Showing posts with label ඕස්ට්‍රේලියානු සංක්‍රමණ ක්‍රම. Show all posts
Showing posts with label ඕස්ට්‍රේලියානු සංක්‍රමණ ක්‍රම. Show all posts

Friday, 5 August 2016

තමන් පමණක් නොව අනෙකාත් හැදු සාර්ථක මිනිසෙක්






මස්සිනාලා  ගොඩ  දැමීමේ  වෑයමෙන්  මා පරාජය වූ කතාව දැන් ප්‍රසිද්ධ රහසකි (ජලය පෙනී පෙනී පිපාසයෙන් සැනසුණු අශ්වයෝ)

ඒ නිසා තම නෑදෑයින්ට උදව් කීරීමට යමෙක් පසුබට වෙයි නම් මා කියන්නට යන මේ කතාව බලන්න.

අද කතාවට  පාදක වෙන්නේ  මා වැනිම  මෙහෙවරක  යෙදී එය සාර්ථක කර ගත්  මිනිසෙකුගේ වැඩපිළිවෙලයි.

ඔහු ඔස්ට්‍රේලියාවේ ඉන්නා ප්‍රසිද්ධ   වාහන විදුලි කාර්මික  ශිල්පියෙක්  (auto electrician ) නම සුරංග 

අදටත් ඔහු සිටින ප්‍රදේශයේ   සිදු කෙරෙන බොහෝ ශ්‍රී ලාංකික  සමාජ මය වැඩ සටහන් වලදී  සෑහෙන  දායකත්වයක් දරන්නේ  අපේ කතානායකයා  විසින්.

ඒ ප්‍රාන්තයේ තිබෙන  ශ්‍රී ලංකික  සමාජ මය වැඩ  සහ  ප්‍රදේශයේ පන්සලේ වැඩ වලට වුනත් එහෙම තමයි කියලයි  මම අහලා තියෙන්නේ.

සුරංග  විතරක් නෙවෙයි  එයාගේ   නංගිලා දෙන්නත්  මල්ලිත්   ඇතුළු සිය පවුලම  දැන් ජිවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ . 

ඒ  අප කලා වැනිම වූ නෑදෑයින් ගොඩ දැමීමේ ව්‍යාපාරයක ප්‍රතිඵලයක් වශයෙන්.

අපේ කතා නායකයා මුලින්ම  ඔස්ට්‍රේලියාවට  එන්නේ  මිට අවුරුදු විස්සකට  විසිපහකට  පෙර.

ඒ   වාහන විදුලි  කාර්මික  ශිල්පියෙක්  (auto electrician )  හැටියට.





ඒ කාලේ  ඕස්ට්‍රේලියාවේ  රස්සා ඕනා තරම් තිබ්බ කාලයක්. 

සුරංගලා  මෙහි එන දවස් වල ඔහු වැනි මිකැනික් වරු රාශියක්   ඔස්ට්‍රේලියාවට  සංක්‍රමණය වී තිබුණා   නිපුනතා  සහිත සංක්‍රමණය ( skilled  migration)  ක්‍රමය  යටතේ.

මේ අය හැමෝම වගේම සුරංගත්  ජර්මානු කාර්මික ආයතනයේ  කාර්මික  පුහුණුව ලැබූ අයෙක්  . 

ඒ කාලේ සිට අද දක්වාම  ජර්මන් ටෙක්   සහතිකයට  ඕස්ට්‍රේලියාවේ  ලොකු පිළිගැනීමක් තියෙනවා.

අදටත් යම්  තරුණයෙක්  ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය  වීමට  මගක් හොයනවා  නම්  ඒ සඳහා  හොඳම  ක්‍රමයක් තමයි ජර්මන් ටෙක්  පාඨමාලාව හැදෑරීම.



පාසැලේදී සඳු  හමුවී 









මට  සුරංග මුණගැසෙන්නේ  මම ඒ ප්‍රදේශයේ  හිටපු අවසාන  කාලයේදීයි .

එය සිදුවන්නේ  අපේ සුපුන්ගේ පාසලේ සිටි තවත් ශ්‍රී ලංකික දියණියක් හරහා.

ඇයගේ පියා  බුද්ධි ප්‍රසන්න    සුරංගගේ   ගේ වර්තමාන  මෝටර් විදුලි කාර්මික  ව්‍යාපාර  පද්ධතියේ  ප්‍රධාන පුරුකක්.

සඳු  නම් කෙටි නමකින් හැඳින්වූ මේ දියණිය  අප  සුපුන් පාසැලට  රැගෙන ගිය මුල්ම දවසේ අපට  හමුවුණා.


"නැන්දේ ඕ ගොල්ලෝ ලංකාවෙද ? "  


"ඔව්  ඔව්   අපි ලංකාවේ  තමයි "  නිම්මි   උත්තර දුන්නා.

ඇසිල්ලකින්  සුදු  කෙල්ලෝ රංචුවක්  මැද සිට අප වෙත දුව ආ  මේ කෙලි පොඩිත්තිය   අපේ නිම්මිගේ අතේ එල්ලුණා.  

"මල්ලියා මේ ඉස්කෝලෙට  ද  දාන්නේ ? "

"ඔව්  ඔව්.. මෙයාගේ නම සුපුන්.

හෙට ඉඳලා  එයා මේ ඉස්කෝලෙට  එනවා "

"හරි හොඳයි නැන්දේ  ලංකාවේ කෙනෙක් නැතිව මම හරි පාළුවෙන් හිටියේ"

අවුරුදු  හතක  පමණ වයසක වූ මේ කටකාර කෙලි පොඩිත්තිය  දැන් හැසිරෙන්නේ අප අවුරුදු ගණනාවක සිට ඇසුරු කරන්නියක් මෙනි.

"මගේ නම සඳු . ඉස්කෝලෙට කියන්නේ සඳරු  කියලා .. ගෙදරදී නම්  නිකන්ම  සඳු .." 

ඇය තව තවත්  නිම්මි සමග දොඩමළු වෙයි. 

ඒ වනවිට  සඳු  ලා  ඔස්ට්‍රේලියාවට  ඇවිත්  වැඩි දවසක් නෑ.

ඒ  නිසා ඇයට  අප තිදෙනා  සහ තමාගේ පාසැලට  එන අලුත් මල්ලී දැකීම  ලොකු සතුටක් වුනා.

"ඔයාගේ අම්මා තාත්තා ?

එයාලා  වැඩ කරන්නේ කොහෙද ? "

නිම්මි සඳු ගේ  පවුලේ විස්තර අහන්න පටන් ගත්තා .

"අපේ තාත්තා  බුද්ධි  . එයා මිකැනික් කෙනෙක්   

එයා වැඩ කරන්නේ  සුරංග  මාමා  ළඟ .  අර එස්. එල්.  කියන්නේ අන්න  එයා ළඟ .

අම්මා නම් මොකුත් කරන් නෑ  ගෙදර ඉන්නවා. "

"ඒක නෙවෙයි නැන්දලා අද හවස අපේ ගෙදර එන්න . මම අම්මාට කියන්නම්  ඔයාල හම්බවුණා කියලා."


මෙසේ අහම්බෙන් හමුවූ සඳරු  හරහා  ඇයගේ පියා බුද්ධි සහ  මව ශිරාණි  හඳුනාගත්තෙමු.







එතැන් පටන්  බුද්ධි ලා හා අප අතර ඉතා සමීප සබඳතාවයක් ගොඩනැගුනේය.

ඒ  දිනවල හැම සති අන්තයකම  වාගේ අපි සඳු ලා ගෙදර යන්නෙමු .


එහි ගොස් රෑ බෝ වෙන තුරු සඳු ලා තාත්තා සමග කයිවාරු ගසන්නෙමු.

එහිදී අපේ මගනැගුම  , ගම නැගුම මෙන්ම  මස්සිනාලා ගෙන්වීමේ වැඩ ගැනද  කතා කළෙමු.

මා බුද්ධි සමග දොඩමළු වෙද්දී  ශිරාණි අපි හැමෝටම  රාත්‍රී ආහාරය  හදයි.

සඳු සහ සුපුන් සෙල්ලම් කරති. නිම්මි ශිරාණි ගේ කුස්සියේ දොරට පිටදී  දෙපැත්තම සමග  කයිවාරුවේ යෙදෙයි.

පසුකලෙක  බුද්ධි   සමග මගේ  මස්සිනාලා  ගොඩ දැමීම  සහ  ග්‍රාමීය සංවර්ධන  වැඩ ගැන කතා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මට සුරංග   මුණගැසේ.

එක් ඉරිදා දිනක බුද්ධි විසින් මා සුරංගගේ නිවෙසට කැඳවාගෙන  ගියේය.

"සුරංග  මෙන්න මෙයා තමයි අපේ සඳුගේ යාළුවගේ තාත්තා කවිඳු "

බුද්ධි  අමුත්තා තම ස්වාමියා /මිතුරා ට  හඳුන්වා දුන්නේය.


"කවිඳු මල්ලී ගැන  මන් හරි පැහැදිලා ඉන්නේ 

මල්ලී ගොඩක් හොඳ වැඩ කරන කෙනෙක්  කියලා අපේ බුද්ධි කිව්වා ? 

අපෙනුත් මොනවා හරි උදව්වක්  ඕනේ නම්  කියන්න.

ඔය මාසෙකට ඩොලර් සියයක්  හමාරක්  දෙන එක සිම්පල් කේස් එකක්.  අනෙක හොඳ වැඩකටනේ ?"


"නෑ අය්යා අපි සල්ලි ගන්නේ නෑ.  අපි ගන්නේ බෝතල්  , කෑන් වගේ දේවල්.  ඒවා රිසයිකල්  කරලා  සල්ලි කරලා ලංකාවට  යවනවා ."


"හරි එහෙනම්  අපේ වර්ක්ෂොප් එකේ   පාවිච්චි කරලා අහක දාන බිම බෝතල් කොකා කෝලා කෑන් එහෙම තියෙනවා .

ඒවා අරන් යන්න. "

"ඉරිදා සෙනසුරාදා දෙකෙන් එකක ඇවිත් ගෙනියන්නකෝ "

එතැන් සිට  අපේ  ග්‍රාමීය  සංවර්ධන  වැඩ සටහනට  හිස් බෝතල් සැපයීම මගින් දායක  වූ ඔහු හා මා අතර සෑහෙන මිත්‍රත්වයක්  ගොඩ නැගෙන්නේ  ඉතා කෙටි කාලයකින්. 

"මල්ලී මමත් ඉතින් පුළුවන් හැටියට  මගේ අයට උදව් කරා ඒ කාලේ.

දැන් ඉතින් මේ බුද්ධිලා වගේ අයට  ඔස්ට්‍රේලියාවට  එන්න ඇවිල්ලා පිලිවෙලක් වෙන්න උදව් කරනවා.

ඒ අතරේ මගේ බිස්නස් එකත් හැදෙනවා තමයි ඒ වුනාට ඉතින්  ලංකාවේ ඉඳලා මිනිහෙකුට මෙහාට එන්න පාරකුත් මම හදලා දෙන්වානේ "


ඔහු තමාගේ  සමාජ මෙහෙවර මා හට  විස්තර කලේ එසේය.

"ඔයාට පස්සේ ආරංචි වෙයි .

ලංකාවේ හැමෝමත් ඉතින්   මට කැමති නෑ .

මම  වාහන හදලා ලොකු ගණන්  ගන්නවා කියලා එහෙම කියනවා.

ඒ නිසා මගේ ගණුදෙනු වැඩි හරියක් ඉතින් මේ රටේ මිනිස්සු එක්ක තමයි.

 සමහර විට මම ලංකාවේ මිනිස්සුන්ගෙන්  ඕනෑවට  වඩා වැඩ ගන්නවා කියලා එහෙමත් කියනවා ඇති "

සුරංග  මම ඔහු ගැන කනින් කොනින් අසා තිබු කරුණු  කිහිපයක්  තහවුරු කළේය.

එහෙත් මට එය ප්‍රශ්නයක් වුයේ නැත. මට අවශ්‍ය තවත් මිනිසෙකුට උදව්වක් කාරනා මිනිසෙකි.

සුරංග තුල මම කැමති ඒ මිනිසා ජිවත් වෙයි.

ලංකාවේ පවුල් බර ගානකට  උදව් පදව් කරනා කෙනෙක් ඔවුන්ට ටිකක් තදින් සිටීම ඇත්තෙන්ම හොඳ දෙයකි.

නැතිනම් සුරංග නිසා මෙහි ළඟාවන ඔවුන් තවත් මිනිහෙකුගේ කේළම් වලට අසුවී  අනාථ වනු ඇත.




මෝටර් විදුලි කාර්මික   ශිල්පියෙකුගේ ගේ  සමාජ  මෙහෙවර 






ඔස්ට්‍රේලියාවට  සංක්‍රමණය  වීමේදී  ඉංග්‍රීසි  අත්‍යවශ්‍ය  බව  කවුරුත් දන්නා  කාරණයකි.

IELTS ලකුණු  හයක්  ගන්න ඕනා   කියන්නේ  අපේ මස්සිනා ලා වැනි අයට  මරණ වරෙන්තුවක්  දෙනවා වැනි දෙයකි. 

එහෙත් එවැනි අයටත්  ඔස්ට්‍රේලියාවට  පැමිණිය හැකි පාරවල් තිබේ . 

ඒ  අනුග්‍රාහකයෙකු  මගින් ඕස්ට්‍රේලියාවේ  රැකියාවකට  පැමිණීම   ( skilled sponsored visa)  මගිනි.

ඒ  ක්‍රමය යටතේ මෙහි පැමිණීමට නම්  රැකියාවක් දීමට කැමති අනුග්‍රාහකයෙකු සිටිය යුතුය. 

සුරංග  ගේ  සමාජ  මෙහෙවර  වැදගත් වෙන්නේ මෙන්න මෙතනදීය.

හේතුව ඔහු අප දන්නා කාලයේ සිටම  ඔහුගේ  ව්‍යාපාර වල සේවය කීරීමට ශ්‍රී ලංකවෙන්  කාර්මික ශිල්පින් ගෙන්වන  අනුග්‍රාහකයෙකි. 

අපට  එදා  පාසලේදී  හමුවූ  සඳුගේ  පියා  එස්.  එල්. ගේ අනුග්‍රහයෙන්  රැකියාවක් ලබා ඇඩිලේඩ් වලට  පැමිණි පළමු  ශ්‍රී ලංකික මිකැනික් වරයාය. 

බුද්ධි මුලින්ම පැමිණෙන්නේ සේවා  බලපත්‍ර  ( work visa) ක්‍රමය යටතේය.

වසර දෙකක  සේවයකින් පසු ඔහුගේ සේවයෙන් සතුටට පත්  එස්.  එල්.  බුද්ධි හා පවුලට  PR ලබා ගැනීමට  සහය වන්නේය. 

ඒ  සේවකයා  ගේ වැඩ ගැන තමා සතුටු බැවින්  ඔහුට  දිගටම රැකියාව කිරීම සඳහා  ස්ථිර පදිංචිය  සහතික කරන්නයි  රජයෙන් ඉල්ලීම මගිනි.


එතෙක්  එක වහනයක්  තබාගෙන මොබයිල්  මිකැනික් වැඩ කල    සුරංග  බුද්ධි ගේ පැමිණීමත්  සමග  තම ව්‍යාපාරය  වාහන  දෙකක්  දක්වා ව්‍යාප්ත කළේය.

ටික කලකින්  තවත් මල්ලී කෙනෙක් ( විශ්ව මල්ලී ) එස්.  එල්.  ගේ  ව්‍යාපාරයට එකතු විය. 

මට මතක හැටියට විශ්ව මුලින්ම  ආවේත්  සේවා  බලපත්‍ර  ( work visa) ක්‍රමය යටතේය.  

අවුරුදු  දෙකකින් පසු  එය  දීර්ග කීරීමට  යාමේදී  ප්‍රශ්නයක්  ඇති බවත්  හේතුව විශ්වගේ  ඉංග්‍රීසි හොඳම නැති වීම  බවත්   මට ආරංචි විය.

ඒ සඳහා  යම් යම් විකල්ප යෙදු එස්. කේ. ඔහුටද  PR  ලබා  ගැනීමට  සහය විය.

ඒ කාලේ ඉංග්‍රීසි  අඩුපාඩු සහිතව මෙහි පැමිණිය හැකි වුවද දැන් නම් කාර්මික  රැකියා සඳහාද  හොඳ  IELTS ලකුණු ප්‍රමානයක් තිබිය යුතුය.

අද වන විට  සුරංග ඉතා සාර්ථක ව්‍යාපාරයක්  කරන්නෙකි.

එමෙන්ම   බුද්ධි ගෙන් ආරම්භ වූ සේවකයන් ගණන  දැන් පස්  දෙනෙක් දක්වා  වැඩිවී ඇත.

ඔවුන්ගේ බිරින්දෑවරු දැන් ඕස්ට්‍රේලියාවේ රැකියා කරති .

 දරුවෝ අපේ  සුරංගලා  ගේ දරුවෝ මෙන්ම  හොඳ පාසැල් වල ඉගෙන ගනිති.

මා පිළිගන්නා  හැටියට නම්  සුරංග   ඇත්තෙන්ම  කරන්නේ  ලොකු  සමාජ මෙහෙවරකි.

 ඒ සද් කාර්යය වෙනුවෙන් ස්වභාව ධර්මයා ද  ඔහුට  සලකන්නේය.


ඒ ඔහුගේ දරුවන්   වැරදි වැඩ වලට යොමුනොවී  සාර්ථක අධ්‍යාපනයක් වෙත යොමුවීම මගිනි. 


අපි සුරංගට  ට  මේ සමාජ  මෙහෙවර  ඉදිරියටත්  කරගෙන යන්නට හැකි ශක්තිය හා ධෛර්යය ලැබේවායි පතමු








Friday, 29 July 2016

අවේලාවේ හමුවූ හිතවතා.




පසුගිය කළාපයෙන්



පේරාදෙණි තැපැල් කාර්යාලයෙන්  මගේ අයැදුම් පත EMS කර දිනකිහිපයක් ගෙවී ගියේය.

මේ කියන දවසේ මම  මාවනැල්ලේ නිවසට වී  සිටියෙමි.

 සාමාන්‍යයෙන්  මම ඉන්ටර්නෙට් බලන්නේ SLT ඉන්ටෙර්නෙට්ර් කාඩ්  එකකින් මගේ  පරිගණකය  සම්බන්ධ  කරගෙනයි.

එදත්ඊ එලෙස ඉන්ටනෙට් ගිය මම  මගේ ඊ  මේල් බැලුවේ ටිනාට මගේ අයදුම්පත ලැබී ඇද්දැයි බලන්නටයි.

  ඒ වනවිට මගේ මහාචාර්ය තුමිය ටීනා ගෙන් මට ඊ මේල් එකක් ලැබි තිබිණි.

"කවිඳු ඉක්මනට  ඇප්ලිකේෂන්  එක එවන්න . තව දවස් දෙකයි ක්ලොසින් ඩේට් එකට තියෙන්නේ"

එහි සඳහන් වී තිබිණි.

"මම EMS කරලා දවස් හතර පහක් වෙනවා . අද හෙට හම්බවෙයි " මම පිළිතුරු ඊ මේල්  එකේ සඳහන් කලෙමි.

තව දවසක් බලා සිටියෙමි.  ඒ පේරාදෙණියෙන් යැවූ මගේ ලිපිය EMS හරහා නෙදර්ලන්තයට යනු ඇතියි යන බලාපොරොත්තුව පෙරදැරි කරගෙනයි.

පසුදා දහවල් වෙද්දී ( නෙදර්ලන්ත වේලාවෙන් පාන්දරම ) ටීනා නැවතත් මට ඊ ලිපියක් එවා තිබිණි.

"වැඩේ හරියන්නේ නෑ කවිඳු  ...අද කොහොමහරි ඔක්කොම ලියකියවිලි ස්කෑන් කරලා මට ඊ මේල් කරන්න . මම  රිසර්ච්  ඔෆිස් එකට ඒවා  ඔයාගේ ඇප්ලිකේෂන් එක විදිහට බාර දෙන්නම්.

කඩිමුඩියේ ලියකියවිලි ටික  හදා ගත් මට දෙවියන් සිහිවුයේ ඒ වනවිට අපේ විශ්ව විද්‍යාලයේ අන්තර්ජාල සම්බන්ධ තාව බිඳ වැටී ඇති බව මතක් වූ විටයි .

"දැන් මොකද කරන්නේ ? "  තැපැල් කාර්යාල ගැන  තිබු විශ්වාසය ද EMS සිද්ධියත් සමග බිඳ වැටී  ගොස්ය.

"ඔන්න ඔහේ ඒජන්සි පොස්ට් ඔෆිස් එකක් වත් හොයන් යනවා.  "

හිත හදාගෙන පාරට බැස්සෙමි.

"මාවනැල්ලට යනවද  කෙලින්ම කෑගල්ලට යනවද ? "

සිතමින්  මාවනැල්ලට යන බසයකට ගොඩ වුයෙමි  ( මම ඒ  වනවිට  නෙදර්ලන්තයේ වසර දෙකක් ගතකර සිටියෙමි.  නෙදර්ලන්තයේ  යෑමට පෙර මගේ කාර්ඒ එක විකුණුව  නිසා ඒ දිනවල  මට කාර් එකක් තිබුණේ නැත ).

මාවනැල්ලට පැමිණ ඒජන්සි තැපැල් හලක් හොයන්නට පටන් ගත්තෙමි.

බලන බලන ඒජන්සි පොස්ට් ඔෆිස් එකේ   "වසා ඇත "   යැයි බෝඩ් එකක් දොරේ එල්ලා තිබේ.

අසල සිටි කෙනෙක් ඇමතු  මා

" ඇයි දන්නේ නෑ  මේ කඩ ඔක්කොම වහලා අද ? "  කියා ඇසුවේ එසේ වීමට හේතුවක් එක් වරම හිතට ආවේ නැති නිසයි.

"ඇයි මහත්තයා අද සිකුරාදා නේ  . ගොඩක් මුදලාලිලා පල්ලි ගිහිල්ලා "  .

යැයි පිළිතුරක් ලැබිණි.

"තව පැයකින් විතර ඒයි මහත්තයා . ටිකක් හිටියා නම් හරි  " ඔහු මගේ කලබල කාරී ස්වභාවය හඳුනාගත් සෙයකි.

"නෑ අංකල් මන් කෑගල්ලට  ගිහිල්ලා බලන්නම් "

මම නැවතත් බස් නැවතුම් පල දෙසට පියමැන්නෙමි.



පළමු හමුවීමෙන් ම හිතවත් වූ  අමුත්තා 





මා කෑගල්ල නගරයට පැමිණෙන විටත්  හවස තුනට පමණ වන්නට ඇත.  

ඒජන්සි පොස්ට් ඔෆිස් එකක් හොයා යන ගමන ඵල රහිත බව පෙනුනේ පෙනෙන තෙක් මානයක එවැන්නක් නොතිබීමත්  අසන අසන අය  තැපැල් කාර්යාලය හැර කිසිවක් ගැන නොදැන සිටීමත් නිසාය.

කෑගල්ලේ සිංගර් එක ලඟට පැමිණි මම ඒජන්සි තැපැල් හලක් තිබෙන්නේ කොහේදැයි විමසුවෙමි. 

මා ප්‍රශ්නය ඇසු පුද්ගලයා  ඒ හරිය ගැන හොඳින් දන්නා බවක් දක්නට ලැබිණි.

සිංගර් එකට යාබදව ඇති වැඩ නිම නොකළ තට්ටු තුනක ගොඩනැගිල්ලක් පෙන්වූ ඔහු

"ඒජන්සි පොස්ට් ඔෆිස් නම් මම දන්නේ නෑ සර් හැබැයි මෙන්න මේකේ තුන් වෙනි තට්ටුවේ කම්පියුටර් කඩයක් නම් තියෙනෙවා . ගිහින් බලන්නකෝ "

යැයි පැවසීය. 

"හැබැයි ඒ කට්ටිය වැඩ කරන්නේ නම් රෑට වගේ මම හිතන්නේ ". 

ඔහු කියනා ආකාරයට නම් මේ රෑ කම්පියුටර්  කඩයකි. 

"කෝකටත් ගිහින් බලනවා " යැයි හිත හදාගත් මම පටු සිමෙන්ති පඩිපෙළ නගින්නට පටන් ගත්තෙමි.

තුන්වෙනි තට්ටුවට ලඟා වුවද කිසිම පරිගණක කඩයක ලකුණක් පෙනෙන්නට නැත.  

පඩිපෙළ වම්පැත්තේ වසා තිබු දොරක් දුටු මා එයට තට්ටු කලෙමි. 

"ගෙදර කවුද ?  ගෙදර කවුද ? "

සුලු මොහොතකින්    දොර විවුර්ත විණි.

සිනහමුසු එහෙත් විඩාබර මුහුණකින් යුත් කාන්තාවක්  දොර අසල සිට ගෙන සිටි. 

"මෙතන කම්පියුටර් කඩයක් තියෙනවා කිව්වා..? "

මම ප්‍රශ්නාර්ථයක් සහිත  හඬකින් පැවසුවෙමි. 

"ඔව් . ඔව් අපි කම්පියුටර් වලින් වැඩ කරනවා.  පොඩ්ඩක් ඉන්න මම මහත්තයා  කූද්දලා  එන්නම්.."

ඇය නැවතත් කාමරයක් ඇතුළට ගියාය.  

"පෙනෙන හැටියට මෙයාලගේ ගෙදරත් කම්පියුටර් කඩෙත් එකම තැන වගේ තියෙන්නේ ? "

මම මටම කියාගත්තෙමි.

"මේ මහත්තයා කවුද?  මොකක්ද අපෙන් කෙරෙන්න ඕනේ ? "

නිදිමත ඇස් පිසදමමින් පැමිණි  අයෙක්මා මගෙන් විමසිය. 

ඔහු බැලු බැල්මට අප හා  සම වයසේ අයෙක්  බව පෙනෙන්නට තිබිණි.

"මගේ නම කවිඳු . මම පේරාදෙණිය කැම්පස් එකේ ලෙක්චර කෙනෙක් "

"ආ .. ඇත්තද ? සන්තෝෂ යි හඳුනාගන්න ලැබුණු එක ගැන .  

කම්පියුටර් කඩයක් හොයනවා කියලා අපේ නෝනා කිව්වා.?

ඉතින් හිටගෙන ඉන්නේ එන්නකෝ ඇතුළට වාඩි වෙන්න.  

මේක අපේ ගෙදර. අපි මෙතැන කුළියට ඉන්නේ "

"එතකොට කම්පියුටර් කඩේ ? "

"එන්නකෝ ඇතුළට පෙන්නන්න "

මා නොදන්නා හිතවතා මා ඔහුගේ නිවස   ඇතුළට කැඳවා ගත්තේය.

විසිත්ත කාමරය වැනි කොටස පසු කල ඔහු . 

"මෙන්න මෙතැන තමයි අපේ කම්පියුටර් තියෙන්නේ " 

කියමින් එම "නිවස " ඇතුලේ තිබු තවත් කාමරයක් ඇතුළට මා රැගෙන ගියේය. 

"බබා තේ එකක් හදන්න මේ මහත්තයට " යැයි තම බිරිඳ ඇමතු ඔහු මට  පරිගණක කාමරය පෙන්නන්ට විය.

මා දුටු දර්ශනයෙන් පුදුමයට පත් වීමි.




















පිළිවෙලට  මේස මත තබා තිබු පරිගණක දහයක් දොළහක් පමණ පිරුණු කාමරයකි. 

ඒ සියල්ල අන්තර්ජාල යට සහ ප්‍රින්ටර් , ටෙලිෆෝන්  , ෆැක්ස්  ආදියට ද සමබන්ධ කර තිබේ .

"කෝ කවුරුත් වැඩ කරනවා පෙන්නේ නෑනේ .. ? "

මා කුතුහලයෙන් යුතුව ප්‍රශ්න කළෙමි.

"අපි වැඩ කරන්නේ රෑට.  මොකද අපේ බිස්නස් තියෙන්නේ අමෙරිකාවත් එක්ක.  

එහේ  දවල් කාලේ අල්ලලා තමයි අපේ වැඩ පටන් ගන්නේ රෑ අට විතර වෙනකොට  අපේ සේවකයෝ එනවා.

අපි ළඟ දහදෙනෙක් වැඩ කරනවා  රෑ අටේ ඉන්දලා උදේ හය වෙනකම් "

ඔහු තම පරිගණක ආයතනය ගැන මට විස්තර කරන්නට විය. 

"එහෙනම් මම ඇවිත් තියෙන්නේ හරිම තැනට.. මට ලොකු ඇබැද්දියක් වෙලා ඉන්නේ "

මම මගේ EMS ප්‍රශ්නය සහ ටීනා මගේ අයැදුම් පත් එනතුරු නොඉවසිල්ලෙන් ඉන්නා කතාව අමුත්තා සමග පැවසුවෙමි.

"අය්යෝ අපි ගාව සේරම තියෙනවා .  මම ස්කෑන් කරලා දෙන්නම් 

කෝ ගන්නකෝ ඩොකියුමන්ට්ස් ටික ".

අමුත්තා ජිවිතේ ප්‍රථම වතාවට හමුවූ නාදුනන මිනිසෙක් වෙනුවෙන් සියල්ල කරදෙන්නට සුදානම් ය . 

මගේ මුහුණේ ඇති අපබ්‍රංශ පෙනුම  තේරුම් ගත් ඔහු .

" මම සුරාජ් විමලානන්ද අපේ මුල්ගම බදුල්ල  . කවිඳුලා ගෙවල් කොහෙද ?"

යැයි මා හට ඔහු හඳුන්වා දෙන්නට විය.

"ආ ඇත්තද? අපිත් ඒ පැත්තේ තමයි.  මම මගේ ගම සහ පාසැල ගැන ඔහුට පැවසුයෙමි. "

"ඒක නෙවෙයි කවිඳු  ඔයා දැක්ක ගමන්  මට මතක් වුණේ  අපේ අය්යාගේ හොඳ යාලුවෙක් එයාගේ නම සමන්ත නාමරත්න "

 එයාගේ  මුහුණුවරත්  ඔයාගේ වගේ මයි. 

 ඔයා දන්නවද සමන්ත අය්යා ? 

"සමන්ත කියන්නේ මගේ අය්යා . එයා දොස්තර කෙනෙක් . එතකොට ඔයාගේ අය්යත් දොස්තර කෙනෙක්ද? "

"ඔව් . ඔව් . සමන්ත අය්යයි අපේ අය්යය් එක බැච් එකේ "

"හරි හරි මට මතක් වුනා එතකොට බදුල්ලේ සමීර විමලානන්ද කියන්නේ ඔයාගේ අය්යද? "

මම පුදුමයෙන් පුදුමයට පත් වුයේ එකටම ඉගෙන ගත් අය්යලා දෙදෙනෙකුගේ මල්ලිලාට හමුවන්නට මීටත් වඩා සුදුසු ක්‍රමයක් තවත් තිබේදැයි   සිතමිනි.
























ගහට ගහක් මොරටුවේදී හමුවෙන වා  කියන්නේ කට කහනවට නෙවේය.

බදුල්ලේ උපන් සුරාජ් සහ ඒ ආසන්නයේ පිහිටි නගරයක උපන් මම   මේ අවේලාවේ කෑගල්ලේදී මුණගැසෙන්නේ එබැවිණි.

කෙසේ වෙතත් ඒ හමුවීම මටනම්  මහත් ආශීර්වාදයක් විය. 

මගේ සියළු ලියකියවිලි සුරාජ් ළඟ තැබූ මා නිම්මිලා නිවස වෙත පියනැගුවේ ඉතා සැහැල්ලුවෙනි.

ඒ  එදින රාත්‍රියේ සුරාජ් සියළු ලියකියවිලි ටීනා වෙත යවන්නට පොරොන්දු වූ නිසයි.

සුරාජ් ලා සමග පැයක් දෙකක් ගත කල මා නිවසට ළඟාවූ වහාම නිම්මි සමග සියළු විස්තර පැවසුවෙමි.


"මට හැමදාම ඔහොමමයි  වෙන්නේ... 

කොච්චර  ලැබෙන්න තිබෙන දේ නැතිකරන්න හැදුවත්    අන්තිම මොහොතේ කවුරු හරි ඇවිල්ලා මට පිහිට වෙනවා .

 මාර වෙලාවක් තමයි  මට නම් තියෙන්නේ  "


මම හැමදාම නිම්මිට කියන කතාව එදත් කියන්නට හැකිවීම මගේ වාසනාවකි. 

සුරාජ් ලා ගැන විස්තර අසා නිම්මිද ඉතා පැහැදුණු සිතැත්තියක් වුවාය.

පහුවදා   පාන්දර  මගේ අලුත් හිතවතා සහ ඔහුගේ බිරිඳ මුණ ගැසෙන්නට යන ගමනට නිම්මිද මා සමග එකතු වුයේ එබැවිණි.

ඒ වනවිටත් 

"Dear Kawindu,

I have received all the necessary documents today.  I have alredy submitted your application to the reserch office and hopefully we will hear something soon.

Best regards,

Tine " 

යැයි ඊ  ලිපියක් මා වෙත ලැබී තිබිණි.  










Monday, 25 July 2016

මගේ ශිෂ්‍යත්වය සහ ටෙලිනාට්‍ය.




අපේ බ්ලොග් හිතවතා  සුරංග  රංජිත්  තම යාන්හැල්ලේ  මෑතකදී  ලිවූ  "කාර්යාල ක්‍රමය" බ්ලොග් පොස්ට් එක   මම කාලෙකට පස්සේ දැක්ක හොඳම බ්ලොග් පොස්ට් එකක්.

එහි සුරංග අපට කියාදෙන  පාඩම  ලංකාවේ  සියළු කාර්යාල වල  අත් පත්‍රිකාවක් ලෙස බෙදාහරින්නට තරම් සුදුසු එකක් කියලයි  මට නම් හිතෙන්නේ

මේ බ්ලොග් පොස්ට් එකට  පාදක කරගන්නේ  සුරංග  කියන දේ අනික් පැත්ත  ..කාර්යාල සේවකයෙක් ලෙස අප  නොකලම යුතු දේවල් පිලිබඳ සාකච්චාවක්   ......

මේ සිද්ධිය  සිදුවුණේ  2005 නොවැම්බර්  -දෙසැම්බර්   කාලේ. මේ වෙනකොට  අපි නෙදර්ලන්තයේ  අවුරුදු දෙකක් ගතකර ( මගේ මාස්ටර් උපාධිය අවසන් කර) ලංකාවට ඇවිත් හිටියේ .

ඒ වනවිටත් පේරාදෙණියෙන්  අධ්‍යන  නිවාඩු පිට සිටි මම  මාවනැල්ලේ   ගමනැගුම  හා  මග නැගුම  වැඩ වල උපරිමයෙන් සහභාගී වෙමින් සිටියා මතකයි.

හැමදාම වාගේ  ඒ දවස් වලත් නිම්මි මගේ ඒ වෙලාවේ ප්‍රමුඛ  රාජකාරිය මතක් කර දුන්නා .. ඒ මගේ ආචාර්ය උපාදියට  අවශ්‍ය  ශිෂ්‍යත්වයකට  අයැදුම් කිරීම ගැනයි.

"මේ  ඔය  කැලෑ  කොට කොටා ඉඳලා හරියන්නේ  නෑ  දැන්  ලබන අවුරුද්දේ නෙදර්ලන්තේ  ශිෂ්‍යත්වයය ඉල්ලුම්පත්‍ර  දාන කාලේ හරි නේද?".

"දවසක් දෙකක්  වත්තේ  වැඩ මල්ලිට බලන්න කියලා ඔය වැඩේට  මහන්සිවුනොත් නරකද ?

 අන්තිමට  යන්න තැනක් නැති වුනොත් ඔය කව්රුත් එන්නේ නෑ උදව්වට .

මතකනේ  මුලින්ම රට යන්න විදිහක් නැතුව දඟලපු දැඟලිල්ල .

යන්තම් මේ කොලු පැටියාගේ වාසනාවට නෙදර් ලන්තේ යන්න හම්බ වුනා.."

නිම්මි කියන්නේ සුපුන් බඩට ඇවිත් මාස කිහිපයක් ඇතුලත  මට සියළු කරදර වලින් ගැලවී  නෙදර්ලන්ත යට යන්න ලැබුණ ආකාරය ගැනයි.

"හරි හරි නත්තල් නිවාඩුව එන්න ඉස්සෙල්ලා දාන්නම් ඉතින්. කෑගහන්නේ නැතිව ඉන්නකෝ  ඩිංගක්..

වෙලාවක  කැම්පස් එකට ගිහින්  ඇප්ලිකේෂන් එක හදාගෙන එන්න ඕනේ"

"මේ  ඕවා ලංකාවෙන් එහාට  යන්න කාලෙකුත් ගත්වෙනවනේ  අද හෙටම පටන් ගන්න තියෙන්නේ "

නිම්මි අයැදුම් පත් වැඩේට  මා පෙළඹ වුයේ එලෙසය.

"ඇයි DHL කරලා යවන්න පුළුවන් නේ.

දවසෙන් දෙකෙන් නෙදර්ලන්තෙට  බඩු ලැබෙයි.

 ඇප්ලිකේෂන් එක  දාලා "ටීනාටත්" ඊ මේල්  එකක් යවන්නයි  මන් හිතන් ඉන්නේ  එතකොට හරිනේ. "

ටීනා කිව්වේ  මගේ නෙදර්ලන්තයේ සුපර්ව්‍යිසර් තුමියයි.

ඇය මේ වනවිට විශ්ව විද්‍යාලයේ  සිටි research vice rector ගේ  ලඟම මිතුරියක්වී   සිටියාය (  දැන්   මේ තනතුර  හොබවන්නේ ටීනා විසින් ).

ඒ නිසා මගේ අයැදුම් පත විශ්ව විද්‍යාලයට  ලැබුණ වහා එය ඇයට දැනගන්නට  ලැබෙන බව මා දැන සිටියෙමි.

ෆයිව් "S" පේරාදෙණියේ තැපැල් කන්තෝරුව 



කැම්පස් එකේ අය සමග අයැදුම් පත ගැන කතා කරද්දී  පේරාදෙණියෙන් ම එය තැපැල් කල හැකි ක්‍රමයක් ඇති බවත්  එය හඳුන්වන්නේ  EMS නමින් බවත් දැන ගත්තෙමි. 

කවදත් රජයේ ආයතන වලින් වැඩ කරගැනීමට  කැමති මම ...

( මා විශ්වාස කරන්නේ අපේ පුළුවන් හැටියට  අපේ සහය දීලා රජයේ ආයතන ගොඩ ගත යුතුයි කියලයි.. 2006  මුල  පිටකොටුවේ  ලංගම බස් එකක යන්න ගිය හැටි ලියන්නම් ඉදිරියේදී )

DHL වෙනුවට  EMS හරහා මගේ  අයැදුම්පත්  යවන්නට තීරණය  කලෙමි. 

සාමාන්‍යයෙන්  මෙවැනි අයදුම්පතක් යැවීමේදී  මට  සෑහෙන ආතතියක් දැනේ.  

ඒ එය මට  ලැබෙයි දෝ නොලැබෙයිදෝ යනුවෙන් හිතේ ඇතිවන දෙගිඩියාව නිසාම නොව ලිපිලේඛන රාශියක් සකස් කීරීමට සිදුවීම නිසා ඇති වන්නකි.

උප්පැන්න සහතික, විවාහ සහතික  , අධ්‍යාපන සුදුසුකම්  , ඉංග්‍රීසි නිපුණතාව ( IELTS)  වැනි  ලිපි ලේඛන රාශියක්  මෙයට ඇතුලත් කල යුතු විය. 

කෙසේ හෝ වදෙන් පොරෙන්  ලියකිවිලි ටික එකතුකර ගත් මම එක් සඳුදාඋදැසනක  පෙරා දෙණියේ තැපැල් කන්තෝරුවට ලඟා වුයෙමි.
මේ කන්තෝරුව පිහිටා ඇත්තේ  නුවර- කොළඹ පාරේ  අපේ පීඨයට පෙනෙන නොපෙනන මානයකයි. 

හිටපු තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය නිමල් සිරිපාල මහතා යටතේ තිබු කාලයේ  නව මුහුණු වරක් දුන් තැපැල් කාර්යාල අතරට  මෙයද  අයත්වී තිබිණි.

ඒ අනුව මා කාර්යාලයට අතුල්වත්ම දක්නට ලැබුනේ ඉස්සර මෙන් කම්බි කුඩු වල ඇතුළට වී සිටි නිලධාරීන් නිලධාරිනියන් නොව පාරිභෝගිකයා හා සෘජුව  ගණුදෙනු කල හැකි මට්ටමේ මේස වල සිටි අයයි. 


මේ නුවරඑළිය  තැපෑල්  කාර්යාලයේ  පින්තූරයක්  - දැන් මේකෙත් 5S තියෙනවා....

කාර්යාලයේ  දකුණු පස ඇති මේසවල සිටි මහත්මයෙකුට  මා ආ කාරණය පැවසුවෙමි.

"සුභ උදෑසනක්... මට   ඩොකියුමන්ට් වගයක්  නෙදර්ලන්තෙට  EMS කරන්න ඕනේ  .. කොහොමද කර ගන්නේ "

"සුබ උදැසනක්.. අන්න අර නෝනා තමයි කරන්නේ .. එතෙන්ට යන්න මහත්තයා "

තැපැල් සේවක මහතා මාව අදාල තැනට යොමු කළේය.   

උඩරට  සාරියක් සැරසී  මනාව මේක් දමා සිටි ලස්සන නිලධාරිනියක් කිසියම් වැඩක යෙදෙමින් සිටි.  

ඒ අතර ඇය ඉදිරියේ සිටි පාරිභෝගික මහතා එය දෙස උනන්දුවෙන් බලා සිටි. 

මම ඒ මහත්මාට පිටිපස්සෙන්  සිට ගත්තෙමි.  

මගේ දකුණු අතේ  විශාල ලියුම් කවරයකි. 

 ඒ නෙදර්ලන්තයේ ආහුස්  විශ්ව විද්‍යාලයට  යැවීමට ඇති මගේ අයදුම්පතයි.

කන්තෝරුවේ නෝනා හිමින් හිමින්  තම කටයුත්ත කරමින් සිටි . 

ඒ අතර  ඇය තම මේසයේ ඇති දුරකථනය කරකවා කිසියම් කෙනෙකුට ඇමතුමක් ගත්තාය.  



"හලෝ  ගුඩ් මොර්නින්  .. කොහොමද අනේ ...? බස් එක අල්ලගන්න ලේසි වුනාද "

එහා පැත්තේ  ඉන්න කෙනා නාවලපිටියේ හෝ  ගම්පොළ තැපැල් කාර්යාලයේ සේවිකාවක් බව ඇයගේ කතා බහට බලෙන්ම සවන්දෙන්නට ලැබුණු මම පසුව තේරුම් ගත්තෙමි. 

"ඒකනේ මෙයා මේ බස් කාරයෝ හරියට එයාලගේ රාජකාරිය කරන්නේ නෑනේ .. එයාලා වෙලාවට එනවානම් අපිටත් වෙලාවට වැඩට එන්න පුළුවන් වෙනවනේ "

"ඒක  නෙවෙයි ....ඔයා ඊයේ  "අහිංසා " බැලුවද?  බලන්නකෝ මේ කෙල්ල කරන මෝඩ වැඩ ?  මම එහෙමනම්  හොඳ වැඩක්  කරනවා අරයට..."

"ඔය කතාව ලියන්නේ කවුද දන්නේ නෑ අනේ බලන්නකෝ බලන් හිටියා වගේ අපේ පවුල් වල ඇතිවෙන ප්‍රශ්න  ගැන ලියන හැටි ."

එහා පැත්තේ සිටිනා නිලධාරිණියද  හරි හරියට ඇයගේ කතාවට පොහොර දමන අයුරකි.  කතාව නොනැවති ඉදිරියට යයි දැන් මගේ පිටුපසින් තව පිරිසක් එකතු වී සිටි.

ඒ EMS යවන්නට නොව ෆොටෝ කොපි වැනි දේවල් කරන්නේද මේ කවුන්ටරය හරහා වීමයි..  

මේ අතර ෆොටෝ කොපි යන්ත්‍රය ක්‍රියාකරවන්නාද  වැඩක් නැතිව නිකම් සිටි.  

හේතුව ඔහුට වැඩ ලැබීමට නම්  මේ නිලධාරිනිය හරහා ඔහු වෙත ඒවා යොමු කලයුතු වීමයි.

මට සුරංගගේ  භාෂවෙන් ම  කිව්වොත් පුෂ්ප පිපි මකරන්ද  ගලා එන්නට ආසන්නය.

දුරකථන සංවාදය අහිංසා ගෙන් තව ටෙලියකට මාරු විය.  

"බලන්නකෝ නේද මේ ගැනුන්ගේ  හැටි.. 

දැක්කනේද  අර  @#$)  තමන්ගේ  අක්කගේ  මහත්තයත් එක්ක  රවුම් ගහනවා.

පව් අනේ ඒ ළමයි තුනේදෙනා .."

කතාවේ හැටියට  ඒ නාට්‍යයේ එකම පවුල ඇතුලේ සිදුවෙන අයතා ලිංගික සම්බන්ධතාවයක්  ගැන කියවෙන අවස්ථාවක්  තිබෙන හැඩයි.

එහි දරු තිදෙනෙකු සිටින පියෙක් සහ එම කාන්තාවගේ නැගණිය අතර පවතින  අයතා සම්බන්ධය  මේ නිලධාරිනියන්ගේ  අවධානයට  ලක්වී ඇත.

"ඔයාගේ හස්බන්ඩ්  එහෙම කියනවද? ඔව් අනේ අපේ  එක්කෙනෙත් වැඩිය කැමති නෑ මම  ටෙලි ඩ්‍රම බලනවට "

නේද මෙයා ඒවායේ කියන්නේ අපේ පවුල් වල තියෙන ප්‍රශ්නමනේ  

මම නම් අපේ හස්බන්ඩ්ට කියන්නේ 

"මේ වගේ කතා  බලන එකෙන් අපේ පවුල් ජිවිතේ හදා ගන්න හොඳ උපදෙස් ගන්න පුළුවන් " කියලා.

කතාව දැන් පැය භාගයකටත් වැඩිය  . මේසය ඉදිරිපස ඇති පෝලිම එන්න එන්නම දික් වෙයි.  එහෙත් කිසිවෙක්   මේ නිලධාරිණියට  තම රාජකාරිය  කලයුතු බව මතක් කරන්නේ නැත.







ඉවසීමේ සිමාව ඉක්මවා ගිය මම දැහැන බින්දෙමි.

"මිස් කරුණාකරලා  ඔය මහත්තයාගේ වැඩේ ඉවර කරලා දෙනවද ? 

අපි කට්ටිය ගොඩක් ඉන්නවා නේ වෙන වෙන වැඩ කරගන්න "

"ඇයි මිස්ටර් මොකද හදිස්සිය පොඩ්ඩක් ඉන්න බැරිද මගේ කෝල් එක ඉවරවෙනකන්..?"

ඇය තම දුරකථන සංවාදයේ ඇති වැදගත් කම මට මතක් කර දුන්නාය. 

දැන් මගේ "පුෂ්පය එළියට පනින එක"  සක්කරයටවත් නවත්තනන්ට නොහැකිය.  

"ඔයාලා සතිඅන්තයේ  කාපු බිපුවා, ගිය ගමන් බිමන් කතාකරනකම්  අපි මෙතෙන්ට වෙලා හිටගෙන ඉන්න ඕනෙද? 

අපිත් වැඩ තියෙන මිනිස්සු "

"ඔයලාට වැඩ තිබුණට අපිට කරන්න දෙයක් නෑ. ටිකක් ඉවසලා ඉන්න වෙනවා."

මගේ ඉදිරිපත් වීම නිසා සිය දුරකථන සංවාදය අතරමග නතර කල ඇය තම රාජකාරිය ට නැවතත් අත ගැසුවාය.

එහෙත් ඈ  දිගටම සිටියේ  අබ ටිකක් දැම්මා නම්  පුපුරණ වර්ගයේ මුහුණක් සහිතවයි.

ටික වෙලාවකින් මගේ අවස්ථාව පැමිණි විට  " මේක EMS කරගන්න ඕනෑ මට " කියමින් මගේ ලියකියවිලි ටික ඇයට දුන්නෙමි.

මගේ ලියකියවිලි කියවූ ඇය මා පේරාදෙණියේ  කථිකාචාර්යවරයෙකු බව හඳුනා ගත්තාය .

අනතුරුව මා දෙස ඔලොක්කුවට බැලු ඇය

"අහවල් මහාචාර්ය තුමා එහෙම මෙහෙට නිතර එනවා හරි නිහතමානී මිනිස්සු  .

එයාලා මේ වගේ ඇඟට කදාපනින්නේ නෑ  තමන්ගේ වැඩේ කෙරෙනකම්  ඔළුව පහත් කරන් ඉන්නවා "

යැයි පැවසුවේ අප සමග සිටි ප්‍රසිද්ධ මහාචාර්ය වරයෙකු ගැනයි.

ඒ අතරම  මා තව තවත් අවුස්සන්නට ඇයට ඕනෑ වී තිබේ..

"පිට රට වල් වලනම් මෙහෙම් මින්ස්සු රස්තියාදු කරන්නේ නෑ "

මමත් ඇයගේ උගුලට අසුවුයෙමි..

"ඉතින් ඉන්නනෙ  තියෙන්නේ පිට රටට වෙලා මෙහෙ ඇවිල්ලා අපිව හදන්න එන්නේ නැතිව.. "

ඇය නැවතත් වාදය පටන් ගත්තාය..

"සුමනේ මෙන්න මේ ටික EMS කරන්න ලෑස්ති කරන්න " කියමින් මගේ ලියකියවිලි ටික හය්යෙන් තම සහයකයා  දෙසට  විසිකළ ඈ  ගාන රුපියල් 2500 යි කියමින් මා දෙස බැලුවාය..


පසු සටහන:

මම EMS කල ලියවිල්ල තවමත්  නෙදර්ලන්තයට  ගියේ නැත.  නිලධාරිනියගේ  ටෙලිනාට්‍ය රසයට බාධා කිරීමේ වරදට  මගේ සිස්යත්වය  කඩාකප්පල් කරන්නට  ඇය තීරණය කරන්නට ඇත.

මට ඊ මේල් පිට ඊ මේල් එවූ ටීනා අවසානයේ  මගේ අයැදුම් පත  ඊ මේල් මගින් ගෙන්වා ගත්තාය.

ඒ සම්බන්ධයෙන් මට උපකාර කලේ ජිවිතයේ ප්‍රථම වරට  මට කෑගල්ලේදී හමුවූ අමුත්තෙකි.

 ඒ කතාව මෙතැනින්











Friday, 22 July 2016

ඔස්ට්‍රේලියාවට අපේ අය සංක්‍රමණය වන විවිධ ක්‍රම 1- ශිෂ්‍යයෙක් ලෙස




පසුගිය සතියේ  මා විසින් ලියන්නට යෙදුන  අපේ මස්සිනාලට  ගඩොල්  ඇතිරීමේ පාඨමාලාවක්  කරවීමේ ලිපි පෙළ බලා මේ සම්බන්ධව  උනන්දු වූ අය කිහිප දෙනෙක් මේ ගැන විමසුවා මේ ඒ අය වෙනුවෙන්.

ශ්‍රී ලාංකිකකයින්  ඔස්ට්‍රේලියාවට එන ක්‍රම සහ නිත්‍යානුකුලව එසේ කල හැකි ක්‍රම රාශියකි.  

මේ ක්‍රම වේදයන් පාවිච්චි කර ඔස්ට්‍රේලියාවට එන්නේ ලාංකිකයින් පමණක් නොවේ ඉන්දියාව, චීනය, නේපාලය , බංග්ලාදේශය , පකිස්ථානය ආදී අපේ අසල්වැසි රටවල අයද මෙහි එන්නේ  මේ ක්‍රම වලටය. 
එමෙන්ම බොහෝ සංවර්ධිත රටවලින්ද  ශිෂ්‍යයන් ලෙස මෙහි මුලින්ම  පා තබන්නෝ රාශියකි.

ඉන් පලමු සහ ප්‍රධාන ක්‍රමයක් වන්නේ ශිෂ්‍ය විසා ලබා ගෙන මෙරටට පැමිණීමයි . 

පළමු උපාධිය කීරීමට ( undergraduate degree) මෙන්ම දෙවැනි , තුන්වැනි උපාධි ( post graduate degree) හෝ සමහර විට  ඩිප්ලෝමාවක් කීරීමට මෙහි එන ලාංකික පිරිස් සිටිති. 

අපේ මස්සිනාලට ලංකාවේදී ඉගැන්වූ ගඩොල් ඇතිරීමේ පාඨමාලාව වැනි  ඒවා කිරිමටද  ශිෂ්‍යයෙක් ලෙස මෙහි පැමිණිය හැකිය . 

එය වර්ග කර ඇත්තේ  vocational training යටතේය. 

තමා එන පාඨමාලව තෝරා ගැනීමේදී   මෙහි ස්ථිර පදිංචිය  ( Permanent Residency) සඳහා  හැකියාවක් ලැබෙන අධ්‍යන ක්‍රමයක් තෝරා ගන්නට  හැමදෙනාම උත්සුක වෙති . 

මේ සඳහා  හොඳ පරිගණක සහ අන්තර්ජාල දැනුමක් ඇති අයෙකුට වෙනත් කිසිදු උදව්වක් අවශ්‍ය නොවේ.   

අනෙක් අයට කලින් එහි ගිය අයෙක් සමග  විවුර්ත සංවාදයක් ( genuine discussion) මගින් හෝ නොඑසේනම් මේ සඳහා මුදල් අයකර සේවය සලසන   ඕස්ට්‍රේලියා රාජ්‍ය යේ පිළිගත් ඒජන්සියක්  හරහා  මේ කාර්යය කර ගත හැකිය.

මෙහිදී  තමන්ට යායුතු ප්‍රාන්තය, පාඨමාලව හැදෑරිය හැකි විශ්ව විද්‍යාලය , අඩුම පාඨමාලා ගාස්තු වැනි බොහෝ දේවල් සොයාබැලීමක් සිදු කෙරේ.

ඔස්ට්‍රේල්යානු මුදලෙත් තම තමන් එන රටේ මුදලේ වටිනකමේත් ඇති වෙනස සහ තම දෙමව්පියන්ට වියදම්හෝ කල හැකි හෝ  තමා රැස්ගකරගත් මුදල් ප්‍රමාණය අනුව මේ හැකියාවන් වෙනස් වේ. 

ඒ නිසා බොහෝ ශිෂ්‍ය විසා ලබා එන්නන් පාඨමාලවට ඇතුල් වීමට අවශ්‍ය අවම ගාස්තුව පමනක් ගෙවන අතර ඉතිරි මුදල්  අතිරේක රැකියාවක් කර සොයන්නට පෙළඹෙති .


ශිෂ්‍ය  රැකියා 




මා දන්නා හැටියට ශිෂ්‍යකුට  රැකියාවක් කල හැක්කේ සතියකට පැය විස්සක් පමණි. ඔහුගේ , ඇයගේ සහකරුවාටද එසේමය.  

මෙය වෙනස් වන්නේ ශිෂ්‍යයා  පස්චාත් උපාධියක් කරන්නේ නම් පමණි.  

එවිටද ශිෂ්‍යයාට  කල හැක්කේ පැය විස්සක් උපරිමයක් වුවද   ඔහුගේ ඇයගේ සහකරුවාට  සීමාරහිත කාලයක්  (සාමාන්‍යයෙන් සතියට පැය තිස්පහක්-හතළිහක් ) වැඩ කලහැකිය.

මේ සියළු දේවල් ඉතා තද නීති යටතේ ක්‍රියාත්මක වන අතර  ඕස්ට්‍රේලියානු  සංක්‍රමණික  ආයතනයේ වෙබ් අඩවිය මැනවින් අධ්‍යනය කිරීමෙන් මේ විස්තර හරියටම සොයාගත හැකිය.

මා මෙහි ලියන්නේ මගේ මිතුරන් සහ සමහර විට මා පුද්ගලිකව ලැබූ අත්දැකීම් නිසා පොඩි පොඩි වැරදි තිබිය හැකිය.  කරුණාකර නිවැරදිම තොරතොරු සඳහා ඒ  ඒ ආයතන වල  වෙබ් අඩවි බලන්න.

මෙම ක්‍රමය "ලංකවේ අය දකිනා හැටියට" ටිකක් දුෂ්කර ක්‍රමයක් වුවත්  අප දන්නා බොහෝ පිරිස් මේ ක්‍රමයට  සංක්‍රමණය වී සිටිති . 

අධ්‍යාපනය කාරනා අතරම  තම  වියහියදම් සඳහා මුදල් සෙවීමට සිදුවීම    මේ "දුෂ්කර බව" දැනීමට  හේතුවයි. 

එහෙත් මෙය  සියළු වර්ග වල ශිෂ්‍යයන්ට  අත් විඳින්නට  සිදුවන දෙයකි. 

උදාහරණයක් ලෙස ඔස්ට්‍රේලියානු ජාතික  සිසුන් ( මගේ විශ්ව විද්‍යාල  සිසුන් ) සුපර් මාර්කට් වල සපත්තු කඩ වල  සේල්ස්  ගල්ර්ස් ලා ලෙස සතිඅන්තයේ හමුවීම සාමාන්‍ය දෙයකි.


ලංකාව ඉන්දියාව වැනි රටවලින් එන සිසුන් පිට්සා  කඩවල, පෙට්‍රල් ස්ටේෂන් වල  සහ  බොහෝ  රජයේ ආයතන  පිරිසිදු කිරීමේ රස්සා වල යෙදෙන බව කවුරුත් දන්නා දෙයකි.

පත්තර බෙදීම,  ගෙවතු අලංකරණය වැනි රැකියා කරන්නේ අපේ රටේ අය පමනක් නොවේ.  

යුරෝපිය රට වලින් පැමිණි සිසුන් පවා තම ආර්ථිකය සහ රැකියාවන් පැහැදිලි වනතෙක් හෝ මෙවැනි රැකියා වල නිරතවෙති.

පත්තර බෙදීමේ රැකියාව  සඳහා  මෙහි ඇති ප්‍රධාන  සමාගම් දෙකකි .   එකක් PMP නමින් හඳුන්වන අතර අනෙක  Salmat නම් වේ. 

ඒ දෙකේ  සතියට දෙවතාවක්  බෙදා හරින්නට ලබා දෙන  වෙළඳ දැන්වීම් පත්‍රිකා  ගෙයින් ගෙට ගොස්  බෙදා දීම  කෙනෙකුගේ රැකියාවයි.  

මේ රැකියාවෙන් පැයකට ලැබෙන්නේ ඩොලර්  පහක -දහයක අදායමක් වුවද  තමන්ට කැමති වෙලාවක කීරීමට හැකිවීම ( රෑ දොළහට හෝ දහවල දොළහට වුවත් ) එහි ඇති ප්‍රධාන වාසියකි. 

අනෙකුත් රැකියා බොහොමයක අවම පැයක වැටුපක් රජයෙන් නියම කර ඇති අතර එය අප සිසුන් කාලයේ  ඩොලර් පහළොවකි.  දැන් එය අනිවාර්යයෙන් එයට වැඩි විය යුතුය. 

 පුරුද්දක්අ ලෙස අපේ අය  ( අවුරුදු ගණනාවකට කලින් මෙහි පැමිණි හෝ  කෙලින්ම   යහපත් ආරථික මට්ටම් ඇති රැකියා වලට පැමිණි අය ) සමහර විට මෙවනි සිසුන් ලෙස  බලන්නේ , මෙවැනි අය ගැන සිතන්නේ අත පල්ලෙන් වැටුණු ගාණටය. 

එහෙත් මේ බොහෝ දෙනෙක්  සංක්‍රමණය කල මුල්ම අවධියේ "මේ කට්ට කෑ අය බව "  ඔවුන් සමග  විවුර්ත සංවාදයක් ( genuine discussion) කිරීම මගින් දැන ගත හැකිවේ. 

මේ  එවන්උ අවස්ථාවකි.

දිනක් මා ඉන්නා පළාතේ ඉන්න ප්‍රසිද්ධ ඉංජිනේරුවෙක්   ( මගේ ලඟම හිතවතෙක් ) 

"කවිඳු මොකද අනේ අර ලංකාවේ අච්චර සල්ලි තියෙන ළමයි මෙහෙ ඇවිල්ලා දුක් විඳින්නේ " 

යැයි මගෙන්  ඇසුවේය. මට මතක හැටියට එය මිට වසර දෙකකට පමණ පෙරදී ඇති වූ කතා බහකි. 

ඒ මා හිතවත් කම් දක්වන  ලංකාවේ බස් හිමි , කඩ සාප්පු  හිමි පවුලක මල්ලී කෙනෙක් මේ පළාතේ  සුපර් මාර්කට්  පිරිසිදු කිරීමේ කොන්තරාත්තුව අරගෙන පැමිණි මුල් කාලයේය.

මා මගේ මිත්‍රයට ( මොහු දැන් ඔස්ට්‍රේලිවේ ඉන්න ලොකු සල්ලි කාරයෙකි )මා   දුන්නේ ඉතා සරළ පිළිතුරකි . 

එහි අගට   ඔහුට යොමු කෙරුණු ප්‍රශ්නයක් ද විය .

"අපිට  ඒක ප්‍රශ්නයක් වෙන්න ඕනේ  නැනේ  #$% ..

අපි මුලින්ම පිටරටකට  ඇවිත් ජිවත් වූ මාස කිපය  ගැන හිතුවනම්   ඒ මල්ලිලායි අපියි අතර ලොකු වෙනසක් නෑ නේද කියලා හිතෙයි ඔයාට"  

"මමනම් හිතන්නේ එහෙම යි . එ

හෙම කෙනෙක් "දුක් විඳිනවා .. කට්ටක් කනවා "

 කියලා මට කවුරු හරි මතක් කලොත් පොඩ්ඩක් අපේ මුල් කාලෙට ගිහින් බලනවා "

"හැබැටම   #$%  ඔයාලා ආපු මුල්ම  කාලේ  ඔය වගේ අමාරුකම්  තිබ්බේ නැද්ද?

පොඩි පොඩි රස්සා කරන්න වීම් වගේ "

"මොකෝ නැත්තේ .. ඒ දවස්වල @&%$ මෙල්බන් වල  ස්පෝට්ස් සෙන්ටර් එකක් පිරිසිදු කරලා ගෙදර එන්නේ රෑ  තුනට විතර  ..

අපිත් ඒ වගේ දුක් විඳලා තියෙනවා . 

ඒත් මන් කල්පනා කරන්නේ කවිඳු .. 

මේ පොඩි ළමයි ..අම්මලා තාත්තලාට  අරහේ  විසිකරන්න සල්ලි .. මේ රට වල් වල ඇවිල්ල දුක් විඳිනවා නේ "  

" #$% . අපි ඒ ගැන කලබල වෙන්න ඕනේ නෑ . ඒක එයාලට  ඕනේ නිසා කරන දෙයක් නේ.. ඔය ළමයිනුත්  අපි වගේ අවුරුදු දහයක් පහළොවක් මෙහෙ ඉන්න කොට  අපිටත් වඩා "සැපට "  ඉඳියි..

"ඔව්.. ඔව්  කවිඳු ඒකත් ඇත්ත තමයි .."

සීනියර්  ඉංජිනේරු මහතා සහ මගේ දුරකතන සංවාදය අවසාන වුයේ එසේය. 

 #$% . මහතාගේ  මේ දුරකථන ඇමතුමට හේතුව වුයේ ඊට කලින් තිබු සති අන්තයේ අපේ සුපුන්ගේ උපන්දින සාදයට  මේ  පිරිසිදු කරන මල්ලිද ප්‍රධාන අරාධිතයෙක් වූ බැවිනි.  

මගේ නිවසේ සින්දු කියමින් නිදහසේ විනෝද වූ  ඒ තරුණ යුවල  රැකියා ලෙස කරන්නේ  පිරිසිදු කිරීමේ කොන්ත්‍රාත්තුව ( තරුණයා )   සහ KFC එකක කැෂියර්  තනතුර  ( තරුණිය )  වීම  #$% . මහතාගේ ඒ සංවාදයට  නිමිත්ත වන්නට ඇත.



සිසුන්ලෙස එන ලොකු  ලොක්කන්ගේ  දරුවෝ 


ලංකාවේ  පක්ෂ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකේම මැති ඇමති වරුන්ගේ  දුවරු සහ පුත්තුද  විශාල පිරිසක්  
සිසුන් ලෙස මෙහි පැමිණ සිටිති.
ප්‍රසිද්ධ කලාකරුවන්ගේ දරුවන්ද ඒ අතර වෙති. 

සුප්‍රකට  බැල්කනියකින් වැටීමේ සිද්ධිය  සහ  නිතර නිතර මෙල්බන් නුවර පැවැත්වෙන සංගීත ප්‍රසංග වලට  හේතුවක් වන්නේ  මේ අයගේ දුවා දරුවන් මේ රටේ පදිංචි වී සිටීමයි.

ඒ අයද  ගත කරන්නේ මා ඉහතින් සඳහන් කල  ආකාරයේ රැකියා කරන වරගයේ ශිෂ්‍ය ජිවිත මය. 

හේතුව අම්මලා තාත්තලා කොතරම් ලංකවේ මුදල් රැස් කලත් එය මේ මුදලේ අගයට පරිවර්තනය කල විට එය සිය ගුණයකින් අඩු වීමයි.

මා අසා ඇති පරිදි හිටපු අගමැති තුමාගේ දියණිය,  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් , උදය ගම්මන්පිල මහතා වැනි අය මෙල්බන් නුවර ශිෂ්‍ය ජිවත ගත කොට නැවත ලංකාවට  පැමිණි අය වෙති.

කලාකරු  රෝහණ වීරසිංහ මහතාගේ පුතෙක් සහ සුනිල් එදිරිසිංහ මහතා හේ පුතෙක් මෙල්බන්  නුවර වාසය කරන බවද මා අසා ඇත්තෙමි.


මම ශිෂ්‍යයෙක් ලෙස ගතකල කාලයේ අවසාන දිනවල මට හමුවූ එවැන්නෙක් මගේ මතකයට එයි.

ඔහු එවකට පැවති විපක්ෂයේ ( යුඇන්පී එකේ ) හිටපු ඇමතිවරයෙකුගේ පුතෙකි. 

ඉතා තදබල සෙල්ලක්කාරයෙකු වූ ඔහු ගේ විනෝදාංශ ය වුයේ  තරුණ සිසුවියන් ආශ්‍රය සහ රේසින් කාර් පැදීම බව මා අසා තිබේ.







අප දන්නා කෙනෙකුගේ නිවසේ නැවතී සිටි මේ සිසුවා මට හමුවූ ප්‍රථම දිනයේ  ( කොලබෙදීමේ  රැකියාවක් සොයා දීමට ) අප දෙදෙනා අතර ඇතිවූ සාකච්චාව  ඔබ හැමෝටම වැදගත් වේ යැයි සිතමි.

රට හදන්නට අවුරුදු පහෙන් පහට බලයට පත්කරගනනා කණ්ඩායම් දෙකේ ඇයගේ දරුවන් ( අනාගතයේ අපේ රටේ පාලකයන් ) හැසිරෙන්නේ කෙසේද යන්න ඔබට එයින් වටහා ගත් හැකි වන නිසයි.

"හලෝ කවිදු අය්යා මට  $%#@ අය්යා කිව්වා ඔයාව හම්බවෙන්න කියලා කොළ ජොබ් එකක් හොයාගන්න "

"ආ .. ඔයාද  $%#@ අය්යලා ගෙදර ඉන්නේ ? හරි හරි එයා මට කිව්වා තමයි "

"මල්ලී කොහෙද?  "

"අපි කුරුණෑගල අය්යා.. "

"එතකොට ඔයාලා අම්මා තාත්තා ? "

"ඒ ගොල්ලෝ දැනට
ලංකාවේ ඉන්නේ අය්යේ . අපේ තාත්තා හිටපු ඇමතිකෙනෙක් "

"යුඇන්පී ද ? ශ්‍රී ලංකාද ? "

"යුඇන්පී අය්යා එයා තමයි හිටපු  #@#(%&+ ඇමති"

"මට යුඇන්පී හාදයෝ නම් පෙන්නන්න බෑ .. එත් ඔයාට උදව් කරන්න ඒක ප්‍රශ්නයක් නෙවෙයි "

"නෑ අය්යා ඒ වුනාට අපේ තාත්තා  හරි අහිංසකයි.. අනික් යුඇන්පී අය වාගේ නෙවෙයි  . "

"ඔයාලා ගෙදර එතකොට ඔයා විතරද?"

  "නෑ මමයි අක්කයි  . අක්කා ඇමෙරිකාවේ  උපාධියක් කරනවා .. "

"අක්කා . ඇමෙරිකාවේ මල්ලි ඕස්ට්‍රේලියාවේ නියමයිනේ.. වියදම් කරන්නේ ?"

"තාත්තලා තමයි. 

මම එහෙන් මෙහෙන් කෑමට එහෙම වියදම් හොයාගන්නවා "

ඉතින් මලයා දැන් තාත්තා ආණ්ඩුවේ නෙවෙයිනේ ...  ඔයාලට සල්ලි වලින් කරදර ඇති ඒ නිසා "

නෑ නෑ අය්යා.. 

අපේ තාත්තාගේ යාළුවෝ නේ ආණ්ඩුව පැත්තේ ඉන්නේ එයාලා තාත්තට තමයි ඔක්කොම ගොඩනැගිලි හදන කොන්ත්‍රාත් දෙන්නේ එයා දැන් කරන්නේ කොන්ත්‍රාත් .. 

අපිට ඒ කාලේ වගේම සල්ලි තියෙනවා නැත්තේ  ඇමති තුමා කියන නාමේ විතරයි. "

"ඉතින් මල්ලි ..ඔයාගේ උපාධිය ඉවර වෙන්න ලඟද? "

"නෑ නේ මගේ මේ වැඩ නිසා කිහිප සැරයක්ම  කෝස් මාරු කළා . තවම ඩිග්රි එකක් ඉවර කලේ නෑ .."

"ඒක ටිකක් භයානකයි නේ මල්ලී උපාධිය ඉවර කර ගන්න බැරිවුනොත් ලංකාවට යන්න වෙයි නේ ඔයාට"

"ගානක් නෑ අය්යා . කරගන්න බැරිවුනොත් ආපහු ලංකාවට යනවා."

"ගිහිල්ලා ?  කොන්ත්‍රාත් කරනවද .. දේශපාලනේට යනවද? "

"ඔව් අය්යා ඒ දෙකම තමයි  තමයි ඉතින් මට කරන්න වෙන්නේ "

"හරි හරි .. එහෙනම් කුරුණෑගල පළාත් සභා මන්ත්‍රී විදිහට ඔයා හම්බවෙන්න ලැබෙයි "

"ඔව් .. ඔව් දිගටම දේශපාලනේ හිටියොත් ඇමති කෙනෙක් වෙන්නත් බැරි නෑ "

තම රටේ දුක් විඳින මිනිසුන්ගේ ධනයෙන් මේ රටට ඉගෙන ගන්න කියා ඇවිත් එය අමතක කර දමා සෙල්ලකාර ජිවිතයක් ගෙවන  @#$%))%@  මල්ලී මා සමග  කල සාකච්චාව  එවැන්නකි.

(ඒ පළාතේ සිටි අනෙක් ලංකික සිසුන්ගෙන් අසා දැන ගත් කරුණු අනුව මොහු තමන් පැමිණි උපාධිය නොකර කාන්තාවන් ආශ්‍රය සහ  කාර් වලින් රේස් යෑම වැනි දේවල් කරමින් කාලය ගෙවූ අයෙකි)

මම ගල් ගැසී ගියෙමි.

 @#$%))%@  මල්ලීට කොලපාරවල් දෙකක් අරන් දුන් මා ඔහු වහාම  මා නිවසින් පිටත් කර හැරියෙමි. 

මට අපේ ගම් වල සිටිනා මගේ නංගිලා මල්ලිලා ඇතුළු නෑදෑයින් ගැන තදබල දුකක් දැනිණි. 

ඔවුන් කල්ලි වලට බෙදී අවුරුදු හයෙන් හයට කරනා අපරාධයේ  ප්‍රතිඵල මා අසලම සිටි.  

"දෙය්යනේ.... මගේ රටට දෙවියන්ගේ පිහිටයි !!!  . බුදු සරණයි දෙවි පිහිටයි !!! " 

මගේ ධාර්මික සිත ප්‍රාර්ථනය කලේ ඉබේටමය.






මා මා මිත්‍ර සමන්ත විදයරත්නට  චන්දයක් දීපල්ලා  යැයි කිවූ විට ජ.වී. පෙ. මිනීමැරුම් , භිෂණ ආදිය ගැන කතා කරමින් වාද කල මගේ මස්සිනාලා ගැන මට බලවත් දුකක් ඇතිවිය.



මේ ශිෂ්‍යයා වැනි  කොල්ලෙක් තව අවුරුදු පහකින් ලංකාවට ඇවිත් 

" දිනු දෑය අනතුරේ රට බෙදෙන්නයි යන්නේ ... අහවල් පක්ෂේ හොර ගිවිසුමක් ගහලා  .. රට බේරාගන්න  මා වටා රොක්වව් "

කියූ සැණින් ඔහු තරුණ මන්ත්‍රී කෙනෙක් වනු ඇත.

ඒ සඳහා  ඔහුට අත්වශයම සුදුසුකම  ( ප්‍රධාන ධාරාවේ පක්ෂ දෙකේ මන්ත්‍රී කෙනෙකුගේ පුතෙකු වීම ) ඉහලින්ම තිබේ. 

අපේ රටේ අනාගතය මේ වගේ තරුණ කාලයක් ගතකල  අයෙක් විසින් තීරණය කරනු ඇත.





ලොකු ලොක්කන්ගේ සමහර දරුවෝ එසේ වුවද සිසුන් ලෙස පැමිණ  හොඳ දේවල් කරන්නෝද නැත්තේම නොවේ  .

විශේෂයෙන් කළා කරුවන්ගේ දරුවන්  මේ රටේද කලා කටයතු කරමින් සිටිනා අවස්ථා එමට තිබේ  . ඒ ගැන ඉදිරියේදී  ....



Thursday, 21 July 2016

ජලය පෙනී පෙනී පිපාසයෙන් සැනසුණු අශ්වයෝ (නුලෙන් මිස් වුන ඕස්ට්‍රේලියා ගමනක අනුවේදනීය කථාව....)



පසුගිය කලාප වලින්.





මේ වනවිට  අපේ කට්ටිය මේසන් පාඨමාලාවත් උයන්හේවා මහතා මගින් NITA SL හි පැවැත්වූ කඩිනම් ඉංග්‍රීසි පාඩම් මාලාවත් අවසන් කර සිටියහ.  

මම සියළු පාඨමාලා අවසන් බැවින් IELTS කරන ලෙසත් ඒ සඳහා බ්‍රිටිෂ් කවුන්සිලයට ගොස්  ලියාපදිංචි වන ලෙසත්  අපේ මස්සිනාලට උපදෙස් දුන්නෙමි.  

මෙහිදී ලෙනදොර පමණක් බ්‍රිතාන්‍ය කවුන්සිලයේ ලියාපදිංචි වූ අතර  විපුල් ද ඉංග්‍රීසි විභාගය කරන්නෙමියි කියා කොළඹ නැවතුණේය.

අපේ ලොකු අක්කාගේ මහත්තයා සහ පොඩි නංගිගේ මහත්තයා පාඨමාලා දෙක අවසන් කර ලැබුණු සහතික ආදිය රැගෙන අරලගන්විලට පැමිණියහ. එසේ පැමිණුන ඒ දෙදෙනා තම තමන්ගේ රස්සා වල නැවත නිරත වූහ.

"සුදු  දැන් කෝස්  එක ඉවරයි නේද ? දැන්  ඔය දෙන්නා IELTS  කරන්නේ නැද්ද? "

 මම දවසක් අපේ පොඩි නංගිගේ මහත්තයා ගෙන් ඇසුවෙමි .

"නෑ අය්යා . මායි අය්යයි කතා වුණා අපේ ඉංග්‍රීසි දැනුම මදී කියලා ඒක නිසා අපි විභාගේ ලියන එකේ තේරුමක් නෑ කියලා හිතුවා."

"උඹලට ඒ පණ්ඩිතකම් වලින් වැඩක් නෑනේ.. මම විභාග ගාස්තු ගෙවනවා නේ .. නිකන් හරි ගිහිල්ලා ලියන්න තියෙන්නේ  ලකුණු කියක් ගන්න පුළුවන්ද  බලන්න හරි. "

මම පැවසුවේ මෙච්චර කරපු එකේ ඒකත් කරලා බලන එක හොඳයි කියා සිතුනු බැවිණි.

"නෑ.. නෑ.. කාගේ වුනත් සල්ලිනේ ?  අපි ෆේල් වුනොත් අපරාදේ අය්යාගේ සල්ලි   නාස්ති වෙන එක විතරයි වෙන්නේ?"

කතාවේ හැටියට ඒ දෙදෙනා නම් ජීවිතේට IELTS  කරන පාටක් නැත.

"හරි උඹලා දෙන්නා කරන්නේ නෑ කියමුකෝ ? මොකද විපුල් අය්යා කියන්නේ ?"

"එයා කොළඹ නැවතුනා කොහොම හරි ඉංග්‍රීසි ගොඩ දාගෙන තමයි එන්නේ කිව්වා. "

"නියමයි. එයයි ලෙනදොරයි නම් කොහොම හරි IELTS  කරයි මම හිතන්නේ"

මගේ යටිහිතේ සැකයක් නැත්තේම නැති වුවද මෙතෙක් කල වැඩ වල ප්‍රතිඵලයක් නැති වෙවී යැයි පිළිගන්නට අකමැති මගේ  මුවින් සැනසුම් වදනක් පිටවුවේය.

"ඔව් .. ඔව් ඒ දෙන්නා නම් කියනවා කොහොම හරි ඔස්ට්‍රේලියාවට ගිහින් තමයි පස්ස බලන්නේ කියලා "

සුදු මා අස්වැසුවේ   අය්යා සහ ඔහු එතරම්බ උනන්දු නැති වුවද අනෙක් දෙදෙනා අප හා එකතු වනු ඇති බවට ඉඟි පළකරමිනි.  

ව්‍යාපෘතියේ සාර්ථකත්වය  සියයට පණහක් වත් විය  හැකි දැන ගත් මා ඒත් මදැයි සිතා සතුටින් පසුවුයෙමි.

පිටරටකට  යන්න ......ඉංග්‍රීසි කරන්න.......




වසරේ දෙදාහේ මා කථිකාචාර්ය වරයෙක් ලෙස විශ්ව විද්‍යාලයට බැඳුනු කාලයේම  විදේශගත වීමට ( අධ්‍යන කටයුතු සඳහා) අවශ්‍ය ඉංග්‍රීසි විභාග ගැන උනන්දු වූ හැටි මතකය. 

ඒ කාලේ මුලින්ම IELTS  හෝ TOEFL යන දෙකෙන් එකක් කල යුතුයි  යන අදහස මට ලැබුණා මතකය.

කැනඩාවට  හෝ ඇමෙරිකාවට  යන්නෙමියි මුලින් සිතා සිටි මා විශ්ව විද්‍යාලයේ වැඩ නැතිවෙලාවට  TOEFL  විභාගය සඳහා සුදානම් වුයෙමි.

ඇත්ත වශයෙන් කිවහොත්  මා පිළිගන්නට සුදානම් කිසිදු රටක් නොමැතිව  මම TOEFL  ලකුණු 478 ක්  වැනි ප්‍රමානයක් ගෙන  සමත්වූ  හැටි තාම මතකය.

ඒ 2001-2002  වසර වලින් එකකදීය. . 

කෙසේ වුවත්   2003 වසරේ  නෙදර්ලන්ත ගමන සඳහා මට ප්‍රයෝජනවත්  වුයේ  මේ  TOEFL   ප්‍රතිඵලයයි. 

IELTS  හෝ TOEFL යන දෙකෙන් එකක්  තිබුණොත් මා  මාස්ටර්  උපාධියට  බාර ගන්නා  බව "ආහුස් විශ්ව විද්‍යාලය " පවසා තිබුණි.  

ඒ අනුව මම කිසිදු  පැහැදිලි ඉලක්කයක් නොමැතිව පවා කල  විභාගයක් මට ප්‍රයෝජනවත්  වුණේ  එලෙසයි. 

මා අපේ  නෑදෑයින්ට  නිතර නිතර මතක් කලේද මේ සංසිද්ධි යයි.

ගඩොල් ඇතිරීමේ පාඨමාලාව මෙන්ම IELTS වැනි විභාග කර තිබීම  කවදාවත් අපතේ නොයන  අත්දැකීම්ය  .

 IELTS වලංගු වන්නේ අවුරුදු දෙකකට පමණක් වුවද  විභාගයට වරක් හෝ මුහුණ දී ලබාගන්නා අත්දැකීම ඉතා ප්‍රයෝජනවත් එකකි .  

මා හතරදෙනාම එක වරක් හෝ  ඉංග්‍රීසි විභාගය කල යුතුය යන පදනමක  සිටියේ එබැවිනි.

මා දුක් විඳ මුදල් හොයන බව ඇත්තකි. එහෙත් මා හිත හොඳින් දෙන  මුදල්  යොදවා එවැනි වැදගත් වැඩක්  කිරීම මුදල් අපතේ යාමක් ලෙස මම නම් කවදාවත් සිතුවේ නැත.

කෙසේ හෝ වේවා අවසානයේ  මගේ  අදහස් මුදුන් පමුණුවන්නට ඉතිරි වුයේ  ඒ වනවිට  තම බිස්නස්  වලින් පාඩු වී ගැලවෙන්නට  මගක් සොයමින් සිටි විපුල් සහ  "විශ්‍රාමික  හමුදා  සෙබලෙකු " වූ ලෙනදොරත්  පමණි.


IELTS විභාගය  සහ ප්‍රතිඵල



මේ වන විට ලෙනදොර නැවතත් මාවනැල්ලට ගොස්  කෑගල්ලේ ඉංග්‍රීසි පන්තියකට ගිය අතර විපුල් දිගටම කොළඹ නැවතී සිටියේය.

ළමයින් තිදෙනෙකුගේ පියෙක් පවුලෙන් ඈත් කර කොළඹ නවත්වා තැබීම ගැන මට යම් යම් චෝදනාද එල්ලවන්නට  පටන් ගත්තේය.

මේ කතා වලට  යම් පදනමක් වැටෙන බව මට හැඟෙන්නට වුයේ විපුල් දිගටම මගෙන් මුදල් ගෙන කොළඹ ඉන්න බෑ කියා රස්සාවක් සොයාගැනීමත් සමගය.

ඔහු රස්සාවට ගියේ ඒ කලේ ප්‍රසිද්ධ "විචිත්‍ර ධර්ම කථික " තරුණ හාමුදුරුවන් කෙනෙක් ගේ    ලේකම් ලෙසයි.

මේ හාමුදුරුවන් වහන්සේ නිතර රුපවාහිනි වල මතුවන , රැස් විහිදෙන පෙනුමක් ඇති කෙනෙකි.  මා කොතරම් එපා කීවද විපුල් මසකට රුපියල් 20000 ක රැකියාවට  එම  පන්සලට ගියේය.

ඔහුට තිබුණේ  පිට රට ඉන්නා දායකයින්  ලක්ෂ තුන බැගින් වෙන්කර භාර ගන්නා කළුගල් වලින් හදන අටවිසි බුදු පිළිම  වලට ලැබෙන ආධාර  ගණුදෙනු සහ එකල රජයේ ප්‍රසිද්ධ ඇමති බිරින්දෑ වරු ආදීන් පන්සලට දෙන ආධාර ලැයිස්තු ගත කිරීම ආදී  රාජකාරින්ය.

මේ වනවිටත් මම දිගින් දිගටම විපුල් හා ලෙනදොර සමග දුරකථන ගණුදෙනු කලේ ඔවුන් දෙදෙනා  විභාගයට  සුදානම් වෙමින් සිටි නිසයි.

එහෙත් එක් දිනක විපුල් හා මා අතර ඇති වූ දුරකථන සංවාදයකින් පසු මගේ විපුල් ගැන තිබු බලාපොරොත්තු ද කෙමෙන් කෙමෙන් අඩු වන්නට විය.

"මල්ලී කොහොමද දැන් වැඩ?  පන්සලේ වැඩ ලේසියිද?"

"ඔව් ..ඔව් අය්යා .මට තියෙන්නේ දායක දායිකාවන් දෙන මුදල් පොත් පත් ලේජර වල සඳහන් කරන්න "

"හාමුදුරුවෝ දන්නවද ඔයාට කොමර්ස් වලින් බී එකයි සී තුනක් තියෙනවා කියලා ?"

"ඔව් .. ඔව් .. ඒකනේ  බුදු පිළිම හදන්න මේසන් කෙනෙක් ලෙස රස්සාවකට ඉන්ටවිව් කරලා මට ලේකම් කමක් දුන්නේ '

"ඒක නෙවෙයි ඔය හාමුදුරුවෝ දිලිසි දිලිසි ඉන්න කෙනෙක් නේද ? අමුතු පාටක සිවුරක් එහෙම ඇඳලා? "

"ඔව් අය්යා.. හාමුදුරුවන්ට කුටියේ ඉඳලා බුදුගෙට යන්න උඩින් පාරක් හදලා තියෙන්නේ ?"

"ඇයි ඒ.. හරිනම් උපාසකයින් එක්ක කතා කර කර යන්න එපැයි "  මම විමතියෙන් ඇසුවෙමි..

"ඇයි එන ගෑණු කට්ටිය  උන්වහන්සේ ගේ ඇඟ අතගාන්න පොරකනවා කියලා එකෙන් බේරෙන්න නේ "

විපුල් පැවසුවේ මා  පුදුමයට පත් කරමිනි.

"ඒක නෙවෙයි අය්යා මේ හාමුදුරුවන්ගේ අලුත්ම ප්‍රොජෙක්ට් එක  අට විසි බුද්ධ වන්දනා  ගල් පුවරු වල ලියන එක .

ලෝකේ හැම රටකම මිනිස්සු ආධාර කරනවා.  මම නේ ලේකම් වැඩ කරන්නේ . මාර සල්ලියක් එනවා අය්යා.

එක ගල් පුවරුවක් ලක්ෂ තුනයි. ,

මේ ඊයෙත් කැනඩාවේ නෝනා කෙනෙක්  ලක්ෂ තුනක් දුන්නා.  

විහිලුවකට නෙවෙයි අය්යා . අය්යත් එකක් ගන්න තියෙන්නේ.. ලක්ෂ තුනක් විතරනේ යන්නේ "

විපුල් කියාගෙන ගියේ මා පිංකම් දෙස බලනා ආකාරය නොදන්නා පරිද්දෙනි.

මා මෙතෙක් ඔහු සහ අනෙක් තිදෙනෙක් වෙනුවෙන් කලේ "පිං කමකි " 

 ඒ මගේ හිතට සතුටක් ලබා දෙන , එමෙන්ම රටට ලෝකෙට වැඩක් වෙන "මගේ වර්ගයේ පිංකමකි".  

කතාවේ හැටියට විපුල් හිතන්නේ මට පිනක් ලැබීමට නම්  මේ අසපු හාමුදුරුවන්ගේ  ගල් පුවරුවක් වෙන් කල ගතයුතු බවය.

"දැන් කොහොමද විභාගේ වැඩ ? කරගෙන යනවා අය්යා. තවම විභාගෙට දිනයක් නැද්ද?  "

'ගත්තේ නෑ අය්යා මට තව ටිකක් දැනුම මැදි කියලා හිතුණා"

දැන් දැන් මගේ විපුල් ගැන තිබු බලාපොරොත්තුව අඩුවෙනවා මෙන්ම ඉවසීමේ සීමාවද ඉක්මවා යමින් පවතී.

"මල්ලී මම ඔයාට රුපියල් විසි පන්දාහක් එවනවා ගිහිලලා විභාගෙට සල්ලි බඳින්න . 

නිකන් හරි එක පාරක් කරලා බලමු . ඔයාගේ ඉංග්‍රීසි දැනුම කොච්චරද කියලා හරි බලා ගත්තැකි නේ ?

අන්න ලෙන්දොර නම් නුවර  බ්‍රිටිෂ් කවුන්සිල් එකේ විභාගේ ලියනවලු .."

අවසානයේ මම විපුල්ට  පැවසුවේ .....

"මේ උඹ ගැන මගේ තිබෙන අන්තිම බලාපොරොත්තු වයි"  යන්න නොකියා කියමිනි.

ලෙනදොරට මුදල් යැවූ අවස්ථාවේම විපුල්ටද  මුදල් යැව්වෙමි. ඒ ඔහු එපා කියද්දිය.  

ලෙනදොර විභාගය කල අතර ඔහුට තිබුණේ  IELTS   ලකුණු තුනයි දශම පහක් පමණි.

මා ඒ අසා ඉතාමත් සතුටු වුයේ  තව කිහිප වරක් විභාගය කළහොත් ලෙනදොරට අනිවාර්යයෙන්ම  ඔස්ට්‍රේලියාවට යා හැකි බව දැනගෙන සිටි නිසයි.

"මල්ලී මේ රිසල්ට් එක සැහෙන්න හොඳයි . ආයිත් කරන්න කියා ඔහුට දෙවැනි වතාවටත් විභාග ගාස්තු යැව්වෙමි.  "
ලෙනදොර ඇත්තටම විභාගේ කර තිබු අතර ඔහු විභාග අංකය මට ලබා දුන් නිසා එය සත්‍ය බව දැන ගත්තෙමි.

විපුල් විභාගේ කොළඹ කල බවත්  ලකුණු හතරක් ලබා ගත් බවත් අපේ නංගි මට පැවසුවාය.

"චුටි අය්යා ආයේ සල්ලි එවන්න එපා . එයා IELTS   ආයි කරන්නේ නෑ කිව්වා.. " අපේ නංගි  විපුල්ගේ ඔසී ගමන සම්බන්ධ සියළු දොරටු වැසි ඇති බව මට දැනුම් දුන්නාය. 

ලෙනදොර දෙවැනි වර විභාගය කර ලබාගත්තේ ලකුණු හතරක් හෝ හතරයි දශම පහකි.  

ඔහුද ඉන්පසු ඕස්ටේලියා එන අදහස අත  හැරියේය.






පසු සටහන:


මේ දෙදෙනාම කුරුණෑගල පැවැත්වූ ඉදිකිරීම් පිලිබඳ උපාධියක් කීරීමට තේරුණත් ( ගඩොල් ඇතිරීමේ සහතික පත්‍රයේ ඊළඟ පියවර) ඒ සඳහා ඔවුන්ට කාලය සොයාගැනීම ගැටළුවක් විය ( ළමයින්ගේ සහ පවුල් වල රාජකාරි නිසා).   

විපුල් පංසලට එන ප්‍රධාන දායිකාවක් ( එකල ප්‍රවාහන ඇමතිගේ බිරිඳ) හරහා අරලගන්විල ඩිපෝවේ රස්සාවකට ගියේය.

ලෙනදොර තමන් උගත් ඉංග්‍රීසි සහ පරිගණක දැනුමෙන්  ප්‍රයෝජන ගෙන දැන්  "ටුවරිස්ට් ගයිඩ් කෙනෙක්" ලෙස තමන්ගේම රැකියාවක් කරයි.  

මේ කතාව  ඕස්ට්‍රේලියාවේ පැමිණ සාර්ථක ව්‍යාපාරිකයෙකු බවට පත් වී ඇති මගේ අතීසාර මිත්‍රයා චමින්ද රාජපක්ෂට  කීවා මතකය.

ඔහු මට ගොඩක් දැන මුතුකම් දී මෙන්න මේ  වාක්‍යයෙන් කතාව අහවර කළේය..



"දුක් වෙන්න එපා මචං  .. අපිට අශ්වයා වතුර ලඟට ගෙනියන්න පුළුවන් .. එත් ඌට වතුර පොවන්න අපිට  බෑනේ...උඹ කරන්න හැදුවේ හොඳ දෙයක් .. උන්ගේ වෙලාවට ඒක හරිගියේ නෑ..."



Monday, 18 July 2016

ඔස්ට්‍රේලියාව පෙනෙන නොපෙනන මානයේ...


ඉඹුලාන  මහතාගේ  ආයතනයෙන් පැවැත්වූ  පෙදරේරු  ( ගඩොල් ඇතිරීමේ ) පාඨමාලාව සාර්ථකව නිමකල අපේ කට්ටිය  Mason NVQ level IV සහතික  ලබා ගත්හ.




මේ වනවිට  මම  ඕස්ට්‍රේලියාවේ  මෙල්බන් නුවර සිටි  එවකට ලංකාවේ වුර්තිය පුහුණු අමාත්‍ය අංශයේ ලේකම් තුමාගේ  පුත් "මිතිල  පාතේගම " සමග දුරකථන මගින් සම්බන්ධ වී සිටියෙමි.




මිතිලගේ  අංකය මට ලබා දුන්නේ  එය ඉඹුලාන ගෙන් ඉල්ලා ගත්  අපේ ලෙනදොර මල්ලී විසිනි.

මිතිල  හා මා අතර ඇති වූ සාකච්චා ඉතා සාර්ථක විය. මිතිල  ලංකාවෙන්  ඕස්ට්‍රේලියාවේ  බටහිර  ප්‍රදේශයට   මේසන් වරු ගෙන්වන  ද්විපාර්ශවිය ගිවිසුම ගැන සියළු විස්තර මට සපයා දුන්නේය.


එම ගිවිසුම  අත්සන් කර තිබුණේ  බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ  ටෙක්නිකල් කොලිජියත්   (TAFE WA)  NITA SL දැන් වුර්තිය පුහුණු විශ්ව විද්යාලය   සමගයයි . 

ඒ මිතිලගේ තාත්තා ස්ථිර ලේකම් ධුරය දැරූ ශ්‍රී ලංකාවේ  වුර්තිය පුහුණු හා විදේශ රැකියා අමාත්‍යන්ශයේ මැදිහත් වීම මතයි.

මෙම විශ්ව විද්‍යාලය  රත්මලාන  ප්‍රදේශයේ පිහිටා ඇති අතර  ලෙනදොර හරහා මා හඳුනා ගත්  උයන්හේවා මහතා තවමත් එහි කථිකාචාර්ය වරයෙක් ලෙස කටයුතු කරයි.



මිතිල සඳහන් කල තොරතුරු, ඉඹුලාන මහතා සමග වූ දුරකථන සාකච්චා සහ  උයන්හේවා  මහතාගේ  සමග ඇති වූ සකච්චා වල ප්‍රතිඵලය වුයේ ඇමතිගේ චිට් එකෙන් එන හතලිහක කණ්ඩායම සමග අපේ හතරදෙනාට ද ඔස්ට්‍රේලියාවට ඒමට  සියළු වැඩ කටයුතු සැලසෙන බව ස්ථිර වීමයි.

ඒ පදනම මත උයනහේවා මහතා වුර්තිය පුහුණු අමත්යන්ශ්යෙන්  ඉංග්‍රීසි ඉගැන්වීමේ කඩිනම් පාඨමාලවට  තමන් ලඟට ආ හතලිස් දෙනා අතරට අපේ හතර දෙනාද  රිංගවා ගත්තේය.

ඒ අනුව මගේ සියළු සැලසුම් පොතේ හැටියට සිදුවුවහොත් වසරක් දෙකක් අතුලත  අපේ මස්සිනා වාරු පැයට ඩොලර් හතලිහක -පනහක වැටුපක් ලබන රැකියා ලබා බටහිර ඕස්ට්‍රේලියාවේ පදිංචියට එනු ඇත.

මා පිටරට ඒමට කල කැපකිරීම් හා මහන්සිය සලකු විට ඔවුන්ට කරන්නට ඇත්තේ ඉතා සුළු වැඩ කොටසකි.

ඉංග්‍රීසි භාෂාව සහ "අපේ අය "


මේ අතර අපේ කට්ටිය චමරිය ජයටම කරගෙන යමින්  IELTS අරමුණු කරගෙන කෙරුණු උයනහේවා විසින් වෘත්තීය පුහුණු විශ්ව විද්යාලය තුල පැවැත්වූ  ඉංග්‍රීසි පංතියට  සහභාගී වූහ.

"හලෝ මිස්ට උයනහේවා  .. මම කවිඳු  කතාකරන්නේ ? කොහොමද ඔයාලගේ වැඩ පිළිවෙල?"

ඉංග්‍රීසි පාඨමාලාව මැද හරියකදී මා ගත් දුරකථන ඇමතුමකි.

"හොඳයි ඩොක්ටර්  කරගෙන යනවා.  ඔයාගේ  නෑදෑයෝ හතරදෙනා නම් හරි උනන්දුයි.

වැඩියෙන්ම අර ලෙනදොර කියන එක්කෙනෙයි  විපුල් කියලා  එක්කෙනෙක් ඉන්නේ... එයයි.

ඒ දෙන්නා මට නිතරම කියනවා කොහොමහරි ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා තමයි පස්ස බලන්නේ කියලා .

ඔයා එයාලා වෙනුවෙන් වෙන මහන්සිය ගැනත් එයාලා මට නිතර මතක් කරනවා.

ඩොක්ටර් කරන්නේ හරි හොඳ වැඩක්..

මේ වගේ උවමනාවකින්  ඉගෙනගන්න කට්ටියක් මට ලබා දුන්න එකත් ලොකු දෙයක් ..

අර හතලිහට විතරක් ඉගැන්වුවා නම් මට මේක එපා වෙනවා.  "

මගේ අදහස ටිකෙන් ටික මල් ඵල ගැන්වෙමින් තිබේ.. ලෙනදොරලා නියම උනන්දුවෝ ලෙස වැඩ කරති. ඒ නිසාම  උයන්හේවා ද ගුරුවරයෙක් ලෙස  ආත්ම තෘප්තියක් ලබයි..



එහෙත්  ඔහු නොදන්නා දෙයක් ඇත.

 දිනපතා දුරකථන ඇමතුම් ගනිමින් , සමහර විට ස්කයිප් හරහා ලෙනදොර ලාට ඉංග්‍රීසි වචන සහ යෙදුම් කියාදෙමින්  මා ඔවුන් උනන්දු කරන හැටිත්


"..ඉංග්‍රීසි කියන්නේ පණ යන්න දෙයක් නෙවෙයි .  

ඕක  භාෂාවක්.. 

උඹලා ඉංග්‍රීසි වලට ඔච්චර භය වෙන්නේ ඇයි ? මෝඩ නොවී ලැබෙන චාන්ස් එකෙන් වැඩක් ගනිල්ලා.. 

මෙහෙම චාන්ස් එකක් ආය එන්නේ නෑ උඹලට "


යැයි අපේ මස්සිනාලාව ප්‍රශ්න කරමින් මා ඔවුන්ව ඉංග්‍රීසි ඉගෙන ගැනීමට උනන්දු කරවන හැටිත්
උයනහේවා   දන්නේ නැත.

මම ඒ දිනවල  සමහර අවස්ථා වලදී  ( විශේෂයෙන්  ඉංග්‍රීසි ඉගෙනීමට  ඇති  කම්මැලිකම පෙන්වූ අවස්ථා වලදී )  අපේ සොයුරියන්ගේ  වල්ලභයන් ඇමතුවේ  ...

එදා   අප මග නැගුමේ අවසාන අදියරේදී  ඩිංගිරි මාමා ඇමතුවා  වැනි වචන වලිනි.

ඒ සියළු කැපකිරීම් අවසානයේ  ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමට ඇති  භය/ අපහසුව නිසා  මේ අය  ඕස්ට්‍රේලියා ගමනින් ඉවත් වේ දැයි ඇතිවූ සැකය නිසාය.

ඒ වෙනුවෙන්   වැය වූ  මගේ  වටිනා කාලය හා ශ්‍රමය වතුරේ යාවි දැයි  සිතුනේ වුවද මේ වන විටත්  මා බොහෝ සෙයින් "ගඟට  හිනි කපා තිබු කෙනෙක් නිසා "  ඒ ගැන මට ලොකු කනගාටුවක් තිබුනේ නැත.