Saturday 9 July 2016

ඔබේ මනුස්සකමට සහ හිතවත් කමට ස්තුතියි


සමන් පාලිත වෙදගේ  හෙවත් සමන් අය්යා  අපේ  කෙමිස්ට්‍රි ගුරුවරයාය.  ඔහු තම කාලය , ශ්‍රමය වසර තිස්තුනක් තිස්සේ කැපකලේ වෛද්‍යවරුන් , ඉංජිනේරුවන් සහ  අනෙකුත් උසස්පෙළ විද්‍යා අංශයෙන් තම විශ්ව විද්‍යාල  පදනම හෝ රැකියා පදනම සකස්  කර ගත් මිනිසුන්  බිහිකරන්නටය.

පසුගියදා  සමන්  අය්යා හදිසියේ  රෝගාතුර වූ අවස්ථාවේ  ඉදිරියට  ආවේ  එසේ ඔහුගෙන් අකුරුකල සිසු සිසුවියන්ය. ඒ අතර සිටියේ දොස්තරවරු ඉංජිනේරුවරු පමණක් නොවේ . සමාජයේ  විවිධ ක්ෂේත්‍ර වල රැකියා කරන්නන් ඔහුට තම හිතවත්කම , ලෙන්ගතුකම  ප්‍රදර්ශනය කලහ.  ඒ ඔහුගේ  හදවත්  සැත්කමට අවශ්‍ය මුදල්  ප්‍රතිපාධන  රැස් කර ගන්නට  සහය වීම මගිනි.

ඒ වෙනුවෙන් ලොව පුරා විසිරි  සිටින ඔහුගේ ගෝලබාලයන්  සහය දැක්වුහ .  සමහරු මුදලින් සහය දැක්වූ අතර තවකෙක්  මේ ආරංචිය පැතිරවීම මගින් හෝ  ඔහුගේ රෝහල් ගත වීමේ කටයුතු සංවිධානය  කිරීමෙන් සහය වූහ.

මට සමන් අය්යාගේ හර්ද රෝග තත්වය ගැන කිව්වේ අපේ පංතියේ සිටි හිතවතෙක් මෙන්ම  වර්තමානයේ  බණ්ඩාරවෙල ප්‍රදේශයේ   වෛද්‍යවරයෙක් ලෙස සේවය කරන සාගර රත්නායක විසිනි . මිට අමතරව කැනඩාවේ සිට කතා කල අබේරත්න අය්යාද මේ සම්බන්ධයෙන් මා දැනුවත් කළා මතකය.

සමන් අය්යා ගේ චරිතය අළලා බ්ලොග් පොස්ට් එකක් ලිවිය යුතු යැයි මා තීරණය කරන්නේ ඒ අනුවයි.

සමන් අය්යා සම්බන්ධයෙන් බ්ලොග් පොස්ට් එකක් ලිවීමට පෙර  මම ඔහු හා දුරකතනයෙන්  සම්බන්ධ  වීමි.

"හලෝ සමන් අය්යා මම කවිඳු ... මට සාගර කිව්වා   සමන් අය්යට නුවර යන්න වෙනවා ස්ටේන්ට්ස්  දා ගන්න කියලා ?  දැන් ගොඩක් කල්ද රෝග ලක්ෂණ මතුවෙලා ?"

" හලෝ කතා කරාට ස්තුතියි.. ඔව් .ඔව් දැන් ටික කලක් වෙනවා .

මේ ළමයින්ගේ  විභාගේ ළඟ එන හින්දා  නුවර ගිහින්  ඇන්ජියෝග්‍රෑම් එක කර ගන්න එක කල් දදා හිටියා.

 මේ ළමයි ටික කොහොම හරි තල්ලු කරන්න එපැයි.."

සමන් අය්යා තවමත්  1989 -90 අපිට ඉගැන්වූ සමන් අය්යාමය.

ඔහුට තම හර්දය වස්තුව නැවතුනත්  කමක් නැත. ඔහුගේ පංතියට එන ළමයි ටික උසස් පෙළ විභාගයෙන් ගොඩ දැමීම  ඔහුගේ පළමු පරමාර්ථයයි.

මට ඔහු 1989 අගභාගයේදී  අපේ පංතිවල සිටි සිසුන්ට  උගන්වමින් සිටිද්දී  ( එදා මා එම පංතියේ සිටියේ නැත ) සිදු වූවායයි කියන සිද්ධියක්  සිහියට නැගිණි.

ඒ සමන් අය්යා තමන්ගේ පන්තියේ ඉගෙන ගනිමින් සිටි සිසුන් පිරිසක් හමුදාව විසින් පංතියේදී ම අත්අඩංගුවට  ගැනීමට විරුද්ධ වූ කථාවයි.

ඒ සම්න්ධයෙන් මා ඔහු ගැන ලිවූ  අනෙක් පෝස්ටුව  මෙතැනින් කියවන්න.

ඒ සිද්ධිය අවසානයේ සිදුවුයේ  කිසිදු දේශපාලනයක් නොකළ සමන්  අය්යා තමන්ගේ සිසුන් වෙනුවෙන් ඉදිරිපත් වීම නිසා රජයේ හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සිරගත කිරීමයි.

ඔහු එදා තම සිසුන් වෙනුවෙන් ඉදිරිපත් වුයේ එසේය. අද තම සිසුන්ගේ විභාගය වෙනුවෙන් තමන්ගේ  ශරීර සොක්‍යය  පරදුවට තබන්නට හදන්නේය .

"ඒ කියන්නේ ඇන්ජියෝ  එක කලේ පරක්කු වෙලා?"

"ඔව්  ගිය සතියේ ඒකට  නුවර ගිය වෙලාවේ ඩොක්ටර් දීප්ති  හම්බවුනා  . එයා තමයි සාගරට  කියලා තියෙන්නේ . එයාගේ ඩොක්ටර් සාගරගේ   බාප්පාගේ පුතානේ ?"



සමන්අය්යාගේ සිසුන් වෙනුවෙන් ඇති මේ කැපවීම නිසාම  ඔහුගේ මනුස්සකම හඳුනන  බොහෝ පිරිස් තවමත් ඉතිරිව සිටිති.

එවැනි පිරිස් එක් රැස් කර  සමන් අය්යාගේ  ශල්‍යකර්මයට උදව් කරන්න ට තීරණය කලෙමි.

ඊට පෙර ඔහුගේ අදායම් තත්වය ගැන විමසිය යුතුයැයි සිතුවෙමි .

මා දන්නා හැටියට සමන් අය්යා දැනට අවුරුදු තිස්තුනක්  ටියුෂන් ගුරුවරයෙක්  ලෙස තම සේවය ඉටුකරන්නෙකි.

"දැන් කොහොමද සමන් අය්යා අදායම එහෙම?  ගොඩක් ළමයි එනවද ඉස්සර වගේ ?"

"නෑ.. නෑ.. දැන් ගොඩාක් ළමයි එන්නේ නෑ.. තව කෙමිස්ට්‍රි පංති තියෙනවනේ මේ පැත්තේ  එවාටත් කට්ටිය  බෙදිලා යනවා . මගේම ගෝලයෝ  කිහිපදෙනෙක්  දැන් මෙහෙ පංති කරනවනේ "

"ඒ කියන්නේ සර්ජරි  එකට  උදව් ඕනෑ  වෙනවා ?"

"ඔව්..ඔව්  තිබුනා නම් ලොකු උදව්වක් .. මට ඩොක්ටර් දීප්තිත් කිව්වා කට්ටියට  කියලා සහයෝගයක් අරන් දෙන්නම් කියලා "

මා සමන් අය්යා ගේ ශල්‍ය කර්මයට  උදව් ඉල්ලා බ්ලොග් පොස්ට් එකක් ලියන්නේ ඒ අනුවයි.

ඒ පණිවිඩය සමන් අය්යාගේ ගෝලයින් කරා රැගෙන ගියේ අපේ පාසලේ සහ ඔහුගෙන් ඉගෙන ගත් සිසුන් වූ රවින්ද්‍ර බණ්ඩාර, සාගර   වැනි අයගේ මුහුණු පොත් හරහාය .

එසේ එකතුවූ අයගේ සහභාගිත්වයෙන්   සමන් අය්යාගේ ශල්‍යකර්මය  සාර්ථකව අවසන් වුයේ  ජුලි මස පළමුවැනිදාය.

මේ වනවිට  සමන් අය්යා නැවතත්  තම රාජකාරියේ  ( කෙමිස්ට්ට්‍රි ඉගැන්වීමේ ) නියැලෙයි..

ඔහු පළාතේ අනෙක් ටියුෂන් ගුරුවරුන් මෙන් තවදුරත්  ජව සම්පන්න තරුණයෙක්  නොවේ.  ටියුෂන්  ගුරුවරු  විශ්‍රාම වැටුප් ලබන්නෝද නොවෙති.


අනාගතය වෙනුවෙන් යෝජනා.





















ඉහතින් සඳහන් කල කරුණු කාරනා සලකා බැලීමෙන් පසු  සමන් අයියාගේ  අනාගත සැලසුම් කෙසේ විය යුතු දැයි සිතන්නට වීමි. 


1. සමන් අය්යාගේ පංති ඇසුරෙන් බිහිවූ සිසුන් ගෙන් මේ වන තෙක් ඔහුට සහයෝගය පළකරන්නට  නොහැකිවූ එහෙත් ඒ වෙනුවෙන් තම සිත් යෙදු අය බොහෝය . ඒ අය වෙනුවෙන් මේ යෝජනාව ඉදිරිපත් කරමි. 
මෙතෙක්  සමන් අය්යට සහය දීමට අපොහොසත්වූ  අයට කැමති නම්  ඒ වෙනුවෙන් යමක් කල හැකිය. ශ්ලයකරමයට පෙර සහය දෙන්නට බැරිවූ එහෙත් එසේ සිතු අය ඔහුගේ ගිණුමට තම සහය පළකරන්න.


0773104355 හෝ 0711187791 අංක මගින් ඔහු හා සම්බන්ධ විය හැකිය.

මෙන්න ගිණුමේ විස්තර:



Account Name: W. S. Palitha

Account Number: 79279434

Bank: Bank of Ceylon

Branch: Ella Branch 



2. සමන් අය්යා වර්තමාන තරඟකාරී  සමාජයේ  උඩුගං බලා පිහිනන්නෙකි. ඔහු තම පංති රටාව  ෆේස් බුක් හරහා  හෝ වර්තමාන තරුණ පරපුර ආකර්ෂණය කරන ආකාරයේ දැන්වීම් හරහා හෝ ප්‍රසිද්ධ කරන්නේ නැත.  
එහෙත් ඔහුගේ ගෝලයින් ලෙස අපට කල හැකි දෙයක් තිබේ. ඒ අප දන්නා කියන අයගේ දුවා දරුවන් ඔහුගේ පංති වලට යොමු කිරීමයි. 
ඔහුගේ පංති වල අදටත්   නොමිලයේ ඉගෙනීම ලැබීමට අවස්ථාව ලද සිසුන් පිරිසක් සිටිති . ඔවුන්ටද මේ ප්‍රචාරක කටයුත්තට දායක විය හැකිය. ඒ ඔවුන්ගේ සම වයසේ අනෙක් සිසුන් දැනුවත් කිරීම මගිනි. 


3. මේ යෝජනාව ක්‍රියාත්මක කිරීමේ වගකීම ඇත්තේ සමන් අය්යා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් අතේය.  ඒ ඉදිරියට ඔහුගේ පංති වලින් ලැබෙනා අදායම්  අරපරිස්සමින් පාවිචිචි කිරීමත්  ඒවා  අනාගතය වෙනුවෙන් ඵලදායි  ලෙස ආයෝජනය  කිරීමත්ය. ඒ  සම්බන්ධයෙන්  ඔහුගේ පවුලේ  උදවිය  දැනුවත්  වී  කටයුතු කරනු  ඇතැයි  බලාපොරොත්තු වෙමි.


අනාගත  යෝජනා ඉදිරිපත් කරමින් සිටිනා අතරේ මේ  බ්ලොග් පෝස්ටුව ලිවීමේ ප්‍රධාන අරමුණ මා හට අමතක වෙයි දෝ කියා සිතිණි.

ශල්‍යකර්මයෙන් පසු සමන් අය්යා සමග නැවතත් දුරකථනයෙන් සම්බන්ධ වූ අවස්ථාවේ  ඔහුගේ හර්දයාංගම ස්තුතිය  ඔබ සැ ම හට පිදෙන බව සඳහන් කරන මෙන් ඉල්ලීමක් කළේය.

මේ පෝස්ටුව  ඒ වෙනුවෙනි.  මනුස්සකම සීග්‍රයෙන් වඳවී යන කාලයක් වූ වර්තමානයේ  සමන් අය්යා වෙනුවෙන්  ඉදිරිපත් වූ  ඔබටයි මේ ප්‍රණාමය.

සමන් අය්යා සහ ඔහුගේ පවුල වෙනුවෙන් ඉදිරිපත් වූ ඔබේ   මනුස්සකමට  සහ හිතවත් කමට ස්තුතියි



11 comments:

  1. ඔහුට දැන් සුව බව ඇසීම සතුටකි!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රසික.. සමන් අය්යා දැන් හොඳින් ඉන්නවා...

      Delete
  2. ඔහු සුවපත් වීම (ඔහුව සුවපත් කිරීම.) දැනගන්නට ලැබීම සතුටක්..!!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගස්... කොහොමද අර ගෙදර වැඩ කටයුතු? ජයවේවා !!!

      Delete
  3. මේක දැනුයි දන්නේ , යමක් කරනම්, ඉස්සර ඕගනික් නම් සමන් පාලිත . දීර්ඝායුෂ සර්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉවාන් .. ඔය ලබා දී තිබෙන විස්තර ඔස්සේ යන්න.. ඔව් ඔව්.. ඔර්ගනික් නම් සමන් අය්යා දෙකක් නෑ.. අපි ඉනොගනික් වලට පුංචිහේවා සර්ගේ ටිකකාලයක් ගිහින් නැවතත් සමන් අය්ය ගෙන්මයි ඉනොගනික් කර ගත්තෙත්...

      Delete
  4. බොහොම හොඳ කළගුණ සැලකීමක් කවිඳු.. ඔහු හොඳින් බව ඇසීම සතුටක්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සජ්ජා.. අපේ කට්ටිය බැස්සා ඉක්මනින්ම සතියෙන් ටාගට් එකට ලංවුනා...

      Delete
  5. සමන් අයියේ. ඔයාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා. ඔබට දීර්ඝායුෂ ලැබේවා
    --මහේන්ද්‍ර 91/92

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. සමන් අය්යා මේක කියවනවා ඇති .. ඔපරේෂන් එකට ඉස්සෙල්ලා පවුලේ අය කියවන්න දුන්නේ නෑ කිව්වා.. හිතට තදබල හැඟීම් ඇතිවෙයි කියලා... නැත්නම් උඩ තියෙන දුරකතන අංකය ට කතා කරන්න..

      Delete
  6. සමන් අය්යා සුව වූ බව අහන්න ලැබීම සතුටක්. ඔහු පිළිබද මගේ මතකය බොහෝ ඈතට යනව. අපි බණ්ඩාරවෙල සෙන්ට්‍රල් එඅකේ හොස්ටල් එකේ ජම්පරේ කාපු අය. එක මොකක්ද කියල හොස්ටල් එකේ හිටපු අය දන්නව.
    සමන් අය්ය හුගක් දොස්තරල ඉංජිනේරුවන් බිහිකරපු ගුරුවරයෙක්. උන්ට ඒව මතක තියන් බව පේනව. හැබැයි ඔහු Chain Smoker කෙනෙක්. දැන් කොහොමද දන්නේ නෑ.
    ඔහුට දීර්ඝ ආයුෂ පතනව.

    ReplyDelete