දිනය එක්දාස් නමසිය හැත්තෑහයේ ජනවාරි මාසයේ මුල දවසක් . ස්ථානය බණ්ඩාරවෙල මාරබැද්දේ නිවසක් , අවස්ථාව එදා උදේ හා හා පුරා කියලා ඉස්කොලේ ගිය නිවසේ කණිටු පුත්‍රයා එකලොහ හමාරට ඉස්කෝලේ ඇරිලා ගෙදර ඇවිත් .අම්මයි අක්කයි අම්මගේ මල්ලිලා දෙන්නයි (ලොකු මාමා සහ පොඩ්ඩේ මාමා ) කොළුවා ව වට කරගෙන ඉස්කෝලේ ගැන විස්තර අහනවා .. ලොකුමාමා : චූටිපුතා කොහොමද ඉස්කෝලේ ? අළුත් යාළුවෝ එහෙම හම්බවුණාද? කොළුවා උත්තරයක් දෙන පාටක් නෑ.. චූටිපුතා ඉතිං කියන්න කෝ කවුද ඔයාට හම්බවුණ යාළුවෝ එහෙම? අම්මත් අහනවා අක්කත් අහනවා .. කොළුවාගෙන් තවම උත්තරයක් නෑ .. හරි හරි අඩුමගානේ අපිට කියන්නකෝ යාළුවා පිරිමි ළමයෙද්ද , ගෑණු ලමයෙක්ද කියලා ? ඒ වෙනකොට අවුරුදු විසිගාණක වගේ ඉලංදාරියෙක් වන ලොකු මාමා ආයෙත් අහනවා .. අනික් අය වැඩේ අතෑරලා දැම්මත් ලොකුමාමා වැඩේ අතාරින්නෙම නෑ .. චූටිපුතා කියන්නකෝ බලන්න ඔයාගේ හොඳම යාළුවා කව්ද කියලා එයා ආයිත් ආයිත් අහනවා.. මේ මේ......මගේ යාළුවා තමයි ........අන්තිමට ඔන්න කොල්ලාගේ කට ඇරෙනවා .. හා ඔන්න අපිට කියන්න හදන්නේ ෂ් ...ෂ් උඹලා සද්ද නැතිව ඉඳපල්ලකෝ මම අහගන්නම් කෝ අලුත් යාළුවා කවුද කියලා .... ලොකුමාමා සභාව නිශ්ෂබ්ධ කරනවා ... ම් ..... ම් . ම්. අද ඉස්සෙල්ලාම මට හම්බවුණ යාළුවා තමයි.... ටිකිරි ලතා...
හ හ් හා .. ලොකුමාමයි පොඩ්ඩේ මාමයි අම්මලා ඇතුළුසියළුම දෙනා මහා හය්යෙන් හිනාවෙනවා .. කොල්ලාට තේරුණේ නෑ ඇත්තටම ඇයි කියලා එයාට රත්නකුමරු, තිලකා ඉන්ද්‍රාණි , අජිත්ලාල් කුමාර , චන්ද්‍රලතා කියන පංතියේ අනික් යාළුවන්ගේ නම් හුරුවෙන්නේ පස්සේ . ඒ වුණාට මුල්දවසේම ටිකිරිලතාගේ නම මතකයි.. හිනාවෙලා ඉවරවුණ ලොකුමාමා චුටිපුතා ගේ මුල්ම අන්වර්ථනාමය දෙනවා ඒ තමයි ලකිරිටිතා .. ඊට ටිකකාලෙකට පස්සේ ඒ නම තව ටිකක් කෙටිවෙනවා "ඒයි ලකිරි ඔය උදැල්ල මෙහාට ගෙනැත් දියන් වගේ යෙදුම් යොදමින්.. මට මතක හැටියට අපි ගජ ඉලන්දාරිවෙලා ලොකු මාමලා රාජු මාමල එක්ක කුඹුරු කොටද්දි එහෙමත් එයා ඒ කොලුවට ( මේ මට ) කතා කරන්නේ එහෙමයි
මේ සිද්ධිය සිදුවෙන්නේ මම මුලින්ම ඉස්කෝලෙ ගිය දවසේ 1976 ( අපේ තාත්තා ඉස්කොලේ ලොකු මහත්තයා අඳුරන නිසා මම අඩුවයසෙන් අවුරුදු හයෙන් ඉස්කෝලේ ගියා) එදා දැක්ක ලකිරිටිතා කළු හීන්දෑරි කෙල්ලෙක් , සෙරෙප්පු එහෙමත් නැතිව තමයි ඉස්කොලේ ආවේ. ඇත්තටම ඇත්තටම ටිකිරිලතා ගේ කිසිම විශේෂයක් අපේ කතානායකයාට තිබුණේ නෑ .. කට්ටිය පෙරැත්ත කර කර නම් අහනකොට කියැවුණාට.. කාලයගෙවී ගිහිල්ලා අපි ගමේ ඉස්කෝලෙන් බණ්ඩාරවෙල කණිශ්ඨට එනවා ඒ 1979 වගේ කාලේ එතකොට ඔය කියන ඉඳුළින් කණිෂ්ඨයේ ඉඳලා වෙන ඉස්කෝලෙකට මාරුවෙලා ගිහිල්ලා මම හිතන්නේ තණමල්විළට .. අපි කණිෂ්ඨයෙන් ශිෂ්‍යත්වය සමත්වී මහ විද්යාලයට එහෙම ගිහිල්ලා විශ්වවිද්‍යාල ප්‍රවේශයත් සමත්වෙනවා .. එතෙක් මේ කියපු ටිකිරිලතා ඉන්නේ කොහේද කරන්නේ මොනාද මොකවත් දන්නේ නෑ .. ඒ ගැන අවධානයක් ඇතිවුණොත් නෑ වත්තේදි කුඹුරෙදි ලොකුමාමගේ විහිළුවට ලක්වෙන නමකට උරුමකම් කීවට..
ඔන්න උසස්පෙළ ඉවරවෙලා විශ්වවිද්‍යාල පටග්ගන්නා තෙක් අපි කට්ටියම ඩෙලික් විභාගය කරනවා කරලා ඉංග්‍රීසි උපගුරුවරු ලෙසට අපට පත්වීම් එහෙමත් ලැබෙනවා . මුලින්ම වෙහෙරයායේ කණිස්ඨයට පත්වීම ලැබුණත් මාසකිහිපයක් ගියතැන තාත්තා මට ගම ලඟ ඉස්කෝලෙකට මාරුවක් අරන්දෙනවා. ඒ අපේ ගෙවල් වල සිට බණ්ඩාරවෙලපැත්තට නෙවෙයි අනික්පැත්තට පයින් ගියාම හම්බවෙන ඉස්කෝලේකට . ඒ කියන්නේ හාලිඇල අධ්‍යාපන කොට්ඨාශයේ කෙළවරේම තියෙන බ/මහතැන්න ප්‍රාථමික විද්‍යාලයට.. එකදවසක් මම මහතැන්නට වැඩට යන අපේ ගමේ තවත්ටීච කෙනෙක් එක්ක තේ වත්ත පාරේ පයින් යන ගමන්.. කළු හීන්දෑරි ගෑණු කෙනෙක් දළුකඩන කම්කරැ කණ්ඩායමේ ගැහැණු කෙනෙක් අපි දිහා හොඳට බලන් ඉන්නවා.. ඒ කවුද දන්නවද? එදා ඉස්කෝලේ ගිය මුල්මදවසේ නම මතක්වුණ ටිකිරිලතා .. අපි කැම්පස් යන්න ඉද්දි එයා තේවත්තේ දළු නෙලන්නියක් වෙලා .. මට 1976 මතක්වුණා.. කාලය මැවු වෙනසක අරුමේ
...I can imagine that ... one of crush is pluck tea leaf while back to home with another crush's mother...
ReplyDelete