමයි කිරිඔරුවේ ගිහින් එන ගමන් ගෙනැත් කිතුළ් පැල දෙකකුත් හැදුවා තවමත් පැණි ගන්නවා ඒ කිතුල්ගස්වල , කෝපි , කොස් අඹ අලිපේර මේ ඔක්කොම පැල ජාති හැදුවා. මට මතකයි අපේ අක්කයි මමයි අපේ වත්තේ උඩ හරියේ මායිම දිගටම කොස් ඇට පේළියක් පැළ කරන් ගියා අද ඒවා ඔක්කොම ලොකු ගස්.. අය්යයි මමයි ඒ වැටේම හණගස් දෙකකුත් කිරිඔරුවෙන් ගෙනැත් හිටවව්වා... පෙයාස් , පීචස් , ගස්තක්කාලි , දෙළුම් ඔය හැමජාතියම හැදුවා.. 

දවසක් බණ්ඩාරවෙල සෙන්ට්‍රල් එකේ දැන් පිට්ටනිය හදන තැන තිබුණ හාතාවාරිය වැලක් යාළුවෙක් පෙන්නුවා මට

" මචං කිටී ඔය හාතාවාරිය ඕක බෙහෙතට ගන්න ගහක් .. "

මම ඒ හාතාවාරිය පඳුරෙන් අළයක් ගෙනැත් අපේ ගෙදර ඉස්සරහා අඹගහ මුළ ඉන්දුවා අද ගිහින් බැළුවම අපේ ගෙවත්තේ බාප්පලා ගෙදර තිබ්බ හෑම වර්ගයකම ගස්කොළං තියෙනවා අම්මලා ඒ කාලෙම අපේ ගෙවත්තේ තේ හැදුවා දැන් එතනෙ පොඩි තේවත්තකුත් තියෙනවා... 



පසු සටහන : මේ කතාව ලිව්වේ තමන් තම අක්කලාට වඩා කර්කශ ජීවිතයක් ගෙවනාබවත් ඒ නිසාම අක්කලාට වඩා වයසින් වැඩියි වගේ පෙනෙන බවත් කී අපහා සමීප මතවාද අදහස් දරණා ගුරු සොයුරියක් කී කතාවක් ගැන අහලා.
ඒ අවස්ථා සම්බන්ධය පෙන්වා දුන් හිතවතා මේ කතාව ඇයට පෙන්වනු ඇතැයි සිතනවා අපරාජිත චරිතයක් ඒ පැත්තෙනුන් ගොඩනැඟෙනු ඇතැයි යන්නයි අපේ බලාපොරොත්තුව


Tuesday, 30 June 2020

ආච්චිට උදව් කරන චූටි පුතා





අපි පොඩි කාලේ බණ්ඩාරවෙල කිරිඔරුව ගමේ මේ විදිහට කුඹුරු වල වැඩකරා .. අද අපි ලොකේ ඉහළම තැන්වල හිටියත් ඒ "සොඳුරු අතීතය තවම මතකයි "සොඳුරු අතීතයෙන් බිඳක්"  බ්ලොග් එක කියවන්න

Saturday, 30 May 2020

අධ්‍යාපනයයි ව්‍යවසායකත්වයයි එකට කරන්නේ කොහොමද? (පළමු කොටස ප්‍රාථමික පංති ව්‍යවසායක්ත්වය )


සරස්වතියටයි ලක්ෂමියටයි එකට එක පාරේ යන්න අමාරුයි .ඒ "මුදලුත් හොයමින් අධ්‍යාපනයේ යෙදෙමු" යැයි  යෝජනාවූ ප්‍රකාශයකට මුහුණු පොතේ පළවූ අදහසක්.. පිළිගැනීම්, මති මතාන්තර, සමාජයක මුල්බැසගිය ආකල්ප ආදිය නිසා අලුතින් යමක් කරන්නට සිතන්නන් නැවතත් අඩියක් පස්සට තියන්නත් පුළුවන්..
අද අපි කතා කරන්න යන්නේ කුඩා දරුවෙකුගේ සිටි සමාජයේ වෙනස් කමක් කළහැකි මට්ටමේ රැකියාවක් කරන තෙක්ම හෝ ඊටත් පසුව ව්‍යවසායක්ත්වයට අතිරේක දේවල් කිරීමට යමෙක් පෙළඹෙන්නේ කොහොමද යන්න සාකච්චා කරන්නයි ..
කුඩා දරුවෙකු ගොඩනැංවෙන පරිසරයේ විශේෂයෙන් ඔහුගේ/ඇයගේ පවුළේ අයගේ ආකලප් සහ ඔවුන් ඒවා දරුවෙකුට කාවද්දන ආකාරය අනුවත් ඔහු /ඇය ගොඩනැංවෙන පරිසරයෙන් ගමෙන් නගරයෙන් ඔහුට /ඇයට එකතුකරගන්නට පුළුවන් අත්දැකීම් අනුවත්  ඔවුන්ගේ ජීවිතය හැඩගැස්වෙන ආකාරය තීරණය වෙනවා.

මේ ගැන අදහසක් ගැනීමට  මා කුඩා කාලයේ හැදුන වැඩුන හැටිත් එහිදී මා දැනට තෝරාගෙන ඇති ජීවන මාර්ගය වෙනුවට අවශ්‍ය නම් තව රැකියා කීයක් වෙත යොමුවිය හැකිව තිබුණාද යන්නත් සලකා බලමු

පාසැල්වයස (ප්‍රාථමික පංති )

මා මුලින්ම මගේම යැයි ආදායමක් උපයන විට මගේ වයස යන්තම් අවුරුදු දහයක් -දොළහක්  වූවා පමණි .. රජයේ කාර්යාලකය ලිපිකරුවෙකුවූ අපේ තාත්තා (අපේ ගමේ සිටි රජයේ රැකියා කල අතලොස්සකගෙන් කෙනෙක් ) මට කල යෝජනාවක් අනුව  මගෙ මුල්ම ව්‍යවසායක්ත්ව අත්පොත තැබුවෙමි..

ගමේ තරුණ තරුණියන් එක්ව රඟ දැක්වූ "සැගවුණු දෛවය " නම් වේදිකා නාට්‍යය අවස්ථාවේ නාට්‍ය ප්‍රදර්ශන දින තුනේ  රසික රසිකාවියන්ගේ රසකැවිලි , දුම්වැටි අවශ්‍යතා සැපයීම  මුදල් ඉපයීමේ අවස්ථාවක් ලෙස දැකීමෙන් මෙය ආරම්භ විය.. 1980 ලංකාවේ ඇතිවූ බ්‍රිස්ටල් , ත්‍රී රෝසස් , ෆෝ ඒසස් ආදී දුම්වැටි හිඟය වෙලඳ අවස්ථාවක් ලෙස දැකීමටත්  ඒ වෙනුවෙට විකල්පයක් ලෙස මතුවූ 555 නම් සිගරට් වර්ගය මගේ වෙලඳාමට ගැණුම් කරුවන් ආකර්ෂණය කරගැනීමේ ප්‍රවේශයක් ලෙස පෙනීමත් මෙහිදී විශේෂ වේ.. නගරයෙන් තොගමිලට ශත 16 ට ගන්නා බර්නී ටොෆීයක් ගමේ නාට්‍ය වෙලාවේ ශත තිහකට මිළකරන්නට සිතීමත් තවත් වෙළඳ ප්‍රයෝගයකි..ඒ අපේ නිවසින් අපට ලැබුණු ආභාෂයයි.

ඒ අතර ගමේ නැගීඑන ව්‍යවසාසයකයෙක් වූ මාරබැද්දේ අනුර අය්යා ( වත්මන් බණ්ඩාරවෙල නගරාධිපතිගේ/පොඩි මන්ත්‍රීගේ පියා ) ඔහුගේ තාත්තාත් සමඟ අසල ගම් දෙක පුරා ගෝනියක් කරේ එල්ලාගෙන ගෙන්ගෙට ගොස් එළවලු එකතු කරන ආකාරයද දුටුවෙමි.. ඒ ඔස්සේ දිනතුනේ ව්‍යවසායක්ත්වය ඊලඟපියවරකට ගෙන යන්නේ කෙලෙසද යන්න ගැනත් හොඳ අදහසක් ඇති කරගත්තෙමි.

දිනතුනේ වෙලඳාමෙන් පාසැල් අඳින්න නිල්පාට කොටකලිසම් දෙකක් මහගන්න මට අනුර අය්යා දෙස බලා තවත් වෙලඳ අදහස් පහළ වීම වෙලෙන්දෙක් ලෙස ඉදිරියට යන්නට ප්‍රජෝයනවත්විය .  ඉන් අනතුරුව ගත වූ අවුරුදු කිහිපයේ මගේ ව්‍යවසාකයත්වය ඉදිරියට යන්නේ ඉතා ක්‍රමානුකූලවය. එකින් එකට පාදක වූ සිදුවීම් විස්තර කරන්නට ගියොත් ලියවිල්ල  ඉතා දිගුවිය හැකි නිසා ඒවා ලැයිස්තුගත කරන්නට සිතුවා .එහෙත් ඔබ කැමතිනම් අදාල ලින්ක් හරහා "සොඳුරු අතීතයෙන් බිඳක් " බ්ලොග් ලියැවිල්ලට යන්න එහි එක් එක් වෙලඳාම් වඩා විස්තර සහිතව ඉදිරිපත් කර තිබෙනවා


1. ගෙදරවත්තේ තිබුණු සීනි කෙසෙල් , වතුපාළු ආදි කෙසෙල් වර්ග අසල ඇති කේෂන් වත්තේ පඩි දෙනදාට ගමේ නිවසක වල්කපන කොල්ලෙක් ලෙස වැඩ කළ කේෂන් වත්තේ නඩරාජා සමඟ එක්වී විකිණීම (වත්තේ පඩිපොළේ වෙලෙන්දෙක් ලෙස )
2. තාත්තලා මහගෙදර වත්තේ තිබූ මාළු කෙසෙල් කැන ඇවරි ගසා ගමේ ගෙයින් ගෙට ගොස් විකිණීම
3.  තාත්තලා මහගෙදර වත්තේ තිබූ ජෑම් පේර ගස් වල ගෙඩි  , අපේ ගෙදරවත්තේ තාත්තා සහ මා එකතුවී හැදූ පැෂන් ෆෘට් වැලේ ගෙඩි   එකල ගමේ නිවසක වෙලඳාම පිණිස ජෑම් සහ කෝඩියල් හැදූ පොරෝළිස් මහත්තයාට විකිණීම. මේ වෙනුවෙන් පේර හුණ්ඩුවකටශත විසිපහක් සහ වැල්දොඩම් ගෙඩියකට ශත විසිපහක් ගානේ මට ගෙවන ලදී . එමෙන්ම මාසය අවසානයේ නොමිලයේ කෝඩියල් බෝතලයක් සහ ජැම් බෝතලයක් ද ප්‍රධානය කිරීමට මගේ ගැනුම් කරුවා පරිත්‍යාගශීලී විය


4. වෙලඳාමෙන් වාසිවෙන බව පෙනෙද්දී අපේ නිවසේ ගස්වල තිබූ ගිරා අඹ , අලිපේර ආදිය ඉදවා උදේට නිවස අසළින් වත්තේ වැඩටගිය  මල්ලිකාඅක්කාගේ දළු කූඩයට දැමීම මගේ පුරුද්දකි.  මල්ලිකා අක්කා තමන් සමඟ දළු කඩන ද්‍රවිඩ ගැහැණුන්ට සහ කංකානිලාට මේ පළතුරු විකුණයි .. මුදල් එකතුකරදෙන්නේ වත්තේ පඩිදාටයි.. "චුටිමල්ලී මෙන්න අඹගෙඩි හතලිහක සල්ලි.. මේ තියෙන්නේ අලිපේර ගෙඩිවල සල්ලි " ඒ වනවිට අවුරුදු විසිගණක යුවතියක් වූ මල්ලිකා අක්කා  නැඟී එන කුඩා ව්‍යවසායකයාට අතදෙන්නේ එලෙසිනි..  කුඩා අප දෙමව්පියන් සහ  අහලපහළ  නිවෙස් අතර ඇති සබඳතා  ඔස්සේ ගොස් ඒ නිවෙස්වල තරුණියන් ද ප්‍රවේශමෙන් තමන්ගේ ව්‍යවසායක්ත්වය ගොඩනඟන්නට යොදාගත්තේ ඒ ආකාරයෙන්.

5.ඒ කාලයේ රටපුරා ඇතිවූ පුවක් හිඟයත්  කිරිඔරුවේ උක්කුපුංචිලා ගෙදර තිබූ පුවක් ගහකත් අතර දුටු ව්‍යාපාරික අවස්ථාව කුඩාදරුවෙක් ලෙස ප්‍රයෝනයට ගත් ආකාරයද අතිශය රසවත් කතාවකි .. බිස්නස් කාරයාට යන යන තැන බිස්නස් අවස්ථා පෙනෙන බවව හොඳම උදාහරණය මෙහිතිබේ . ව්‍යවසායක්ත්වය සහ අධ්‍යාපනය කෙතරම් දුරට එකෙනෙක සමපාත වී ගෙන යා හැකිදයන්න ඒ පුවක් ව්‍යාපාරය අවසානයේ එවකට ඇහැළියගොඩ ප්‍රදේශයේ පාසැලක සිටි උපාධි ගුරුවරයෙකු වූ කිරිඔරුවේ අමරසිංහ මාමා ( අපේ අම්මාගේ ලොකු තාත්තගේ පුතා ) මා ගැන කළ අනාවැකියෙන්ම පැහැදිළි වෙනුඇත. 

මේ කාලය වනවිට අපේ අල්ලපු ගෙදර සිටි බන්දුපාල අය්යා ( තේ වත්තේ වැඩකල කම්කරු යුවලකගේ පුත්‍රයෙක්/ ඔයකියපු මල්ලිකා අක්කාගේ මාමගෙ පුතා) හදිසියේම කුරුණෑගල උහුමිය ප්‍රදේශයට යනවා අලුතින් බිස්නස් එකක් පටන්ගන්න.. එහේ ප්‍රසිද්ධ වෙන්නේ " මාතර මුදලාලා නමින්" අටේ කණුව පොල්වෙලඳ සැල කියලා පටන්ගන්න ඔහුගේ ව්‍යාපාරය  පොල්වලින් ගොඩනැඟිලි ද්‍රව්‍ය වෙලඳාමට වෙනස් වෙනවා.. ටිකෙන් ටික පොහොසත් වෙන බන්දු අය්යා අවුරුද්දට ගෙදර  එන හැම වතාවෙම අපේ තාත්තා බලන්නත් එනවා.

එකසැරයක් එනකොට මම පාසැල් කාළයෙන් පස්සේ බඩු විකුණන්න පොඩි කඩයක් දාලා ගෙදර.. ඒ වගේම ඊට ටික දවසකට කලින් තිබ්බ පහේ ශිෂ්‍යත්වයෙනුත් සමත් වෙලා .. බන්දු අය්යා මටත් කතා කරලා ගිහින් තාත්තා එක්ක කතාව..

 "මාමා  චූටි මල්ලී බිස්නස්වලට උනන්දුයි නේද? හැබැයි ඉගෙනගන්නත් ඒ වගේම දක්ෂයි නේද? නරකද ඉගෙනගන්න පැත්තෙන් සමන්ත මල්ලි (අපේ අය්යා , දැන් ඔස්ට්‍රේලියාවේ මහාචාර්යවරයෙක් )  යවලා  චූටිමල්ලී බිස්නස්වලින් ඉස්සරහට දැම්මොත් ? අපිටත් පුළුවන් පොඩි උදව්වක් කරන්න.."

 ඒ වනවිටත් බණ්ඩාරවෙල මහාවිද්‍යාලයේ හයේ පංතියේ එක දෙක ස්ථාන වල සිටි මට අධ්‍යාපනයෙනුත් සමන්ත වගේම ගමණක් පෙනේ..
බිස්නස්වලින් බන්දු අය්යා වගේ වීමත් නරකම නැත . මොකද බන්දු අය්යා ඒ වෙනකොටත් 1210 ලොරිදෙකක් , අළුත්ම අළුත් හයි ඒස් වෑන් එකක් එහෙම තිබුණ "උහුමියේ මාතර මුදලාලි" බවට පත්වී සිටි අයෙකි..

මේ ලියැවිල්ල ගොණු කෙරෙන්නේ  ටෙක් ජොබ්ස් ආයතනයෙන් කෙරෙන නව ව්‍යවසායක්තවයන් ප්‍රවර්ධනයට ආකල්මය වෙනස්වීම් ප්‍රයෝජනවත් කරගන්නේ කෙලෙසද යන අදහස වෙනුවෙනි.. ඉදිරියේදි ද්වීතියික පංතිවල සහ උපාධිය ලබාගැනීමෙන් පසු සිදුකල හැකි නව රැකියා අවස්ථා ගැන කතා කරමු

Monday, 11 May 2020

ඩී ඩී 21 : බණ්ඩාරවෙල - වැල්ලවාය


එක්දාස් අ නමසිය අසූ එක අසූදෙක කාලේ  මගේ වයස යන්තම් අවුරුදු එකොළහ පිරුණා විතරයි ඒත් ඒකාලෙත් මම සැලකිය යුතු තරමක ව්‍යවසායකයෙක් . මේ කාලේ මම අපේ තාත්තාගේ  ඒ කාලේ තාවකාලික රැකියාව වූ ඩී ඩී 21 ඉසුසු වෑන් එකේ රියැදුරු කම උපයෝගි කරගෙන මගේ බිස්නස් වැඩ බණ්ඩාරවෙලින් වැල්ලවායට පැතිරවූ හැටියි මේ කතාවෙන් කියැවෙන්නේ.
ඒකාලේ අපිට කලාතුරකින් උදාවූ "නරක කාලයක්" උදාවෙලා තිබුණා කිව්වොත් නිවැරදියි . මොකද අසූවේ තමන්කරපු රජයේ රැකියාව අහිමිවී සිටි අපේ තාත්තා  වෙනත් රැකියාකරලා අපව පෝෂණය කරන්න හදපු කාලේ තමයි අසූව දශකයේ මුල්භාගය කියන්නේ. ඔහු අම්මාත් අක්කා මම ඇතුළු අපි කිහිපදෙනාත් සහයට අරන් එළවළු වගාව පටන්ගත්තෙත් මේ කාලේම තමයි. අපේ අම්මා වගේ නෙවෙයි තාත්තා එයා එච්චරම වගාවට කැමති කෙනෙක් නෙවෙයි. ඉතිං ඒ නිසාම දෝ කොහෙද ඔහු අපිට වගාකටයුතු කරන්නට හැරලා පාරේ මිනිස්සු අදින වෑන් වල වැඩ කරන්නට පටන්ගත්තා  වැඩිකල් යන්න නොදීම. ඔහු දියතලාව- බණ්ඩාරවෙල , පල්ලේවෙල බණ්ඩාරවෙල ( ජයමඟ ) රූට්වල ඉතා කෙටිකලක් වැඩකලා .. ඊට පස්සේ නැවතත් ගෙදරට වෙලා ඉද්දි තමයි අපේ බඹරගම නැන්දා වාහනයක් ගත්තේ .

එහෙමනම් අපි  බඹරගම නැන්දලා හයි ඒස් එකෙන් ඩී ඩී විසි එකට එමු



ඔන්න එක දවසක් මෙතෙක් අනුන්ගේ වාහන එළවමින් සිටි අපේ තාත්තා දුඹුරුපාට (චොකලට් පාට)  ඇළුත්ම අළුත් හයි ඒස් එකකින් ගෙදර එනවා. අම්මා අපි ඇතුළු හැමෝම වටවෙලා විස්තර අහනවා.. වෑන් එක අරන් තියෙන්නේ අපේ බඹරගම නැන්දලා ( තාත්තගේ ලොකු නංගී ),  කතාවේ හැටියට ෆිනෑන්ස් කරලා තමයි අරන් තියෙන්නේ .. මාළිගාතැන්න බණ්ඩාරවෙල රූට් එකේ දුවලා ෆිනෑන්ස් එක ගෙවන්න තමයි සැලසුම.  ඒ දවස්වල හැමදාම රෑ වෙද්දි අළුත්ම අළුත් වාහනේ අපේ ගෙට උඩහ හන්දියේ නවත්තලා තියෙනවා.  අපේ අංජු මාමත් මමත් වාහනේ බලාගන්න ඒකේ මැදසීට් දෙකේ නිදාගන්න යනවා ඒ දවස්වල..

අළුත් හයි ඒස් එකත් එක්ක  ඔහොම කාලයක් ගෙවිලා  ගියාකියමුකෝ. ඒ පාර අපේ තාත්තා ඊටවඩා පරණ කොළපාට  රුක්මණී මොඩ්ල් හයි ඒස් එකකින් ගෙදර එනවා.. අම්මා එක්ක යන කතාබහින් තමයි හේතුව එළිවෙන්නේ.. ෆිනෑන්ස් ගෙවාගන්න  බැරිනිසා කොම්පැණියෙන් අළුත් වෑන් එක අරන්ගිහින් නැන්දලාට ගෙවපු ගාණටයි ඉදිරි වාරිකවලටයි ගැලපෙන්න  පරණ මොඩ්ල් (රුක්මණී මොඩ්ල් ) වෑන් එකක් දීලා..




කොහොමින් කොහොම හරි බඹරගම නැන්දලා වැඩි කාලයක් වාහන රස්සාව කරන්නේ නෑ ඒ වාහනේ අපේ තාත්තගේ අක්කගේ මහත්තයා ( චන්දරේ මාමා ) ගත්තා කියලා ආරංචි වෙනවා.. මම හිතන හැටියට නැන්දලාට තිබ්බ ෆිනෑන්ස් එකත් එක්කම .. චන්දරේ මාමා ඉන්නෙත් අපේ ගමේමයි.  වෑන් එක ඊට  පස්සේ ගාල්කරන්නේ චන්දරේ මාමලා ගෙදර .  ඒ නිසා එදා ඉඳලා අපිට අපේ වගේ තිබ්බ වාහනේ නිදාගන්න තිබ්බ අවස්ථාව එහෙම නැතිවෙනවා.චන්දරේ මාමා බඹරගම කට්ටිය වගේ නෙවෙයි ශූර ව්‍යාපාරිකයෙක් . රුක්මණී මොඩල් වාහනේ දිගටම තියාගන්නා ඔහු එහි රියැදුරා කරන්නේ අපේ තාත්තාමයි . ඒ අතරේ වෑන් එකේ ගෝලයා විදිහට ඔහුගේ පුත් චූටි අය්යා වැඩට යොදාගන්නවා.
දැන් ඩ්‍රයිවර් අපේ තාත්තා ගෝලයා චන්දරේ මාමලා චූටි අය්යා  පරණ හයි ඒස් එකේ මාළිගාතැන්න - බණ්ඩාරවෙල මිනිස්සු අදිනවා. තාත්තත් තමන්ගේ අක්කගේ වාහනේ නිසා හරි උනන්දුවෙන් වැඩ.ඔහුගේ බෑනා චූටි අය්යත් හරිඋනන්දුවෙන් පුළුවන් තරම් කෑලි එකතු කරගන්න බලනවා ඇටම්පිටිය පාරේ ලංගම බස්වලට කපාගෙන යනගමන්.

මාමා බෑනා සුසංයෝගය සාර්ථකවෙද්දි චන්දරේ මාමා තීරණයකට එළැඹෙනවා. ඒ මාලිගාතැන්න  බණ්ඩාරවෙල වෙනුවෙට මෙතෙක් පෞද්ගලික වාහනයක් නොගිය පාරක්වූ බණ්ඩාරවෙල වැල්ලවාය පාර ආක්‍රමණය කරන්න.. හැබැයි අර රුක්මණී මොඩ්ල් වෑන් කෞවෙන් නෙමෙයි අළුත්ම අළුත් ඉසුසු එල්ෆ් වෑන් එකකින්. කහපාට වෑන් එකක් වූ ඒක ඉස්සෙල්ලාම වැල්ලවාය පාරට දැම්මේ ගරාජ් නම්බර් එකකින් .. ඒ අංකේ තමයි ඩී ඩී විසි එක කියන්නේ.

ඒ කාලේ බණ්ඩාරවෙල වැල්ලවාය පළවෙනි බස් එක තමයි මර්ග අංක 31 යටතේ බණ්ඩාරවෙල සහ මාතර අතර දුවන මාතර බස් එක . මේක බණ්ඩාරවෙල ඩිපෝවෙන් ගිය ප්‍රධාන බස්වලින් එකක් .. උදේට ශීට් පිරෙන්න සෙනඟ ඉන්න බස් එකක් තාත්තයි චූටි අය්යයි ඩී ඩී විසි එකෙන් උදේ පාන්දර හය වෙද්දී පිටත් වෙනවා මට මතකයි . ඒ මාතර බස් එකට කපාගෙන වැල්ලවායට යන බලාපොරොත්තුවෙන්. "31 මාතර" මගේ පුද්ගලික ඉතිහාසයටත් ගොඩක් සම්බන්ධයි මොකද මම වෙහෙරයාය ඉස්කෝලේ ගුරුවරයෙක් කාලෙත් ඒ වගේම කරාපිටියේ  වෛද්‍යශිෂ්ය‍යෙක් කාලෙත් මාව බණ්ඩාරවෙල සිට ගමනාත්යට අරන් ගියේ එයා නිසා .. අපි වෙහෙරයායෙ ඉන්න  කාලෙත් කරාපිටියේ ඉන්න කාලෙත් 31 හැඳින්වුවේ "කහ කුරුල්ලා කියලා . ඉතිං එවන් කහකුරුල්ලෙකුට කපාගෙන තමයි තාත්තලා  චූටි අය්යලා ඩී ඩී විසි  එක අරන් ගියේ.

බණ්ඩාරවෙලින් වැල්ලවායට ගිය ව්‍යවසායක්ත්වය

තාත්තා  ඩී ඩී විසි එකේ වැඩකරද්දී මම හිටියේ හයේ -හතේ පංතිවල.. ඒකාලේ හවසට අම්මගේ එළවළුවගාවට උදව්වෙනවා වගේම පොඩි පොඩි සයිඩ්බිස්නස් කරන එකත් මගේ සිරිතක්.. මගේ වැඩ දන්නා තාත්තා ( හරියට මම අපේ සුපුන් එක්ක දැන් කරනවා වගේ) මට එක එක වෙලඳ යෝජනා ගෙනෙනවා ඒ දවස්වල.. වැල්ලවායේ සියළු එලවළු පළතුරු වර්ගවල මිල බණ්ඩාරවෙලට වඩා  වැඩිවීම ඔහු මගේ කුඩා ව්‍යවසායික මනසට  ඇතුල් කරනවා.. 

"චූටිපුතා ඔයා ඔය මෙහේ කඩවල් වලට දෙන චව්, අළිපේර එහෙම වැල්ලවායට ගෙනිච්චොත් දෙගුණයක් හම්බකරතහැකියි"  
"ඒ කොහොමද? "  
 "එහේ  අලිපේර එහෙම බෙහෙතකටවත් හොයාගන්න නෑ.. ඔයා බඩු ටික එකතුකරලා උදේට වෑන් එකට දාන්නකෝ මම චූටි ලවා  වැල්ලවායේ පොළට යවලා විකුණලා දෙන්නම්" 

තාත්තාගේ යෝජනාව හිස්මුදුනෙන් පිළිගත් මම ඊලඟට වැඩේට බහිනවා.. මගේ ගමේ ගැංසියේ ඉන්න නඩරාජා , ප්‍රියන්ත වගේ කොල්ලෝ ලවා අලිපේර කඩවාගෙන උදේවෙද්දී ඩී ඩී 21 ට පටවනවා.. හවසට  තාත්තා මගේ අලාභය ගෙනැත් දෙනවා..


බිස්නස් නැගලා යද්දී චන්දරේ මාමටත් වැඩේ ඉව වැටෙනවා සමහර විට චූටි අය්යා . "ආන් අරහේ උඩහ චූටිමල්ලියා තාත්තාගේ ඩ්‍රය්වර් වැඩේ අස්සෙට් සයිඩ් බිස්නස් එකක් ගෙනියනවා"  කියලා කියනවා ඇති .
එක දවසක් තාත්තාට කතාකරන චන්දරේ මාමා වෑන් එකේ මගේ බඩු ගෙනියන්න එපා කියලා අවවාදයක් දෙනවා.. මට ඒක ගාණක් නැතිවුණාට තාත්තගේ හිතරිදෙන්න ඇති.. තවටික කාලයකින් තාත්තා ඩී ඩී 21 එකෙන් සමුගන්නවා.. ඒ වෙනකොට එයා චූටි අය්යාට ගුරුමුශ්ටි නැතුවම රියැදුරු ශිල්පය කියාදීලා ඉවරයි.


ප; ළි: අද ඒ අපි කොහෙද? චන්දරේ මාමා ගෙවල්ලඟ පොඩි පෙට්ටිකඩයක් කරනවා . චූටිඅය්යා මල්වත්තේ ටිකක් ලොකු කඩයක් කරනවා..සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නැවත සේවයේ පිහිටවූ තාත්තා මම අය්යා අක්කා නංගිලා දෙන්නා ( අපි හැමෝම ) තම තම රැකියා අංශවල ඉහළම ස්තරවල ඉන්න හැටි බලමින් විශ්‍රාම සුවයෙන් ගෙදර ඉන්නවා.. මේ කතාව ලියැවෙන්නේ තිලකසිත ලියන තිලකසිරි අය්යා මෑතකදී පටන් ගත්  ටෙක් ජොබ්ස්වැඩේට ඌණපුරණයක් විදිහටයි.. ව්‍යවසායකත්වයට, අලුත් රැකියාවලට මංපෙත් බොහොමයි මෙහි වෛද්‍යවරයෙක් , විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් වන මමත් ඒ කාලෙත් රජයේ නිළධාරියෙක් වූ අපේ තාත්තත් ඒ බවපෙන්වලා  තියෙනවා.. කොවිඩ් -19 කළබල අස්සේ රැකියා අවස්ථා  එහාමෙහා වූ ඔබටත් හිතන්න ඉඩක් මෙහි ඇතැයි කියලා හිතනවා. අපේ තාත්තාවගේ විවෘත මනසින් රැකියා දෙස බලන්න .. ඇත්තටම කිව්වොත් "කලනොහැක්කක් නොමැත" 

Friday, 1 May 2020

ලකිරි ටිතා ( හැත්තෑහයේ කිරිඔරුවේ ඉස්කෝලේ කෙල්ලෙක් )





අපේ පාසැල් සගයා ඉදුනිල් විජේරත්නගේ තණමල්විල කොල්ලෙක් (අකුරු ලියන්න බැරි ) කියවලා මතක්වෙච්ච තවත් කතාවක්...

දිනය එක්දාස් නමසිය හැත්තෑහයේ ජනවාරි මාසයේ මුල දවසක් . ස්ථානය බණ්ඩාරවෙල මාරබැද්දේ නිවසක්  , අවස්ථාව එදා උදේ හා හා පුරා කියලා ඉස්කොලේ ගිය නිවසේ කණිටු පුත්‍රයා එකලොහ හමාරට ඉස්කෝලේ ඇරිලා ගෙදර ඇවිත් .අම්මයි අක්කයි අම්මගේ මල්ලිලා දෙන්නයි (ලොකු මාමා සහ පොඩ්ඩේ මාමා ) කොළුවා ව වට කරගෙන ඉස්කෝලේ ගැන විස්තර අහනවා .. ලොකුමාමා : චූටිපුතා කොහොමද ඉස්කෝලේ ? අළුත් යාළුවෝ එහෙම හම්බවුණාද? කොළුවා උත්තරයක්  දෙන පාටක් නෑ.. චූටිපුතා ඉතිං කියන්න කෝ කවුද ඔයාට හම්බවුණ යාළුවෝ එහෙම? අම්මත් අහනවා අක්කත් අහනවා .. කොළුවාගෙන් තවම උත්තරයක් නෑ .. හරි හරි අඩුමගානේ අපිට කියන්නකෝ යාළුවා පිරිමි ළමයෙද්ද , ගෑණු ලමයෙක්ද කියලා ? ඒ වෙනකොට අවුරුදු විසිගාණක වගේ ඉලංදාරියෙක් වන ලොකු මාමා ආයෙත් අහනවා .. අනික් අය වැඩේ අතෑරලා දැම්මත් ලොකුමාමා වැඩේ අතාරින්නෙම නෑ .. චූටිපුතා කියන්නකෝ බලන්න ඔයාගේ හොඳම යාළුවා කව්ද කියලා එයා ආයිත් ආයිත් අහනවා.. මේ මේ......මගේ යාළුවා තමයි ........අන්තිමට ඔන්න කොල්ලාගේ කට ඇරෙනවා .. හා ඔන්න අපිට කියන්න හදන්නේ ෂ් ...ෂ් උඹලා සද්ද නැතිව ඉඳපල්ලකෝ මම අහගන්නම් කෝ අලුත් යාළුවා කවුද කියලා .... ලොකුමාමා සභාව  නිශ්ෂබ්ධ කරනවා ... ම් ..... ම් . ම්.  අද ඉස්සෙල්ලාම  මට හම්බවුණ යාළුවා තමයි.... ටිකිරි ලතා...
හ හ් හා .. ලොකුමාමයි පොඩ්ඩේ මාමයි අම්මලා ඇතුළුසියළුම දෙනා මහා හය්යෙන් හිනාවෙනවා .. කොල්ලාට තේරුණේ නෑ ඇත්තටම ඇයි  කියලා එයාට රත්නකුමරු, තිලකා ඉන්ද්‍රාණි , අජිත්ලාල් කුමාර , චන්ද්‍රලතා කියන පංතියේ අනික් යාළුවන්ගේ නම් හුරුවෙන්නේ පස්සේ . ඒ වුණාට  මුල්දවසේම ටිකිරිලතාගේ නම මතකයි.. හිනාවෙලා ඉවරවුණ ලොකුමාමා චුටිපුතා ගේ මුල්ම අන්වර්ථනාමය දෙනවා ඒ තමයි ලකිරිටිතා .. ඊට ටිකකාලෙකට පස්සේ ඒ නම තව ටිකක් කෙටිවෙනවා "ඒයි  ලකිරි ඔය උදැල්ල මෙහාට ගෙනැත් දියන් වගේ යෙදුම් යොදමින්.. මට මතක හැටියට අපි ගජ ඉලන්දාරිවෙලා ලොකු මාමලා රාජු මාමල එක්ක කුඹුරු කොටද්දි එහෙමත් එයා ඒ කොලුවට ( මේ මට ) කතා කරන්නේ එහෙමයි
මේ සිද්ධිය සිදුවෙන්නේ මම මුලින්ම ඉස්කෝලෙ ගිය දවසේ 1976 ( අපේ තාත්තා ඉස්කොලේ ලොකු මහත්තයා අඳුරන නිසා මම අඩුවයසෙන් අවුරුදු හයෙන් ඉස්කෝලේ ගියා) එදා දැක්ක ලකිරිටිතා කළු හීන්දෑරි කෙල්ලෙක් , සෙරෙප්පු එහෙමත් නැතිව තමයි ඉස්කොලේ ආවේ. ඇත්තටම ඇත්තටම ටිකිරිලතා ගේ කිසිම විශේෂයක් අපේ කතානායකයාට තිබුණේ නෑ .. කට්ටිය පෙරැත්ත කර කර නම් අහනකොට කියැවුණාට.. කාලයගෙවී ගිහිල්ලා අපි ගමේ ඉස්කෝලෙන් බණ්ඩාරවෙල කණිශ්ඨට එනවා ඒ 1979 වගේ කාලේ එතකොට ඔය කියන ඉඳුළින් කණිෂ්ඨයේ ඉඳලා වෙන ඉස්කෝලෙකට මාරුවෙලා ගිහිල්ලා මම හිතන්නේ තණමල්විළට .. අපි කණිෂ්ඨයෙන් ශිෂ්‍යත්වය සමත්වී මහ විද්යාලයට එහෙම ගිහිල්ලා විශ්වවිද්‍යාල ප්‍රවේශයත් සමත්වෙනවා .. එතෙක් මේ කියපු ටිකිරිලතා ඉන්නේ කොහේද කරන්නේ මොනාද මොකවත් දන්නේ නෑ .. ඒ ගැන අවධානයක් ඇතිවුණොත් නෑ වත්තේදි කුඹුරෙදි ලොකුමාමගේ විහිළුවට ලක්වෙන නමකට උරුමකම් කීවට..

ඔන්න උසස්පෙළ ඉවරවෙලා විශ්වවිද්‍යාල පටග්ගන්නා තෙක් අපි කට්ටියම ඩෙලික් විභාගය කරනවා කරලා ඉංග්‍රීසි උපගුරුවරු ලෙසට අපට පත්වීම් එහෙමත් ලැබෙනවා . මුලින්ම වෙහෙරයායේ කණිස්ඨයට පත්වීම ලැබුණත් මාසකිහිපයක් ගියතැන තාත්තා මට ගම ලඟ ඉස්කෝලෙකට මාරුවක් අරන්දෙනවා. ඒ අපේ ගෙවල් වල සිට බණ්ඩාරවෙලපැත්තට නෙවෙයි අනික්පැත්තට පයින් ගියාම හම්බවෙන ඉස්කෝලේකට . ඒ කියන්නේ හාලිඇල අධ්‍යාපන කොට්ඨාශයේ කෙළවරේම තියෙන බ/මහතැන්න ප්‍රාථමික විද්‍යාලයට..  එකදවසක් මම මහතැන්නට වැඩට යන අපේ ගමේ තවත්ටීච කෙනෙක් එක්ක තේ වත්ත පාරේ පයින් යන ගමන්.. කළු හීන්දෑරි ගෑණු කෙනෙක් දළුකඩන කම්කරැ කණ්ඩායමේ ගැහැණු කෙනෙක් අපි දිහා හොඳට බලන් ඉන්නවා.. ඒ කවුද දන්නවද? එදා ඉස්කෝලේ ගිය මුල්මදවසේ නම මතක්වුණ ටිකිරිලතා .. අපි කැම්පස් යන්න ඉද්දි එයා තේවත්තේ දළු නෙලන්නියක් වෙලා .. මට 1976 මතක්වුණා.. කාලය මැවු වෙනසක අරුමේ

Sunday, 12 April 2020

කෙළපාර, පඩික්කම



ක්‍රෑෂ්  තුෂ්.. මම බස් එකට නගින්න ඉද්දී අහල පහලින් මෙවැනි සද්දයක් ඇහෙනවා .. මම යන පාරේ බස් එකකට නඟින්න ඉන්න මාමා කෙනෙක් මට පොඩ්ඩක් එහා ඉඳන් කාරලා කෙළ පාරක් ගහනවා .. ඒ සද්දේ තමයි මට ඒ ඇහිලා තියෙන්නේ.. හඬ ආදෙස බැලූ මට ඇත්තටම ආවේ පිළිකුලක් . ඇයි වදේ තමන් ඉන්න තැනම බිමට කෙළ ගහනවා... අහළ පහළ ඉන්න අය ගැනත් වගක් වත් නෑ .

මේ මම කියන්නේ අපේ තරුණ කාලේ අපොස උසස්පෙළපංති වල ඉද්දි වගේ නිරීක්ෂණය කරපු දෙයක් .. සමහරවිට අපේ රටේ දැන් එහෙම නැතුව  ඇති ඒ කාලේ නම් තැන තැන කෙළ ගහන අය හරියට හිටියා බලන් ඉන්න අයට පිළිකුල් වුණාට මේ වැඩේ කරන අය නම් ඔය කෙළ ගහන එක කරන්නේ නිකං  පුරුද්දකට වගේ.. මම හිතන හැටියට ලංකාවේ ඔහේ තැන තැන කෙළ ගහන වැඩේ වැඩියෙම කරන්නේ මැදි හෝ මහළු වයසේ ඉන්න පිරිමි අය . අනික් අය මේ වැඩේ කරනවා හරි අඩුයි ..
තැන තැන කෙළ ගැසීම කෙළ හා බිඳිති මඟින් ඉතා සීග්‍රයෙන් පැතිරී යා හැකි කොරෝනා වෛරසය ලෝකෙ පුරා පැතිරී යන මේ මොහොතේ කතා කල යුතුම මාතෘකාවක්..
කොරෝනා වෛරසය  ලී , ගල් , ගඩොල් වැනි තද මතුපිටවල් වල දින ගණනාවක්ම ජීවත්විය හැකි වෛරසයක් කියලයි කියන්නේ .. එය කෙනෙකුගේ කිවිසුමකින් වගේ වාතයට එකතුවුණාම වාතයේ රැඳෙන්නේ  පැය තුනක් හතරක් වැනි අඩු කාලයක් .. ඉතිං මුවවැස්ම පළඳින එක , එකෙනෙකාගෙන් මීටර් එකමහාරකට වඩා දුරින් ඉඳීම වගේම තවත් වැදගත් එකක් තමයි   තැන තැන කෙළ ගැසීමෙන් වැලකීම

ඉස්සර කාලේ ගමේ ගෙවල්වල පිත්තල පඩික්කමක් දෙකක් තියෙනවා බුලත් විටක් කාලා හරි නිකම්ම හරි කෙළ ගහන්න ඕනා නම් ..
අපේ ගෙදර තාත්තා ගේ ඇඳ ලඟත් , පංසලෙ ලොකුහාමුදුරුවන්ගේ ආවාස ගේ ඇඳ ලඟත් පඩික්කමක් තියෙනවා කුඩා කාලේ අපි දැකලා තියෙනවා ..

සතියකට වතාවක් ගෙදර ලමයින්ට පැවරෙන වැඩ අතර ඔය පඩික්කම , අනෙකුත් පිත්තල මල්පෝච්චිආදිය ඇඹුල් දින්න කොළ වලින් අතුල්ලා හොඳට දිලිසෙන්න හෝදලා මැදීමත් ත් ප්‍රධානයි.  කුඩා අපට ඒ පැවරෙණ රාජකාරී වලින් එකක් තමයි පඩික්කම පිරිසිදු කිරීම
.. අනික් වැඩ තමයි ලාම්පුවල චිමිනියේ දැලිහෝදල ලාම්පුතෙල් පුරවල හවස් වෙද්දි ගෙදර ලාම්පු ටික පත්තු කරන එක  සහ හවසට පහන් අ පත්තු කරලා බුදුන් වඳින එක වගේ වැඩ.. ගොඩක් වෙලාවට ඔය පඩික්කම් මල්පෝච්චි මඳින වැඩේ කරන්නේ අපේ අක්ක , පහන තියන රාජකාරිය පැවරිල තිබුණේ මට .. ලාම්පු චිමිනි සුද්ද කරලා පත්තු කරන වැඩේ අපි තුන්දෙනෙක් අතර රොස්ටර් එකක් (දිනපතා සේවකයා මාරුවෙන විදිහට ) දාලා කරවපු වැඩක්

Monday, 30 March 2020

ගමේ කොල්ලු තලාවී .... පැසී ගොයම් වගාවේ


පෙබරවාරී මාර්තු කියන්නේ අපි ගමේ හිටපු කාලේ කොල්ලු වාරයයි.. ඌව පළාතට කොල්ලු වැහි හෙවත් මෝසම් වැසි  වැටෙන මේ කාලයේ අපේ අම්මා අපිත් ඵෙක්ක එකතුවෙලා උඩහාවත්තේ කොල්ලු ඉහිනවා.. කිරිඔරුවේ ආතාත් (අම්මගේ අම්මත් ) මේ කාලෙම කොල්ලු ටිකක් වගා කරනවා මට මතකයි..

කොල්ලු ඉහීමේ ක්‍රියාවලිය ඉතාම සරළ වැඩකි.. තරමක් වල් වැවී ඇති පොළවේ කොල්ලු ඇට ටික ඔහේ විසිකරලා ඊට පස්සේ උදළු කෙටියක් ගෙන ඒ වල් උදළු ගෑම මඟින් බීජ කොල්ලු පස්වලට යටවෙන්නට සලස්වයි.. ලොකුවට බිම් සෑකසීමක් , පොහොර දැමීමක් එහෙම සිදුවෙන්නේම නැතිගාණය.

පෙබරවාරී ,මාර්තු කාලයේ අපේ ගෙවල් තියෙන මාරබැද්දෙත් ආතලා ගෙවල් තියෙන කිරිඔරුවෙත් බොහෝ ගෙවල් අසල කොල්ලු හුණ්ඩුවක් දෙකක් සමහරවිට සේරුවක් ඉහීම සාමාන්‍ය දෙයක්.

බෝංචි , මෑකරල් , මුංඇට, කව්පි වාගේම රනිල කුළයේ භෝගයක් වන කොල්ලු පැල කොල්ලු වැහි එක වැටෙනකොට නිල්පාටින් පීදිගෙන එද්දි සිතට ගෙන එන්නේ නැවුම් බලාපොරොත්තුවකි .. ඒ සිංහල අවුරුද්ද කිට්ටුවෙනකොට අපට කොල්ලු තලන්නට අවස්ථාවක් ලැබෙන බව දැනී එනසතුටත් මුසුවූ බලාපොරොත්තු සහගත බවකි.


බෝංචි , මෑකරල් , මුංඇට, කව්පි වාගේම රනිල කුළයේ භෝගයක් වන කොල්ලු පැල කොල්ලු වැහි එක වැටෙනකොට නිල්පාටින් පීදිගෙන එද්දි සිතට ගෙන එන්නේ නැවුම් බලාපොරොත්තුවකි .. ඒ සිංහල අවුරුද්ද කිට්ටුවෙනකොට අපට කොල්ලු තලන්නට අවස්ථාවක් ලැබෙන බව දැනී එනසතුටත් මුසුවූ බලාපොරොත්තු සහගත බවකි.

කොල්ලු වැහි දෙක තුනකින් පස්සේ නැවතත් එන්නේ බැදරැස් කන්න පායන කාලයක් වුණත් කොල්ලු හැදෙන්නට  එය භාදාවක්  නොවේ.

අප්‍රේල් මාසේ රටට  ඉර මුදුන්වීමත් සමඟ කොල්ලු කරල් හැදී අවසන් ව අස්වනු නෙලන කාලය ලංවෙයි..
 " වරෙල්ලා අද කොල්ලු ගලවන්න "කියා මායි අක්කයි නංගියි එහෙම එකතු කරගන්නා අම්මා කොල්ලු ටික ගලවා මිදුලේ එකතැනක ගොඩගස්වන්නීය.  එතන කොල්ලු ගොඩ වේලිද්දි හොන්දටම වේලුනු නැති එහෙත් මෝරපු කොල්ලු කරල් වල ඇට ගලවා කෑමට ගන්න එක කුඩා ළමුන්  වූ අප හැමෝටම ආශ්වාදයක් ගෙන දෙන්නක් විය.
මිදුලේ එක තැනක ගොමගා කුඩා කමතක් ලෙස හදාගන්නේ අම්ම සහ අක්කා එකතුවයි..


අනතුරුව කොල්ලු ගොඩ ඒ කමත හරියට දමන්නේ  කොල්ලු තැලීමට පෙර සූදානමක් ලෙසයි.. අනතුරුව වත්තෙන් කපාගත් පේර, ට්‍රපන්ටයින් පොළු එහෙම අරගෙන අප සූදානම් වන්නේ කොල්ලු තැලීමටයි .තුන්දෙනා තුන්පත්තෙන් හිඳ දෑතබදා කොල්ලු ගස් ගොඩට පහරදීමත් සමඟ  කරල් පුපුරා කොල්ලු ඇට බිමට වැටෙයි . පසුව භාගෙට තැලූ කොල්ලු ගොඩ ඉවත්කර  අඩියට බේරී ඇති ඇට ඉවත්කර ගැනීම සිදුවේ.. පසුව මේ කොල්ලු ඇට අව්වේ වේලා අවුරුදු මේසේ කොල්ලු ව්‍යංජනයක් හදන්නට ගන්නා තෙක්  අම්මාගේ ගබඩා කාමරයේ කොල්ලු මුට්ටියක් තැන්පත්වෙයි ..

ඒඅ අවුරුද්දක කොල්ලු වාරයේ අපේ ආතා  කොල්ලු තැලූ කතාව කිව්වේ නැත්නම් කොල්ලුවංශකතාවට ලොකු අඩුවක් සේ ඇයි සිතුණි.ඒ නිසා ආතා කොල්ලු තැලූ හැටි මතක්කරන්නට සිතුවෙමි.. අපේ ගෙදරවගේම කිරිඔරුවේ මැදගෙදර මිදුලේද කොල්ලු කමතක් සූදානම් වී තිබුණා මතකය..

ඒ කාලේ අපේ අම්මත්  කිරිඔරුවේ ආතත් වැඩකරන්නේ තරඟයකට වාගේ යැයි හැඟීමක් අපහට කාවැදී තිබුණේ දෙන්නට දෙන්නා එච්චරම හිතවත් නොවූ අවස්ථාද   අප දැක තිබූ නිසයි.. ඔන්න ඔය කියන දවසේ ආතා  කොල්ලු තලන්නට සූදානම් වී සිටියේ හොඳ වර්ගයේ පොළු රාජයෙක් ද සූදානම් කරගෙනයි .. ආතා දෑතබදා කොල්ලු ගොඩට පහරදෙද්දී වරින්වර නැඟී ආ ඥාව්  ඥාව් හඬ ඇයට ඇසී තිබුණේ නැත .. ආතලා ගෙදර සිටි කලුයි සුදුයි පුල්ලි තිබ්බ පූස් පැටියා ආතා අතින්  පොළු පහර කා මියගොස් සිටියේ ඉතා අවාසනාවන්ත ලෙසයි .." බලපල්ලකෝ තියෙන දුෂ්ඨකමක මහත අර පූස්පැටියා මරාගත්තනේ.. "කියා කිව්වේ අපේ අම්මා නම් නෙවෙයි මං හිතන්නේ

Friday, 14 February 2020

ඔවා දෙනු පරහට


මගේ සිත තැන්පත්ය, තැන්පත්ය තැන්පත්ය
දයා කරුණා සිතින් පිරුණු සිත් පිරිසිදුය
පරිසරය මා රකී රකිමි මා පරිසරය 
පාසලේ මව් දකින හොඳම දරුවා මමය

ඒ එක්දාස් නමසිය අසූ ගණන් වල මුල් හරියේ . හැත්තෑ හතේ රාජ්‍ය පාක්ෂික මිනිසුන් විසින් රට පුරා මැරකම් හොරකම් ස්ත්‍රී දූෂණා ආදිය සිදුකර අවසන නැවත රටේ ධාර්මික බව , නීතිගරුක බව , විනය සංහිදියාව ඇතිකරන්න උත්සාහා කරන කාලයක්. මේ කාලේ රාජ්‍ය පක්ෂයේ දේශපාලකයෝ , අළුත් අළුත් පූජක වරු , රාජ්‍ය නොවන සංවිධාන ආදී විවිධ කණ්ඩායම්   තරුණ තරුණියන්, පාසැල් ශිෂ්‍යයින් අවිහිංසාවට යොමුකරවන්න  උනන්දුවෙමිනුයි හිටියේ . උදාහරණයක් විදිහට  පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේ බණ්ඩාරවෙල නගරසභා ශාලාවේ අතුරුසිදුරු නැතිව  පිරුණු උපාසක උපාසිකාවන්ට බණකිව්වේ මේ දවස්වලම තමයි

මේ කාලේ මමත් අපේ යාළුවෝ කල්ලියත් හිටියේ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ පොඩිපංති වල . මේ වෙනකොට අපේ තාත්තලා , බාප්පලා ඇතුළු එකල විරුද්ධ පාක්ශිකයින්ගෙන් හොඳටම පළිගන්න, ඔවුන් ඈත ප්‍රදේශ වලට මාරුකරන්න එහෙම පියවර ගත් පාලක පක්ෂයේ නායකයා අතිගරු ජනාධිපති  ජේ ආර් ජයවර්ධන උතුමාණෝ ධර්මිෂ්ඨ සමාජයක් බිහිකරන්න වෙහෙසෙනවා..
එතුමාගේ අමාත්‍ය මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යාපන ඇමතිතුමා විදිහට හිටියේ ගරු සමරවීර වීරවන්නි මැතිතුමා. එතුමා ඒ දවස්වල අපේ ඉස්කෝලෙට නිතර ආව ගිය කෙනෙක්

මම  මේ කාලේ කිරිඔරුවේ එළවළු කොටුවල හදන එළවළු එහෙම  විකුණන්නත් ඒවා විකුණලා අම්මා කියන බඩු ගෙනෙන්නත්  ඉරිදට  පොළේ එහෙම යන කොළුගැටයෙක් .

එහෙම  පොලේ යන සමහරක් දවස්වලට  අම්මා මට කියනවා

" චූටිපුතා එනකොට මාර්කට් එකේ මැද තියෙන මුස්ලිම් මස් කඩෙන් මස් රාත්තලක් අරන් වරෙන් .. හැබැයි මතක ඇතිව   තනිමස්  ඉල්ලන්න ඕනේ නැත්නම්  උන් කටු තියෙන මස් දානවා" කියලා

අපේ ගෙදර හරක්මස් කන්නේ අක්කයි ,මායි තාත්තයි විතරයි . අය්යටයි අනික් නංගිලා දෙන්නටයි කරප්පන් දානවා මස් කෑවම. අම්මා මස් කන්නෙත් නෑ ඒ වුණාට අපිට හරි රසට මස් උයලා දෙනවා. මම ඒ කාලෙත් මිල මුදලට , සකසුරුවමට කැමතියි වගේම සල්ලි හොයාගන්න එක එක ක්‍රම පාවිච්චි කරනවා.

ඒ වගේ එක උපක්‍රමයක් තමයි අම්මාට තනි මස් රාත්තලක් ගේනවා කියලා ගිහින් තම්බි මුදලාලිගෙන් කටුමස් රාත්තලක් අරන් එන එක . ඉතිරිවෙන රුපියල් කිහිපය මගේ  මුදල් එකතුවට යනවා හැම සතිඅන්තයේම වගේ

ඔයකාලේ සමරවීර වීරවන්නි මැතිතුමා ඊ ඩබ්ලිව් අධිකාරම් නම් මහත්මයෙකුත් එක්කරගෙන අපේ ඉස්කෝලෙට එනවා . ඇවිල්ලා ඔය ඉහතින් කියපු සිංදුවත් අපිට පුරුදු කරනවා .ඒ ඉස්කෝලේ ස්වෙච්චාවෙන් එයාලා ඇති කරපු අමධ්‍යප සංවිධානයත් , බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ නිර්මාංශ සංගමයටත් සාමාජිකයින් ලෙස අපේ පංතිවල හිටපු ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳවා ගැනීමෙන් අනතුරුව ..
මමත් හා හා පුරා කියලා  ඉස්කෝලේ  නිර්මාංශ සංගමයට බැඳුනා .. අමධ්‍යප සංවිධානයටත් එකතු වුණා . සතියේ දවස්වල " මගේ සිත තැන්පත්ය , තැන්පත්ය කිය කියා වීරවන්නි මහත්තයාලා එක්ක  කිය කියා ඉඳලා සති අන්තෙට  අම්මා උයලා දෙන හරක්මස් එහෙම රස  විඳිනවා නිර්මාංශාහාර සංගමයේ සාඩම්බර සාමාජිකයෙක් විදිහට .

මට මේ වැඩේ වැරැද්දක් කියලා හිතුණේ නෑ.  ඇයි ඉතිං...... අපිට ඒ දවස් වල ආදර්ශමත් චරිත ලෙස පෙනුණු වීරවන්නි මහත්තයයි එයාලගේ  නායකතුමයි දෙන්නත්  ධර්මිෂ්ඨ සමාජයක් බිහිකරමු කියලා  කියමින්  කරේ ඊට ටිකක් පරස්පරතාවයක් දක්වපු වැඩමනේ.

හොඳවෙලාවට මම අමධ්‍යප සංවිධානයේ විධිවිධානවලට නම් තවමත් ගරුකරනවා.. ඒ නිසාමදෝ කොල්ලෝ ටික එක පැත්තකට වෙලා බි බී ඉන්න .. කෙල්ලෝ ටික අනික් පැත්තට වෙලා බීල බීලා වාතවෙන තමන්ගේ කුඩා කල පාසැල් මිතුරන් සහ ඔවුන්ගේ දුවා දරුවන් ගැන දුක්වෙන පංති සගයන්ගේ "ගෙට්ටු ගෙදර්" සාද වලට එන්නත් පොඩි මැළිකමක් තියෙනවා

Saturday, 8 February 2020

පුටු කතාවක්



මම මහාවිද්‍යාලයට ආවේ හයේ පංතියේදී වුණාට පල්ලැහැ ඉස්කෝලේ ( ධර්මාශෝකේ) ඉඳලා උඩහ ඉස්කොලේට එද්දි මම ආවේ අනික් අයට පස්සේ. සාලියලා , ලක්සිරිලා , ඉන්දික කටුගහලා ,අපේ රුවන් ආටිගලලා වගේ කට්ටිය උඩහ ඉස්කෝලේට ඇතුළත් වෙන විභාගේ ලියලා මහා විද්‍යාලෙට ගියා . මම විතරයි පහේ ශිෂ්‍යත්වේ පාස් අයගෙන් ජනවාරියෙම උඩහට නොයා ශිෂ්‍යත්වයේ ප්‍රථිපල  වලට ඉස්කෝලේ ලැබෙනකං ඉඳලා උඩහට ගියේ.

ඔන්න මාර්තු අප්‍රේල් වගේ  කාලේක අම්මා මාවත් එක්කන් උඩහ ඉස්කෝලෙට  ගියා අර තිලකසිතේ තිලකසිරි අය්යා කිව්වා වගේ ඒ කාලේ අපි පුටුවක් ගෙදරින් ගේන්න ඕනේ. අපේ තාත්තා ඒ කාලේ තාවකාලිකව වැඩ නැතිව හිටපු ලිපිකරුවෙක්  ( ඊට කලින් බණ්ඩාරවෙල අධ්‍යාපන කාර්යාලයේ හිටියේ) කොහොමහරි ඉස්කෝලෙට යන දවසේ පුටුවක් ගෙනියන්න ඕනෑ නෑ කියපු තාත්තා එයාගේ ඒ කාලේ හිතවතෙක් වෙච්ච එතකොට  බණ්ඩාරවෙල මමවි හිටපු  නියෝජ්‍ය විදුහල්පතිතුමාට දෙන්න කියලා තුණ්ඩු කෑල්ලක් දුන්නා ( මට පුටුවක්  ලබාදෙන්න ක්‍රමයක් කියලා වෙන්න ඕනේ ඒකෙ තිබුණේ)
කොහොමහරි නි. විදුහල්පතිතුමා " මේ කවුද මෙයා මම අඳුරන්නේ  නෑ කියලා තුණ්ඩු කෑල්ල විසිකරා"
දැන් මට පුටුවක් නෑ, හා පුරා කියලා ඉස්කෝලෙ ගිය දවසෙම  හිටගෙන  ඉන්න වෙන හැඩක් තියෙන්නේ..

ඔන්න  මම නිල්පාට බෑග් එකත් පිටේ එල්ලගෙන අම්මත් එක්ක අර ලෝහ වැඩ කාමරේට පහලින් තිබ්බ බිල්ඩිම අයිනෙන් 6  බී එක හොයාගෙන   යනවා කොට බිත්ති උඩින් පල්ලැහැ ඉඳන් උඩට ආපු අපේ ගැංසිය කෑ ගහනවා .

" මචං කිටී , මචං කිටී අපේ පංතියට වරෙන් අපේ පංතිය වරෙන්" කිය කියා

අන්තිමට  &*&** ටීචර් ( අපේ තාත්තගේ යාළුවා  &*&** අංකල් ගේ නෝනා , අපේ  &*&** ගේ ම්මා) භාරව හිටපු පංතිය මම ගියා .

මට පුටුවක් නැතිබව දැක්ක සාලිය ලා ඇතුළු ගැංසියේ කොල්ලෝ මට අයිනකින් වාඩි වෙන්න ඉඩ දුන්නා මුල්ම  දවසේ. දෙවැනි දවසේ අම්මා ගෙදර කෑම මේසේ තිබ්බ ලී පුටුවක්  ගෙනියන්න දුන්නා .. ඒක ඉස්කෝලේ තිබ්බ අනික් පුටු එක්ක ගත්තම ටිකක් වෙනස්. ඒත් ඒක ඉස්කෝලට ගිහින් දාලා සාලිය, ලක්සිරි , කට්ටා , මාබොට්ටා ඇතුළු අපේ කට්ටියගේ සහයෙන් හොඳ පුටුවක්  සොයාගත්තා.
කොහොම හරි ගෙදරින් ගෙනා ලී පුටු කබල පැත්තකට දාලා ඊට වඩා ලස්සන පුටුවක තමයි මම ඊට පස්සේ  දිගටම වාඩි වුණේ

Saturday, 1 February 2020

උදව් කරන්න ප්ලීස්!!

මගේ බ්ලොග් එකේ අවුලක් !! මට ඔබේ කොමෙන්ටු වලට රිප්ලයි කරන්න බෑ ගූග්ල් අකවුන්ට් එකෙන් . අනික් අයගේ ඒවට කමෙන්ට් කලත් යන්නේ ඇනොනිමස් (කරනවටත් නෙවෙයි.. ඊයේ තිලකසිතට කොමෙන්ටුවක් දැම්මා එතකොටයි අහුවුණේ)
"බ්ලොගර් සෙටින්ග්ස්" අවුලක් වගේ

Friday, 31 January 2020

පල්ලැහැ වත්තේ අල කොටුව


පසුගිය කාලේ බ්ලොග් ලිවිල්ලත් යලට මහට වගේ කෙරෙමින් තිබිලා හෙමින් හෙමින් අඩුවීගෙන ගියා . රැකියාවේ කාර්යබහුලත්වයත් පෞද්ගලික වගේම පොදු කටයුතුවෙනුවෙන් යන කාලය වැඩිවීමත් අස්සේ බ්ලොග් පැත්තේ එන්න වෙලාවක් එන්නේ නෑ.
ඒත් තිලකසිතේ තිලකේ අය්යා ආපහු තමන්ගේ බ්ලොග් එක යාවත්කාලීන කරද්දි පොඩි පොඩි උත්තේජන ඇතිවුණා.ඔහුගේ නවතම ලියවිල්ල "අර්තාපල් මුත්තාපල්" නිසා අපේ අර්තාපල් කථා ටික පෙළගස්වන්නේ නැතිව  ඉන්න බෑ කියලා හිතුනා . එහෙම නම් අර්තාපල්  වගාව සහ අපේ බාල කාලේ ගැන කතා කරන්න පටන් ගනිමු

පල්ලැහැ වත්තේ අල කොටුව

නමසිය අසූ ගණන් වල මුල් හරියේ අපේ තාත්තාගේ රස්සාව හදිස්සියේ නැතිවෙනවා. ඒ ආසන්න කාලයකදී අක්කා මම සහ ලොකු නංගී එකතු කරගෙන (අපේ අය්යා මේකාලේ සාමාන්‍ය පෙළ කරන්න ලඟයි ඒ නිසාදෝ කොහෙද වගාවැඩවලට එයා සම්බන්ද නොවුණ කාලයක් )අම්මාඅපේ ගෙදරවත්තේ පොඩියට වගාවක් පටන් ගන්නවා . ගෙට උඩහ පැත්තේ දැන් තේ හදලා තියන කොටසේ ඒ කාලේ තිබ්බේ උක්වගාවක් .. උක්ගස් ගලවලා බිම්සකස් කරේ තාත්තා , අම්මා සහ අපි .. ඊට පස්සේ හා හාපුරා කියලා බෝංචි වගාවක් දැම්මා ඒ කෑල්ලේ .. වගාව කරගෙන යද්දි වැස්ස නැති කාලයක් ආවා මට මතකයි .. මීටර් තුන්සීයක් විතර දුරක තිබුණු ගල උඩ ලිඳෙන් (උඩහා ලිඳ ) තමයි අපි වතුර ගේන්නේ    අක්කයි මමයි  ලොකු නංගියි තුන්දෙනා කළගෙඩි වලින් වතුර ගේනවා  තාත්තයි අම්මයි මල්බාල්දි වලට ඒ වතුර පුරවලා වතුර දානවා. මේ විදිහට හැමදාම හවසට වතුර දානවා.  ඔන්න ඔහොමයි  අපේ මුල්ම වගාව 1980-81 කාලයේ සිද්ධ වෙන්නේ

මේ අතරේ අපේ අම්මා සහ තාත්තාට සිතක් පහළ වෙනවා වගාව තවත් ව්‍යාප්ත කරන්න. ඒත් අපේ ගෙදර වත්තේ එච්චර ඉඩක් තිබ්බේ නෑ තවමත් ඉතිරි වීතිබුණු උක්වගාව නිසා. ඊට පස්සේ තමයි එයාලා තීරණය කරන්නේ ඒ වෙනකොට කැලේට ඇරලා තිබ්බ පල්ලැහැවත්ත් එළිපෙහෙළි කරන්න.
අම්මා අක්කා , මම සහ ලොකු නංගී ඇතුළු බැටෑලියන් එකත් අරගෙන  වැඩේට බැස්සා . උසට උසේ වැවී තිබුණු කැලෑ ගස් එක්ක අපිටික ඔට්ටු වෙනවා තරමක් උස පැල බෝංචි කෝටුවලට එකතු කරා .. එරමුදු , දඹ ගස්, අළු බෝම්බු ගස් දිය  සීරාවට වැදගත්  නිසා ඒවාට අත තිබ්බේ නෑ. දින කිහිපයක් කට්ටිය වැඩ කරද්දි  වත්ත සම්පූර්ණයෙන් එළිපෙහෙලි වුණා. කාලයක් කැලේ වෙන්න ඇරලා තිබ්බ නිසා පස කළුම කළුයි, සරුසාරයි.

මේ වෙනකොට අපට  ගමේ තවත් හොඳට  එළවලු වගා කරන කෙනෙක් වූ කිරිඔරුවේ මහවත්තේ නැන්දා  එක්ක එහෙමත් ගණුදෙනු තියෙනවා

අප බිම් සකස් කරාට පස්සේ පල්ලැහැ වත්තේ හදන්න සුදු අර්තාපල් අල  ගෙඩි සීයක් දුන්නේ මේ මහවත්තේ නැන්දා තමයි . එයා අපට ගෝවා පැළ සීයකුත් දුන්නා ඒ කෑල්ලේ හදන්න . ඊට අමතරව අපි තක්කාලි සහ බෝංචි ටිකකුත් පල්ලැහැ වත්තේ හිටෙව්වා මතකයි හා හා පුරා කියලා කරපු වගාවට..

මහවත්තේ නැන්දා දුන්න අල ගෙඩි  අල පැල තුන්සීයක් පමණ ගන්නා තත්ත්වයට පත්කරනවා මට මතකයි අපේ අම්මා විසින් . ඒ බීජ අල ගෙඩි මොටෙය්යන් එකක් හෝ දෙකක් ඇතුළත් වෙන ආකාරයෙන් පිහියකින්පෙති ගසා කපා ගනිමින් . එසේ කපපු පෙති වලට අළු හෝ දියකරගත් ඇන්ට්‍රකෝල් ගාන්නත් ඕනේ . එහෙම කරලා බීජ අල කැලී තුන්සීයක් පමණ ඇඳක් යට වේලෙන්න තියලා තිබ්බා.

අල හදන්න බිම් සකස් කරද්දි අළු හුණු මිටි කිහිපයකුත් පොළවට ඉසිනවා .. මුල්වේයෝ ගහන එක ඒකෙන් අඩුවෙනවා කියලා තමයි ඒ කාලේ විශ්වාස කලේ අලුහුණු වලින්..
ඉරිගසා සකස් කර කාණු වල පේළියට තබා කැපූ බීජ අල පෙති තියලා පස්වලින් වහනවා .. ඊට පස්සේ දිනපතා වතුර දානවා.. උඩහ අපේ ගෙදර වත්තේ වගේ නෙවෙයි මේ වත්තේ වතුර ගන්න කුඩා ලිඳක් තිබුණා අපි කැලේ එළිකරන්නත් කලින්ම ... තව අම්මයි ,මමයි  අක්කයි එකතුවෙලා වත්තේ තිබූ දඹ ගහක් යට අළුති ලිඳක් හෑරුවා . ඒකෙත් වතුර පිරුණා .. මෙ ලිංවලින් වතුර ගෙනැත් තමයි  අපේ අලවගාවට වතුර දැම්මේ.

අල හිටවපු දවසේ රෑම පැල් රකින්න වෙන බව අම්මා කිව්වා මතකයි .ඒ අසල ඇති කැලයෙත් ඊට ඉහළින් ඇති තේවත්තෙත් සිටින ඌරන් ඇවිත් අල ගලවා දමනු ඇතැයි යන භිය නිසා.. කොහොම හරි අල හිටවපු දවසේම කටුමැටි ගහලා  මානං වහලා පොඩි පැල් කොටයකුත් හැදුවා ...ඊට පස්සේ පැලේ නිදා ගන්න ගෙදර තිබුණු මුත්තාගේ ලණු ඇඳ ගිහින් තිබ්බා ..

පල්ලැහැ වත්තේ පැල් රැකීම 

කිරිඔරුවේ ගම මැද වගේ නෙවෙයි අපේ ගෙවල් තිබ්බ මාරබැද්දේ කඳු මුදුනේ ඒ කාලේ කව් රුවත් එළවළු හැදුවේ නෑ .. අපි පටන් ගත්තට පස්සේ වත්තක් දෙකක් හැදුනත් මේ කියන කාලේ අහල පහළ කොහේවත් එළවළු වගාවක් කෙරුණේ නෑ.
ඔන්න අපි පල්ලැහැවත්තේ ගොඩ අල හිටවලා (මෙහෙම වත්තක හිටවන අර්තාපල් වලට ඒ කාලේ කියන්නේ ගොඩ අල කියලා .. මේවාගෙන් තමයි ඊලඟ කන්නයේ කුඹුරේ හිටවන්න බීජ අල හදාගන්නේ කුඹුරේ හිටවන අල වලට කියන්නේ මඩ අල , ඒවායින් ආයිත් බීජ අල ගන්න බෑ ) පැල් රකින්න යන්න ලෑස්තිය.

මුල්ම දවසේ ගියේ තාත්තයි මමයි  . අම්මා අපට ගෙනියන්න තේ, කොළ සීනී , බිස්කට් එහෙම දාපු මල්ලක් හදලා දුන්නා.
ගෙදර ඉඳලා පල්ලහැවත්තට වැඩිදුරක් නෑ .. එහා ගෙදරයි .. ඊටත් එහායින් තියෙන රාජලා ගෙදරයි පහු කරාම එන්නේ අපේ පල්ලැහැවත්ත .. හැබැයි පල්ලැහැ වත්ත අනෙක් පැත්තෙන් මායිම් වෙන්නේ ජලරක්ෂිත කැලේකට .. ඒ කැලේ අවුරුදු තිස්ගණනකට පස්සෙත් තාමත් ඉතුරුවෙලා තියෙනවා..

අපි පැලේ යනකොට වෙලාව රෑ අටට විතර ඇති ..තාත්තයි මායි පැළට ගිහිල්ලා එළියේ ලාම්පුවක් එල්ලුවා ඌරො භයවෙන්න .. තවත් ලාම්පුවක් එල්ලුවා අල හදපු කෑල්ල මැද්දේ.. ඊට පස්සේ පැලේ එළියේ තිබුණ කෑල්ලේ හොඳ ගිණි මැලයක් ගැහැව්වා.. දැන් තාත්තා අර ලණු ඇඳේ දිගාවෙලා ඉන්නවා .. මම එළියේ ගිනි මැලයට දර දදා ඉන්නවා ඔය අතරේ මට සිංදුවක් දෙකක් කිව්වා නම්  හොඳයි  කියලා හිතුණා...මම පැල අයිනේ තිබුණ පරණ  මල් බාල්දි කෑල්ලක් හොයා ගත්තා පොඩි කෝටු කෑලි දෙකක් දෑතට  අරන් වැඩේ පටන් ගත්තා .. මුලින්ම .. ගෝවේ .... ගෝවේ ගෑණු පරාදයි... කියන එක තමයි කිව්වේ .. මල් බාල්දියට තඩි බබා.  ඊට අමතරව ඒ කාලේ මම කියන සිංදු තමයි "බැරිබර  කරේ තියන්", "කවාලා විලඳ ජාතී..."  වගේ සිංදු ... 

මගේ සංගීතය  යන අතරේ පැල ඇතුලේ ඉන්නා තාත්තා සැරින් සැරේ... "හුයි.. අ..හුයි"  කියමින් ඌරෝ එලවනවා...

මෙහෙම ටික වෙලාවක් යද්දී පැලට උඩ පැත්තෙන් සද්දයක් එනවා.. ඒ හරියේ තියෙන අසල්වැසි  ගෙවල්වල මිනිස්සු යන පාර හරියෙන් ... "මාමා .. මාමා දොරේ මාමා".... මමත් සංගීත සාජ්ජය නවත්වලා අහගෙන ඉන්නවා.. තාත්තා නින්දත් නොනින්දත් අතරද කොහෙද ..දැන් ඒ කටහඬ මට කතා කරනවා "චූටි මල්ලී ...චූටි මල්ලී" ... මම පැල ඇතුළට  ගිහින්තාත්තව කූද්දනවා.. "තාත්තා... තාත්තා ....කවුද ගෑණුකෙනෙක් කතාකරනවා උඩ පැත්තෙන් මට හිතෙන්නේ උඩහ  ගෙදර මල්ලිකා අක්කා"
... තාත්තත් නැඟිටලා "කවුද? කවුද? "කියමින් හඬ එන පැත්තට ගියා  අපි දෙන්නම .. තාත්තගේ අතේ ටෝච් එක. "

"ආ මේ මල්ලිකා දුවනේ.. ?"
කතා කල කෙනා හඳුනා ගත් තාත්තා කියනවා.. "

"මාමලා පැල් රකින්න ඇවිත් ඉන්නවා ඇහිලා තේ එකක් හදාගෙන ආවා මාමා "

මල්ලිකා අක්කා අපට තේ  අරන් ඇවිත් ....