Follow by Email

Saturday, 22 May 2021

බස් රස බස්

 



29 ශ්රී 1984 පල්ලේවෙල ( කුරුකුදේගම ) සිට බණ්ඩාරවෙලට යන බස් එක පටන්ගත්තේ 1980 මුල් හරියේ .. අපි ඒ කාලේ ඉස්කෝලේයද්දි බණ්ඩාරවෙල ධර්මාශෝක සහ මධ්ය මහා විද්යාලයට , එතෙක් මල්වත්තේ අයිස්ලෙබි ෆැක්ටරිය ලඟින් බස් එකට ගොඩවෙන අපට තිබුණේ 320 ඇට්ම්පිටිය - බණ්ඩාරවෙල , 224 නෙළුව හරහා බදුල්ල - බණ්ඩාරවෙල සහ වරකාදණ්ඩෙන් උදේට සහ පාසැල් ඇරෙන වෙලාවට ගිය 318 වරකාදණ්ඩ - කිණිගම පාසැල් බස් රථ විතරයි .
මේ බස්වලින් ඇටම්පිටිය සහ නෙළුව බස් මල්වත්තට ලඟා වෙද්දිත් සෑහෙන්න පිරිලා නිසා හෝ එහෙමත් නැත්නම් සිල්වා අන්කල් , නෙළුව බස් එකේ "පයිලට් "වැනි රියදුරන් ඔවුන්ට හිතුණොත් විතරක් මල්වත්තෙන් සෙනඟ ගන්නා රටාවක් පෙන්වූ නිසා බොහෝ විට ඒ බස් අපිට නොනවත්වා යනවා.. උදේ හත හතයි කාල වගේ වෙද්දී ඔයවෙලාවටම මේ පල්ලේවෙල ඉඳලා එන බස් එකත් මල්වත්තට ලඟා වෙනවා.. අළුත දාපු බස් එකේ දවස් 15 ක් වැඩ කරන්නේ මේ දෙන්නා ; අමුණුදෝවේ සුගතේ මාමයි , අපේ ගමේ ජයසුන්දර මාමයි .
ජයසුන්දර මාමා කියන්නේ අපේ අම්මලාගේ මහගෙදරත් එක්ක එක වහළෙන් සම්බන්ධ වෙලා තිබ්බ අනික්ගෙදර ( අම්මගේලොකු තාත්තලා ගෙදර ) ලොකුම පුතා .. නැදෑ කමෙන්ම අපේ මාමා.
සුගතේ මාමා අමුණුදෝවේ ලොකු පවුළක පොඩිම පුතා වෙන්න ඕනේ . එයාගේ අය්යත් වරකාදණ්ඩ- කිණිගම බස් එකේ රියැදුරා විදිහට වැඩකළා ඒ කාලේ . සුගතේ- ජය්සුන්දර ද්විත්වය ඒ කාලේ පල්ලේවෙල බස් එකේ අයිතිකාරයෝ වගේ තමයි.. හැබැයි කොච්චර සෙනඟ පුරවන් ආවත් මල්වත්තෙත් නවත්තලා අපිව දාගෙන යනවා.. ජයසුන්දර මාමා එහෙම සෙනඟ ඉන්න වෙලාවක අපිට පස්සට යන්න කියන්නේ.. " මොකද හිනාවෙන්නේ ? අඳුරනවද? ඒ ඇඳුරුම් කම් නෑදෑ කම් වලින් වැඩක් නෑ .. යනවා , යනවා පස්සට" කියමින් .. ඊට පස්සේ කිරිඔරුවේ මැදගෙදර ( අම්මලාගෙයි , එයාලගෙයි මහගෙදර දි වැඩ නැති දවසට හම්බ වුණාම ඊට වඩා ටිකක් පිළිවෙලට කතා කරනවා .. ඒත් ටිකක් සැරෙන් වැරෙන් තමයි.. ගමේදිත් පොඩි බස් ඌෂ්ණයක් තිබුණා ..

පස්සේ කාලෙදි අපි අම්මත් එක්ක එලවළු හදද්දී අපේ වගා වැඩ ගැන ආරංචි වෙනකොට ( ඒත් අපි හතේ - අටේ පංතිවල ඉද්දී තමයි ) එයා අපිට එයාගේ රත්පහේ තිබුණු සිංහල උළුවහපු ගෙට එහා පැත්තේ වත්තෙත් , ඊලඟට කිරිඔරුවේ මහවත්තේ තිබුණ එයාගේ කුඹුරු කෑල්ලෙත් තක්කාළි , මාළු මිරිස් , බටු මිරිස් ( බෙල් පෙපර් ) එහෙම හදන්න දුන්නා..



ඒ කාලේ සුගතේ බස් එක එලවද්දි හරි වේගයෙන් යනවා " ඕන් බලාපල්ලා උඹලගේ පයිලට් ලා දැන් කැලේ " කියමින්.. එයා එහෙම කියන්නේ එතෙක් ඒ පැත්තේ වේගවත්ම බස් රියැදුරාව සිටි පයිලට් ට වඩා වේගයෙන් එයා යන බව කියන්න ..මේ පිංතුරේ ඉන්නේ ඔය කියපු අපේ කුඩා කාළයේ වීරයෝ දෙන්නා ( සුගතේ සහ ජයසුන්දර යුගලය )

4 comments:

  1. අතිශය සුන්දර මතකයන්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බලලා රසවින්දාට

      Delete
  2. ඔබගේ මුල් කාලයේ ලියවී ඇති 77 දේශපාලන කථා ඇතුලත් පෝස්ටු තුනක් එක හුමට කියවා දැම්මෙමි!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හැත්තෑ හතේ සිද්ධි තමයි මුළින්ම ලිව්වේ .. ඒ කාලේ පොඩ්ඩක් ලිවිමේ සංයමය අඩුයි .. තව පෝස්ට් තුන්සිය ගාණක් තියෙනවා වෙලාවක කියවන්න

      Delete