එක්දාස් අ නමසිය අසූ එක අසූදෙක කාලේ මගේ වයස යන්තම් අවුරුදු එකොළහ පිරුණා විතරයි ඒත් ඒකාලෙත් මම සැලකිය යුතු තරමක ව්‍යවසායකයෙක් . මේ කාලේ මම අපේ තාත්තාගේ ඒ කාලේ තාවකාලික රැකියාව වූ ඩී ඩී 21 ඉසුසු වෑන් එකේ රියැදුරු කම උපයෝගි කරගෙන මගේ බිස්නස් වැඩ බණ්ඩාරවෙලින් වැල්ලවායට පැතිරවූ හැටියි මේ කතාවෙන් කියැවෙන්නේ.
ඒකාලේ අපිට කලාතුරකින් උදාවූ "නරක කාලයක්" උදාවෙලා තිබුණා කිව්වොත් නිවැරදියි . මොකද අසූවේ තමන්කරපු රජයේ රැකියාව අහිමිවී සිටි අපේ තාත්තා වෙනත් රැකියාකරලා අපව පෝෂණය කරන්න හදපු කාලේ තමයි අසූව දශකයේ මුල්භාගය කියන්නේ. ඔහු අම්මාත් අක්කා මම ඇතුළු අපි කිහිපදෙනාත් සහයට අරන් එළවළු වගාව පටන්ගත්තෙත් මේ කාලේම තමයි. අපේ අම්මා වගේ නෙවෙයි තාත්තා එයා එච්චරම වගාවට කැමති කෙනෙක් නෙවෙයි. ඉතිං ඒ නිසාම දෝ කොහෙද ඔහු අපිට වගාකටයුතු කරන්නට හැරලා පාරේ මිනිස්සු අදින වෑන් වල වැඩ කරන්නට පටන්ගත්තා වැඩිකල් යන්න නොදීම. ඔහු දියතලාව- බණ්ඩාරවෙල , පල්ලේවෙල බණ්ඩාරවෙල ( ජයමඟ ) රූට්වල ඉතා කෙටිකලක් වැඩකලා .. ඊට පස්සේ නැවතත් ගෙදරට වෙලා ඉද්දි තමයි අපේ බඹරගම නැන්දා වාහනයක් ගත්තේ .
එහෙමනම් අපි බඹරගම නැන්දලා හයි ඒස් එකෙන් ඩී ඩී විසි එකට එමු
ඔන්න එක දවසක් මෙතෙක් අනුන්ගේ වාහන එළවමින් සිටි අපේ තාත්තා දුඹුරුපාට (චොකලට් පාට) ඇළුත්ම අළුත් හයි ඒස් එකකින් ගෙදර එනවා. අම්මා අපි ඇතුළු හැමෝම වටවෙලා විස්තර අහනවා.. වෑන් එක අරන් තියෙන්නේ අපේ බඹරගම නැන්දලා ( තාත්තගේ ලොකු නංගී ), කතාවේ හැටියට ෆිනෑන්ස් කරලා තමයි අරන් තියෙන්නේ .. මාළිගාතැන්න බණ්ඩාරවෙල රූට් එකේ දුවලා ෆිනෑන්ස් එක ගෙවන්න තමයි සැලසුම. ඒ දවස්වල හැමදාම රෑ වෙද්දි අළුත්ම අළුත් වාහනේ අපේ ගෙට උඩහ හන්දියේ නවත්තලා තියෙනවා. අපේ අංජු මාමත් මමත් වාහනේ බලාගන්න ඒකේ මැදසීට් දෙකේ නිදාගන්න යනවා ඒ දවස්වල..
අළුත් හයි ඒස් එකත් එක්ක ඔහොම කාලයක් ගෙවිලා ගියාකියමුකෝ. ඒ පාර අපේ තාත්තා ඊටවඩා පරණ කොළපාට රුක්මණී මොඩ්ල් හයි ඒස් එකකින් ගෙදර එනවා.. අම්මා එක්ක යන කතාබහින් තමයි හේතුව එළිවෙන්නේ.. ෆිනෑන්ස් ගෙවාගන්න බැරිනිසා කොම්පැණියෙන් අළුත් වෑන් එක අරන්ගිහින් නැන්දලාට ගෙවපු ගාණටයි ඉදිරි වාරිකවලටයි ගැලපෙන්න පරණ මොඩ්ල් (රුක්මණී මොඩ්ල් ) වෑන් එකක් දීලා..
කොහොමින් කොහොම හරි බඹරගම නැන්දලා වැඩි කාලයක් වාහන රස්සාව කරන්නේ නෑ ඒ වාහනේ අපේ තාත්තගේ අක්කගේ මහත්තයා ( චන්දරේ මාමා ) ගත්තා කියලා ආරංචි වෙනවා.. මම හිතන හැටියට නැන්දලාට තිබ්බ ෆිනෑන්ස් එකත් එක්කම .. චන්දරේ මාමා ඉන්නෙත් අපේ ගමේමයි. වෑන් එක ඊට පස්සේ ගාල්කරන්නේ චන්දරේ මාමලා ගෙදර . ඒ නිසා එදා ඉඳලා අපිට අපේ වගේ තිබ්බ වාහනේ නිදාගන්න තිබ්බ අවස්ථාව එහෙම නැතිවෙනවා.චන්දරේ මාමා බඹරගම කට්ටිය වගේ නෙවෙයි ශූර ව්‍යාපාරිකයෙක් . රුක්මණී මොඩල් වාහනේ දිගටම තියාගන්නා ඔහු එහි රියැදුරා කරන්නේ අපේ තාත්තාමයි . ඒ අතරේ වෑන් එකේ ගෝලයා විදිහට ඔහුගේ පුත් චූටි අය්යා වැඩට යොදාගන්නවා.
දැන් ඩ්‍රයිවර් අපේ තාත්තා ගෝලයා චන්දරේ මාමලා චූටි අය්යා පරණ හයි ඒස් එකේ මාළිගාතැන්න - බණ්ඩාරවෙල මිනිස්සු අදිනවා. තාත්තත් තමන්ගේ අක්කගේ වාහනේ නිසා හරි උනන්දුවෙන් වැඩ.ඔහුගේ බෑනා චූටි අය්යත් හරිඋනන්දුවෙන් පුළුවන් තරම් කෑලි එකතු කරගන්න බලනවා ඇටම්පිටිය පාරේ ලංගම බස්වලට කපාගෙන යනගමන්.
මාමා බෑනා සුසංයෝගය සාර්ථකවෙද්දි චන්දරේ මාමා තීරණයකට එළැඹෙනවා. ඒ මාලිගාතැන්න බණ්ඩාරවෙල වෙනුවෙට මෙතෙක් පෞද්ගලික වාහනයක් නොගිය පාරක්වූ බණ්ඩාරවෙල වැල්ලවාය පාර ආක්‍රමණය කරන්න.. හැබැයි අර රුක්මණී මොඩ්ල් වෑන් කෞවෙන් නෙමෙයි අළුත්ම අළුත් ඉසුසු එල්ෆ් වෑන් එකකින්. කහපාට වෑන් එකක් වූ ඒක ඉස්සෙල්ලාම වැල්ලවාය පාරට දැම්මේ ගරාජ් නම්බර් එකකින් .. ඒ අංකේ තමයි ඩී ඩී විසි එක කියන්නේ.
ඒ කාලේ බණ්ඩාරවෙල වැල්ලවාය පළවෙනි බස් එක තමයි මර්ග අංක 31 යටතේ බණ්ඩාරවෙල සහ මාතර අතර දුවන මාතර බස් එක . මේක බණ්ඩාරවෙල ඩිපෝවෙන් ගිය ප්‍රධාන බස්වලින් එකක් .. උදේට ශීට් පිරෙන්න සෙනඟ ඉන්න බස් එකක් තාත්තයි චූටි අය්යයි ඩී ඩී විසි එකෙන් උදේ පාන්දර හය වෙද්දී පිටත් වෙනවා මට මතකයි . ඒ මාතර බස් එකට කපාගෙන වැල්ලවායට යන බලාපොරොත්තුවෙන්. "31 මාතර" මගේ පුද්ගලික ඉතිහාසයටත් ගොඩක් සම්බන්ධයි මොකද මම වෙහෙරයාය ඉස්කෝලේ ගුරුවරයෙක් කාලෙත් ඒ වගේම කරාපිටියේ වෛද්‍යශිෂ්යයෙක් කාලෙත් මාව බණ්ඩාරවෙල සිට ගමනාත්යට අරන් ගියේ එයා නිසා .. අපි වෙහෙරයායෙ ඉන්න කාලෙත් කරාපිටියේ ඉන්න කාලෙත් 31 හැඳින්වුවේ "කහ කුරුල්ලා කියලා . ඉතිං එවන් කහකුරුල්ලෙකුට කපාගෙන තමයි තාත්තලා චූටි අය්යලා ඩී ඩී විසි එක අරන් ගියේ.
බණ්ඩාරවෙලින් වැල්ලවායට ගිය ව්‍යවසායක්ත්වය
තාත්තා ඩී ඩී විසි එකේ වැඩකරද්දී මම හිටියේ හයේ -හතේ පංතිවල.. ඒකාලේ හවසට අම්මගේ එළවළුවගාවට උදව්වෙනවා වගේම පොඩි පොඩි සයිඩ්බිස්නස් කරන එකත් මගේ සිරිතක්.. මගේ වැඩ දන්නා තාත්තා ( හරියට මම අපේ සුපුන් එක්ක දැන් කරනවා වගේ) මට එක එක වෙලඳ යෝජනා ගෙනෙනවා ඒ දවස්වල.. වැල්ලවායේ සියළු එලවළු පළතුරු වර්ගවල මිල බණ්ඩාරවෙලට වඩා වැඩිවීම ඔහු මගේ කුඩා ව්‍යවසායික මනසට ඇතුල් කරනවා..
"චූටිපුතා ඔයා ඔය මෙහේ කඩවල් වලට දෙන චව්, අළිපේර එහෙම වැල්ලවායට ගෙනිච්චොත් දෙගුණයක් හම්බකරතහැකියි"
"ඒ කොහොමද? "
"එහේ අලිපේර එහෙම බෙහෙතකටවත් හොයාගන්න නෑ.. ඔයා බඩු ටික එකතුකරලා උදේට වෑන් එකට දාන්නකෝ මම චූටි ලවා වැල්ලවායේ පොළට යවලා විකුණලා දෙන්නම්"
තාත්තාගේ යෝජනාව හිස්මුදුනෙන් පිළිගත් මම ඊලඟට වැඩේට බහිනවා.. මගේ ගමේ ගැංසියේ ඉන්න නඩරාජා , ප්‍රියන්ත වගේ කොල්ලෝ ලවා අලිපේර කඩවාගෙන උදේවෙද්දී ඩී ඩී 21 ට පටවනවා.. හවසට තාත්තා මගේ අලාභය ගෙනැත් දෙනවා..
බිස්නස් නැගලා යද්දී චන්දරේ මාමටත් වැඩේ ඉව වැටෙනවා සමහර විට චූටි අය්යා . "ආන් අරහේ උඩහ චූටිමල්ලියා තාත්තාගේ ඩ්‍රය්වර් වැඩේ අස්සෙට් සයිඩ් බිස්නස් එකක් ගෙනියනවා" කියලා කියනවා ඇති .
එක දවසක් තාත්තාට කතාකරන චන්දරේ මාමා වෑන් එකේ මගේ බඩු ගෙනියන්න එපා කියලා අවවාදයක් දෙනවා.. මට ඒක ගාණක් නැතිවුණාට තාත්තගේ හිතරිදෙන්න ඇති.. තවටික කාලයකින් තාත්තා ඩී ඩී 21 එකෙන් සමුගන්නවා.. ඒ වෙනකොට එයා චූටි අය්යාට ගුරුමුශ්ටි නැතුවම රියැදුරු ශිල්පය කියාදීලා ඉවරයි.
ප; ළි: අද ඒ අපි කොහෙද? චන්දරේ මාමා ගෙවල්ලඟ පොඩි පෙට්ටිකඩයක් කරනවා . චූටිඅය්යා මල්වත්තේ ටිකක් ලොකු කඩයක් කරනවා..සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නැවත සේවයේ පිහිටවූ තාත්තා මම අය්යා අක්කා නංගිලා දෙන්නා ( අපි හැමෝම ) තම තම රැකියා අංශවල ඉහළම ස්තරවල ඉන්න හැටි බලමින් විශ්‍රාම සුවයෙන් ගෙදර ඉන්නවා.. මේ කතාව ලියැවෙන්නේ තිලකසිත ලියන තිලකසිරි අය්යා මෑතකදී පටන් ගත් ටෙක් ජොබ්ස්වැඩේට ඌණපුරණයක් විදිහටයි.. ව්‍යවසායකත්වයට, අලුත් රැකියාවලට මංපෙත් බොහොමයි මෙහි වෛද්‍යවරයෙක් , විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් වන මමත් ඒ කාලෙත් රජයේ නිළධාරියෙක් වූ අපේ තාත්තත් ඒ බවපෙන්වලා තියෙනවා.. කොවිඩ් -19 කළබල අස්සේ රැකියා අවස්ථා එහාමෙහා වූ ඔබටත් හිතන්න ඉඩක් මෙහි ඇතැයි කියලා හිතනවා. අපේ තාත්තාවගේ විවෘත මනසින් රැකියා දෙස බලන්න .. ඇත්තටම කිව්වොත් "කලනොහැක්කක් නොමැත"
විවෘත මනසින් රැකියා දිහා විතරක් නොවෙයි ලෝකය දිහා බලන්නත් මේ ලිපියෙන් උදව් වෙනවා. හරිම ප්‍රායෝගික හා උත්සහවන්ත මිනිසුන්ගේ කතාවක්. මම එක එක දේවල් පටන් ගත්තට කවිඳුලා ළඟ තියෙන නොපසුබට උත්සාහය හා ව්‍යවසායකත්වය අතින් පිටිපස්සේ ඉන්නේ
ReplyDeleteමේ කථාව කියවගෙන යද්දි,හිතට එන්නේ 1989~2002 අතරවගේ ළමාකාලේ අත්දැකිම්;
ReplyDeleteවෙළදාමෙන් බංකොලොත් වුනු තාත්තාගේ ඊලග රැකියාව,
LH30 රවුං ලයිට් හයිඑස් වැ්න් එක
Isuzu Elf වහල උස වැ්න් (මිනිස්සු,කිරි සහ එළවළු පටවපු)
දියතලාව සහ බණ්ඩාරවෙල එළවළු කොටු,
වැල්ලවාය පොල (කොස්ලන්දේන් ගිලිහිලා වැල්ලවාය ලොකු ටවුමක් වෙනන් පටන්ගන්න කාලේ)
6ට බණ්ඩාරවෙලින් පටන් අරගෙන 6:45ට වැල්ලවායෙන් පිටත්වෙන 31 මාතර බස්එකට පොරාකාගෙන ගිහිල්ලා නැගලා අම්මට සිට් එකක් අල්ලන්න උත්සහ කරනවිදිය,
මාතර පරණ බස්නැවතුම් පොලේ (වර්තමාන ජයසුරිය කි්ඩාපිටිය) අැතුල් වෙලා වම් අත පැත්තේ අන්තිම හොල්ට් එකේ (11 අැඹිළිපිටිය/ රත්නපුර) ඉදලා ඊලග හෝල්ට් (31/35 බදුලු,බ.වෙල/ අම්පාර,මොණරාගල)
එකෙන් හරියට දවල් 1ට පිටත්වෙන අලුත් කහකුරැල්ලා බණ්ඩාරවෙල බස්එක දැක්කම අැතිවෙන ගැම්ම.
මුහුද පැත්ත බලාගෙන යන්න සිට් අල්ලගන්න හැටි,
අයියාගේ රතුපාට ලුමාලා බයිසිකලේ බස්එකට වැඩිය හයියෙන් ඉස්ටැන්ඩ් එකේ ඉදාලා බිච් රොඩ් එකට එනකං අපිට පෙන්න එනවිදිය,
බිච් රොඩ්එකේ කෙලවර වෙනකං අයියව බලන්න පිටිපස්ස බලං ඉදලා, බෙල්ලේ උලුක්කු කරගන්න හැටි,
කහකුරැල්ලා බස්එකේ පරිස්සමට ගේන සුරතල් මාළු දමාගත් ඔක්ෂිජන් ගහපු වතුර පුරවපු පොළිතින් උර,සෙල්ලම් බඩු,
ලුණුගම්වෙහෙර හෝටලේ සහ තණමල්විල විරසිංග හෝටලේ මාළුපාන්,ෆැන්ටා,කිවුල් වතුර,
ගෙදරට සහ අල්ලපු ගෙවල් වලට ගන්න කිරිහට්ටි සහ තුඹකරවිල,
වැල්ලවාය බස්නැවතුම් පොලට හවස 4:45ට ලගාවෙලා බස්එකෙන් බහින්න පොරකන හැටි,
පරක්කු වෙලා දුවලායද්දි බෙරගල හරහා බණ්ඩාරවෙල බස්එක මගහැරැනු හැටි,
පැය භාගෙන් භාගයට ඈල්ල හරහා බණ්ඩාරවෙලට බස්යද්දි බෙරගල පාරේ බස් නැතිවෙනකොට ඈතිවෙන පැහැදිලි ඉරිසියාව,
ඈල්ල පාර නාය පලයං එතකොට අපේ පාරේ බස් ඔක්කොම යයි කියන හිනය.
අනේ මන්දා මේවානම්,එ්ත් අත්දැකිම් 😀.
ඇත්තටම අනතුර වෙනකොට රුක්මණී දේවි ගියේ ඔය රුක්මණී මොඩ්ල් කියලා කියන එකක නෙමෙයි කියලා මේ ළගදී කොහේ හරි තියෙනවා දැක්කා.වෑන් එකේ ෆොටෝ එකක් තිබුණා.ඒකෙ හැටියට නම් LH 20 හෝ 30 එකක්.
ReplyDeleteධෛර්ය වන්ත මිනිසුන්ට කවදාවත් වරදින්නේ නැහැ කියන එකයි මේ කතව අර්ථය මටනම් . මෙහෙ (ලන්ඩන් වල මොඩෙලින් කරපු පොහොසත් අය , බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ වැඩ කරපු අය මේ දවස් වල සුපර්මාකට් ඩ්‍රයිවර් ලා හැටියට , බදු විකුණන් අය හැටියට වැඩ
ReplyDelete