Sunday, 7 November 2021

Disce Aut Discede (උගනිව් නැතිනම් පිටවව්)- බණ්ඩාරවෙලට පෑයූ ගුරුතරුව ආබෲ සර් ගේ කතාව

 


අපි ඒ දවස්වල බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ අටේ , නමයේ වගේ පංතිවල ඉන්න කාලේ .. ඔන්න පාසැලේ විදුහල් පති තුමා කළු උස මහත හයේ හතරේ මනුස්සයෙක් අපේ පංතිවලට එක්කන් ආවා .. එයා තමයි අපට ඉංග්‍රීසි උගන්වන්න අළුතින් ඉස්කෝලේට ආපු ගුරුතුමා . නිල්පාට ඩෙනිම් කළිසමයි , කළිසමට උඩින් වැටෙන්න දාපු නිල්පාට කොටු කොටු කමිසයයි ඇඳලා මතක හැටියට පටි සෙරෙප්පු දෙකක් දාගෙන ආපු අළුත් ඉංග්‍රීසි ගුරුතුමා පාසැලට ආවේ ගියේ නිල්පාට බජාජ් ස්කූටරයකින්.

ඒ කාලේ අපේ ඉස්කෝලේ හිටපු විදුහල්පතිතුමා , එම් පී අල්විස් මහත්තයා   පාසැලේ විනය අකුරට ක්‍රියාත්මක කල  දැඩි පාළනයක් තිබ්බ කෙනෙක් . හැබැයි ඉස්කෝලේ හොඳටම හදලා ගත්තු කෙනෙක් . එයා තමයි අපේ ඉංග්‍රීසි උගන්වන්න  රජයේ වැටුපක් නොළබා වැඩකරපු "ආබෲ සර් "සහ "බ්‍රයන් සර්" වගේ අය ඉස්කෝලෙට ගෙනාවේ .. එහෙම ගුරුවෘත්තිය කොහෙන්වත් ඉගෙන ගත්තු නැති ඒත් සිසුන් වෙනුවෙන් තමන්ගේ කාලය , ධනය ශ්‍රමය නිර්ලෝභිව යොදවපු  ඒ වගේ ගුරුවරු පාසැලට ගේන්න තරම්  ආන්දෝලනාත්මක තීරණ ගැනිමේ හැකියාවක් ඒ විදුහල් පතිතුමාට තිබුණා.. 
කොහොම හරි ඔන්න ආබෲ සර් සහ බ්‍රයන් සර් කියන දෙන්නා අපේ ඉස්කෝලෙට ආපු කාලේ අල්විස් සර් අමුතු වැඩක් කලා .. එක එක පංති මට්ටම් වල තියෙන ඒ , බී , සී , ඩී , ඊ ආදි කොටස් සියල්ලේම අයගේ ඉංග්‍රීසි ලකුණු  අනුව ඔවුන් එකට දමා කණ්ඩායම් ගතකලා .. ලකුණු පණහක් හෝ ඊට වැඩි ගාණක් ගත්තු අය එකට එකතු කරලා ඒ අයට ඉංග්‍රීසි උගන්වන වැඩේ ආබෲ සර්ට භාර දුන්නා, හතලිහ පණහ අතර අය වැටුණේ බ්‍රයන් සර්ගේ කණ්ඩායමට ,ඊට පහළ ලකුණු ලබපු අය ඒ වෙනකොටත් ඉස්කෝලේ හිටපු ඉංග්‍රීසි ගුරුවරු වූ ගුණතිලක  සර් වගේ අයට භාර දුන්නා .. 
ඉතිං ඔන්න ඔය විදිහට තේරිලා තමයි අපි වැටුණේ ආබෲ සර්ගේ කණ්ඩායමට .. ආබෲ සර් සද්දන්ත මනුස්සයා කළු උස මහත නිකන් අරුන් ඩයස් බණ්ඩාරණායක වගේ පෙණුමක් තිබ්බ කෙනෙක් .. අපි ඒ කාලේ සෑහෙන්න දඟ කරන කොල්ලෝ වුණාට ආබෲ සර්ගේ පංතියේ ඒ සෙල්ලම් දැම්මේ නෑ .. මමත් මට මතකයි ඒ ඉංග්‍රීසි පංතියේ ඉස්සරහම පේළියේ තමයි හිටියේ.. ඔය ඉංග්‍රීසි වලට වැඩි ලකුණු තිබ්බ අයගේ පංති දෙකේ ගුරුවරු සිංහලෙන් කතා කරන්නේ නෑ . අපි සමහර විට සිංහලෙන් උත්තර දුන්නට ආබෲ සර් කතා කරන්නේ ඉංග්‍රීසියෙන් විතරයි .. ටික කාලයක් යද්දි සර් අපිත් එක්ක හොඳට යාළු වුණා . අපි එකම සෙට් එක තමයි අටෙන් නමයට , නමයෙන් දහයට එහෙම යද්දිත් සර්ගේ ක්ලාස් එකේ හිටියේ ( ඒ කියන්නේ අපි දිගටම ලකුණු පණහට වැඩිය ගන්න ගාණට ආබෲ සර් අපිව පුහුණු කරා ) 

සර් අපිට ඉංග්‍රීසි වලට අමතරව කම්පියුටර් සහ චෙස් වගේ දේවලුත් පුරුදු කරා . සෙනසුරාදා ඉරිදට එයාගේ ගෙදරට එන්න කියලා එහෙදිත් ඉගැන්නුවා ..  ඔය අතරේ එයාගේ පෞද්ගලික තොරතුරුත් අපි සමඟ බෙදාගත්තා ..
"ළමයිනේ මගේ නම අයි වෝ ඩි ආබෲ වුණාට මම පානදුරේ හොඳ සිංහල බෞද්ධ පවුළකින් පැවත එන කෙනෙක් , අපේ සීයා තමයි බෞද්ධ කොඩිය සැලසුම් කරපු කමිටුවට නායකත්වය දුන්නේ " ආබෲ සර් තමන් සංකර ගති පැවතුම් තියෙන  නිකම්ම  නිකං කොළඹ වැසියෙකු නොව අක් මුල් සහිත පවුල් පසුබිමකින් පැවත එන්නෙක් බව අපට ඒත්තු ගැන්නුවේ එහෙමයි.
ඒ වගේම ආබෲ සර් තමන්ගේ ස්වීඩන් ජාතික භර්යාව සහ දුවලා දෙන්නා ගැනත් අපිත් එක්ක නිතර කියනවා  ( ඒ අය ස්වීඩනයේ ඉද්දි ආබෲ සර් ලංකාවේ පදිංචියට ඇවිල්ලා හිටියේ ඒ දවස්වල )

ඉතිං ආබෲ සර් ස්වීඩනයට සම්බන්ධ වුණේ කොහොමද කියලත් අපිත් එක්ක කිව්වා . එයා කොළඹ රෝයල් කොලේජ් එකේ ඉගෙනගෙන තියෙන්නේ . ඊට පස්සේ  එයා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට තෝරාගත් පළමු වන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ගුවන් නියමුවන් කිහිපදෙනා  අතරට එක්වී තිබුණා . දෙවන ලෝක යුද්ධ සමයේ ගුවන් නියමුවෙක් ලෙස සේවය කල ඔහු පසුව ස්වීඩනයේ සස් ගුවන් සේවයේ ගුවන් නියමුවෙක් ලෙස සේවයට එකතුවි තිබෙනවා . එහිදී තමයි ආබෲ සර් ස්වීඩන් ජාතික කාන්තාවක් විවාහ කරගෙන දුවලා දෙදෙනෙකුගේ පියෙක් බවට පත්වන්නේ ..




සර්ගේ පවුළේ විස්තර , සේවා විස්තර ආදි සියළු දේවල් අපිත් එක්ක බෙදා හදා ගනිද්දී අපිත් සර් එක්කම පංතියෙන් පංතිය ඉහළට ගියා . ඔය අතරේ සර් අපිට එක දවසක් මේ  "Disce Aut Discade" කියන ආදර්ශ පාඨය කළු ලෑල්ලේ ලොකුවට ලියලා කියලා දෙනවා .. "මේක තමයි රෝයල් එකේ මොටෝ එක .. "Learn or Depart"   කියන එකයි මේකේ තේරුම .. ඉතිං මගේ පංතියේ ඉන්න ළමයිනුත් මේ ආදර්ශ පාඨය හිතට ගන්නවා නම් හොඳයි ".
"උගනිව් නැත්නම් පළයව්" කියන අදහස අපේ හිත්වලත් තදින් කාවැදුණා .. මට මතකයි මමත් ගෙදර ගිහිල්ලා අපේ කාමරේ ( අය්යයි මමයි පාඩම් කරපු කාමරේ)  බිත්තියේ තිබ්බ කළු  ලෑල්ලේ ඔය ආදර්ශ පාඨය ලොකුවට ලිව්වා . ඒ වගේම අපේ පොත්වල මුළ් පිටුවේ ඇතුළ් පැත්තෙත් ඕක ලියැවුණා .. 

රෝයල් එකේ ආදර්ශ පාඨයට අපිට කිව්වට සර් ලොකුවට තමන්ගේ ඉස්කෝලේ , උපන්ගම , රැකියාව ආදිය ගැන පුරසාරම් දෙඩුවේ නෑ.. ඉතාම නිහතමානීව අපේ යාළුවෙක් වගේ තමයි හිටියේ .. ගෙදර ගියාම අපිට තේ එකක් පවා හදලා දෙනවා ඒ ගෙදර හිටපු අනික් කට්ටිය .. සර් කාලයත් එක්ක අපේ පෞරුෂය ගොඩනැංවෙන විදිහේ දේවල් කතා කරන්න , අපිට විස්තර කරන්න එහෙම ගත්තා මතකයි .. ඉලෙක්ට්‍රික් රේසර් , ඉලෙක්ට්‍රික් ටූත් බ්‍රෂ් , කම්පියුටර් ආදිය අපට බලන්න එහම සලස්වනවා අපි ගෙදර ගිය වෙලාවට ඒ කරන්නෙත් කිසිදු මහන්තත්වයක් නැතිව .. අපේ ගෙදරක් වගේ අපිට දැනෙන විදිහට .. ගෙදර ඉන්න අය (  ළමයි කිහිපදෙනෙක් එක්ක හිටපු පවුළක් ) සර් මේ පිටස්තර ළමුන් සිය ගණනක් ( ඔය විදිහට ගෙදරට ආරාධනා ලැබුවේ , සර් එක්ක සමීප වුණේ අපි විතරක් නෙවෙයි , ඒ කාලෙයේ ඉස්කොලේ තිබ්බ අටෙන්  ඉහළ සියළුම  පංතිවල අය , විශ්ව විද්‍යාලයට තේරුණ අය ඇතුළු හැමෝම )  ගෙදරට එක්ක ඇවිත් කන්න බොන්න දීලා ගෙදර අය වගේ සළකණ ක්‍රමේ  ගැන කිසි වෙනසක් පෙන්නුවේ නෑ.. 


සර් කොහොමත් හිටියේ රජෙක් වගේ , ඒත් නිහතමානී කමේ ඉහළටම ගිය රජෙක් වගේ .. අටේ , නවයේ පංතිවල ඉඳලා ආබෲ සර් එක්ක ගණු දෙනු පටන්ගත්තු අපි උසස්පෙළ කරලා , විශ්ව විද්‍යාල ප්‍රවේශය සමත් වෙලා ගෙදරට වෙලා ඉද්දිත් සර් අපිට  උගන්වන එක නැවැත්තුවේ නෑ  NCE , Follow Me ආදී විවිධ පංතිවලට අපව සහභාගී කරගනිමින් .
සර් අපිව අධ්‍යාපනයේ , ඉහළටමත් , පෞරුෂ ගොඩනංවා ගැනීමේ මාර්ගයේ ඉහළටත් කැඳවාගෙන ගියා .. අපි ලෝකය දිහා විවෘත මනසින් බලන පුළුල් දැක්මක් ඇති තරුණ තරුණියන් කරන්න සර් සෑහෙන්න මහන්සි ගත්තා .. මට මතකයි අපි විශ්ව විද්‍යාල පටන් ගන්නකං ගෙදරට වෙලා ඉන්න කාලෙත් සර් අපිව සෙනසුරාදා ඉරිදා එයාගේ බණ්ඩාරවෙල බිඳුණුවැවේ තිබුණ ගෙදරට ගෙන්වා ගන්නවා එහෙම ගෙන්වා ගෙන අපට මෙඩිකල් ටර්ම්ස් කියලා දෙනවා .. ටික කලකට පස්සේ අපට ඉංග්‍රීසියෙන් ස්වසන පද්ධතිය , රුධිර සංසරණ පද්ධතිය ආදිය කියලා දෙනවා .. ඔහොම ඉන්න අතරේ අපේ පංතියේ හිටපු බොහෝ දෙනෙක් ඉංග්‍රීසි ගුරුවරු ලෙස පත්වීම් ලබලා ( කැම්පස් යන්න කළින්) ඌව පළාතේ දුෂ්කර පාසැල් වලට යැවෙනවා . ඒ ඩෙලික් එග්සෑම් එකෙන් සමත් වෙලා .. මමත් එහෙම සමත්වෙලා ඩිරෙක්ට් පත්වීමක් ලබලා වැල්ලවායේ වෙහෙරයායේ කණිෂ්ඨයට යනවා ..
පත්වීම් ලැබුණු බව කියන්න අපි සර් හම්බවෙන්න ගිය දවස මට හොඳට මතකයි .. " කෝ ඉතිං ඔයාලා ඉංග්‍රීසි ගුරුවරු වුණාට තාම ඉංග්‍රීසි කතා කරන්නේ නැනේ ? දැන් ටික ටික සබකෝළය අයින්කරගෙන ඉංග්‍රීසි කතා කරන්න " ආබෲ සර් අපිට කිව්වේ එහෙමයි
වෙනත් ස'  ලා  වගේ අපිව පිරිසක් ඉදිරියේ සමච්චලයට ලක් කළේ නෑ එයා .. ඔන්න වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම  ස' කියලා කටපුරා කියන්න පුළුවන් චරිත .. 


Note : මේ කියන ආබෲ සර් දැන් ජීවතුන් අතර නෑ . එතුමා කොස්ලන්ද නිකපොත ප්‍රදේශයේ විශාල ඉඩමක් තම වාසස්ථානය කරගෙන ජීවත්වෙන ගමන් පළාතේ දූ දරුවන්ගේ ඉංග්‍රීසි අධ්‍යාපනයට දායකවෙලා පස්සේ හෘදයේ ඇතිවූ රිද්මයේ ආබාධයක් නිසා මියගිහින් තිබුණා .. සාමකාමී මරණයක් සහ චාම් අවමංගල්‍ය උත්සවයකින් පස්සේ දේහය භූමදානය කරලා තිබුණේ (එතුමාගේ ඉල්ලීම පරිදි ) කොසල්න්දේ නිකපොත මයි.. අපේ ආබෲ සර් නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරමු .. පහළ ලින්ක් වල තියෙන වීඩියෝ බලන්න, සර් ගැන මෙහි නොලියවුණු කොටස් අහන්න පුළුවන් 



Thursday, 8 July 2021

එළොව ගිහිං මෙලොව ආවා (දසුන් ගේ කතාව අවසාන කොටස )





 මෙතෙක් කතාව  (පහත ලින්ක් වලින් ගොස් කියවන්න )

1.  දසුන් ගේ කතාව එක (යඩ බන්නා)

2.  දසුන්ගේ කතාවට පසුවදනක්

3. දසුන්ගේ කතාව දෙවන කොටස (එකලත් භවං)

එදා රෝහලේ මිදුලේ වමනේ දැම්මෙව්වාට පස්සේ දසුන්ට  නැවත සිහිය  එන්නේ පළාතේ මහරෝහලේ දී .. දිස්ත්‍රික් රෝහලේ කාර්යභාර වෛද්‍යවරයා  මේ පොයිසන් කේස් එක කෙළින්ම මහ රෝහලට මාරු කර යවන්න තීරණය කරලා තිබුණා .. මහරෝහලට දසුන් ගෙන යද්දී තාත්තා හා හා පුරා කියලා ගිය වාහන රියදුරු රස්සාවට ආයුබෝවන් කියලා තිබුණේ ඊලඟ ටර්න් එකට මිනිස්සු ගෙනියන එක පැත්තක දාලා පොඩි පුතා බේරාගන්න රෝහලට දුවමින් .. කුඹුරේ ගිය අම්මාත්  අය්යා ගේ තනියට තවත් නෑදෑයෙක්  නවත්තලා රෝහලට ඇවිත් තිබුණා .. දසුන්ට මහරෝහලේදී සිහිය එනකොට අම්මයි තාත්තයි දෙන්නා එයාගේ ඇඳ දෙපැත්තේ දණගහගෙන වාඩිවෙලා ඉන්නවා .. මේල් නර්ස් මහත්තයෙක් ඇවිල්ලා ඇස් දෙකට ටෝච් එකගහලා කළු ඉංගිරියාවේ ප්‍රමාණය සළකුණු කරනවා .. සිහිය ආපු ගමන් දසුන් කරන්නේ අම්මාගේ බෙල්ලේ එල්ලිලා "අම්මා ... මං මැරෙයිද? අම්මා ? කියලා අහන එක .... ඊට පස්සේ එයා ඇඳේ අනික් පැත්තට හැරිලා තාත්තගේ බෙල්ලේඑල්ලිලා එයා බදාගෙන " තාත්තා මං මැරෙයිද තාත්තා ? " කියලා අහනවා ...

ඒ කියන්නේ දසුන්ට ඇත්තටම මැරෙන්න ඕන වෙලා නැද්ද? එහෙමත් නැත්නම් ඒ වෙලාවේ හිතේ ආවේගයට වස පානය කලාට පස්සේ අම්මලා තාත්තලා දාලා යන්න දුක හිතුනද දන්නෙත් නෑ.. කොහොම හරි දැන් දසුන්ට  ගොඩක් වෙලාවට සිහිය තියෙනවා හිටපු ගමන් විකාර හීන එහෙමත් පේනවා... ඔය විදිහට දසුන් මහ රෝහලේ සෑහෙන දවසක් ඉන්නවා . දොස්තර මහත්තුරු මේල් නර්ස් මහත්තුරු එහෙම සෑහෙන මහන්සියක් ගන්නවා එයා බේරා ගන්න . ඔය දවස්වල   අම්මා ගෙදර ගිහිං දිනපතා  දසුන් බලන්න ඉස්පිරිතාලෙට එන අතරේ තාත්තා දිගටම එයා ලඟ ඉන්නවා ... හැමදාම උදේට අම්මා එයා බලන්න එන වෙලාවටත් ආපහු ගෙදර යන වෙලාවටත් එයාගේ වැඩේ අර බෙල්ල බදාගෙන අම්මා මම මැරෙයිද ? තාත්තා මං මැරෙයිද ? කියන ප්‍රශ්න අහන එක .. දසුන්ගේ අම්මා මුල් දවස් දෙක තුනේ මොකුත් නොකියා බෙල්ල බදාගෙන ආදරේ කරන්න ඉඩ දුන්නට තුන්වෙනි හතරවෙනි දවසේ දී එයාට හිමිහිට වචනේ දානවා .. " ඔච්චර මැරෙන්න බයයි නම් ඔයා කොහොමද මහ ලොකු වීරයෙක් වගේ පළාතක් හෙල්ලෙන වැඩක් කරේ ? " කියලා අසමින්.

ඔය අතරේ දසුන්ට තව ලෙඩක් හැදෙනවා . ඒක ඇත්තට ඔහුගේ ගලනාලය සහ ආමාශය ඇසිඩ් වලින් ( මෙතමෙඩිෆොස්)  පිච්චීම නිසා ආපු අතුරු ආබාධයක් ඒ තමයි ගොඩ ගොඩ ගාලා ලේ වමනේ යන එක... තාත්තගේ වැඩේ පිස් පෝච්චිය ඇඳ මුලට ගෙනත් තියෙන එක . දසුන් වරින් වර ඕක් ඕක් ගාමින් රතුම රතු පාටට ලේ වමනේ කරනවා ඒ දවස් කීපයේම .. වාට්ටුවෙ කට්ටිය ඇල්යුඩ්‍රොක්ස් පෙති හපන්න ගෙනැත් දෙනවා , සිමෙටිඩීන් පෙති ගෙනැත් දෙනවා ඒ වගේම දිගටම සේලයින් එකකුත් යනවා...  

දසුන් ඉස්පිරිතාලෙට යන්නේ ජූලි විසි තුන වගේ දවසක . එයාට ඇහෙනවා අහල පහළ ඇඳන් වල ඉන්න අය තාත්තා එක්කකතා කරනවා .. "ඔන්න අද කඩ ගිනිතියලලු  ........... ගොඩ හරියෙත් කියලා .... " ඒ තමයි 1983 කළු ජූලිය .. ඔහොම යද්දී මහරෝහල තිබ්බ පළාතට ඇඳිරි නීතිය වැටෙනවා .. පළාතේ තිබ්බ දෙමළ කඩ ගිනි තියපු විස්තර , ජාති ආලය ට සම්බන්ධ වූ පිරිස් බඩු මුට්ටු හොරකම් කරපු කතා එහෙම තාත්තලා කතා වෙද්දි දසුන්ගේ කණටත් වැටෙනවා .. ඇඳිරි නීතිය නිසා දවස්ක් දෙකක් අම්මාට එන්න වෙන්නේ නෑ එයා බලන්න.. ඔහොම කාලය ගෙවිලා ගිහින් දසුන් ගේ ලේ වමනය වීම අඩුවෙලා එයාට ටික ටික සනීප වෙනවා .. දැන් තාත්තට රස්සාවකුත් නෑ . අම්මගේ වගාවට අත් උදව් කාරයෙකුත් නෑ... 

එයාට මතකයි තාත්තලා එයා ආපහු ගෙදර එක්කන් යනවා . එයාට අන්දලා තිබුණේ සුදු කොට කළිසමකුයි සුදු කමිසයකුයි ..

එයා ඉස්පිරිතාලේ ඉද්දී අය්යා අක්කා ඇතුළු ළමයි කිසිකෙනෙක් එයා බලන්න එක්කං එන්නේ නැතිව ඉන්න අම්මයි තාත්තයි වග බලා ගන්නවා .

ඒ නිසා දසුන්ට අය්යා සිද්ධියෙන් පසු මුණ ගැහෙන්නේ ටිකට් කපලා ගෙදර ආපු දවසේ .. එයාට අය්යලා අක්කලා හැමෝම හොඳ ආදරෙන් කතා කරනවා .. කට්ටිය ඔක්කොම කුස්සියට වෙලා දසුන් වට කරගෙන කතාව .. දසුන් අය්යාට එහෙන් මෙහෙන් මිටි ගුළියෙන් එහෙම ගහන්නේ එයා කරන විහිළුවලට . ඉස්සර නම් අය්යා එයාට ගහනවනේ ආපිට ? හැබැයි එදා එහෙම නෑ .. අය්යා ශාන්ත දාන්තව ඉන්නවා මල්ලී ගහන්නේ විහිළුවට නේ වගේ හිතලද කොහෙද ? 

 ඔය අතරේ දසුන් බලන්න ගමේ අය එනවා වැල නොකැඩී . එතන  ඉන්නවා අර ආත්තම්මා . එයා මෙන්න මෙහෙම කෑල්ලක්  කියනවා දසුන්ට මතකයි

"අපි ඒ දවස්වල හිටියේ ඇඬූ කඳුලෙන් දුවේ .."කුරුල්ලෙක් කෑ ගැහුවත් , කොහේ හරි සුදු පාටක් දැක්කත් කොල්ලා මතක් වෙනවා ... අනේ අර දරුවට අනතුරක් වත්දෝ කියලා හිතෙනවා ඒ වෙලාවට " .. 

ආත්තම්මා එහෙම ගියාට පස්සෙත් කට්ටිය කුස්සියේ සාකච්චාව.. දසුන්ගේ රෝහල් විස්තර  , රෝග විස්තර , ප්‍රේමේ අය්යා එයා උස්සන් දුවපු දිවිල්ල ගැන විස්තර ඔය වගේ ගොඩක් දේවල් කතා වෙනවා කට්ටියම 

ඔහොම ඉද්දි දසුන් අය්යගෙන් මෙහෙම අහනවා 

 ඒක නෙවෙයි බං , මම මැරුණා නම් උඹ මොකද කරන්නේ ? 

 " උඹ ඉතිරි වුණේ හොඳ වෙලාවට  , උඹැ මැරුණානම් මමත් ඉතිරි වෙච්ච වස ටික  බීලා මැරෙණවා කියලා තමයි හිතාගෙන හිටියේ " 

අය්යා උත්තර දෙන්නේ එහෙමයි

කුස්සියේ සාකච්චාව යන අතරේ එක වෙලාවක  තාත්තා මොකක් හරි කියනවා .. ඒක ටිකක් නොඉවසීමෙන් කියපු එකක් වගේ හිතලද කොහොදෝ දසුන් ඒකට තාත්තට උත්තර දෙන්නේ මෙන්න මෙහෙම

 " හා හා තාත්තා කළබළ වෙන්න එපා . ඉවසීමෙන් සැනසීම ලැබේ කියනවනේ? ඇයි ඔයා අහලා නැද්ද ඒ කතාව? "

 තාත්තට පොඩි හිනාවක් එන්නේ ඉබේටම.. 

" අනේ මගේ කට දසුනෝ උඹනේ මේ අපිට ඉවසීම ගැන කියන්නේ . හරි හරි එහෙනම් බලමුකෝ ඉස්සරහට වත් ඉවසීමෙන් සැනසීම ලැබෙයිද කියලා ? " 

එයා තම පුතාගේ ඉවසීමේ සීමාව ගැන ආපහු මතක් කරලා දෙන්නේ එහෙමයි 

 නිවසේ හැමෝගෙම  විහිළුවට වෙනස්කම් වලට ලක්වූ දසුන් ඒ අයගේ පරණ සුරතලා බවට පත්වුණේ ඔන්න ඔහොමයි .. ඒකට එයාටත් ගෙදර හැමෝටමත් ලොකු " මිළක් ගෙවන්න " සිද්ධ වුණා.. හැබැයි ඔය සිද්ධියෙන් පස්සේ හැමෝගෙම ජීවිත අලුතින් පටන් ගත්තා .. දසුන් පරණ පුරුදු හුරතල් ළමයා වුණා... 

Monday, 28 June 2021

දසුන්ගේ කතාව දෙවන කොටස ( එකලත් භවං )

 


මේ කතාවේ මුල් කොටස ලියැවිලා ටික කාලයක් වෙනවා . ඒකට මෙතැනින් ගිහින් එන්න .

එදා හවස එහෙම පල්ලැහැ වත්තේ ඉඳන් නියඟලා අල කාලා ආපු දසුන් රෑ කෑමෙන් පස්සේ කාටත් නොකියා නිදා ගත්තේ "හෙට උදේ වෙද්දි මම ජීවතුන් අතර නැතිවෙයි " යන සිතිවිල්ලත් සමඟයි.  පුදුමෙකට වගේ ඔහුට නියඟලා නිසා වමනේ ගියේවත් බඩ රිදුනේවත් නෑ . හැබැයි යඩබන තත්ත්වය තවත් වැඩිවුණා .(එහෙම වැඩිපුර යඩ බන්න හේතුව නියඟලා වල තියෙන "කොල්චිසීන්"  නම් රසායනික ද්‍රව්‍යය බව දැන ගන්නකොට දසුන් සෑහෙන දුරක් ගිහිල්ලා ). 

කොහොම හරි ඔන්න පහුවදාට එළිවුණා කියමුකෝ . වෙනදා  තම පොඩි පුතත් එක්කං එහා ගමේ වගාකරන මාළු මිරිස් කොටුවට යන දසුන්ගේ අම්මා එදා උදෙන්ම කොටුවට පිටත් වුණේ තනියමයි . ඒ මාළු මිරිස් කොටුවට පස් දාන්න. පොඩි පුතා හිටියානම් කඩියා වගේ වැඩකරලා ඇයට උදව් කරනා බව දැනුනත් ඔහුගේ  බඩ එළිය යන රෝග තත්ත්වය නිසා ඔහුව නිවසේ නවතා යන්නට ඇය තීරණය කළා ඒ තනියට දසුන්ගේ ලොකු අය්යත් නංගීයි මල්ලියි දෙන්නත්  තියලා යන ගමන්මයි . ලොකු අය්යා ඒ කාලේ  වැඩිය කුඹුරු වතු පිටි වල යන කෙනෙක් නෙවෙයි . එයා ඉගෙන ගන්න වැඩ තමයි වැඩි පුර කරන්නේ.

 මේ දවස් වල දසුන්ගේ තාත්තා පාරේ මිනිස්සු අදින වාහනේක ( අසල නගරයක ජීවත්වූ මුස්ලිම් මුදලාලි කෙනෙකුගේ වාහනයක් )  වැඩ,  එයත් උදේ පාන්දරම ඒ රස්සාවට ගිහිල්ලා .

අම්මයි තාත්තයි දෙන්නම ගෙදර නැති අල්ලපනල්ලේ  දැන් නංගියි මල්ලියි ලොකු අය්යයි තමයි දසුන් තනියට ගෙදර ඉන්නේ.

නැවතත් ලොකු අය්යයි , නංගියි මල්ලියි එක පැත්තකටත් , දසුන් අනික් පැත්තටත් බෙදිලා සටන පටන් ගන්නවා . 

"යඩ බන්නා , යඩ බන්නා , දහතුන් පාරක් ඇඳ හුජ්ජා " ලොකු අය්යා දසුන්ට කොලොප්පම් කරන්න ගත්තා .  ඒ කාලෙ දසුන්ට හරියට කේන්තිත් යනවා .. අවුරුදු දහතුනක ළමයෙක් විදිහට ඉස්කෝලේ නමක් එහෙම දිනාගෙන සිටි ඔහු තම අය්යා විසින් බිංදුවට්ම බස්සා කතා කිරීම ඒක තවත් තීව්‍ර කරන්න හේතුවක් වුණා ..

දසුන් එකපාරම අය්යා ට ගහන්න පැන්නා .  අය්යා දසුන්ට වඩා ඉක්මණ් , ඔහු කරේ දසුන් සාලෙන් එළියට තල්ලු කරලා දොර වහගන්න එක .. කුස්සියේ දොරත් එයා නංගී ලවා අගුළු දම්මලා .

දැන් දසුන් එළියේ අනික් තුන්දෙනා ඇතුළේ .. එයා කෑ ගහ ගහ ඉස්සරහ දොරට ගහනවා  

"අඩෝ ලෙබ්බෙයා, හොඳ හිතින් දොර ඇරපං , මං උඹට ගහන්නේ නෑ  මට කක්කුස්සියට යන්න ඕනේ . 

"හූ හූ යඩ බන්නා , යඩ බන්නා මෙන්න මූට ආයෙත් යඩ බනවළු , ඔය කොහේ හරි එළියට පළයං" 

අය්යත් අගුලු දැමූ දොරට ඇතුළේ සිට කෑ ගහනවා..

දැන් දසුන්ට කරගන්න දෙයක් නෑ දර පොල්ලක් අරන් ඉස්සරහ දොරට ගහනවා , ආයි මිදුළේ අනික් පැත්තෙන් ගිහින් කුස්සියේ කළු තඩි දොරට ගහනවා . ඇතුළේ ඉන්න අයත් භය බිරාන්ත වෙලා දොර අරින්නෙම නෑ . ඇයි දසුනයා දරපොල්ලකුත් අරන් ගේ ඇතුළට ඇවිත් මොනවයින් මොනවා කරයිද දන්නෑනේ... ඔන්න ඔහොම කෝපයෙන් කෑ ගහ ගහ ගිය දසුන් එක පාරම සද්ද නැතිවෙනවා .. ඊට පස්සේ එයා යන්නේ අගුව පැත්තට ..

 එහෙම යද්දි එයාට එක පාරම පෙනෙනවා අම්මා අගුවේ වේල්ලේ හාරපු වළක තියලා තියෙන දේවල් , වීදුරු කටු , කණ්ණාඩි කෑලී අරවා මේවා අතරේ දසුන්ට දිස්වෙනවා තවත් දෙයක් " මෙතමෙඩිෆොස්" කියලා ලියලා ලේබලයක් අලවපු බෝතලයක්. එයා එක උගුරට ඒකෙන් සෑහෙන්න ප්‍රමාණයක් උගුරට හලා ගන්නවා .. එක පාරම උගුරෙන් පහළ ඔක්කොම පිච්චිලා යනවා වගේ එයාට දැනෙනවා . ඊට පස්සේ වේල්ලට කකුලක් හේත්තු කරගෙන හිටගන්න ඔහු .. අර බෝතලේ ලේබල් එක කීතු කීතු වලට ඉරනවා.. 


වයස දහතුනයි , ලොකු තේරුමක් , බරක් පතළක් තේරෙන්නෙත් නෑ හැබැයි වෛද්‍ය වරයෙකුට අවශ්‍ය වැදගත්ම සාක්ෂිය ඔහු නැති කරනවා... ඊට පස්සේ වැනි වැනී ඉස්සර දොරලඟට එන ඔහු වෙව්ලන ස්වරයෙන් තම ආදරණීය අය්යාට කතා කරනවා .. 

"#$%@.. දැන්වත් දොර ඇරපං , මං වස බිව්වා " ...

අය්යා මුලින්ම හිතන්නේ මල්ලී විහිළුවක් කරනවා කියලා , හැබැයි අවුරුදු දාහතක් වෙන කෙනෙක් නිසා සමහර විට තේරුම් ගන්නත් ඇති මල්ලීගේ ස්වරය එන්න එන්නම දුර්වල වෙනකොට ඔහු දොර අරිනවා .. හැබැයි මල්ලීට වාරු නෑ .. මල්ලී කොහොම හරි වත්තං කරගෙන කුස්සිය පැත්තේ රෙදි හෝදන ගල ලඟට අරන් යන ඔහු 

"උඹට පිස්සුද යකෝ? , උඹ මොනාද මේ කරගත්තේ? "  

කියමින් තම දකුණු අත මල්ලීගේ අමාශය දෙසටම යවනවා , ඒ මල්ලීට බලෙන් වමනේ කරවන්න .. ඒ වැඩේ තරමක් සාර්ථක වෙනවා නිල්පාට මෙතමෙඩිෆොස් සහිත ආමාශ ද්‍රව්‍ය සෑහෙන ප්‍රමාණයක් එළියට එනවා . ඒ අතර නංගියි මල්ලියි අපේ පොඩි අය්යා වස බිව්වා , පොඩි අය්යා වස බිව්වා කියමින් ගමේ පහළට දුවනවා . දසුන්ගේ වෙලාවට අම්මා තාත්තා නැතත් අහල පහළ ඉන්න අය එක් රොක් වෙනවා .

පල්ලැහැ ගෙදර අක්කා දුවගෙන එන්නේ " $%@. මල්ලී සබන් වතුර පොවන්න , සබන් වතුර පොවන්න කියමින් " 

ඔය අතර දසුන් ගේ තවත් ගැලවුම් කාරයෙක් එනවා . ඒ තමයි  ලී ඉරණ ප්‍රේමේ අය්යා , එයා ඒ වෙලාවේ ඊට ටිකක් පහළින් ගෙදරක ගහලා තිබ්බ පලංචියේ ලී ඉර ඉරයි ඉඳලා තිබ්බේ .. 

"ඕවා කර කර ඉඳලා හරියන්නේ නෑ . කෝ කොල්ලා දියල්ලා මෙහාට .. "පියේ මල්ලී , දුවලා ගිහිං වෙනුර මුදලාලිගේ වාහනේ තියෙනවද බලපං,  මං කොල්ලා අරන්  එනවා උඹේ පස්සෙන් .. වාහනේ ටවුමට යන්න ඉස්සෙල්ලා නවත්තා ගනිං   &*# මල්ලියා වස බීලා කියපං . ඉක්මණින් ඉස්පිරිතාලෙට අරන් යන්න ඕනේ කියපං "  ප්‍රේමේ අය්යා තම පලංචියේ ලී ඉරණා අනික් සගයාට උපදෙස් දෙනවා ..

 ප්‍රේමෙ අය්යා දසුන් කරට ගනිද්දී එයාට සිහිය නෑ .. කෙසෙල් කඳක් වගේ ඔහුගේ දකුණු කර හරහා කඩා වැටිලා තමයි එයා ඉන්නේ .. ඔන්න ප්‍රේමේ දැන් දසුනුත් කරේ දාගෙන ගමේ පල්ලැහැට යන අඩිපාර දිගේ දුවනවා .. දසුන්ට එක පාරම දැනෙනවා තමන්ගේ ඔළුව බඹරයක් වගේ කැරකෙනාවා " බෲම් ම් " ගාලා සද්දයක් එනවා වගෙත්  එයාට දැනෙනවා .. මේ මොහොතකට සිහිය ආව වෙලාවක් එතකොට එයාට පේනවා තමන් ඇඳගෙන ඉන්නේ රතුපාට කොටු කොටු සරමක් සහ අඩිය හිල් වෙන්න ඔන්න මෙන්න බාටා දෙකක් බව . 

  "ප්‍රේමෙ අය්යා,  කොහෙද මාව අරං යන්නේ ?"  ඉස්පිරිතාලෙට මිසක් වෙන කොහාටද?  මොනවද මල්ලී මේ කරන ගොං වැඩ? කොච්චර වටින ජීවිතයක්ද මේ ? සාකච්චාව අතර දසුන්ට ආයිත් සිහි නැතිවෙනවා තවමත් ප්‍රේමේ අය්යා කන්දේ පහළට දුවන ගමන් .. 

ඔන්න ටික දුරක් යද්දී දසුන්ට ආයිත් පොඩ්ඩක් සිහිය එනවා "ප්‍රේමේ අය්යා , මගේ සෙරෙප්පුව , මගේ  සෙරෙප්පුව ", දසුන්ගේ පයේලා සිටි සෙරෙප්පු දෙකෙන් එකක් කකුලෙන් ලිස්සා වැටෙනවා ඔහුට දැනිලා .. "මොන සෙරෙප්පුද මල්ලී මේ වෙලාවේ ඉස්සෙල්ලා ඔයාගේ පණ බේරගෙන ඉඳිමු සෙරෙප්පු එකට දෙකක් ගන්න බැරියැයි ".. ප්‍රේමේ ඇත්තටම කොල්ලා ගේ පණ කෙන්ද බේරාගන්නේ කෙලෙසෙදැයි වෙහෙසෙයි , ඒත් කොල්ලාට ලොකු සෙරෙප්පුවයි.. 

ඔන්න ආයිත් දසුන්ගේ සිහිය විකල්වී ගිය මොහොතක් , ඔහුට පාරේ ඒ කොටස මතකයේ රැඳෙන්නේ නෑ ..කොහොමින් කොහොම හරි දසුනුත් රැගෙන එන ප්‍රේමේ අය්යා ගමේ ඉස්කෝල ලඟට ඇවිත්  කියමුකෝ.

ඔන්න ආයිත් එයාට සිහිය එනවා .. දැන් දසුන්ට ඉස්කෝලේ ලඟ තියෙන පියතිලක අය්යලා කඩේ පෙනෙනවා .. වාහනේ තියෙන ගෙදරට තව ටික දුරයි . ඔය අතරේ ගමේ සියළු විස්තර පෝය දවසේ සිල්ගත්තම එහෙම කතා කරන ආත්තම්මා කෙනෙක් ප්‍රේමේ අය්යට කතා කරනවා .. මොන මොනවා හරි ගොඩක් කියලා  අන්තිමට "අපි කොහොමද දැනගන්නේ ?  " කියලා කෑල්ලක් එයා අහනවා දසුන්ට යන්තම් මතකයි ... එතකොටත් දසුන්ට සිහිය නෑ (එහෙම නැත්නම් සිහිය එනවා යනවා වගේ තත්ත්වයක්) . එකපාරම එයාට මාර නිදහසක් දැනෙනවා . දැන් එයා ඉන්නේ පියතිලක අය්යලා කඩේට උඩ අහසේ පාවෙමින්වගේ එහෙම ඉද්දි තමයි අර ආතම්මා ප්‍රේමේ අය්යගෙන් විස්තර අහන්නේ.

දසුන් එහෙම ඉහල  අහසේ සැහැල්ලුවෙන්  ඉන්න ගමන්ම ආතම්මට උත්තර දෙනවා

" ඇයි මේ බිත්තියේ සුදු පාට තියෙන්නේ ? ඇයි ඔය කාක්කෝ , උළමෝ එහෙම ඉන්නේ අඬන්න? " කියලා

ඊට පස්සේ එයා ට එයාගේ ඔළුවෙම කවියක් ගාථාවක් වගේ එකක්  ඇහෙනවා ... එක පදයක් ඉවරවෙන්නේ "එකලත් භවං"   කියලා  තව තව පද තියෙනවා ඒ වා ඉවර වෙන්නේ කවියක එළිසමය වගේ ... සමහර විට එකලත් භවං කිව්වේ එක ආත්ම භවයක් වගේ වෙන්න   ඇති කියලා එයාට හිතෙනවා .. ඒ පාර අර ඔළුවේ ඇතුළේ වේගයෙන් වෙන භ්‍රමණය වීමත් සමඟ එයාට ආයිත් සිහිය නැතිවෙනවා .. 

ආයි සිහිය එද්දී එයා නගරයේ දිස්ත්‍රික් රෝහළේ එළියේ කාණුවක් අයිනේ පඩියක වාඩි කරවලා ඇටෙන්ඩන් මහත්තයෙක් සබන් වතුර පොව පොවා වමනේ කරවනවා ... 



ඊට පස්සේ මොනවා වෙයිද ? කියවමු ඊලඟ කොටසින් 

 

 

Friday, 11 June 2021

දිගනා





 පළමුකොට ශුද්ධ වූ බුද්ධ පූජාව සිද්ධ කිරීමෙන් හා.... යහපත් ශ්‍රද්ධාභ්‍යාශයෙන් යුක්තව පිළියෙල කරන ලද්දා වූ ... මෙම දානයෙන් ලැබිය යුතූ .... සකළ කුසළ පුණ්‍ය සම්භාරයන් හේතුකොට ගෙන ... දිව්‍ය ලෝක , මනුශ්‍ය ලෝක වල ඉපිදෙනා කාලයක් ඉපිද ... සිතූ පැතූ සැප සම්පත් , යානවාහන උපභෝහ පරිභෝග ආදිය ලබා.... අවසානයේ තුන්තරා බෝධියෙන් පැතූ යම් බෝධියක ඉපිද....

කිරිඔරුව ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානයේ දාන ශාලාවේ සිට   පංසලේ ලොකු හාමුදුරුවෝ මෙසේ දානය ගෙනා දායකයා ඇතුළු පවුළේ සැමට පින් අනුමෝදන් කරති.. දායකයා දානය තැන්පත් කල කොට මේසය අසල බිම හිඳගෙන වැඳගෙන  සිටින්නේ එකත්පස ඉරියව්වෙනි.. දන් පිළිගැන්වීමෙ ක්‍රියාවලියේ දීර්ග ස්වභාවය නිසා කුඩා දායකයා ( අවුරුදු දහයක දොළහක කොළුවෙකි ) සිටින්නේ වාඩිවී සිටිනා ඉරියව්ව  වරින් වර වෙනස් කරමිනි (ඇත්තටම කිව්වොත් ඒ මේ අත ඇඹරෙමිනි )... දන් පිළිගැන්වීම දිගටම කෙරෙද්දී  එක පාරම යමෙක් තොළ කට ලෙවකමින් කෙළගිළින ශබ්දයක් ඇසේ .එදා එහි සිටිකුඩා දායකයා වූ මම වට පිට බැළුවේ කෙල ගිල්ලේ ලොකු හාමුදුරුවෝ වත්දැයි සිතමිනි.. 

මට එහා පැත්තෙන් ඉස්සර කකුල් දෙක ඉදිරියට තබා පිටිපස්සේ කකුල් දෙක එක ඇලයකට දමාගෙන තවත් දායකයෙක් එකත්පස ව සිටිනුපෙනේ .. ශබ්දය ඇත්තටම ආවේ ඒ පැත්තෙනි.   

ඒ දෙස හැරී බලන මට පෙනුනේ  එකල පංසලේ සුරතලා වූ දිගනා මට එහා පැත්තේ සිට දන් පිළිගැන්වීමට සහභාගී වන බවයි.  එමෙන්ම   දානය පිළිගන්වන අවස්ථාවේ තමන්ද එහි ඉන්නා බව හාමුදුරුවන්ටත් දායකයාටත් දැනුම් දෙන්නට  සිතා  මේ ශබ්දය කරන්නට ඇති  බවයි.

අපේ අම්මා ගමේ පංසලේ දම්මුරේ දවසට කෑම සකස්කරන හැටි දැක්කාම දිගනාට පමණක් නොව හාමුදුරුවන්ට වුවද කටට කෙළ උනනා එක පුදුමයක් නොවේ. උම්බලකඩ , රම්පේ කරපිංච ආදි සියළු අඩුම කුඩුම යහමින් දමා ඇය සකස්කරන හීල් දානයට , බෝංචි බැදුමක් , අලහොද්දක් , අළුත් මාළු හෝ බිත්තර වැනි පිළිහුඩුවක්ද ඇතුළත් වෙයි.. එදා උදේ කෑමට අපට ලැබෙන රසම රස කෑම එක රහ බලන මම ඇයට ආඩපාළි කියන්නේ. .. "පංසලට ගෙනියන්න නම් රසට උයනවා අපිටත් ඒ වගේ රස කෑම හැමදාම දෙන්න බැරි ඇයි " දැයි අසමිණි .

 එසේ අම්මා සකස් කර දෙන දානේ එක උඩින් පපඩම් මල්ලකුත් තියාගෙන එක අතකින් අර තට්ටු තුනේ බාස්කට් එකත් අනික් අතින් බත්ගෙඩියටත් අරන් යන කුඩා අප පිළිගන්නට මුලින්ම එන්නේ පංසලේ සුරතලා වූ දිගනාය.. කී කූං ගාමින් මුළින්ම ඉස්සරහ කකුල් දෙකට බර දී අප දෙස බලන ඌ ඉන්පසු ප්‍රීතියෙන් ප්‍රමෝදයට පත්වූ බව අපට පෙන්වන්නේ  එහාට මෙහාට රවුම් කිහිපයක් දුවලා ඝණ්ඨාර කුළුන් දෙසට ඇදෙමිනි.. 

උගේ කෝළම් ඔක්කොම බල බලා මිදුළ අමදිමින් ඉන්න ලොකු හාමුදුරුවෝ. "හා.. හා ඔහොම හිටු ඔහොම හිටු.."  කියද්දී ඌ තවත් කුලප්පු වෙයි . දිගනා ගේ මේ කෝළම් ඔක්කොම හොඳ වුණත් කවදත් බල්ලන්ට භය චරිතයක් වූ මට පෙන්නන්නම බැරි එක වැඩක් වූයේ දුවගෙන දුවගෙන ඇවිත් අපේ කරටම ඉස්සරහ කකුල් දෙක තබා හිටගනිමින් ඌ හැසිරෙන ආකාරයයි 

".. හා හා ඔයළමයා භය වෙන්න එපා.  දිගනා ඔය ළමයට තියෙන ආදරේනේ ඔය පෙන්වන්නේ .. " ලොකු හාමුදුරුවෝ මා හට පවසන්නේ මගේ භය තුරන් කරන්නටයි.. 

එහෙත් වරක් දෙවරක් මේ කරේ නගින්න එන වැඩේ වෙනවා දුටු මම  දානේ ගිහින් දීලා ගෙදර ආවේ අම්මාට කෑ ගසමිණි.. 

"අම්මා  මටනම් බෑ ආයි දානේ ගෙනියන්න අර දිග බළු කොටියා අදත් මගේ කරට පැන්නා  . ලොකු හාමුදුරුවෝ උගේ හුරතළ් බල බල ඉන්නවා . අම්මා ඊලඟ දවසේ කුළගණ සමිතියට ගියාම එයාට කියන්න අපේ දානේ දවස්ට ඌව බැඳලා තියන්න කියලා . නැත්නම් දානේ එක නැතිවෙයි කියලත් කියන්න " 

දිගංචියා මොන මොන කෝලම් කරත් පංසලේ ලොකු හාමුදුරුවන්ට නම් ගාණක් වත් නැත.. පංසලට එන දායක දායිකාවන්ටද එහෙමය,. මා හෙන දිග බළු දන්ඩෙක් දුවගෙන දුවගෙන විත් විහිළුවට හරි ඇඟට පනින වැඩේ නොරිස්සුවද ගමේ අනෙක් කොල්ලො කුරුට්ටෝ ඌ සුරතළ් කරමින් විනෝද වන්නට පුරුදු වී සිටියහ .. 

තනි ලා දුඹුරු පාට සතෙක් වූ ඌ අපේ අම්මලා ඇතුළු දායක කාරකාදීන් ගෙනිහින් දෙන රස ගුණ පිරි දානය වැලඳීම නිසාදෝ  අනෙකුත් ගමේ බල්ලන්ට වඩා පින් පාට එකෙකි.. උගේ තරමක් අමුතු හැසිරීම දුඩු ගමේ බොහෝ දෙනෙක්  

" මේ සතා නම් හරි පිං වන්තයි , මේ මෙයාගේ අන්තිම තිරිසන් ආත්මය වෙන්න ඕනැ " වැනි අදහස් පළ කළහ.. 

ඒ අන්තිම තිරිසන් ආත්මය කතාව ඔවුන් විස්තර කරන්නේ සතෙක් තනි පාටකින් ඉපදී සිටිනවා නම් ඊලඟ වතාවේ ඌ මිනිස් ආත්මයක් ලබන්නට පෙරුම් පුරණවා වැනි අදහසකිනි.. 

සමහරු අපේ රත්තීට කීවේද මේ කතාවමය..

Saturday, 22 May 2021

බස් රස බස්

 



29 ශ්රී 1984 පල්ලේවෙල ( කුරුකුදේගම ) සිට බණ්ඩාරවෙලට යන බස් එක පටන්ගත්තේ 1980 මුල් හරියේ .. අපි ඒ කාලේ ඉස්කෝලේයද්දි බණ්ඩාරවෙල ධර්මාශෝක සහ මධ්ය මහා විද්යාලයට , එතෙක් මල්වත්තේ අයිස්ලෙබි ෆැක්ටරිය ලඟින් බස් එකට ගොඩවෙන අපට තිබුණේ 320 ඇට්ම්පිටිය - බණ්ඩාරවෙල , 224 නෙළුව හරහා බදුල්ල - බණ්ඩාරවෙල සහ වරකාදණ්ඩෙන් උදේට සහ පාසැල් ඇරෙන වෙලාවට ගිය 318 වරකාදණ්ඩ - කිණිගම පාසැල් බස් රථ විතරයි .
මේ බස්වලින් ඇටම්පිටිය සහ නෙළුව බස් මල්වත්තට ලඟා වෙද්දිත් සෑහෙන්න පිරිලා නිසා හෝ එහෙමත් නැත්නම් සිල්වා අන්කල් , නෙළුව බස් එකේ "පයිලට් "වැනි රියදුරන් ඔවුන්ට හිතුණොත් විතරක් මල්වත්තෙන් සෙනඟ ගන්නා රටාවක් පෙන්වූ නිසා බොහෝ විට ඒ බස් අපිට නොනවත්වා යනවා.. උදේ හත හතයි කාල වගේ වෙද්දී ඔයවෙලාවටම මේ පල්ලේවෙල ඉඳලා එන බස් එකත් මල්වත්තට ලඟා වෙනවා.. අළුත දාපු බස් එකේ දවස් 15 ක් වැඩ කරන්නේ මේ දෙන්නා ; අමුණුදෝවේ සුගතේ මාමයි , අපේ ගමේ ජයසුන්දර මාමයි .
ජයසුන්දර මාමා කියන්නේ අපේ අම්මලාගේ මහගෙදරත් එක්ක එක වහළෙන් සම්බන්ධ වෙලා තිබ්බ අනික්ගෙදර ( අම්මගේලොකු තාත්තලා ගෙදර ) ලොකුම පුතා .. නැදෑ කමෙන්ම අපේ මාමා.
සුගතේ මාමා අමුණුදෝවේ ලොකු පවුළක පොඩිම පුතා වෙන්න ඕනේ . එයාගේ අය්යත් වරකාදණ්ඩ- කිණිගම බස් එකේ රියැදුරා විදිහට වැඩකළා ඒ කාලේ . සුගතේ- ජය්සුන්දර ද්විත්වය ඒ කාලේ පල්ලේවෙල බස් එකේ අයිතිකාරයෝ වගේ තමයි.. හැබැයි කොච්චර සෙනඟ පුරවන් ආවත් මල්වත්තෙත් නවත්තලා අපිව දාගෙන යනවා.. ජයසුන්දර මාමා එහෙම සෙනඟ ඉන්න වෙලාවක අපිට පස්සට යන්න කියන්නේ.. " මොකද හිනාවෙන්නේ ? අඳුරනවද? ඒ ඇඳුරුම් කම් නෑදෑ කම් වලින් වැඩක් නෑ .. යනවා , යනවා පස්සට" කියමින් .. ඊට පස්සේ කිරිඔරුවේ මැදගෙදර ( අම්මලාගෙයි , එයාලගෙයි මහගෙදර දි වැඩ නැති දවසට හම්බ වුණාම ඊට වඩා ටිකක් පිළිවෙලට කතා කරනවා .. ඒත් ටිකක් සැරෙන් වැරෙන් තමයි.. ගමේදිත් පොඩි බස් ඌෂ්ණයක් තිබුණා ..

පස්සේ කාලෙදි අපි අම්මත් එක්ක එලවළු හදද්දී අපේ වගා වැඩ ගැන ආරංචි වෙනකොට ( ඒත් අපි හතේ - අටේ පංතිවල ඉද්දී තමයි ) එයා අපිට එයාගේ රත්පහේ තිබුණු සිංහල උළුවහපු ගෙට එහා පැත්තේ වත්තෙත් , ඊලඟට කිරිඔරුවේ මහවත්තේ තිබුණ එයාගේ කුඹුරු කෑල්ලෙත් තක්කාළි , මාළු මිරිස් , බටු මිරිස් ( බෙල් පෙපර් ) එහෙම හදන්න දුන්නා..



ඒ කාලේ සුගතේ බස් එක එලවද්දි හරි වේගයෙන් යනවා " ඕන් බලාපල්ලා උඹලගේ පයිලට් ලා දැන් කැලේ " කියමින්.. එයා එහෙම කියන්නේ එතෙක් ඒ පැත්තේ වේගවත්ම බස් රියැදුරාව සිටි පයිලට් ට වඩා වේගයෙන් එයා යන බව කියන්න ..මේ පිංතුරේ ඉන්නේ ඔය කියපු අපේ කුඩා කාළයේ වීරයෝ දෙන්නා ( සුගතේ සහ ජයසුන්දර යුගලය )

Friday, 7 May 2021

කොවිඩ් එන්නත් සහ කොරෝනා

 


කොවිඩ් එන්නත් මාත්රා දෙකම ගත්තත් , ඇස්ට්රාසෙනෙකා හෝ ෆයිසර් හෝ වෙනත් කුමණ වැක්සීන් වර්ගයක් ගත්තත් සීයට සීයක් කොරෝනා හැදීමෙන් වලකිනවා කියලා කියන්න බෑ .. ඇස්ට්රා සෙනෙකා 75% යි පීෆර් 90% වගේ ආවරණයක් දෙනවා කියලයි විශ්වාස කරන්නේ .. ඉතිරි සියයට ගණන් වලට බරපතල ලෙසම කොරෝනා වැලඳෙන්න පුළුවන්.

වැක්සීන් වලින් ආවරණය ලැබුණා කියන්නේ කොරෝනා හැදුනත් ඒ හැදෙන එක එතරම් බරපතළ නැති පොඩි හෙම්බිරිස්සාවක් වගේ තත්ත්වයකින් අවසන් විය හැකි බවයි .. වැක්සීන් ගත්තාම කොරෝනා හැදෙන්නේම නෑ කියන්න තාම කල් මදි...



ඒ නිසා දිගටම මීටර් දෙකේ දුරස්ථ භාවය, මුවවැස්මක් පැළඳීම , නිතර අත් සේදීම , අනවශ්ය ගමන් බිමන් නොයෑම කියන කරුණු ඔක්කොම පිළිපඳින්න ඕනේ...
අපිට දුන්නේ ඇස්ට්රාසෙනෙකා .. ඒක මේ රටේ සෞඛ්ය බළධාරීන් සහ පාළකයින් එක්වී ගත්තු තීරණයක් . වයස පණහට අඩු අයට ෆයිසර්වැක්සීන් එක දෙන්න යන්නේ ඇස්ට්රාසෙනෙකා වලින් ලේ කැටි ගැහෙන්න ඉඩකඩ වැඩිනිසා ..


ස්පුට්නික් සහ චීන වැක්සීන් එකත් දෙන රටවල් රාශියක් තියෙනවා.. හොඳම මොන වරගයද කියන එක දැනගන්න වෙන්නේ අනාගතයෙදි...


හොඳම දේ කොරෝනා වලට භාජනය වීමට තිබෙන ඉඩ ඇහීරීමයි , අනවශ්ය ලෙස මිනිසුන් සමඟ ගැවසීම අඩුකිරීමයි . සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමයි..මුව ආවරණ පැළඳීමයි..



Wednesday, 5 May 2021

මුවවැස්මක් ( මාස්ක්) පළඳනවිට එය හරික්‍රමයට පළදින්න පුරුදුවෙමු



 කොරෝනා පැතිරීම වලක්වන්න මුවවැස්මක් ( මාස්ක්) පළඳනවිට එය හරික්‍රමයට පළදින්න පුරුදුවෙමු.. එය මුඛය විතරක් වැහෙන්න පැළඳීම , කතාකරන විට බෙල්ලේ එල්ලාගෙන සිටීම කියන ක්‍රම දෙකම වැරදියි.. 

හරි ක්‍රමයට නම් මුවවැස්ම නාසයත් මුඛයත් දෙකම වැහෙන්න පළඳින්න ඕනේ .. ඒ වගේම කතා කරද්දී අනිවාර්යයයෙන්ම මුවවැස්ම ඒ විදිහට පැලඳගෙනම ඉන්න ඕනේ .. 

මොකද කතා කරද්දී කෙළ බිඳිති විසිවෙන්න තියෙන ඉඩකඩ වැඩියි .. 

කතාකරද්දී මාස්ක් එකක් දාගෙන ඉඳීම අනික් කෙනාට කරන අගෞරවයක් නෙවෙයි ..අනික් කෙනා ගැන හිතලා කරන වැඩක් 

Saturday, 24 April 2021

එහෙ පලගත්තත් වට්ටක්කා - මෙහෙ පලගත්තත් වට්ටක්කා



 එහේ පළගත් වට්ටක්කා   (1982-83)

මේ කියන දවස්වෙනකොට මම අවුරුදු 12- 13 ක පාසැල් ශිෂ්‍යයෙක් . ශිෂ්‍යත්වෙත් සමත් වෙලා එහෙම හිටපු නිසා ගියේ පළාතේ තිබූ මධ්‍ය මහා විද්‍යාලයට. ඔය දවස්වල තමයි වැඩිය එළවළු වගාවට හුරුවක් නොතිබූ අපි වගා කටයුතු පටන් ගන්නේ . ගෙදර ඉඳලා මීටර් 500 ක් හයසීයක් දුරින් තිබ්බ පල්ලැහැ වත්ත එළිපෙහිළි කරලා අපි අල, බෝංචි , ගෝවා ආදිය හැදුවා මතකයි. 

ඉඩම තිබුණේ "රිසිවේසම "( ජලපෝෂක කැළෑ රොදා අයිනේ .. වගාව ව්‍යාප්ත වීගෙන යද්දි කැලේ අයිනේ කොටසකුත් එළිපෙහෙළි කරලා ගත්තා මතකයි .  ඒ කෑල්ල බොර, අළු/ අලි බෝඹු , දඹ ආදි ගස් වලින් පිරුණු    දිය සීරාව අධික   කොටසට ඔන්න මෙන්න  වගේ  කිරිවැල් , වැරැල්ල ආදියෙන් වැහිළා තිබ්බ කොටසක්  . අපි අම්මාගේ අනුදැනුම ඇතිව මේ කොටස එළිකරේ මාළු මිරිස් හදන්න... මේ හරියේ පස කළුම කළු පාටයි .. ඒ වගේම සරුයි.. 

මාළු මිරිස් හදලා ඉවරවෙලා ඒ පාත්ති අයිනේ කැලේ දිහාට වෙන්නට එක දිගට වට්ටක්කා මණ්ඩි කීපයක් හැදුවා . ඒක කරේ මේ මමම තමයි මතක විදිහට .. 

කාළයක් යද්දී වට්ට්ක්කා වැල් සරුවටවැවීගෙන ආවා .. කොච්චර වැවුණාද කිව්වොත් ඒවා වත්ත අයිනේ තිබුණ කැලේ අලි බෝඹු ගස් උඩ , දඹ ගස් උඩ ඉඳන් දුවන්න ගත්තා .. 

ඔය කාලේ තමයි අපේ පල්ලැහැ ලොකු අම්ම එහෙම  අල බෝංචි  වගේ දේවල් හදන්න පටන් ගත්තේ . එයාලා හැදුවේ අපේ වත්තෙට එක එල්ලේ වගේ කැලෑ රොදෙන් අනික් පැත්තේ  තිබ්බ ඉඩමක .

ඔන්න දැන් වට්ටක්කා වැල් වල ගෙඩි හැදෙන කාලේ  කොළ පාට ගෙඩියේ පොහොර පොහොර තිබෙන ( කිසියම් රටාවක් සහිත ) වට්ටක්කා වර්ගයක් තමයි හැදුනේ .. ඒ කාලේ අද වගේ නෙවෙයි ගොවියෝ තමන්ගේ බීජ තමන්ම හදාගන්නවා ..මේ වට්ටකත් එහෙම කවුරු හරි අපිට දුන්න ඇට වළින් හදපු ඒවා (එහෙම නැත්නම් කෑමට ගෙනා වට්ටක්කා කෑල්ලේ ඇට වලින් පැලකරපුවා ).

පසේ සරුසාර බව කොච්චරද කියනවා නම් එක වට්ටක්කා ගෙඩියක් කිළෝ පහළොවක් විස්සක් විතර බරයි . ඒ වගේ වට්ටක්කා ගෙඩි අඩුම ගානේ පහළොවක් විස්සක් වත් හැදෙන්න ඇති අපි හදපු වට්ටක්කා මණ්ඩි තුනේ.. ඒ වට්ටක්කා නගරයේ පොළට ගෙනියද්දී එක එක ගෙඩි කරෙන් ගෙනිහින් ගෝණි වලට දැම්මේ උඩහා පාරෙදි . එළවළු වෑන් එක එන හරියෙදි .. එහෙම ගෙඩි දෙකක් හෝ තුනක් තමයි ගෝණියකට ඇල්ලුවේ 

ඔය කාලෙදි පොළේ යන කණ්ඩායමට මම හෝ අය්යා ( හැමදාම අම්මා යන්නේ නෑ) වගේම පල්ලැහැ ලොකු අම්මා , දිය කඩිත්ත ලඟ ගෙදර ආතා වගේ පිරිසක් ඉන්නවා .. ගමේ ඉඳන් නගරයට යන අතරේ   BS  මාමලා   ඩෙලිකා වෑන් එකේ එකම සද්දයක් .. පල්ලැහැ ලොකු අම්මා තමන්ගේ වගාව ගැන පුරා ජේරු කියනවා.... දියකඩිත්ත ලඟ ආතා වගේ අය , අපේ අම්මා හිටියොත් එයා එහෙම හූ මිටි තියනවා ... " කරුණංගී  දන්නවද? ගිය පාර අපේ අල  පාත්තියේ හැදුනනේ   මහා විශාළ අලයක්... කිව්වට විශ්වාස කරන්නේ නෑ එක අලයක් මේ අපේ CH   විතර ඇති "

 "ඒ අලේ බීජ අල කරලා කුඹුරේ හදද්දි පෙති පෙති කැපුවා ... මං හිතන්නේ  එක අළෙන් අල පාත්තියකටම බීජ අල ගන්න පුළුවන් වුණා .."

 ඈ මේ කියන්නේ ඒ කාලේ ගොඩ අළ හදලා ( බීජෙට හදන අල ) ඊට පස්සේ ඒවායෙන් මඩ අළ ( කුඹුරේ  ගොයම් හදන්නේ නැති කන්නයේ එළවලු හද්දද්දී හදන අල )  ලෙස හදනකොට අල ගෙඩි පෙති කපා බීජ අල හදා ගන්නා ක්‍රමය ගැනයි .

අල ගලවන කාලේටත් ලොකු අම්මාගේ පුරාජේරු එහෙමමයි .

".. කරුණංගිට කියන්න ....අපේ ඩිසයිරි අල වල මාර අස්වැන්නක් තිබ්බනේ මේ පාර....  එකට දහයයි දොළහයි.. අල විකුණලා චේන් එකක් ගත්තා නංගී... මෙන්න මෙච්චර ඇති ඒ චේන් පොට " 

අපේ ලොකු අම්මාගේ CH විතර අල මෙන් අතිශෝක්තියක් නොව ඇත්තටම අපේ වට්ටක්කා ගෙඩියක් CH ගේ භාගයක් විතර වූ බව නම් සත්‍යකි.. (ගෙඩි දෙකකින්  හෝ තුනකින් ගෝණියක් පිරෙන්න පුළුවන් වට්ටක්කා ගෙඩියක් ගැන හිතාගන්න ) .

... CH කියන්නේ ඒ කාලේ අවුරුදු දහයක් පමණවූ එතරම් උස නැති එහෙත් තරමක් මහත අපේ ලොකු අම්මාගේ දුවයි. 


මෙහේ පළ ගත්තත් වට්ටක්කා  

අපේ ලොකු අම්මා , දිය කඩිත්ත ලඟ ආතා ආදී බොහෝ පිරිසක් බුදුන් දැක නිවන් දකිනා තව්තිසාවේ වාසය කරන මේ කාලේ අපි තවමත් මහ පොළව සමඟ හැප්පෙන්නෙමු . 

ඒ ඉස්සර වගේ ආර්ථිකයට දායකවීමකට නොව සති අන්තයේ නිවසට වී විවේක පාඩුවේ ඉන්නා අතරේ ගතට සිතට සහනය දෙන වැඩක් ලෙස කරන ගෙවතු වගාවක් ලෙසිණි... 

සතිය පුරා මිනිස්සුන්ගේ මානසික , කායික රෝග මෙන්ම නොයෙකුත් මානසික පීඩාවන් , පවුල් අවුල්  , සේව ස්ථාන වල ගැටළු ආදිය හිසේ පුරවා ගෙන හිඳ ලැබෙන ඇසිල්ලෙන් ගහක් කොළක් සිටුවා .. ඒවා එක්ක කතා කරමින්  කාලය ගත කරන්න ලැබීම මටනම් වෙනමම සතුටකි. ගස් කොළං දළුලා වැඩෙන හැටි බලමින් , ඒවායේ මල් ඵල  හටගන්නා හැටි බලමින්  නිවසේ පිටුපස ඇති කුඩා එළවළු කොරටුවේ  කාලය ගත කරන්නට මා වගේම ගෙදර අනික් දෙන්නාත් ඉතාම ප්‍රිය කරති .

වෙන අවුරුදු වල අපේ ගෙවත්තේ හැදෙන්නේ වට්ටක්කා ගෙඩියක් හෝ දෙකක් පමණක් වුවද මේ අවුරුද්දේ එය තරමක් වෙනස් වී තිබේ.. 

















ජැප් පම්කින් ( පොහොර වට්ටක්කා ) ගෙඩි නවයකුත් . ලංකාවේ අපි රට වට්ටක්කා නමින් හඳුන්වන මෙහේ ක්වින්ස්ලන්ඩ් බ්ලූ  පම්කින්  ලෙස හඳුන්වන නිල්/ අළු පාට වට්ටක්කා ගෙඩි දෙකකුත් , ලංකාවේ ඩුබායි වට්ටක්කා ( බටානා හෙවත්  බටර් නට්) ගෙඩි දෙකකුත් තිබෙන අපේ ගෙවත්ත මෙවර තනිකර වට්ටක්කා යායකි  .. 

වෙන මොනවා නැතත් මේ වට්ටක්කා දිහා බලාගෙන  මගේ සිතුවිළි 1982-3 දිහාට ගිය එකම මදිද සතුටු වෙන්න කාරණයක් විදිහට ..

අපි දැන් මෙහේ පළ ගත් වට්ටක්කා එක එක කඩනවා .. ගෙදර කැල්ලක් උයලා ඉතිර් කොටස් ලඟ පාත ඉන්න ශ්‍රී ලාංකික සම්භවයක් තියෙන හිතවතුන් එක්ක බෙදා  හදා ගන්නවා ( අන්තිමට කඩපු ගෙඩිය කිලෝ හතර හමාරක් ,අපි පවුල් තුනක් අතරේ බෙදා ගත්තා )   

........එහෙනම් කට්ටියම එන්න   වට්ටක්කා කෑල්ලක් අරන යන්න., අපේ ලොකු අම්මලා , දිය කඩිත්ත ලඟ ගෙදර ආතාලා වගේ අයට පිංසිද්ධවෙන්නත් එක්ක  .............



Friday, 23 April 2021

අවවාද අනුශාසනා අංක තුන : ඇත්තද මේ කියන්නේ

 



පසුගිය කළාපයෙන් (ඇත්තටම මේ කොටස ලිව්වේ 2018 වගේ)



දියකඩිත්ත ලඟ ගෙදර ආතම්මා සහ අපේ අම්මා ජයංගනීලා අම්මාට අවවාද දීමත් , ඒ ආත්තම්මාගේ ලොකුපුතා මට පැය දෙකක පමණ දේශණයක් දීමත් අවසාන වී ටික දවසක් ගතවී ගියේ කිසි හාවක් හූවක් නැති ගාණටයි . 

උදේ පාසැලේ උගන්වන්නට යන මම හවස කුඹුරේ වැඩටත් , සතියට වතාවක් දෙකක් හෝ ජයංගනී මුණගැසෙන්නට ( පාසැල් ඇරෙන වෙලාවට ) නගරයට යන්නට පුරුදු වී සිටියෙමි. ගෙදර අයගෙනුත් ලොකුවට කළබලයක් නොපෙනුනේ නිසා නිදහසේ ජීවිතෙ ගලා ගියේය.. 

අපේ නංගිලා , අක්කලා වගේම ඇතිමලේ බාප්පලා දුවලා දෙන්නා එක්ක එහෙම එකට පාසැල් බසයේ ගමන් කරන ජ‍යංගනී ඒ ඒ අයගෙන් ඇයට ලැබෙන විවිධාකාරයේ ප්‍රතිචාර වලට මුහුණදෙන්නට ඇත.  ඒ කිසිවක් මා හට නොකියන්නට ඈ වගබලාගත් නිසා ඒවා මොනවාද යන්නත් මට දැනගන්න ලැබෙන්නේ අවුරුදු දහයක් පහළොවක් ගතවූ තැන මුහුණු පොතෙන් අපට හමුවූ ඇයගේ සමකාළීන පාසැල් සිසුවියන්ගෙනි.

ඔය කාලයේ සතිඅන්තයට මම ගමේ පංසලට යාම අනිවාර්යයෙන්ම සිද්ධවෙන දෙයකි.. ටික දවසක් පංසලේ මම සාමාන්‍ය පෙළ සිසුන්ට පංතියක් කල නිසාත් . පංතිය දෙමළ ඉස්කෝලේ තියෙන කාලේ වුණත් පංසලේ පොඩි හාමුදුරුවෝ මුණගැහෙන්නත් මම පංසලට යාම ඒම පුරුද්දක් කරගෙන සිටියෙමි.

ඒ කාලේ පංසලේ වැඩ සිටි පොඩි හාමුදුරුවෝ අපේ සමවයසේ කෙනෙක් නොවේ .. උන්වහන්සේ ඒ වනවිටත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන්  ගෞරව උපාධියක් එහෙම ලබාගෙන පළාතේ පිරිවෙනේ ආචාර්ය වරයෙක් ලෙස සේවය කරමින් සිටි කෙනෙකි . එමෙන්ම උන්වහන්සේ ඒ වනවිට දිස්ත්‍රික්කයේ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරීන් වහන්සේ වශයෙන්ද කටයුතු කල සේක .

ඒ පොඩි හාමුදුරුවෝ අපේ ගමේ පංසලේ වැඩවාසය කලද ඉපදී හැදී වැඩී තිබුණේ අපේ ගමට කිලෝමීටර් හත අටක් දුරින් පිහිටි වෙනත් ගමකයි .  පංසල් දෙකම එකම ප්‍රධාන පංසලක් යා සම්බන්ධ නිසා උන්වහන්සේ අපේ ගමේ පංසලට එවා තිබුණේ ලොකු හාමුදුරුවන්ගෙන් පසු පංසල භාරදෙන බලාපොරොත්තුවද ඇතුවයි.. 

මේ කියන දවසෙත් මම  පුරුදු පරිදි පංසලට ගියේ පොඩි හාමුදුරුවෝ එක්ක වගේම ලොකු හාමුදුරුවෝ එක්කත් ටිකක් කතාබහ කරන්නත් , ඒ කාලේ පංසලේ සිටි ගෝලයා එක්ක කය්යක් ගහන්නත් හිතාගෙනයි ,  කොටින්ම කිව්වොත් නිකං ගෙදර ඉන්න ගමන් ඒ පැත්තට යන්න හිතුණු  නිසයි.

මා පංසලට යනවිට පොඩි හාමුදුරුවෝ සිටියේ බුදු ගෙයත් ඝණ්ටාර කුළුණත් අතර කොටසේ සක්මන් කරමිණි.. 

දුඹුරු පාට ඉරි ඉරි සහිත පිජාමා සරමකුත් , ඊටම ගැලපෙන ලා දුඹුරු පැහැති ක්‍රොකඩයිල් ටී ෂර්ට් එකකුත් ඇඳගෙන පයේ රතු/දුඹුරු පැහැති ලෙදර් සෙරෙප්පු දෙකකුත් දාගෙන මා එහි ගොස් සිටියේ පංසලට වුණත් ඉතා පිළිවෙලට සැරසී එන තරුණයෙකු විලසිණි.. ( මඟදී ජයංගනී හෝ පවුළේ කෙනෙක් හමුවණු ඇතැයිද සමහර විට පංසලේ   බෝධි පූජාවකට හෝ ඔවුන් එනු ඇතැයිද සිතන්නට ඇත්තේ  මා නොව මගේ යටිසිත විය යුතුය ).

"හා කොහොමද ?  අම්මා තාත්තා එහෙම ගෙදරද? " මට වඩා අවුරුදු දහයක් දොළහක් වයසින් වැඩි පොඩි හාමුදුරුවෝ කතාවට ප්‍රවිශ්ඨ වන්නේ මගේ නම හෝ "අය්යා" , "මල්ලී "වැනි නෑදැ කමක් හෝ නොකියමිණි.

"හොඳින් ඉන්නවා හාමුදුරුවනේ අම්මලාත්  ගෙදර ඉන්නවා. මම නිකං ඉන්න ගමන් පංසල පැත්තේ ඇවිල්ලා යන්න ආවා . බෝධි පූජාව හරි මල් පහන් පූජාව හරි තිබුණොත් ඒකටත් ඉඳලා යන්න.. " 

හොරෙන් බෝධිය දිහා බලමින් මම හැසිරෙන්නේ නියම උපාසකයෙකු විලසිනි... කතාව යන අතරේ එක්වරම හාමුදුරුවෝ තම තට්ටය අතගාන්නට පටන්ගත්තේය .. ඒ කාලේ උන්වහන්සේ එසේ කරන්නේ කිසියම් බැරෑරුම් දිශාවකට සාකච්චාව යොමුවන විටයි .. ටික වෙලාවක් තට්ටය පිරිමදිමින් සිටි උන්වහන්සේ නැවතත් තම හඬ අවධි කළේය ... "මම අහන්නමයි හිටියේ ඔය කට්ටිය කියන කතාව ඇත්තද ? ......ඔයා  අර විමළා ටීචර්ලා දුවත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා කියන එක ? "

හාමුදුරුවන්ටත් කවුරු හරි මොනවා හරි කියලා ... මම උඩ බිම බැලුවේ ඒ කව් රුන් විය හැකි දැයි සිතමිණි.. 

"ඔයා වගේ කෙනෙකුට ගැළපෙන්නේ නෑ නේද ඒ වගේ දෙයක් කරන එක ? ගමේ පිළිගත්ත, යමක් කමක් දන්න තරුණයෙක් වුණාම හොඳ ට ඉන්න ඕනෑ නේද? " 

හාමුදුරුවෝ දිගටම කියවාගෙන යයි ..

"මොන සම්බන්ධයක්ද? කව්ද හාමුදුරුවන්ට කිව්වේ ? " මම ඇසුවේ විමතියෙනි.. 

ගමේ මිනිස්සු බොහෝ දෙනෙක් අපි ගැන දැනගෙන හිටියා වුණත්, දෙන්නාම මිනිස්සු කව්රුත් කැමති , කිසිකෙනෙක් එක්ක අමනාප නැති , ප්‍රිය මනාප තරුණ යුවලක් නිසා සාමාන්‍යයෙන් ගමේ කෙනෙක් විශේෂයෙන් හාමුදුරුවන්ට කියන්නට තිබෙන ඉඩ කඩ ඉතා අඩුය .

"මට කිව්වේ වෙන කව් රුවත් නෙවෙයි  ඔයාලා තාත්තා, නාමරත්න මහත්තයා හරි කණගාටුවෙන් ඉන්නේ ඔයාගේ අනාගතය අඳුරුවෙයි කියලා මේ වගේ වැඩ නිසා .. ඔන්න ඔහේ ඔය ගණුදෙනුව අමතක කරලා දාන්න.. 

දැන් උසස්පෙළත් කරලා නේද  ඉන්නේ ? කැම්පස් ගියාම ඕවා අමතක වෙලා යයි .. ඔයාලගේ දෙමව්පියන් හරියට මහන්සිවෙනවා නේද ඔයාලට යහමඟ යවන්න ? . ඒ මිනිස්සුන්ට දුකක් වෙන දෙයක් කරන්න එපා "

හාමුදුරුවෝ තම අනුශාසනාව අවසන් කලේ එළෙසිණි.

 තට්ටය අතගාමින් හිමින් හිමින් සාකච්චාව කරද්දී මට හැඟීගියේ තාත්තා කියපු නිසා අවවාද කළාට උන්වහන්සේ පෞදගලිකව මට අවවාද දිය යුතු යැයි සිතා සිටියේ නැති බවයි 

එදා හාමුදුරුවන්ගේ අනුශාසනාවත් අසාගෙන හවස මල් පහන් පූජාවටත් සහභාගී නිවසට පැමිණි මා ඇත්තටම සිටියේ තරමක කණස්සල්ලෙනි.. එහෙත් ඒ බව කාටවත් නොපෙන්වූ මම එදිනෙදා වැඩ කටයුතු කරගෙන ගියේ කිසිවක් සිදුනොවූ පරිද්දෙනි.. 

මට එය එතරම් අපහසු වන්නේ කුමකටද   ජයංගනීට සමකාලීන දිනවල සිදු වී ඇති දේවල් එක්ක බලනකොට මා මුහුණ දී තිබුණේ සරළ සිදුවීම් දාමයකය.  

ඒ සිද්ධි දාමයන් මා දැනගන්නාවිට අප හා සම්බන්ධ මේ සිදුවීම් අවසන් වී අවුරුදු විස්සක් වත් ගතවී තිබෙන්නට ඇත.. එතෙක් ඒ සියල්ල තනිව දරාගන්නට ඇය පෙළඹී තිබුණේ මට ඒවා ගැන කියා කරදර කරන්නට අවශ්‍ය නැතැයි ඈ සිතූ නිසාත් සියල්ල තනිව දරාගෙන ජීවිතයට මුහුණදීමේ හැකියාව ඇයට කවදත් තිබූ නිසාත් වියයුතුය ..  ඒ අනුව බලද්දී මා දුර්වලයෙකි  .

මා විශ්ව විද්‍යාලය ගොස් ටික  කලක් යද්දී ගමෙන් ආ ආරංචියකි.. ජයංගනී අතහරින්නැයි මට අනුශාසනා කළ  සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී හාමුදුරුවෝ අපේ ගමේ පන්සලෙන් ගොස්තිබුණේ තමන් දරාසිටි චීවරයටද ආයුබෝවන් කියමිණි.. ඒ ජපුර විශ්වවිද්‍යාලයේ ඉන්නා කාලයේ සිට සම්බන්ධතාවයක් තිබූ තවත් උපාධිධාරිණියක් සමඟයි .. 

මෑතකදී මම උන්වහන්සේ ගැන ආරංචි කර බැලුවෙමි .. අහලා තියෙන හැටියට   පළාතේ අධ්‍යාපන අධ්‍යක්ෂක තනතුරක් පවා දරා ඇති ඔහු හෘදයාභාධයකින්  අභාවප්‍රාප්ත වී තිබුණේ වයස අවුරුදු පණස් ගණනක් වාගේ  වෙද්දීය  

Tuesday, 20 April 2021

යළි නො එනා හේමන්තය



 2021 අප්‍රේල් 16 වෙනිදා සේවා ස්ථානයේ ඉඳිද්දී මට දිගින් දිගටම ලැබුණු දුරකතන පණිවිඩ කිහිපයකි.. කාර්යබහුල නිසා උත්තරදෙන්නට නොහැකි වුණත් දිවා ආහාර විවේකය ලැබුණ සැනින් ඇමතුම් දුන් කෙනාට කතා කළෙමි.. 

"ඔයා දන්නවද ඊයේ වෙලා තියෙන දේ? අර සිසිර අය්යලා කොළඹ ඉන්න මල්ලියි එයාගේ පුතයි ගංවතුරකට ගහගෙන ගිහිල්ලා අතුරුදහන් වෙලාලු" එහා පැත්තෙන් කියවාගෙන යන්නේ අපේ පාසැල් සමයේ ගමේ හිටි හිතවතා හේමන්ත සහ ඔහුගේ පුතා ගැනයි.. මම ඒ සැණින් බණ්ඩාරවෙලට (අපේ අම්මලාට ) කතා කලේ වැඩි විස්තර  දැනගන්නා බලාපොරොත්තුවෙනි  

"තාම හම්බවෙලා නෑලු පුතා.. තාත්තලා ඊයේ හවසම හල්දුම්මුල්ලට ගියා බලන්න ... ඔහිය පැත්තෙන් එකපාරම වතුරක් ඇවිල්ලා මේ දෙන්නා ගහගෙන ගියාලු. කොළඹ පාරේ පාළම් දෙක කියන තැනලු  ඔය කට්ටිය නාන්න ගිහින් තියෙන්නේ .. අපරාදේ අවුරුද්දට අම්මා බලන්න ගමේ එන ගමන් තව පැයකින්ගෙදර එන්න හිටපු කට්ටිය නේ මේ නාන්න ගිහිල්ලා තියෙන්නේ " 

හේමන්ත අප කුඩා කාලයේ සිටියේ කිරිඔරුවවිද්‍යාලයේ ගුරුනිවාසයේය.. ඒ ඔහුගේ මව සීලවතී ටීචර් අපේ ඉස්කෝලේ දෙකේ පංතිය ඉගැන්වූ ගුරුවරිය නිසාත් ඇය හේමන්ත සහ ඔහුගේ සහෝදර සහෝදරියන් සමඟ  ජීවත්වූයේ එම ගුරු නිවාසයේම නිසාත්ය.. කුඩා කාලේ අප ඔහු හැඳින්වූයේ  "අම්මී"  යන නමින්. ඒ ඔහුගේ පවුළේ අය ආදරයට වැඩි කමට ඔහුට පාවිච්චි කල නමයි .. වැඩිහිටියෙක් වෙද්දී ඒ නම "බන්ටී " බවට පත්වී තිබේ . එහෙත් සමවයසේ  කොල්ලෝ කුරුට්ටෝ ඔහුට ඇති තැන හේමන්ත යන නමත්  නැති තැන අම්මී හෝ අම්මියා යන නමත් පාවිච්චි කළහ .

පවුළේ බඩපිස්සා වූ ඔහුට අය්යලා අක්කලා සියළුදෙනාගේ සැලකුම් ලැබුණු නිසා කුඩා හේමන්ත ගතකලේ කුමාරයෙක් හා සමාන දිවි පෙවෙතකි. කෙනෙකුට ඔහු තරමක් ආඩම්බර කාරී යැයි සිතුණේ වියහැකි වුවද ඔහු හා ලඟින් ඇසුරු කල අපට නම් ඔහු ගැන ඇත්තේ ඉතා මිහිරි මතකයකි.. පුංචිම කාලේ හේමන්තත් අපත් සියළුම දෙනා පාසැල් ගියේ කිරිඔරුව විද්‍යාලයටයි .. අපට මීටර් දෙතුන් සීයක ගමනක් වූ එය ඔහුටනම් ගෙයින් එළියට අඩි කිහිපයක් පමණක් වූ ගමනකි. එමෙන්ම පාසැලේ  ආචාර්ය මණ්ඩලයේ පැරණිම සාමාජිකාවක් වූ ඔහුගේ මව සීලවතී ටීචර් නිසා  හේමන්තට ගුරු මණ්ඩලයේ හැමෝගෙම  ආදරය කරුණාව හිමිවිය.. මේ අය අතර අපේ අම්මාගේ නංගී සුදු පුංචී ,කිරිඔරුව ඉස්කෝලේ චිත්‍ර ගුරුවරයා වූ අපේ පොඩි බාප්පා (තාත්තගේ මල්ලී ) වගේම බෙන්හොප් වත්තේ සිට පැමිණි කාන්ති ටීචර් ද වූවාය .

ඒ කාලේ අපේ තාත්තා බණ්ඩාරවෙල අධ්‍යාපන කන්තෝරුවේ වැඩ කළ අතර විදුහල්පතිතුමා , සීලවති ටීචර්  ඇතුළු ගුරු මණ්ඩලයේ සියළුම දෙනා අපේ තාත්තාගේද ලඟම හිතවතුන් වූහ  .

ටික කලක් ගතවෙද්දී ගමේ ඉස්කෝලේ ගිය බොහෝ දෙනෙක් නගරයේ පාසැල් වලට යවන්නට ඔවුන්ගේ දෙමව්පියෝ තීරණය කළහ . විශේෂයෙන් රජයේ සේවකයින් වූ බොහෝදෙනෙක් ඔවුන්ගේ දරු දැරියන් බණ්ඩාරවෙල නගරයේ පාසැල් වලට ඇතුල් කළහ . ඒ අනුව මාත් අය්යාත් වගේම හේමන්ත ත් අපේ බාප්පාගේ ලොකු පුතා කමල් සහ තවත් කොල්ලො කුරුට්ටෝ රාශියක් නගරයේ පාසැල් වලට යන්නට පටන් ගත්හ.. 

ඒ දවස්වල පාසැල් බස් රථයේ අපිත් එක්ක ගමන් කළ පිරිසට හේමන්තත් ඔහුගේ ගෙදරම නැවතී සිටි කැළුම් සහ අපේ කමල් මල්ලී ඇතුළු බොහෝ පිරිසක් එකතු වූහ.. උදේ පාසැල් යන ගමනෙදිත් පාසැල් ඇරී නිවසට එන ගමනේදිත් මේ හැමෝම එක පොදියට පාරේ ගමන් කලේ එක එක විහිළු තහළු කරමින් මෙන්ම යම් යම් කෙළි කවට කම් කරමින් වීම විශේෂයකි.. 

නිවෙස් වලට පැමිණ ටික වෙලාවකින් අපි හැමෝම එකතුවන්නේ තෙළිහාවැව  පිට්ටනියටයි . ඒ පිළ් දෙකකට බෙදී ක්‍රිකට් ගහන්න සහ තම තම කණ්ඩායම් වල හැකියාවන් අනෙකුත් කොල්ලන්ට පෙන්නුම් කරන්නටයි.. ඒ කාලේ හේමන්ත ප්‍රසිද්ධ මළල ක්‍රීඩකයෙක් නොවූවත් පසුකාලීනව ඔහු දක්ෂ කෙටි දුර ධාවන ක්‍රීඩකයෙකු වූයේ   උදේ හවස බණ්ඩාරවෙල නගරසභා පිටියේ කළ පුහුණුවීම් වල ප්‍රතිඵලයක් ලෙසයි.. සවස් භාගයේ තෙළිහාවැවේ  කළ ක්‍රිකට් තරඟ වල හේමන්ත කැපී පෙනුණේ දක්ෂම පන්දු යවන්නා ලෙසත් සමහර අවස්ථා වල දක්ෂ පිතිකරුවෙකු ලෙසත්ය .

කමල් , කැළුම් සහ හේමන්ත එක පිළකත්  අපේ අය්යා මම සහ විළියොං මාමලා උපනන්ද ඇතුලු පිරිස අනික් පිළටත් බෙදීයාම ඒකාලේ සාමාන්‍ය සිරිතයි .. වරක් හේමන්ත විසින් තබා තිබූ තෙලිහාවැව පිට්ටනියේ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අපේ අය්යා විසින් බිඳ හෙලනු ලැබුවේ දිගින් දිගටම එල්ල කළ හතරේ හයේ පහරවල් වලට පිංසිදුවන්නටයි . එදානම් ප්‍රතිවිරුද්ධ පිළේ නායකයා වූ හේමන්ත එතරම් සතුටු වූයේ නැති දවසකි.  

තවත් වසර කිහිපයක් ගතවෙද්දී හේමන්ත තම අවධානය මළල ක්‍රීඩා වෙනුවෙන්ම යොදවන්නට පටන්ගත්තේ ඒ කාලේ බණ්ඩාරවෙලින් බිහිවූ සාෆ් මිටර් සියයේ සූරයා හේමලාල් ප්‍රියංකර ( මල්වත්තේ හේමලාල් අය්යා ) අනුගමනය කරමිනි. අපේ ඉස්කෝලේ ක්‍රීඩා භාර ගුරුවරයා වූ ජයතිස්ස සර් යටතේ ඒදවස්වල පුහුණුවීම කළ පිරිසට හේමලාල් අය්යා , හේමන්ත , හීල් ඔයේ අශෝක සේනාරත්න , අමුණුදෝවේ ගාමිණි රත්නසිරි අය්යා ඇතුළු සාහෙන පිරිසක් වූහ .  

ඒ කාලේ අපි මොනිටර් පොත් දෙකතුනක් අතින් එල්ලා ගෙන ඉස්කෝලේ යද්දී හේමන්ත  යන්නේ අඩිඩාස් බෑග් එකේ ක්‍රීඩා ඇඳුම් ආදිය දාගෙන නියම ක්‍රීඩකයෙකුගේ විළාශයෙනි .. 

උසස්පෙළ කාලය වෙද්දී ( හේමන්ත කලේ  ගණකාධිකරණ විශයන් බවයි මගේ හැඟීම )  හේමන්ත ලා සහ අපි දුරස්ථ වූ අතර . ඔහු අපිට නැවත හමුවන්නේ මුහුණුපොතේ මිතුරෙක් ලෙස මීට වසර ගණනාවකට පෙරයි .. ඒ වනවිට අප ලංකාවෙන් පිටත් වී ගොස් වසර ගණනාවක් වන අතර හේමන්තද    කොළඹට ආසන්න ප්‍රදේශයක පෞද්ගලික බැංකුවක කළමනාකරුවෙකු ලෙස සේවය කළේය .. 

මුහුණු පොතේ හැසිරීමෙන් අපි දෙදෙනාම එක සමාන වූයෙමු .. හේමන්ත  තම  ශාරිරික පෙණුම ගැන බොහෝ උනන්දු වූ අතර ඔහු ඇත්තටම හින්දි  සිනමාවේ දැකිය හැකි නළුවෙකු මෙන් පෙණුනු වාර අනන්තය .. "බොරු කියන්නේ මොකටද මමත් ශාරීරික පෙණුම ගැන සෑහෙන්න උනන්දුයි තමයි .. එකම වෙනස මම නළුවෙක් වගේ පෙණුනොත් ඉතින් දකුණු ඉන්දියානු සිනමාවේ කෙනෙක් වගේ  තමයි ..."

අපි දෙන්නාම තාත්තා පුතාලාගේ චායාරූප එකට දමමින්  පුතා තමන්ගේ හොඳම යාළුවා ලෙස සැලකූ තාත්තලා දෙදෙනෙකි .. අපේ මුහුණුපොතේ හිතවතුන් අප බලන්නට මෙන්ම අපේ පුතාලා බලන්නට මුහුණු පොත පරිහරණය කළ බව නොරහසකි .. වරක් ඔහු පළකල චායාරූපයක් යටින් මම  මෙසේ ලියා තැබුවෙමි ...  " ආ මේ අපේ අම්මියා නේ? " ඔහු එයට සිනාසුණා මිස   තරහක් ඇතිවූ බවක් පෙන්වූයේ නැත ...

මේ ආකාරයට හෝඩියේ දෙකේ පංතිවල සිටම යාළුවන් වූ අපි මුහුණුපොත හරහා ඉතාම සමීප මිතුරන් වූයෙමු .. එහෙත් අවාසනාවකට ඒ මිත්‍රත්වය හදිසියේ අවසන් කරමින් හේමන්ත ඔහුගේ සමීපතම හිතවතා වූ ඔහුගේ පුතා තුල්නිත් " හේමන්තගේ භාෂාවෙන්තුල්ලා " සමඟ හල්දුම්මුල්ල පාළම්දෙක අසලදී වේළි ඔයේ ජළ පහරේ සැඟවී ගියේය .. එය මා පමණක් නොව අපේ පවුළ්වල සියළු දෙනා බලවත් ලෙස ශෝකයට පත් කල සිදුවීමකි.. 



දාසයවෙනිදා හේමන්තගේ සහ ඔහුගේ දයාබර පුත් තුල්නිත් ගේ නිසල දේහයන් වේළිඔයේ ගල්කුළු අතරින් සොයාගන්නා විටත් ඔවුන් දෙදෙනා  එකිනෙකා තදින් අල්ලා ගෙන එකටම සිටි බව ඇසින් දුටු සාක්ෂි කරුවෝ පවසා තිබිණි.... 

අපේ බාල කාලයේ නොමියෙන මතක රැසකුත් , මෑත කාලයේ ඒ හා සමාන මතක රැසකුත් ඉතිරි කර  අපෙන් සමුගන්නා හේමන්තටත් ඔහුගේ ආදරණීය  පුතනුවන් වූ තුල්නිත් ටත් නිවන් සැප ලැබේවායි පතමු 





Friday, 9 April 2021

බිබිලේ බාප්පා


 


අපේ බිබිලේ බාප්පා (අම්මාගේ මද්දුම නංගීගේ මහත්තයා ) ගැන කියන්නට කතා බොහෝමයක් තිබේ.. වෘත්තියෙන් ගුරුවරයෙක් වූ ඔහු බිබිල ප්රදේශයට එන්නේ 1970 ගණන්වල මුල්කාලයේය. එකල ජනශූන්ය පළාතක් වූ බිබිල නගරයට තරමක් දුරින් පිහිටි විශාල ඉඩමක් (ඇත්තෙන්ම කැලෑවක් ) තම නිවහන කරගන්නා ඔහු ඉන් කිලෝමීටර් ගණනාවක් දුරින් පිහිටි මො/ඉළුකාපතන කණිෂ්ඨ විද්යාලයේ උපගුරුවරයෙක් ලෙස වැඩට ගියේ බයිසිකලයෙනි.
උදේ පාන්දරින් නැඟිට පාසැලට යන්නට පෙරත් පාසැළ අවසන් වී නිවසට ආවෙලේ සිට රෑ හත අට වෙනකනුත් නිවස අසළ ගෙවත්තේත් ඊට මඳ දුරකින් පිහිටි ඒ ඉඩමේම අනික් කෙළවරේ ඔහුවිසින්ම අස්වද්දන්නට යෙදුනු කුඹුරේත් වැඩකරන්නට පුරුදු වී සිටි ඔහු කම්මැළි කම කුමක්දැයි වත් දන්නා කෙනෙක් නොවන බව මගේ හැඟීමයි.
අසූවේ මුල්භාගය වගේ වන විට කුඩා දියණියන් තිදෙනෙකු ගේ පියා බවට පත්වූ ඔහු නොසෑහෙන්න මහන්සි වී වැඩකළේ ඒ දියණියන් වෙනුවෙන් සුරක්ෂිත නිවහනක් , යහපත් අනාගතයක් ගොඩ නැඟීමේ අරමුණ පෙරදැරි කරගෙන යැයි මට සිතේ.
තමන් ගෙවත්තේ වගාකළ පොල් , තැඹිළි දෙහි, දොඩම් , අළු කෙසෙල් ආදියත්, කුඹුරෙන් ගත් වී අස්වැන්න කොටා සරිකර ගත් හාල් වලින් පංගුවකුත් අම්මලාගේ පවුළේ හැමෝටම වගේම අපිටත් අරගෙන සිංහල අවුරුද්දට අපේ ගෙවල් වල එන බිබිලේ බාප්පා මේ මාසයේ සිහිවෙන්නට විශේෂ හේතුවක් තිබේ.
1984 අවුරුද්දේ තමන්ගේ වත්තේ බව භෝග වලින් නෙලාගත් අස්වැන්න ලොරියක පටවාගෙන කොළඹ යන්නට ඔහුතීරණය කිරීමත් (බිබිලේ පොළේ ඒවා විකුණනවාට වඩා වැඩි ලාභයක් කෙළින්ම කොළඹ ගොස් විකීණීමෙන් ලාභාගන්නට සිතා), ඒ ලාභයෙන් එතෙක් අත්තිවාරමට පමණක් සීමාවී තිබූ නිවස ගොඩ නැඟීමට සැලසුම් කර තිබීමත් ආදී බාප්පාගේම හිතේ තිබ්බ සිතුවිළි වල ප්රතිඵලයක් ලෙස සිදු වූ අවාසනාවන්ත සිද්ධියක් සිදුවන්නේ 1984 අප්රේල් මාසයේදී වීමයි.
ඒ අවසනාවන්ත දවස උදාවන්නේ 1984 අප්රේල් තිස්වෙනිදිනයි . මේ කියන දවසේ අපේ බිබිලේ බාප්පා තමන්ගේ හොඳම යාළුවාගේ ලොරියේ දෙහි , දොඩම් ,පොල් ,කෙසෙල් ආදිය ( තමන්ගේ වත්තේ අස්වැන්න ) පුරවාගෙන දහ අට වංගුව හරියෙන් යද්දී හොඳම යාළුවා අතින් ලොරිය පෙරළෙනවා . ඒ පෙරලෙන්නේ බාප්පා ගමන් කළ පැත්තට අනතුරින් බාප්පත් ලොරියේ පිටිපස්සේ ගිය ගෝලයත් ( ඔහු දෙහි මිය යන්නේ දොඩම් , දෙහි ගෝනි වලට යටවෙලා ) මිය යනවා .. සිද්ධිය වන විට ලොකු නංගිට අවුරුදු නවයයි .. ඒ සිද්ධිය තදින්ම බලපෑවේ එයාට . පස්සේ ලොකු නංගිලා දෙන්නා අපේගෙදර ඉඳන් ඉස්කෝලේ යන්න එක්කං එනවා .. එක එක හැල හැප්පීම් මැද ගලාගිය ඔවුන්ගේ ජීවිත දැන් සෑහෙන දියුණු වෙලා . තුන් දෙනාම රජයේ රැකියා වල . ලොකු නංගී තාත්තාවගේම ගුරු වෘත්තියට ගිහින් අනික් දෙන්නම හෙදසොයුරියන් ... මේ මෑතකදි ලොකු නංගී මට ෆේස්බුක් හරහා කතාකරලා එයා වැඩ කරන ඉස්කෝලේ ( බිබිලේ මො/සිරිධම්මපාල විද්යාලයේ) පාසැල් උපකරණ ගන්න බැරි ළමුන් පිරිසකට ඒවා ගන්න සහය වෙන්න කියලා අපෙන් ඉල්ලුවා . බාප්පා අපෙන් වෙන්වෙලා අවුරුදු විසිහතක් වෙන දවසේ ඔහුව අනුස්මරණය කරලා පාසැළේ ළමුන්ට පොත්පත් , සපත්තු ආදී උපකරණ පරිත්යාග කරන වැඩක් කරන්න අපි කතාවුණා .

Sunday, 7 March 2021

අපි හැමෝම ෆේල්

 



කෙනෙක් ෆේල් හෙවත් අසමත් කියලා කියනකොට ඒ විභාගවලින් අසමත්වීම හෝ උපාධියක නොගැනීම , ඉංග්රීසි වැනි ජාත්යන්තර භාෂාවක් නොදැනීම වගේ දෙයක් ගැන කියනවා වත්දෝ කියලා හිතෙන්න පුළුවන් .. 

ඒත් අසමත් යන්නේ අර්ථය ඒකම නෙවෙයි .. එක් එක් අය අසමත් යැයි අනෙක් අය හඳුනාගන්නේ ඔහු හෝ ඇය ඉටු කරාවී යැයි අනෙකා හිතාගෙන සිටින දේවල් කිසිවක් සිදු නොවෙන විටයි . ඒවගේම ඒ පුද්ගලයා පෞද්ගලිකව ගන්නා උපාධි ඩිප්ලෝමා ,සහතික ගාන කොතරම් වැඩිවුණත් එයි සමාජයට අබමල් රොණක වත් වැඩක් නොවන්නේ නම් ( තම පවුළ , තමන් වටේ ඉන්න මිනිස්සු , තම ගම , අවසානයේ තම රට හිටපු තැනින් ඉහළට ඔසවන්නට ඔහුට හෝ ඇයට බැරිනම් ) එයා ෆේල් තමයි . 

ඒ අතින් ගත්තම .. අපේ රටේ ඉහළ සිට පහළට ගත්තම සියළු දෙනාම ෆේල් තමයි .. වෙන එකක් තියා මේ කියන මම පවා තරමකට ෆේල් කියලා හිතෙන වෙලාවල් එනවා අපිටත් ඔය ආශ්රය කරන මිනිස්සු /ගැහැණු ගතානුගතිකත්වයෙන් වෙනස් කරන්න බැරිවෙලාවල් එනවා කියලා දැනෙනකොට

Friday, 5 February 2021

අපේ කාලයේ ගණිතඥයා ලලිත් සර්








 1980 ගණන් වල අප සිටියේ  බණ්ඩාරවෙල මහවිද්‍යාලයේ  ද්විතීයික පංතිවලයි. එවකට බණ්ඩාරවෙල කණිස්ඨ විද්‍යාලයෙන්  (දැන් ධර්මාශෝක විද්‍යාලය ) පහ ශ්‍රේණිය දක්වා ඉගෙන ගෙන ආ කොල්ලෝ ගැංසියක්  ඒ පංතිවල ප්‍රමුඛ චරිතවුණා . මම , සාලිය , කටුගහ , වීරවන්නි ඇතුළු පිරිසක් පහේ ශිෂ්‍යත්වයෙන් සමත්ව මහවිද්‍යාලයට ගිය අතර අපත් සමඟ කණ්ෂ්ඨයේ සිටි බොහෝ පිරිසක් මහා විද්‍යලයට ඇතුළ් වුණේ ඒ සඳහා තිබූ ඇතුළ් වීමේ පරීක්ෂණයකට (තවත් විභාගයක්)  සහභාගී වීමෙන් අන්තුරුවයි. අපි හයේ , හතේ පංතිවල ඉද්දී අපට ගණිතය ඉගැන්වූයේ කාන්ති ටීචර් (අපේ චන්දලා අම්මා ) සහ ප්‍රෙඩී සිල්වා ලෙස අපි හැඳින්වූ රත්නායක සර් යන දෙදෙනායි .

හයේ දී ඉගෙනීමට විශාල උනන්දුවක් දැක්වූ පිරිසක් ලෙස එකට සිටි සාලිය , කට්ටා , වීරවන්නි ඇතුළු පිරිසෙන් විශේෂයෙන් සාලිය කැඩී ගියේ අපේ අටේ පංතියට යන කාලයේදී. ඒ වෙනකොට සාලියට උපුල් ලා දෙන්නෙක් එකතු වී සිටියා මතකයි ඒ හයේ සිටම අපත් සමඟ එකට සිටි උපුල් රුවන් කෝණාරත් , අටේ පංතියට දියතලාවේ  ජනානන්දයෙන් පැමිණි උපුල් සිරිවර්ධනත්ය . 

මේ වෙනකොට එතෙක් සිටි සියළු ගණිත ගුරුවරුන්ට අභියෝග කරමින් තමා සිටි පංතියට වඩා පංති දෙක තුනක් ඉහළ පංතිවල ගණන් හැදූ ශිෂ්‍යයෙක් වන මලීන් ප්‍රේමරත්න ( දැන් ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර මොනෑෂ් විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ මහාචාර්යවරයෙක්) අපේ පංතියට ඇවිල්ලා . එතෙක් "ගණන් " කාරයන් වූ  කට්ටලා , සාලියලා ඇතුළු අපි හැමෝටම අභියෝගයකුත් බවට පත්වෙලා.

මීට සමකාලීන කාලයේ බණ්ඩාරවෙල ප්‍රසිද්ධම ගණිත ගුරුවරයෙකු වූ ලලිත් සර් බණ්ඩාරවෙල ලංකා බැංකුවේ උඩ තට්ටුවේ ගණිත පංතියක් කලා මතකයි . ඔහු ඒ වෙනකොට හිටියේ බණ්ඩාරවෙල ධර්මාශෝක ( කළින් කණිස්ඨ ) විද්‍යාලයේ ගුරුවරයෙක් විදිහට . ලලිත් සර්ගේ පංතියට මා  සමඟම සිටි තවත් හිතවතෙක් වූ සාගර , තෙන්නකෝන් ඇතුළු පිරිසක් යන්න පටන්ගත්තේ මේ ප්‍රේමරත්න හරහා ඇතිවුණු ගණිත ප්‍රබෝධයත් එක්කමයි. මමත් දවසක් දෙකක් ඒ පංතියට ගියා වුණත් පසුකාලීනව අපේ ගමේ සිටි තවත් දක්ෂ ගණිත ගුරුවරයෙක් වූ මළිත්තේ විජේරත්න ගුරුතුමා ( අපේතාත්තගේ අය්යගේ පුතා) නිවසේම කළ පංතිය ගිය නිසා මම ලලිත්සර් ගේ පංතිය නතර කරා. 

අපි සාගරලා එහෙම ගණිතය වෙනුවෙන් මහන්සිවෙද්දී ඔය නම් කිවූ අයගෙන් සමහරු ඩබ්ලිව් ඕ ටී ප්‍රනාන්දුගේ ගණිත පොත් එහෙම ගෙනැත් වැඩ පටන්ගත්තා. එවැනි එක් අයෙකුට ( නම දන්නෝ දනිති ) "පයිතගරස්" කියලා නමකුත් පටබැඳුනා .

අටේ පංතිය තමයි අපිත් එක්ක සිටි දෙවර්ගයේම ගණන් කාරයින් එළියට බැස්ස කාලේ. ඔය කාලේම පල්ලැහැ ඉස්කෝලෙ හිටපු ලලිත් සර් අපේ ඉස්කෝලෙට ආවා.  අපේ ගමේ සිටි තවත් ගණිත ගුරුවරයෙකු වූ රාජපක්ෂ සර් ( අපේ ගමේ සුදු බණ්ඩාරේ මාමා /නිළමේ මාමා ) , මෙයා අපේ අම්මගේ පැත්තෙන් අපේ ලඟම නෑදෑයෙක් අපේ ඉස්කෝලට ආවා ලළිත් සර් ඇවිත් කාලෙකට පස්සේ , මට මතක විදිහට.

මලීන් බොහෝ ගණිත ගුරුවරුන්ට අභියෝග එල්ලකළත් ( විශේෂයෙන් කාන්ති ටීචර්ට සහ අටේ නමයේ පංතිවලත් අප සිටි පංති කොටසට  ගණන් ඉගැන්වූ  රත්නායක සර්ට ) අටේ පංතියේදී සාලියලා , උපුල් ලා ඇතූළු පිරිසට ගණන් ඉගැන්වූ ලලිත් සර්ට එතරම් අභියෝග කරන්න ගියේ නෑ. 

ඒ කාලේ ලලිත් සර් ගැන මගේ මතකය නම් ආරෝහ පරිණාහ දේහ ලක්ෂණ ඇති පුද්ගලයෙක් මෙන්ම කොල්ලොන්ටත්  ටිකක් සැර වැර  කරන කෙනෙක්..  එක දවසක් අපි කට්ටලා ඇතුළු කට්ටිය පාසැල් නිමවී ගෙදර යන ඇටම්පිටිය බස් එකට  පස්සෙන් දුවගෙන ඇවිත් ෆුට්බෝඩ් එකේ එල්ලෙන්න ගිය ලලිත් සර් බස් එකෙන් වැටුණා මට මතකයි . 

ඒ වගේම සර් කොච්චර සැර වුණත් අටේ පංතියේ සිටි සර්ගේ "අනික් පැත්තෙන් ගණන් කාර "ගෝලයෝ (සාළිය සහ උපුල් යුගලය ) 

"ඌවේ  ශ්‍රී ගණිත ඥාණ ලලිත් මිස්ට තෙන..... යනුවෙන් ආරම්භ වන කවියක් එහෙම හදලා තිබ්බා. මම හිතන විදිහට කවියේ රචකයා සාළිය නැත්නම් උපුල් රුවන් කෝණාර.

ඔය කාලේ තමයි සාළියලා කට්ටිය 

" බැහැපං දේවා මනුස්සයෙක් එනවා -මං හිතන්නේ අරූ වගේ ,

 ආ ඕකා මොන සොත්තියෙක්ද බං ? මම බෲස් ගාලා බැහැලා එන්නම් " 

කියමින් මංගල සූත්‍රයේ 

 "බහූ දේවා මනුස්සාච - මංගලානී අචින්තයුං , 

ආකංක මාන සොත්ථානං - භෲහි  මංගල මුත්තමං"  

යන කොටසට නව අර්ථකථන දුන්නේ

මේ කතා ටික ඔක්කොම කිව්වේ ලලිත් තෙන්නකෝන්  හෙවත් ඒ කාලේ "ඌවේ ශ්‍රී ගණිත ඥාණ" නමින් අපේම හිතවතුන් හැඳින්වූ දක්ෂ ගණිත ගුරුතුමා මේ දවස්වල පත්වෙලා ඉන්න තත්ත්වය ගැන කියන්න ප්‍රවිශ්ඨයක් විදිහට. 

අපේ ඉස්කෝලේ හිටපු ලලිත් සර්  පසුගිය කාලේ ජීවත්වුණේ කොළඹට ආසන්න ප්‍රදේශයක . බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ කොළඹ ආදි ශිෂ්‍ය සංගමයේ වැඩ කටයුතු හැම එකකටම ක්‍රියාකාරීව සහභාගී වෙමින්. කොළඹ සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වන වන අපේ උපුල් සිරිවර්ධන(අටේ පංතියෙදි ලලිත් සර් මුළින්ම පිළිගත්තු කට්ටිය )  එහෙම ලලිත් සර් එක්ක ලඟින්ම වැඩ කරමින් හිටියේ..  

මෑතකදි  කොළඹ පැත්තේ අපේ ආදි සිසුන්ගෙන්  ආපු පණිවිඩ කිහිපයකින් ලලිත් සර් ගැන ඉතා කණගාටුදායක ආරංචියක් තමයි ආවේ . ඒ ලලිත් සර් බරපතළ ලෙස රෝගාතුර වී ඇතිබවත් දැනට ඒ සඳහා කෙරෙන ප්‍රතිකාර වෙනුවෙන් ලොකු වියදමක් යන බවත් ඉන් කියැවුණා. ඒ සඳහා සහය වෙන්න ඔවුන් ආරම්භ කල අරමුදලකට අපේ ආදි සිසුසිසුවියන්ගේ සහය ලබාදෙන ලෙසත් ඉල්ලීම් කෙරුණා.



හිතවතුනි දැන් ලලිත් සර්ට ඔබේ අපේ සහයෝගය අවශ්‍යම මොහොතක් . මේ ලියැවිල්ල අවසානයේ තිබෙන ගිණුම් අංක හරහා ඔබේ සහය ඒ වෙනුවෙන් දෙන්න පුළුවන්.. අපි හැකි පමණින් අපේ පාසැලේ හිටපු දක්ෂම ගණිත ගුරුවරයෙකු වූ ලලිත් සර්ට සහය වෙමු .

ඔබ අපේ උපුල් සිරිවර්ධන ලා කරන කොළඹ එකතුවට  (*බණ්ඩාරවෙල ම.ම.වි විද්යාර්ථීන් ගේ සංගමය-කොළඹ.*

) එකතුවන්නේ නම්  මේ ගිණුමට මුදල් බැර කරන්න 

𝐀𝐂𝐂𝐎𝐔𝐍𝐓 𝐍𝐎. :0218-6000-0129

BANK : 𝐒𝐀𝐌𝐏𝐀𝐓𝐇 𝐁𝐀𝐍𝐊 𝐒𝐔𝐏𝐄𝐑 𝐁𝐑𝐀𝐍𝐂𝐇 𝐎𝐅 𝐁𝐎𝐑𝐄𝐋𝐋𝐀

𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐂𝐈𝐀𝐑𝐘 :

𝐀𝐋𝐔𝐌𝐍𝐈 𝐀𝐒𝐒𝐎𝐂𝐈𝐀𝐓𝐈𝐎𝐍 𝐎𝐅 𝐁𝐀𝐍𝐃𝐀𝐑𝐀𝐖𝐄𝐋𝐀 𝐌𝐀𝐃𝐘𝐀 𝐌𝐀𝐇𝐀 𝐕𝐈𝐃𝐘𝐀𝐋𝐀𝐘𝐀 𝐂𝐎𝐋𝐎𝐌𝐁𝐎)

බණ්ඩාරවෙල ම.මවි 1989 උසස්පෙළ කණ්ඩායම තවත් ගිණුමක් දුන්නා කැමතිනම් ඒකට සහය වෙන්නත් පුළුවන් . දෙකෙම්ම කෙරෙන්නේ ලලිත් සර්ගේ ප්‍රතිකාර වෙනුවෙන් සහය වෙන එකයි

ACC No :100270719854

BANK : National Savings Bank , Homagama

ACC NAME: BMMV 1989 batch

Monday, 1 February 2021

බලහරුවේ ඉංග්‍රීසි ටීචර් සහ චොක්ලට්



මා ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස  රජයේ සේවයට එක්වන්නේ 1991-92 කාලයේදීය . ඒ විශ්ව විද්‍යාලයට යන්නට උසස්පෙළ සමත්වී වසර  තුනක් , හතරක් බලාගෙන ඉන්නට සිදුවූ වකවානුවකි. මා මෙන්ම මගේ පංතියේ සිටි බොහෝ මිතුරු මිතුරියන් රජයේ රැකියාවලට ඉල්ලුම් කල හැකි තරඟ විභාග වලට ඉදිරිපත් වූයේ එසේ නිකං කල්ගත කරන අවුරුදු තුනේ කිසියම් ආදායමක් උපයාගන්නා බලාපොරොත්තුවෙනි.  මේ වනවිට ආබෲ සර්ගේ ඉංග්‍රීසි පංතියේ යාව ජීව සාමාජිකයින් වූ බොහෝ දෙනෙක් ඩෙලික් එක්සෑම් එකට පෙනී සිටියේ ඒ තුලින් ඌව පළාතේ දුෂ්කර පාසැල් වල ඉංග්‍රීසි ගුරුපත්වීම ලබාගන්නට අවස්ථාව සැලසී තිබුණ නිසයි.

ඩෙලික් විභාගයෙන් ඉහළ ලකුණු ගන්නා අය  සති දෙකක ප්‍රී සර්විස් එකකින් පසු කෙලින්ම ගුරුවරුන් බවට පත්කල (ඩිරෙක්ට් පත්වීම්) අතර තරමක් අඩු ලකුණු ගත් අයට මාස තුනක  දිගුකාලීන පුහුණුවක් දී ගුරුපත්වීම්දෙනු ලැබීය .

 බණ්ඩාරවෙල  ප්‍රදේශයේ මේ මාස තුනේ ඩෙලික් කෝස් එක පැවැත්වුණේ  අපේ ඉස්කෝලෙමයි . හැමදාම හවස දෙකට (පාසැල් වෙලාවෙන් පසු ) ආරම්භවෙන මේ   ඉංග්‍රීසි ගුරු පුහුණුව සතියේ දවස් පහේම තිබුණු බවයි මට මතක.  මේකට බණ්ඩාරවෙලින් ඩෙලික් තේරුණ අපේ ඉස්කෝලේ අය වගේම නුවර , කොළඹ , ගාල්ල ආදි ප්‍රදේශවලින් විභාගයට පෙනී ඉඳලා ඌව පළාතේ ඉස්කෝලවලට අනුයුක්ත කරන්න තෝරාගත් අයත් එනවා ඒ දවස්වල

කොහොමහරි 1991 /92 තිබ්බ ඩෙලික් විභාගෙට අපිත් එක්ක ආබෲ සර්ගේ ක්ලාස් ගිය කීපදෙනෙක්ම පෙනී හිටියා ඒ අතරින් මම , තාරක සහ ලංකා මල්ලී යන තුන්දෙනා ඩෙලික් පුහුණුවෙන් තොරව ඩිරෙක්ට් පත්වීම් ලබන්නට සුදුසුකම් සපුරලා තිබ්බා .

මටයි ලංකාටයි ප්‍රී සර්විස් තිබුණේ එකට , ඒ සතිදෙක අපි හිටියේ හාළිඇළ ගුරු විද්‍යාලයේ ( මහා විද්‍යාලයට එහා පැත්තේ තිබුණු ගොඩනැඟිල්ලේ ) ඒක ඩෙලික් කෝස් එකවගේ දිනපතා ගෙදර ඉඳන් එන පාඨමාළාවක් නෙවෙයි නේවාසික පාඨමාළාවක් . අපි රෑ නවතැන්ගත්තෙත් ඒ  ගුරුවිද්‍යාලයේමයි. 

බණ්ඩාරවෙලින් ආපු අපිදෙන්නට අමතරව  කොළඹ, නුවර , ගාල්ල ආදී අනික් පළාත්වලින් ඩිරෙක්ට් පත්වීම් ලබන තවත් තරුණ තරුණියන් 30 ක පමණ පිරිසක් අපිත් එක්ක පුහුණුවට හිටියා .. 

අපි ඩෙලික් විභාගේ පාස්වෙලා ආවට ඉංග්‍රීසි කතා කරලා ලොකු හුරුවක් තිබුණේ නෑ . ඒ නිසා තමයි අපිට ඩිරෙක්ට් ගුරුපත්වීම් හම්බවෙලා ඒ බව ආබෲ සර්ට කියන්න ගියාම එයා අපිට කිව්වේ  " බලන්න, ඔයාලා දැන් ඉංග්‍රීසි ගුරුවරු , සබකෝළය අතහැරලා ඉංග්‍රීස් කතාකරන්න පටන්ගන්න. මම හැමදාම කියනවා වගේ මාත්තෙක්ක ඉංග්‍රීසියෙන්ම කතා කරන්න " කියලා 

අපේ ප්‍රී සර්විස් එකේ හිටපු අයගෙන්මීගමුවේ ආවේ මරියා කන්‍යාරාමයෙන් ආපු චූටි ටීචර්ලාට තමයි හොඳට ඉංග්‍රීසි කතාකරන්න පුළුවන් . හැබැයි එයාලා අපිවගේ කැම්පස් තේරිලා ඉන්න අතරේ තාවකාලිකව ගුරුසේවයට ආපු අය නෙවෙයි දිගටම ගුරුවරු විදිහට වැඩ කරන්න ආපු අය 

උදේපාන්දර හාළිඇල මහාවිද්‍යාලයේ ක්‍රීඩා පිටියට ගිහින් ශරීර සුවතා කරලා එන අපිට උදේ ආහාරය දෙනවා . ඊට පස්සේ අපි එක්කෙනා ලව්වා අනික් ගුරුසිසුවියන්ට උගන්වන වැඩසටහන් කරනවා. 

ඔන්න මගේ වෙලාව ආවා උගන්වන්න . මට මතක හැටියට තිබ්බේ හතේ හෝ අටේ පංතියේ ඉන්ග්‍රීසි පොතෙන් පාඩමක් කරන්න. මම ඒකේ තිබ්බ වචන ලිස්ට් එක කළු ලෑල්ලේ ලියළා අනික් ගුරුසිසුන් ලවා කියවනවා මම කිව්වට පස්සේ  ටේබල් , බුක් වගේ දේවල් කියවලා එකපාරම  "Chocolate" කියන වචනේ කියන්න තිබුණා  මම "චොකොලට්" කියලා කියනවත් එක්කම ආවේ මරියා එකෙන් ආපු චූටි ටීචර්ට බකස් ගාලා හිනාගියා .මම හිතන්නේ "චොක්ලට්" නොකියා "චොකොලට්" කියලා කියපු නිසා වෙන්න ඕනේ . 



එදා හවස වැඩ ඉවරවෙලා කට්ටිය කය්යක් ගහගෙන ඉන්නකොට  එක එක්කෙනා යන ඉස්කෝල ගැන කතා කරනවා . මම තේරිලා තිබුණේ වෙහෙරයාය  කණිස්ටෙට  , බණ්ඩාරවෙල ඉඳන් යනකොට වැල්ලවායට කිට්ටු තැනකට. ආවේ මරියා එකේ ටීචර් තේරිලා තිබුණේ බලහරුව විද්‍යාලයට . ඒක කුඩාඔය , තණමල්විළ අතර තිබෙන ඉස්කෝලයක්. ඒ දවස් වල මේ ඉස්කෝල දෙකටම ජල පහසුකම් , වැසිකිළි පහසුකම් එහෙම තිබුණේ නෑ.  

මම නම් අවුරුද්දක් වෙහෙරයායේ ඉඳලා වෛද්‍ය විද්‍යාලයට ගියා . අර ටීචර් දිගටම ගුරු වෘත්තියේ ඉන්න ඇති  .නමක් ගමක් මොකුත් මතක නෑ .චොක්ලට් කතාව විතරයි මතක  

මට ඔය වගේම වැඩක් වුණා අටේ නවයේ පංතිවල ඉගෙන ගන්න කාලේ. අපි මුල් කාලේ ඉංග්‍රිසි ඉගෙනගත්තේ තනියම . හවසට  ගුවන්විදුළියේ ඉංග්‍රිසි සේවේ අහනවා . ඊටපස්සේ අපිට උගන්වන්න ආපු ආබෲ සර් කිව්වා ඩේලි නිව්ස් පත්තරේ අරන් එඩිටෝරියල් එක කියවන්න ගොඩක් අළුත් වචන ඉගෙනගන්න පුළුවන් කියලා . ඊට පස්සේ මම මාසෙකට සැරයක් දෙසැරයක් ඩේලිනිව්ස් එක ගන්නවා .පත්තරේ සම්පූර්ණයෙන්ම කියවන්න (ඔක්ස්ෆර්ඩ්සහ මළලසේකර ඩික්ෂණරි එක්ක ) මාසයක් විතර යනවනේ. 

ඔන්න දවසක් මම බණ්ඩාරවෙල ජයසිංහ ස්ටෝර්ස් එකට ගිහින්  පත්තරේ ගන්න . "මට ඩේලිනිව්ස් එකක් දෙන්න.." මම මුදලාලිට කිව්වා .එදා හිටියේ කඩේ අයිතිකාරයාමයි 

"What did you say? do you want a daily news or the Island news paper ? which one you want ? " කියලා එයා අහනවා මගෙන් ඉංග්‍රීසියෙන් උත්තර බලා පොරොත්තුවෙන් . මම උත්තර දුන්නේ සිංහලෙන් ."මට ඕනේ ඩේලිනිව්ස් එක" කියලා ඊට පස්සේ එයා කියනවා ළමයෝ ඉංග්‍රීසිපත්තරේ බලනවානම් ඉංග්‍රීසියෙන් කතාකරන්න පුළුවන් වෙන්න එපැයි කියලා  . මම හිනාවෙලා පත්තරේ අරන් යන්න ගියා ,මොකද මම ඒ දවස්වල  තනියෙන්ම මහන්සිවෙලා ඉංග්‍රීසි ඉගෙනගන්න උත්සාහ කල පොඩි කොල්ලෙක් නේ

Tuesday, 26 January 2021

පහසුවෙන් දොස්තර කෙනෙක් වෙන්නේ කොහොමද?

 

අපි කුඩා කාලයේ කිරිඔරුවේ දොස්තර වරු දෙන්නෙක්  හිටි බවයි මතක. එක්කෙනෙකුට ගමේ අය කිව්වේ දත් දොස්තර කියලා ඒ අපේ ආත්තම්මලා ගෙට අල්ලපු ගෙදර හිටපු හීං මාමා . එයා ඒ දවස්වල නැෂනල් එක ගහලා උදේට අපි ඉස්කෝලේ යන බස් එකේම බණ්ඩාරවෙල චීන දත් බඳින ස්ථානයට යනවා . දත් බඳින ස්ථානයේ වැඩ කරපු නිසා තමයි එහාගේ හීං මාමාට ගමේ කට්ටිය දත් දොස්තර කියලා කියන්න ඇත්තේ.. 

අනෙක් දොස්තර  මාමා නම් දත් කෑල්ල නැතිදොස්තර කෙනෙක් .  කිරිඔරුවේ "ජයසේන" මාමා අපි ඉස්කෝලේ යන කාලේ අපේ පාසැල් බස් රථය වූ 314 හෙබරව බස් එකේ තමයි සඳුදාට යන්නේ.. එයා ඒ කාලේ වැඩකරේ මහියංගණය පැත්තේ . ජයසේන මාමගේ නෝනා බණ්ඩාරවෙල රෝහලේ උපස්ථායිකාවක් ඒ දවස්වල . ඒ නැන්දත් අපි ඉස්කෝලේ යන වෙලාවටමයි වැඩට යන්නේ .. ඉතිං ඔය ජයසේන මාමටත් කිරිඔරුවේ කට්ටිය කිව්වේ  " අපේ දොස්තර මහත්තයා" කියලා මොකද අපේ අම්මලා එහෙම ඒ කාලේ කියනවිදිහට මේ ජයසේන මාමා ඊට කලින් දොස්තර මහත්තයෙක් ලඟ ඇටෙන්ඩන් කෙනෙක් විදිහට වැඩ කරලා පස්සේ කාලෙක තවත් ටිකක් දුෂ්කර ගමකට ගිහින් ඩිස්පෙන්සරියක් දාගෙන බෙහෙත් දුන්නලු දොස්තර කෙනෙක් විදිහට .. ඉතිං ඒ නිසා එයත් දොස්තර කෙනෙක් වුණාලු නිකම්ම.. මටත් මතකයි ඒ කාලේ  ජයසේන මාමා කාකි දිගකළිසමක් ඇඳලා ඊට ගැලපෙන සුදු /ලා කහ කමිසයක් ඇඳලා කන්තෝරු බෑග් එකක් එහෙම අරගෙන අපිත් එක්කම හෙබරව බස් එකට නඟිනවා සඳුදා උදේට..බස් එකේ යන කොල්ලෝ ඒ දවස්වල අපිත් එක්ක කතාවෙනවා  " මචං ඔය ජයසේන මාමගේ බෑග් එකේ නළාවක් එහෙමත් තියෙනවළු  ඒ මාමා මහියංගණේ මිනිස්සුන්ට බෙහෙත් දෙනවළු   බං " කියලා . 

පස්සේ කාලෙක අය්යයි මමයි දෙන්නම වෛද්‍ය විද්‍යාලෙට ගියාම තමයි තේරුණේ අපි දොස්තරලා වෙලා තියෙන්නේ ජයසේන මාමලා තෝරාගත්ත පහසුම ක්‍රමේට නෙවෙයි කියලා. ඇයි ඉතිං අවුරුදු පහක්ම  රෑ දවල් නැතිව පාඩම් කර කර මාර ගේමක් දෙන්න වුණානේ දොස්තර කෙනෙක් වෙන්න

මේ දවස්වල නම්  ඊටත් වඩා ලේසියෙන් දොස්තර කෙනෙක් වෙන්න පුළුවන් . මොකක් හරි බෙහෙතක් හොයාගත්තා . රූපවාහිනි නාළිකාවක ඒක පෙන්නුවා .. ඊට පස්සේ   ෆේස්බුක් පේජ් එකක් ඇරියා Dr So and So කියලා.. වැඩේ සරළයි .. 

ජයසේන මාමලා ක්‍රමේටත් වඩා සරළයි සහ පහසුයි