Follow by Email

Thursday, 8 July 2021

එළොව ගිහිං මෙලොව ආවා (දසුන් ගේ කතාව අවසාන කොටස )





 මෙතෙක් කතාව  (පහත ලින්ක් වලින් ගොස් කියවන්න )

1.  දසුන් ගේ කතාව එක (යඩ බන්නා)

2.  දසුන්ගේ කතාවට පසුවදනක්

3. දසුන්ගේ කතාව දෙවන කොටස (එකලත් භවං)

එදා රෝහලේ මිදුලේ වමනේ දැම්මෙව්වාට පස්සේ දසුන්ට  නැවත සිහිය  එන්නේ පළාතේ මහරෝහලේ දී .. දිස්ත්‍රික් රෝහලේ කාර්යභාර වෛද්‍යවරයා  මේ පොයිසන් කේස් එක කෙළින්ම මහ රෝහලට මාරු කර යවන්න තීරණය කරලා තිබුණා .. මහරෝහලට දසුන් ගෙන යද්දී තාත්තා හා හා පුරා කියලා ගිය වාහන රියදුරු රස්සාවට ආයුබෝවන් කියලා තිබුණේ ඊලඟ ටර්න් එකට මිනිස්සු ගෙනියන එක පැත්තක දාලා පොඩි පුතා බේරාගන්න රෝහලට දුවමින් .. කුඹුරේ ගිය අම්මාත්  අය්යා ගේ තනියට තවත් නෑදෑයෙක්  නවත්තලා රෝහලට ඇවිත් තිබුණා .. දසුන්ට මහරෝහලේදී සිහිය එනකොට අම්මයි තාත්තයි දෙන්නා එයාගේ ඇඳ දෙපැත්තේ දණගහගෙන වාඩිවෙලා ඉන්නවා .. මේල් නර්ස් මහත්තයෙක් ඇවිල්ලා ඇස් දෙකට ටෝච් එකගහලා කළු ඉංගිරියාවේ ප්‍රමාණය සළකුණු කරනවා .. සිහිය ආපු ගමන් දසුන් කරන්නේ අම්මාගේ බෙල්ලේ එල්ලිලා "අම්මා ... මං මැරෙයිද? අම්මා ? කියලා අහන එක .... ඊට පස්සේ එයා ඇඳේ අනික් පැත්තට හැරිලා තාත්තගේ බෙල්ලේඑල්ලිලා එයා බදාගෙන " තාත්තා මං මැරෙයිද තාත්තා ? " කියලා අහනවා ...

ඒ කියන්නේ දසුන්ට ඇත්තටම මැරෙන්න ඕන වෙලා නැද්ද? එහෙමත් නැත්නම් ඒ වෙලාවේ හිතේ ආවේගයට වස පානය කලාට පස්සේ අම්මලා තාත්තලා දාලා යන්න දුක හිතුනද දන්නෙත් නෑ.. කොහොම හරි දැන් දසුන්ට  ගොඩක් වෙලාවට සිහිය තියෙනවා හිටපු ගමන් විකාර හීන එහෙමත් පේනවා... ඔය විදිහට දසුන් මහ රෝහලේ සෑහෙන දවසක් ඉන්නවා . දොස්තර මහත්තුරු මේල් නර්ස් මහත්තුරු එහෙම සෑහෙන මහන්සියක් ගන්නවා එයා බේරා ගන්න . ඔය දවස්වල   අම්මා ගෙදර ගිහිං දිනපතා  දසුන් බලන්න ඉස්පිරිතාලෙට එන අතරේ තාත්තා දිගටම එයා ලඟ ඉන්නවා ... හැමදාම උදේට අම්මා එයා බලන්න එන වෙලාවටත් ආපහු ගෙදර යන වෙලාවටත් එයාගේ වැඩේ අර බෙල්ල බදාගෙන අම්මා මම මැරෙයිද ? තාත්තා මං මැරෙයිද ? කියන ප්‍රශ්න අහන එක .. දසුන්ගේ අම්මා මුල් දවස් දෙක තුනේ මොකුත් නොකියා බෙල්ල බදාගෙන ආදරේ කරන්න ඉඩ දුන්නට තුන්වෙනි හතරවෙනි දවසේ දී එයාට හිමිහිට වචනේ දානවා .. " ඔච්චර මැරෙන්න බයයි නම් ඔයා කොහොමද මහ ලොකු වීරයෙක් වගේ පළාතක් හෙල්ලෙන වැඩක් කරේ ? " කියලා අසමින්.

ඔය අතරේ දසුන්ට තව ලෙඩක් හැදෙනවා . ඒක ඇත්තට ඔහුගේ ගලනාලය සහ ආමාශය ඇසිඩ් වලින් ( මෙතමෙඩිෆොස්)  පිච්චීම නිසා ආපු අතුරු ආබාධයක් ඒ තමයි ගොඩ ගොඩ ගාලා ලේ වමනේ යන එක... තාත්තගේ වැඩේ පිස් පෝච්චිය ඇඳ මුලට ගෙනත් තියෙන එක . දසුන් වරින් වර ඕක් ඕක් ගාමින් රතුම රතු පාටට ලේ වමනේ කරනවා ඒ දවස් කීපයේම .. වාට්ටුවෙ කට්ටිය ඇල්යුඩ්‍රොක්ස් පෙති හපන්න ගෙනැත් දෙනවා , සිමෙටිඩීන් පෙති ගෙනැත් දෙනවා ඒ වගේම දිගටම සේලයින් එකකුත් යනවා...  

දසුන් ඉස්පිරිතාලෙට යන්නේ ජූලි විසි තුන වගේ දවසක . එයාට ඇහෙනවා අහල පහළ ඇඳන් වල ඉන්න අය තාත්තා එක්කකතා කරනවා .. "ඔන්න අද කඩ ගිනිතියලලු  ........... ගොඩ හරියෙත් කියලා .... " ඒ තමයි 1983 කළු ජූලිය .. ඔහොම යද්දී මහරෝහල තිබ්බ පළාතට ඇඳිරි නීතිය වැටෙනවා .. පළාතේ තිබ්බ දෙමළ කඩ ගිනි තියපු විස්තර , ජාති ආලය ට සම්බන්ධ වූ පිරිස් බඩු මුට්ටු හොරකම් කරපු කතා එහෙම තාත්තලා කතා වෙද්දි දසුන්ගේ කණටත් වැටෙනවා .. ඇඳිරි නීතිය නිසා දවස්ක් දෙකක් අම්මාට එන්න වෙන්නේ නෑ එයා බලන්න.. ඔහොම කාලය ගෙවිලා ගිහින් දසුන් ගේ ලේ වමනය වීම අඩුවෙලා එයාට ටික ටික සනීප වෙනවා .. දැන් තාත්තට රස්සාවකුත් නෑ . අම්මගේ වගාවට අත් උදව් කාරයෙකුත් නෑ... 

එයාට මතකයි තාත්තලා එයා ආපහු ගෙදර එක්කන් යනවා . එයාට අන්දලා තිබුණේ සුදු කොට කළිසමකුයි සුදු කමිසයකුයි ..

එයා ඉස්පිරිතාලේ ඉද්දී අය්යා අක්කා ඇතුළු ළමයි කිසිකෙනෙක් එයා බලන්න එක්කං එන්නේ නැතිව ඉන්න අම්මයි තාත්තයි වග බලා ගන්නවා .

ඒ නිසා දසුන්ට අය්යා සිද්ධියෙන් පසු මුණ ගැහෙන්නේ ටිකට් කපලා ගෙදර ආපු දවසේ .. එයාට අය්යලා අක්කලා හැමෝම හොඳ ආදරෙන් කතා කරනවා .. කට්ටිය ඔක්කොම කුස්සියට වෙලා දසුන් වට කරගෙන කතාව .. දසුන් අය්යාට එහෙන් මෙහෙන් මිටි ගුළියෙන් එහෙම ගහන්නේ එයා කරන විහිළුවලට . ඉස්සර නම් අය්යා එයාට ගහනවනේ ආපිට ? හැබැයි එදා එහෙම නෑ .. අය්යා ශාන්ත දාන්තව ඉන්නවා මල්ලී ගහන්නේ විහිළුවට නේ වගේ හිතලද කොහෙද ? 

 ඔය අතරේ දසුන් බලන්න ගමේ අය එනවා වැල නොකැඩී . එතන  ඉන්නවා අර ආත්තම්මා . එයා මෙන්න මෙහෙම කෑල්ලක්  කියනවා දසුන්ට මතකයි

"අපි ඒ දවස්වල හිටියේ ඇඬූ කඳුලෙන් දුවේ .."කුරුල්ලෙක් කෑ ගැහුවත් , කොහේ හරි සුදු පාටක් දැක්කත් කොල්ලා මතක් වෙනවා ... අනේ අර දරුවට අනතුරක් වත්දෝ කියලා හිතෙනවා ඒ වෙලාවට " .. 

ආත්තම්මා එහෙම ගියාට පස්සෙත් කට්ටිය කුස්සියේ සාකච්චාව.. දසුන්ගේ රෝහල් විස්තර  , රෝග විස්තර , ප්‍රේමේ අය්යා එයා උස්සන් දුවපු දිවිල්ල ගැන විස්තර ඔය වගේ ගොඩක් දේවල් කතා වෙනවා කට්ටියම 

ඔහොම ඉද්දි දසුන් අය්යගෙන් මෙහෙම අහනවා 

 ඒක නෙවෙයි බං , මම මැරුණා නම් උඹ මොකද කරන්නේ ? 

 " උඹ ඉතිරි වුණේ හොඳ වෙලාවට  , උඹැ මැරුණානම් මමත් ඉතිරි වෙච්ච වස ටික  බීලා මැරෙණවා කියලා තමයි හිතාගෙන හිටියේ " 

අය්යා උත්තර දෙන්නේ එහෙමයි

කුස්සියේ සාකච්චාව යන අතරේ එක වෙලාවක  තාත්තා මොකක් හරි කියනවා .. ඒක ටිකක් නොඉවසීමෙන් කියපු එකක් වගේ හිතලද කොහොදෝ දසුන් ඒකට තාත්තට උත්තර දෙන්නේ මෙන්න මෙහෙම

 " හා හා තාත්තා කළබළ වෙන්න එපා . ඉවසීමෙන් සැනසීම ලැබේ කියනවනේ? ඇයි ඔයා අහලා නැද්ද ඒ කතාව? "

 තාත්තට පොඩි හිනාවක් එන්නේ ඉබේටම.. 

" අනේ මගේ කට දසුනෝ උඹනේ මේ අපිට ඉවසීම ගැන කියන්නේ . හරි හරි එහෙනම් බලමුකෝ ඉස්සරහට වත් ඉවසීමෙන් සැනසීම ලැබෙයිද කියලා ? " 

එයා තම පුතාගේ ඉවසීමේ සීමාව ගැන ආපහු මතක් කරලා දෙන්නේ එහෙමයි 

 නිවසේ හැමෝගෙම  විහිළුවට වෙනස්කම් වලට ලක්වූ දසුන් ඒ අයගේ පරණ සුරතලා බවට පත්වුණේ ඔන්න ඔහොමයි .. ඒකට එයාටත් ගෙදර හැමෝටමත් ලොකු " මිළක් ගෙවන්න " සිද්ධ වුණා.. හැබැයි ඔය සිද්ධියෙන් පස්සේ හැමෝගෙම ජීවිත අලුතින් පටන් ගත්තා .. දසුන් පරණ පුරුදු හුරතල් ළමයා වුණා... 

No comments:

Post a Comment