Friday, 29 April 2016

කටු ගැසීම



මම  දැනට ශ්‍රී ලංකාවෙන් එපිට රටක  පිහිටි  මූලික රෝහලක සේවය කරන්නෙමි .

ඒ   රෝහල් වයිදය නිලධාරි  (Hospital Medical Officer ) නැමැති තනතුරක් හොබවන්නෙකු ලෙසයි.

එම රෝහලේ විවිධ අංශ වල සේවය කර ඇති මා පසුගිය  සති කිහිපය සේවය කලේ  කායික රෝග වාට්ටුවේ රාත්‍රී ව්‍යිදය වරයා ලෙසයි .

මගේ සේවා මුරය වැටී තිබෙන්නේ  රාත්‍රී නවයේ සිට උදේ නවය දක්වා  වූ පැය දොළහක සේවා මුරයක් වශයෙනි.

මේ පැය දොළහ ඇතුළත වාට්ටුවේ රෝගීන් ට පැන නගින සියළු ගැටළු ගැන මුලින්ම සොයා බලන්නේ මා විසිනි .

අවශ්ය වුවහොත් වාට්ටුවේ රෙජිස්ට්‍රාර් වරයාගෙන් උපදෙස් ලබා ගත යුතුය.

බොහෝ විට එවැන්නක් අවශ්ය නොවුවද ශ්‍රී ලංකා වේ දී මෙන් නොව ඕනෑම  සංකුලතා අවස්ථාවකදී   රෙජිස්ට්‍රාර් වරයා ඉතා පහසුවෙන් සම්බන්ධ කර ගත හැකිය.

පුරුදු පරිදි ඊයේ රාත්‍රියේ සේවය ආරම්භ කලෙමි.

"ක්‍රින් .. ක්‍රින් ... " මගේ රෝහල් දුරකථනය  නාද වෙයි .

"හලෝ  ....ඔය  කවිඳු ද ? මම  එමලි  මෙඩිකල්  වන්  වලින් "

"ඔව් .. ඔව් .. මොකෝ එමලි   ......මම මේ  ආවා විතරයි "

"කරුණා කරල  ඇඳ 25 ඒ  හි සිටින  රෝගියාගේ  බෙහෙත් විදින කටුව පරික්ෂා කරන්න  . එයාට  පොටෑ සියම් බෑග් දෙකක් දෙන්න තියෙනවා "

එහා පැත්තෙන්  එන හෙද සොහොයුරියගේ කටහඩ මගෙන්  ඉල්ලා සිටි.

මම විවේක කාමරයෙන් ඉවත්වී  හෙද හෙදියන්ගේ ඒකකය වෙත පියමැන්නෙමි

"හායි  ..කවිඳු..  කොහොමද  අද  උදේ හොඳට නින්ද ගියාද?"

"මොන?  යන්තම් පැය හතරක්  ඇද ගත්තා .  දවල් දෙක තුනෙන් පස්සේ මට මලාට නින්ද යන්නේ නෑ..

අද ඔයාලගේ කරදර අඩු වුනොත් පොඩි ඇලට් එකක් දා ගත හැකියි . ඒක නෙවෙයි  25 ඒ  නේද  ඇඳ කිව්වේ ?"

"ඔවු ඔවු ...හැබැයි  එයා නම් එච්චර කැමති නෑ ප්‍රතිකාර  ගන්න "

හෙද සොයුරිය තවත් අතිරේක විස්තරයක්  මා   හට පැවසුවාය.

"හරි හරි මම ගිහින් බලන්නම් . මොකක්ද  නම් කිව්වේ ? "

"මිසිස්  ඕ කොනර් .. අවරුදු අසු දෙකක් වෙන නෝනා කෙනෙක්  එයාගේ පොටෑසියම් හොඳටම අඩුයි.

අපි ඉස්සෙල්ලා දුන්න  බෑග්  එක බාගෙට නැවැත්තුවා එයා අත රිදෙනවා කියලා කියපු නිසා කැනියුලා එක
අවුට් වගේ.. කවිඳු  ඒක චෙක්  කරලා දෙන්න ප්ලීස්.."


සුහද හමුවීම 




"මිසිස්  ඕ කොනර්.. කොහොමද ?  මම කවිඳු ඔයාගේ රාත්‍රී ව්‍යිදය වරයා.  සිස්ටර්ලා කිව්වා  ඔයාගේ  කැනියුලා එක අවුට් වගේ කියලා ? කලින් බෙහෙත දෙද්දී අත රිදුනා කිව්වා නේද ?"

"නෑ.. නෑ.. දැන් මගේ අත රිදෙන්නේ නෑ.. "

'ඒක හරි මිසිස්  ඕ කොනර් . දැන් අපි බෙහෙත් දෙන්නේ නැහැනේ.. පොටෑසියම් එක යනකොට තමයි අත රිදෙන්නේ "

මම කැනියුලා එක අවුට් ගොස් ඇති බව ඇයට පැහැදිලි කරන්නට උත්සාහ කලෙමි.


" මම දැන්  හිටියා ඇති කියලා හිතෙනවා කටු ගහලා ගහලා  මගේ අත් දෙක ගන්න දෙයක් නැහැ.  දැන් මගේ අත රිදෙන්නේ නැහැනේ  .. ඕක මාරු කරන්නම ඕනිද?"

ඇය මගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නට ඔන්න මෙන්න වැනි හඬකින් පැවසුවාය.



"මේකයි මිසිස්  ඕ කොනර්. ඔයාගේ පොටෑසියම් හොඳටම අඩුයි . 

ඒවා පිටින් නොදුන්නොත්  හර්දය වස්තුවේ ක්‍රියාකාරිත්වයට බල පාන්න පුළුවන් "

"හොඳයි කටුව මාරු නොකලොත් මොකද වෙන්නේ ?  ඔන්න ඔහේ මම මැරිලා ගිය දෙන් "



"එහෙම නෙවෙයි  මිසිස්  ඕ කොනර් .අපි ඇත්තම කතා කරමුකෝ "

මම තමයි අද රාත්‍රියේ ඔයාගේ  රෝගී තත්වයට වග කියන්නේ .

අපි දෙන්නා එකතු වෙලා අද රාත්‍රියේ කිසි ගැටළුවක් ඇති නොවෙන විදිහට වැඩ කරන්න ඕනා .

ඔයා අකැමති නැත් නම් මම මේ කටුව අයින් කරලා වෙන කටුවක් දාන්නම් "



"ඒක නෙවෙයි  ....මිසිස්  ඕ කොනර් කොයි නර්සින් හෝම් එකේද හිටියේ ?  මගේ නෝනත් නර්සින් හෝම් එහෙක නර්ස් කෙනෙක් .

"අය්යෝ මම ඉන්න තැන සැලකිලි නම් ගන්න දෙයක් නැහැ "


"අපේ නෝනා නම් හරි අසාවෙන් රස්සාව කරනවා " එතැන ඉන්න කට්ටිය එයාට හරි කැමතියි. එයත් වැඩට යන්න හරි ආසයි "

"එහෙනම් මට ඔයාගේ නොනගෙන් තමයි උදව් ගන්න වෙන්නේ "



"මට දැන්මම ඔයාට කටුවක් ගහලා බෙහෙත් නොදුන්නොත් අපි දෙන්නට රෑ තිස්සේ දඟලන්න වෙනවා .

මොකද කියන්නේ අපි මේක මාරු කරමුද "



" ඩොක්ටර් මම හරි කැමතියි ඔයාගේ අවංක කමට . ඔයා ඇත්තම තත්ත්වය මට පැහැදිලි කරා .

එහෙනම්  මේ කටුව මාරු කරන්න "

කටු ගැසීම 


දැන් මා ඉදිරියේ ඇති අභියෝග කිහිපයකි.  

මෙම රෝගියා කටු ගැසීමේදී ඇතිවන වේදනාව නිසා  එයට එතරම්ම කැමැත්තක් නැත.  

ඒ නිසා එක වරකින්ම මෙය සිදු කල යුතුය . 

එමෙන්ම අඩුම වේදනාවක් ඇතිවන පරිදි එය සිදු කල යුතුය. අභියෝගය භාර ගන්නට තීරණය කලෙමි .

ශ්‍රී ලංකාවේදී  කැනියුලා දැමීම ප්‍රගුණ කල හැටි මා සිහියට නැගේ. 

මගේ  සිත නිම්මිත් මමත් එකම වාට්ටුවක සේවය කල  කාලය වෙත දිව යයි.

"කොහොමද නිම්මි මිස් ? අද  අම්මලා කියක් ඉන්නවද සින්ටෝ දාන්න ?"

"12 ක් විතර ඉන්නවා ඩොක්ටර් "

"ඔයා මේ හැමෝටම කැනියුලා දාන්න ඕනේ නේද ?"

"ඔවු ඩොක්ටර් ස්ටේජ් රූම් එකේ ඩියුටි කරන හැමදාම එහෙම කරන්න වෙනවා "

"ඒක නෙවෙයි  මේ වෙලාවේ මමත් නිකන් වගේ නේ ඉන්නේ.... අපි දෙන්නා ම එකතු වෙලා  කැනියුලා දාමු.



මම හයක් දාන්නම්  ඔයා ඉතිරි හය දාන්න."


මා එසේ පැවැසුවේ කැනියුලා දැමීමට අත හුරු කර ගැනීම  සඳහාය .

 එමෙන්ම නිම්මිට හැකි අයුරකින් උදව්වක් කරන  ආශාවද මා තුල නොතිබුණා නොවේ. 

අපි දෙදෙනාම එකතු වී  ඉතා කෙටි කලක් තුල සින්ටෝ දමන්නට සිටි සියළුම අම්මලාට  කැනියුලා

දමා ඉවර කළෙමු.

"තැන්ක්යූ ඩොක්ටර්"

"තැන්ක්යූ කියලා විතරක් හරි යන්නේ නෑ"

"එහෙනම් ...  වෙන මොකක්ද කරන්නේ "

"අඩුම ගානේ හවසට තේ  එකක් වත් හදලා දෙන්න වෙනවා "

"හරි හරි හවස තේ බොන වෙලාවට මගේ ගානේ තේ එකක් හදලා දෙන්නම් කෝ "............



"ඩොක්ටර් ... මොකද කල්පනාව ?"

"නෑ මිසිස්  ඕ කොනර් මම මේ  බඩු ටික ලෑස්ති කරන් එන්න හැදුවේ."

"හරි හරි හැබැයි එක පාරයි  . අර නර්ස් ලා නම් හරියට රිදවනවා "

මම ට්‍රොලියත් රැගෙන රෝගියා වෙත පැමිණියෙමි.

ඇගේ අත ඉහලින් තිරිංගයක් දමා පිටි අත්ල පිරී මදින්නට පටන් ගත්තෙමි .

දැන් මගේ අතේ උණුසුමත් තිරිංගයේ  පීඩනයත් හේතුවෙන්   මට අවශ්‍ය ශිරාව ගානට ඉල්පී තිබේ.

මම කැනියුලාව දකුණතට  ගත්තෙමි .

"පොඩි වේදනාවක් .... "

මම කැනියුලාව  තල්ලු කලෙමි.  කිසි අපහසුවකින් තොරව  කටුව ස්ථාන ගත විය. 

"බොහොම ස්තුතියි  මිසිස්  ඕ කොනර්.  

මම සිස්ටර් ලාට කියන්නම් දැන් ඔයාගේ බෙහෙත් එක දෙන්න කියලා "

"පොඩ්ඩක් ඉන්න .. මට කාරණයක් කියන්න තියෙනවා"

"ඇයි මිසිස්  ඕ කොනර් ගොඩක් රිදුනද ? සමාවෙන්න ඕනේ එහෙමනම් "


"මට රිදෙනාවා තියා කටුවක් ගෑවෙනවා වත් දැනුනේ නෑ.. බොහොම ස්තුතියි ඔබට  "

"එහෙනං ?..."

"ඔබට තියෙන්නේ රත්තරන් අත් දෙකක් .. ඒක පරිස්සම් කර ගන්න ".

මේ අතර එමලිද  25 ඒ  ඇඳ වෙත ලඟා වුවාය .

"කොහොමද මිසිස් ඕ කොනර් ඩොක්ටර් හොඳද ? ඔයාට රිදෙව්වේ නෑ නේ මෙයා ?

නියමෙටම තියෙනවා කැනියුලා එක නම්  .

තෑග්ගක් දෙන්න වටිනවා "

"හරිනම්  එමලි තේ එකක්  හදලා දෙන්න ඕනේ අපේ ඩොක්ටර්ට"

"හොඳයි මම එහෙනම් කවිඳුට තේ එකක්  හදලා දෙන්නම්කෝ  ඔයා කියනවනම් "

එමලි  පැවසුවේ  ඕ කොනර් මැතිණිය ගේ අත පිරිමදිමිනි.

48 comments:

  1. Replies
    1. හරියට ....Happy wife :) Happy Life ....වගේ

      Delete
  2. කියවන ගමන් අත්දෙකේ කැනියුලා වලින් හිටපු කැලැල් දිහා බැලුනෙ.ලංකාවෙ නං නර්ස් නෝනලානෙ කැනියුලා දාන්නෙ.. බෙහෙත් විදින්නෙ.එහෙමත් කෙනෙක් තමා මූට පණ තියෙනවා කියල හිතලා දාන්නෙ.දැනෙන්නෙ වත් නැතුව.එතකොට නම් ලෙඩෙත් අමතක වෙනවා.. හෙහ් හෙහ්...
    ලෙඩෙකුට දෙන හොඳම බෙහෙත 'කරුණාව' ඔබ සතුයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔව් .. ඔව් ලංකාවේ ඉද්දි අපි කැනියුලා දැම්මට හැමෝමදොස්තරලා කැනියුලා දාන්නේ නැහැ. මමත් නිම්මිත් එක වාට්ටුවේ ඉද්දි මම එයාට උදව්වට සහ මගේ අත හුරුවන්නට කැනියුලා දාලා තියෙනවා.. හැබැයි නර්ස් නෝනලා ස්ට්‍රයික් කරාම අපේ අය තමයි කැනියුලා දාන්නේ . අපි වෙද සිසුවෝ කාලේ ඉගෙන ගන්නවනේ... ස්තුතියි ඔබේ කමෙන්ටුවට...

      Delete
  3. එමලි .....පරිස්සමින්

    ReplyDelete
    Replies
    1. අටම්ට විතරයි අනතුර තේරුණේ....

      Delete
    2. ....අම්මා කෙනෙකුට ආදරයෙන් ප්‍රතිකාර කරන කරුණාවන්ත දොස්තර කෙනෙකුගේ මානසික තත්වය තේරෙන්නේ නැතිවා වගේ..

      Delete
  4. ලකාවෙ නම් දොස්තර මහත්තුරුන්ට කැනියුලා දාන්න කිව්වොත් ස්ට්‍රයික් කරන්න තරන් කේස් එකක් නේද?

    ReplyDelete
    Replies
    1. එහෙමත් වෙන්න පුළුවන් වෙලාවකට .. මෙහෙ සේවයට පිවිසෙන හැටි හරි වෙනස්.. මේ ලියලා තියෙන්නේ පෙර දිනයක රෑ සිදුවූ සත්‍ය සිදුවීම් පෙළ අකුරක් වත් වෙනස් නොකර... මේ ඕස්ට්‍රේලියාවේ රෝහලක සිදුවූ සිදුවීමක්..

      Delete
  5. එමලිගේ ප්‍රශ්නය ඔබ ඉතා හොඳින් විසඳිලා තියෙනවා. හැබැයි දවසකට. මේ ප්‍රශ්නයෙන් ඇයට මැරෙන තුරු ගැලවීමක් නැහැ. එමලිගේ තත්ත්වයේ මම හිටියනම්, මට තෝරා ගැනීමකුත් තිබුණානම් දවස ගානේ කටු වදින පරිප්පුවට වැඩිය හෘදය වස්තුව දුර්වල වෙලා මැරෙන එක මගෙත් තේරීම වෙන්න පුළුවන්.

    ReplyDelete
  6. මෙහෙ අයට ඒ තෝරා ගැනීම තියෙන අවස්ථා තියනවා . මිසිස් ඕ කෝනර් ලෙස වෙනස් විය යුතුයි නේද නම? මිසිස් ඕ කොනර්ගේ medical power of attorney (එයාගේ දුව ) කියලා තිබුණේ දිගටම ප්‍රතිකාර කරන්නයි.. හැබැයි මිසිස් ඕ කොනර්ට හොඳ සිහිය තිබෙන නිසා මට වැඩිපුර ප්‍රතිකාර එපා මාව සැප පහසුවෙන් තියන්න (keep මේ comfortable) කියලා කියන්න පුළුවන්..... කොහොමවුනත් රෑ දොගොඩ හරියේ එවැනි කරුණු සාකච්චා කෙරෙන්නේ කලාතුරකින් ලෙඩා සුව කල නොහැකි තද බල අසනීපයකින් පෙළෙන වෙලාවක විතරයි.. මේ පැත්තේ ආවට ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. මිසිස් ඕ කොනර් තමයි. එමලි කියලා ලියවිලා තියෙන්නේ වැරදිලා.

      Delete
  7. මෙහේදී නම් ඔයිට වඩා වෙනස් ඇප්‍රෝච් එකක් මම හිතන්නේ අපි බටහිර රටවලින් ලබා ගත යුතු බොහෝ දෑ අතර ඔය කතා බහ සන්නිවේදනය වඩා වැදගත් වෙනවා. බොරුවට හංගන්නේ මොකටද ? අපේ රෝගීන්ටවත් අවශ්‍ය නෑ දැනගන්න ඇයි ඔවුන්ට කටුවක් දාන්නේ මොනවද විදින බෙහෙත මොකද්ද ඇති රෝගය කියලා. අපි කිවට ඔළුවේ තියාගන්නේ නෑ. වෝඩ් රවුන්ඩ් එකේ ළඟ ඉන්න කෙනාට කිව්වට... දවල් දොළහ වෙද්දී රෝගියා බලන්න අමුත්තෝ එන වෙලාවට අපි ළඟට කීපදෙනෙක් එනවා එකම රෝගියා ගැන අහන්න. මෙහෙ ඕනෑ මැජික් ! ඉක්මනින් ලෙඩේ හොඳ කරන්න... කවිඳු අයියා ලීවා වගේම... මෙහෙදී මුහුණ දුන් පොටෑසියම් ප්‍රශ්නයක් ගැන මම ලියමින් උන්නේ... ඉදිරියේදී පල කරන්නම්. ඔබේ සටහන් බොහෝ අගය කරනවා ! විශේෂයෙන් මේ වෛද්‍ය වෘත්තිය හා බැඳුනු සටහන් !

    ReplyDelete
    Replies
    1. //අපේ රෝගීන්ටවත් අවශ්‍ය නෑ දැනගන්න ඇයි ඔවුන්ට කටුවක් දාන්නේ මොනවද විදින බෙහෙත මොකද්ද ඇති රෝගය කියලා.// ඔබ සේවය කරන ග්‍රාමීය ප්‍රදේශ වල රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ගන්න අඩු ආදායම්ලාභී, ලොකු උගත්කමක් නැති, පසුගිය පරම්පරාවට අයත් රෝගීන් සම්බන්ධව මේ තක්සේරුව නිවැරදි ඇති. ඒ අයට දැන ගන්න ඕනෑ දළු මෝරන්න කලින්, ගොයං කැපිල්ලට කලිං නැත්නම් දුවගෙ නිවාඩු ඉවරවෙන්න කලිං (ළමයි බලන්න තියෙන නිසා) ආපහු ගෙදර යන්න පුළුවන් කවදද කියන එක. ඒත් එය එසේ නොවන අවස්ථා වලත් වෙනස් ප්‍රවේශයකින් ප්‍රතිචාර දක්වන වෛද්‍ය වරු සුලභයි. තෙවසරකට පෙර මා ලංකාවට පැමිණි වෙලාවේ දරුවෙකුගේ ලෙඩකට හන්දියේ වෛද්‍ය වරයකු ලඟට ගොස් (මුදල් ගෙවා ප්‍රතිකාර ගැනීමට) මගේ බිරිඳ සුළු ප්‍රශ්නයක් අහපු වෙලාවෙත් කිවුවේ "කටවහගෙන කියන එක අහගෙන ඉන්න" කියලා. (ඔය වචනම). සතියකට පමණ පෙර මගේ සොයුරිය සහ ඥාති සොහොයුරෙක් මගේ පියාව පෙන්වන්න ප්‍රසිද්ධ විශේෂඥ වෛද්‍ය වරයෙක් ගාවට ගිය අවස්ථාවේදී මගේ සොයුරිය විසින් එසේ ප්‍රශ්නයක් ඇහුවම එයට පිළිතුරු නොදී මගේ ඥාති සොහොයුරාගේ මුහුණ බලල "මෙයා මොනව කරන කෙනෙක්ද?" කියල අහන එකයි වෙලා තියෙන්නේ. හැම වෛද්‍ය වරයාම එසේ නොවුනත් තවමත් බහුතරය හැසිරෙන්නේ එලෙස බවයි මම හිතන්නේ. කතාව පටන්ගන්න කලින්ම තමන් කවුද කියල හඳුන්වා දුන්නොත් ප්‍රවේශය වෙනස්. ඒත් වෛද්‍ය වරයෙක් ලඟට හැමවිටම එන්නේ රෝගියෙක් නිසා වෙනත් කරුණු අදාළ නැහැනේ. ලංකාවේ ඇති සම්පත් හිඟයත් මෙයට හේතුවක් වුනත් පැහැදිලිවම ආකල්ප ප්‍රශ්නයකුත් තියෙනවා.

      Delete
    2. //තෙවසරකට පෙර මා ලංකාවට පැමිණි වෙලාවේ දරුවෙකුගේ ලෙඩකට හන්දියේ වෛද්‍ය වරයකු ලඟට ගොස් (මුදල් ගෙවා ප්‍රතිකාර ගැනීමට) මගේ බිරිඳ සුළු ප්‍රශ්නයක් අහපු වෙලාවෙත් කිවුවේ "කටවහගෙන කියන එක අහගෙන ඉන්න" කියලා. (ඔය වචනම// ඔබ කිව්වා වගේම ලංකාවේ ආකල්ප ප්‍රශ්නයක් තියෙනවා ඉහලින්ම ඒක පෙන්නුම් කෙරුණ එක අවස්ථාවක් .. මේක වෛද්‍ය වරු ළඟ විතරක් නෙවෙයි සියළුම ක්ෂේත්‍ර වල දකින්න තියෙනවා ලංකාවේ මට බැංකු, තැපැල් කාර්යාල සහ බස් වලදී අත්විඳින්නට සිදුවූ මෙවැනි සිදුවීම් කතා ලෙස ලිව්වොත් දැන ගන්න පුළුවන් පේරාදෙණිය තැපැල් කන්තෝරුවේදී සිදුවූ අකටයුත්ත නම් ලියන්නම ඕනේ.. ඒ නෝනා මාව පෝලිමේ රස්තියාදු කරමින් කලින් දවසේ රෑ ගිය ටෙලිනටය්ක් ගැන කියමින් ඉන්න විට මගේ කාර්ය නොකිරීම ගැන ප්‍රශ්න කිරීම නිසා මම නෙදර්ලන්තයේ PhD එකට යවපු අයදුම්පත ගල් කරපු කතාව.. තමන්ගේ රාජකාරිය/සේවය කුමක්ද කියා හරියට තේරුම් නොගත්තු අය ලංකාවේ හැම ක්සේත්රයේම ඉන්නවා. වෛද්‍ය වරු මේ දේ කරද්දී කැපිලා පෙනෙනවා ඇයි එයාලා ගේ සේවය හරියට කරන්න නම් මේ අවබෝධය අත්‍යවශ්‍ය නිසා.. ඇත්ත ඔය ආකල්ප ප්‍රශ්නය තදින්ම තියෙනවා අපේ රටේ... පවතින සමාජ ක්‍රමය/වටපිටාවත් මේකට හේතුවක්..

      Delete
    3. ඔව්, මෙය වෛද්‍යවරුන්ට පමණක් අදාළ දෙයක් නෙමෙයි. රජයේ බොහෝ ආයතන වලත් ඇතැම් විට ඇතැම් විශාල පෞද්ගලික ආයතන වලත් ඇති තත්ත්වයක්. හොඳ අතට වෙනස් වනවා කියල මම හිතනවා. හැබැයි බොහොම හෙමින්.

      Delete
    4. ස්තුතියි ඉකොන් .. ඔව් "කවදාවත් කරන්න බැහැ , ලංකාවේ හැටි ඔහොමයි" කියමින් නොඉඳ මුලින්ම අපිත් අනතුරුව අඩුම ගනනේ තව එක්කෙනෙක් දෙන්නෙක් ගේ වත් හොඳ ආකල්ප ඇතිකරන්න උත්සාහ කරන්න ඕනේ අපි. මුහුණු පොත , බ්ලොග් ඒවාට හොඳ පාරවල්..

      Delete
  8. ස්තුතියි අනිත් කොණ... ඔව් ඔව් අපේ රටේ ක්‍රමය සැහෙන්න වෙනස් තමයි. එත් ටිකෙන් ටික මේවා අපේ කට්ටියටත් පුරුදු කරවන්න පුළුවන්.. ලංකාවේ අය තමන්ට පුරුදු ක්‍රමෙන්ට පිටට යන්න කම්මැලියි.. මට මතකයි අපේ ම නැද කෙනෙක් ලෙඩා ස්ර්ජන් කෙනෙකුට පෙන්නන්න කියද්දී කායික රෝග විශේෂ කෙනෙකුට පෙන්නලා කර ගත්ත වින්නැහියක්... තම රෝගී තත්ත්වය ගැන නොදැනුවත්කම වැඩිවීමයි හේතුව.. දැන් අන්තර් ජාල පහසුකම් ජයට තියෙන එකේ මේ ගතිය වෙනස් කර ගන්න පුළුවන්.... මෙහෙ ලෙඩ්ඩු ඉස්පිරිතාලෙට එද්දී ඩොක්ටර් ගුගල් පරිහරණය කරලා තමයි එන්නේ.. වයස් පරතරයක් නැතිවම.. වෛද්‍ය වෘත්තියේ (ලංකාවේ /මෙහෙ) කතා ගොඩක් තියෙනවා හිමින් හිමින් කියන්න බලමු... අපි තවම අපේ ගමේ නේ ඉන්නේ බ්ලොග් එකේ..

    ReplyDelete
    Replies
    1. ඔය විදිහට ප්‍රශ්නයක් අහල කරාපිටිය රෝහලේ වයිද්‍ය උමාපති ගස්ලබ්බටයි පිටා ටයි බලු බැනුම් බැන්නා.ඔහු ගස්ලබ්බව හැඳින්වූයේ ගූගල(ර්) කෙනෙක් කියායි.ඔහු වටා සිටි කණිශ්ට වයිද්‍යවරුන්ටත් දැනුම් දුන්නෙ ලෙඩේ ගැන හොයන අයට ප්‍රතිකාර කරන්න කලින් දෙවරක් සිතන ලෙසට.ඒ වගේම ඔහු ගස්ලබ්බට ප්‍රතිකාර කරන එකත් ප්‍රතික්ශේප කලා.
      තවත් තැනක ඩොකෙක් ලෙඩේ නම ලියල දීල පොඩි හැඳින්වීමක් කරලා කිව්වා ගූගල් කරල බලන්න.වැඩි විස්තර ඕනෙ තරම් එතන තියෙනවා කියලා..

      Delete
    2. මමත් ඉගෙන ගත්තේ කරාපිටියේ තමයි.. ඒකෙ හොඳ ගුරුවරු වගේම ඔය කියන ජාතියේ අයත් හිටියා. අපිව ගූ බය කරගෙන හිටපු ව්‍යිදය උමාපති ලා සිටියා. එහෙම පොළවටම සමතලා කරලා සිසුන්ට සහ කනිෂ්ට ව්‍යිද්‍ය වරුන්ට සලකපු අය නිසා මෙවැනි රටකට ඇවිත් ඔය මම කිව්ව ක්‍රමේට වැඩ කරන්න ගියහම පොඩි පොඩි ප්‍රශ්න ඇතිවෙන අයත් (අළුත ආපු ගමන් ක්‍රමේ අල්ලගන්න බැරුව) ඉන්නවා.. ඇයි බය කරලානේ හදලා තියෙන්නේ.. ටික කාලයක් ගියහම මෙහෙ කලාව අහුවෙනවා...මෙහෙ ගොඩක් ව්‍යිදය උමාපතිලා කනිෂ්ට අය ඕනෙවට වඩා ගතිවෙනවා දැක්කම තමයි කේන්ති ගන්නේ... කොහොමටත් ලෙඩාට මුල්තැන ... අපි හැමෝම සේවකයෝ ඔවුන් නිසා වැටුප් ලබන...

      Delete
    3. ඕනෙවට වඩා ගතිවෙනවා නෙවෙයි "ගැති වෙනවා" දැක්කම

      Delete
    4. //ඔහු වටා සිටි කණිශ්ට වයිද්‍යවරුන්ටත් දැනුම් දුන්නෙ ලෙඩේ ගැන හොයන අයට ප්‍රතිකාර කරන්න කලින් දෙවරක් සිතන ලෙසට.ඒ වගේම ඔහු ගස්ලබ්බට ප්‍රතිකාර කරන එකත් ප්‍රතික්ශේප කලා// "හා මිරකෙක්" කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ මේ උමාපති ට..

      Delete
  9. //කවිඳු අයියා ලීවා වගේම... මෙහෙදී මුහුණ දුන් පොටෑසියම් ප්‍රශ්නයක් ගැන මම ලියමින් උන්නේ... ඉදිරියේදී පල කරන්නම්// ඔබේ ලියවිලි රටාව සහ ඔබ ලියන පරිසරය වෙනස් නිසා වෙනත්ම ආකාරයක කතවක් වෙයි ඒක
    ... පල වන තුරු බලා සිටිමි

    ReplyDelete
  10. දෙබසක එක්කෙනෙකු කියන දේ පේලි දෙකක තුනට දැම්මාම අවුල්! නම් ගම් නොකියා ලියන විට ඔත්තේ දෙබස් එක් අයෙකුගේත්, ඉරට්ටේ දෙබස් අනෙකාගෙත් විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඔන්න හැදුවා.. ස්තුතියි අවුල පෙන්වා දුන්නට..

      Delete
  11. අම්මෝ කැනියුලා කියද්දිත් ඇග හිරි වැටෙනවා.. අර උඩ ගස්ලබ්බා කියුව එකට මාත් එකඟයි.. මෙහෙ ඉන්න ගොඩක් නර්ස්ලා සැර වැඩී.. දොස්තරල එහෙම නෑ...

    හරිම අපූරු අද්දැකීමක් නේද??

    ReplyDelete
    Replies
    1. හැමෝම එහෙම නෑ කියලා තමයි ඔය දෙගොල්ලන් ගැනම කියන්න වෙන්නේ. මොකද අපේ නිම්මිලා එහෙම ලංකාවේ හිටපු හරි කරුණාවන්ත නර්ස් ලා. කවදාවත් ලෙඩෙකුට සැර කරනවා අහලා නැහැ මම.
      ඔව් .. ඔව් . ඔය වගේ අත්දැකීම් ගොඩාක් තියෙනවා ...

      Delete
  12. මිසිස් ඕ කොනර් ව මුරුංග අත්තෙ තියල වැඩේ කරගෙන තියෙන්නෙ. හැක්..
    ලංකාවෙනං බොහෝ තැන්වල තත්වෙ ඔයිට ‍දරුණු වෙන්න බොහෝ ඉඩ තියෙනව. විශේෂයෙන්ම වයසක අයත් එක්ක ගනුදෙනු කරද්දි.
    ගස් කියල තියෙනව වගේ ලෙඩෙකුට කරුණාව දක්වනවනං ඔවුන් දක්වන මුරණ්ඩු කම බොහෝ දුරට නැතිකරගත හැකියි.

    ReplyDelete
  13. //ලංකාවෙනං බොහෝ තැන්වල තත්වෙ ඔයිට ‍දරුණු වෙන්න බොහෝ ඉඩ තියෙනව. විශේෂයෙන්ම වයසක අයත් එක්ක ගනුදෙනු කරද්දි// මෙහෙත් එහෙම අය ඉන්නවා හැබැයි ඒ අය බොහෝවිට ඩිමෙන්ශියාවෙන් හෝ මානසික ආබාධ වැනි රෝග වලින් පෙළෙන අය

    ReplyDelete
  14. කතාව කියවද්දී ලංකාවේ රෝහල් එක්ක තත්වය සංසන්දනය වෙන එක වලක්වන්න බෑ.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඔව් .. ලංකාවේ රෝහල් කතා කිහිපයක් තියෙනවා වෙනම ලියන්න ඕනේ...

      Delete
    3. //කතාව කියවද්දී ලංකාවේ රෝහල් එක්ක තත්වය සංසන්දනය වෙන එක වලක්වන්න බෑ.//
      ඔව් එහෙම දෙයක් නම් තියෙනවා තමයි.. මගේ අරමුණ වුණේ ඒකට වඩා අපි මෙහෙ වැඩ කරන හැටි ගැන හරි විස්තරයක් දෙන්න.
      හැබැයි සංසන්දනය කරලා හොඳයි කියලා හිතෙන දෙයක් හිතට ගත්තට කමක් නැහැ නේද ?

      Delete
  15. බටහිර දොස්තරල කෝමත් පොයින්ට් ටු නේද වැඩ කරන්නේ.. කෝම උනත් කැනියුලා එකේ බටේ නහරේ දිගේ යන කොට එන හීං කිතිය වගේ එක නං මට හරි අපුලයි.. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තේ ආවට .. අපෙත් පුහුණුව නම් එකම බටහිර ක්‍රමේට තමයි ඉතින්.. කැනියුලා බටේ කතාව නම් ඇත්ත තමයි.. මමත් රෝගියෙක් විදිහට ඉඳලා තියෙනවා ලංකාවේ රෝහල් වල..

      Delete
  16. අම්මෝ මටත් ඔය කටු බටු ගහලා තියෙනවා හරියට, එක රිසර්ච් එකකට මම වොලන්ටියර් කෙනෙක් ලෙස ඉදිරිපත් වුනා.මාසෙකට හතර පස් වතාවක් Forearm Blood Flow assessment කියන එකට සහභාගිවුනා. හරිම වේදනාවක් එන්නේ ආර්ටරි එකට කටුව වදිනකොට. ඒක කරන්නේ ඉතා පලපුරුදු අය විතරයි. හොඳ අත්දැකීමක් වුනා ඒ කාලය.

    ReplyDelete
    Replies
    1. මෙහෙ ආවට ස්තුතියි අරුණ. රිසර්ච් වොලන්ටියර් වුනාට ස්තුතියි. මමත් රිසර්ච් කරන/කරපු කෙනෙක් නිසා ඔබේ සහභාගී වීමේ වටිනාකම මට තේරෙනවා... මම කරා "rat tail artery blood flow measurements" හරි හොඳ අතදකිම් ලැබුවා..

      Delete
  17. වෛද්‍ය කියන වචනය ටයිප් කරපු අවස්ථා දෙකම සාර්ථක වුනේ නැහැ නේද? ඔබ පාවිච්චි කරන්නේ ගූගල් ඉන්පුට් ටූල්ස් නම්, වෛද්‍ය යන්න ටයිප් කරන්න waaidya යනුවෙන්.

    මට බොහොම සතුටුයි. වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ කීපදෙනෙක්ම දැන් සිංහලෙන් බ්ලොග් ලියනවා. එයින් අපේ දැනුම බොහොම පළල් වෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුති විචා මාමේ... මම පාවිච්චි කරන්නේ ඉන්පුට් ටුල්ස් විතරයි. ඤන් ඤන් ඤ උන් කියලා ලියා ගන්න බැරුව දැඟලුවා මතකද? මේ සන් ඤක ලිවිල්ල මහා ගැටළුවක් මට ... වෛද්‍ය ක්ෂේත්‍රයේ කතා ටිකක් දෙන්න බලන්නම් ඉදිරියට .. මට හිතෙන්නේ අපේ ළමා කාලේ ගැන කියන එකත් හොඳයි කෙනෙකුට යමක් ඉගෙන ගන්න තියෙනවනම් ඒ කතාවල..

      Delete
  18. ...මේ ඉස්පිරිතාලේ මේ කොරිඩෝවේ ..
    ...අපේ කතා ඇත ලියවීලා...

    ReplyDelete
    Replies
    1. වමට හැරී සිටි මව් වරු දුටුවා - ස්ටේජ් රුමේ අප කෙරු කතා බහ...

      Delete
  19. ගානට ගලාගෙන යනවා .ලව්ලි පෝස්ට් . හැබැයි එමලිට කියල වැඩිය තේ හදව ගන්න එපා හොඳේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිලකේ අය්යා.. මතකනේ නිම්මිට කියලා තේ හදවා ගෙන වෙච්ච් දේ ? බයවෙන්න දෙයක් නෑ.. ඇත්තටම මේ සිද්ධිය වුණේ මගේ අන්තිම නයිට් එකේ.. අද (02/05/2016) ඉඳලා වෙන වාට්ටුවක .. තට්ටු තුනක් පහළ. එමලිලා පෙනෙන්න වත් නැහැ...

      Delete
  20. රසයි ලිපිය. ඔබේ දක්ෂතාවය සහ කරුණාව අගය කරනවා.කරුණාවන්තකම සහ රෝගියා කැමති මාතෘකාවකින් සාකච්චාවක් ගොඩ නගා ගැනීම, දියුණු රටවල නිතරම කෙරෙන දෙයක් මේ වගේ අවස්ථාවකදී. එය මා අත් දැක ඇති දෙයක්. ඒ වගේම ඒ අවස්ථාවේ පවතින රෝගී තත්වය ගැන රෝගියාට වැටහෙන අයුරින් විග්‍රහයක් කිරීමත් ඒ වෙලාවට සිදු වෙනවා. මොකද ඇත්තටම කරුණාවක් නැතත් වෛද්‍යවරයා සහ සහායකයින් වග බලා ගන්නවා නීතියෙන් පරිස්සම් වෙන්න.

    ලංකාවේ නම් මේ තත්වය මම හිතන්නේ වෛද්‍යවරයාගේ පුද්ගලික ආකල්ප මත පදනම් වන දෙයක් සහ රෝගියාගේ සමාජ තත්වය මත පදනම් වන දෙයක්.

    ReplyDelete
  21. //මොකද ඇත්තටම කරුණාවක් නැතත් වෛද්‍යවරයා සහ සහායකයින් වග බලා ගන්නවා නීතියෙන් පරිස්සම් වෙන්න// එහෙම දෙයකුත් තියෙනවා මෙහෙ හැබැයි මේ කතාවේ කියවෙනවා වගේ ඇත්තටම මානුෂිය බැඳීමකින් ඇතිවන සාකච්චාව ඇත්තටම රෝගියය්ටත් සේවය සපයන අපටත් ඇඟට/හිතට දැනෙනවා.. මේ පොස්ට් එක ලියවෙන්නේ ඒ හමුවීම ඒ තරම් හිතට දැනුන නිසයි..

    ReplyDelete
  22. අදයි මේ බ්ලොග් එක පැත්තට ආවේ. ඔහොම කතා බහ කරලා රෝගීන්ගෙ විශ්වාසය දිනාගන්න එක නම් ගොඩක් වැදගත් දෙයක්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තේ ආවට සහ අදහස් දැක්වීමට.... කතාව ඇත්ත..

      Delete