Follow by Email

Friday, 17 May 2019

මහමෝදර බත් අම්මා තම්බි ඇන්ටී


රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය කරාපිටියේ තිබෙද්දි එහි ප්‍රධානම ශිෂ්‍ය නේවාසිකාගාරය ආරම්භ වන්නේ මහමෝදර රෝහල් භූමියේ පිහිටි වෛද්‍යපීඨය මුලින්ම පැවැති ගොඩනැඟිල්ලේ . ඒ එක්දාස් නමසිය අසූ ගණන් වල අග භාගයේ.

අපි එක්දාස් නමසිය අනූ තුනේ කරාපිටියට එන වෙලාවේ ( පළමු වසරේ වෛද්‍ය සිසුන් විදිහට ) මහමෝදර නේවාසිකාගාරය හොඳ පදනමක් ඇති සිසුන් හතලිහක් පණහක් තම තාවකාලික වාසස්ථානය ලෙස තෝරාගෙන තිබුණු තැනක්.

මම මුලින්ම මහමෝදරට එද්දි අපේ වසරේ කිසිකෙනෙක් එහේ හිටියේ නෑ . අපට ඉහළ වසරවල් වල ජේෂ්ඨ සිසුන් රාශියක් තමයි හොස්ටල් එකේ හිටියේ .
පළමුවසරේ නවකවද සමයේම හොස්ටල් එකට ගියනිසා පොඩි පොඩි නවක සංග්‍රහ ලබාදුන්නත් ඉතා ඉක්මණින් මගේ හොස්ටල් ජීවිතය පිළිවෙලක් කරගන්නට සහය වෙන්නට ඔවුන් අමතක කලේ නෑ .

 ඒ අතරින් සුවිශේෂ චරිත කිහිපයක්  වූ බුලත් , සෙට්ටි නන්දේ ඇතුලු  12 වෙනි කණ්ඩායමේ අයත්  පැණියා , ගල්ලන්ගොඩ ඇතුළු 13 වෙනි කණ්ඩායමේ අයත් තමයි මගේ අසල්වාසීන් ලෙස මට හඳුනාගන්නට ලැබුණේ.

මුල් දවස් වල නේවාසිකාගාරයේ අප සිටි අන්තයේ සිටි පියා , කේ බී , නිලාන් ඇතුළු බොහෝ පිරිසක් අපත් සමඟ ආශ්‍රයට වැටුණා. හොස්ටල් එකේ ගතකල මුල්ම දිනවලදී මා හට කෑම ලබාගන්නේ කෙසේද යන්න ගැටළුවක් ව තිබුණා .  ඒ නිසා මම ඒ ගැන අපේ අසල්වාසී හිතවතුන් වූ බුලත් , පැණියා ඇතුළු පිරිසකගෙන් විමසා සිටියා පිළිතුර ලැබුණේ අපේ හිතවත් බුලත් අය්යාගෙන්  " මූණා උඹත් වරෙන් අපිත් එක්ක තම්බි ඇන්ටිලා ගෙදරින් කෑම ගන්න "

ඔහු එසේ පවසා සිටියේ ඒ වෙනකොටත් හොස්ටල් එකේ සිටි වැඩි පිරිසක් තුන්වේලටම කෑම ගත් මහමෝදර රෝහල පිටිපස්සේ පිහිටි මුස්ලිම් ඇන්ටිකෙනෙක් ගේ නිවස ගැනයි. එක්දහස් නවසිය අසූගණන් වල අගභාගයේ සිට 2004 සුනාමියෙන් පසු මහමෝදර හොස්ටල් එක ඉවත්කරන තුරුම අපේ වෛද්‍යශිෂ්‍යන් වැඩි පිරිසකට කෑම දුන්නේ මේ තම්බි ඇන්ටිලා ගෙදරින්.

ඊට අමතරව උපුල් චන්දන නම් ක්‍රිකට් ක්‍රීඩකයාගේ මාමාකෙනෙක් සහ හොස්ටල් එක පිරිසිදු කරන්නාගේ ගෙදරින් ඉතාම සුළු පිරිසක් කෑම ගත්තා . මට මතක හැටියට 13 කණ්ඩායමේ අය සහ තරමක් පොෂ් ගතියක් පෙන්නූ කිහිපදෙනෙක් තමයි මේ දෙන්නාගෙන් කෑම ගත්තේ . බහුතරයක් සිසුන්ගේ ආහාර පාන සැපයීමේ වගකීම දැරුවේ මේ මුස්ලිම් ඇන්ටී සහ ඇගේ පවුල විසින්.

හොස්ටල් එකට එන්නට පෙර මම කෑමගත්තේ කරාපිටිය වෛද්‍ය පීඨය අසල සිටි තරමක නගරං කාරයෙකු වූ හැන්ඩි අය්යාගෙන්.  "උඹලට ඕනෑනම් කෑම  එකක් ගනිල්ලා නත්නම් නිකං ඉඳපල්ලා , මම තමයි කරාපිටියේ චණ්ඩියා " යන ආදර්ශය පාඨයට කෑම විකුණූ හැන්ඩි ගෙන් පසු මේ මුස්ලිම් පවුලේ කෑම ගණුදෙනු කෙසේ වේ දැයි  යන සාධාරණ සැකයක් මා තුල හටගත්තා.

දුර බැහැර පළාත්වලින් පැමිණි අහිංසක ගැමි සිසුන් ලෙස අප දුටු පළාතේ බොහෝ මිනිසුන් අතර හැන්ඩි තවත් එක්කෙනෙක් විතරක් බවද අප වටහාගෙනයි තිබුණේ.

"හරි හරි මම  එහෙන් කෑම ගන්න කැමැතියි කොහොමද ඒ බව මුස්ලිම් ඇන්ටිලාට කියන්නේ ? "
ඇන්ටිත් හැන්ඩියා වගේම කෑම වෙලෙන්දෙක් වෙන්න ඇති යැයි සිතූ මම බුලත් ගෙන් විමසා සිටියා.
"වැඩි විස්තරයක් කරන්න ඕනේ නෑ උඹ අපිත් එක්ක අද රෑ ඇන්ටිලා ගෙදර කෑම කන්න යන්න වරෙන් . එතනදි අපි උඹව ඇන්ටිට අඳුන්වලා දෙන්නම්කෝ. "
.... යකෝ එහෙට ගිහිල්ලත් කෑම කන්න පුළුවන් ද? අපිට ඕන හැටියට බෙදා ගෙන?....... මම කල්පනාවට වැටුණේ අපේ හාදයන්ගේ බඩගින්නේ තරමට එහෙම කෑම දෙන්න ගියොත් මොනවායින් මොනා වෙයිද කියලයි.

මොනවද උඹකල්පනා කරන්නේ. අපි ඇන්ටිලාව මරාගෙන කනවා කියලා හිතුවද?

අපේ බඩපිරෙනකම් විතරයි බං අපි බත් කන්නේ .වැඩිම වුණොත් තුන් හතරපාරක් බත් බෙදාගයි නැද්ද මචං ? බුලත් තමා අසලම සිටි "වන්නකු " දෙසට හැරුණා.

මේ අතර 13 කණ්ඩායමේ බොහෝ දෙනෙක් ඇන්ටිලා ගෙදර කෑම පිරිසිදු නැති බවත් ඊට වඩා මිලෙන් තරමක් වැඩි වුණත් උපුල් චන්දන අංකල් ගේ කෑම හොඳ බවත් කැමති නම් චන්දන අංකල් ගෙන් කෑම ගන්න එක්වෙන ලෙසත් කියා සිටියා.

ඒ වෙනකොට මුස්ලිම් ඇන්ටී බුලත් ලාගෙන් මුලු මාසයටම කෑම සඳහා අය කරේ රුපියල් හයසිය පණහක් වැනි සුළු ගාණක් . චන්දන අංකල් එක කෑම පාර්සලයක් විතරක් දෙන්න ( ඔහු කෑමදුන්නේ දවල්ට පමණය රුපියල් පහළොවක් අයකරනවා.
රුපියල් දහසක් වූ මගේ මහපොළට    ගැලපුණු හොඳම තැන, ඒ වගේම විශේෂයෙන් රාත්‍රියට  බඩකට පුරා කෑමට ඉඩක් ලැබෙන තැන, මහමෝදර මුස්ලිම් ඇන්ටිලා ගෙදරින් කෑම ගන්නට මමත් තීරණය කලා.



ඒ දවස්වල මහමෝදර හොස්ටල් එකේ තිබුණේ අමුතු දිනචර්යාවක්.  හවස හත හතහමාර පමණ වන්විට  බුලත් , ජගත්, පියා ඇතුළු පිරිස මුස්ලිම් ඇන්ටිලා ගෙදර යන්නට ලැහැස්ති වෙනවා. ඒ ෆැකල්ටියේ සිට ආවාට පස්සේ තේ එකකින් එහෙම සප්පායම් වෙලා , බාත් රූම් එකට පැනලා වතුර ටිකක් එහෙම නාගෙන  රාත්‍රී ආහාරයට සූදානමින්

මේ අතරේ බොහෝ සැන්දෑ කාලවල හොස්ටල් එක පැත්තේ කැරකෙන තවත් චරිතයක් තියෙනවා. ඒ තමන්ගේ ඇඟේ අමාරුව යන්න  හොස්ටල් එකේ කොල්ලෝ එක්ක ක්‍රිකට් ගහන්න හෝ වොලිබෝල් ගහන්න එකතුවෙන කෙනෙක් .

අප හොස්ටල් එකට එන්නට බොහෝ  අප හොස්ටල් එකට එන්නට බොහෝ කලකට පෙර එහි සිට ඉවත්ව ගොස් ඒ වනවිටත් වෛද්‍යවරෙයෙක් ලෙස සේවය කල ඔහු තමයි  බෝනා අය්යා.

 හොස්ටල් එකේ සිටි සියළුම දෙනා  බෝනා අය්ය ගැන දන්නවා ඒ ක්‍රිකට ගහන්න , වොලිබෝල් ගහන්න එහෙමත් නැත්නම් ටේබල් ටෙනිස් හරි ගහන්න තමන්ව ඇදලා ගන්න ක්‍රීඩාවටම බර කෙනෙක් හැටියට

බෝනා අය්යා ආපු දවසට හොස්ටල් එකේ ඉන්න පහළ බැච් තුනේ කොල්ලෝ බොහෝ දෙනෙක් ක්‍රිකට ගහන්න හෝ වොලිබෝල් ගහන්න සෙට් වෙනවා.

හොඳටම කරුවල වෙනතෙක් සෙල්ලම් කරන බෝනා ඇතුළු ඔහුගේ ක්‍රීඩා නඩයත් ක්‍රීඩාවෙන් පසු නා පිරිසිදු වී  තම්බි ඇන්ටිලා ගෙදරට  රාත්‍රී කෑමට එක් රොක් වෙන එක සිරිතක්.

ඔන්න එදා හවස හතහමාර විතර වෙද්දී බුලත්ලා කට්ටිය මගේ කාමරේ ලඟට ඇවිත්  සද්දයක් දානවා .

"අඩෝ උඹ අද අපිත් එක්ක එනවා කිව්වා නේද? අපි දැන් යන්න හදන්නේ  තම්බි මරන්න . උඹත් එනවානම් වරෙන් . "

රෑට කෑම කන්න යන්න හිතාගෙන හිටියත් තම්බි මරන්න යන කථාවේ අගක් මුලක් තේරුම් ගත නොහැකි වූ මම

"මොකක්ද බුලත් අය්යා ඒ තම්බි මරණ කතාව ? "

 යැයි ප්‍රශ්නාර්ථයක් මතුකලා.

"ඇයි යකෝ ඕකවත් තේරෙන්නේ නැද්ද ?  අපේ එවුන්  එතන ගිහිල්ලා කන කෑමේ හැටියට තම්බි ඇන්ටිලා ඉතුරුවුණොත් නේ පුදුමේ . අපේ එවුන් එහේ ගිහිල්ලා කෑම කනවා කියන්නේ ඉතින් ඒ මිනිස්සු මරණවා වගේ වැඩක් තමයි බං"

දණි පනි ගා කලිසමක් සහ ටීශර්ට් එකක් දාගත්ත මම බුලත්, පියා සහ වන්නකු ඇතුළු කල්ලියට එකතුවුණා . අපි තවම හොස්ටල් එක ඇතුළේ එක පාරම අසල ඇති මුස්ලිම් පල්ලියකින් මහා දවසට හතර පස් සැරයක් ඇහෙන , ඔවුන්ගේ  දෙවියන් ගැන කියවෙන  අල්ලාහ් අක්බර් නම් වාක්‍ය ඛන්ඩය ඇහෙනවා.

ඊට අනුකූලව එහි හොස්ටල් එකේ පරිවර්තනය අප අසළ සිටි  බුලතා යටිගිරියෙන් ගායනා කරනවා " අය්යා අරන් පලෝ , අය්යා අරන් පලෝ.. අල්ලා හු අක්බර් .. අල්ලා..// අල්ලන්න එන්නේ .. අල්ල්ලන්න එන්නේ"  අල්ලා හු අක්බර් .. අල්ලා..//
බුලත්ගේ දේව කන්නලව්වත් අහගෙනම අපි මුස්ලිම් ඇන්ටිලා ගෙවල් බලා පිටත්වෙනවා.

මීටර් පන්සියයක පමණ දුරක් ගෙවා මහමෝදර -කරාපිටිය පාර අයිනේ පිහිටි කුඩා නිවසක් වෙත අප ලඟාවෙද්දි බුලතා සහ වන්නකු ඉස්සර වෙනවා.

ඒ අතරේ ආධුනිකයා වූ මට ඇන්ටිලා ගෙදර හැසිරෙන පිළිවෙල කියලා දෙන්නෙත් බුලතා විසින්.

"අපි ආව බව ඇන්ටිට ඇඟෙව්වාම අර මැද කාමරේ තියෙන මේසෙට කෑම ගෙනත් තියෙනව. එතකන් මෙන්න මේ සාලෙට වෙලා ඉන්නයි අපිට තියෙන්නේ.

අපි එනකොට කෑම  මේසේ කට්ටිය පිරිලා නම් උන්ටික කාලා යනකම් සාලෙට වෙලා ඉන්නයි තියෙන්නේ ,ඔය මිරානියා, රිස්වානා , ෆයාස්, මුෆාස් ලාට එහෙම විහිළුවක් කරගෙන."
ගොඩක් වෙලාවට ඔය යට තට්ටුවේ ඉන්න වයසක සින්නෝ ටික එහෙම කලින්ම ඇවිල්ලා කෑම මේසේ අල්ලාගන්නවා . උන්ටික ගිය ගමන් අපිට වැඩේට බැස්සහැකි .
බුලතා කිව්වා වගේම අප එහි යනවිටත් පහත මාලයේ කාමරවල සිටි අවසන්වසරේ සිසුන් කිහිපදෙනෙක් මුස්ලිම් ඇන්ටිලා ගෙදර කෑම ගනිමින් ඉන්නවා .

"ඇන්ටී මෙන්න අපි අළුත් යාළුවෙක් එක්කං ආවා . මෙයා අද ඉඳලා ඇන්ටිලාගෙන් කෑම ගන්නවා."

"ඒයි උඹට දවල්ට ෆැකල්ටි ගෙනියන්නත් කෑම එකක් ඕනෙනම් ඇන්ටිට කියපං එතකොට හෙට උදේ ෆයාස් අතේ කෑම එක කාමරේට එවයි  උදේ කෑම එක එවනකොටම "

එදා බුලත්ලා එක්ක මුල්ම කෑම වේලට මුස්ලිම් ඇන්ටිලා ගෙදර ගිය මම එදාසිට හැමදාම රාත්‍රී ආහරය ගන්න එහාට ගියා .

මාද ඇතුළුව අපේ හොස්ටල් මිතුරන් බත් පිඟන් , හරක්මස් දීසි , මාළු දීසි හිස්කරන වේගය දෙස බැලු ඕනෑම කෙනෙකුට අපට කෑම දී තම්බි ඇන්ටී නොමැරී ඉතුරුවුණොත් ඇති යන හැඟීම ඇතිවෙනවා නියතයි .

ඒ වගේම පසු කාලෙක තම්බි ඇන්ටිගේ මහත්තයා කුවේට් බලා යද්දී අපේ කොල්ලෝ තවත් කතාවක් හැදුවේ "ඔන්න අපිට කන්න දෙන්න සල්ලි හොයා ගන්න බැරුව ඇන්ටී අන්කල් රටයවලා" යනුවෙනි