Tuesday, 12 April 2016

බක්මහ උළෙල සහ චමින්දගේ බීම කඩේ



කොහෝ කොහෝ  කොහේ ඉඳන්  කොහෝ කියනවදෝ  .......

අවුරුද්දට අපේ දිහා නෑ ගම්  එනවදෝ   .....

රේඩියෝවෙන්   ඇසෙන්නේ  සනත් නන්දසිරි ඇතුළු පිරිස ගයන මේ  ගීතයයි.




කොළතැන්නේ  ලැයිමේ  ගෙදර පැත්තෙන් ......


"උඩින් උඩින් වර  පෙත්තප්පු- බිමින් බිමින් වර පෙත්තපු

උඩින් උඩින් වර බිමින් බිමින් වර - කැවුම් කන්න වර  පෙත්තපු "



යන හඬින්  රබන් වාදනයක්  ගම පුරා පැතිර යයි.

අක්කත් මමත්  කුඩු දවුල කොළ,  සමර  බෑග්  , හුණු  බෑග්  සහ ඩිස්ටැම්පර්  ටින් එහෙම අරගෙන   අපේ  ගේ කල එලි කරන්නට  ලක ලැහැස්ති වන්නෙමු.

අම්මා  පල්ලැහැ ගෙදර ජේන් අක්කා ඇතුළු පිරිස සමුපකාරයට  යන්නේ  මල් මල් චීත්ත රෙදි සහ  ඉරි ඉරි පිජාමා සරම් රෙදි රැගෙන එන්නටය. මේවායින් සමහරක තිබුණ නැවුම් සුවඳ  "ලාම්පුතෙල් "  සුවඳක්  මෙන් දැනුණා මතකය.

ජේන් අක්කා ගේ  අක්කා වූ කුමා අක්කාට  මේ  කාලේ  මාර  ඉල්ලුමක් තිබේ.. ඇය කුඩු දවුල කොළ  වල  නානු දමමින්  "ආස්මි " හදන්න හැකි ගම්  ගොඩේ සිටි එකම කාන්තාව වීම  මේ  ඉල්ලුමට හේතුවයි.

මේ අතර පල්ලැහැ කුමාර අය්යලා  ,සිරිල් අය්යලා ඇතුළු "ශ්‍රී සිද්දාර්ථ  එකමුතු යව්වන සමාජය "  ගමපුරා ඇවිදිමින් ආධාර  පත්‍රයකට  මුදල්  එකතු කරති.

අපේ ගමට   සිංහල  හා හින්දු අළුත් අවුරුද්ද එළැඹෙන්නේ  මේ ආකාරයටයි.



අපේ සමන්ත එකමුතු යව්වන  සමාජයේ   යාව ජීව  සාමාජිකයෙකු වුවද  මම  එහි රැස්වීමකට  ගියේ  එක වරක්  පමණි .

ඒ  පල්ලැහැ  කුමාර අය්යා සහ කොළතැන්නේ  චුට්ටි අය්යා ගේ  පෙරැත්ත වල්ටට්යි. එහෙත් ඔවුන් කල ශ්‍රමධාන  , අවුරුදු උත්සව, නාට්‍ය , සංගීත  සංදර්ශන හැම එකකටම  මමද සහභාගි  වුනෙමි.

මහා බක් මහා උළෙල 


ඒ  1989  බක්  හෙවත් අප්‍රේල්  මාසයයි.

මේ වනවිට   චමින්ද  , සුරාජ්  සහ  මා එකම කල්ලියක් ලෙස උසස් පෙළ විද්‍යා  විෂයන්ට  පාඩම්  කරමින් සිටියෙමු.

ජයංගනී නංගි , සීනි බනිස් , පුස් බනිස් ඇතුළු  තිදෙනෙක්ද  අපේ  කතාවල  චරිත වී  සිටියේ  මේ  කාල වකවානුවේමය.

දිනක්  සමන් අය්යාගේ  පංති ඇරී එන ගමන් චමින්දයා  අපේ  අවුරුදු උත්සව සැලසුම සාකච්චා කලේ මෙසේය.

"මචං  කවිඳු ... මේ පාර අවුරුදු උත්සවේට දාමුකෝ බං  කඩයක් "

"මම  අප්පච්චිගේ  කඩෙන් බඩු ටිකකුයි  මගේ ගානේ තව බඩු ටික කුයි අරන් දෙන්නම්"

" මචං එහෙම වුනාම අපි කඩේට හිරවෙනවනේ ?"

"ජයන්ගනිලා  ගල් බනිස්ලා  එහෙම ආවත් බලන්න වත් වෙන්නේ නැහැනේ "  මමත් සුරාජයත් මැසිවිලි නැගුවෙමු.

"ඉතින් මචං  අපි තුන්දෙනෙක් ඉන්නවනේ  මාරුවෙන් මාරුවට කඩේ ඉමු "

" මම කුමාර අය්යා ගෙන්  අහන්නම් කෝ  කඩේයක්  දාන්න අවසර දෙනවද කියලා "

චමින්දයා ඒ කාලෙත් හොඳ සටකපට බිස්නස් කාරයෙකි.

මගෙත් සුරාජ්ගේත් වැඩි කැමැත්තක් නොතිබුණද   මල්දෙණිය - කිරඹ ඔය  බක්මහ  උළෙලේ  වෙළදාමක් කිරීමේ අදහස ඔහු ස්ථිර කර ගත්තේ එලෙසිනි.

"උඹ ඉතින් ඔය ඉස්කෝලේ බිස්නස් කරලා තියෙනවනේ ?"

චමින්දයා මට මතක් කර දුන්නේ මම හතේ  පන්තියේ ඉන්දැද්දී "සැඟවුණු දයිවය "  නාට්‍ය දවසේ කල    ටොෆි සිගරට් බිස්නස් එක  ගැනයි.

ඒ වන විට  මම එළවළු වගා කප්පිත්තෙක් වුවද  ඊට  චමින්දයා එළවලු වැවීමට අමතරව උගේ අප්පච්චිගේ කඩේ ඇතුලේ බැටරි චාජරයක් හෙම තාබාගෙන  සියිඩ් බිස්නස් එකක්ද කළේය.

මම  හතේ- අටේ පංති  වලදී  සාර්ථක බිස්නස් කරුවෙක් වුවද මේ  කාලයේ මම සිදුකලේ එළවලු වගාවත්  ජයංගනී ලා ඇතුළු ළමයින් රැලකට  ටියුෂන් පංති කිරීමත් පමණි.

අපේ ගමේ බක් මහා උළෙලේ ප්‍රධානම අංගයක් වුයේ  "ගම හරහා දිවීමේ" තරඟ යයි. ඊට අමතරව අසු ගණන්වල  අග භාගයේ ප්‍රසිද්ධ වෙමින් ගිය අනිත් අංගය  "මහා වොලිබෝල්" තරඟාවලියයි.

සිධාර්ථ එකමුතු කණ්ඩායම, අමුණුදෝව ශ්‍රී විජය කණ්ඩායම සහ  කේෂන් වත්තේ  දෙමළ ක්‍රීඩකයින් සහ දම්බගොල්ලේ සිංහල ක්‍රීඩකයින් ගෙන් සැදුම් ලත් කණ්ඩායම් තුන මෙයට සහභාගී වූ ප්‍රබලම කණ්ඩායම් විය.

විශ්ව විද්‍යාලයට යන්නට පෙර මේ තරඟ සියල්ලේ නිවේදන කටයුතු කලේ එකල පළාතේ ප්‍රසිද්ධ නිවේදකයෙකයකු වූ අපේ අය්යා සමන්ත   විසිනි.

එහෙත්  මේ වනවිට සමන්ත ගමේ නොසිටි නිසා  අවස්ථාවක්  ලැබුනොත් ඔහුගේ  තැන ගැනීමට සුදානමක් සහිතව සිටියෙමි.

පළාතේ ප්‍රසිද්ධ    දේශපාලන කථිකයෙකු වූ  "නාමරත්න මහත්තයාගේ " පොඩි පුතා ලෙස මටද  යමක් කල හැකි වේයැයි තද බල විශ්වාශයක් මා තුල තිබුණි.


මට මතක හැටියට කුමාර අය්යාද  මේ ගැන මා සමග කතා කර තිබුණේය .

"චුටි මල්ලී ... සමන්ත ගමේ නැති නිසා ඔයාට පුළුවන් නේද  අපේ අනවුන්සින් කරන්න"

"බලන්ඩ කෝ  කුමාර අය්යා මේ චමින්දයා කඩයක්  දාන්න හදනවනේ  මගෙනුත් සපෝර්ට් එකක් ඉල්ලුවා "

"මටත් ටික වෙලාවක්  කඩේ ඉන්න වෙනවා  ....එහෙම වුනොත් වොලිබෝල් මැච් එක විතරක් වත් කරලා දෙන්නම් "

චමින්දයා කඩ කෙරුවාව පටන් ගන්නට පෙර නම් මම සිතා සිටියේ ජයන්ගනිලා ඇතුළු ගමටම පෙනෙන්නට  නිවේදකයෙක් ලෙස කල එලි බසින්නටයි.

එහෙත් දැන් සිදුවන්නේ  කඩේ බිස්නස් කරන අතර අවස්ථාවක් ලදහොත් වොලිබෝල් මැච් එක ආවරණය කරන්නටයි.


බිම කඩේ සහ වොලිබෝල් මැච් එක



අවුරුදු උත්සවය පැවැත්වෙන දවස උදාවිය.  

"ප්‍රදේශවාසී මව් වරුනි , පියවරුනි , සහෝදර සහෝදරයනි ... මේ ඔබ අමතන්නේ  කිරඹ ඔය- මල්දෙණිය ශ්‍රී සිදුහත් එකමුතු යව්වන සමිතියයි "

යන හඬත් සමග උළෙලේ මුල්ම අංගය "ගම හරහා දිවීමේ තරගය " ආරම්භයට  සුදානම් වන බව සඳහන් කල හඬ  පල්ලැහැ සිරිල් අය්යගේය .

අපේ සමන්තගේ මෙන්  තීව්‍ර නොවුනත් වෙලාවේ හැටියට නරකම නැති හඬක් සිරිල්ට තිබිණි.  

මම තරඟ අරඹන තැනට (ඉස්කෝලේ ගේට්ටුව ලඟට )  යන්නට  නොනිත් අසාවෙන් සිටියෙමි.

එහෙත්  ඉස්කෝලේ වත්තේ තිබු  ලොකට්  ගස යට  ( හෝඩියේ පංතිය  පැත්තට වන්නට )  චමින්දයා  අටවා තිබු ටකරන් මඩුවේ  බිම බෝතල් ආදිය  අස්පස් කරමින් සිටි මට ඒ සඳහා  ඉඩක් ලැබුනේ නැත. 


චමින්ද සුරාජ්  සහ මම ඇතුළු තුන් කට්ටුව මේ වන විට කඩියන් මෙන්  අපේ අවුරුදු වෙළඳ සැල පිළිවෙලක් කරමින් සිටියෙමු. 


කයිවාරු  මාමලා ශාන්ත , එහගෙදර පොඩි රාජා  සහ  කන්දෙගෙදර  පොඩි ඇතුළු මැරතන් සුරයන්  එක පෙළකට සිටිනු කඩේ අස් පස් කරන මට පෙනේ.

තවමත් උදේ හත පසුවුණා පමණි . එහෙත් සිරිල් අය්යා ඉල්ලා සිටි පරිදිම දැන් එකා දෙන්නා  කිරඹ  ඔය පාසැල් ක්‍රීඩාංගනය වෙත ඇදී එමින් පවතී.

ඒ අතර සිටි මට වඩා අවුරුදු හතක් අටක් බාල කොලු ගැටයෙකි. ඒ ජයන්ගනිගේ මල්ලී ( මගේ පාසැල් ගමන් සගයා ) ජානක මල්ලියාය.

ඔහු චමින්දලගේ බලවත් හිතවතෙක් නොවුනද මගේ හිතවත් කම නිසාම කඩේ වැඩ වලට උදව් වෙන්නට ආවේය.

උදේ අට නමය වන විට  කොට්ට පොර ගැසීම, කනා මුට්ටිය බිඳීම , රබන් ගැසීම  වැනි තරඟද ආරම්භ විය.



අපේ කඩේ අලියා බිම, වෙෆස්  , smak ආදී වෙළඳ භාණ්ඩද සීග්‍රයෙන් අලෙවී වෙමින් පවතී.

මේ අතර චමින්දයත් සුරාජයත් වරින් වර ජානක මල්ලී සහ  මා පමණක්  බීම කඩේට හිරකර තබා  බනිස්ලා  හෝ  ගල් බනිස්ලා  ඇවිත් ඇද්දැයි බලන්නට යති. ඒ අතරම  අවුරුදු උත්සවයේ විවිධ අංග නරඹති.

තවමත්  අවුරුදු උත්සවයේ  ජනප්‍රියම අංගය  "මහා වොලිබෝල් තරඟා වලිය " ආරම්භ වී නැත. 

එහෙත්   ප්‍රසිද්ධ වොලිබෝල් ක්‍රීඩකයින් වූ කේෂන් වත්තේ  "එගම්බරම්"  කේෂන් කඩේ පුන්චිරාල  මාමලා උපාලි ආදීන්අපේ කඩේට ඇවිත්  නෙක්ටෝ  එහෙම   රැගෙන යමින් සිටියහ.

වෙලාව දවල් දෙක පමණ වන්නට ඇත.  විද්‍යාල ක්‍රීඩා පිටිය එකම හිස් ගොඩකි . ජයංගනී අපේ නිම්මි නංගි ඇතුළු කෙල්ලෝ කට්ටියද එහෙ මෙහෙ යනු පෙනේ.

සුරාජ් හෝ චමින්දයා  පෙනෙන තෙක් මානයක වත් නැත.  මගේ තනියට සිටියේ අපේ ජානක මල්ලියා පමණි.  
මම smak දෙකක් කඩා ජානක මල්ලිට එකකුත් මට එකකුත් ගත්තෙමි.

"මෙන්න ඔබ සැම පුල පුලා බලා සිටි අවස්තාව දැන් උදාවෙනවා.. මේ සටහන් වන්නේ මහා වොලිබෝල් තරඟාවලියයයි."

නිවේදකයා බෙරිහන් දෙයි.

දැන් තරඟයේ නිවේදන කටයුතු සඳහා මිය්ක්රෆොනය භාර දෙනවා  අපේ චමින්ද රාජපක්ෂ මල්ලීට..

"ආයුබෝවන් මේ ඇරයුම ප්‍රථම කණ්ඩායම් දෙකටයි . කරුණා කර  අමුණුදෝව ශ්‍රී විජය කණ්ඩායම සහ කේෂන් රන්තරු කණ්ඩායම  පිටියට වාර්තා කරන්න.."

චමින්දගේ  හඬ ලවුඩස්පිකරයෙන්  ඇසෙන්නට විය.

අවුරුදු නිවේදනය


"අපිට තව අලියා බීම දෙකකුයි  වේෆස් පැකට් එකකුයි දෙන්න " අපේ ගැනුම් කරුවෝ  වෙළඳ සැලට පැමිණ සිටිති .

ජානක මල්ලියා  අලියා බිම කඩනා අතර මම වේෆස් පැකට් දෙක පරිභෝගිකාවන්ට දුන්නෙමි.

ඔවුන් එතැනින් ඉවත් වීමත් සමග තවත් දිවුල් රස smak බෝතල් දෙකක්  කැඩුවේ ජානකටත් මටත් සප්පායම් වන්නටයි.


"වක්කරපාන් ... වක්කරපන්"

  කියමින්  සමහර  නරඹන්නෝ  කේෂන් පිලේ දැල අසලම සිට බෝලය පහලට දමන එගම්බරම් සහ දඹගොල්ලේ පියතිලක ව උනන්දු කරනු ඇසේ .

"ඔන්න දැන් පන්දුව පිරිනැමුවා . පන්දුව පිරිනැමුවේ  රන්තරු පිලේ උපාලි වීරසිංහ විසින් ..  විජය පිලේ පිළිගැනීම සාර්ථකයි...

පන්දුව නැවතත් රන්තරු පිලට... එම පිලේ "එගම්බරම්" විසින් පන්දුව ඔසවා දෙනවා.. අංක 7 පියතිලක dash පහරක් එල්ල කරනවා.. "

"අතිසාර්ථක   dash පහරක්!!!  ඒ  ලකුණත්  ගෝල්ඩන් ස්ටාර් කණ්ඩායමට "



චමින්දයා දිගටම කියවා ගෙන යයි .  සුරාජ් ආගිය අතක් නැත.. මම කඩයට වී ක්‍රීඩා විස්තර විචාරයට සවන් දුන්නෙමි.

මගේ තනියට සිටියේ ජයන්ගනිගේ මල්ලී , ජානක මල්ලියා පමණි 

පසු සටහන:  බලාපොරොත්තු  බිඳ වැටුනද  මිතුරාගේ විශ්වාසය  කඩ නොකරන්න.   ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක්  වේවා !!! 


22 comments:

  1. මිතුරාගේ විශ්වාසය 'කඩ' නොකරන්න තමයි. ඒකනෙ ඌ කඩේ පැත්තෙවත් ආවෙ නැත්තෙ. හැක්..

    කවිඳුට සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. Praසන්ன ටත් සුභ අලුත් අවුරුද්දකට අපේ සුභ පැතුම්.... මිතුරා කඩේ පැත්ත පළාතේ වත් ආවේ නැති අතරේ මමත් වෙන්ඩ මස්සිනා වූ ජානකත් හිටු කියලා බීම බිව්වා..

      Delete
  2. සුභ නව වසරක් වේවා ඔබටත්...
    මු

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තේ ආවට නිර්මාණි ටත් සුභ නව වසරක් වේවා !!

      Delete
  3. සොඳුරු මතක.

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව ඉයන් ... දවස ඉවර වෙලා චමින්දයට ගජ ලාභයි . මම හිතුවේ ලාභයෙන් භාගයක්ම මට ලැබෙයි කියලා . මතක හැටියට පොර මට රුපියල් පනහක් දුන්නා.. ඒකත් සැහෙන ලොකු ගානක් ඒ කාලේ

      Delete
  4. අක්කා නැතත් මස්සිනා ලග හිටියත් පොඩි ලල් එකක් තියනවා නේද

    ReplyDelete
    Replies
    1. ඔවු .. ඔවු .. පොඩි ලෙන්ගතු කමක් එනවානේ....

      Delete
    2. අටමා ටත් , අටමීටත් , අටම් පැට්ටිකියෝ දෙන්නටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!

      Delete
  5. චමින්දයගෙ ප්ලෑනත් නරක ම නෑ. ඒකෙන් උනේ ගමේ අයිය වගේ පොරක් වෙන්න තිබුනු චෑන්ස් එක මිස් වෙච්ච එක නේද? ඒ විතරක්නම් මැදෑ. ඒක චමින්දය නෙ අරන් තියෙන්නෙ. කමක්නෑ ඌ වැඩේ හොඳ ට කරානම් ඒ ඇති. වැඩ දෙක ම ගොඩ යනවනෙ.

    සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. සුභ අලුත් අවුරුද්දක් වේවා කසුන්... මම ඒ අඩුපාඩුව හරියන්නත් එක්ක කැම්පස් එකේදී දුන්නා අනවුන්සින් පාරක් ඇට්ටි හැලෙන්න... පස්සේ පොස්ට් එකක දාන්නම්...

      Delete
  6. චමින්දයාට ඡන්දෙ ඉල්ලුව නම් හරි... බීම එකක් හරි බීපු එක මදෑ කූල් වෙන්න .. හෙහ් හෙහ්.. ගස්ලබ්බටත් අනන්ත කඩා වැටිල තියෙනවා ඔය අනවුන්සිං වැඩ.. ඒකෙන් ආපු ආතල් එකට විද්‍යා දින,ප්‍රදර්ශන වලදි 96.1 එෆ්.එම්. සේවාවන් පවා කලා.එස්.එම්.එස් වලට සින්දු දිදී.ශෙහ්ඃ.. පට්ට ආතල් ඒ කාලෙ.
    සුභ නව වසරක් වේවා..!!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. චමින්දයා දැන් අපි වගේම ඔස්ට්‍රේලියාවට වෙලා ඉන්නවා. ඔවු අපි කුල් එකේ බීම බෝතල් කිහිපයක් හිස් කරලා හිටියා. ඔබටත් සුභ නව වසරක් !!!

      Delete
  7. "කුඩු දවුල කොළ" නෙමෙයි

    "දවුල් කුරුදු"


    සුබ අලුත් අවුරුද්දක්..!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. අපේ පැත්තේ මේවට කුඩු දවුල කියන නම තමයි පාවිච්චි කරන්නේ.. අපේ නෝනලා ගෙවල් පැත්තේ /කෑගල්ල පැත්තේ දවුල් කුරුඳු කියලා කියනවා.
      ඔබටත් සුභ නව වසරක් !!!

      Delete
  8. සෙනෙහස් වැසි වැටී පොහොණි ව දිවි කතර
    දුකඳුරු මැකී එළි පෙහෙළි ව මග හසර
    හද කෙත පුරා මනුදම් පීදෙන අතර
    අරුණැල්ලක් ව ඇහැරේවා නව වසර

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... අපිටනම් කවී පද බඳින්න අමාරුයි .ඔබටත් සුභ නව වසරක් !!!

      Delete
  9. සුභ අලුත් අවුරුද්දක් වේවා කවිදු ඇතුලු පවුලේ සියලු දෙනාටම.
    කවිදු වැඩියෙන්ම දුක් උනේ එනවුසින් පාට් එක මිස් උනාටද නැත්තම් ගෑල්ලමයි ටික මිස් උනාටද ?

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුභ නව වසරක් !!!
      ගැල්ලමයි එච්චරම ගානක් වුණේ නෑ.. මොකද මලයාට සැලකුවනේ. වැඩිපුරම එනවුන්සින් මිස් වුන එක තමයි වැදුනේ හැබැයි එකත් බිස්නස් ජයට ගිය නිසා මග හැරිලා ගියා..

      Delete
  10. මේක අවුරුදු උණුහුමේ මට මිස් උනා.. එහෙනම් ලබන අවුරුද්දටවත් සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඒක නිසා තමයි ආපසු මුහුණු පොතේ දැම්මේ ... එසේම වේවා එහෙනම්..

      Delete