Monday 1 February 2021

බලහරුවේ ඉංග්‍රීසි ටීචර් සහ චොක්ලට්



මා ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස  රජයේ සේවයට එක්වන්නේ 1991-92 කාලයේදීය . ඒ විශ්ව විද්‍යාලයට යන්නට උසස්පෙළ සමත්වී වසර  තුනක් , හතරක් බලාගෙන ඉන්නට සිදුවූ වකවානුවකි. මා මෙන්ම මගේ පංතියේ සිටි බොහෝ මිතුරු මිතුරියන් රජයේ රැකියාවලට ඉල්ලුම් කල හැකි තරඟ විභාග වලට ඉදිරිපත් වූයේ එසේ නිකං කල්ගත කරන අවුරුදු තුනේ කිසියම් ආදායමක් උපයාගන්නා බලාපොරොත්තුවෙනි.  මේ වනවිට ආබෲ සර්ගේ ඉංග්‍රීසි පංතියේ යාව ජීව සාමාජිකයින් වූ බොහෝ දෙනෙක් ඩෙලික් එක්සෑම් එකට පෙනී සිටියේ ඒ තුලින් ඌව පළාතේ දුෂ්කර පාසැල් වල ඉංග්‍රීසි ගුරුපත්වීම ලබාගන්නට අවස්ථාව සැලසී තිබුණ නිසයි.

ඩෙලික් විභාගයෙන් ඉහළ ලකුණු ගන්නා අය  සති දෙකක ප්‍රී සර්විස් එකකින් පසු කෙලින්ම ගුරුවරුන් බවට පත්කල (ඩිරෙක්ට් පත්වීම්) අතර තරමක් අඩු ලකුණු ගත් අයට මාස තුනක  දිගුකාලීන පුහුණුවක් දී ගුරුපත්වීම්දෙනු ලැබීය .

 බණ්ඩාරවෙල  ප්‍රදේශයේ මේ මාස තුනේ ඩෙලික් කෝස් එක පැවැත්වුණේ  අපේ ඉස්කෝලෙමයි . හැමදාම හවස දෙකට (පාසැල් වෙලාවෙන් පසු ) ආරම්භවෙන මේ   ඉංග්‍රීසි ගුරු පුහුණුව සතියේ දවස් පහේම තිබුණු බවයි මට මතක.  මේකට බණ්ඩාරවෙලින් ඩෙලික් තේරුණ අපේ ඉස්කෝලේ අය වගේම නුවර , කොළඹ , ගාල්ල ආදි ප්‍රදේශවලින් විභාගයට පෙනී ඉඳලා ඌව පළාතේ ඉස්කෝලවලට අනුයුක්ත කරන්න තෝරාගත් අයත් එනවා ඒ දවස්වල

කොහොමහරි 1991 /92 තිබ්බ ඩෙලික් විභාගෙට අපිත් එක්ක ආබෲ සර්ගේ ක්ලාස් ගිය කීපදෙනෙක්ම පෙනී හිටියා ඒ අතරින් මම , තාරක සහ ලංකා මල්ලී යන තුන්දෙනා ඩෙලික් පුහුණුවෙන් තොරව ඩිරෙක්ට් පත්වීම් ලබන්නට සුදුසුකම් සපුරලා තිබ්බා .

මටයි ලංකාටයි ප්‍රී සර්විස් තිබුණේ එකට , ඒ සතිදෙක අපි හිටියේ හාළිඇළ ගුරු විද්‍යාලයේ ( මහා විද්‍යාලයට එහා පැත්තේ තිබුණු ගොඩනැඟිල්ලේ ) ඒක ඩෙලික් කෝස් එකවගේ දිනපතා ගෙදර ඉඳන් එන පාඨමාළාවක් නෙවෙයි නේවාසික පාඨමාළාවක් . අපි රෑ නවතැන්ගත්තෙත් ඒ  ගුරුවිද්‍යාලයේමයි. 

බණ්ඩාරවෙලින් ආපු අපිදෙන්නට අමතරව  කොළඹ, නුවර , ගාල්ල ආදී අනික් පළාත්වලින් ඩිරෙක්ට් පත්වීම් ලබන තවත් තරුණ තරුණියන් 30 ක පමණ පිරිසක් අපිත් එක්ක පුහුණුවට හිටියා .. 

අපි ඩෙලික් විභාගේ පාස්වෙලා ආවට ඉංග්‍රීසි කතා කරලා ලොකු හුරුවක් තිබුණේ නෑ . ඒ නිසා තමයි අපිට ඩිරෙක්ට් ගුරුපත්වීම් හම්බවෙලා ඒ බව ආබෲ සර්ට කියන්න ගියාම එයා අපිට කිව්වේ  " බලන්න, ඔයාලා දැන් ඉංග්‍රීසි ගුරුවරු , සබකෝළය අතහැරලා ඉංග්‍රීස් කතාකරන්න පටන්ගන්න. මම හැමදාම කියනවා වගේ මාත්තෙක්ක ඉංග්‍රීසියෙන්ම කතා කරන්න " කියලා 

අපේ ප්‍රී සර්විස් එකේ හිටපු අයගෙන්මීගමුවේ ආවේ මරියා කන්‍යාරාමයෙන් ආපු චූටි ටීචර්ලාට තමයි හොඳට ඉංග්‍රීසි කතාකරන්න පුළුවන් . හැබැයි එයාලා අපිවගේ කැම්පස් තේරිලා ඉන්න අතරේ තාවකාලිකව ගුරුසේවයට ආපු අය නෙවෙයි දිගටම ගුරුවරු විදිහට වැඩ කරන්න ආපු අය 

උදේපාන්දර හාළිඇල මහාවිද්‍යාලයේ ක්‍රීඩා පිටියට ගිහින් ශරීර සුවතා කරලා එන අපිට උදේ ආහාරය දෙනවා . ඊට පස්සේ අපි එක්කෙනා ලව්වා අනික් ගුරුසිසුවියන්ට උගන්වන වැඩසටහන් කරනවා. 

ඔන්න මගේ වෙලාව ආවා උගන්වන්න . මට මතක හැටියට තිබ්බේ හතේ හෝ අටේ පංතියේ ඉන්ග්‍රීසි පොතෙන් පාඩමක් කරන්න. මම ඒකේ තිබ්බ වචන ලිස්ට් එක කළු ලෑල්ලේ ලියළා අනික් ගුරුසිසුන් ලවා කියවනවා මම කිව්වට පස්සේ  ටේබල් , බුක් වගේ දේවල් කියවලා එකපාරම  "Chocolate" කියන වචනේ කියන්න තිබුණා  මම "චොකොලට්" කියලා කියනවත් එක්කම ආවේ මරියා එකෙන් ආපු චූටි ටීචර්ට බකස් ගාලා හිනාගියා .මම හිතන්නේ "චොක්ලට්" නොකියා "චොකොලට්" කියලා කියපු නිසා වෙන්න ඕනේ . 



එදා හවස වැඩ ඉවරවෙලා කට්ටිය කය්යක් ගහගෙන ඉන්නකොට  එක එක්කෙනා යන ඉස්කෝල ගැන කතා කරනවා . මම තේරිලා තිබුණේ වෙහෙරයාය  කණිස්ටෙට  , බණ්ඩාරවෙල ඉඳන් යනකොට වැල්ලවායට කිට්ටු තැනකට. ආවේ මරියා එකේ ටීචර් තේරිලා තිබුණේ බලහරුව විද්‍යාලයට . ඒක කුඩාඔය , තණමල්විළ අතර තිබෙන ඉස්කෝලයක්. ඒ දවස් වල මේ ඉස්කෝල දෙකටම ජල පහසුකම් , වැසිකිළි පහසුකම් එහෙම තිබුණේ නෑ.  

මම නම් අවුරුද්දක් වෙහෙරයායේ ඉඳලා වෛද්‍ය විද්‍යාලයට ගියා . අර ටීචර් දිගටම ගුරු වෘත්තියේ ඉන්න ඇති  .නමක් ගමක් මොකුත් මතක නෑ .චොක්ලට් කතාව විතරයි මතක  

මට ඔය වගේම වැඩක් වුණා අටේ නවයේ පංතිවල ඉගෙන ගන්න කාලේ. අපි මුල් කාලේ ඉංග්‍රිසි ඉගෙනගත්තේ තනියම . හවසට  ගුවන්විදුළියේ ඉංග්‍රිසි සේවේ අහනවා . ඊටපස්සේ අපිට උගන්වන්න ආපු ආබෲ සර් කිව්වා ඩේලි නිව්ස් පත්තරේ අරන් එඩිටෝරියල් එක කියවන්න ගොඩක් අළුත් වචන ඉගෙනගන්න පුළුවන් කියලා . ඊට පස්සේ මම මාසෙකට සැරයක් දෙසැරයක් ඩේලිනිව්ස් එක ගන්නවා .පත්තරේ සම්පූර්ණයෙන්ම කියවන්න (ඔක්ස්ෆර්ඩ්සහ මළලසේකර ඩික්ෂණරි එක්ක ) මාසයක් විතර යනවනේ. 

ඔන්න දවසක් මම බණ්ඩාරවෙල ජයසිංහ ස්ටෝර්ස් එකට ගිහින්  පත්තරේ ගන්න . "මට ඩේලිනිව්ස් එකක් දෙන්න.." මම මුදලාලිට කිව්වා .එදා හිටියේ කඩේ අයිතිකාරයාමයි 

"What did you say? do you want a daily news or the Island news paper ? which one you want ? " කියලා එයා අහනවා මගෙන් ඉංග්‍රීසියෙන් උත්තර බලා පොරොත්තුවෙන් . මම උත්තර දුන්නේ සිංහලෙන් ."මට ඕනේ ඩේලිනිව්ස් එක" කියලා ඊට පස්සේ එයා කියනවා ළමයෝ ඉංග්‍රීසිපත්තරේ බලනවානම් ඉංග්‍රීසියෙන් කතාකරන්න පුළුවන් වෙන්න එපැයි කියලා  . මම හිනාවෙලා පත්තරේ අරන් යන්න ගියා ,මොකද මම ඒ දවස්වල  තනියෙන්ම මහන්සිවෙලා ඉංග්‍රීසි ඉගෙනගන්න උත්සාහ කල පොඩි කොල්ලෙක් නේ

4 comments:

  1. කථාවේ අන්තිම ටිකට සමාන අත්දැකීමක් මටත් තියෙනවා... තරුණ සේවා එකේ තරුණ හුවමාරු වැඩසටහන් වලට ආපු ඉන්ගලන්ත කොල්ලෝ දෙන්නෙක් මාත් එක්ක ගොඩක් යාලු උනා ... එතකොට එක්දස්නමසිය අනු ගණන් වල ... මන් දවසක් මේ දෙන්නත් එක්ක අවිස්සාවේල්ලේ ටවුමේ බස් ස්ටෑන්ඩ් එකේ හිටියේ බටන්ගල පුහුණු මද්යස්තනෙට යන්න බස් එක එනකල්,, ඔතෙනට අව අපේ ගමේ අදුරන මාමා කෙනෙක්,,,, මං සුද්දෝ දෙන්න එක්ක ඉන්නවා දැකල ලගට ඇවිත් ඉංග්‍රීසි වලින් මොනවාද කිව්වා,, මං තවම කල්පනා කරන්නේ ඒ මොනවාද කිව්වේ කියල,,,

    ReplyDelete
    Replies
    1. මේ පැත්තේ ඇවිත් ඔබේ අත්දැකීම කිව්වට ස්තුතියි ලලිත්. බණ්ඩාරවෙල ජයසිංහ මුදලාලි එහෙම තවම බණ්ඩාරවෙල ඇති ඒ විදිහටම , ඔබේ ගමේ මාමත් එහෙමම ඇති ඔයාලා අපි ඊට වඩා දුරගියා වුණාට . අර ආවේ මරියා කන්‍යාරාමයෙ ලස්සන , කටකාර ටීචත් සමහර විට විදුහල්පතිතුමියක් , අධ්‍යාපන අධ්‍යක්ෂිකාවක් වත් වෙලා ඇති.. ඉංග්‍රීසි කියන්නේ භාෂාවක් බවත් , ඒක කතා කරන්න හුරුවෙන්නේ භාවිතයෙන්ම බවත් ඔය ඉංග්‍රීසි කතාකරවලා දැනුම හොයන්න බලන අයට තේරෙන්න ඕනේ . මම දන්න කෙනෙක් ඉන්නවා සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ෆේල් හැබැයි දැන් යුරෝපීය රටක මහාචාර්යවරයෙක් , ආයතන අධ්‍යක්ෂක වරයෙක් ලෝක ප්‍රසිද්ධ චරිතයක්

      Delete
  2. +++++ භාවිතා බහුලීකතා නේද😁

    ReplyDelete
  3. මටත් ඔහොම කේස් 2ක් ම වෙලා තියෙනවා 😂

    ReplyDelete