Follow by Email

Saturday, 24 April 2021

එහෙ පලගත්තත් වට්ටක්කා - මෙහෙ පලගත්තත් වට්ටක්කා



 එහේ පළගත් වට්ටක්කා   (1982-83)

මේ කියන දවස්වෙනකොට මම අවුරුදු 12- 13 ක පාසැල් ශිෂ්‍යයෙක් . ශිෂ්‍යත්වෙත් සමත් වෙලා එහෙම හිටපු නිසා ගියේ පළාතේ තිබූ මධ්‍ය මහා විද්‍යාලයට. ඔය දවස්වල තමයි වැඩිය එළවළු වගාවට හුරුවක් නොතිබූ අපි වගා කටයුතු පටන් ගන්නේ . ගෙදර ඉඳලා මීටර් 500 ක් හයසීයක් දුරින් තිබ්බ පල්ලැහැ වත්ත එළිපෙහිළි කරලා අපි අල, බෝංචි , ගෝවා ආදිය හැදුවා මතකයි. 

ඉඩම තිබුණේ "රිසිවේසම "( ජලපෝෂක කැළෑ රොදා අයිනේ .. වගාව ව්‍යාප්ත වීගෙන යද්දි කැලේ අයිනේ කොටසකුත් එළිපෙහෙළි කරලා ගත්තා මතකයි .  ඒ කෑල්ල බොර, අළු/ අලි බෝඹු , දඹ ආදි ගස් වලින් පිරුණු    දිය සීරාව අධික   කොටසට ඔන්න මෙන්න  වගේ  කිරිවැල් , වැරැල්ල ආදියෙන් වැහිළා තිබ්බ කොටසක්  . අපි අම්මාගේ අනුදැනුම ඇතිව මේ කොටස එළිකරේ මාළු මිරිස් හදන්න... මේ හරියේ පස කළුම කළු පාටයි .. ඒ වගේම සරුයි.. 

මාළු මිරිස් හදලා ඉවරවෙලා ඒ පාත්ති අයිනේ කැලේ දිහාට වෙන්නට එක දිගට වට්ටක්කා මණ්ඩි කීපයක් හැදුවා . ඒක කරේ මේ මමම තමයි මතක විදිහට .. 

කාළයක් යද්දී වට්ට්ක්කා වැල් සරුවටවැවීගෙන ආවා .. කොච්චර වැවුණාද කිව්වොත් ඒවා වත්ත අයිනේ තිබුණ කැලේ අලි බෝඹු ගස් උඩ , දඹ ගස් උඩ ඉඳන් දුවන්න ගත්තා .. 

ඔය කාලේ තමයි අපේ පල්ලැහැ ලොකු අම්ම එහෙම  අල බෝංචි  වගේ දේවල් හදන්න පටන් ගත්තේ . එයාලා හැදුවේ අපේ වත්තෙට එක එල්ලේ වගේ කැලෑ රොදෙන් අනික් පැත්තේ  තිබ්බ ඉඩමක .

ඔන්න දැන් වට්ටක්කා වැල් වල ගෙඩි හැදෙන කාලේ  කොළ පාට ගෙඩියේ පොහොර පොහොර තිබෙන ( කිසියම් රටාවක් සහිත ) වට්ටක්කා වර්ගයක් තමයි හැදුනේ .. ඒ කාලේ අද වගේ නෙවෙයි ගොවියෝ තමන්ගේ බීජ තමන්ම හදාගන්නවා ..මේ වට්ටකත් එහෙම කවුරු හරි අපිට දුන්න ඇට වළින් හදපු ඒවා (එහෙම නැත්නම් කෑමට ගෙනා වට්ටක්කා කෑල්ලේ ඇට වලින් පැලකරපුවා ).

පසේ සරුසාර බව කොච්චරද කියනවා නම් එක වට්ටක්කා ගෙඩියක් කිළෝ පහළොවක් විස්සක් විතර බරයි . ඒ වගේ වට්ටක්කා ගෙඩි අඩුම ගානේ පහළොවක් විස්සක් වත් හැදෙන්න ඇති අපි හදපු වට්ටක්කා මණ්ඩි තුනේ.. ඒ වට්ටක්කා නගරයේ පොළට ගෙනියද්දී එක එක ගෙඩි කරෙන් ගෙනිහින් ගෝණි වලට දැම්මේ උඩහා පාරෙදි . එළවළු වෑන් එක එන හරියෙදි .. එහෙම ගෙඩි දෙකක් හෝ තුනක් තමයි ගෝණියකට ඇල්ලුවේ 

ඔය කාලෙදි පොළේ යන කණ්ඩායමට මම හෝ අය්යා ( හැමදාම අම්මා යන්නේ නෑ) වගේම පල්ලැහැ ලොකු අම්මා , දිය කඩිත්ත ලඟ ගෙදර ආතා වගේ පිරිසක් ඉන්නවා .. ගමේ ඉඳන් නගරයට යන අතරේ   BS  මාමලා   ඩෙලිකා වෑන් එකේ එකම සද්දයක් .. පල්ලැහැ ලොකු අම්මා තමන්ගේ වගාව ගැන පුරා ජේරු කියනවා.... දියකඩිත්ත ලඟ ආතා වගේ අය , අපේ අම්මා හිටියොත් එයා එහෙම හූ මිටි තියනවා ... " කරුණංගී  දන්නවද? ගිය පාර අපේ අල  පාත්තියේ හැදුනනේ   මහා විශාළ අලයක්... කිව්වට විශ්වාස කරන්නේ නෑ එක අලයක් මේ අපේ CH   විතර ඇති "

 "ඒ අලේ බීජ අල කරලා කුඹුරේ හදද්දි පෙති පෙති කැපුවා ... මං හිතන්නේ  එක අළෙන් අල පාත්තියකටම බීජ අල ගන්න පුළුවන් වුණා .."

 ඈ මේ කියන්නේ ඒ කාලේ ගොඩ අළ හදලා ( බීජෙට හදන අල ) ඊට පස්සේ ඒවායෙන් මඩ අළ ( කුඹුරේ  ගොයම් හදන්නේ නැති කන්නයේ එළවලු හද්දද්දී හදන අල )  ලෙස හදනකොට අල ගෙඩි පෙති කපා බීජ අල හදා ගන්නා ක්‍රමය ගැනයි .

අල ගලවන කාලේටත් ලොකු අම්මාගේ පුරාජේරු එහෙමමයි .

".. කරුණංගිට කියන්න ....අපේ ඩිසයිරි අල වල මාර අස්වැන්නක් තිබ්බනේ මේ පාර....  එකට දහයයි දොළහයි.. අල විකුණලා චේන් එකක් ගත්තා නංගී... මෙන්න මෙච්චර ඇති ඒ චේන් පොට " 

අපේ ලොකු අම්මාගේ CH විතර අල මෙන් අතිශෝක්තියක් නොව ඇත්තටම අපේ වට්ටක්කා ගෙඩියක් CH ගේ භාගයක් විතර වූ බව නම් සත්‍යකි.. (ගෙඩි දෙකකින්  හෝ තුනකින් ගෝණියක් පිරෙන්න පුළුවන් වට්ටක්කා ගෙඩියක් ගැන හිතාගන්න ) .

... CH කියන්නේ ඒ කාලේ අවුරුදු දහයක් පමණවූ එතරම් උස නැති එහෙත් තරමක් මහත අපේ ලොකු අම්මාගේ දුවයි. 


මෙහේ පළ ගත්තත් වට්ටක්කා  

අපේ ලොකු අම්මා , දිය කඩිත්ත ලඟ ආතා ආදී බොහෝ පිරිසක් බුදුන් දැක නිවන් දකිනා තව්තිසාවේ වාසය කරන මේ කාලේ අපි තවමත් මහ පොළව සමඟ හැප්පෙන්නෙමු . 

ඒ ඉස්සර වගේ ආර්ථිකයට දායකවීමකට නොව සති අන්තයේ නිවසට වී විවේක පාඩුවේ ඉන්නා අතරේ ගතට සිතට සහනය දෙන වැඩක් ලෙස කරන ගෙවතු වගාවක් ලෙසිණි... 

සතිය පුරා මිනිස්සුන්ගේ මානසික , කායික රෝග මෙන්ම නොයෙකුත් මානසික පීඩාවන් , පවුල් අවුල්  , සේව ස්ථාන වල ගැටළු ආදිය හිසේ පුරවා ගෙන හිඳ ලැබෙන ඇසිල්ලෙන් ගහක් කොළක් සිටුවා .. ඒවා එක්ක කතා කරමින්  කාලය ගත කරන්න ලැබීම මටනම් වෙනමම සතුටකි. ගස් කොළං දළුලා වැඩෙන හැටි බලමින් , ඒවායේ මල් ඵල  හටගන්නා හැටි බලමින්  නිවසේ පිටුපස ඇති කුඩා එළවළු කොරටුවේ  කාලය ගත කරන්නට මා වගේම ගෙදර අනික් දෙන්නාත් ඉතාම ප්‍රිය කරති .

වෙන අවුරුදු වල අපේ ගෙවත්තේ හැදෙන්නේ වට්ටක්කා ගෙඩියක් හෝ දෙකක් පමණක් වුවද මේ අවුරුද්දේ එය තරමක් වෙනස් වී තිබේ.. 

















ජැප් පම්කින් ( පොහොර වට්ටක්කා ) ගෙඩි නවයකුත් . ලංකාවේ අපි රට වට්ටක්කා නමින් හඳුන්වන මෙහේ ක්වින්ස්ලන්ඩ් බ්ලූ  පම්කින්  ලෙස හඳුන්වන නිල්/ අළු පාට වට්ටක්කා ගෙඩි දෙකකුත් , ලංකාවේ ඩුබායි වට්ටක්කා ( බටානා හෙවත්  බටර් නට්) ගෙඩි දෙකකුත් තිබෙන අපේ ගෙවත්ත මෙවර තනිකර වට්ටක්කා යායකි  .. 

වෙන මොනවා නැතත් මේ වට්ටක්කා දිහා බලාගෙන  මගේ සිතුවිළි 1982-3 දිහාට ගිය එකම මදිද සතුටු වෙන්න කාරණයක් විදිහට ..

අපි දැන් මෙහේ පළ ගත් වට්ටක්කා එක එක කඩනවා .. ගෙදර කැල්ලක් උයලා ඉතිර් කොටස් ලඟ පාත ඉන්න ශ්‍රී ලාංකික සම්භවයක් තියෙන හිතවතුන් එක්ක බෙදා  හදා ගන්නවා ( අන්තිමට කඩපු ගෙඩිය කිලෝ හතර හමාරක් ,අපි පවුල් තුනක් අතරේ බෙදා ගත්තා )   

........එහෙනම් කට්ටියම එන්න   වට්ටක්කා කෑල්ලක් අරන යන්න., අපේ ලොකු අම්මලා , දිය කඩිත්ත ලඟ ගෙදර ආතාලා වගේ අයට පිංසිද්ධවෙන්නත් එක්ක  .............



8 comments:

  1. එකනං නියමයි. ඕවට පෝර එහෙමත් දානවද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ....නෑ ප්‍රසා ... කිසිම රට පොහොරක් (රසායනික පොහොරක )/කෘෂි රාසයනිකයක් පාවිච්චි කරන්නේ නෑ .. ගොම, කුකුල් පොහොර , කොම්පෝස්ට් ආදී කාබනික පොහොර විතරයි පාවිච්චි කරන්නේ

      Delete
  2. වගාව සාරවත් වගේම ඔබගේ අතීත වගාවත් හා බැදුනු කතාවල් හරිම රසවත්. අමුතුම සුන්දරත්වක්, ආසාවෙන් කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ පැත්තේ ආවාට .. ඇත්තටම දැන් හිතලා බැලුවාම හීනයක් වගේ පෙලගැහෙන රසවත් අතීත සිදුවීම් දාමයක්.. ඔය කියන ලොකු අම්මාට පුංචි මම නමක් පටබැඳලා තිබ්බා " චේන් පොට " කියලා ..

      Delete
  3. කාලෙකින් සොඳුරු අතීතයෙන් බිඳක් කියවන්න උනේ.. එදා වගේම රහයි ඉතිං.. <3

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ..කාලෙකින් කොහොමද? දැන් කියවන්න වැඩිපුර වෙලාව ලැබෙන්නත් ඉඩ තියෙනවා ඉදිරිසති කීපයේදි ගොඩක් වෙලාවට

      Delete
  4. Covid-19 ALLERT level iii--> Construction sites Allowed! අපි දිගටම වැඩ.. හෙට කම්කරු දිනයේත් :))

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි "වැඩ කරන අපේ විරුවෝ" හෙවත් නියම "සර්" ලා

      Delete