Friday 11 November 2016

මයි කාර් මයි පැට්‍රොල්







"මයි කාර් මයි පැට්‍රොල්"  යන යෙදුම මා මුලින්ම පාවිච්චි කලේ අපේ අම්මාගේ පොඩි මල්ලී ( අංජු මාමා ) සමග ඇතිවූ ආවේගශීලී කතා බහකදීය.

ඒ අපි දෙන්නා තුන් හවුලේ අම්මා සමග එළවලු හදද්දී මට කේන්ති ගිය මොහොතකයි.

ඒත් අද මේ කියන්නට යන කතාව මට කේන්ති ගිය අවස්ථාවකටත් වඩා මට මා ගැනම අනුකම්පාවක් ඇති වූ අවස්ථාවක් හා සම්බන්ධය.

මේ වන විට මම  මගේඒ  පළමු කාර් එක ලෙස මීගමුවෙන් රැගෙන ආ ටොයෝටා කරීනා එකක් පාවිච්චි කරමින් සිටියෙමි.

මතුපිටින් සහ එහි තිබු ආසන වල පෙනුමින් ඉතා සිත් ඇදගන්නා සුළු වූ එය මට රැගෙන දුන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වැඩ කල කාර් බ්‍රෝකර් කෙනෙකි.

සිසිල් නම් වූ ඔහු  ඒ වනවිට කෘෂිකර්ම පීටයේ කාර්මික නිලධාරියෙක් ලෙස සේවය කළේය. සිසිල් හින්නි අප්පු හාමිගේද  ගජ මිතුරෙකි.

සිසිල් මට හඳුන්වා දුන්නේද ඒ වනවිට  මගේ  ඩිස්පන්සරියෙන්  බෙහෙත්  ගත් කෙනෙකු වූ හින්නි අප්පුහාමි විසින්මය.

කරීනා එක බලන්න ගිය කතාව ද ඉතා රසවත් එකකි. ඒ වන විට පේරාදෙණිය, නුවර අවට කාර් ගණනාවක්ම බලා හෙම්බත් වී සිටි මම ඕනෑම කාර් එකක් මිලදී ගන්නා තත්වයක සිටියෙමි.

කාර් විකුණන දොස්තර මල්ලී ළඟ තිබු ට්‍රැඩ් සනිය හැරෙන්නට අනික් හැම කාර් එකක්ම හින්නි කියූ පරිදි බලන්නට ගියෙමි.

එහෙත් ඒ එකක් වත් මගේ හිතට ඇල්ලුවේ නැති නිසා ඒ වනවිටත් මා වැඩට ගියේ පාරේ බස් එකේමය.

මගේ පළමු කාර් එක



එදා ඉරිදා දිනයකි . උදේ පාන්දර නිසා  මා සිටියේ මගේ  පුද්ගලික බෙහෙත් ශාලාවේය.

ඉදිරිපස පිහිටි පාරේ අයින් කර නැවැත්වූ  අළුතින් වැඩ දැමු පැරණි බෙන්ස්කාර් එකකි.







එහි අයිතිකරු වුයේ  හින්නිගේ යාලුවා සිසිල් ය.

කඩිමුඩියේ  මගේ පොලේ පඩිපෙළ නැගී සිසිල්  මා සිටි  මේසය ලඟට ආවේ.

"මේක හරියන්නේ නෑ ඩොක්ටර් . නුවරින් කාර් හොයන්න බෑ "  කියාගෙනයි.

"ඉතින් අපි මොකද කරන්නේ සිසිල් තව ටිකක් බලමු නේද ? " මම පිළිතුරු දුන්නේ ටික කලක් බස් වල ම ගමන් කර අතේ ඇති මුදල වැඩි කරගත හොත් හොඳ කාර් එකකට යා හැකි යැයි සිතමිනි.

"අපි යමු ඩොක්ටර් පල්ලැහැ පැත්තේ . හොඳ මරුටියක් තියෙනව කිව්වා තුනකට ගන්න පුළුවන් වගේ "

"පල්ලැහැ කිව්වේ කොළඹද? "

"නෑ නෑ  මීගමුවේ . යන අතරමගත් වාහන බලන්න පුළුවන් නේ  . හිතට අල්ලන එකක් ආවොත් ගමු "

"කවදද යන්නේ? "

"මේ දැන්  ඩොක්ටර් මම ආවේ ඩොක්ටර් එක්කන් යන්න "

"මගේ කාර් එකේම යමු. හින්නිත් එනවා අපිත් එක්ක "

"එතකොට  දිස්පෙන්සරිය? "

"හවස් වෙනකොට ආපහු ආවහැකි ඩොක්ටර් . වැඩේ හරිගියොත් අලුත් කාර් එකකුත් අරගෙනම "

මම මදක් කල්පනාවට වැටුනෙමි. බ්‍රෝකර් ලා දෙදෙනක් සහ මා පමණක් ගොස් කාර් බැලීමෙන් මට ආවසියක් විය හැකිය.

ඈනටමි එකේ මගේ හිතවත්  මල්ලී කෙනක් (ඩිමෝ කෙනෙක් ) වත් එක්කගෙන යායුතුය.

ඒ අදහස ඇතිව සිසිල්ට අනුමැතිය දුන්නේ " සිසිල් මගේ යාලුවෙක් ඉන්නවා කිරිබත්කුඹුරේ එයත් දාගෙනම යමු" කියමිනි.

එවෙලේම සුසන්ත මල්ලී  ( අපේ දෙපාර්තමේන්තුවේ  හිටපු ඩිමෝ කෙනෙක් ) ඇමතු මම ඔහුද ගමනට ගෙන්වා ගත්තෙමි.

මීගමුවට ළඟාවූ අපට සිසිල් විසින් මුලින්ම මරුටියත් තවත් කාර් කිහිපයකුත් පෙන්නුවා මතකය.

මා වගේම සුසන්ත මල්ලිත් ඒවා ගැන විශේෂ කැමැත්තක් පෙන්නුවේ නැත.

විශේෂයෙන් මරුටිය  ඉතා කුඩා වීම අපි දෙදෙනාම නිරීක්ෂණය කර තිබු  දෙයකි.

මෙසේ කාර් බලමින් සිටි  අප අවසානයට රැගෙන ගියේ  මීගමුව කොළඹ පාර අයිනේ තිබු සුවිශාල නිවසක් වෙතයි.

එහි ගරාජයේ නවතා තිබු සුදු පාට ටොයෝටා කරීනා එක  මටත් වඩා සුසන්තගේ සිත් ගත් බව පෙනෙන්නට තිබුණි.


සුදු පාට කාර් එකේ ලා නිල් පැහැති ෂීට් කවර දමා තිබු කාර් ෂීට් එයට අමුතු එළියක් ලබා දී තිබිණි.

ගෙදර සිටි ගෘහණිය කාර් එකට අඩුම ගානේ දෙකයි හැටක් වත් අවශ්‍ය බව කියා සිටියාය.

තුනක් වැය කර මරුටියක් ගන්නට පැමිණි අප දෙකයි හැටකට විශාල එමෙන්ම සිත් ඇද ගන්නා සුළු වාහනයක් ලැබීම ගැන සතුටින් සිටියෙමු.


ඒ නිසාම දෝ  කරීනා එක දුටු සුසන්ත

"අය්යා තුනක් දීලා අර හුන්ඩුවක් ගන්න වෙලාවේ දෙකයි හැටකට මේක ගන්න තියෙන්නේ .

අඩුම ගානේ පෙනුම වත් තියෙනවා " යැයි කරීනා එක ගැනීම  හොඳ බව මට පැහැදිලි කළේය.




අපේ අදහස සිසිල්ට සැල කර සිටීමෙන් පසු . රුපියල් පනස් දහසක අත්තිකාරම් මුදලක් දී එදාම වාහනය රැගෙන යෑමට හිමිකාරිය එකඟ කරවා ගැනිණි.

සිසිල් සහ සුසන්ත පරණ බෙන්ස් ඒකෙත් හින්නි සහ මම අලුත් කරීනා ඒකෙත් නුවර බලා පිටත් වුයේ මගේ අලුත් කරීනා එකත් සමගයි.

මිගමු කාර් සහ නුවර පැට්‍රොල් 




කරීනා එක ඇතුළට ගොඩවූ විට ඇත්තටම  භාවනක් තුලට වැඩියා වැනි හැඟීමක් දැනෙන්නට විය.  සුසන්ත මෙන්ම මා ද අලුත් වාහනය ගැන බෙහෙවින් සතුටු වූයෙමු.

ගෙදර අයිති කාර සරප් මහත්තයාද ( ඔහු සුස්නත මල්ලිගේ මාමා කෙනෙකි )  අලුත් කාර් එක ගැන ඉතා සතුටින් කතා කළේය.

වෙනෙකක් තබා එක් සෙනසුරාදා දිනක මා සහ නිම්මි රැගෙන අළුත් නුවර දේවාලයට ගිය සරප් මහතා මගේ 
කාර් එකේ යතුර ගම්බාර දෙවියන්ගේ රත්රන් පිළිමය ඉදිරිපට තබා ආශීර්වාද ලබා දෙන්නටද ඉදිරිපත් වුවේය.

ඒ වන විට මගේ  පෙම්වතිය වූ නිම්මිද අලුත් කාර් එකට බෙහෙවින් ප්‍රිය කළාය.  ඇය රැගෙන නුවර මහා රෝහල වෙත යන්නටද මම කරීනා එක යොදා ගත්තෙමි. 

ටික දවසක් වාහනය එලවද්දී එහි ගුණදොස් එකින් එක මතු වන්නට වුයේ  අප කාට කාටත් නොදැනීමය.

කරීනා එක 1.6 එන්ජින් එකක් නිසාදෝ  පැට්‍රොල් බොන වාහනයක් බව මට පෙනී යන්නට විය . 

එය AC එහෙම දමාගෙන ගමන් ගනිද්දී ලීටරයකට යාහැකි දුර වුයේ කිලෝමිටර් පහක් පමණි.

අරලගන්විල අපේ නිවසට ගොස් එන්නට මට රුපියල් තුන්හාරදාහක ( 2000 වසරේදී ) පැට්‍රොල් පුච්චන්නට සිදු විය.

අලුත් කාර් එකෙන් අරලගංවිල ගිය මුල්ම දවසේ මගේ තනියට සරප් මහතාගේ ලොකුපුතා ( ඒ වනවිට අවුරුදු 14 කැ කොලුගැටයෙක්) ද එවන්නට තරම් සරප් මහතා කාරුණික විය.

අපේ ගෙදර තිබු ජාම් පේර, ඇඹුල් පේර , පෙයාස් , පිච්ස් වැනි පළතුරු වලට වහවැටුණු ඔහු "ඩොක්ටර් අය්යලා ගෙදර" නිතරම එන්නට කැමැත්තක් දැක්වූ බව නොරහසකි. 

ගමේ පැමිණි මා කාර් එක රාත්‍රියට නතර කර තැබුවේ  දියකඩිත්ත ළඟ ගෙදර සෝමසුන්දර බාප්පලා ගෙදරයි. 

හේතුව ඒ වනවිට අපේ මහා ගෙදරට වාහන ගන්න පාරක් නොතිබීමයි ( පසු කලෙක අය්යාගේ සහ මගේ උදව්වෙන් නිවසටම වාහන ගන්නට හැකි පාරක් සකස් කර ගන්නට අපේ තාත්තා සමත් වුයේය ) 

රෑ කාලයේ තම මිදුලේ තිබු ලස්සන සුදු පාට කාර් එක සෝමසුන්දර බාප්පගේද සිත් ගත් බව පෙනෙන්නට තිබිණි.

පසුදා පාන්දර නැවත නුවර බලා යන්නට සුදානම් ව ඔහුගේ නිවසට ගිය මට දක්නට ලැබුනේ යහමින් වතුර සහ  සබන් යොදා දුවිලි පොදක් වත් නැති වන්නට සෝදා තිබු කරීනා එකකි.

සෝමසුන්දර බාප්පා තම මිදුලේ නවතා තිබු මගේ වාහනය ස්වේච්චාවෙන්ම  සෝදා පවිත්‍ර කර තිබීම ඊට හේතුවයි. 

කාර් එකේ යතුර මා රැගෙන ගිය බැවින් කාර් එකේ අතුල පිරිසිදු කරන්නට බැරිවූ බවටද ඔහු මැසිවිලි නැගු හැටි මට තාමත් මතකය.

සතියක් දෙකක් කාර් එක පාවිච්චි කරද්දී තවත් ලෙඩක් මතුවන්නට විය . ඒ කාර් එකේ ක්ලච් ඔයිල් ඉතා සීග්‍රයෙන් අවසන් වීමයි.

දවසක්මේ  බව හින්නි මහත්තයාට  පැවසුවෙමි. කල්ච් ඔයිල් එකක් ගෙනැත් තබාගෙන අඩුවෙන වාරයක් පාසා ධාවනය කරන ලෙස උපදෙස් ලැබිණි.

මේ අතර අලුත් කාර් එක සර්විස් කල යුතුයැයි තාත්තා ගෙන් උපදෙසක් ලැබිණි.  

පේරාදෙණියේ තිබු ප්‍රසිද්ධ සර්විස් කරන තැනකට වාහනය දැම්මේ හොඳ සර්විස් එකක් කර දෙන ලෙස ඉල්ලීමක් කරමිනි.

සර්විස් කල ගෝලයා කැම්පස් එකේ රියදුරු මහතුන් දන්නා කෙනෙකි. ඔහු මගේ කරීනා එක හොඳ හැටි පිරිසිදු කර දුන්නා මතකය.

ඒ සර්විස් එකෙන් පසුවත්  සෝමසුන්දර බාප්පා ගේ ගෙදර සර්විස් එකෙන් පසුවත් රියදුරු අසුන ළඟ කාප්ර්ට් එකෙන් කකුලට තෙත් ගතියක් දැනුන බව මට මතකය.

වාහනේ හොදද්දී වතුර ටිකක් යන්න ඇති

යැයි සිතු මා ඒ ගැන වැඩි උනන්දුවක් දැක්වුයේ නැත. 

එහෙත් තද වැසි දිනක වාහනය පදවද්දී නැවතත් මගේ රියදුරු අසුන ළඟ හොඳටම තෙත්වී තිබෙනු දක්නට ලැබිණි.

දැන් මේ කාර් තෙත්වීම මට ලොකු ප්‍රෙහේලිකාවකි.  දවසක් මේ බව කැම්පස් එකේ යාළුවන්ට පැවසුවෙමි. 

මගේ කතාව  අසා සිටි එක් අයෙක් ( සංජිව නම් කථිකාචාර්ය වරයා ) ඔහුගේ කාර් එක ලඟදි ටින්කරින් කල බවත් ඒ ටින්කරින් කරන ඔහුගේ නෑදෑ අය්යාට වාහනය පෙන්වන ලෙසත් මට උපදෙස් දුන්නේය.

වාහනය සන්ජිවගේ අය්යා ලඟට ගෙන ගිය සැණින් ඔහු රෝගය හඳුනා ගත්තේය.

කරීනා එකේ ඉස්සරහ පැත්තේ තට්ටුව සම්පුර්ණයෙන්ම දිරා ගොස් ඇති බවත් රියදුරු අසුන පැත්තේ  කාපට් එක ඇත්තේ ලොකු හිලක් උඩ බවත් පැවසිණි.

ටින්කර් බාස්ට අනුව මා අළුතින් පුරව පුරවා සිටි ක්ලච්ඔයිල් සියල්ලම ඉස්සරහ තට්ටුව තුලට ලීක් වී තිබේ.


 ඒ බව සොයා ගැනුණේ  ටින්කරින් කිරීමට ඉස්සරහා  බොනට්ටුව අසල  dash board එක ගැලවීමත් සමගයි.


 මගේ දෙවැනි සහ අවසාන ශ්‍රී ලංකා වාහනය  ඊලඟ කොටසින් 







20 comments:

  1. හෙක්.. හෙක්.. වාහනේ ගන්නකොට අඩුම ගානෙ කාපට් එක උස්සලවත් බැලුවෙ නැද්ද? හොඳ වෙලාවට එලෝගන ආපු මනුස්සය හිලක් ඇතුලෙන් බිමට වැටුනෙ නැත්තෙ.

    මාත් ඉස්සෙල්ලම වාහනයක් කියල බලන්න ගියේ කරීනා එකක් තමයි. ඒ කිරිබත්ගොඩ පැත්තෙ. මොන හේතුවකට හරි මට අද වෙනකලුත් කාර් අල්ලන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මට මතක හැටියට ලස්සන ලා නිල්පාට කාපට් වගයක් ෆලෝ බෝර්ඩ් එකටම අලවලා මයි තිබුණේ. ඒ කාලේ ඔය සුසන්තයි මායි දෙන්නම ලස්සන ගෑණු ළමයින්ට වගේම මතුපිටින් තිබු පෙනුම අනුව යමින් මේ කාර් එකටත් රැවටුණා. මොනවා උනත් කරීනා එක හරි සැප පහසු වාහනයක්

      Delete
    2. Praසන්ன ඕනම එකක් ගන්නකොට උස්සල හිල් බලල ගන්න කෙනෙක් වගේ. හැක්

      Delete
    3. ඔව්, ඔව් හොඳට හොයා බැලුවනම් හීල් අහුවෙනවනේ . ඉලංග කොටස් බලන්න නියම කාර් ගැන කතා කියවන්න පුළුවන්

      Delete
  2. මං දැමූ කොමෙන්ට් එක නොවැටෙන ලෙස එටිසලාට් කොම්පැණියට අල්ලස් දී ප්‍රථම ස්ථානය ඩැහැගත් නයාට මාගේ විරෝධය. එයිට වඩා එකක් තව ඩිංගෙන් ලියනු ලැබේ.

    ReplyDelete
    Replies
    1. අපි කතාකරන්න ඉටිසලාට් පාවිච්චි කළාට නෙට් යන්නෙ දෙබස් වලින්. මේක ජාත්‍යාන්තර කුමණ්ත්‍රනයක් වෙන්න ඇති.

      කොමෙන්ට් එක පබ්ලිස් කරන්න ඉස්සෙල්ල කොපි කරල තියාගනිං.

      Delete
    2. ජාත්‍යන්තර කුමන්ත්‍රණ හැමතැනම මෙන්න දැන් බ්ලොග් කමෙන්ට්ස් වලටත් ඇවිත්. සුරංගගේ පංසල් ගමන කියෙව්වා. නියමයි

      Delete
  3. අපෙත් එකෙක් පහුගියදා කාර් එකක් සේල් කලේය. මිනිහා කාර් එක ගත්ත දවසෙ සිට වුන අලකලංචි සේරම ගැනුම් කරුවාට කියා වාහනේ අඩුපාඩු පෙන්වීමටම වරු ගානක් ගත්තේය. ගැනුම්කරුවාද ජෙනුවින් විදිහටම සතයක්වත් අඩුකරන්න නොකියා වාහනේ මිලට ගත්තේය. එහෙම ගණුදෙනු වෙනවා ඇත්තේ කලාතුරකිනි.

    ReplyDelete
    Replies
    1. එහෙම ගණුදෙනු වෙනවනම් කොච්චර ශෝක්ද ? මේ කතාවේ ඉදිරි කොටස් වලින් එවැනිම කාර්සේල් එකක් එනවා . විකුණන කෙනා ජෙනුයින් වෙච්ච අවසථාවක් .

      Delete
  4. දැන් නම් නොවේටඩ් ලීස් කාර් එකක් සතයක්වත් වැය නොකර ගත්තෑකි නේද?

    ReplyDelete
    Replies
    1. එහෙමද ? හොයලා බලන්න ඕනේ

      Delete
  5. 1.6cc වෙලා ලිටරේකට 5 ද කරන්නේ, ඊට වැඩිය කරන්න ඕනේ කියලයි මගේ නම් අදහස...
    මගේ ගාව දැන් තියෙන වාහනේ 2.0cc, පෙට්‍රල් ලිටරේකට ඇවරේජ් 6 ක් වගේ කරනවා, මම වැඩිපුර වාහනේ පදින්නේ කොළඹ අම්බානක ට්‍රැෆික් එකේ...
    කලින් තිබ්බ 2.0cc ඩීසල් වාහනේ දුර යද්දී ලිටරේකට කිලෝමීටර් 15-18 ක් වගේ කලා...
    කොළඹ 10 ට වැඩියෙන් කලා...
    ඒත් ඒකෙ රෙපෙයාර් වැඩිපුර ආපු නිසා එපාවෙලා විකුණලා දැම්මා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලොකුන් පුතා. මේ වසර 2000 දී මම හා හා පුරා කියලා ගත්තු කාර් එක , මහජන බැංකුවෙන් රුපියල් ලක්ෂ 2ක් ණයට අරන ඩි ස් පැන්සරියෙන් එකතුකාරගත්ත 60000 ක් දාලා 260000 කට ගත්තේ පරණ වාහනයක් නිසා වෙන්න ඇති අඩුවෙන් පෙට්‍රල් කරන්න ඇත්තේ ..

      Delete
  6. ඔයාගේ මොඩල් එක AT 150 ද ?
    මමත් ඉස්ස්සෙල්ලම කාර් එකක් කියල ගත්තේ 16 -*** AT150 එකක් 2009 දී. මගේ එකත් පැට්‍රල් කරේ 6ක් විතර තමයි කර්බ් එක ටියුන් කරලා 9 ක් විතර හදාගත්තා(වෙන ලොකු ලෙඩ දුන්නේ නෑ කල්ච් ඔයිල් ලේදෙනම් මගේ එකත් ආවා ඩොල්පින් එකක කල්ච් පොම්පයක් දැම්මම හරි ගියා ). 4.20 කට අරගෙන අවුරුදු දෙකකින් 4.90 කට දුන්නා (කාර් එකට අවුරුදු දෙකේම ගහපු පට්‍රොල්ල් ගැනත් ලාබෙන් කවර කරගත්ත ;-) )

    කරීනා එක මිගමුව පැත්තේ හොදට මාර්කට් මගේ එකත් දැන් තියෙන්නේ මීගමුවේ

    ** කාර් බලන්න යනකොට බ්‍රෝකර්ල එක්ක එක්ක යන්න එපා මම නම් තනියම ගිහින් දන්නා තරමට බලල ගන්නවා තාම නම් ලොකු අන්දිල්ලකට අහුවෙලා නෑ

    ReplyDelete
  7. ස්තුතියි ගිම්හාන් මේ පැත්තේ ආවට ඔව් AT150 තමයි කාර් එක. මේ කාර එක තව 40000ක් වියදම් කරලා නියමෙට ටින්කරින් කරලා හදාගත්තා එත් වහනේ පරණ නිසා පවර් සිටියරින් පොම්ප,රේ ඩියෙටර් එහෙම ලෙඩ එන්න ගත්තා ඊට පස්සේ තව ඩොක්ටර් කෙනෙකුට එක වික්කා මට වියදම් වුන ගානටම වගේ

    ReplyDelete
  8. යකෝ.... බොඩිය බලන්නැතුව වාහන ගන්නවද? පණ්ඩිතකම හින්දා වෙන්න ඇති, මමත් කවදාවත් වෙන කා එක්ක හරි ගිහින් වාහන අරන් නෑ. ඇන්ජිම ගැන ලොකුවට බලන්නෙත් නෑ.හැබැයි බොඩිය ගැන බලනවා.

    ReplyDelete
    Replies
    1. කටුස්සා කාලෙකින් ?අම්මා අප්පා දැක්කා වගේ .. ඒක නෙවෙයි බොඩිය උඩින් නියමෙට තිබුණා මටත් ඉස්සෙල්ලා මාත් එක්ක ගිය සුසන්ත මල්ලියා රැවටුනා නොවැ යකෝ ඔය බොඩියට . බොඩිය අප්සෙට් බව මට තේරුණේ වහිනකොට තමයි. ඊළඟ කාර් එකේ කතාව ඇහුවොත් කටුසු හදවත පහට පැලෙන්න ඉඩ තියෙනවා .. හි හි .. මේ රටට ආවත් හරි අපි දැන් ගන්නේ බ්‍රෑන්ඩ් නිව් වාහන විතරයි ඔය බොඩි කේස් එන්ජින් කේස් මොනවත් නෑ එතකොට

      Delete
    2. පණ්ඩිත කම නෙවෙයි අතේ තිබ්බ මුදලට "පෙනුම " තියෙන වාහනයක් ගන්න ගිහින් තමයි මේ දේ වුනේ . මරුටිය ගත්තා නම් හොඳ වෙන්න තිබ්බා

      Delete
  9. එතකොට අර එක්කන් ගියපු කෙනා??? මොනාද බැලුවෙ???

    ReplyDelete
    Replies
    1. මද්දා එක්ක ගියපු කෙනා මටත් වඩා උඩින් ඔපේ යටින් හපේ තියෙන දේවල් වලට අහුවෙන පොරක් දැන් ඔය කොළඹ පැත්තේ ඉස්පිරිතාලෙක වැඩ කරනවා මෑන්ස්

      Delete