Monday 30 May 2016

පුවක් බාස්ගේ තෙසක් රිය


පසුගියදා  අපේ සහෝදර බ්ලොග් කරුවෙක්  වූ ඉකොනමැට්ටා  විසින් ලංකාවේ  තෙසක් රිය  (ත්‍රී වීලර් ) භාවිතය  පිළිබඳ  ලියු හරවත්  ලිපියක් පළවිය.

එය  කියවමින්  සිටිනා  අතරේ මා මාවනැල්ලේ දී  සිදු වූ සිදුවීමක්  වෙත ඇදී ගියේ  ඉබේටමය.

ඒ 2006  අවුරුද්දේ ආරම්භක දිනවලින්  එකකි.  අපේ මග නැගුම  වැඩ සටහන අවසන් වී  ගත වුයේ  දින කිහිපයක් පමණි.

අපට නැවතත්  අප සිටි රට  බලා පිටත් වීමට තිබුනේ  මාසයක  පමණ  කාලයකි. පාරේ වැඩ අවසන් කල අප නැවතත්  පොල් වගා වැඩ වල යෙදෙමින් සිටියෙමු.

ඒ එවැනි දවසක් අවසන් කර සිටි අවස්ථාවකි.  වෙලාව  රාත්‍රී  අට අට හමාර පමණ වන්නට ඇත.

මමත් ලෙනදොර ත්  සාලයට  වී ලයිව් ඇට් එයිට්  බලමින් සිටියෙමු. 

ඩිග්. ඩිග්  . ඩිග්  අළුත  කැපු පාර  අපේ  මිදුලට  වැටෙන හරියෙන් වගේ ඇසෙනා  අඩි  ශබ්දයකි.

එය  අපි සිටිනා සාලය  පැත්ත  පසු කර නිම්මිලා  කුස්සිය  පැත්තට  ඇදී  නැති වී  ගියේය.
සුළු  මොහොතකින්  අප  දෙදෙනා  සිටි දෙසට  දිව  ආ  නිම්මිගේ  නංගි  අමරා..

" අන්න  යාළුවෙක්  ඇවිල්ලා දොස්තර මහත්තයා  හොයාගෙන   " යැයි පැවසුවාය.

"කවුද ? කවුද?  පුවක්  ද?"  ලෙනදොර  ඇසුවේ ඒ දිනවල  අපේ  හොඳම  මිතුරා  ඔහු  බැවිණි.

"ඔව් .... ඔව්  ... එයා තමයි හොඳටම බිලා  . දොස්තර  මහත්තයා  එක්ක වැදගත්  කාරණයක්  කතා කර ගන්න තියෙනවා  කියන්නේ "

" වැදගත්  කාරණා කතා කරන්න  බිලා  ඇවිල්ලා  හරියන වැයි?   සාකච්චාවකට  නම් හොඳ  සිහියෙන්න  එන්න  එපැයි.?"

මා පැවසුවේ  පුවකාට  ඇති අකමැත්තකට වඩා  රෑ  බෝ වෙද්දී  බිමත්  ම්නිසුන්  ගෙවල්  වලට ගෙන්වීම  ගැන මා හට  නිම්මි ලා ගෙන් දොස් අසන්නට  සිදු විය  හැකි බව ඉවෙන් මෙන් දැනගැනීම නිසාය.

"මොකක්දෝ  බෑග් එකකුත්  ගෙනැල්ලා හංග ගෙන  ඉන්නවා.  අපිට පෙන්නන්නේ  නෑ . දොස්තර මහත්තයට  පෙන්නන්න ගෙනාවැයි  කියන්නේ ?"

අමරා  නෝක්කාඩුව කට  මෙන් මා දෙස බැලීය.  අවුරුදු ගණනාවක්  අසල්වාසීන් වූ ඔවුන්ට වඩා  පිටගම් කාර  මා වෙත  පුවක් බාස්ගේ  ගේ ඇති ආකර්ෂණය ඇයට ගැටළුවක්  වී ඇති සෙයකි.

මේ අතර  ඇතුල් කාමරයේ  සිට අප වෙත පැමිණි නිම්මි..  " මේ කියන්න තියෙන දෙයක්  අහගෙන ඉක්මණට ආපහු යවනවා.. " යැයි මට පුර්ව අවවාදයක්  සැපයුවාය.

" යමු මල්ලි මොකක්ද මිනිහා කියන්නේ බලන්න.. "  මම  ලෙනදොරත්  සමග  කුස්සියට  පියමැන්නෙමි.

" කොහොමද ප්‍රේමරත්න  දැන්  අළුත් පාරේ  යනවා නේද කට්ටිය  අත පය දිගෑරලා ? "

"ඔව් .. ඔව් .. ඔය  සමහරු වැඩේ  හොඳ කම  ගැනත් කියන්නේ,  හිත ඇත්නම් කරන්න බැරි දෙයක්  නෑ කියලා එහෙම "

"කවුද කවුද  ඔය අපි කරපු  දේවල් වල  හොඳ කියන  අය  ?"

"බිලින්ගහ වත්තේ  ජයසේකර  අය්යා මා දැක්ක  කිව්වා  ඒ වගේ කතාවක්. "

"ඉතින්  මොනවද මේ  මට පෙන්නන්න  ගෙනාවා කිව්වේ ?"

එතෙක්  මා සමග  දොඩමලු වූ  පුවකා එක්වරම  හැඟුම් බර විය .

තමා රැගෙන  ආ  "ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට්" ප්ලාස්ටික්  මල්ලට  අත දමද්දී  ඔහුගේ නෙතඟ  රැදුණු කඳුළු බිඳුවක් යන්තමට මෙන් දිස් වනු දුටුවෙමි.

" මෙන්න  .. "  ප්‍රේමරත්න බිම බලාගෙනම  මල්ලෙන් යමක්  ඇද මා අත  තැබිය.

"මේ මොකක්ද  මේ  ?  පාස් පොර්ට් එකක් නේ ?"

මම මා අතට දුන් කුඩා  කුණු ලේ පැහැති කුඩා  පොත් පිංච පෙරලන්නට  වුයෙමි.

" රැකියාව : බරවාහන   රියදුරු  ..  ඇතුල්විය හැකි රටවල් : සියළුම  රටවල්   " එහි සඳහන් වී තිබිණි.

මේ අතර කිසිත් නොදෙඩු පුවකා තවත් පොත් පිංචක්  මා අත තැබීය.

" මේ  බැංකු  පොතක් නේ  . මට  මොකටද  බැංකු පොත්  දැන්  ?  අපි පාර කපලා  ඉවරයි නේ "

මා  එසේ කීවද  පුවකා ගේ හැටි දන්නා මා  මේ එන්නේ වෙන පොටකට  විය හැකි බව ඉවෙන් මෙන් තේරුම් ගෙන සිටියෙමි.

එසේ  කියමින්  ජාතික ඉතිරි  කිරීමේ  මේ බැංකුවේ  තිබූ ප්‍රේමරත්නගේ   ගිණුමේ  විස්තර  වෙත  මගේ දෙනෙත් යොමු කලෙමි.

සති පතා  මුදල් තැන්පත්  කල  විස්තර  සඳහන් පේලි අතර මගේ දෙනෙත් ඉබිගමනින්  දිව යන අතර සිත අවුරුදු  දහයක්  පහළොවක්  පිටිපසට වේගයෙන් දිව ගියේය.

දිවගොස් නැවතුනේ  මගේ මුල්ම  බැංකු පොත මාරගස්වැල්ල  කුඹුරේ එළවලු වගාවෙන් සහ  ගමේ ළමුන්ට   උපකාරක  පංති කිරීමෙන් ලද   මුදලින් සෙමින් සෙමින් පිරවුන  තැනයි.

මදක් එහි සැරිසැරූ මා නැවතත් වර්තමානයට  පැමිණියෙමි.

" සෝමරත්නට  මොකද දැන් අපේ කෙරෙන්න  ඕනෑ...?"

කිසිත් නොකියා බිම බලා  තම පාදයේ  මහපට  ඇඟිල්ලෙන්  පොලවේ රටා  අඳින  පුවකා ගෙන්  ඇසුවෙමි.

"දොස්තර මහත්තයා  අපේ පාර  හදා දුන්නා  . දැන් මට මගේ  හිතේ තිබුණ අනික් හීනය හැබෑ කර ගන්න උදව් කරන්න ඕනේ."

"ඔය බැංකු පොතේ ලක්ෂ  එක හමාරක් තියෙනවා  . මට රෝද  හතරක්  ගන්න උදව් කරන්න,"

ලෙනදොර, අමරා  , කරුණා අක්කා නොහොත් නිම්මිලා අම්මා ඇතුළු පිරිස  ගල් ගැසී මෙන්  මා කුමන පිළිතුරක්  දේදැයි බලා සිටිති.

මට මේ අහිංසක හැබෑ දිරිය ගති ඇති මිනිසාගේ  ඉල්ලීමට  පිටු පෑ  නොහැක.  එහෙත් හදිසියේ ලක්ෂ  හත අටක්  වැනි මුදලක් මොහු වෙත ප්‍රධානය  කරන්නට  හැකියාවක් ද  නැත.

මා  බලා සිටින්නේද   මුල්මාස කිහිපයේ  ඉතා දුෂ්කර විය හැකි ඔස්ට්‍රලියාවේ  උසස් අධ්‍යාපන  ශිෂ්‍ය ජිවිතයක් වෙත යන්නටය.

ඒ සියල්ල සිතේ සක්මන් කරද්දී   මම පුවාකාට  පිළිතුරු දුන්නෙමි.

"දැන් ප්‍රේමරත්නට වාහනයක්  මොකටද?  පොල් පලන එක අතහැරලා වෙන බිස්නස් එකකට යන්න ද ?"

" නෑ  .. නෑ  .. මම දිගටම පොල්  පලන එක කරනවා ඒකෙ  ආදායම හොඳයිනේ . ඒ අතරේ හයර් අවොත් වාහනේ දුවනවා. "

"ඒ කියන්නේ වාහනේ  ගන්නේ ගෙදර නවත්තලා තියන්න ?"

"ඔවු  ගොඩක් දවස් වල  ගෙදර තියෙයි.  වැඩකට   හයර් එකකට   දුර යන්න  වුනොත් වාහනේ  යනවා.

පස්සේ  කාලෙක  පොල් පලන්න  මැෂින් එකක් ගන්නත් හිතන්  ඉන්නවා . එහෙම වුනොත් වාහනයක්  තියෙන එක හොඳයිනේ  ඒක එහා මෙහා ගෙනියන්න "

මම නැවතත් කල්පනාවට  වැටුනෙමි.

වැඩිපුර  ගෙදර  නවතා තබමින් අත්‍යවශ්‍ය අවස්ථාවකදී  වැඩට යන්න ( පොල් පලන්න යන්න). ගස් කපන යන්තරයක් වැනි දෙයක්  රැගෙන යන්නට කියාපු වාහනය  ත්‍රී විලරයයි.

"ඒක  නෙවෙයි  ප්‍රේමරත්න රෝද  හතරක් නෙවෙයි  තුනක් ගත්තොත්  ඔය වැඩේම  කර ගන්න පුළුවන් නේද ? පෙට්‍රල්  වලට එහෙම වියදම් වෙන ගානත්  අඩුයිනේ?"

"ත්‍රී විලරයක් ගන්න තව කියක් විතර  යනවද"

"ලක්ෂ තුනක් විතර වෙයි අලුත් එකක් .."

"හරි අපි එහෙනම්  මෙහෙම කරමු.  මම ඔයාට රුපියල් ලක්ෂයක්  ණයට දෙන්නම්  මාසෙට  රුපියල්  දහ දාහ  ගානේ මගේ බැංකු පොතට  දාලා  ඒක ගෙවන්න .."

ඔයාගේ සල්ලියි මම දෙන සල්ලියි දාලා  රෝද තුනක් ගමු ඉස්සෙල්ලා.. පස්සේ බලමු රෝද හතරක් ගැන...
දින කිහිපයකට පසු   සෝමරත්න  සමග බැංකුවට ගිය මම ඔහුට මගේ සම්පත්  බැංකු ගිණුමෙන් රුපියල් ලක්ෂයක්  රැගෙන දුන්නෙමි

ඊට දින කිහිපයකට පසුව  පුවකා කොළ පැහැති  තෙසක් රියක්  රැගෙන  ආවේය.





36 comments:

  1. ත්‍රීවීලර් එකකට යන හරි පාර. ලීසිං , පොලිය, ලියකියවිලි, ඇප අනවශ්‍යයි. එක වරුවෙන් සල්ලි අතට.

    ReplyDelete
    Replies
    1. ඔහේ රස්සාව මාරු කළාය. නැත්තං මේක සයිඩ් බිස්නස් එකක් ද?

      Delete
    2. ස්රන්ගයා ලෝකයා තෙසක් රියක් දෙකක් පාරේ දුවවනවා ඇති මේ වෙනකොටත්

      Delete
  2. අත හිත කාගෙන්දැයි හිත දන්නවා ඇත

    ReplyDelete
    Replies
    1. කාගේ කාගේ හිත් නොදැන හිටියත් පුවක් ගෙයි මගෙයි හිත්වල ඒ වා තවම තියෙනවා..

      Delete
  3. මිනිහෙකුට මාළු අල්ලා ගන්නා හැටි කියා දීම මාළු බෙදනවාට වඩා වටිනා ක්‍රියාවකි. මාළු අල්ලන හැටි දන්නා කෙනෙකුට දැලක් ගන්නට උදවු කිරීමද එවැනිම වටිනා ක්‍රියාවකි.

    ReplyDelete
    Replies
    1. අපි ඔය තුන්ජාතියම කරලා තියෙනවා . වැඩිපුර කලේ මාළු අල්ලා ගන්න හැටි කියාදීම .. සමහර වෙලාවට මාළු අල්ලන හැටි දන්නේ නැති අයට.. මාවනැල්ලේ පුවක් සහ කිරඹඔයට කොළඹින් ඇවිත් ගෙවල් හැදීමක් නිසා මට සම්බන්ධ වූ ඇලෙක්ස් ඔය තුන්වන ඝනයේ කට්ටිය...

      Delete
  4. ඒ වගේ දිරිය මිනිසෙක්ට අතහිත දුන්න එක ලොකු පිනක්..

    ReplyDelete
    Replies
    1. ඔව් .. ඔව් එයා ඊට පස්සේ පොල් කඳන් පලන්න මැෂින් එකක් එහෙම ගත්තා. එකම දුව දුල්මිණි විශ්ව විද්‍යාලේ ගියා A 3ක් අරන්. දැන් මගේ මුහුණු පොතේ ගජයෙක් දුල්මිණි

      Delete
  5. ඉතා හොඳ වැඩක්. අද ඔහුගේ දියුණුව කොහොමද?

    ReplyDelete
    Replies
    1. මෙහෙම නිකන් කියනවට වඩා හොඳයි නේද බ්ලොග් පොස්ට් වලින්ම කියනවා. හැබැයි කාලයක් මගේ බ්ලොගය ෆලෝ කරන්න වෙයි..

      Delete
  6. ණය දීමෙන් මුදලත් මිතුරාත් දෙකම අහිමිවේ කියන කියමන මටනම් ඇත්ත වෙලා තියනවා. කොහොමද පුවකා මහතාගේ ණය ගෙවීම?

    ReplyDelete
    Replies
    1. මොකද හිතන්නේ මෙතෙක් පුවක් බාස් ගේ චරිතය කියෙව්වම..? ඊළඟ පොස්ට් එකෙන් දෙන්නද?

      Delete
  7. එහි පිටුපස "අතහිත දොස්තර මහතා ගෙනි!" කියලා නම් ලියා තිබුණේ නැත..

    එපා කියපු නිසා එහෙම නොගැහුවද

    ගහයි කියල බලාපොරොත්තු උනාද

    කොටින්ම මේ කෑල්ල එකතු කලේ ඇයි

    ReplyDelete
    Replies
    1. මටත් තියෙන්නේ ඔය ප්‍රශ්නයම තමයි

      Delete
    2. //එහි පිටුපස "අතහිත දොස්තර මහතා ගෙනි!" කියලා නම් ලියා තිබුණේ නැත..//
      මෙතන ලොකු කතාවක් තියෙනවා... මග නැගුම ගම නැගුම නැවතත් මතක් කරගෙන හිතන්න ඕනෑ. දොස්තර මහතා සාමාන්‍ය ලංකික ගණුදෙනු කරුවන්ට වඩා ටිකක් වෙනස් වීමත් ඕක ඇතුලේ තියෙනවා.. ඊළඟ පොස්ට් බලන්න...

      Delete
    3. හිතන්න පති ගොඩයි... සමානය රාමුවෙන් එහා ගිහින් .. සාමාන්‍ය රාමුව එක්ක සසඳමින් හිතන්න ඕනේ...

      Delete
  8. අලුත් පාරෙ ගිය ප්‍රේමරත්න බැංකු පොත දුන්නට පස්සෙ සෝමරත්න වෙලා ආයෙ ප්‍රේමරත්න වෙලා නේද?

    ඉතිං කියපු විදියට 10000 හම්බ උනාද? මොනව උනත් දුර දැක්මක් තියෙන මිනිහෙන් වගෙයි.

    ReplyDelete
    Replies
    1. මෙහෙම තමයි කතා කොටස් කර ලියන්න ඕනෑ කුතුහලය දනවන අවසානයක් එක්ක.

      Delete
    2. හිතේ සෝමරත්න තියාගෙන ප්‍රේමරත්න ගැන ලිය්විමයි මේකට හේතුව .. අපේ රැකි රක්ෂා, හැසිරීම් රටා ආදියේ ලොකු වෙනස් කම් තිබුනට හිතින් අපි කොච්චර සමීපද යන්න මෙතන ඉබේම මතුවෙලා සෝමරත්න ප්‍රේමරත්න කරන්නම්...

      Delete
    3. //මෙහෙම තමයි කතා කොටස් කර ලියන්න ඕනෑ කුතුහලය දනවන අවසානයක් එක්ක.// යාන්තම් ඇති රසිකලොජියත් සන්තෝෂ වෙලා... අපේ පුතා වගේ අද්භූත කතා ලියන්න හිතෙනවා..

      Delete
    4. //ඉතිං කියපු විදියට 10000 හම්බ උනාද? මොනව උනත් දුර දැක්මක් තියෙන මිනිහෙන් වගෙයි.// ඊළඟ පොස්ට් බලන්න

      Delete
  9. මටත් ප්‍රියස් එකක් ගන්න අදහසක් තියෙනවා කවිඳු හමු වෙන්න

    ReplyDelete
    Replies
    1. එන්නම් කෝ ළඟදීම දවසක.

      Delete
    2. මම පුවකාට දාපු ධර්මේම රසිකට දානවා.. "දැන් ඔය ප්‍රියස් ගන්නේ මොකටද? කෝච්චියේ නේද වැඩට යනවා කිව්වේ? ඔය ප්රිය්ස් එක ඔය විදිහට වැඩි වෙලාවක් නිකන් ගෙදර නේද තියෙන්නේ? "

      තව එකක් මම නම් පුද්ගලිකව ප්‍රියස් වලට කැමති නෑ . ඕක හරි කැත කාර් එකකේ නේ ?"

      Delete
    3. එතකොට රසික කියනවා ".. ඇත්ත තමයි කවිඳු අර ප්රෙමරත්නට ගන්න උදව් කරේ තෙසක් රියක් නේද? හෙනම් මාත් ඔන්න ඔහේ ඒකක් ගන්නවා "කියලා...

      Delete
  10. වටිනාම යෝජනාවක් තමයි ක්‍රියාත්මක කරල තියෙන්නෙ.. කවුරු කොහොම බැන්නත් ත්‍රිවීල් එකෙන් ටාට බට්ටගෙන් ඔලුව උස්සපු මිනිස්සු ඉන්නව ගොඩක්.සමහරක් මුදලාලි පැලැන්තියට ඇහේ කටු අනිනවා මිනිස්සු ඔලුව උස්සනකොට..
    ජයවේවා..!!

    ReplyDelete
  11. //කවුරු කොහොම බැන්නත් ත්‍රිවීල් එකෙන් ටාට බට්ටගෙන් ඔලුව උස්සපු මිනිස්සු ඉන්නව ගොඩක්.waසමහරක් මුදලාලි පැලැන්තියට ඇහේ කටු අනිනවා මිනිස්සු ඔලුව උස්සනකොට..// මුදලාලි පැලැන්තියට ඉස්සෙල්ල අල්ලපු ගෙදර ඒ වගේම ඉන්න අයගේ ඇහේ කටු ඇනෙන හැටි මම දැකලා තියෙනවා . ඒක තමයි මුදාලාලිගේ ඇහේ කටු ඇනෙන එකට වඩා සිය දහස් ගුණයක් වැඩි වේදනාවක් ගෙන දෙන කටු ඇනීම....

    ReplyDelete
  12. හොඳ වැඩක් නේ මොනා වුනත්.

    ReplyDelete
    Replies
    1. එහෙනම් .. එහෙනම්... අසල්වාසීන්ට උදව් පදව් කිරීම හොඳ වැඩක් නේන්නම්..

      Delete
  13. කවිඳු.......මේවා සමාජයේ තැන් තැන් වලින් ගත්තාම සිදුවීම් දාස් ගානක් වුනත්, මේවාට නිසි අයුරින් විසඳුම් නැති බවක් පේන නිසාත්, හැකි උදව්වක් කර නිහඬව සිටීම තමයි කරන්න තියෙන්නේ. මේ වගේ ප්‍රොජෙක්ට්ස් හැම විටම මතුවෙන්නේ, මිනිසුන්ට හරිහමන් ප්‍රායෝගික වැඩ පිලිවෙලවල් හදලා දීලා නැති නිසයි. පිටරටක ජීවත්වෙන නිසා ඔබට මෙය වැටහෙනවා ඇති.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ... එකනම් එහෙම තමයි . ඒ වුනාට අපිත් අහක බැලුවා නම් කවුරුත් නෑ..නේ..

      Delete
    2. අපොයි අපොයි අහක බලන්න එපා. මම කිව්වේ අපේ රටේ තත්වය.

      Delete
    3. //මේවා සමාජයේ තැන් තැන් වලින් ගත්තාම සිදුවීම් දාස් ගානක් වුනත්, මේවාට නිසි අයුරින් විසඳුම් නැති බවක් පේන නිසාත්, හැකි උදව්වක් කර නිහඬව සිටීම තමයි කරන්න තියෙන්නේ// නෑ හැකි උදව්වක් කරලා තවත් හිතහොඳ අයට දැනගන්න දෙන්න ඕනේ..සමහර වෙලාවට ඒ අයත් මෙහෙම දේවල් වලට යොමුවෙනවා එතකොට

      Delete
  14. ඔය වගේ ක්‍රමයක් භාවිතයට අරගෙන ගමක් දියුණු කරන්න පුලුවන්ද? ඔය උදව් දුන අය දැන් දියුණු වෙලාද?
    http://nelumyaya.com/?p=5950

    ReplyDelete
    Replies
    1. //ඔය උදව් දුන අය දැන් දියුණු වෙලාද?//
      පුවක් ගේ එකම දුව දැන් විශ්ව විද්‍යාලේ . අපිත් සමග මුහුනුපොතේ සහ වය්බ්ර් ගණුදෙනු තියෙනවා. හැදෙන මිනිහෙක් නිසා උදව් කළා . මේකේ ඊළඟ කොටස ලියවුනාම පෙනෙයි පුවක් දැන් කොතැනද ඉන්නේ කියලා..

      Delete