Follow by Email

Friday, 13 September 2019

ද වීඕජී සීන් ... පීවී ටුමෝරෝ.. (වෛද්‍ය සාෆීගේ කතාවට ඌණපූරණයක්)

වෛද්ය සාෆී
ලංකාවේ පමණක් නොව දැන් ලෝකප්රසිද්ධ චරිතයකි. හොඳ දේට වඩා නරකදේට ප්රසිද්ධ යැයි මත පලව
වෛද්‍ය සාෆී ලංකාවේ පමණක් නොව දැන් ලෝකප්‍රසිද්ධ චරිතයකි. හොඳ දේට වඩා නරකදේට ප්‍රසිද්ධ ‍යැයි මත පලවුණු  මේ වෛද්‍යවරයා හිතාමතා ඇළුත උපන් දරුවෙකුගේ කකුලක් කැපු බව තවත්ප්‍රසිද්ධ  ආගමික දේශපාලන චරිතයක් විසින් සමාජගත කරමින් තිබුණි.  සිසේරියන් සැත්කමක් කරද්දී එවෙලේ උපදින බිලිඳාගේ කකුලේ කැපුමක් අතිකරේ සාෆී පමණැක් නොවේ එසේ කරන්නට ප්‍රසිද්ධ වී සිටි වීඕජී තුමෙක්  ගැනයි මේ කථාව..
"ඩොක්ටර් ඔන්න ඩොක්ටර්ගේ තෑග්ග"
 මලක් වැනි රෝසම රෝස පාට බිලිඳියක් කොළපාට රෙදි ගොඩකින් ඔතා ම අසළ ට්‍රොලිය මතින් තැබුවේ තියෙටර් සිස්ටර් විසිනි. මම උඩ බිම බැලුවේ අනුන්ගේ ළමයෙක් මට තෑග්ගක් ලෙස දෙන්න හේතුව කුමක්දයි යන විමතිය මගේ දෑසින් පළකරමිනි. "ඇයි සිස්ටර් මට තෑග්ගක් උදේ පාන්දරම ?  "විමතිය සඟවමින් ප්‍රශ්න කළෙමි.. නෑ සර් අතින් මේ බබාගේ කකුල කැපුණා ඒකට ස්ටිච් එකක් දාන්න ... "උපන් හැටියේ ළමයෙකුගේ කකුලට මැහුම් දාන්න ?" මම වික්ෂිප්ත වූයේ  දෙමව්පියන් මොනවා නොසිතයිද ඉපදෙනකොටම  කකුල කැපුණම ? යන ගැටළුවද  මා සිත තුළ දෝංකාර දුන් නිසාය.. "ඩොක්ටර් අදද මේක දැක්කේ ? අපි නම් සෑහෙන්න වාරයක් දැකලා තියෙනවා සර් කළබලෙන් සීසර් එක කරද්දි සමහර බබාලගේ අත පය කැපෙනවා.. "මා වෙත  මැහුම් දාන්නට අවශ්‍ය උපකරණ ගෙනැත් දෙන අතරරේ සිස්ටර් කියයි.

. වීඕජී  තුමා සහ එස් එච් ඕ කෙනෙක් තියෙටර් ටේබල් එකේ වැඩය දෙන්නාම ආර්ය සිංහල වාසගම් සහිත වෛද්‍යවරු දෙදෙනෙකි .. ඔවුන්ගේ ඉන්ටර්න් වූ මම අපේ බොස් අතින් කැපුණු ළමයාගේ කකුලට මැහුමක් දැම්මෙමි, මව සහ අළුත උපන් බිලිඳියද සිංහල  බව මගේ මතකය පවසයි. ඒ කෙසේ වෙතත්මෙළොව එළිය දුටු මොහොතේම  මැහුම් දැමීමක් සිදුවූ ඓතිහාසික බිලිඳුන් අතරට  ඇයද එක්වන්නට ඇත.

සිද්ධිය සිදුවන්නේ මීට අවුරුදු බරගාණකට පෙර දවසකයි. ස්ථානය බස්නාහිර පළාතේ ප්‍රසිද්ධ කාන්තා රෝහලකි.  මා මේ රෝහලේ මේ වීඕජී තුමා යටතේ සීමාවාසික කාලය ගතකරන්නට යොමුවන්නේ මා කොළඹ පැත්තේ ඉන්ටර්න් කරන්නට තීරණය කල නිසයි .. මට කලින් එහි සිටි ඉන්ටර්න් වරයා ( මගේ බැචා) මට වී ඕ ජී වරයා ගැන සහ ඔහුත් සමඟ පරිස්සමින් වැඩ කරන්නේ කොහොමද යන්න ගැන උපදෙස් රාශියක් දුන්නා මතකය . "මචං සර්ට ඕනේ ප්‍රචාරය තමයි .. පොර ලෙඩා බලල තියෙනව කියන එක හරි වැදගත්.. වෝඩ් රවුන්ඩ් එකේ පොර ලෙඩා බලලා ගියාට පස්සේ බී එච් ටී එකේ ලොකුවට ලියපන් " ද වී ඕ ජී සීන් .. පී වී ටුමාරෝ" කියලා  නැත්නම් පහුවදා පී වී කරන්න ඉන්න කට්ටිය හොයනකොට උඹට හොයාගන්න බැරිවෙයි එහෙම වුණොත් පොරට මළ පනිනවා . ඔය ගොඩගම , හෝමාගම වගේ දුරපළාත්වලින් ආපු අම්මලා ගේ විස්තර මතක තියා ගනින්"
සිද්ධිය සිදුවන්නේ මීට අවුරුදු බරගාණකට පෙර දවසකයි. ස්ථානය බස්නාහිර පළාතේ ප්‍රසිද්ධ කාන්තා රෝහලකි.  මා මේ රෝහලේ මේ වීඕජී තුමා යටතේ සීමාවාසික කාලය ගතකරන්නට යොමුවන්නේ මා කොළඹ පැත්තේ ඉන්ටර්න් කරන්නට තීරණය කල නිසයි .. මට කලින් එහි සිටි ඉන්ටර්න් වරයා ( මගේ බැචා) මට වී ඕ ජී වරයා ගැන සහ ඔහුත් සමඟ පරිස්සමින් වැඩ කරන්නේ කොහොමද යන්න ගැන උපදෙස් රාශියක් දුන්නා මතකය . "මචං සර්ට ඕනේ ප්‍රචාරය තමයි .. පොර ලෙඩා බලල තියෙනව කියන එක හරි වැදගත්.. වෝඩ් රවුන්ඩ් එකේ පොර ලෙඩා බලලා ගියාට පස්සේ බී එච් ටී එකේ ලොකුවට ලියපන් " ද වී ඕ ජී සීන් .. පී වී ටුමාරෝ" කියලා  නැත්නම් පහුවදා පී වී කරන්න ඉන්න කට්ටිය හොයනකොට උඹට හොයාගන්න බැරිවෙයි එහෙම වුණොත් පොරට මළ පනිනවා . ඔය ගොඩගම , හෝමාගම වගේ දුරපළාත්වලින් ආපු අම්මලා ගේ විස්තර මතක තියා ගනින්"කුලක් කැපු බව තවත්ප්රසිද්ධ ආගමික දේශපාලන චරිතයක්

Friday, 23 August 2019

එක හීනෙන් එළිවුණු ඇල්ල රොක් සිහිනය


සතියේ වැඩ ඉවර වෙලා ගෙදර ආවා හයට හය හමාරට විතර. බිරිඳත් එක්ක සතියේ විස්තර සාකච්චා වෙද්දි ඇල්ල රොක් ගිණි ගැනීම , ලංකාවේ දේශපාලන තත්ත්වය අපේ යාළුවන්ගේ අදහස් සිරිසේන මොනවා කරයිද? ඔන්න ඕවා තමයි කථා කරේ . එයා දෙවැනි ඉනිම බලද්දී ධර්මප්‍රිය ඩයස්ගේ දක්ෂ කම් ගැන කිය කියා හිටි මම ආපහු මගේ කාමරයට ගිහින් මුහුණු පොතේ සැරිසරණවා .

තව ටිකක් රෑ වෙලා ඔස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකික වෛද්‍යවරියක් කෙටි පණිවිඩ එවනවා  ආධාර රැස් කිරීමේ ලන්ච් එකක් ගැන (ඔයත් එන්න බලන්න පුළුවන්නම් පුතාගේ චිත්‍රයකුත් ගේන්න අපේ වෙන්දේසියට තියන්න)
  මම: " ඔයා දන්නවද ඔය කට්ටිය ගියපාර එකතු කරලා  යවපු රෝහල් උපකරණ ඔක්කොම රේගුවේදිම විනාශ කරනවා කියලා ?"
"  අම්මෝ ඔයාට කොහොමද ඒ ගැන දන්නේ ? "
"මට මිනිස්ට්‍රියෙන් තොරතුරු එනවා "
".. අය්යෝ ඔය වැඩේට මම මහන්සි වෙච්ච තරමක් . මේ වෙලාවේ ඔයාට කරදර කරාට කණගාටුයි  අපි හෙට කථා කරමු ඔය ගැන".  ( මේ වෙලාවෙත් ලංකාවෙ වැඩ කෙරෙන හැටි , දේශපාලනය  වැඩ වලට බලපාන හැටි  මෙකී නොකී කුණු කන්දල් මගේ ඔළුවට එනව ස්වභාවයෙන්ම)

ඔය කතා බස්  පණිවිඩ හුවමාරු එහෙම ඉවරවෙලා  කොහොම හරි නින්දට වැටුණා කියමුකෝ .



ඔන්න සාගර රත්නායක මම  සුසිල්  විජේරත්න රෝහණ   වණසිංහ, සුජිත් රත්නායක ඇතුළු කොල්ලෝ රෑණක් ඇල්ල රොක් නඟින්න යනවා( මේ කට්ටිය තමයි මාත් එක්ක එකට බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයෙන් මෙඩිසින් තේරුණේ). ටික වෙලාවක් යද්දී කොල්ලෝ රෑණ මට මඟ හැරෙනවා . මම එයාලට වඩා ටිකක් පහුවෙලා එන්නේ   කොහොම හරි මුං ටික අල්ලනවා කියලා මමත් හය්යෙන් හය්යෙන් කිතල් ඇල්ල පැත්තේ ඇල්ල රොක් බලා යනවා.


පුදුමෙකට වගේ මගේ ලඟ හොඳ මොබයිල් ෆෝන් එකකුත් තියෙනවා.. ඔන්න දැන්න ඇල්ල රොක් පැත්තට යන්න ඕනි පාර දෙකට බෙදෙනවා එක පැත්තක් ( වම ,පුළුල් එහෙත් නොගැඹුරු ඔයක් හරහා එගොඩවෙලා යන්න ඕනේ) මේ වැඩේට මට සපත්තු මේස් එහෙම ගලවලා අතට ගන්නවෙනවා . කළිසමේ කකුලුත් නමන්න වෙනවා .. අනික් පැත්ත වියළි ගිරිදුර්ග සහිත පාරක් .. මම එතැන ඉන්න ගම්වැසියෙක් ගෙන් අහනවා "මෙහෙම මහත්තුරු කට්ටියක ආවා කොයි පැත්තෙන්ද යන්න ඇත්තේ?  කියලා . සාගරලා වමට ගිය බව තමයි ඔහු හඟවන්නේ . මමත් වමට හැරිලා ඔයෙනුත් එගොඩවෙලා ආපහු ඇල්ල රොක් බලා යනවා .

ටික දුරක් යද්දී මට ඇලකණ්ඩියක් උඩින් යන්න වෙනවා . තවමත් සාගරලා නෑ.. දැන් මම සෑහෙන්න කළබල වෙලා එයාලාගේ නම් මොබයිල් එකේ  හොයන්න උත්සාහා කරනවා "රත්නායක සාගර , රත්නායක සුජිත්" එකක් වත් එන්නේ නෑ .. අහළ පහළ් ඉන්න මිනිස්සුත් මා දිහා බලනවා.

මේ අතරේ අපේ ලසිත් ගේ වගේම චිත්‍රයක් මට විකුණන්න හදනවා එක්කෙනෙක් .. මම අර මහත්තුරු කොහෙද අහ අහා දඟලනවා..

දැන් මට වෙහෙසයි ඒ වගේම  භයයි  කන්ද උඩට යන්න හදනවා හදනවා යැවෙන්නේ නෑ .. සාගරලා පේන තෙක් මානෙක ඇත්තෙත් නෑ මොබයිල් එකේ එයාලගේ නම් වදින්නෙත් නෑ .ඔහොම අතරමං වෙලා ඉද්දි එකපාරම අපේ අම්මා මතුවෙනවා

සාගර ලා එහෙම හොයාගන්න බැරුව ඇල්ල රොක් එකේ අතරමං වෙලා ඉද්දි පිහිටට එන්නේ අපේ අම්මයි අය්යයි . මුලින්ම අම්මා පුදුමයි එයා අතෙත් මොබයිල් ෆෝන් එකක් තියෙන්න ව පොඩ්ඩක් හිටපන් ආ මේ තියෙන්නෙ නොම්බරේ .. රත්නායක ඔන්න ලියාගනින් අම්ම කියනවා.


අම්මත් එක්ක මම ඇල්ල රොක් එකේ පහළට එද්දි මහ සෙනඟක් කොල්ලෝ කෙල්ලෝ , ලොකු පොඩි හැමෝම ඇල්ල රොක් එක නගින්න එනවා

ඒ අතරේම අම්මා වැද්ගත්ම ප්‍රශ්නේ මගෙන් අහනවා .. සාගරයලා එක්ක කෙල්ලොත් හිටියද ? පිස්සුද අම්මා කොල්ලෝ ටික විතරයි ..

අම්ම මාව පල්ලෙහාට අරන් එද්දී ඇල්ල් ප්‍රදේශයේ තියෙන ගෙයක් ලඟින් අපි යනව පෙනෙනවා.  ඒ ගෙදර ජනේලෙන් පෙනෙන රූපවාහිනී තිරයේ මුස්ලිම් පල්ලියක දර්ශනයක් තමයි තියෙන්නේ ඒකේ මහා හය්යෙන් "අල්ලාහ් අක්බර්" කියලා අර පැය කිහිපයකට වතාවක් ආගම කියන එක යනවා මේ අතරේ රැවුළත් වවාගත්තු අපේ බැචෙක් මටත් අත වනාගෙන ඇවිත් සිමෙන්තියේ දණ ගහගෙන යාතිකා කරනවා..

ඔන්න ඒත් එක්කම අල්ලපු කාමරෙන් ( ඒ ගෙදරම ) "යංකිච්චි විත්තං ඉධවා හුරංවා"  කියලා අර සද්දෙටම සමාන හඬකින් ගුවන්විදුළි යන්ත්‍රයක හඬ ඇහෙනවා  . ඔය අතරේ අපේතවත් බැචෙක්  කතාකරනවා ඇහෙනවා " මොනවද ඔය හ්තලා ගගා කියන කුණුහරුප ? කියා උස් හඬින් හිනාවෙන ගමන්


ටික වෙලාවක් යද්දි මම ලෙඩ වෙලා  ඒ අතරේ අම්මගේ උදව්වට අපේ අය්යත් ඇවිත් (හැමදාම වගෙ එදත් අපේ අය්යගේ වධානය යොමුවෙනවා මම ලෙඩ වුණාම ).
ඔන්න දැන්  අය්යයි අම්මයි මාව රෝදපුටුවක තියන තල්ලු කරන් යනවා. ටික දුරක් යද්දි රෝද පුටුවම ටොයිලට් එකකුත් වෙනවා.
 ටික වෙලාවකින් මහජන වැසිකිළියක බිම කහපාට පැල්ලම් දැක දැක මම හිරිකිතේ ඉන්න බැරුව රෝද පුටුවෙන් යනවා (මගේ කකුල් දෙකේ සෙරෙප්පුත් නෑ).. එක පාරම ඇහැ ඇරිලා බලද්දි මම ඉන්නේ ඔස්ට්‍රේලියාවේ කාමරේ ජනේලෙන් එළියේ කුරුල්ලෝ සිංදු කියන සද්දේ ඇහෙනවා.

අවසානයේ වම් පැත්තෙන් ගිය මම අතරමං වෙලා එක්කන්  එන්නේ අම්මයි අය්යයි .. අපේ යාළුවෝ ගියෙ වමෙන්ද දකුණෙන්ද  ගියාද නැද්ද ආපහු ආවද මොකුත් පැහැදිළි නෑ  .. ආගම් දෙකකට අධිකව ආදරේ කරන අපේ බැචාලා දෙන්නෙක් ( ඔබ අපි කවුරුත් හොඳින් හඳුනන ) එකම ගෙදරක ඉන්නවා .. මම ලංකාව , යාළුවෝ, පරිසරය , නෑදෑයෝ , ජාතිය , ආගම දේශපාලනය සියල්ල එකට කැටිවුණු හීනයක් දැකලා අවධිවෙනව. මගේ හීනේ  සත්‍ය තත්ත්වයට කොච්චර සමීපද කියලා හිතා බලන එක ඔබ සැමට භාරයි

Sunday, 18 August 2019

ඈ කටකාරී .... ඈ හැඩකාරී..

 ඈ කටකාරී .... ඈ හැඩකාරී..


අපිට පරිවාස භාරයට යන්න බෑ . අම්මයි තාත්තයි එක්ක ලුණුයි බතුයි කාලා හරි අපිට එකටයි ඉන්න ඕනේ.. ශ්රී ලංකාවේ ප්රසිද්ධ රූපවාහිනි නාලිකාවක බණ්ඩාරවෙල වාර්තාකරු ඉදිරියේ ඇය තම අදහස ඉදිරිපත් කලේ එලෙසිණි . අනතුරුව ගතවූ දින කිහිපයේදී අපි අපේ බණ්ඩාරවෙල හිතවතුන් හරහා ඇයගේ පවුළේ විස්තර හොයන්නට ගත්තෙමු. අවසානයේ ඇයත් මල්ලිලා තුන්දෙනත් අම්මත් තාත්තත් එකට ගුළිවී එක ඇඳක මෝඩ ගඩොලින් තැනූ තනි කාමරයක සිටින කාලය අවසන් වන බව ඇයට දැනගන්නට ලැබිණි. ඒ විතරක් නෙවෙයි ඔවුන්ගේ පවුළේ දියුණුව වෙනුවෙන් ගැනෙන්නට නියමිත වෙනත් පියවරවල් ද ඈ හට දැනගන්නට ලැබී තිබුණි. වෙනදා අම්මා හා තාත්තට එන දුරකථන ඇමතුමට ඊයේ ඇය උත්තර දෙන්නේ අහම්බයකිනි.
"හෙලෝ කව්ද කථා කරන්නේ?"
" හෙලෝ අම්මා හරි තාත්තා හරි නැද්ද?"
" අංකල් අම්මා මේ ලඟ කඩේට ගියා බඩු ගේන්න තාත්තා නම් වැඩකට ගියා, උදේම. අම්මා තව ටිකකින් එයි එතකොට කථා කරන්න "
".. හරි හරි පුතා ඔයා මම කව්ද කියලා දන්නවද?"
"අම්මලා කියලා තියෙනවා අපිට උදව්කරන මාමලා කට්ටියක් කියලා "
".. පුතා ඔයාගේ නම මොකක්ද?"
" බී සමෘධිකා "
" වයසකීයද? ඉස්කෝලේ කීයේ පන්තියෙද ඉන්නේ? .."
" මට එකොලහයි ඉන්නේ හයේ පංතියේ ."
". ශිෂ්යත්වේ ට මොකද වුණේ පුතා ? "
"මට ලකුණුඑකසිය තුනයිනේ තිබ්බේ අංකල් ."
". ඔයා මොනවගේ කෙනෙක් වෙන්නද කැමැති ?"
" ටීච කෙනෙක් වෙන්න"
" .. හරි හරි පුතා ටීච කෙනෙක් වෙන්න ශිෂ්යත්වේ පාස්වෙන්නම ඕනේ නෑ දැන් ඉඳලාම හොඳට පාඩම් කරොත් පුළුවන්.. මල්ලී කීයෙද ඉන්නේ? ""එයා දෙකේ , එයා නම් ටිකක් දඟයි.. "
"ඒක නෙවෙයි ඔයා නේද ටීවී එකේ මාමලා ආවම අම්මලා දාලා යන්න බෑ කියලා ඇඬුවේ? "
"ආහ් ඔව් ඔව් ඉතිං සමෘද්ධි නෝනා එහෙම කිව්වම මට භය හිතුනනේ?"
"ඒක නෙවෙයි තාත්තා බොනව නේද?"
" ඉස්සර බිව්වා දැන් බොන්නේ නෑ. ගේ හදලා දෙනවා කිව්ව දවසේ ඉඳන් තාත්තා බීලා එන්නේ නෑ ."
" ඒ කාලේ තාත්තා අම්මට ඔයාලට එහෙම බීලා ඇවිල්ලා කරදර කරාද?" " නෑ එහෙමටම නෑ .. "
"අම්මට එහෙම ගහන්න හැදුවද?"
" නෑ එච්චරම කළබල කරේ නෑ . එයාට අපිට ඉන්න ගෙයක් හදාගන්න බැරිකම ගැනම තමයි කිය කියා හිටියේ.. "
මේ අවුරුදු එකොළහක කෙල්ලෙකි . ගෙදර වැඩිමහළු ගැහැණු ළමයා ඇයයි . අවුරුදු තිස්දෙකක් වූ තරුණ බිරිඳත් සමඟ එකම කාමරයකින් යුතු නිවසක කුඩා දරුදැරියන් හත්ර දෙනෙකු සමඟ වෙසෙනා දිනපතා කුලී වැඩ කරනා තිස් හය හැවිරිදි මිනිසෙකුගේ සිතැඟි තේරුම් ගන්න බලමු. මේ තියෙන්නේ ගෘහස්ථ හිංසනයට අවශ්ය සියළුම අඩුම කුඩුමය . සමාජයක් ලෙස අප මේ දරු දැරියන්ට අසාධාරණයක් කරන්නේ කොතැනද බලන්න.
"ඔයා අපි කරන්න යන්නේ මොකක්ද කියලා දන්නවද? "
"ඔව් අපිට සල්ලි හොයාගන්න ක්රමයක් හදලා දෙන්න යනවා කියලානේ අම්මා කිව්වේ? "
"අන්න හරි ... ඔයාලාට දැන් පොත් පත් එහෙම තියෙනවද? "
"ඔව් .. ඊයේ පෙරේදා ගොඩක් කට්ටිය ගෙනැත් දුන්න නේ? '
"එහෙනම් ආයේ පොත් පත් වැඩියේ ඕනේ නෑ? "
"ඔව් ඕනේ නෑ.."
" හරි එහෙනම් ඔයා දැන් කැමැති මොනවා වෙනවටද? "
"අපේ ගේ හදාගෙන අම්මාට මොකක් හරි සල්ලි හොයාගන්න ක්රමයකුත් ලැබෙනවානම් හරි .. "
සමෘධිකා .. ඈ කටකාරියකි .. එමෙන්ම හැඩකාරියක්ද බවට මට ඔවුන්ගේ නිවස බලා ගිය අපේ හිතවතා එවූ චායාරූප සාක්ෂි දරයි..
මම අප ඔවුන් වෙනුවෙන් කරන්නට යනදේ වෙනුවෙන් සියයට දෙසීයක් කැපවෙන්නට තීරණය කළෙමි ( විස්තර පසුවට )

Saturday, 22 June 2019

ෆයිනල් ලෝන්ග් කේස් එක


එදා මගේ ළමාරෝග විෂයයේ අවසාන විභාගය දවස . උදේ පාන්දර කිරිකොකා වගේ ඇඳගෙන ලෝන්ග් කේස් එකට යන්න ලෑස්තිවෙලා ෆැකල්ටියෙන් පාර පැන්නා හොස්පිටල් එක දිහාට අපේ ගෘප් එකේ කොල්ලෝ කෙල්ලො සෙට් එකත් එක්ක. 
"ගිය ගමන්ම දඩස්ගාලා වාඩිවෙන්නේ නැතිව ඉන්න ගුරුවරු දෙන්නට ගුඩ් මෝනින් කියන්න ඕනේ හිනාවෙලා ඔළුව පහත් කරලා කතා කරන ගමන්, ගෑණු පිරිමි දෙන්නෙක් හිටියොත් ඉස්සෙල්ලා ගෑණු කෙනාට ආචාර කරන්න ඕනේ , ඊට පස්සේ තමයි පිරිමියාට"
කට්ටිය කතා වෙවී යනවා. මමත් දෙය්යනේ කියලා ලෝන්ග් කේස් ගොඩදාගන්න හිතාගෙන කාමරයේ ඇතුළට ගියා..
යනකොටම මගේ හිත පොඩ්ඩක් ගැස්සිලා ගියේ මගේ පස්සේ අවුරුදු තුනක් තිස්සේ පන්න පන්නා හිටිය අපේ ගුරුතුමා එතනත් ඉන්නවා . 
මම එහා පැත්තේ හිටිය අත්තනායක මැඩම්ට ගුඩ්මෝනින් මැඩම් කිව්වා . එයාත් හලෝ ගුඩ්මෝනින් කියලා කියලා ඉවරවෙනවත් එක්කම 
....එහා පැත්තේ දඩබඩ ගාලා සද්දයක් එනවා සිංහලෙන්ම ...... 
"එහෙම පුරුද්දක් නෑනේද? මොකද තමුන්ට අපිට ගුඩ්මෝනින් කිව්වෙත් කට ගෙවෙනවද? ගුරුවරයෙකුට කියලා කිසිම ගරුසරුවක් නැති හැටි?, මෙහෙම ළමයින්ට උගන්වනවට අපිට මඩුවළිගෙන් තලන්න ඕනෑ"
මෙන්න එහා පැත්තේ හිටපු මහත්තයා මට එකසිය ගාණට බැනගෙන බැනගෙන යන්වා .
ලඟ හිටපු අනික් එග්සැමින ලේඩිත් එක පාරම භයවුණා . මමත් උඩගියා මොකක්ද බොල මේ වෙන්න යන්නේ කියලා . අපේ සත්ගුණවත් ගුරුතුමා මට එහාපැත්තෙන් මෙහාට හැරෙන්න වත් නොදී තමයි සද්දේ දැම්මේ.. 
මමත් උඩබිම නැතිවුණත් කට වහන් හිටියේ නෑ සිංහලෙන්ම උත්තර දුන්නා .
"කෝ කොහෙද සර් මට හැරෙන්න වත් වෙලාවක් දුන්නැයි ගුඩ් මෝනින් කියලා කියන්න තමයි ඔයා පැත්තට හැරෙන්න හැදුවේ"
එතුමා එදා උඩ පැන්නට සිද්ධිය දෙපාර්තමේන්තුවටම ගිහින් තිබුණාද කොහෙද.. ශෝට් කේස් දවසේ මාව හොයාගෙනම ආපු ළමා රෝග මහාචාර්ය තුමා " කෝ ඔය ළමයා මෙහාට එන්න මාත් එක්ක ෂෝට් කේසස් දෙක කරන්න" කියලා මගේ අතින් ඇදගෙන යන්නට ඔය සිද්ධියම හේතුවෙන්න ඇති. 
අපේ අම්මා මට හැමදාම කියන දෙයක් රිසල්ට්ස් ආපු දවසේ ආයිත් මතක් වුණා 
"හතුරෙකුට වුණත් හොඳක්ම කරපං .. උඹට කව්දාවත් වරදින්නේ නෑ මයෙ පුතේ . උඹට වැරැද්දක් කරපු එකෙකුට හරියන්නෙත් නෑ කොයිවෙලේ හරි පඩිසන් දෙනව" 
අද අපි ඔය සන්තෑසි ඔක්කොටම මුහුණදීලා බාධක පිට බාධක පහුකරලා ඇවිත් නිදහසේ හුස්මක් ගන්නවා. අපිට වධ දීපු අය එකින් එකා ගානේ රිදවීම් වලට මුහුණ දෙමින් යනවා . මේ දවස් වල අපේ යාළුවගේ වාරෙද කියලත් හිතෙනවා

Thursday, 20 June 2019

ශාරීරික ආබාධිතයෙක් නිසා මතුවූ මානසික අබාධය ( ප්‍රජා සෞඛ්‍ය විද්‍යා පාඩමක් )



එදා අපේ ප්‍රජා සෞඛ්‍ය විද්‍යා ප්‍රායෝගික කණ්ඩායමේ අවසාන ඇගයීම තිබෙන දවස . අපේ කණ්ඩායමේ සිසු සිසුවියන් දෙන්නා බැගින් තම තමන්ට වෙන්කර දී ඇති නිවාස වල වැසිකිළි  , මුළුතැන්ගේ පිරිසිදුද , කුඩා ළමුන් මන්දපෝශණයෙන් තොරද, අරක්කු කසිප්පු බොන තාත්තලා නැද්ද ? සියළු කල්පවතින රෝග සහිත අය සායන වලට යොමු කරලාද වගේ දේවල් ඔක්කොම තිතට හරිගස්සලා ප්‍රජා වෛද්‍ය හෝ ළමාරෝග අංශයේ  ගුරුවරයෙක් , ගුරුවරියෙක් එනකන් බලාගෙන ඉන්නවා. මමයි මගේ හිතවතා නිර්මාල් දෙදෙනාත් එහෙමම හිටියා .

"ජයේ අපිට අහවල් සර්  එන්නත්  ඉඩ තියෙනවළු මචෝ . පොර මේ ප්‍රජා වෛද්‍ය අපොයින්ට්මන්ට් එකේ ළමා රෝග පාර්ට් එක බලනවළුනේ"  තරමක චකිතයකින් යුතුව සිටි නිර්මාල් පවසා සිටියා.
 කවුරු ආවත් අපි  මොකට භය වෙනවද අපිත් කණ්ඩායමේ අනික් කරපු විදිහටම වැඩ කරළානේ තියෙන්නේ . මම හිත හදාගත්තා. ඒත් "ජයසිංහ මට තමුන්ව මතකයි " කියමින් අපේ කණ්ඩායම මුලින්ම ළමාරෝග ඒකකයට ( සතියකට පමණක් ) ගිය දවසේ මාව භය කරන්නට මෙතුමා කියූ ඒ උදාන වාක්‍ය මගේ හිතෙත් එහෙන් මෙහෙන් සක්මන් කරනවා මට දැනුණා. වෙන දෙයක් වෙච්චාවේ අපේ අල්ලන්න තරම් වැරැද්දක් නෑනේ මම හිත හදා ගත්තා..



ඔන්න උදේ පාන්දරම අපේ ප්‍රජා වෛද්‍ය විද්‍යා කණ්ඩායම ගාල්ල උළුවිටිකේ පැත්තේ තිබ්බ අපේ ගමට ගිහිල්ලා ඉන්නවා. මමත් නිර්මාලුත් අපිට වෙන්කර තිබූ පළමුවෙනි ගෙදරට ගියේ තව ටික වෙලාවකින් සිදුවෙන  ආචාර්ය හෝ මහාචාර්ය අගමනයට සියල්ල සූදානම් ද බලන්න  .

ප්‍රජා වෛද්‍ය ඒකකයේ මහාචාර්ය තුමිය ගේ සිට වෙන ඕනෑම ආචාර්යවරෙයක් හෝ ලමා රෝග අංශයේ ඒ වෙනුවෙන් උනන්දුවෙන් සිටි ආචාර්ය වරයෙක් දෙන්නෙක් ගේ පැමිණීම අප හැමෝම බලාපොරොත්තු වුණා . ළමා රෝග කට්ටිය හැම ප්‍රජා වෛද්‍ය ගම්මානයකට ගිහින් තිබුණේ නෑ . ඒ නිසා අපේ ගමට නොපැමිණෙන්නත් ඉඩ තිබුණා . එහෙම වුණානම් හොඳයි වැනි හැඟීමකුත් සිසුන් අතර නොතිබුණාම නෙවෙයි. හේතුව කවුරුත් දන්නව. මේ ලියමනේ පහළට යනකොට ඒ   ඇයිද කියලත් තේරුම් යයි

කලින් දවසේ හවස ගිහින්;   හෙට උදේ බල්ලා බැඳලා තියන්න, මිදුල අතුගාලා , ටොයිලට් එක හෝදලා ඒක ලඟින්  පුවරවපු වතුර බාල්දියක් , සබන් කැටයක්වගේ ඒවා තියලා තියන්න කියලා එහෙම කියලයි තිබුණේ.


"මල්ලී අම්මා ඉන්නවද  ?  " ගෙදර ඉස්සරහ හිටියේ  පොඩි මල්ලී කෙනෙක්.

" අක්කේ මෙන්න ස්ටුඩන්ට් මහත්තුරු ඇවිල්ලා"   කියමින් ඔහු ගෙට දුවගෙන ගියා.

"හා මහත්තයා කොහොමද ? "

"  අපි හොඳින් ඉන්නවා නංගී , කෝ අම්මා නැද්ද ? අද අපේ ටෙස්ට් එකට කැම්පස් එකේ සර්ලා මැඩම්ලා එනවා. ඔක්කොම හරිනේ මොකුත් ප්‍රශ්නයක් නෑනේ? "
කියමින් නිර්මාල් සහ මම ගේ සාලය , මිදුල , වැසිකිළි , ලිඳ ආදී සියළු මර්මස්ථාන පරීක්ෂාකර බැලුවා.

"අම්මා මාමලා ගෙදර ගියා මහත්තයා" කියමින් ඈ අප  ගේ වටේ කැඳවාගෙන යනවා.

එකපාරම ගෙදර දකුණු අත පැත්තට යද්දී ජනේලය අයිනේ සිමෙන්තියේ වාඩි වෙලා ඉන්න අමුත්තෙක්  .  මාසයකට දෙකකටත් වඩා මෙහි ආගිය අපි කවදාවත්  දැකලා තිබ්බ නැතිකෙනෙක්.

"මේ කවුද නංගී මේ . මෙයා ගෙදර කෙනෙක් නෙවෙයි නේද?"

" නෑ අය්යා මෙයා අපේ මාමා කෙනෙක් වෙලාවකට මෙහේ ඇවිත් ඉන්නවා . එයාට ඇවිදින්න බැරිවුණේ කොයිකාලෙද? මෙයා පොඩි කාලේ ඉඳන්ම අබ්බගාත වෙලා කියලා තමයි අම්මලා කියන්නේ "

හදිසියේම මතුවු ආබාධිත අමුත්තා දුටු නිර්මාල් සහ මම පොඩ්ඩක් කළබල වූවා කිවහොත් නිවැරදියි . මොකද නිවසේ සාමාජිකයෙක් නොවුණත් සර්ලා මැඩම්ලා එනවෙලාවට මෙයා ගේ වගතුගත්  අපි දැනගෙන ඉන්න ඕනෑනේ.

හනි හනිකට ඔහුගැන විස්තර ටිකක් එකතු කර ගත්තත් අපේ මූලික හෝ අවසාන රිපොර්ට් එකේ  හෝ නොසිටිය , ගෙදර ඇත්තන් විසින්   අපට කලින් දන්වා නොසිටි කෙනෙක් නිසා ඇත්ත විස්තරේ ප්‍රජාව බලන්නට ගුරුවරුන්ට කියමු යැයි අප දෙදෙනාම පැහැදිළි එකඟතාවයක ආවෙමු .

ඒ කෙසේ වුවත් හදිසියේ පහළ වූ අමුත්තා අපේ ප්‍රජාව්‍යාපෘතිය අවුල් කරන්නට හේතුවක් වනු ඇතැයි අපි කිසිවිටෙකවත් නොසිතුවෙමු.
"බ්‍රාස් , ....බෝස් "  පාරේ ලඟම තිබූ තඩි මඩවලක් ඉසිරවමින් ගිය  ලොකු තඩි පැජරෝවකි.  එය අප සිටි නිසි නිවස පසුකර ගොස් නැවැත්වීය.
තවම උදේ අටවත් වී නැතිනිසා ආචාර්ය මණ්ඩලයේ කෙනෙක් එවෙලේම මතුවනු ඇතිබවක් වත් අපට සිතී තිබුණේ නැත .  වාහනයෙන් බැස එන්නේ අපට හුරු පුරුදු ළමාරෝග අංශයේ ආචාර්ය වරයෙකි .

 මා සහ නිර්මාල් දුටු ඔහු කෙලින්ම අපගේ ප්‍රාජා ව්‍යාපෘතියේ පළමු නිවාසය වෙත ලඟා විය.

"කෝ ගෙදර කට්ටිය ? ඔයාලට ගෙවල් කීයක් තියෙනවද ? මට ඒ ඔක්කොම බලන්න ඕනෑ"

කියමින් ඔහු නිර්මාල අතේ තිබූ ෆයිල් එක ඉල්ලා ගත්තේය . පිළිවෙලින් වැසිකිළිය ලිඳ ආදිය බලමින් එන ඔහුට මේ දක්වා කිසිදු වැරැද්දක් හමුවී තිබුණේ නැත . එහෙත් එක්වරම ජනෙලය ලඟ දඟර ගසා ගෙන සිටිනා අර ආබධිත තරුණයා ඔහුගේ නෙත ගැටුණේය. වටිනා ඉල්ලමක් මතුවූවා  වැනිහැඟීමක්  ඔහු තුලින් දිස්වූයේ ආබාධිතයින්  බලා ගැනීම ප්‍රජා වෛද්‍ය විද්‍යාවේ  ප්‍රධානම අංගයක් බව ඔහුට පෙනුන නිසා විය යුතුය.

"මෙයා කවුද?  මෙයා මේ ගෙදර කෙනෙක්ද?"

 ඔහු අර තරුණියගෙන් ප්‍රශ්න කර සිටියාය .

ඔව් සර් මෙයා අපේ මාමා කොච්චර් කිව්වත් මෙහාට ඇවිල්ලා ඉන්නවා . අපිට මෙයාගෙන හරි කරදරයි සර් . මෙයා හැමදාම මෙහෙම අපේ ගෙදරට ඇවිත් ඔහේ බලාගෙන ඉන්නවා තරුණිය කියවාගෙන ගියේ නිර්මාල් ගේ සහ මගේ ඇස් උඩ ඉන්දවමිනි.

"කෝ මෙයා ස්තීර පදිංචිකාරයෙක් විදිහට මේ රිපොර්ට් එකේ දාලා නෑනේ? මෙහෙම බොරු රිපොර්ට් ලියනවද ?"  වහාම මෙයා පැය විසිහතරක් ඇතුළත කොහාට හරි නිවාසකයට ගිහින් දානවා . දාලා අද හවස් වෙද්දි මට ලියුම ගෙනැත් දෙනවා ."

 "නැත්නම් දෙන්නම කොමියුනිටි  මෙඩිසින්  ඇපොයින්ට්මන්ට් එකම් රිපීට්"





කියා අපට තර්ජනය  කළ එතුමා එතැනින් ඉවත් වූයේ අපේ ඊලඟ ගෙදරට යන්න අවශ්‍ය බව කියමිනි..



 ඉතිරිය ඊලඟ කොටසින්

Saturday, 15 June 2019

ඔය ඇහෙන්නේ "හරිප්‍රිය" ගේ හඬයි



"හා ඩොක්ටර් එන්න එන්න කාලෙකින් ? කොහොමද දැන්  ප්‍රයිවෙට් එක?
අළුත් කාර් එක ගත්තට පස්සේ සෙනඟ එහෙම වැඩිවෙලා ඇතිනේ?
අළුතින් අකවුන්ට් එහෙම අරිනවානම් ඔන්න අපි එක්කම පටන්ගන්න ඕනෑ හරි?"

මා පේරාදෙණිය මහජන බැංකුවට ඇතුළ්වෙද්දි  කළමනාකාරතුමා මා පිළිගත්තේ එලෙසයි.  ඔහුගේ කාමරයේ තවත් තලත්තෑනි මහත්මයෙක් වාඩිවීසිටී .  කළමනාකාර මේසයේ අනෙක් පස තිබූ  පුටුවට අතදිගු කල අපේ හිතවතා "ඩොක්ටර් වාඩිවෙන්න , ප්‍රොෆෙසර් දොඩන්දූව  , මේ අපේ හොඳ හිතවතෙක් ඩොක්ටර් ජයසිංහ මෙඩිකල්  ෆැකල්ටි එකේ ලෙක්චරර් කෙනෙක් "  කියමින් මා ඔහුගේ අනෙක් සඟයාට හඳුන්වා දුන්නේය.

මා දෙස ඉතා හොඳින් බැලූ මහාචාර්යවරයා  " කොහොමද කවිඳු ? මට ඔයා හොඳට මතකයි  ඔයා හිටියේ රුහුණේ නේද? " කියමින් මට අතට අත දෙමින් අල්ලාපසල්ලාපයට අවතීර්ණවිය .

මට එහා පැත්තෙන් වාඩිවී සිටින්නේ  මහාචාර්ය තනතුරක් දරන්නට තරම්  පැසුණු සහ නිවුණු පෙනුමක් ඇති එහෙත්  අප , බැංකු කළමණාකාරවරයා වැනිම  පොළවේ පයගසා ඉන්නා තත්ත්වයේ පෙනුමක් ඇති පුද්ගලයෙක් බව මා එසැණින් වටහා ගත්තෙමි.

ප්‍රොෆෙසර් දොඩන්දූව ? මටත් හොඳට හුරු පුරුදු නමක් ? මෙයා කොහොමද මාව දන්නේ ?

මම කල්පනාවට වැටුණේ රුහුණ කියන නමත් එපාවී පේරාදෙණියට පැමිණ සිටි මට ඒ අමිහිරි අතීතය ගැන කියන්නට හදන මොහු කවුද යන්න ගැන විපිළිසර වෙමිනි

"අපි රුහුණේදි හම්බවෙලා තියෙනවා .
ඔයාට මතකද ඕගොල්ලන්ගේ බැච් එකේ ප්‍රශ්නයක් ඇවිත්  අපිත් එක්ක මීටින් එකකට ආවා ?

කවිඳු ඔයා නම් මාර බඩුවක් එදා මට මතකයි ඔයා ඩොක්ටර්  සමරසේනට ඇඬෙන්න කතාවක් කළා."

ඉතා  සැහැල්ලු ගති පැවතුම් ඇති මිනිසෙකු වූ මොහු මගේ අතීතය ගැන වැදගත් තොරතුරක්  අපේ බැංකු මිතුරා අත තැබුවේ

" මෙයා මෙහෙම හිටියට හරි කථා කාරයා මිස්ට ගුණසේකර,  කැම්පස් එකේ ලෙක්චරර් කෙනෙක් එක්ක හරිහරියට වාද කළා මම  මාතර ඉන්න කාලේ"  කියමිනි .

ප්‍රොෆෙස දොඩන්දූව ? ප්‍රොෆෙස දොඩන්දූව?  මොහු කවුද?

උපැස් යුවල යටින් මා හා සමඟ හරිහරියට සංවාදයේ යෙදෙනා ඒ ඇස් දෙක තුලින් මම කෙලින්ම කරාපිටිය වෛද්‍යපීඨයේ පීඨමණ්ඩල රැස්වීම් ශාලාව වෙත ගමන් කලෙමි


ඒ මම කරාපිටිය වෛද්‍යපීඨයේ දෙවනවසර අවසාන වී තුන්වන වසර ආරම්භ කරන්නට සූදානමින් සිටි කාලයයි . මේ වනවිට දෙවන පෙළ සම්මාන සාමාර්ථ ලබාසිටි දහදොළොස් දෙනා අතරට මමත්  එක්වී  සිටියෙමි.

මා කලින් තැනක ලියාතිබූ පරිදි  "ජේෂ්ඨ සිශ්‍ය කණ්ඩායම් අවනත යැයි සිතුණු" සහ "ආචාර්ය මණ්ඩලයට දැඩිව හිතවත්කම් දැක්වූවා යැයි සිතුණු"   සිසුන් දෙපැත්තටම වෙන්වී සිටි බැච් එකක් වූ අපේ ශිෂ්‍ය කණ්ඩායම එක්සේසත් කරන්නට අවශ්‍ය වී සිටි කාලයකි.

මේ කියන දිනයට ටිකකලකට පෙර  සෙකන්ඩ් එම් බී එකේ ආතතියට ඉතා හොඳින් මුහුණ දී සිටි මට  කණ්ඩායම් නියෝජිත කම බලෙන් කඩා වැටුණේ

"සමාජවාදී සහ තරමක් කළබල කාරී  සිසුන්  යැයි සිතුණු" සහ "ආචාර්ය මණ්ඩලයට දැඩිව හිතවත්කම් දැක්වූවා යැයි සිතුණු සිසුන්" කණ්ඩායම් විසින් දෙකට කඩන්නට හදන කණ්ඩායමක් කෙසේ හෝ ඉස්සරහට ඇදගෙන යන සමඟිය සමාදානය ඇතිකිරීමේ කාර්යභාරයද සමඟයි.

කෙසේ වුවත් මේ අපසමඟ අල්ලාපසල්ලාපයේ යෙදෙන මහාචර්ය  හිතවතා (අප දැන් සිටින්නේ බැංකු කළමණාකරුගේ ලඟම හිතවතුන් දෙදෙනෙක් ලෙස ඔහුගේ කාර්යාල කාමරයේය ) කියන සිදුවීම වෙද්දී මේ කියු ඉඟුරු   කල්ලි දෙක නැවතත් කඹ අදිමින් සිටි කාලයක් උදාවෙමින් තිබිණි.

ඒ අපේ තුන්වන වසර ආරම්භකරන්නට ඔන්න මෙන්න කියා  තිබෙද්දි එකල ජී එම් ඕ එකේ ලොක්කා වූ ඩොක්ටර් "හරිප්‍රිය " විශ්ව විද්‍යාලය සමඟ තදබල ගැටුමකට අවතීර්ණ වී සිටි නිසයි.

ඔහුගේ වාට්ටුවට එකම එස් එච් ඕ කෙනෙක් වත් නැතිවෙද්දී ශල්‍යවෛද්‍ය මහාචාර්ය ඒකකය එස් එච් ඕලාගෙන් පිරීයෑම ඔහුට නොරිස්සූ කාරණයයි.

ඊට අමතරව,  සමාජවාදී සහ තරමක් කළබල කාරී   සිසුන් නොදැනමෙන් සිටි එහෙත් ප්‍රසිද්ධ රහසක් වූ  "හරිප්‍රිය " ගේ රුහුණේ පැතලොජි එකට එන්නට තිබූ අවශ්‍යතාවය සහ ඊට විරුද්ධව සමරසේන ඇතුළු එකල  පීඨමණ්ඩලය ගෙනගිය විරුද්ධවාදී වැඩපිළිවෙල මේ කාරණාවලට යටින් තිබූ සත්‍ය කතාවයි.

හරිප්‍රිය වුවද කරන්නට හැදුවේ අපේ සිසුන් ලවා කොස් ඇට බාවන්න හැදීමේ වැඩකි . ඒ බව අපට තේරුම් ගියද අපේ සහෝදරවාදී සිසුන් පෙනීසිටියේම "හරිප්‍රිය තමයි හරි" යන මතය වෙනුවෙනි.

හරිප්‍රියගේ වාට්ටුවට එස් එච් ඕ ලා නො එන්න හේතුව  ඔහුත් සමඟ එකට වැඩ කරන්නට බොහෝ එස් එච් ඕ ලා අකැමති වීමයි . එහෙත් එය අපට අදාල කාරණයක් යැයි මට සිතුණේ නැත  .

 අරකියූ කණ්ඩායම් දෙකේ අනික් පාර්ශවය සමහරවිට හරිප්‍රිය සමඟ ලඟින් ගණුදෙනු කරන්නට ඇත. එහෙත් සාකාච්චාවක් ගන්න කියා මැද පාර්ශව සිසුන් කිහිපදෙනෙක් සමඟ මා ඔහුගේ වාට්ටුවට ගිය සෑම වෙලාවකම  "ඔයාලා එක්ක මට ගණුදෙනුවක් නෑ "කියමින් අපව මඟහරින්නට ඔහු මඟ බලාගත්තේය .

මම පීඨමණ්ඩල ශාලාවේ  හතරැස් කොටුවක් ලෙස සකස්කර තිබූ විශාල මේස සමූහයේ එහාපැත්තේ වාඩිවී සිටිමි.

මගේ දකුණු අතපැත්තෙන් ඉන්නේ ආචාර්ය මණ්ඩලයට දැඩිව හිතවත්කම් දැක්වූවා යැයි සිතුණු කණ්ඩායමේ නායකයා ලෙස නිලනොවන ලෙස පෙනී සිටි පුද්ගලයාය.

 වම් පැත්තෙන්  සමාජවාදී සහ තරමක් කළබල කාරී   සිශ්‍යයෙක් සිටි.  ඒ කාලයේ සිටි හොඳම සහෝදර ශිෂ්‍යයෙක් වූ ඔහු අද අද අදහස් වලින් ඒපැත්ත පළාතකවත් නැත.

මේ කණ්ඩායම් දෙක බැලන්ස් කරමින් අපේ අධ්‍යාපනය ඉදිරියට ගෙනියන්නට දතකන මම මැදට වී සිටිමි.

අප වැල්ලමඩමේ සිට කරාපිටියට උපකුලපති තුමා එන බව අසා ඔහුත් සමඟ හදිසි  හමුවක් ඉල්ලා සිටියේ ඊට දින කිහිපයකට පෙරයි.

ඒ හරිප්‍රිය-වෛද්‍යපීඨ බලාරගලය නිසා "සාලවනයේ වඳුරා" බවට පත්වෙමින් සිටි අපේ සිශ්‍ය කණ්ඩායම  ඉන් බේරාගන්නා ආකාරය ඔහුගෙන් විමසා සිටින්නටයි.

දිගලෝගුවක් ඇඳගත් උපකුළපතිතුමා ශාන්තදාන්තව ඇවිත් අප ඉදිරියෙන් එක එල්ලේ ඇති  එහෙත් මීටර් ගණනාවක් එහායින් තිබූ  මේසය ඉදිරියෙන් අසුන් ගත්තේය. ඒත් සමඟම එකල  ආචාර්ය මණ්ඩලයේ සැලකියුතු චරිතයක් නොවුණත් පීඨ ප්‍රධානි සුහද ගම්ලත්ගේ ලඟම හිතවතා වූ ජේෂ්ඨ කතිකාචාර්ය වරයෙක් පැමිණසිටී.

"මචං ජයේ කෝ ඩීන් නෑනේ ? " අපේ සහෝදර පාර්ශවයේ හිතවතා කළබල වී ඇති සෙයකි.

කලින්ම සැලසුම් කර රඟදක්වන නාඩගම ගැන දන්නා ආචාර්ය මණ්ඩලයට දැඩිව හිතවත්කම් දැක්වූ වා යැයි සිතුණු හිතවතා කළබලයක් නැත.

මේ වනවිටත් "උඹ අපි මාතරට හරි ක්ලිනිකල් කරන්න යන්න කැමැතියි කියපන්"  කියා ඔහු සිය පාර්ශවයේ අදහස මට දන්වා තිබිණි.

 ජවිපෙ හිතවාදී යැයි පෙනී සිටි අනික් හිතවතා සිටියේ හරිප්‍රිය තරම් ශිෂ්‍ය හිතවාදී සර් කෙනෙක් ලොවෙත් නෑ  වැනි පදනමකිනි .

මම මැදය .  "සාලවනයෙන් වඳුරා ගලවා ගන්නේ කෙසේදැයි"  මගේ ඔළුව යකාගේ කම්මල මෙන්  කල්පනා කරයි.

"මේ මහාචාර්ය දොඩන්දූව  උපකුලපතිතුමා . ඔය "සහෝදරවරුන්ගේ සායනික ප්‍රශ්නය කථා කරන්න ඇවිල්ලා ඉන්නේ . එහෙනම්,   මොකක්ද ඔය සහෝදරයාගේ නම කිව්වේ ? ජයසිංහ නේද? අනික් සහෝදරවරු  නෙවෙයි ඔය සහෝදරයා ප්‍රශ්නය ඉදිරිපත් කරන්න " අචාර්ය අමරසේන  (එකල ඩීන් ගේ අතකොළුව ) මට කෙලින්ම අතදික්කරමින් පැවසූවේ "සහෝදරයා" යනවචනය මට මුලින්ම පාවිච්චි කල ආචාර්ය වරයා ලෙස ඉතිහාස ගතවෙමිනි .

ඔහු ආචාර්ය මණ්ඩලයට දැඩිව හිතවත්කම් දැක්වූ වා යැයි සිතුණු සහෝදරයාට භය නැත. එහෙත්   සමාජවාදී  යැයි සිතුණුසොහොයුරාට ඉතාමත් භයපක්ෂපාතය.

ජයසිංහ කවුදැයි ඔහු එදා තබා අද වෙනතෙක් වත්  දන්නේ නැත. ඔහු පමණක් නොව අපේ ශිෂ්‍ය කණ්ඩායමේම සිටි සමහර හිතවතුන් පවා ජයසිංහ කවුදැයි හරියට හඳුනාගත්තේ නැත.

මම පටන්ගත්තෙමි.

" උපකුලපතිතුමා , අචාර්ය මණ්ඩලයේ නියෝජිත සමරසේන මහතා සහ මගේ කණ්ඩායමේ හිතවතුන් දෙදෙනාගෙන් අවසරයි . මම  අහවල් කණ්ඩායමේ ශිෂ්‍ය නියෝජිත . අපි තුන්වන වසරේ සායනික පුහුණුව පටන්ගන්න ප්‍රමාදවෙලා ඉන්නේ . ඒ ගැන කතා කරන්න තමයි අපි ඔබතුමාගෙන් හදිසි සාකච්චාවක් ඉල්ලුවේ . මම මුලින්ම කියන්න ඕනේ මම කිසිදු පාර්ශවයක් නියෝජනය කරන කෙනෙක් නෙවෙයි මම නියෝජනය කරන්නේ අපේ ශිෂ්‍ය  කණ්ඩායම සහ ඔවුන්ට සායනික කටයුතු ආරම්භ කරන්නට නොහැකිවී ඇති ගැටළුව."

   සමරසේන මහතා ගේ මුහුණ තරමක් ඇඹුල් වනු දුටු  උපකුලපති තුමා  හරි ඔයා ගැටළුව ඉදිරිපත් කරන්න . අපි සාකච්චා කරමු  යැයි මාව දිරිමත් කළේය .

"අපි තාම සායනික කටයුතු පටන්ගෙන නෑ ඒ නිසා රෝහල් පාලනය වෙන හැටි ගැන මට ලොකු අවබෝධයක් නෑ ඒත් අපිට ආරංචී වී ඇති හැටියට හරිප්‍රිය මහත්තයාගේ වාට්ටුවට එස් එච් ඕ ලා නෑ .ඒ නිසා එයා අපිට උගන්වන්න බෑ කියනවා . හැබැයි මහාචාර්ය ඒකකයේ එස් එච් ඕලා වැඩිපුරත් ඉන්නවාලු . ඔබතුමාට පුළුවන්නම් මහාචාර්ය ඒකකයත් එක්ක කතා කරලා ඒ අයගෙන් දෙන්නෙක්  හරිප්‍රිය මහත්තයාගේ වාට්ටුවට දෙන්න කියන්න . මම ඉතා සරළව දෙවන වසරේ සිසුවෙකුගේ දැනීමේ හැටියට ගැටළුව ඉදිරිප කළෙමි.

එය අසා සිටි උපකුල පතිතුමා හැරින්නට වත්වෙලාවක් නොවීය .

සමර්සේන මහතා අතිශය කේන්තියට පත්වූ බව පෙනෙන්න්නට තිබිණි

 "දිස් ඊස් හරිප්‍රියස් වොයිස් , දිස් ඊස් හරිප්‍රියස් වොයිස් " කියමින් ඔහු විසුළුකාරී ලෙස උඩ පනින්නට විය .

මම ඉතා සංවරව , සාවධානව දෙවන කොටස පටන්ගත්තෙමි.

"එක එක අයගේ හඬවල් ශිෂ්‍යන් අතර තියෙන්න පුළුවන් ,හැබැයි මම මෙතන ඉන්නේ මගේ  පෞද්ගලික හඬවෙනුවෙන් වත් නෙවෙයි. මම මේ කණ්ඩායමේ ශිෂ්‍ය නියෝජිතයා . මට වගකීමක් තියෙනවා එයාලගේ ගැටළුව ඔබතුමාලට ඉදිරිපත් කරන්න . ඒකට මට කාගෙවත්  හඬක් වෙන්න ඕනේ  නෑ.."

 අසළ සිටි සැවොම මීක් ගාන ශබ්ධයක් නැති ගාණට නිශ්ශබ්ද විය . මගේ දෙපැත්තේ සිටි සහෝදර දෙපළ මුහුණෙන් මුහුණ බලති. සමරසේනයෝ නිරුත්තර විය .

එහෙත් එද සිට  ඇරඹුනේ සමරසේනයන්  ශිෂ්‍ය කණාඩායමක් වෙනුවෙන්  හඬ නැගූ මගෙන් පෞද්ගලිකව පළිගැනීමට  සිතා ගුරුවරයෙකුට තබා  ජාති හතුරෙකුටවත් තරම් නොගැලපෙන තරමේ පහත් සහ නිහීන තත්ත්වයක වූ පළිගැනීම් මාලාවක් වෙනුවෙන් යොමුවූ අවස්ථාවක සමාරම්භයයි

පසු සටහන:

අද සමරසේන මහතා උසස් අධ්‍යාපන ආයතනයක් ඉහළම පුටුවකට ගොස්  එදාටත් වඩා ළාමකව හැසිරෙමින් සිටියි.

සහෝදර පාර්ශවය නියෝජනය කළ සිසුවා   ඉතා  ඉහල සමාජ කුළකයක් සමඟ ගණුදෙනු කරනා ප්‍රභලයෙකි.   සහෝදර  කැක්කුම් ඒ පැත්ත පළාතකවත් නැත.

ආචාර්ය මණ්ඩලයට දැඩිව හිතවත්කම් දැක්වූ කොහේ කොහේ ඉන්නවාදැයි මම නොදනිමි.

අපි තවමත් හඬක් නැති ඌවේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් සුළුවෙන් හෝ යමක් කරන්නට උත්සාහ කරමින් සිටින්නෙමු .

එදා පේරාදෙණිය මහජන බැංකුවේ කළමනාකරුගේ කාමරයේ  මා සමඟ දොඩමළු වූයේ අනූ ගණන්වල වැල්ලමඩමේ  පාලකයාව සිටි මහාචාර්ය දොඩන්දූව මැතිතුමාය

එසේ අපිත් සමඟ සුහද සංවාදයේ යෙදුන   ඔහු මගේ සිතිවිළි එක්දහස් නමසිය අනූ ගණන්වල කරාපිටිය වෛද්‍යපීඨයේ බෝඩ් රූම් එකට අරන්යන්නට සමත්වුයේ ඇසිල්ලකිනි.


ඊලඟ කොටස මෙතැනින්

අපේ පුතා බඹරකන්ද ඇල්ල අඳින හැටි (How to Paint a Beautiful Waterfall in Acrylics/Oils)

Saturday, 8 June 2019

හොඳම දේ දරුවන්ටයි



අපේ මී මැසි පාලක කරුණාරත්න මහතා වගේම බණ්ඩාරවෙල මී මැසි පාලනය කළමණාකරණය කරන වසන්ත සංජීවත් මේ දවස්වල මී මැස්සෝ වගේම කඩිසරයි . එහාට දුවනවා මෙහාට දුවනවා. අද උදේ වරුවේ කරුණාරත්න මහත්මා හිටියේ බණ්ඩාරවෙල වලස්බැද්දේ. ඊයේ හිටියේ දෝව උඩුකුඹල්වෙල. 
මීට සුළුමොහොතකට පෙර වසන්තත් කරුණාරත්නත් යන දෙදෙනාම හිටියේ මී මැසි පෙට්ටි මිලදී ගන්න ගිහින් . අද දවසේ වලස්බැද්දට ගිය කරූ මහතාට දැක ගන්න ලැබුණු දේවල් ඔහුවත් ඒ හරහා වසන්තලා සහ අපිත් ඉතාමත් සතුටුදායක තත්ත්වයකට පත්කලා .
1. වලස්බැද්දට දුන්න පෙට්ටි 22 කම දැන් ජනපදවලින් පුරවලා ඉවරයි. ( අභයරාජා ප්‍රමුඛ වල්ස්බැද්දේ සමිති සාමාජික සාමාජිකාවන් විසින්)
මේ සමිතියේ වැඩිපුර ඉන්නේ සාමාජිකාවෝ.
2. කරූ මහතා එහි යනතෙක් බලාගෙන හිටපු අමුත්තෙකුගේ කථාව. 
ඔහු පහළොස් හැවිරිදි පාසැල් දරුවෙක් අම්මාට උදේම කියලා පාසැල් නොගිහින් නැවතිලා කරූ මහතා දෙන මී මැසි පාලන අධ්‍යාපනයට වහවැටිලා. 
කරූලා , වසන්තලා අභයරාජලා ඇතුළු අපෙන් පස්සේ පරිසරයට ,ගහටකොළට සතා සීපාවට ආදරේ කරන ළමයෙක් හැදෙන බව දුටු කරූට හරි සතුටුයි. අපි වැය කරන කාළය , ශ්‍රමය සහ මිලමුදල් අපතේ නොයා අනාගත පරපුරටත් යමක් යනවා දැක්කම සතුටු නොවී කොහොමද ?

Monday, 3 June 2019

සොඳුරු සිහිනයක් -"ගමන් ගෙඩියක්"





සති අන්තයේ මහ අමුතු හීනයක් දැක්කා . ගුමු ගුමු ගාගෙන අපේ වත්තේ ( බණ්ඩාරවෙල මාරබැද්දේ මයෙ හිතේ ) පහළට "ගමන් ගෙඩියක්" යනවා . මගේ අතේ තිබ්බේ පෑණක් විතරයි . 
මම හනි හනිකට අම්මාටත් කෑගහගෙන ගෙට දුවනවා "අම්මා ඉලත්තට්ටුවක් ගේන්න .. ඉලත්තට්ටුවක් ගේන්න ." මොකද චූටි පුතා උඹ මේ ආඟිරි දෙන්නේ ? මොන මල යකෙක් වැහුණද උඹට? "
" නෑ නෑ මේ "ගමන් ගෙඩියක්" යනවා අම්මා ඉකමණට ඉලත්තට්ටුවයි යකඩ ඇණයකුයි ගේන්න. මේ මී මැස්සෝ ටික කොහේ හරි ගහක නවත්ත ගන්න. "
අම්මා එනපාටක් නෑ මම ලඟ තිබ්බ ටකරම් කෑල්ලකට ගගහා ගමන්ගෙඩිය පස්සෙන් දුවනවා. මී මැස්සො පස්සේ දුවලා දුවලා මහන්සියටම මට ඇහැ ඇරුණා.
බලනකොට මම ඔස්ට්රේලියාවේ මගේ ගෙදර ඇඳේ . කොහොමවුණත් "ගමන්ගෙඩිය" එක්ක මම බණ්ඩාරවෙලටම ගිහින් ..
මේ දවස් වලවෙන මොනවා ගැනද ඉතිං හීන දකින්නේ? මී මැස්සන් ගැන මිසක්. ........



ඔන්න ඕකයි ගමන් ගෙඩියේ කථාව

Friday, 17 May 2019

මහමෝදර බත් අම්මා තම්බි ඇන්ටී


රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය කරාපිටියේ තිබෙද්දි එහි ප්‍රධානම ශිෂ්‍ය නේවාසිකාගාරය ආරම්භ වන්නේ මහමෝදර රෝහල් භූමියේ පිහිටි වෛද්‍යපීඨය මුලින්ම පැවැති ගොඩනැඟිල්ලේ . ඒ එක්දාස් නමසිය අසූ ගණන් වල අග භාගයේ.

අපි එක්දාස් නමසිය අනූ තුනේ කරාපිටියට එන වෙලාවේ ( පළමු වසරේ වෛද්‍ය සිසුන් විදිහට ) මහමෝදර නේවාසිකාගාරය හොඳ පදනමක් ඇති සිසුන් හතලිහක් පණහක් තම තාවකාලික වාසස්ථානය ලෙස තෝරාගෙන තිබුණු තැනක්.

මම මුලින්ම මහමෝදරට එද්දි අපේ වසරේ කිසිකෙනෙක් එහේ හිටියේ නෑ . අපට ඉහළ වසරවල් වල ජේෂ්ඨ සිසුන් රාශියක් තමයි හොස්ටල් එකේ හිටියේ .
පළමුවසරේ නවකවද සමයේම හොස්ටල් එකට ගියනිසා පොඩි පොඩි නවක සංග්‍රහ ලබාදුන්නත් ඉතා ඉක්මණින් මගේ හොස්ටල් ජීවිතය පිළිවෙලක් කරගන්නට සහය වෙන්නට ඔවුන් අමතක කලේ නෑ .

 ඒ අතරින් සුවිශේෂ චරිත කිහිපයක්  වූ බුලත් , සෙට්ටි නන්දේ ඇතුලු  12 වෙනි කණ්ඩායමේ අයත්  පැණියා , ගල්ලන්ගොඩ ඇතුළු 13 වෙනි කණ්ඩායමේ අයත් තමයි මගේ අසල්වාසීන් ලෙස මට හඳුනාගන්නට ලැබුණේ.

මුල් දවස් වල නේවාසිකාගාරයේ අප සිටි අන්තයේ සිටි පියා , කේ බී , නිලාන් ඇතුළු බොහෝ පිරිසක් අපත් සමඟ ආශ්‍රයට වැටුණා. හොස්ටල් එකේ ගතකල මුල්ම දිනවලදී මා හට කෑම ලබාගන්නේ කෙසේද යන්න ගැටළුවක් ව තිබුණා .  ඒ නිසා මම ඒ ගැන අපේ අසල්වාසී හිතවතුන් වූ බුලත් , පැණියා ඇතුළු පිරිසකගෙන් විමසා සිටියා පිළිතුර ලැබුණේ අපේ හිතවත් බුලත් අය්යාගෙන්  " මූණා උඹත් වරෙන් අපිත් එක්ක තම්බි ඇන්ටිලා ගෙදරින් කෑම ගන්න "

ඔහු එසේ පවසා සිටියේ ඒ වෙනකොටත් හොස්ටල් එකේ සිටි වැඩි පිරිසක් තුන්වේලටම කෑම ගත් මහමෝදර රෝහල පිටිපස්සේ පිහිටි මුස්ලිම් ඇන්ටිකෙනෙක් ගේ නිවස ගැනයි. එක්දහස් නවසිය අසූගණන් වල අගභාගයේ සිට 2004 සුනාමියෙන් පසු මහමෝදර හොස්ටල් එක ඉවත්කරන තුරුම අපේ වෛද්‍යශිෂ්‍යන් වැඩි පිරිසකට කෑම දුන්නේ මේ තම්බි ඇන්ටිලා ගෙදරින්.

ඊට අමතරව උපුල් චන්දන නම් ක්‍රිකට් ක්‍රීඩකයාගේ මාමාකෙනෙක් සහ හොස්ටල් එක පිරිසිදු කරන්නාගේ ගෙදරින් ඉතාම සුළු පිරිසක් කෑම ගත්තා . මට මතක හැටියට 13 කණ්ඩායමේ අය සහ තරමක් පොෂ් ගතියක් පෙන්නූ කිහිපදෙනෙක් තමයි මේ දෙන්නාගෙන් කෑම ගත්තේ . බහුතරයක් සිසුන්ගේ ආහාර පාන සැපයීමේ වගකීම දැරුවේ මේ මුස්ලිම් ඇන්ටී සහ ඇගේ පවුල විසින්.

හොස්ටල් එකට එන්නට පෙර මම කෑමගත්තේ කරාපිටිය වෛද්‍ය පීඨය අසල සිටි තරමක නගරං කාරයෙකු වූ හැන්ඩි අය්යාගෙන්.  "උඹලට ඕනෑනම් කෑම  එකක් ගනිල්ලා නත්නම් නිකං ඉඳපල්ලා , මම තමයි කරාපිටියේ චණ්ඩියා " යන ආදර්ශය පාඨයට කෑම විකුණූ හැන්ඩි ගෙන් පසු මේ මුස්ලිම් පවුලේ කෑම ගණුදෙනු කෙසේ වේ දැයි  යන සාධාරණ සැකයක් මා තුල හටගත්තා.

දුර බැහැර පළාත්වලින් පැමිණි අහිංසක ගැමි සිසුන් ලෙස අප දුටු පළාතේ බොහෝ මිනිසුන් අතර හැන්ඩි තවත් එක්කෙනෙක් විතරක් බවද අප වටහාගෙනයි තිබුණේ.

"හරි හරි මම  එහෙන් කෑම ගන්න කැමැතියි කොහොමද ඒ බව මුස්ලිම් ඇන්ටිලාට කියන්නේ ? "
ඇන්ටිත් හැන්ඩියා වගේම කෑම වෙලෙන්දෙක් වෙන්න ඇති යැයි සිතූ මම බුලත් ගෙන් විමසා සිටියා.
"වැඩි විස්තරයක් කරන්න ඕනේ නෑ උඹ අපිත් එක්ක අද රෑ ඇන්ටිලා ගෙදර කෑම කන්න යන්න වරෙන් . එතනදි අපි උඹව ඇන්ටිට අඳුන්වලා දෙන්නම්කෝ. "
.... යකෝ එහෙට ගිහිල්ලත් කෑම කන්න පුළුවන් ද? අපිට ඕන හැටියට බෙදා ගෙන?....... මම කල්පනාවට වැටුණේ අපේ හාදයන්ගේ බඩගින්නේ තරමට එහෙම කෑම දෙන්න ගියොත් මොනවායින් මොනා වෙයිද කියලයි.

මොනවද උඹකල්පනා කරන්නේ. අපි ඇන්ටිලාව මරාගෙන කනවා කියලා හිතුවද?

අපේ බඩපිරෙනකම් විතරයි බං අපි බත් කන්නේ .වැඩිම වුණොත් තුන් හතරපාරක් බත් බෙදාගයි නැද්ද මචං ? බුලත් තමා අසලම සිටි "වන්නකු " දෙසට හැරුණා.

මේ අතර 13 කණ්ඩායමේ බොහෝ දෙනෙක් ඇන්ටිලා ගෙදර කෑම පිරිසිදු නැති බවත් ඊට වඩා මිලෙන් තරමක් වැඩි වුණත් උපුල් චන්දන අංකල් ගේ කෑම හොඳ බවත් කැමති නම් චන්දන අංකල් ගෙන් කෑම ගන්න එක්වෙන ලෙසත් කියා සිටියා.

ඒ වෙනකොට මුස්ලිම් ඇන්ටී බුලත් ලාගෙන් මුලු මාසයටම කෑම සඳහා අය කරේ රුපියල් හයසිය පණහක් වැනි සුළු ගාණක් . චන්දන අංකල් එක කෑම පාර්සලයක් විතරක් දෙන්න ( ඔහු කෑමදුන්නේ දවල්ට පමණය රුපියල් පහළොවක් අයකරනවා.
රුපියල් දහසක් වූ මගේ මහපොළට    ගැලපුණු හොඳම තැන, ඒ වගේම විශේෂයෙන් රාත්‍රියට  බඩකට පුරා කෑමට ඉඩක් ලැබෙන තැන, මහමෝදර මුස්ලිම් ඇන්ටිලා ගෙදරින් කෑම ගන්නට මමත් තීරණය කලා.



ඒ දවස්වල මහමෝදර හොස්ටල් එකේ තිබුණේ අමුතු දිනචර්යාවක්.  හවස හත හතහමාර පමණ වන්විට  බුලත් , ජගත්, පියා ඇතුළු පිරිස මුස්ලිම් ඇන්ටිලා ගෙදර යන්නට ලැහැස්ති වෙනවා. ඒ ෆැකල්ටියේ සිට ආවාට පස්සේ තේ එකකින් එහෙම සප්පායම් වෙලා , බාත් රූම් එකට පැනලා වතුර ටිකක් එහෙම නාගෙන  රාත්‍රී ආහාරයට සූදානමින්

මේ අතරේ බොහෝ සැන්දෑ කාලවල හොස්ටල් එක පැත්තේ කැරකෙන තවත් චරිතයක් තියෙනවා. ඒ තමන්ගේ ඇඟේ අමාරුව යන්න  හොස්ටල් එකේ කොල්ලෝ එක්ක ක්‍රිකට් ගහන්න හෝ වොලිබෝල් ගහන්න එකතුවෙන කෙනෙක් .

අප හොස්ටල් එකට එන්නට බොහෝ  අප හොස්ටල් එකට එන්නට බොහෝ කලකට පෙර එහි සිට ඉවත්ව ගොස් ඒ වනවිටත් වෛද්‍යවරෙයෙක් ලෙස සේවය කල ඔහු තමයි  බෝනා අය්යා.

 හොස්ටල් එකේ සිටි සියළුම දෙනා  බෝනා අය්ය ගැන දන්නවා ඒ ක්‍රිකට ගහන්න , වොලිබෝල් ගහන්න එහෙමත් නැත්නම් ටේබල් ටෙනිස් හරි ගහන්න තමන්ව ඇදලා ගන්න ක්‍රීඩාවටම බර කෙනෙක් හැටියට

බෝනා අය්යා ආපු දවසට හොස්ටල් එකේ ඉන්න පහළ බැච් තුනේ කොල්ලෝ බොහෝ දෙනෙක් ක්‍රිකට ගහන්න හෝ වොලිබෝල් ගහන්න සෙට් වෙනවා.

හොඳටම කරුවල වෙනතෙක් සෙල්ලම් කරන බෝනා ඇතුළු ඔහුගේ ක්‍රීඩා නඩයත් ක්‍රීඩාවෙන් පසු නා පිරිසිදු වී  තම්බි ඇන්ටිලා ගෙදරට  රාත්‍රී කෑමට එක් රොක් වෙන එක සිරිතක්.

ඔන්න එදා හවස හතහමාර විතර වෙද්දී බුලත්ලා කට්ටිය මගේ කාමරේ ලඟට ඇවිත්  සද්දයක් දානවා .

"අඩෝ උඹ අද අපිත් එක්ක එනවා කිව්වා නේද? අපි දැන් යන්න හදන්නේ  තම්බි මරන්න . උඹත් එනවානම් වරෙන් . "

රෑට කෑම කන්න යන්න හිතාගෙන හිටියත් තම්බි මරන්න යන කථාවේ අගක් මුලක් තේරුම් ගත නොහැකි වූ මම

"මොකක්ද බුලත් අය්යා ඒ තම්බි මරණ කතාව ? "

 යැයි ප්‍රශ්නාර්ථයක් මතුකලා.

"ඇයි යකෝ ඕකවත් තේරෙන්නේ නැද්ද ?  අපේ එවුන්  එතන ගිහිල්ලා කන කෑමේ හැටියට තම්බි ඇන්ටිලා ඉතුරුවුණොත් නේ පුදුමේ . අපේ එවුන් එහේ ගිහිල්ලා කෑම කනවා කියන්නේ ඉතින් ඒ මිනිස්සු මරණවා වගේ වැඩක් තමයි බං"

දණි පනි ගා කලිසමක් සහ ටීශර්ට් එකක් දාගත්ත මම බුලත්, පියා සහ වන්නකු ඇතුළු කල්ලියට එකතුවුණා . අපි තවම හොස්ටල් එක ඇතුළේ එක පාරම අසල ඇති මුස්ලිම් පල්ලියකින් මහා දවසට හතර පස් සැරයක් ඇහෙන , ඔවුන්ගේ  දෙවියන් ගැන කියවෙන  අල්ලාහ් අක්බර් නම් වාක්‍ය ඛන්ඩය ඇහෙනවා.

ඊට අනුකූලව එහි හොස්ටල් එකේ පරිවර්තනය අප අසළ සිටි  බුලතා යටිගිරියෙන් ගායනා කරනවා " අය්යා අරන් පලෝ , අය්යා අරන් පලෝ.. අල්ලා හු අක්බර් .. අල්ලා..// අල්ලන්න එන්නේ .. අල්ල්ලන්න එන්නේ"  අල්ලා හු අක්බර් .. අල්ලා..//
බුලත්ගේ දේව කන්නලව්වත් අහගෙනම අපි මුස්ලිම් ඇන්ටිලා ගෙවල් බලා පිටත්වෙනවා.

මීටර් පන්සියයක පමණ දුරක් ගෙවා මහමෝදර -කරාපිටිය පාර අයිනේ පිහිටි කුඩා නිවසක් වෙත අප ලඟාවෙද්දි බුලතා සහ වන්නකු ඉස්සර වෙනවා.

ඒ අතරේ ආධුනිකයා වූ මට ඇන්ටිලා ගෙදර හැසිරෙන පිළිවෙල කියලා දෙන්නෙත් බුලතා විසින්.

"අපි ආව බව ඇන්ටිට ඇඟෙව්වාම අර මැද කාමරේ තියෙන මේසෙට කෑම ගෙනත් තියෙනව. එතකන් මෙන්න මේ සාලෙට වෙලා ඉන්නයි අපිට තියෙන්නේ.

අපි එනකොට කෑම  මේසේ කට්ටිය පිරිලා නම් උන්ටික කාලා යනකම් සාලෙට වෙලා ඉන්නයි තියෙන්නේ ,ඔය මිරානියා, රිස්වානා , ෆයාස්, මුෆාස් ලාට එහෙම විහිළුවක් කරගෙන."
ගොඩක් වෙලාවට ඔය යට තට්ටුවේ ඉන්න වයසක සින්නෝ ටික එහෙම කලින්ම ඇවිල්ලා කෑම මේසේ අල්ලාගන්නවා . උන්ටික ගිය ගමන් අපිට වැඩේට බැස්සහැකි .
බුලතා කිව්වා වගේම අප එහි යනවිටත් පහත මාලයේ කාමරවල සිටි අවසන්වසරේ සිසුන් කිහිපදෙනෙක් මුස්ලිම් ඇන්ටිලා ගෙදර කෑම ගනිමින් ඉන්නවා .

"ඇන්ටී මෙන්න අපි අළුත් යාළුවෙක් එක්කං ආවා . මෙයා අද ඉඳලා ඇන්ටිලාගෙන් කෑම ගන්නවා."

"ඒයි උඹට දවල්ට ෆැකල්ටි ගෙනියන්නත් කෑම එකක් ඕනෙනම් ඇන්ටිට කියපං එතකොට හෙට උදේ ෆයාස් අතේ කෑම එක කාමරේට එවයි  උදේ කෑම එක එවනකොටම "

එදා බුලත්ලා එක්ක මුල්ම කෑම වේලට මුස්ලිම් ඇන්ටිලා ගෙදර ගිය මම එදාසිට හැමදාම රාත්‍රී ආහරය ගන්න එහාට ගියා .

මාද ඇතුළුව අපේ හොස්ටල් මිතුරන් බත් පිඟන් , හරක්මස් දීසි , මාළු දීසි හිස්කරන වේගය දෙස බැලු ඕනෑම කෙනෙකුට අපට කෑම දී තම්බි ඇන්ටී නොමැරී ඉතුරුවුණොත් ඇති යන හැඟීම ඇතිවෙනවා නියතයි .

ඒ වගේම පසු කාලෙක තම්බි ඇන්ටිගේ මහත්තයා කුවේට් බලා යද්දී අපේ කොල්ලෝ තවත් කතාවක් හැදුවේ "ඔන්න අපිට කන්න දෙන්න සල්ලි හොයා ගන්න බැරුව ඇන්ටී අන්කල් රටයවලා" යනුවෙනි

Friday, 19 April 2019

ටොමියා


එක්දාස් නමසිය අසූ ගණන්වල බණ්ඩාරවෙල අපේ ගම් පැත්තේ මේ වගේ දර්ශන හරි සාමාන්යයයි.
බෝංචි ගෝණියක්, වම්බටු ගෝණියක්මෙහෙම හිසින් අරන් එන සිංහල , දෙමළ ගොවියෝ, ගෙවිළියෝ හරියට හිටියා අපේ පැත්තේ.
උදැල්ල කටින් අරන් නොගියාට අපිටත් මේ වගේම හිතවත් බල්ලෙක් හිටියා ටොමියා කියලා . කුඹුරට , වතුපිටිවලට අපිත් එක්ක උදේහවා ගමන් කරන. ඒ දවස් වල ටොමියා අල කොටු, තක්කාලි කොටුවල පැල් රකින්න ගියහැටි මතක්වෙනකොටත් හිනායනවා.

Friday, 22 February 2019

ලේ වල සීනි (දියවැඩියාව ) හැදෙන්නේ සීනී කෑමෙන්ද?


ලේ වල සීනි (දියවැඩියාව ) ඇතිවන්නේ අපි වැඩිපුර සීනි කන නිසාද? එහෙම නැත්නම් අපිකන අනෙක් කෑම වර්ග නිසාද කියලා හොයලා බලන්න වටිනවා. දියවැඩියාව කියන රෝග තත්ත්වයේදි සිදුවෙන්නේ අපේ ලේ වල තියෙන ග්ලුකෝස් ප්‍රමාණය ඉහළ යෑමයි.

අප ආහාරයට ගන්නා බත් , පාන් , අල , බතල ආදීයේ තිබෙන පිශ්ඨය (පිටි ) ශරීරය තුලදී සීනි (ග්ලුකෝස්) බවට හැරෙනවා. ආහාරයෙන් එන ග්ලුකෝස් මුලින්ම එකතුවන්නේ ලේ වලට. ලේ වලතිබෙන ග්ලූකෝස් අපේ සෛලවල (විශේෂයෙන් මාංශ පේශිවල) ශක්තිය නිපදවන්න යොදාගන්නවා.

දියවැඩියාව  සහ ඉන්සියුලින් අතර ඇති සම්බන්ධය මොනවගේද?


ශරීරයට එකතුවෙන ග්ලුකෝස් ලේ වලින් සෛලවලට යොමුකරන්න ඉන්සියුලින්  නම් හෝමෝනයක් තියෙනවා . අපේ ශරීරයේ නිපදවෙන ඉන්සියුලින් ප්‍රමාණය අඩු වුණොත් මොකද වෙන්නේ? අපි ගත්ත ආහාර වල තිබෙන ග්ලුකෝස් සෛලවලට ඇතුල්කරගන්න බැරිව ලේ වල රැඳී සංසරණය වෙනවා. මෙහෙම වුණාම තමයි අපේ ලේ වල සීනිවැඩිවෙලා දියවැඩියාව ඇතිවෙන්නේ.

ඒ කියන්නේ දියවැඩියාව කියන්නේ අපේ ශරීරයේ නිපදවෙන ඉන්සුලින් ප්‍රමාණය අඩුවීම නිසා ඇතිවෙන තත්වයක්. ඉන්සුලින් නිපදවන්නේ අපේ ආමාශයට පිටුපසින් තියෙන අග්න්‍යාශය නම් ග්‍රන්ථියක් මඟින්. මෙසේ නිපදවෙන ඉන්සුලින් මඟින් කරන්නේ අපේ ඇඟේ තිබෙන ග්ලුකෝස් පාලනය කිරීමක් . අපේ ආහාරයේ තිබෙන ග්ලුකෝස් සෛලවලට අවශ්‍ය ශක්තිය ලබාගන්නට යොමුකිරීම තමයි ඉන්සියුලින් මඟින් සිදුවන්නේ.

ආහාර , ව්‍යායාම සහ රැධිරයේ සීනී (ග්ලූකෝස්) පාලනය එකට සම්බන්ධවෙන හැටි බලන්න


සෛල ශක්තිය නිපදවන්න ඔනේ මොනවෙලාවටද? ඒවායේ ක්‍රියාකාරීත්වය වැඩිවෙන්න ඕන වුණාම . ඒ කියන්නේ අපි මහන්සිවෙන වෙලාවට , අපි ඇවිදිනකොට , දුවනකොට , පඩිපෙළ් නඟින කොට සෛලවල වැඩිපුර ග්ලුකෝස් දහනයවෙනවා ශක්තිය නිපදවන්න.

ඒ වගේම අපි එකතැන වාඩිවෙලාම ඉන්නවානම් එහෙම නැත්නම්  මෝටර්සයිකල්,ත්‍රීවීල් , කාර් බස්වලින්ම ගමන්කරමින් පයින් යන දුරප්‍රමාණය අඩුම කරනවානම් අපි ගත්ත ආහාරයේ තිබ්බ සීනි (ග්ලුකෝස්) එසේ දහනය වීම අඩුවෙනවා.කාලයක් තිස්සේ මෙහෙම වුණාම ඉන්සියුලින් වලටත් පාලනය කරගන්න බැරිතරම් අපේ ඇඟේ සීනි වැඩිවෙනවා . ඒ ආකාරයත් අපිට දියවැඩියාව ඇතිවෙන්න පුළුවන්.

ඔබේ වෛද්‍යවරයා , හෙදනිළධාරිනිය ඔබට නිතරම කෑම පාලනය කරන්න වැඩිපුර ව්‍යායාම කරන්න කිය කියා කියන්නේ ඇයිද කියලා දැන් තේරෙණවා නේද?

 දියවැඩියාව ඇතිවීම ප්‍රමාද කිරීමටත්, තිබෙන දියවැඩියාව පාලනය කිරීමටත් හොඳම ක්‍රමය  අපේ ආහාරයේ ඇති පිශ්ඨය සහ සීනි ප්‍රමාණය අඩු කිරීමත් එදිනෙදා කරන ක්‍රියාකාරකම් ප්‍රමාණය වැඩි කිරීමත්  තමයි.

දියවැඩියා රෝග තත්ත්වය දෙයාකාරයි. "පළමුවර්ගයේ දියවැඩියාව" ඇතිවෙන්නේ තරුණ අයට සහ කුඩා ළමයින්ට. ඔවුන්ගේ අග්න්‍යාශයේ නිපදවන ඉන්සියුලින් ප්‍රමාණය ඉතාම අල්පවීම නිසා තමයි ඔවුන්ට දියවැඩියාව ඇතිවෙන්නේ .මේ අයගේ අග්න්‍යාශයේ සෛලවලට ශරීරයේ ප්‍රතිදේහජනක පද්ධතිය මඟින්ම සිදුවන හානියක් නිසා තමයි කුඩා දරුවන්ට හා තරුණතරුණියන්ට ඇතිවන "පළමු වර්ගයේ දියවැඩියාව" අතිවෙන්නේ. මෙයාලට ජීවත්වෙන්න නම් ජීවිත කාලය පුරාම ඉන්සියුලින්  එන්නතක් විදිහට දෙන්න වෙනවා.

"දෙවන වර්ගයේ දියවැඩියාව"  ඇතිවන්නේ අවුරුදු තිහ හතළිහ වගේ වයසෙදි. ලෝකයේ දියවැඩියාව තියෙන අයෙගෙන් සියයට අනූවක් පමණම ඉන්නේ මේ දෙවන වර්ගයේ දියවැඩියාව තියෙන කට්ටිය.  දෙවන වර්ගයේ දියවැඩියාව දකින්නට ලැබෙන්නෙ අවුරුදු තිහ, හතළිහට වැඩි, තරබාරු එමෙන්ම තමන්ගන්න ආහාරයේ අධික පිෂ්ඨය සහ මේදය අඩංගු දේවල් තිබෙන මිනිසුන් අතර. මුල් කාලයේදි දෙවන වර්ගයේ දියවැඩියාව තනිකරම ආහාර සහ ව්‍යායාම මඟින් පාලනය කරන්න පුළුවන්. මේ දෙක හරියට නොකෙරුණුත් දියවැඩියා පාලන පෙති (මෙත්ෆෝමින් වැනි) ගන්නවෙනවා. කාලයක් යද්දී මේ අයටත්  ඉන්සියුලින් ගන්න සිද්ධවෙන්න පුළුවන් හරිහමන් දියවැඩියා පාලනයක් නැතිවුණොත්.

දියවැඩියාවේ රෝග ලක්ෂණ මොනවාද?



දියවැඩියාවත් එක්තරා ආකාරයකට අධිරුදිර පීඩනය (ප්‍රෙශර් එක) වගේ තත්ත්වයක් ලේ වල සීනි ප්‍රමාණය සෑහෙන්න වැඩිවෙන තෙක් කිසිම රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නෑ. මේ අර්ථයෙන් ගත්තහම දියවැඩියාව කියන්නේ නිහඬ් මාරයෙක් කිව්වොත් නිවැරදියි.  

එහෙම නම් අපිට දියවැඩියාව තියෙනවද නැද්ද කියලා දැනගන්නේ කොහොමද? 

ඔබේ මව පියා , සහෝදරයා හෝ සහෝදරිය , පෙම්වතා පෙම්වතිය තරමක් තරබාරුනම්, තරමක් අලසව ඇඟපත වෙහෙසා වැඩ නොකරන කෙනෙක් නම්, නිතරම වාහනවලින් ගමන් කරන වැඩිපුර  පයින් ගමන් නොකරන කෙනෙක්නම් ඔවුන්  වෛද්‍යවරයෙක් වෙතට  රැගෙන ගිහින් රුධිරයේ ග්ලුකෝස් පරීක්ෂාවක් (රාත්‍රීකෑමෙන්පසු කිසිවක් ආහාරයට නොගෙන කරන) හෝ පසුගිය මාස තුනක කාලයේ රුධිරයේ සීනි මට්ටම පාලනය වූ අයුරු පෙන්වන "එච් බී ඒ වන් සී"/HbA1C පරීක්ෂාව කරගන්න ඕනේ . මේ පරීක්ශා දෙකෙන් ඔහුට ඇයට දියවැඩියාව තියෙනවද  (විශේෂයෙන් දෙවන වර්ගයේ දියවැඩියාව )කියලා හොයාගන්න පුළුවන්.

රුධිරයේ ග්ලුකෝස් මට්ටම සෑහෙන්න ඉහළගිය පසු (බොහෝ විට පළමුවර්ගයේ දියවැඩියාව හඳුනාගන්නේ මෙහෙමයී) රෝගලක්ෂණ සමූහයක් දකින්න පුලුවන්.


නිතර නිතර වැඩිපුර මුත්‍රා පිට කිරීම (පැයෙන් පැයට වගේ)
රාත්‍රී කාලයෙත් කිහිපවරක් මුත්‍රා පිට කිරීම
අධික පිපාසය
මහන්සිය සහ ශක්තිය නැතිගතිය
සුවනොවන තුවාල
නිතර නිතර ආසාදන (හමේ සහ පෙනහළු වල වගේ) ඇතිවීම
බර අඩුවීම (මෙය සිදුවන්නේ පළමුවර්ගයේ දියවැඩියාවෙදී 
සමහර විට ලිංගාශ්‍රිත ප්‍රදේශ වල කැසීම 
උච්චාවචනය වන  මනෝභාවය (මූඩ් එක)

Tuesday, 15 January 2019

Drawing a Rail Bridge Using Coloured Pens. (දෙමෝදර ආරුක්කු නවයේ පාළම )

ගියමාසේ මැද හරියේ අපි හිටියේ ලංකාවේ . බණ්ඩාරවෙල ගිය දවසේ පහුවදාම අපේ පුතාට  දෙමෝදර ආරුක්කු නවයේ පාළම බලන්න යන්න ඕනෑවුණා . උදේ පාන්දර වාහනේට නැගුණු අපි පැය භාගයක් වගේ කාලයක් ඇතුලත දෙමෝදරට ලඟා වුණා . එහිදි දෙමෝදර පාළමේ චායාරූපගොඩක් ගත්තු අපේ පුතා නැවත ඔස්ට්‍රේලියාවට ආපු ගමන් කරේ ඒ පාළම චිත්‍රයට නඟන එක . මේ තියෙන්නේ ඒ චිත්‍රය..

Saturday, 12 January 2019

බ්ලොග් ලියැවිල්ලක් හරහා හමුවූ අව්‍යාජ මනුෂ්‍යත්ත්වය




වජිර ද සිල්වා (මෙල්බන් සිටින වජිර මල්ලී) මට මුණගැහුණේ අහම්බෙන්.2015 මැද භාගයේ අප කිරිඔරුවේ  රංජිත් රාජපක්ෂගේ නිවසේ වැඩ ගැන ලියපු බ්ලොග් පෝස්ට් එකක් යට " මේ වගේ සමාජ සත්කාරක වැඩ වලට මම හරි කැමතියි . ඊලඟ වැඩේට මමත් මුදල් පරිත්‍යාගයකින් සහය වෙනවා . ඊලඟ සමාජ සත්කාරය ගැන මට කියන්න " කියලා කමෙන්ටුවක් දාලා තිබ්බා වජිර. එදා සිට මේ දක්වා අප කල සියළු වැඩවලට මුල්‍යමය වශයෙන් වගේම අදහස් සහ යෝජනා වලින් සහය වුණු වජිර මේ වෙනකොට අපේ නවතම ව්‍යාපෘති සැලසුම් කිරීමේ සිට ඒවාගේ මුදල් හුවමාරු කළමනාකරණය , ලංකාවේ අපේ වැඩ  කරවන නියෝජිතයින් සමඟ ගණුදෙනු ඇතුළු සියල්ල සිදු කරනවා. අපේ සමාජ සත්කාර වලට උදව් උපකාර කරන අයට නම් වජිර කියන්නේ හුරු පුරුදු නමක්. මගේ නමටත් වඩා. මෙච්චර ලොකු වැඩ කොටසක් කරගෙන ගිය වජිරයි මමයි ජීවිතේ පළමු වතාවට මුහුණට මුහුණ හමුවුණේ ඊයේ  (12/01/2019) වජිරගේ චූටි දූ සෙසඳිගේ පළමු උපන්දිනය දා...