Friday 11 June 2021

දිගනා





 පළමුකොට ශුද්ධ වූ බුද්ධ පූජාව සිද්ධ කිරීමෙන් හා.... යහපත් ශ්‍රද්ධාභ්‍යාශයෙන් යුක්තව පිළියෙල කරන ලද්දා වූ ... මෙම දානයෙන් ලැබිය යුතූ .... සකළ කුසළ පුණ්‍ය සම්භාරයන් හේතුකොට ගෙන ... දිව්‍ය ලෝක , මනුශ්‍ය ලෝක වල ඉපිදෙනා කාලයක් ඉපිද ... සිතූ පැතූ සැප සම්පත් , යානවාහන උපභෝහ පරිභෝග ආදිය ලබා.... අවසානයේ තුන්තරා බෝධියෙන් පැතූ යම් බෝධියක ඉපිද....

කිරිඔරුව ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානයේ දාන ශාලාවේ සිට   පංසලේ ලොකු හාමුදුරුවෝ මෙසේ දානය ගෙනා දායකයා ඇතුළු පවුළේ සැමට පින් අනුමෝදන් කරති.. දායකයා දානය තැන්පත් කල කොට මේසය අසල බිම හිඳගෙන වැඳගෙන  සිටින්නේ එකත්පස ඉරියව්වෙනි.. දන් පිළිගැන්වීමෙ ක්‍රියාවලියේ දීර්ග ස්වභාවය නිසා කුඩා දායකයා ( අවුරුදු දහයක දොළහක කොළුවෙකි ) සිටින්නේ වාඩිවී සිටිනා ඉරියව්ව  වරින් වර වෙනස් කරමිනි (ඇත්තටම කිව්වොත් ඒ මේ අත ඇඹරෙමිනි )... දන් පිළිගැන්වීම දිගටම කෙරෙද්දී  එක පාරම යමෙක් තොළ කට ලෙවකමින් කෙළගිළින ශබ්දයක් ඇසේ .එදා එහි සිටිකුඩා දායකයා වූ මම වට පිට බැළුවේ කෙල ගිල්ලේ ලොකු හාමුදුරුවෝ වත්දැයි සිතමිනි.. 

මට එහා පැත්තෙන් ඉස්සර කකුල් දෙක ඉදිරියට තබා පිටිපස්සේ කකුල් දෙක එක ඇලයකට දමාගෙන තවත් දායකයෙක් එකත්පස ව සිටිනුපෙනේ .. ශබ්දය ඇත්තටම ආවේ ඒ පැත්තෙනි.   

ඒ දෙස හැරී බලන මට පෙනුනේ  එකල පංසලේ සුරතලා වූ දිගනා මට එහා පැත්තේ සිට දන් පිළිගැන්වීමට සහභාගී වන බවයි.  එමෙන්ම   දානය පිළිගන්වන අවස්ථාවේ තමන්ද එහි ඉන්නා බව හාමුදුරුවන්ටත් දායකයාටත් දැනුම් දෙන්නට  සිතා  මේ ශබ්දය කරන්නට ඇති  බවයි.

අපේ අම්මා ගමේ පංසලේ දම්මුරේ දවසට කෑම සකස්කරන හැටි දැක්කාම දිගනාට පමණක් නොව හාමුදුරුවන්ට වුවද කටට කෙළ උනනා එක පුදුමයක් නොවේ. උම්බලකඩ , රම්පේ කරපිංච ආදි සියළු අඩුම කුඩුම යහමින් දමා ඇය සකස්කරන හීල් දානයට , බෝංචි බැදුමක් , අලහොද්දක් , අළුත් මාළු හෝ බිත්තර වැනි පිළිහුඩුවක්ද ඇතුළත් වෙයි.. එදා උදේ කෑමට අපට ලැබෙන රසම රස කෑම එක රහ බලන මම ඇයට ආඩපාළි කියන්නේ. .. "පංසලට ගෙනියන්න නම් රසට උයනවා අපිටත් ඒ වගේ රස කෑම හැමදාම දෙන්න බැරි ඇයි " දැයි අසමිණි .

 එසේ අම්මා සකස් කර දෙන දානේ එක උඩින් පපඩම් මල්ලකුත් තියාගෙන එක අතකින් අර තට්ටු තුනේ බාස්කට් එකත් අනික් අතින් බත්ගෙඩියටත් අරන් යන කුඩා අප පිළිගන්නට මුලින්ම එන්නේ පංසලේ සුරතලා වූ දිගනාය.. කී කූං ගාමින් මුළින්ම ඉස්සරහ කකුල් දෙකට බර දී අප දෙස බලන ඌ ඉන්පසු ප්‍රීතියෙන් ප්‍රමෝදයට පත්වූ බව අපට පෙන්වන්නේ  එහාට මෙහාට රවුම් කිහිපයක් දුවලා ඝණ්ඨාර කුළුන් දෙසට ඇදෙමිනි.. 

උගේ කෝළම් ඔක්කොම බල බලා මිදුළ අමදිමින් ඉන්න ලොකු හාමුදුරුවෝ. "හා.. හා ඔහොම හිටු ඔහොම හිටු.."  කියද්දී ඌ තවත් කුලප්පු වෙයි . දිගනා ගේ මේ කෝළම් ඔක්කොම හොඳ වුණත් කවදත් බල්ලන්ට භය චරිතයක් වූ මට පෙන්නන්නම බැරි එක වැඩක් වූයේ දුවගෙන දුවගෙන ඇවිත් අපේ කරටම ඉස්සරහ කකුල් දෙක තබා හිටගනිමින් ඌ හැසිරෙන ආකාරයයි 

".. හා හා ඔයළමයා භය වෙන්න එපා.  දිගනා ඔය ළමයට තියෙන ආදරේනේ ඔය පෙන්වන්නේ .. " ලොකු හාමුදුරුවෝ මා හට පවසන්නේ මගේ භය තුරන් කරන්නටයි.. 

එහෙත් වරක් දෙවරක් මේ කරේ නගින්න එන වැඩේ වෙනවා දුටු මම  දානේ ගිහින් දීලා ගෙදර ආවේ අම්මාට කෑ ගසමිණි.. 

"අම්මා  මටනම් බෑ ආයි දානේ ගෙනියන්න අර දිග බළු කොටියා අදත් මගේ කරට පැන්නා  . ලොකු හාමුදුරුවෝ උගේ හුරතළ් බල බල ඉන්නවා . අම්මා ඊලඟ දවසේ කුළගණ සමිතියට ගියාම එයාට කියන්න අපේ දානේ දවස්ට ඌව බැඳලා තියන්න කියලා . නැත්නම් දානේ එක නැතිවෙයි කියලත් කියන්න " 

දිගංචියා මොන මොන කෝලම් කරත් පංසලේ ලොකු හාමුදුරුවන්ට නම් ගාණක් වත් නැත.. පංසලට එන දායක දායිකාවන්ටද එහෙමය,. මා හෙන දිග බළු දන්ඩෙක් දුවගෙන දුවගෙන විත් විහිළුවට හරි ඇඟට පනින වැඩේ නොරිස්සුවද ගමේ අනෙක් කොල්ලො කුරුට්ටෝ ඌ සුරතළ් කරමින් විනෝද වන්නට පුරුදු වී සිටියහ .. 

තනි ලා දුඹුරු පාට සතෙක් වූ ඌ අපේ අම්මලා ඇතුළු දායක කාරකාදීන් ගෙනිහින් දෙන රස ගුණ පිරි දානය වැලඳීම නිසාදෝ  අනෙකුත් ගමේ බල්ලන්ට වඩා පින් පාට එකෙකි.. උගේ තරමක් අමුතු හැසිරීම දුඩු ගමේ බොහෝ දෙනෙක්  

" මේ සතා නම් හරි පිං වන්තයි , මේ මෙයාගේ අන්තිම තිරිසන් ආත්මය වෙන්න ඕනැ " වැනි අදහස් පළ කළහ.. 

ඒ අන්තිම තිරිසන් ආත්මය කතාව ඔවුන් විස්තර කරන්නේ සතෙක් තනි පාටකින් ඉපදී සිටිනවා නම් ඊලඟ වතාවේ ඌ මිනිස් ආත්මයක් ලබන්නට පෙරුම් පුරණවා වැනි අදහසකිනි.. 

සමහරු අපේ රත්තීට කීවේද මේ කතාවමය..

No comments:

Post a Comment