Follow by Email

Friday, 31 January 2020

පල්ලැහැ වත්තේ අල කොටුව


පසුගිය කාලේ බ්ලොග් ලිවිල්ලත් යලට මහට වගේ කෙරෙමින් තිබිලා හෙමින් හෙමින් අඩුවීගෙන ගියා . රැකියාවේ කාර්යබහුලත්වයත් පෞද්ගලික වගේම පොදු කටයුතුවෙනුවෙන් යන කාලය වැඩිවීමත් අස්සේ බ්ලොග් පැත්තේ එන්න වෙලාවක් එන්නේ නෑ.
ඒත් තිලකසිතේ තිලකේ අය්යා ආපහු තමන්ගේ බ්ලොග් එක යාවත්කාලීන කරද්දි පොඩි පොඩි උත්තේජන ඇතිවුණා.ඔහුගේ නවතම ලියවිල්ල "අර්තාපල් මුත්තාපල්" නිසා අපේ අර්තාපල් කථා ටික පෙළගස්වන්නේ නැතිව  ඉන්න බෑ කියලා හිතුනා . එහෙම නම් අර්තාපල්  වගාව සහ අපේ බාල කාලේ ගැන කතා කරන්න පටන් ගනිමු

පල්ලැහැ වත්තේ අල කොටුව

නමසිය අසූ ගණන් වල මුල් හරියේ අපේ තාත්තාගේ රස්සාව හදිස්සියේ නැතිවෙනවා. ඒ ආසන්න කාලයකදී අක්කා මම සහ ලොකු නංගී එකතු කරගෙන (අපේ අය්යා මේකාලේ සාමාන්‍ය පෙළ කරන්න ලඟයි ඒ නිසාදෝ කොහෙද වගාවැඩවලට එයා සම්බන්ද නොවුණ කාලයක් )අම්මාඅපේ ගෙදරවත්තේ පොඩියට වගාවක් පටන් ගන්නවා . ගෙට උඩහ පැත්තේ දැන් තේ හදලා තියන කොටසේ ඒ කාලේ තිබ්බේ උක්වගාවක් .. උක්ගස් ගලවලා බිම්සකස් කරේ තාත්තා , අම්මා සහ අපි .. ඊට පස්සේ හා හාපුරා කියලා බෝංචි වගාවක් දැම්මා ඒ කෑල්ලේ .. වගාව කරගෙන යද්දි වැස්ස නැති කාලයක් ආවා මට මතකයි .. මීටර් තුන්සීයක් විතර දුරක තිබුණු ගල උඩ ලිඳෙන් (උඩහා ලිඳ ) තමයි අපි වතුර ගේන්නේ    අක්කයි මමයි  ලොකු නංගියි තුන්දෙනා කළගෙඩි වලින් වතුර ගේනවා  තාත්තයි අම්මයි මල්බාල්දි වලට ඒ වතුර පුරවලා වතුර දානවා. මේ විදිහට හැමදාම හවසට වතුර දානවා.  ඔන්න ඔහොමයි  අපේ මුල්ම වගාව 1980-81 කාලයේ සිද්ධ වෙන්නේ

මේ අතරේ අපේ අම්මා සහ තාත්තාට සිතක් පහළ වෙනවා වගාව තවත් ව්‍යාප්ත කරන්න. ඒත් අපේ ගෙදර වත්තේ එච්චර ඉඩක් තිබ්බේ නෑ තවමත් ඉතිරි වීතිබුණු උක්වගාව නිසා. ඊට පස්සේ තමයි එයාලා තීරණය කරන්නේ ඒ වෙනකොට කැලේට ඇරලා තිබ්බ පල්ලැහැවත්ත් එළිපෙහෙළි කරන්න.
අම්මා අක්කා , මම සහ ලොකු නංගී ඇතුළු බැටෑලියන් එකත් අරගෙන  වැඩේට බැස්සා . උසට උසේ වැවී තිබුණු කැලෑ ගස් එක්ක අපිටික ඔට්ටු වෙනවා තරමක් උස පැල බෝංචි කෝටුවලට එකතු කරා .. එරමුදු , දඹ ගස්, අළු බෝම්බු ගස් දිය  සීරාවට වැදගත්  නිසා ඒවාට අත තිබ්බේ නෑ. දින කිහිපයක් කට්ටිය වැඩ කරද්දි  වත්ත සම්පූර්ණයෙන් එළිපෙහෙලි වුණා. කාලයක් කැලේ වෙන්න ඇරලා තිබ්බ නිසා පස කළුම කළුයි, සරුසාරයි.

මේ වෙනකොට අපට  ගමේ තවත් හොඳට  එළවලු වගා කරන කෙනෙක් වූ කිරිඔරුවේ මහවත්තේ නැන්දා  එක්ක එහෙමත් ගණුදෙනු තියෙනවා

අප බිම් සකස් කරාට පස්සේ පල්ලැහැ වත්තේ හදන්න සුදු අර්තාපල් අල  ගෙඩි සීයක් දුන්නේ මේ මහවත්තේ නැන්දා තමයි . එයා අපට ගෝවා පැළ සීයකුත් දුන්නා ඒ කෑල්ලේ හදන්න . ඊට අමතරව අපි තක්කාලි සහ බෝංචි ටිකකුත් පල්ලැහැ වත්තේ හිටෙව්වා මතකයි හා හා පුරා කියලා කරපු වගාවට..

මහවත්තේ නැන්දා දුන්න අල ගෙඩි  අල පැල තුන්සීයක් පමණ ගන්නා තත්ත්වයට පත්කරනවා මට මතකයි අපේ අම්මා විසින් . ඒ බීජ අල ගෙඩි මොටෙය්යන් එකක් හෝ දෙකක් ඇතුළත් වෙන ආකාරයෙන් පිහියකින්පෙති ගසා කපා ගනිමින් . එසේ කපපු පෙති වලට අළු හෝ දියකරගත් ඇන්ට්‍රකෝල් ගාන්නත් ඕනේ . එහෙම කරලා බීජ අල කැලී තුන්සීයක් පමණ ඇඳක් යට වේලෙන්න තියලා තිබ්බා.

අල හදන්න බිම් සකස් කරද්දි අළු හුණු මිටි කිහිපයකුත් පොළවට ඉසිනවා .. මුල්වේයෝ ගහන එක ඒකෙන් අඩුවෙනවා කියලා තමයි ඒ කාලේ විශ්වාස කලේ අලුහුණු වලින්..
ඉරිගසා සකස් කර කාණු වල පේළියට තබා කැපූ බීජ අල පෙති තියලා පස්වලින් වහනවා .. ඊට පස්සේ දිනපතා වතුර දානවා.. උඩහ අපේ ගෙදර වත්තේ වගේ නෙවෙයි මේ වත්තේ වතුර ගන්න කුඩා ලිඳක් තිබුණා අපි කැලේ එළිකරන්නත් කලින්ම ... තව අම්මයි ,මමයි  අක්කයි එකතුවෙලා වත්තේ තිබූ දඹ ගහක් යට අළුති ලිඳක් හෑරුවා . ඒකෙත් වතුර පිරුණා .. මෙ ලිංවලින් වතුර ගෙනැත් තමයි  අපේ අලවගාවට වතුර දැම්මේ.

අල හිටවපු දවසේ රෑම පැල් රකින්න වෙන බව අම්මා කිව්වා මතකයි .ඒ අසල ඇති කැලයෙත් ඊට ඉහළින් ඇති තේවත්තෙත් සිටින ඌරන් ඇවිත් අල ගලවා දමනු ඇතැයි යන භිය නිසා.. කොහොම හරි අල හිටවපු දවසේම කටුමැටි ගහලා  මානං වහලා පොඩි පැල් කොටයකුත් හැදුවා ...ඊට පස්සේ පැලේ නිදා ගන්න ගෙදර තිබුණු මුත්තාගේ ලණු ඇඳ ගිහින් තිබ්බා ..

පල්ලැහැ වත්තේ පැල් රැකීම 

කිරිඔරුවේ ගම මැද වගේ නෙවෙයි අපේ ගෙවල් තිබ්බ මාරබැද්දේ කඳු මුදුනේ ඒ කාලේ කව් රුවත් එළවළු හැදුවේ නෑ .. අපි පටන් ගත්තට පස්සේ වත්තක් දෙකක් හැදුනත් මේ කියන කාලේ අහල පහළ කොහේවත් එළවළු වගාවක් කෙරුණේ නෑ.
ඔන්න අපි පල්ලැහැවත්තේ ගොඩ අල හිටවලා (මෙහෙම වත්තක හිටවන අර්තාපල් වලට ඒ කාලේ කියන්නේ ගොඩ අල කියලා .. මේවාගෙන් තමයි ඊලඟ කන්නයේ කුඹුරේ හිටවන්න බීජ අල හදාගන්නේ කුඹුරේ හිටවන අල වලට කියන්නේ මඩ අල , ඒවායින් ආයිත් බීජ අල ගන්න බෑ ) පැල් රකින්න යන්න ලෑස්තිය.

මුල්ම දවසේ ගියේ තාත්තයි මමයි  . අම්මා අපට ගෙනියන්න තේ, කොළ සීනී , බිස්කට් එහෙම දාපු මල්ලක් හදලා දුන්නා.
ගෙදර ඉඳලා පල්ලහැවත්තට වැඩිදුරක් නෑ .. එහා ගෙදරයි .. ඊටත් එහායින් තියෙන රාජලා ගෙදරයි පහු කරාම එන්නේ අපේ පල්ලැහැවත්ත .. හැබැයි පල්ලැහැ වත්ත අනෙක් පැත්තෙන් මායිම් වෙන්නේ ජලරක්ෂිත කැලේකට .. ඒ කැලේ අවුරුදු තිස්ගණනකට පස්සෙත් තාමත් ඉතුරුවෙලා තියෙනවා..

අපි පැලේ යනකොට වෙලාව රෑ අටට විතර ඇති ..තාත්තයි මායි පැළට ගිහිල්ලා එළියේ ලාම්පුවක් එල්ලුවා ඌරො භයවෙන්න .. තවත් ලාම්පුවක් එල්ලුවා අල හදපු කෑල්ල මැද්දේ.. ඊට පස්සේ පැලේ එළියේ තිබුණ කෑල්ලේ හොඳ ගිණි මැලයක් ගැහැව්වා.. දැන් තාත්තා අර ලණු ඇඳේ දිගාවෙලා ඉන්නවා .. මම එළියේ ගිනි මැලයට දර දදා ඉන්නවා ඔය අතරේ මට සිංදුවක් දෙකක් කිව්වා නම්  හොඳයි  කියලා හිතුණා...මම පැල අයිනේ තිබුණ පරණ  මල් බාල්දි කෑල්ලක් හොයා ගත්තා පොඩි කෝටු කෑලි දෙකක් දෑතට  අරන් වැඩේ පටන් ගත්තා .. මුලින්ම .. ගෝවේ .... ගෝවේ ගෑණු පරාදයි... කියන එක තමයි කිව්වේ .. මල් බාල්දියට තඩි බබා.  ඊට අමතරව ඒ කාලේ මම කියන සිංදු තමයි "බැරිබර  කරේ තියන්", "කවාලා විලඳ ජාතී..."  වගේ සිංදු ... 

මගේ සංගීතය  යන අතරේ පැල ඇතුලේ ඉන්නා තාත්තා සැරින් සැරේ... "හුයි.. අ..හුයි"  කියමින් ඌරෝ එලවනවා...

මෙහෙම ටික වෙලාවක් යද්දී පැලට උඩ පැත්තෙන් සද්දයක් එනවා.. ඒ හරියේ තියෙන අසල්වැසි  ගෙවල්වල මිනිස්සු යන පාර හරියෙන් ... "මාමා .. මාමා දොරේ මාමා".... මමත් සංගීත සාජ්ජය නවත්වලා අහගෙන ඉන්නවා.. තාත්තා නින්දත් නොනින්දත් අතරද කොහෙද ..දැන් ඒ කටහඬ මට කතා කරනවා "චූටි මල්ලී ...චූටි මල්ලී" ... මම පැල ඇතුළට  ගිහින්තාත්තව කූද්දනවා.. "තාත්තා... තාත්තා ....කවුද ගෑණුකෙනෙක් කතාකරනවා උඩ පැත්තෙන් මට හිතෙන්නේ උඩහ  ගෙදර මල්ලිකා අක්කා"
... තාත්තත් නැඟිටලා "කවුද? කවුද? "කියමින් හඬ එන පැත්තට ගියා  අපි දෙන්නම .. තාත්තගේ අතේ ටෝච් එක. "

"ආ මේ මල්ලිකා දුවනේ.. ?"
කතා කල කෙනා හඳුනා ගත් තාත්තා කියනවා.. "

"මාමලා පැල් රකින්න ඇවිත් ඉන්නවා ඇහිලා තේ එකක් හදාගෙන ආවා මාමා "

මල්ලිකා අක්කා අපට තේ  අරන් ඇවිත් ....