Follow by Email

Friday, 23 August 2019

එක හීනෙන් එළිවුණු ඇල්ල රොක් සිහිනය


සතියේ වැඩ ඉවර වෙලා ගෙදර ආවා හයට හය හමාරට විතර. බිරිඳත් එක්ක සතියේ විස්තර සාකච්චා වෙද්දි ඇල්ල රොක් ගිණි ගැනීම , ලංකාවේ දේශපාලන තත්ත්වය අපේ යාළුවන්ගේ අදහස් සිරිසේන මොනවා කරයිද? ඔන්න ඕවා තමයි කථා කරේ . එයා දෙවැනි ඉනිම බලද්දී ධර්මප්‍රිය ඩයස්ගේ දක්ෂ කම් ගැන කිය කියා හිටි මම ආපහු මගේ කාමරයට ගිහින් මුහුණු පොතේ සැරිසරණවා .

තව ටිකක් රෑ වෙලා ඔස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකික වෛද්‍යවරියක් කෙටි පණිවිඩ එවනවා  ආධාර රැස් කිරීමේ ලන්ච් එකක් ගැන (ඔයත් එන්න බලන්න පුළුවන්නම් පුතාගේ චිත්‍රයකුත් ගේන්න අපේ වෙන්දේසියට තියන්න)
  මම: " ඔයා දන්නවද ඔය කට්ටිය ගියපාර එකතු කරලා  යවපු රෝහල් උපකරණ ඔක්කොම රේගුවේදිම විනාශ කරනවා කියලා ?"
"  අම්මෝ ඔයාට කොහොමද ඒ ගැන දන්නේ ? "
"මට මිනිස්ට්‍රියෙන් තොරතුරු එනවා "
".. අය්යෝ ඔය වැඩේට මම මහන්සි වෙච්ච තරමක් . මේ වෙලාවේ ඔයාට කරදර කරාට කණගාටුයි  අපි හෙට කථා කරමු ඔය ගැන".  ( මේ වෙලාවෙත් ලංකාවෙ වැඩ කෙරෙන හැටි , දේශපාලනය  වැඩ වලට බලපාන හැටි  මෙකී නොකී කුණු කන්දල් මගේ ඔළුවට එනව ස්වභාවයෙන්ම)

ඔය කතා බස්  පණිවිඩ හුවමාරු එහෙම ඉවරවෙලා  කොහොම හරි නින්දට වැටුණා කියමුකෝ .



ඔන්න සාගර රත්නායක මම  සුසිල්  විජේරත්න රෝහණ   වණසිංහ, සුජිත් රත්නායක ඇතුළු කොල්ලෝ රෑණක් ඇල්ල රොක් නඟින්න යනවා( මේ කට්ටිය තමයි මාත් එක්ක එකට බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයෙන් මෙඩිසින් තේරුණේ). ටික වෙලාවක් යද්දී කොල්ලෝ රෑණ මට මඟ හැරෙනවා . මම එයාලට වඩා ටිකක් පහුවෙලා එන්නේ   කොහොම හරි මුං ටික අල්ලනවා කියලා මමත් හය්යෙන් හය්යෙන් කිතල් ඇල්ල පැත්තේ ඇල්ල රොක් බලා යනවා.


පුදුමෙකට වගේ මගේ ලඟ හොඳ මොබයිල් ෆෝන් එකකුත් තියෙනවා.. ඔන්න දැන්න ඇල්ල රොක් පැත්තට යන්න ඕනි පාර දෙකට බෙදෙනවා එක පැත්තක් ( වම ,පුළුල් එහෙත් නොගැඹුරු ඔයක් හරහා එගොඩවෙලා යන්න ඕනේ) මේ වැඩේට මට සපත්තු මේස් එහෙම ගලවලා අතට ගන්නවෙනවා . කළිසමේ කකුලුත් නමන්න වෙනවා .. අනික් පැත්ත වියළි ගිරිදුර්ග සහිත පාරක් .. මම එතැන ඉන්න ගම්වැසියෙක් ගෙන් අහනවා "මෙහෙම මහත්තුරු කට්ටියක ආවා කොයි පැත්තෙන්ද යන්න ඇත්තේ?  කියලා . සාගරලා වමට ගිය බව තමයි ඔහු හඟවන්නේ . මමත් වමට හැරිලා ඔයෙනුත් එගොඩවෙලා ආපහු ඇල්ල රොක් බලා යනවා .

ටික දුරක් යද්දී මට ඇලකණ්ඩියක් උඩින් යන්න වෙනවා . තවමත් සාගරලා නෑ.. දැන් මම සෑහෙන්න කළබල වෙලා එයාලාගේ නම් මොබයිල් එකේ  හොයන්න උත්සාහා කරනවා "රත්නායක සාගර , රත්නායක සුජිත්" එකක් වත් එන්නේ නෑ .. අහළ පහළ් ඉන්න මිනිස්සුත් මා දිහා බලනවා.

මේ අතරේ අපේ ලසිත් ගේ වගේම චිත්‍රයක් මට විකුණන්න හදනවා එක්කෙනෙක් .. මම අර මහත්තුරු කොහෙද අහ අහා දඟලනවා..

දැන් මට වෙහෙසයි ඒ වගේම  භයයි  කන්ද උඩට යන්න හදනවා හදනවා යැවෙන්නේ නෑ .. සාගරලා පේන තෙක් මානෙක ඇත්තෙත් නෑ මොබයිල් එකේ එයාලගේ නම් වදින්නෙත් නෑ .ඔහොම අතරමං වෙලා ඉද්දි එකපාරම අපේ අම්මා මතුවෙනවා

සාගර ලා එහෙම හොයාගන්න බැරුව ඇල්ල රොක් එකේ අතරමං වෙලා ඉද්දි පිහිටට එන්නේ අපේ අම්මයි අය්යයි . මුලින්ම අම්මා පුදුමයි එයා අතෙත් මොබයිල් ෆෝන් එකක් තියෙන්න ව පොඩ්ඩක් හිටපන් ආ මේ තියෙන්නෙ නොම්බරේ .. රත්නායක ඔන්න ලියාගනින් අම්ම කියනවා.


අම්මත් එක්ක මම ඇල්ල රොක් එකේ පහළට එද්දි මහ සෙනඟක් කොල්ලෝ කෙල්ලෝ , ලොකු පොඩි හැමෝම ඇල්ල රොක් එක නගින්න එනවා

ඒ අතරේම අම්මා වැද්ගත්ම ප්‍රශ්නේ මගෙන් අහනවා .. සාගරයලා එක්ක කෙල්ලොත් හිටියද ? පිස්සුද අම්මා කොල්ලෝ ටික විතරයි ..

අම්ම මාව පල්ලෙහාට අරන් එද්දී ඇල්ල් ප්‍රදේශයේ තියෙන ගෙයක් ලඟින් අපි යනව පෙනෙනවා.  ඒ ගෙදර ජනේලෙන් පෙනෙන රූපවාහිනී තිරයේ මුස්ලිම් පල්ලියක දර්ශනයක් තමයි තියෙන්නේ ඒකේ මහා හය්යෙන් "අල්ලාහ් අක්බර්" කියලා අර පැය කිහිපයකට වතාවක් ආගම කියන එක යනවා මේ අතරේ රැවුළත් වවාගත්තු අපේ බැචෙක් මටත් අත වනාගෙන ඇවිත් සිමෙන්තියේ දණ ගහගෙන යාතිකා කරනවා..

ඔන්න ඒත් එක්කම අල්ලපු කාමරෙන් ( ඒ ගෙදරම ) "යංකිච්චි විත්තං ඉධවා හුරංවා"  කියලා අර සද්දෙටම සමාන හඬකින් ගුවන්විදුළි යන්ත්‍රයක හඬ ඇහෙනවා  . ඔය අතරේ අපේතවත් බැචෙක්  කතාකරනවා ඇහෙනවා " මොනවද ඔය හ්තලා ගගා කියන කුණුහරුප ? කියා උස් හඬින් හිනාවෙන ගමන්


ටික වෙලාවක් යද්දි මම ලෙඩ වෙලා  ඒ අතරේ අම්මගේ උදව්වට අපේ අය්යත් ඇවිත් (හැමදාම වගෙ එදත් අපේ අය්යගේ වධානය යොමුවෙනවා මම ලෙඩ වුණාම ).
ඔන්න දැන්  අය්යයි අම්මයි මාව රෝදපුටුවක තියන තල්ලු කරන් යනවා. ටික දුරක් යද්දි රෝද පුටුවම ටොයිලට් එකකුත් වෙනවා.
 ටික වෙලාවකින් මහජන වැසිකිළියක බිම කහපාට පැල්ලම් දැක දැක මම හිරිකිතේ ඉන්න බැරුව රෝද පුටුවෙන් යනවා (මගේ කකුල් දෙකේ සෙරෙප්පුත් නෑ).. එක පාරම ඇහැ ඇරිලා බලද්දි මම ඉන්නේ ඔස්ට්‍රේලියාවේ කාමරේ ජනේලෙන් එළියේ කුරුල්ලෝ සිංදු කියන සද්දේ ඇහෙනවා.

අවසානයේ වම් පැත්තෙන් ගිය මම අතරමං වෙලා එක්කන්  එන්නේ අම්මයි අය්යයි .. අපේ යාළුවෝ ගියෙ වමෙන්ද දකුණෙන්ද  ගියාද නැද්ද ආපහු ආවද මොකුත් පැහැදිළි නෑ  .. ආගම් දෙකකට අධිකව ආදරේ කරන අපේ බැචාලා දෙන්නෙක් ( ඔබ අපි කවුරුත් හොඳින් හඳුනන ) එකම ගෙදරක ඉන්නවා .. මම ලංකාව , යාළුවෝ, පරිසරය , නෑදෑයෝ , ජාතිය , ආගම දේශපාලනය සියල්ල එකට කැටිවුණු හීනයක් දැකලා අවධිවෙනව. මගේ හීනේ  සත්‍ය තත්ත්වයට කොච්චර සමීපද කියලා හිතා බලන එක ඔබ සැමට භාරයි

Sunday, 18 August 2019

ඈ කටකාරී .... ඈ හැඩකාරී..

 ඈ කටකාරී .... ඈ හැඩකාරී..


අපිට පරිවාස භාරයට යන්න බෑ . අම්මයි තාත්තයි එක්ක ලුණුයි බතුයි කාලා හරි අපිට එකටයි ඉන්න ඕනේ.. ශ්රී ලංකාවේ ප්රසිද්ධ රූපවාහිනි නාලිකාවක බණ්ඩාරවෙල වාර්තාකරු ඉදිරියේ ඇය තම අදහස ඉදිරිපත් කලේ එලෙසිණි . අනතුරුව ගතවූ දින කිහිපයේදී අපි අපේ බණ්ඩාරවෙල හිතවතුන් හරහා ඇයගේ පවුළේ විස්තර හොයන්නට ගත්තෙමු. අවසානයේ ඇයත් මල්ලිලා තුන්දෙනත් අම්මත් තාත්තත් එකට ගුළිවී එක ඇඳක මෝඩ ගඩොලින් තැනූ තනි කාමරයක සිටින කාලය අවසන් වන බව ඇයට දැනගන්නට ලැබිණි. ඒ විතරක් නෙවෙයි ඔවුන්ගේ පවුළේ දියුණුව වෙනුවෙන් ගැනෙන්නට නියමිත වෙනත් පියවරවල් ද ඈ හට දැනගන්නට ලැබී තිබුණි. වෙනදා අම්මා හා තාත්තට එන දුරකථන ඇමතුමට ඊයේ ඇය උත්තර දෙන්නේ අහම්බයකිනි.
"හෙලෝ කව්ද කථා කරන්නේ?"
" හෙලෝ අම්මා හරි තාත්තා හරි නැද්ද?"
" අංකල් අම්මා මේ ලඟ කඩේට ගියා බඩු ගේන්න තාත්තා නම් වැඩකට ගියා, උදේම. අම්මා තව ටිකකින් එයි එතකොට කථා කරන්න "
".. හරි හරි පුතා ඔයා මම කව්ද කියලා දන්නවද?"
"අම්මලා කියලා තියෙනවා අපිට උදව්කරන මාමලා කට්ටියක් කියලා "
".. පුතා ඔයාගේ නම මොකක්ද?"
" බී සමෘධිකා "
" වයසකීයද? ඉස්කෝලේ කීයේ පන්තියෙද ඉන්නේ? .."
" මට එකොලහයි ඉන්නේ හයේ පංතියේ ."
". ශිෂ්යත්වේ ට මොකද වුණේ පුතා ? "
"මට ලකුණුඑකසිය තුනයිනේ තිබ්බේ අංකල් ."
". ඔයා මොනවගේ කෙනෙක් වෙන්නද කැමැති ?"
" ටීච කෙනෙක් වෙන්න"
" .. හරි හරි පුතා ටීච කෙනෙක් වෙන්න ශිෂ්යත්වේ පාස්වෙන්නම ඕනේ නෑ දැන් ඉඳලාම හොඳට පාඩම් කරොත් පුළුවන්.. මල්ලී කීයෙද ඉන්නේ? ""එයා දෙකේ , එයා නම් ටිකක් දඟයි.. "
"ඒක නෙවෙයි ඔයා නේද ටීවී එකේ මාමලා ආවම අම්මලා දාලා යන්න බෑ කියලා ඇඬුවේ? "
"ආහ් ඔව් ඔව් ඉතිං සමෘද්ධි නෝනා එහෙම කිව්වම මට භය හිතුනනේ?"
"ඒක නෙවෙයි තාත්තා බොනව නේද?"
" ඉස්සර බිව්වා දැන් බොන්නේ නෑ. ගේ හදලා දෙනවා කිව්ව දවසේ ඉඳන් තාත්තා බීලා එන්නේ නෑ ."
" ඒ කාලේ තාත්තා අම්මට ඔයාලට එහෙම බීලා ඇවිල්ලා කරදර කරාද?" " නෑ එහෙමටම නෑ .. "
"අම්මට එහෙම ගහන්න හැදුවද?"
" නෑ එච්චරම කළබල කරේ නෑ . එයාට අපිට ඉන්න ගෙයක් හදාගන්න බැරිකම ගැනම තමයි කිය කියා හිටියේ.. "
මේ අවුරුදු එකොළහක කෙල්ලෙකි . ගෙදර වැඩිමහළු ගැහැණු ළමයා ඇයයි . අවුරුදු තිස්දෙකක් වූ තරුණ බිරිඳත් සමඟ එකම කාමරයකින් යුතු නිවසක කුඩා දරුදැරියන් හත්ර දෙනෙකු සමඟ වෙසෙනා දිනපතා කුලී වැඩ කරනා තිස් හය හැවිරිදි මිනිසෙකුගේ සිතැඟි තේරුම් ගන්න බලමු. මේ තියෙන්නේ ගෘහස්ථ හිංසනයට අවශ්ය සියළුම අඩුම කුඩුමය . සමාජයක් ලෙස අප මේ දරු දැරියන්ට අසාධාරණයක් කරන්නේ කොතැනද බලන්න.
"ඔයා අපි කරන්න යන්නේ මොකක්ද කියලා දන්නවද? "
"ඔව් අපිට සල්ලි හොයාගන්න ක්රමයක් හදලා දෙන්න යනවා කියලානේ අම්මා කිව්වේ? "
"අන්න හරි ... ඔයාලාට දැන් පොත් පත් එහෙම තියෙනවද? "
"ඔව් .. ඊයේ පෙරේදා ගොඩක් කට්ටිය ගෙනැත් දුන්න නේ? '
"එහෙනම් ආයේ පොත් පත් වැඩියේ ඕනේ නෑ? "
"ඔව් ඕනේ නෑ.."
" හරි එහෙනම් ඔයා දැන් කැමැති මොනවා වෙනවටද? "
"අපේ ගේ හදාගෙන අම්මාට මොකක් හරි සල්ලි හොයාගන්න ක්රමයකුත් ලැබෙනවානම් හරි .. "
සමෘධිකා .. ඈ කටකාරියකි .. එමෙන්ම හැඩකාරියක්ද බවට මට ඔවුන්ගේ නිවස බලා ගිය අපේ හිතවතා එවූ චායාරූප සාක්ෂි දරයි..
මම අප ඔවුන් වෙනුවෙන් කරන්නට යනදේ වෙනුවෙන් සියයට දෙසීයක් කැපවෙන්නට තීරණය කළෙමි ( විස්තර පසුවට )