Follow by Email

Wednesday, 28 October 2020

රත්තී සහ හරක් බාස්

 



අපේ ළමා කාලය ළමයෙක් ලෙස ලැබිය යුතු සියළුම අත්දැකීම නොඅඩුව ලබන්නට  තරම් වාසනාවන්ත එකකි . විටෙක කර්කශ යැයි යමෙකුට හැඟුණත් අද තලත්තෑනි මිනිසුන් ලෙස ආපසු හැරී බලද්දී මෙහෙම දේවල් ඒ කාලේ සිදු නොවුණානම් කවදානම්  ඉතිං මේ අත්දැකීම් ලබන්නදැයි  සිතෙන තරමට ඒවා ආශ්වාද ජනකය. 

මේ කියන සිදුවීම දාමය සිදුවෙද්දි මමත් අය්යත් දෙන්නාම පාසැල් යන වයසේ පසුවූ තරුණයින්, අය්ය උසස්පෙළ කරද්දී වගේ කාලයක් වූ ඒ දිනවල මම අට නවය වසරේ ශිෂ්‍යයෙක්.

ඒ අය්යා , අක්කා හා මම අඩුවැඩි වශයෙන් අම්මාගේ උදව්වට කුඹුරට වතුපිටිවලට එහෙම ගිය කාලයකි.

කිරිඔරුවේ හූරියගස්වැල්ල කුඹුරුයාය එකල අපේ වගා බිමයි . අපි අම්මා සමඟ වැඩකල කුඹුරු කෑල්ලට එහායින් තිබූ අපේ මුත්තාට අයත් කුඹුරක් ඒ කාලේ වරකාදණ්ඩේ පවුළකට උකසට දී තිබිණි.

වරකාදණ්ඩෙන් ආ කට්ටිය අතර කෙල්ලොම ගොඩක් , කොල්ලෝ දෙන්නෙක් ආදිය හිටියා මතකය . ඒ කාලේ අපේ ලොකුමාමා වරකාදණ්ඩේ  එක නැන්දා කෙනෙක් එක්ක යාළුවී සිටි කාලයකි  (ඔහු පසුව ඒ නැන්දා හා විවාහ වූවේය.

ලොකු මාමා සමඟ වරකාදණ්ඩේ යන එන ගමන් වලට සමහර වෙලාවට අපේ අය්යාද එක්කරගෙන යන්නට ඔහු පුරුදු වී සිටියේය . ඒ නිසා වරකාදණ්ඩේ කට්ටිය මට වඩා අය්යා සමඟ හිතවත් විය.

ඒ හිතවත් කම් වල ප්‍රතිඵලය ලෙස වරක් ඔවුන් අපේ අය්යාට තෑග්ගක් දුන්හ . ඒ සජීවී තෑග්ගකි . ඇත්තටම ලස්සනම ලස්සන රතු පැහැති බටු හරක් පැටික්කියෙක්  දක්කාගෙන අපේ අය්යයි ලොකුමාමා යි අපේ ගෙදරට කන්ද නැඟි ඒ  දිනය මට තාම මතකය.

"ඕං ලොකු අක්කා වරකාදණ්ඩෙන් අපේ ශාන්තට තෑග්ගක් දුන්නා .. 

මේ  වැස්සි පැටියා ශාන්තට බැඳගන්න කියලා දුන්නා වරකාදණ්ඩේ මාමණ්ඩි"

"වැඩේ හොඳයි ලොකු මල්ලී . අපේ එළවලු වලට දාන්න ගොම ටිකක් එහෙම ගන්නත් පුළුවන් නේ"

එදා හවසම අම්මා , අය්යා අක්කා ඇතුලු අපි හැමෝම එකතුවෙලා පොඩි ගාලක් හදනවා.. අයිනක තදට හිටවපු කණුවක රත්තී ගැට ගහනවා..

"මෙයා මේ ගෙවන්නේ අවසාන තිරිසන් ආත්මේ " අම්මා වසුපැටියාගේ පිට අතගාමින් කියනවා .. 

 "අම්මා කොහොමද එහෙම කියන්නේ ? ඇයි ලබන ආත්මේ මොකද වෙන්නේ? " 

"බලපන්   චූටි , මේ වැස්සි තනි රතුපාටයි නේ. හඳක් ලපයක් මොකවත් නෑ නේ?  තනි පාට සත්තු ඊලඟ ආත්මෙ මිනිස්සු වෙලා උපදිනවලු "

අම්මා වැස්සිගේ   ඊලඟ ආත්මය ගැන අනාවැකි පළකරන්නීය 

අපි හැමෝම වැස්සී වටකරගෙන ආදරය දක්වන්නට පටන්ගත්තෙමු . ටිකෙන් ටික ඇය අපට කීකරුවූවාය.

වැස්සී ගෙදරට ගෙනාවේ අය්යා වුණාට,  වැඩිපුරම වල් කැපුවේ  . ඇය ගෙවල් අසල මානං පතනේ බඳින්න අරන් ගියේ අම්මා, අක්කා හෝ මා විසිනි . උදේට වල් ගෝණියයි, හවසට වල් ගෝණියයි , හිටපු ගමන් පුන්නක්කු එහෙම ලැබීගෙන එනකොට රත්තී ටිකෙන් ටික ආරන්නට මෝරන්නට පටන් ගත්තීය .

ඔය අතරේ මම හිමින් හිමින් තව වැඩක් පටන්ගත්තෙමි  . ඒ අසල ඇති තේවත්තේ වගේම  පල්ලැහැ ගෙදර සිරිසේන මාමලා ගෙදරත් දකින්නට ලැබෙන රට වල්   පඳුරු වලින් කෑලි කිහිපය බැගින් ගෙන එමින් අපේ වත්තේ පාත්ති දෙකක් අතර ඇති වේල්ලේ සෝදාපාළුව වලක්වන දෙයක් ලෙස රට වල් වගාකිරීමයි.

ටික කාලයක් යනවිට අපේ ගෙදර ඉහල සහ පහළ කොටස් දෙකේම පාත්ති ගැට්ටේ සරුසාර  රට වල් පඳුරු රාශියක් වැවෙන්නට විය . 

දැන් රත්තීට අපේ වත්තෙන්ම කෑම සපයාගන්නට පුළුවන්  ඒ අපේ සරුසාර රට වල් පඳුරු වලට පින් සිද්ධ වන්නටයි.

මෙසේ ටික කාලයක් ගතවිය . රත්තී දැන් කේප්ප වැස්සියක් ගාණට ලොකුමහත්වී ඇත. බටු හරකෙක් යැයි කියන්නට කීයටවත් බැරි තරම් ඇය වැඩී සිටියාය .. ඒ වගේම පොලිෂ් කරා මෙන් දිලිසෙන ලොම් ඇති ලස්සන වැස්සියක් ලෙස ඈ පෙනෙන්නට විය . කළාතුරකින් අපේ පැත්තේ එන ලොකු මාමලා  නැන්දා පවසන්නේ වරකදණ්ඩේ සිටින රත්තිගේ පරපුරේ කිසිම කෙනෙක් මෙතරම් පුෂ්ඨිමත්ව වැඩී නොසිටි බවයි ..

  රත්තිගේ තිරිහන් කාළයේදි ඇය අම්මා සහ අපට සෑහෙන සැර පාර්ට් දැම්මාය . විශේෂයෙන් වල්ගය උස්සා කකුල් කරකවා දුවන්නට පටන් ගන්නා ඇය . අප ලණුව අතහැරියෙ නැත්නම් අපේ කකුල් කැඩී යන තරමට අපව වට්ටනු නො අනුමානය.  ඒ කාලේ රත්ති එසේ විසේකාර ලෙස හැසිරෙද්දී මා නම් කරන්නේ යන දිහාක ගිහින් නැවතියන් කියලා ලණුව අත හරින එකයි .


ඔය කාලයේ එක දවසක කිරවණාබිස්සේ මදුරසිංහ අය්යලා තාත්තා ගොනෙක් රැගෙන අපේ ගෙදරට ආවේ රත්තිගේ මේ දැඟලිල්ලේ ප්‍රතිඵලයක් ලෙසයි . ඔහුගේ සහයට අපේ ලොකුමාමාද ඇවිත් හිටියා මතකය . අපට ඒ පැත්තට නොයන ලෙස අම්මා අවවාද කර තිබූ නිසා අප ඒ පැත්තේ සිදුවූයේ කුමක්දැයි  නොදන්නෙමු .

කෙසේ හෝ ටික කලක් යද්දී ඇය ගැබිණියක් වී තිබිණි. අපි සියළු දෙනා නැඟී එන කිරි අම්මාට වල් කපාදෙමින් සාත්තු කළෙමු.

හේතුව කුමක්දැයි මතක නැත. අම්මාගේ පොඩිම මල්ලී එක දවසක්  රත්තී කිරිඔරුවට රැගෙන ගියේ "එහේ වැඩිපුර වල් තියෙනවා ඒ නිසා හරකා  කහටගහ වත්තේ බඳිමු " කියමිනි. මා සහ අක්කා වැඩේට එතරම් කැමැත්තක් නොදැක්වූවත් අම්මා සහ අපේ පොඩි මාමා අපේ රතු වැස්සී කිරිඔරුවට රැගෙන ගියෝය. 

පසුදා උදෑසනම අම්මා සොයාගෙන එන පුරුදු කටහඬකි .

ලොකු අක්කා .. ලොකු අක්කා හරකට වෙඩි තියලා .. දෙය්යනේ ඒ මොන අපරාදයක්ද? ඇයි උඹ හරකා බැඳලා තිබ්බේ නැද්ද? 

නෑ නෑ මං පොඩි අක්කලා ගෙට උඩහ තිබ්බ කැලෑ මංඩියේ ඌ බැඳලා හිටියේ .. මට ඊයේ ගාලක් හදන්න වෙලාවක් තිබ්බේ නෑ .

හරකා මැරිලා නෑ .. පතරොම් තුනක් බඩ ඇතුලට  ගිහින් එකක් වත් එළියට ඇවිත් නෑ

"වරෙව් යන්න ..  හරකා බේරගන්න පුළුවන් ඇති . පව් අසරණ සතා" අම්මා කෑ ගසන්නීය 

අම්මා අක්කා ඇතුළු අපි හැමෝම අම්මා පස්සේ වැටුණෙමු .

අපි යනවිට හරකා පැත්ත වැටී සිටියේ අප දෙස අසරණව බලා සිටිමිනි .. 

"කව්ද මේ වැඩේ පාහරයෝ?"

 අම්මා කෑ ගසන්නීය 

" ලොකු අක්කා කෑ ගහන්න එපා . ඊයේ මාරබැද්දේ $% බණ්ඩේ අය්යයි පල්ලැහැ පඬිතුමා අය්යයි දඩයමේ ගිහින් .. පඬිතුමා අය්යා ටෝච් එක ගහණ කොට අන්න ඌරා ඇහැ දෙනවා ඇහැදෙනවා තියපං කියලා $% බණ්ඩේ අය්ය වෙඩි තිබ්බලු . එකක් නෙවෙයි තුනක්ම තියලා .."

විස්තරේ කියමින්  අම්මා අස්වසන්නට හදන්නේ  හරකා වෙඩි කෑ තැනට පහළින් තිබූ ගෙදර ජීවත් වූ පොඩි පුංචීය

අපි හැමෝම දැන් වෙඩි කෑ එළදෙන වටකරගෙනය 

රත්තී කෙඳිරි ගාන්නේ අමාරුවෙනි .. උම්බෑ ...... උම්බෑ .... අම්මා ගවදොස්තර සොයා අය්යා පිටත්කර හැර ටික වෙලාවකින් ගොසිණි .. රත්තීගේ බඩ සහ පපුව ප්‍රදේශය එන්න එන්නම ඉදිමීගෙන එයි ..අම්මා ,අක්කා මම ඇතුළු සියළු දෙනා ලොකු මාමලා ගෙපැල ඉදිරිපස තැනක වැතිරී සිටින රත්තී  දෙස බලා සිටියෙමු ... අපේ බොහෝ දෙනෙක් ගේ දෑස්වල කඳුළු පිරී ඉතිරී ගොසිනි . අසල්වැසි නිවසේ සිටි පියුම් මාමලා නැන්දා .. "කවුද කරුණක්කේ මේ සහගහණ අපරාදේ කළේ  ? 'යැයි අම්මාගෙන් අසයි .. අම්මා තවම වැලපෙයි .. පිළිතුර දුන්නේ මා විසිනි .. 

"වෙන කවුද ඉතිං අර හරක් බාසා මිසක් " 



$% බණ්ඩේ අය්යා යනුවෙන් අපේ පුංචි අම්මා එදා සඳහන් කලේ තාත්තගේ ලොකු අය්යා ගැනයි . ඔහු ගමේ නමගිය මේසන් බාස් කෙනෙකි. හරකා වෙඩිතැබූ බාස් නිසා ඔහු "හරක් බාස්" ලෙස නම් කරන්නට මම තීරණය කළෙමි. එදාසිට සෑහෙන කාලෙකට මම ඔහුව අමතන්නේ ඒ නමිනි . ඒ අපේ ආදරණීය හරකා වෙඩි තබා මරාදැමීමේ ප්‍රධාන සැකකරු ඔහු වූ නිසයි .

එදා රෑ වෙද්දී එහි පැමිණි පශු වෛද්‍ය වරයා ලොකු පැණඩෝල් ගොඩක් රත්තීට දියකර දෙන්නට කීවේ ඇයගේ බඩේ ඇති වෙඩි උණ්ඩ එළියට ගන්නට විදිහක් නැතිබව කියමිනි.

එදා මහ රෑ වෙනතෙක් අපි රත්තී ලඟ මුර කළෙමු.. ගිනි මැලයක් ගහලා   ඒ වටා එක්වී සිටි ලොකු මාමා , පොඩි මාමා ,අම්මා ඇතුළු අප සැම බලා සිටිද්දී ඇය අවසන් සුසුම් හෙළුවේ රෑ දෙගොඩ හරියේය.. 

අපි ඒ සැණින් වලක් කපා ඇය එහි මිහිදන් කලෙමු ..

අම්මා  මුලසිටම ලොකුමාමාට කියා සිටියේ  වෙන කවුරුහරි ඇවිත් හරකා මසට විකුණන්නට ගෙනයා හැකි බැවින් තව රැයක් දෙකක් යනතෙක්  ඇයගේ සොහොන මුර කරන ලෙසයි .. අපි මල් තබා , නිවන් සැප ලැබේවා යයි පුවරු ආදිය ඇයගේ සොහොනේ උඩ තැබුවෙමු..

අම්මා කී පරිදිම ඇය මේ වනවිට නම් මිනිස් ආත්මයක් ලබා ඇතුවාට සැක නැත.


හරක් බාස් කතා වස්තුව මින් සමාප්තයි !! කියවූ ඔබ සැමට ස්තූතියි