Follow by Email

Monday, 30 March 2020

ගමේ කොල්ලු තලාවී .... පැසී ගොයම් වගාවේ


පෙබරවාරී මාර්තු කියන්නේ අපි ගමේ හිටපු කාලේ කොල්ලු වාරයයි.. ඌව පළාතට කොල්ලු වැහි හෙවත් මෝසම් වැසි  වැටෙන මේ කාලයේ අපේ අම්මා අපිත් ඵෙක්ක එකතුවෙලා උඩහාවත්තේ කොල්ලු ඉහිනවා.. කිරිඔරුවේ ආතාත් (අම්මගේ අම්මත් ) මේ කාලෙම කොල්ලු ටිකක් වගා කරනවා මට මතකයි..

කොල්ලු ඉහීමේ ක්‍රියාවලිය ඉතාම සරළ වැඩකි.. තරමක් වල් වැවී ඇති පොළවේ කොල්ලු ඇට ටික ඔහේ විසිකරලා ඊට පස්සේ උදළු කෙටියක් ගෙන ඒ වල් උදළු ගෑම මඟින් බීජ කොල්ලු පස්වලට යටවෙන්නට සලස්වයි.. ලොකුවට බිම් සෑකසීමක් , පොහොර දැමීමක් එහෙම සිදුවෙන්නේම නැතිගාණය.

පෙබරවාරී ,මාර්තු කාලයේ අපේ ගෙවල් තියෙන මාරබැද්දෙත් ආතලා ගෙවල් තියෙන කිරිඔරුවෙත් බොහෝ ගෙවල් අසල කොල්ලු හුණ්ඩුවක් දෙකක් සමහරවිට සේරුවක් ඉහීම සාමාන්‍ය දෙයක්.

බෝංචි , මෑකරල් , මුංඇට, කව්පි වාගේම රනිල කුළයේ භෝගයක් වන කොල්ලු පැල කොල්ලු වැහි එක වැටෙනකොට නිල්පාටින් පීදිගෙන එද්දි සිතට ගෙන එන්නේ නැවුම් බලාපොරොත්තුවකි .. ඒ සිංහල අවුරුද්ද කිට්ටුවෙනකොට අපට කොල්ලු තලන්නට අවස්ථාවක් ලැබෙන බව දැනී එනසතුටත් මුසුවූ බලාපොරොත්තු සහගත බවකි.


බෝංචි , මෑකරල් , මුංඇට, කව්පි වාගේම රනිල කුළයේ භෝගයක් වන කොල්ලු පැල කොල්ලු වැහි එක වැටෙනකොට නිල්පාටින් පීදිගෙන එද්දි සිතට ගෙන එන්නේ නැවුම් බලාපොරොත්තුවකි .. ඒ සිංහල අවුරුද්ද කිට්ටුවෙනකොට අපට කොල්ලු තලන්නට අවස්ථාවක් ලැබෙන බව දැනී එනසතුටත් මුසුවූ බලාපොරොත්තු සහගත බවකි.

කොල්ලු වැහි දෙක තුනකින් පස්සේ නැවතත් එන්නේ බැදරැස් කන්න පායන කාලයක් වුණත් කොල්ලු හැදෙන්නට  එය භාදාවක්  නොවේ.

අප්‍රේල් මාසේ රටට  ඉර මුදුන්වීමත් සමඟ කොල්ලු කරල් හැදී අවසන් ව අස්වනු නෙලන කාලය ලංවෙයි..
 " වරෙල්ලා අද කොල්ලු ගලවන්න "කියා මායි අක්කයි නංගියි එහෙම එකතු කරගන්නා අම්මා කොල්ලු ටික ගලවා මිදුලේ එකතැනක ගොඩගස්වන්නීය.  එතන කොල්ලු ගොඩ වේලිද්දි හොන්දටම වේලුනු නැති එහෙත් මෝරපු කොල්ලු කරල් වල ඇට ගලවා කෑමට ගන්න එක කුඩා ළමුන්  වූ අප හැමෝටම ආශ්වාදයක් ගෙන දෙන්නක් විය.
මිදුලේ එක තැනක ගොමගා කුඩා කමතක් ලෙස හදාගන්නේ අම්ම සහ අක්කා එකතුවයි..


අනතුරුව කොල්ලු ගොඩ ඒ කමත හරියට දමන්නේ  කොල්ලු තැලීමට පෙර සූදානමක් ලෙසයි.. අනතුරුව වත්තෙන් කපාගත් පේර, ට්‍රපන්ටයින් පොළු එහෙම අරගෙන අප සූදානම් වන්නේ කොල්ලු තැලීමටයි .තුන්දෙනා තුන්පත්තෙන් හිඳ දෑතබදා කොල්ලු ගස් ගොඩට පහරදීමත් සමඟ  කරල් පුපුරා කොල්ලු ඇට බිමට වැටෙයි . පසුව භාගෙට තැලූ කොල්ලු ගොඩ ඉවත්කර  අඩියට බේරී ඇති ඇට ඉවත්කර ගැනීම සිදුවේ.. පසුව මේ කොල්ලු ඇට අව්වේ වේලා අවුරුදු මේසේ කොල්ලු ව්‍යංජනයක් හදන්නට ගන්නා තෙක්  අම්මාගේ ගබඩා කාමරයේ කොල්ලු මුට්ටියක් තැන්පත්වෙයි ..

ඒඅ අවුරුද්දක කොල්ලු වාරයේ අපේ ආතා  කොල්ලු තැලූ කතාව කිව්වේ නැත්නම් කොල්ලුවංශකතාවට ලොකු අඩුවක් සේ ඇයි සිතුණි.ඒ නිසා ආතා කොල්ලු තැලූ හැටි මතක්කරන්නට සිතුවෙමි.. අපේ ගෙදරවගේම කිරිඔරුවේ මැදගෙදර මිදුලේද කොල්ලු කමතක් සූදානම් වී තිබුණා මතකය..

ඒ කාලේ අපේ අම්මත්  කිරිඔරුවේ ආතත් වැඩකරන්නේ තරඟයකට වාගේ යැයි හැඟීමක් අපහට කාවැදී තිබුණේ දෙන්නට දෙන්නා එච්චරම හිතවත් නොවූ අවස්ථාද   අප දැක තිබූ නිසයි.. ඔන්න ඔය කියන දවසේ ආතා  කොල්ලු තලන්නට සූදානම් වී සිටියේ හොඳ වර්ගයේ පොළු රාජයෙක් ද සූදානම් කරගෙනයි .. ආතා දෑතබදා කොල්ලු ගොඩට පහරදෙද්දී වරින්වර නැඟී ආ ඥාව්  ඥාව් හඬ ඇයට ඇසී තිබුණේ නැත .. ආතලා ගෙදර සිටි කලුයි සුදුයි පුල්ලි තිබ්බ පූස් පැටියා ආතා අතින්  පොළු පහර කා මියගොස් සිටියේ ඉතා අවාසනාවන්ත ලෙසයි .." බලපල්ලකෝ තියෙන දුෂ්ඨකමක මහත අර පූස්පැටියා මරාගත්තනේ.. "කියා කිව්වේ අපේ අම්මා නම් නෙවෙයි මං හිතන්නේ