Thursday 21 July 2016

ජලය පෙනී පෙනී පිපාසයෙන් සැනසුණු අශ්වයෝ (නුලෙන් මිස් වුන ඕස්ට්‍රේලියා ගමනක අනුවේදනීය කථාව....)



පසුගිය කලාප වලින්.





මේ වනවිට  අපේ කට්ටිය මේසන් පාඨමාලාවත් උයන්හේවා මහතා මගින් NITA SL හි පැවැත්වූ කඩිනම් ඉංග්‍රීසි පාඩම් මාලාවත් අවසන් කර සිටියහ.  

මම සියළු පාඨමාලා අවසන් බැවින් IELTS කරන ලෙසත් ඒ සඳහා බ්‍රිටිෂ් කවුන්සිලයට ගොස්  ලියාපදිංචි වන ලෙසත්  අපේ මස්සිනාලට උපදෙස් දුන්නෙමි.  

මෙහිදී ලෙනදොර පමණක් බ්‍රිතාන්‍ය කවුන්සිලයේ ලියාපදිංචි වූ අතර  විපුල් ද ඉංග්‍රීසි විභාගය කරන්නෙමියි කියා කොළඹ නැවතුණේය.

අපේ ලොකු අක්කාගේ මහත්තයා සහ පොඩි නංගිගේ මහත්තයා පාඨමාලා දෙක අවසන් කර ලැබුණු සහතික ආදිය රැගෙන අරලගන්විලට පැමිණියහ. එසේ පැමිණුන ඒ දෙදෙනා තම තමන්ගේ රස්සා වල නැවත නිරත වූහ.

"සුදු  දැන් කෝස්  එක ඉවරයි නේද ? දැන්  ඔය දෙන්නා IELTS  කරන්නේ නැද්ද? "

 මම දවසක් අපේ පොඩි නංගිගේ මහත්තයා ගෙන් ඇසුවෙමි .

"නෑ අය්යා . මායි අය්යයි කතා වුණා අපේ ඉංග්‍රීසි දැනුම මදී කියලා ඒක නිසා අපි විභාගේ ලියන එකේ තේරුමක් නෑ කියලා හිතුවා."

"උඹලට ඒ පණ්ඩිතකම් වලින් වැඩක් නෑනේ.. මම විභාග ගාස්තු ගෙවනවා නේ .. නිකන් හරි ගිහිල්ලා ලියන්න තියෙන්නේ  ලකුණු කියක් ගන්න පුළුවන්ද  බලන්න හරි. "

මම පැවසුවේ මෙච්චර කරපු එකේ ඒකත් කරලා බලන එක හොඳයි කියා සිතුනු බැවිණි.

"නෑ.. නෑ.. කාගේ වුනත් සල්ලිනේ ?  අපි ෆේල් වුනොත් අපරාදේ අය්යාගේ සල්ලි   නාස්ති වෙන එක විතරයි වෙන්නේ?"

කතාවේ හැටියට ඒ දෙදෙනා නම් ජීවිතේට IELTS  කරන පාටක් නැත.

"හරි උඹලා දෙන්නා කරන්නේ නෑ කියමුකෝ ? මොකද විපුල් අය්යා කියන්නේ ?"

"එයා කොළඹ නැවතුනා කොහොම හරි ඉංග්‍රීසි ගොඩ දාගෙන තමයි එන්නේ කිව්වා. "

"නියමයි. එයයි ලෙනදොරයි නම් කොහොම හරි IELTS  කරයි මම හිතන්නේ"

මගේ යටිහිතේ සැකයක් නැත්තේම නැති වුවද මෙතෙක් කල වැඩ වල ප්‍රතිඵලයක් නැති වෙවී යැයි පිළිගන්නට අකමැති මගේ  මුවින් සැනසුම් වදනක් පිටවුවේය.

"ඔව් .. ඔව් ඒ දෙන්නා නම් කියනවා කොහොම හරි ඔස්ට්‍රේලියාවට ගිහින් තමයි පස්ස බලන්නේ කියලා "

සුදු මා අස්වැසුවේ   අය්යා සහ ඔහු එතරම්බ උනන්දු නැති වුවද අනෙක් දෙදෙනා අප හා එකතු වනු ඇති බවට ඉඟි පළකරමිනි.  

ව්‍යාපෘතියේ සාර්ථකත්වය  සියයට පණහක් වත් විය  හැකි දැන ගත් මා ඒත් මදැයි සිතා සතුටින් පසුවුයෙමි.

පිටරටකට  යන්න ......ඉංග්‍රීසි කරන්න.......




වසරේ දෙදාහේ මා කථිකාචාර්ය වරයෙක් ලෙස විශ්ව විද්‍යාලයට බැඳුනු කාලයේම  විදේශගත වීමට ( අධ්‍යන කටයුතු සඳහා) අවශ්‍ය ඉංග්‍රීසි විභාග ගැන උනන්දු වූ හැටි මතකය. 

ඒ කාලේ මුලින්ම IELTS  හෝ TOEFL යන දෙකෙන් එකක් කල යුතුයි  යන අදහස මට ලැබුණා මතකය.

කැනඩාවට  හෝ ඇමෙරිකාවට  යන්නෙමියි මුලින් සිතා සිටි මා විශ්ව විද්‍යාලයේ වැඩ නැතිවෙලාවට  TOEFL  විභාගය සඳහා සුදානම් වුයෙමි.

ඇත්ත වශයෙන් කිවහොත්  මා පිළිගන්නට සුදානම් කිසිදු රටක් නොමැතිව  මම TOEFL  ලකුණු 478 ක්  වැනි ප්‍රමානයක් ගෙන  සමත්වූ  හැටි තාම මතකය.

ඒ 2001-2002  වසර වලින් එකකදීය. . 

කෙසේ වුවත්   2003 වසරේ  නෙදර්ලන්ත ගමන සඳහා මට ප්‍රයෝජනවත්  වුයේ  මේ  TOEFL   ප්‍රතිඵලයයි. 

IELTS  හෝ TOEFL යන දෙකෙන් එකක්  තිබුණොත් මා  මාස්ටර්  උපාධියට  බාර ගන්නා  බව "ආහුස් විශ්ව විද්‍යාලය " පවසා තිබුණි.  

ඒ අනුව මම කිසිදු  පැහැදිලි ඉලක්කයක් නොමැතිව පවා කල  විභාගයක් මට ප්‍රයෝජනවත්  වුණේ  එලෙසයි. 

මා අපේ  නෑදෑයින්ට  නිතර නිතර මතක් කලේද මේ සංසිද්ධි යයි.

ගඩොල් ඇතිරීමේ පාඨමාලාව මෙන්ම IELTS වැනි විභාග කර තිබීම  කවදාවත් අපතේ නොයන  අත්දැකීම්ය  .

 IELTS වලංගු වන්නේ අවුරුදු දෙකකට පමණක් වුවද  විභාගයට වරක් හෝ මුහුණ දී ලබාගන්නා අත්දැකීම ඉතා ප්‍රයෝජනවත් එකකි .  

මා හතරදෙනාම එක වරක් හෝ  ඉංග්‍රීසි විභාගය කල යුතුය යන පදනමක  සිටියේ එබැවිනි.

මා දුක් විඳ මුදල් හොයන බව ඇත්තකි. එහෙත් මා හිත හොඳින් දෙන  මුදල්  යොදවා එවැනි වැදගත් වැඩක්  කිරීම මුදල් අපතේ යාමක් ලෙස මම නම් කවදාවත් සිතුවේ නැත.

කෙසේ හෝ වේවා අවසානයේ  මගේ  අදහස් මුදුන් පමුණුවන්නට ඉතිරි වුයේ  ඒ වනවිට  තම බිස්නස්  වලින් පාඩු වී ගැලවෙන්නට  මගක් සොයමින් සිටි විපුල් සහ  "විශ්‍රාමික  හමුදා  සෙබලෙකු " වූ ලෙනදොරත්  පමණි.


IELTS විභාගය  සහ ප්‍රතිඵල



මේ වන විට ලෙනදොර නැවතත් මාවනැල්ලට ගොස්  කෑගල්ලේ ඉංග්‍රීසි පන්තියකට ගිය අතර විපුල් දිගටම කොළඹ නැවතී සිටියේය.

ළමයින් තිදෙනෙකුගේ පියෙක් පවුලෙන් ඈත් කර කොළඹ නවත්වා තැබීම ගැන මට යම් යම් චෝදනාද එල්ලවන්නට  පටන් ගත්තේය.

මේ කතා වලට  යම් පදනමක් වැටෙන බව මට හැඟෙන්නට වුයේ විපුල් දිගටම මගෙන් මුදල් ගෙන කොළඹ ඉන්න බෑ කියා රස්සාවක් සොයාගැනීමත් සමගය.

ඔහු රස්සාවට ගියේ ඒ කලේ ප්‍රසිද්ධ "විචිත්‍ර ධර්ම කථික " තරුණ හාමුදුරුවන් කෙනෙක් ගේ    ලේකම් ලෙසයි.

මේ හාමුදුරුවන් වහන්සේ නිතර රුපවාහිනි වල මතුවන , රැස් විහිදෙන පෙනුමක් ඇති කෙනෙකි.  මා කොතරම් එපා කීවද විපුල් මසකට රුපියල් 20000 ක රැකියාවට  එම  පන්සලට ගියේය.

ඔහුට තිබුණේ  පිට රට ඉන්නා දායකයින්  ලක්ෂ තුන බැගින් වෙන්කර භාර ගන්නා කළුගල් වලින් හදන අටවිසි බුදු පිළිම  වලට ලැබෙන ආධාර  ගණුදෙනු සහ එකල රජයේ ප්‍රසිද්ධ ඇමති බිරින්දෑ වරු ආදීන් පන්සලට දෙන ආධාර ලැයිස්තු ගත කිරීම ආදී  රාජකාරින්ය.

මේ වනවිටත් මම දිගින් දිගටම විපුල් හා ලෙනදොර සමග දුරකථන ගණුදෙනු කලේ ඔවුන් දෙදෙනා  විභාගයට  සුදානම් වෙමින් සිටි නිසයි.

එහෙත් එක් දිනක විපුල් හා මා අතර ඇති වූ දුරකථන සංවාදයකින් පසු මගේ විපුල් ගැන තිබු බලාපොරොත්තු ද කෙමෙන් කෙමෙන් අඩු වන්නට විය.

"මල්ලී කොහොමද දැන් වැඩ?  පන්සලේ වැඩ ලේසියිද?"

"ඔව් ..ඔව් අය්යා .මට තියෙන්නේ දායක දායිකාවන් දෙන මුදල් පොත් පත් ලේජර වල සඳහන් කරන්න "

"හාමුදුරුවෝ දන්නවද ඔයාට කොමර්ස් වලින් බී එකයි සී තුනක් තියෙනවා කියලා ?"

"ඔව් .. ඔව් .. ඒකනේ  බුදු පිළිම හදන්න මේසන් කෙනෙක් ලෙස රස්සාවකට ඉන්ටවිව් කරලා මට ලේකම් කමක් දුන්නේ '

"ඒක නෙවෙයි ඔය හාමුදුරුවෝ දිලිසි දිලිසි ඉන්න කෙනෙක් නේද ? අමුතු පාටක සිවුරක් එහෙම ඇඳලා? "

"ඔව් අය්යා.. හාමුදුරුවන්ට කුටියේ ඉඳලා බුදුගෙට යන්න උඩින් පාරක් හදලා තියෙන්නේ ?"

"ඇයි ඒ.. හරිනම් උපාසකයින් එක්ක කතා කර කර යන්න එපැයි "  මම විමතියෙන් ඇසුවෙමි..

"ඇයි එන ගෑණු කට්ටිය  උන්වහන්සේ ගේ ඇඟ අතගාන්න පොරකනවා කියලා එකෙන් බේරෙන්න නේ "

විපුල් පැවසුවේ මා  පුදුමයට පත් කරමිනි.

"ඒක නෙවෙයි අය්යා මේ හාමුදුරුවන්ගේ අලුත්ම ප්‍රොජෙක්ට් එක  අට විසි බුද්ධ වන්දනා  ගල් පුවරු වල ලියන එක .

ලෝකේ හැම රටකම මිනිස්සු ආධාර කරනවා.  මම නේ ලේකම් වැඩ කරන්නේ . මාර සල්ලියක් එනවා අය්යා.

එක ගල් පුවරුවක් ලක්ෂ තුනයි. ,

මේ ඊයෙත් කැනඩාවේ නෝනා කෙනෙක්  ලක්ෂ තුනක් දුන්නා.  

විහිලුවකට නෙවෙයි අය්යා . අය්යත් එකක් ගන්න තියෙන්නේ.. ලක්ෂ තුනක් විතරනේ යන්නේ "

විපුල් කියාගෙන ගියේ මා පිංකම් දෙස බලනා ආකාරය නොදන්නා පරිද්දෙනි.

මා මෙතෙක් ඔහු සහ අනෙක් තිදෙනෙක් වෙනුවෙන් කලේ "පිං කමකි " 

 ඒ මගේ හිතට සතුටක් ලබා දෙන , එමෙන්ම රටට ලෝකෙට වැඩක් වෙන "මගේ වර්ගයේ පිංකමකි".  

කතාවේ හැටියට විපුල් හිතන්නේ මට පිනක් ලැබීමට නම්  මේ අසපු හාමුදුරුවන්ගේ  ගල් පුවරුවක් වෙන් කල ගතයුතු බවය.

"දැන් කොහොමද විභාගේ වැඩ ? කරගෙන යනවා අය්යා. තවම විභාගෙට දිනයක් නැද්ද?  "

'ගත්තේ නෑ අය්යා මට තව ටිකක් දැනුම මැදි කියලා හිතුණා"

දැන් දැන් මගේ විපුල් ගැන තිබු බලාපොරොත්තුව අඩුවෙනවා මෙන්ම ඉවසීමේ සීමාවද ඉක්මවා යමින් පවතී.

"මල්ලී මම ඔයාට රුපියල් විසි පන්දාහක් එවනවා ගිහිලලා විභාගෙට සල්ලි බඳින්න . 

නිකන් හරි එක පාරක් කරලා බලමු . ඔයාගේ ඉංග්‍රීසි දැනුම කොච්චරද කියලා හරි බලා ගත්තැකි නේ ?

අන්න ලෙන්දොර නම් නුවර  බ්‍රිටිෂ් කවුන්සිල් එකේ විභාගේ ලියනවලු .."

අවසානයේ මම විපුල්ට  පැවසුවේ .....

"මේ උඹ ගැන මගේ තිබෙන අන්තිම බලාපොරොත්තු වයි"  යන්න නොකියා කියමිනි.

ලෙනදොරට මුදල් යැවූ අවස්ථාවේම විපුල්ටද  මුදල් යැව්වෙමි. ඒ ඔහු එපා කියද්දිය.  

ලෙනදොර විභාගය කල අතර ඔහුට තිබුණේ  IELTS   ලකුණු තුනයි දශම පහක් පමණි.

මා ඒ අසා ඉතාමත් සතුටු වුයේ  තව කිහිප වරක් විභාගය කළහොත් ලෙනදොරට අනිවාර්යයෙන්ම  ඔස්ට්‍රේලියාවට යා හැකි බව දැනගෙන සිටි නිසයි.

"මල්ලී මේ රිසල්ට් එක සැහෙන්න හොඳයි . ආයිත් කරන්න කියා ඔහුට දෙවැනි වතාවටත් විභාග ගාස්තු යැව්වෙමි.  "
ලෙනදොර ඇත්තටම විභාගේ කර තිබු අතර ඔහු විභාග අංකය මට ලබා දුන් නිසා එය සත්‍ය බව දැන ගත්තෙමි.

විපුල් විභාගේ කොළඹ කල බවත්  ලකුණු හතරක් ලබා ගත් බවත් අපේ නංගි මට පැවසුවාය.

"චුටි අය්යා ආයේ සල්ලි එවන්න එපා . එයා IELTS   ආයි කරන්නේ නෑ කිව්වා.. " අපේ නංගි  විපුල්ගේ ඔසී ගමන සම්බන්ධ සියළු දොරටු වැසි ඇති බව මට දැනුම් දුන්නාය. 

ලෙනදොර දෙවැනි වර විභාගය කර ලබාගත්තේ ලකුණු හතරක් හෝ හතරයි දශම පහකි.  

ඔහුද ඉන්පසු ඕස්ටේලියා එන අදහස අත  හැරියේය.






පසු සටහන:


මේ දෙදෙනාම කුරුණෑගල පැවැත්වූ ඉදිකිරීම් පිලිබඳ උපාධියක් කීරීමට තේරුණත් ( ගඩොල් ඇතිරීමේ සහතික පත්‍රයේ ඊළඟ පියවර) ඒ සඳහා ඔවුන්ට කාලය සොයාගැනීම ගැටළුවක් විය ( ළමයින්ගේ සහ පවුල් වල රාජකාරි නිසා).   

විපුල් පංසලට එන ප්‍රධාන දායිකාවක් ( එකල ප්‍රවාහන ඇමතිගේ බිරිඳ) හරහා අරලගන්විල ඩිපෝවේ රස්සාවකට ගියේය.

ලෙනදොර තමන් උගත් ඉංග්‍රීසි සහ පරිගණක දැනුමෙන්  ප්‍රයෝජන ගෙන දැන්  "ටුවරිස්ට් ගයිඩ් කෙනෙක්" ලෙස තමන්ගේම රැකියාවක් කරයි.  

මේ කතාව  ඕස්ට්‍රේලියාවේ පැමිණ සාර්ථක ව්‍යාපාරිකයෙකු බවට පත් වී ඇති මගේ අතීසාර මිත්‍රයා චමින්ද රාජපක්ෂට  කීවා මතකය.

ඔහු මට ගොඩක් දැන මුතුකම් දී මෙන්න මේ  වාක්‍යයෙන් කතාව අහවර කළේය..



"දුක් වෙන්න එපා මචං  .. අපිට අශ්වයා වතුර ලඟට ගෙනියන්න පුළුවන් .. එත් ඌට වතුර පොවන්න අපිට  බෑනේ...උඹ කරන්න හැදුවේ හොඳ දෙයක් .. උන්ගේ වෙලාවට ඒක හරිගියේ නෑ..."



42 comments:

  1. චමින්ද රාජපක්ෂ කියපු එකම තමයි මටත් කියන්න වෙන්නේ.. ඒත් අස්සයා වතුර වල ලගට හරි දක්කපු 'අපේ ආකාරයේ පින' තියෙනවා ඉන්නකම් සතුටු වෙන්න.

    ReplyDelete
  2. ස්තුතියි කල්‍යාණ .. ඔව් අස්සයෝ දැන් ඒගොල්ලෝ හොඳයි කියල හිතපු පාරවල් වල ගිහින් හැබැයි ආර කිව්ව්ව වගේ ඒ තරම් හරි වතුර ලඟට ගෙනාපු එක ගැන අපි තවමත් සතුටුවෙනවා .. එයාලට සහතික සුදුසුකම් තියෙනවා ඕනා වෙලාවක එන්න පුළුවන් දැන් වුණත්....

    ReplyDelete
  3. mata hithuna oka ohoma weyi kiyala nikamata wage. Aparade echcharath karala.

    ReplyDelete
    Replies
    1. අපරාධයක්ම වුණේ නෑ. ඒ ඒ අය සෑහෙන දියුණුවක් ලබලා තියෙනවා කිසියම් අන්තයකින්..ඔස්ට්‍රේලියා ගමන නොකෙරුනාට

      Delete
  4. mata hithuna oka ohoma weyi kiyala nikamata wage. Aparade echcharath karala.

    ReplyDelete
  5. mata hithuna oka ohoma weyi kiyala nikamata wage. Aparade echcharath karala.

    ReplyDelete
  6. අපිට අශ්වයා වතුර ලඟට ගෙනියන්න පුළුවන් .. එත් ඌට වතුර පොවන්න අපිට බෑනේ..//// athha

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ට්‍රාන්ස්.. ඇත්ත පිළිගන්න වෙනවා..

      Delete
  7. දැං මේ මාර්ගයේ යන අයෙක් මුලින්ම කරන්න ඕනෑ ඉංග්‍රීසි ඉගෙනීමයි.

    ඔබගේ උත්සාහය නිසා දෙදෙනෙකුට වෙනත් රැකියා හෝ ලැබුණු නිසා සතුටු වෙන්න පුලුවන් .

    ස්තුතියි ලබාදුන් මගපෙන්වීම් ගැන. "පොකුණ තියෙන තැනත්, යන මාර්ගයත් පෙන්වූ කල උවමනාව ඇති එකා බටයක් දමා හෝ වතුර බොයි"

    ReplyDelete
    Replies
    1. //දැං මේ මාර්ගයේ යන අයෙක් මුලින්ම කරන්න ඕනෑ ඉංග්‍රීසි ඉගෙනීමයි. // පිටරටකට යන්න හිතන කෙනෙක් ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඒක තමයි. ඒ අතරේම තමන් යන්න හිතනා පාර " නිපුණතාවය" වැඩිකරගන්න , ඒක ඒ රටේ පිළිගන්න තත්වෙට ගන්න වැඩ කරන්න ඕනේ.. IELTS වැනි සුදුසුකමක් වලංගු වන්නේ අවුරුදු දෙකකට පමණක් නිසා සමහර විට නැවත කරන්න එහෙම වෙනවා. ඒ කොහොම වුනත් වරක් කරලා තිබ්බම ඊළඟ පාරට ලේසියි...මේ බ්ලොග් පොස්ට් බලලා අඩුම ගානේ දහදෙනෙක් වත් ඔස්ට්‍රලියාවට එන්න පාර කපා ගත්තොත් අපටත් රටටත් සතුටු විය හැකියි..

      Delete
    2. As long term resident Can you please explain the advantages coming to Australia? I got PR (skilled)visa invitation two times and still thinking it will be a better decision to migrate. please help me to decide.

      Delete
    3. Thanks Gayani... Advantages are many if you are the right person.. we decided to stay here because of our son ..we raise him with exposure to all Sri Lankan things Including language and religion .. in my view we can raise our children in a very gentle environment here as there are no issues with fighting for places or resources . If you got a family I suggest Australia. There are many people who try very hard to come here.. if you need more Sri lankan connections Melbourne is the city..

      Delete
  8. මට මතක විදියට ලකුණු දෙන්නේ අවමය 0 සහ උපරිමය 667 පරාසයේ යි. ඔබේ ඔය ලියා ඇති ලකුණු හරිද?

    සමහර විට 2000 වන විට ලකුණු ක්‍රමය වෙනස් කර තියෙන්න ඇති?

    ReplyDelete
    Replies
    1. TOEFL හි Total Score පරාසය 310–677 බවයි කියවෙන්නේ.

      https://www.ets.org/toefl/institutions/scores/interpret/

      Delete
    2. ස්තුතියි රසික මට මතක නැහැ තුනෙන් දෙකකට වැඩි ගානක් වගේ මතකයි. අපේ කැම්පස් එකේ හිටපු අය හිතුවේ නෑ ඒ වගේ ස්කෝර් එකක් ගන්න අපිට පුළුවන් වෙයි කියලා. ඒ හා සමගාමිව ටෝෆල් කරපු මගේ යාලුවෙක් දැන් ඇමෙරිකාවේ ස්ථිර පදිංචි වෙලා PHD එකෙන් පස්සේ....

      Delete
  9. මං ගිය වසරේ කොන්ත්‍රාත්තුවක් දුන්නු ටයිලර් නම් IELTS කියන අකුරු පවා ලියන්න නොදන්නා වියැට්නාම් අයෙකුයි. හැබැයි කතාව වචන දහයක් දොළහක් පුළුවනි! ගාස්තුව වර්ග මීටරයට ඩොලර් 45 යි.

    මට මේ දක්වා ලැබුණු හොඳම ටයිලර් ගේ ඉංග්ලිෂ් සුපර්බ්. මෙරට ඉපදුනු කොල්ලෙක්. හැබැයි ගාස්තුව වර්ග මීටරයකට ඩොලර් 60 යි. පොරට කරන්න තිබුණේ අපි ඉන්න ගෙදර පෝර්ච් එකයි අල්-ෆ්‍රැස්කෝ එකයි විතරයි නිසා වැඩි අවුලක් වුනේ නෑ!

    ReplyDelete
    Replies
    1. //හැබැයි කතාව වචන දහයක් දොළහක් පුළුවනි! ගාස්තුව වර්ග මීටරයට ඩොලර් 45 යි.// ඉස්සර කාලේ ලංකාවෙන් ආපු සමහර මිකැනික් මහත්වරු එහෙම ඉන්නවා මේ වගේ ඉංග්‍රීසි තියාගෙන වැඩ කරන . රසික ලා අපි හැමෝම දන්නා කාරණයක් නේ ගොඩක් විදේශිකයෝ වෙන රටකින් ආපු කෙනෙකුගේ ඉන්ග්රිසි බැරි කමට හිනවෙනවට වඩා කරන්නේ ඇඟට පතට නොදනී ව්‍යාකරණ එහෙම හදලා ඒක ආපහු කියන එක කියලා..

      Delete
    2. //බැයි කතාව වචන දහයක් දොළහක් පුළුවනි! ගාස්තුව වර්ග මීටරයට ඩොලර් 45 යි.

      මට මේ දක්වා ලැබුණු හොඳම ටයිලර් ගේ ඉංග්ලිෂ් සුපර්බ්. මෙරට ඉපදුනු කොල්ලෙක්. හැබැයි ගාස්තුව වර්ග මීටරයකට ඩොලර් 60 යි.// මෙන්න ගඩොල් අතුරන්නෙකුගේ පැයක පමණ පඩිය.. මෙච්චර අදායමක් ලැබෙනවා කියලා මම අපේ හදයින්ට කියලා තිබ්බේ..

      Delete
  10. Replies
    1. එහෙමත් හිතෙනවා වෙලාවකට ඒ කාලේ ඒ කට්ටිය මෙහෙ ආවනම් ඒ ඒ අයගේ පවුල් අද වෙනකොට සැහෙන්න දියුණු වෙලා . අපේ ගම් පළාත් තවත් දියුණු වෙලා . මොකද ඒ අයගෙන් එක්කෙනක් හරි මම කළා වගේම එයාලගේ නෑදෑයින්ට උදව් කළා නම් මේක තව තව ඉදිරියට යනවනේ .. හරියට මිගමුව පැත්තේ තියෙන පුංචී ඉතාලිය වගේ ....මගේ හිතේ නම් තිබුණේ එහෙම plan එකක්
      1. නෑදෑයින්
      2. නෑදෑයින්ගේ නෑදෑයින් හරහා ගම
      3 නගරය හා රට.. ගොඩ ගැනීම...

      Delete
  11. ගල්ලෙන බිඳලා ලෙනදොර අරින්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. //ගල්ලෙන බිඳලා ලෙනදොර අරින්න පුළුවන්// හරියට හරි මෙතැන තියෙන ගල්ලෙන කුමක්ද කියලා හරියට තේරුම ගන්න ඕනේ.. අපේ ආවේණික කම්මැලිකමද ?, ලදදෙයින් සතුටුවි යන්තම් ගෙයක් දොරක් රස්සාවක් සහ පොඩි කාර් එකක් හෙම අරන් සංතෘප්ත වීමද ? පවුලේ අයගෙන් එන බලපෑමද ? මොකක්ද මේ "ගල්ලෙන?"

      Delete
  12. ගල්ලෙන බිඳලා ලෙනදොර අරින්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. මා සොඳුර.. මා සොඳුර ..මා සොඳුර... සිංහ සීවලී .... මා ප්‍රිය දියණිය.. ඈත් ගොසින්ය .. ඈත් ගොසින්ය ....

      Delete
  13. කඩුව තමයි හරහට හිටින්නෙ. ගස්ලබ්බා දන්න අයත් ඉන්නවා ඕස්ට්‍රේලියාවට ගිහිල්ලත් නිසා අදාල පාඨමාලාවලට සහභාගී වෙන්න බැරි වෙලා.උමතුවකින් වගේ ඉගෙනගන්න ඕනෙ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. //කඩුව තමයි හරහට හිටින්නෙ// ස්තුතියි ගස් .. එහෙම නෙවෙයි මෙහෙම කිව්වා නම් වඩාත් හොඳයි .. ඉංග්‍රීසි වලට කඩුව කියා ඉංග්‍රීසි ඉගෙන ගන්නා එකට ඔන්න කඩුව වනනවා කියමින් ඉංග්‍රීසි භාවිතය සමච්චලයට ලක් කරන අපේ පාසැල් සහ විශ්ව විද්‍යාල සිසු මානසිකත්වය ..... තමයි අපි මේ තරම් කඩුවෙන් ඈත් කරලා තියෙන්නේ.... ජයවේවා !!!

      Delete
  14. අපරාදෙ කියලත් කියන්න බෑ. මොනව උනත් අර දෙන්න හරි අන්තිම මොහොත වෙනකල් අරන් ගිහින් වෙන රස්සාවක් හරි හොයාගන්න තත්වෙට මග පෑදුනානෙ.

    ReplyDelete
    Replies
    1. //මොනව උනත් අර දෙන්න හරි අන්තිම මොහොත වෙනකල් අරන් ගිහින් වෙන රස්සාවක් හරි හොයාගන්න තත්වෙට මග පෑදුනානෙ// ඔව් ඔව් මේ අය දැන් හොඳට රස්සා කරගෙන ළමයින්ට උගන්වාගෙන එහෙම ඉන්නවා. මෙහාට ආවානම් තවත් පිරිසකට ( එයාලගේ අය්යල මල්ලිලා ඇතුළු නෑදෑයින්ට ) හොඳ වෙන්න තිබුනා...

      Delete
  15. Some people afraid to english . But you are great person .

    ReplyDelete
    Replies
    1. Yes Lalith some people are afraid of English. In fact they are afraid of change and reluctant to try new things...

      Delete
  16. ඉස්කෝලවල උගන්වන්න ඕන මෙන්න මේවා.. ඒත් උගන්වන්නේ කුණුහබ්බ... එකෙක් දෙන්නෙක් හරි මේවා බලලා ගොඩ එනවා නම් ළොකු දෙයක්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මාතලන් .. //ඉස්කෝලවල උගන්වන්න ඕන මෙන්න මේවා.. ඒත් උගන්වන්නේ කුණුහබ්බ... එකෙක් දෙන්නෙක් හරි මේවා බලලා ගොඩ එනවා නම් ළොකු දෙයක්.// හරියට හරි වෘත්තීය පුහුණු වට කැමති සහ ඒවට බර සිසුන් ඒ පැතිවලට යොමුකරන කර්මය විධිමත් වෙන්න ඕනේ.. අපේ technical කොලිජි වලින් වෙන්නේ ඒක තමයි. එවා ශිෂ්‍යයෝ ආකර්ශනය කරන තරම් ප්‍රචාරයක් උනන්දුවක් නැතිව ඔහේ ඇල්මැරුණු ගතියකින් තියෙනවා. ඔබ කිව්වා වගේ එකෙක් දෙන්නෙක් හරි මේවා කියවලා තමන්ගේ අනාගතය පැහැදිලි කර ගන්නවනම් අගෙයි...

      Delete
  17. මට නං ඔහොම උනාම කළකිරෙනවා..ගහටත් නෑ බඩටත් නෑ..

    ReplyDelete
    Replies
    1. අදහසට ස්තුතියි ...//මට නං ඔහොම උනාම කළකිරෙනවා..ගහටත් නෑ බඩටත් නෑ..// .. මම කෙටි කලකට කලකිරිලා ඉඳලා ආයිත් වැඩට බහිනවා.. හැම වාරේම එකෙක් හරි අපිත් එක්ක චුට්ටක් දුර හරි එනවා...

      Delete
  18. ලොකු වැඩ කොටසක් කවිඳු කරලා තියෙනවා. අද තමා ඔක්කොම ලිපි ටික කියෙව්වේ.

    ReplyDelete
    Replies
    1. මේ පැත්තේ ආවට ස්තුතියි අජිත් .. අපි සෑ හෙන්න දැඟලුවා මේ අයව ගොඩගන්න...

      Delete
  19. ටිකක් පරක්කු වෙලා තමයි පොස්ට් එක කියෙව්වේ. කොමෙන්ට් එකක් දාන්න හම්බුනේ ඊටත් පරක්කු වෙලා.

    ඔබතුමාගේ උත්සාහය බොහොම ඉහලින් අගය කරනවා. ඒ වාගේම එම අත්දැකීම අනිත් අයත් එක්ක බෙදාගත්ත එක ඊටත් වඩා වටිනවා. ලංකාවේ ශ්‍රමිකයෝ හැකියාව අතින් ගොඩක් ඉහලින් ඉන්නවා. හැබැයි පිටරටකට යන්න රැකියාවක් ගන්න පෙන්නන්න සහතිකපත් නැහැ. මගේ අදහස නම් ලංකාවේ තියෙන හැම වෘත්තියකටම සහතික පත්‍රයක් දෙන්න ඕන. පෙදරේරු, විදුලි කාර්මික, වඩු කාර්මික...කොටින්ම කියනවනම් ගොවිතැනට පවා එහෙම එකක් තියෙන්න ඕන. එකෙන් වෘත්තිමය පිළිගැනීමක් වගේම තමන්ගේ රැකියාව ගැන ආත්මභිමානයක් ලැබෙනවා.

    ඉංග්‍රීසි දැනුම ගැන කථා කරනවානම් අපේ පාසැල් වල අවුරුදු ගානක් උගන්නලත් සාපෙළ දක්වා ඉගෙනගත් අයගෙන් කීයෙන් කිදෙනටද ඉංග්‍රීසි දැනුම තියෙන්නේ... ලංකාවෙන් පිටරට යන ශ්‍රමිකයන්ගෙන් බොහෝ දෙනෙක් පෙර කිසිම දැනුමක් නැතුවත් තමන් අලුතින් යන රටේ භාෂාව (උදා: අරාබි, කොරියන්, ජපන්, ජර්මන්...) මාස කීපයක් ඇතුලත ඉගෙන ගන්නවා. ඉතින් අපි ඉගෙන ගන්න සහ උගන්නන ක්‍රමයේ ලොකු වැරැද්දක් තියෙනවා.

    ලංකාවේ තියෙන බොහොමයක් IELTS පෙර පහුණු පාඨමාලා, විභාගයෙන් ලබාගතයුතු කඩයිම් ලකුණු ප්‍රමාණය ඉලක්ක කරලා පහුණු කරනවට වඩා ඉංග්‍රීසි උගන්නන තමයි වෙහෙසෙන්නේ. ඒත් විය යුත්තේ දන්න ඉංග්‍රීසි ටිකෙන් අවශ්‍ය කඩයිම් ලකුණු ප්‍රමාණය ගන්න පුරුදු කරන එක. කවුරු හරි කෙනෙක් මෙම විභාගය කරන්න ඉන්නවනම් හොඳම දේ තමයි IELTS විභාගය ඉංග්‍රීසි භාෂා දැනුම ගැන තියෙන විභාගයකට වඩා දන්න ඉංග්‍රීසි භාවිතා කරන්නේ කොහොමද කියලා බලන විභාගයක් විදියට සුදානම් වෙලා මුහුණ දෙනවානම්. මොකද හොදට ඉංග්‍රීසි ඉගෙන ගෙන ඕක කරනවා කියලා හිටියොත් කවදාවත් කෙරෙන්නේ නෑ. මේකට හොද අත්පොතක් තියෙනවා " New Insight into IELTS-Cambridge English " කියලා "Brithish Counsil" එකේ. ටිකක් ගණන් ඇති. හැබැයි වටිනවා.

    ReplyDelete
  20. අදහස් දැක්වීමට ස්තුතියි.. අව් කණ්ණාඩි දාලා .. ලස්සනට යුනිෆෝර්ම් එකක් / ආරක්‍ෂිත ඇඳුම්ඇඳලා මේසන් වැඩ , වඩුවැඩ , ගොවිතැන් වගේ ඕනෑම වැඩක් කරන්න පිළිවෙල සකස් කරලා.. ඔබ කිව්වා වගේ රැකියාවට ඇගයීමක් පිළිගැනීමක් දුන්නා නම්. සහ පිටරට යාම දකවා රැකියාවේ දිගුව පැහැදිලිව පෙන්නුවා නම් අපේ හැදෙන කොල්ලොත් මේවට එයි,.. ජයවේවා !!!

    ReplyDelete
  21. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයන්ම උඩු යටිකුරු කළයුතුව තිබෙනවා

    ReplyDelete