Sunday, 7 November 2021

Disce Aut Discede (උගනිව් නැතිනම් පිටවව්)- බණ්ඩාරවෙලට පෑයූ ගුරුතරුව ආබෲ සර් ගේ කතාව

 


අපි ඒ දවස්වල බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ අටේ , නමයේ වගේ පංතිවල ඉන්න කාලේ .. ඔන්න පාසැලේ විදුහල් පති තුමා කළු උස මහත හයේ හතරේ මනුස්සයෙක් අපේ පංතිවලට එක්කන් ආවා .. එයා තමයි අපට ඉංග්‍රීසි උගන්වන්න අළුතින් ඉස්කෝලේට ආපු ගුරුතුමා . නිල්පාට ඩෙනිම් කළිසමයි , කළිසමට උඩින් වැටෙන්න දාපු නිල්පාට කොටු කොටු කමිසයයි ඇඳලා මතක හැටියට පටි සෙරෙප්පු දෙකක් දාගෙන ආපු අළුත් ඉංග්‍රීසි ගුරුතුමා පාසැලට ආවේ ගියේ නිල්පාට බජාජ් ස්කූටරයකින්.

ඒ කාලේ අපේ ඉස්කෝලේ හිටපු විදුහල්පතිතුමා , එම් පී අල්විස් මහත්තයා   පාසැලේ විනය අකුරට ක්‍රියාත්මක කල  දැඩි පාළනයක් තිබ්බ කෙනෙක් . හැබැයි ඉස්කෝලේ හොඳටම හදලා ගත්තු කෙනෙක් . එයා තමයි අපේ ඉංග්‍රීසි උගන්වන්න  රජයේ වැටුපක් නොළබා වැඩකරපු "ආබෲ සර් "සහ "බ්‍රයන් සර්" වගේ අය ඉස්කෝලෙට ගෙනාවේ .. එහෙම ගුරුවෘත්තිය කොහෙන්වත් ඉගෙන ගත්තු නැති ඒත් සිසුන් වෙනුවෙන් තමන්ගේ කාලය , ධනය ශ්‍රමය නිර්ලෝභිව යොදවපු  ඒ වගේ ගුරුවරු පාසැලට ගේන්න තරම්  ආන්දෝලනාත්මක තීරණ ගැනිමේ හැකියාවක් ඒ විදුහල් පතිතුමාට තිබුණා.. 
කොහොම හරි ඔන්න ආබෲ සර් සහ බ්‍රයන් සර් කියන දෙන්නා අපේ ඉස්කෝලෙට ආපු කාලේ අල්විස් සර් අමුතු වැඩක් කලා .. එක එක පංති මට්ටම් වල තියෙන ඒ , බී , සී , ඩී , ඊ ආදි කොටස් සියල්ලේම අයගේ ඉංග්‍රීසි ලකුණු  අනුව ඔවුන් එකට දමා කණ්ඩායම් ගතකලා .. ලකුණු පණහක් හෝ ඊට වැඩි ගාණක් ගත්තු අය එකට එකතු කරලා ඒ අයට ඉංග්‍රීසි උගන්වන වැඩේ ආබෲ සර්ට භාර දුන්නා, හතලිහ පණහ අතර අය වැටුණේ බ්‍රයන් සර්ගේ කණ්ඩායමට ,ඊට පහළ ලකුණු ලබපු අය ඒ වෙනකොටත් ඉස්කෝලේ හිටපු ඉංග්‍රීසි ගුරුවරු වූ ගුණතිලක  සර් වගේ අයට භාර දුන්නා .. 
ඉතිං ඔන්න ඔය විදිහට තේරිලා තමයි අපි වැටුණේ ආබෲ සර්ගේ කණ්ඩායමට .. ආබෲ සර් සද්දන්ත මනුස්සයා කළු උස මහත නිකන් අරුන් ඩයස් බණ්ඩාරණායක වගේ පෙණුමක් තිබ්බ කෙනෙක් .. අපි ඒ කාලේ සෑහෙන්න දඟ කරන කොල්ලෝ වුණාට ආබෲ සර්ගේ පංතියේ ඒ සෙල්ලම් දැම්මේ නෑ .. මමත් මට මතකයි ඒ ඉංග්‍රීසි පංතියේ ඉස්සරහම පේළියේ තමයි හිටියේ.. ඔය ඉංග්‍රීසි වලට වැඩි ලකුණු තිබ්බ අයගේ පංති දෙකේ ගුරුවරු සිංහලෙන් කතා කරන්නේ නෑ . අපි සමහර විට සිංහලෙන් උත්තර දුන්නට ආබෲ සර් කතා කරන්නේ ඉංග්‍රීසියෙන් විතරයි .. ටික කාලයක් යද්දි සර් අපිත් එක්ක හොඳට යාළු වුණා . අපි එකම සෙට් එක තමයි අටෙන් නමයට , නමයෙන් දහයට එහෙම යද්දිත් සර්ගේ ක්ලාස් එකේ හිටියේ ( ඒ කියන්නේ අපි දිගටම ලකුණු පණහට වැඩිය ගන්න ගාණට ආබෲ සර් අපිව පුහුණු කරා ) 

සර් අපිට ඉංග්‍රීසි වලට අමතරව කම්පියුටර් සහ චෙස් වගේ දේවලුත් පුරුදු කරා . සෙනසුරාදා ඉරිදට එයාගේ ගෙදරට එන්න කියලා එහෙදිත් ඉගැන්නුවා ..  ඔය අතරේ එයාගේ පෞද්ගලික තොරතුරුත් අපි සමඟ බෙදාගත්තා ..
"ළමයිනේ මගේ නම අයි වෝ ඩි ආබෲ වුණාට මම පානදුරේ හොඳ සිංහල බෞද්ධ පවුළකින් පැවත එන කෙනෙක් , අපේ සීයා තමයි බෞද්ධ කොඩිය සැලසුම් කරපු කමිටුවට නායකත්වය දුන්නේ " ආබෲ සර් තමන් සංකර ගති පැවතුම් තියෙන  නිකම්ම  නිකං කොළඹ වැසියෙකු නොව අක් මුල් සහිත පවුල් පසුබිමකින් පැවත එන්නෙක් බව අපට ඒත්තු ගැන්නුවේ එහෙමයි.
ඒ වගේම ආබෲ සර් තමන්ගේ ස්වීඩන් ජාතික භර්යාව සහ දුවලා දෙන්නා ගැනත් අපිත් එක්ක නිතර කියනවා  ( ඒ අය ස්වීඩනයේ ඉද්දි ආබෲ සර් ලංකාවේ පදිංචියට ඇවිල්ලා හිටියේ ඒ දවස්වල )

ඉතිං ආබෲ සර් ස්වීඩනයට සම්බන්ධ වුණේ කොහොමද කියලත් අපිත් එක්ක කිව්වා . එයා කොළඹ රෝයල් කොලේජ් එකේ ඉගෙනගෙන තියෙන්නේ . ඊට පස්සේ  එයා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට තෝරාගත් පළමු වන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ගුවන් නියමුවන් කිහිපදෙනා  අතරට එක්වී තිබුණා . දෙවන ලෝක යුද්ධ සමයේ ගුවන් නියමුවෙක් ලෙස සේවය කල ඔහු පසුව ස්වීඩනයේ සස් ගුවන් සේවයේ ගුවන් නියමුවෙක් ලෙස සේවයට එකතුවි තිබෙනවා . එහිදී තමයි ආබෲ සර් ස්වීඩන් ජාතික කාන්තාවක් විවාහ කරගෙන දුවලා දෙදෙනෙකුගේ පියෙක් බවට පත්වන්නේ ..




සර්ගේ පවුළේ විස්තර , සේවා විස්තර ආදි සියළු දේවල් අපිත් එක්ක බෙදා හදා ගනිද්දී අපිත් සර් එක්කම පංතියෙන් පංතිය ඉහළට ගියා . ඔය අතරේ සර් අපිට එක දවසක් මේ  "Disce Aut Discade" කියන ආදර්ශ පාඨය කළු ලෑල්ලේ ලොකුවට ලියලා කියලා දෙනවා .. "මේක තමයි රෝයල් එකේ මොටෝ එක .. "Learn or Depart"   කියන එකයි මේකේ තේරුම .. ඉතිං මගේ පංතියේ ඉන්න ළමයිනුත් මේ ආදර්ශ පාඨය හිතට ගන්නවා නම් හොඳයි ".
"උගනිව් නැත්නම් පළයව්" කියන අදහස අපේ හිත්වලත් තදින් කාවැදුණා .. මට මතකයි මමත් ගෙදර ගිහිල්ලා අපේ කාමරේ ( අය්යයි මමයි පාඩම් කරපු කාමරේ)  බිත්තියේ තිබ්බ කළු  ලෑල්ලේ ඔය ආදර්ශ පාඨය ලොකුවට ලිව්වා . ඒ වගේම අපේ පොත්වල මුළ් පිටුවේ ඇතුළ් පැත්තෙත් ඕක ලියැවුණා .. 

රෝයල් එකේ ආදර්ශ පාඨයට අපිට කිව්වට සර් ලොකුවට තමන්ගේ ඉස්කෝලේ , උපන්ගම , රැකියාව ආදිය ගැන පුරසාරම් දෙඩුවේ නෑ.. ඉතාම නිහතමානීව අපේ යාළුවෙක් වගේ තමයි හිටියේ .. ගෙදර ගියාම අපිට තේ එකක් පවා හදලා දෙනවා ඒ ගෙදර හිටපු අනික් කට්ටිය .. සර් කාලයත් එක්ක අපේ පෞරුෂය ගොඩනැංවෙන විදිහේ දේවල් කතා කරන්න , අපිට විස්තර කරන්න එහෙම ගත්තා මතකයි .. ඉලෙක්ට්‍රික් රේසර් , ඉලෙක්ට්‍රික් ටූත් බ්‍රෂ් , කම්පියුටර් ආදිය අපට බලන්න එහම සලස්වනවා අපි ගෙදර ගිය වෙලාවට ඒ කරන්නෙත් කිසිදු මහන්තත්වයක් නැතිව .. අපේ ගෙදරක් වගේ අපිට දැනෙන විදිහට .. ගෙදර ඉන්න අය (  ළමයි කිහිපදෙනෙක් එක්ක හිටපු පවුළක් ) සර් මේ පිටස්තර ළමුන් සිය ගණනක් ( ඔය විදිහට ගෙදරට ආරාධනා ලැබුවේ , සර් එක්ක සමීප වුණේ අපි විතරක් නෙවෙයි , ඒ කාලෙයේ ඉස්කොලේ තිබ්බ අටෙන්  ඉහළ සියළුම  පංතිවල අය , විශ්ව විද්‍යාලයට තේරුණ අය ඇතුළු හැමෝම )  ගෙදරට එක්ක ඇවිත් කන්න බොන්න දීලා ගෙදර අය වගේ සළකණ ක්‍රමේ  ගැන කිසි වෙනසක් පෙන්නුවේ නෑ.. 


සර් කොහොමත් හිටියේ රජෙක් වගේ , ඒත් නිහතමානී කමේ ඉහළටම ගිය රජෙක් වගේ .. අටේ , නවයේ පංතිවල ඉඳලා ආබෲ සර් එක්ක ගණු දෙනු පටන්ගත්තු අපි උසස්පෙළ කරලා , විශ්ව විද්‍යාල ප්‍රවේශය සමත් වෙලා ගෙදරට වෙලා ඉද්දිත් සර් අපිට  උගන්වන එක නැවැත්තුවේ නෑ  NCE , Follow Me ආදී විවිධ පංතිවලට අපව සහභාගී කරගනිමින් .
සර් අපිව අධ්‍යාපනයේ , ඉහළටමත් , පෞරුෂ ගොඩනංවා ගැනීමේ මාර්ගයේ ඉහළටත් කැඳවාගෙන ගියා .. අපි ලෝකය දිහා විවෘත මනසින් බලන පුළුල් දැක්මක් ඇති තරුණ තරුණියන් කරන්න සර් සෑහෙන්න මහන්සි ගත්තා .. මට මතකයි අපි විශ්ව විද්‍යාල පටන් ගන්නකං ගෙදරට වෙලා ඉන්න කාලෙත් සර් අපිව සෙනසුරාදා ඉරිදා එයාගේ බණ්ඩාරවෙල බිඳුණුවැවේ තිබුණ ගෙදරට ගෙන්වා ගන්නවා එහෙම ගෙන්වා ගෙන අපට මෙඩිකල් ටර්ම්ස් කියලා දෙනවා .. ටික කලකට පස්සේ අපට ඉංග්‍රීසියෙන් ස්වසන පද්ධතිය , රුධිර සංසරණ පද්ධතිය ආදිය කියලා දෙනවා .. ඔහොම ඉන්න අතරේ අපේ පංතියේ හිටපු බොහෝ දෙනෙක් ඉංග්‍රීසි ගුරුවරු ලෙස පත්වීම් ලබලා ( කැම්පස් යන්න කළින්) ඌව පළාතේ දුෂ්කර පාසැල් වලට යැවෙනවා . ඒ ඩෙලික් එග්සෑම් එකෙන් සමත් වෙලා .. මමත් එහෙම සමත්වෙලා ඩිරෙක්ට් පත්වීමක් ලබලා වැල්ලවායේ වෙහෙරයායේ කණිෂ්ඨයට යනවා ..
පත්වීම් ලැබුණු බව කියන්න අපි සර් හම්බවෙන්න ගිය දවස මට හොඳට මතකයි .. " කෝ ඉතිං ඔයාලා ඉංග්‍රීසි ගුරුවරු වුණාට තාම ඉංග්‍රීසි කතා කරන්නේ නැනේ ? දැන් ටික ටික සබකෝළය අයින්කරගෙන ඉංග්‍රීසි කතා කරන්න " ආබෲ සර් අපිට කිව්වේ එහෙමයි
වෙනත් ස'  ලා  වගේ අපිව පිරිසක් ඉදිරියේ සමච්චලයට ලක් කළේ නෑ එයා .. ඔන්න වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම  ස' කියලා කටපුරා කියන්න පුළුවන් චරිත .. 


Note : මේ කියන ආබෲ සර් දැන් ජීවතුන් අතර නෑ . එතුමා කොස්ලන්ද නිකපොත ප්‍රදේශයේ විශාල ඉඩමක් තම වාසස්ථානය කරගෙන ජීවත්වෙන ගමන් පළාතේ දූ දරුවන්ගේ ඉංග්‍රීසි අධ්‍යාපනයට දායකවෙලා පස්සේ හෘදයේ ඇතිවූ රිද්මයේ ආබාධයක් නිසා මියගිහින් තිබුණා .. සාමකාමී මරණයක් සහ චාම් අවමංගල්‍ය උත්සවයකින් පස්සේ දේහය භූමදානය කරලා තිබුණේ (එතුමාගේ ඉල්ලීම පරිදි ) කොසල්න්දේ නිකපොත මයි.. අපේ ආබෲ සර් නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරමු .. පහළ ලින්ක් වල තියෙන වීඩියෝ බලන්න, සර් ගැන මෙහි නොලියවුණු කොටස් අහන්න පුළුවන් 



6 comments:

  1. ඔබේ සටහන කදිමයි වගේම කරුණා රසයක් ජනනය කරන මතක ගොනුවක්. ඒ ගුරුතුමා වගේ අය විතරක් හිටිය නං කොයි තරං ලස්සසනරටක් වෙන්න තිබුණද.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තේ ආවට . මගේ බ්ලොග් එක අළු ගසා දාලා ගන්න කියලා ලියපු පෝස්ට් එක ( මාස කීපයක් බ්ලොග් පෝස්ට් එකක් ලියැවුණේ නෑ.. ඉදිරියේදී දිගටම ලියන්නයි ඉන්නේ

      Delete
  2. අපිට හම්බඋනේ නෑනෙ ඔය වගේ ස' ල. ඇත්තටම හරි විදියට ඉංග්‍රීසි උගන්නනවනං ඒක ඉංග්‍රීසියෙන්මයි කරන්න ඕන.

    සතුටුයි ආයෙත් ලියන්න පටංගත්තෙක ගැන.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසා , ඔව් භාෂාවක් ඉගෙන ගන්න ලේසිම ක්‍රමේ තමයි ඒක භාවිතාවෙන් ම ඉගෙනීම , ඉදිරියේ හෙමින් හෙමින් ලියන්නයි ඉන්නේ ..

      Delete