Showing posts with label පාසැල් සමයේ කතා. Show all posts
Showing posts with label පාසැල් සමයේ කතා. Show all posts

Monday, 11 May 2020

ඩී ඩී 21 : බණ්ඩාරවෙල - වැල්ලවාය


එක්දාස් අ නමසිය අසූ එක අසූදෙක කාලේ  මගේ වයස යන්තම් අවුරුදු එකොළහ පිරුණා විතරයි ඒත් ඒකාලෙත් මම සැලකිය යුතු තරමක ව්‍යවසායකයෙක් . මේ කාලේ මම අපේ තාත්තාගේ  ඒ කාලේ තාවකාලික රැකියාව වූ ඩී ඩී 21 ඉසුසු වෑන් එකේ රියැදුරු කම උපයෝගි කරගෙන මගේ බිස්නස් වැඩ බණ්ඩාරවෙලින් වැල්ලවායට පැතිරවූ හැටියි මේ කතාවෙන් කියැවෙන්නේ.
ඒකාලේ අපිට කලාතුරකින් උදාවූ "නරක කාලයක්" උදාවෙලා තිබුණා කිව්වොත් නිවැරදියි . මොකද අසූවේ තමන්කරපු රජයේ රැකියාව අහිමිවී සිටි අපේ තාත්තා  වෙනත් රැකියාකරලා අපව පෝෂණය කරන්න හදපු කාලේ තමයි අසූව දශකයේ මුල්භාගය කියන්නේ. ඔහු අම්මාත් අක්කා මම ඇතුළු අපි කිහිපදෙනාත් සහයට අරන් එළවළු වගාව පටන්ගත්තෙත් මේ කාලේම තමයි. අපේ අම්මා වගේ නෙවෙයි තාත්තා එයා එච්චරම වගාවට කැමති කෙනෙක් නෙවෙයි. ඉතිං ඒ නිසාම දෝ කොහෙද ඔහු අපිට වගාකටයුතු කරන්නට හැරලා පාරේ මිනිස්සු අදින වෑන් වල වැඩ කරන්නට පටන්ගත්තා  වැඩිකල් යන්න නොදීම. ඔහු දියතලාව- බණ්ඩාරවෙල , පල්ලේවෙල බණ්ඩාරවෙල ( ජයමඟ ) රූට්වල ඉතා කෙටිකලක් වැඩකලා .. ඊට පස්සේ නැවතත් ගෙදරට වෙලා ඉද්දි තමයි අපේ බඹරගම නැන්දා වාහනයක් ගත්තේ .

එහෙමනම් අපි  බඹරගම නැන්දලා හයි ඒස් එකෙන් ඩී ඩී විසි එකට එමු



ඔන්න එක දවසක් මෙතෙක් අනුන්ගේ වාහන එළවමින් සිටි අපේ තාත්තා දුඹුරුපාට (චොකලට් පාට)  ඇළුත්ම අළුත් හයි ඒස් එකකින් ගෙදර එනවා. අම්මා අපි ඇතුළු හැමෝම වටවෙලා විස්තර අහනවා.. වෑන් එක අරන් තියෙන්නේ අපේ බඹරගම නැන්දලා ( තාත්තගේ ලොකු නංගී ),  කතාවේ හැටියට ෆිනෑන්ස් කරලා තමයි අරන් තියෙන්නේ .. මාළිගාතැන්න බණ්ඩාරවෙල රූට් එකේ දුවලා ෆිනෑන්ස් එක ගෙවන්න තමයි සැලසුම.  ඒ දවස්වල හැමදාම රෑ වෙද්දි අළුත්ම අළුත් වාහනේ අපේ ගෙට උඩහ හන්දියේ නවත්තලා තියෙනවා.  අපේ අංජු මාමත් මමත් වාහනේ බලාගන්න ඒකේ මැදසීට් දෙකේ නිදාගන්න යනවා ඒ දවස්වල..

අළුත් හයි ඒස් එකත් එක්ක  ඔහොම කාලයක් ගෙවිලා  ගියාකියමුකෝ. ඒ පාර අපේ තාත්තා ඊටවඩා පරණ කොළපාට  රුක්මණී මොඩ්ල් හයි ඒස් එකකින් ගෙදර එනවා.. අම්මා එක්ක යන කතාබහින් තමයි හේතුව එළිවෙන්නේ.. ෆිනෑන්ස් ගෙවාගන්න  බැරිනිසා කොම්පැණියෙන් අළුත් වෑන් එක අරන්ගිහින් නැන්දලාට ගෙවපු ගාණටයි ඉදිරි වාරිකවලටයි ගැලපෙන්න  පරණ මොඩ්ල් (රුක්මණී මොඩ්ල් ) වෑන් එකක් දීලා..




කොහොමින් කොහොම හරි බඹරගම නැන්දලා වැඩි කාලයක් වාහන රස්සාව කරන්නේ නෑ ඒ වාහනේ අපේ තාත්තගේ අක්කගේ මහත්තයා ( චන්දරේ මාමා ) ගත්තා කියලා ආරංචි වෙනවා.. මම හිතන හැටියට නැන්දලාට තිබ්බ ෆිනෑන්ස් එකත් එක්කම .. චන්දරේ මාමා ඉන්නෙත් අපේ ගමේමයි.  වෑන් එක ඊට  පස්සේ ගාල්කරන්නේ චන්දරේ මාමලා ගෙදර .  ඒ නිසා එදා ඉඳලා අපිට අපේ වගේ තිබ්බ වාහනේ නිදාගන්න තිබ්බ අවස්ථාව එහෙම නැතිවෙනවා.චන්දරේ මාමා බඹරගම කට්ටිය වගේ නෙවෙයි ශූර ව්‍යාපාරිකයෙක් . රුක්මණී මොඩල් වාහනේ දිගටම තියාගන්නා ඔහු එහි රියැදුරා කරන්නේ අපේ තාත්තාමයි . ඒ අතරේ වෑන් එකේ ගෝලයා විදිහට ඔහුගේ පුත් චූටි අය්යා වැඩට යොදාගන්නවා.
දැන් ඩ්‍රයිවර් අපේ තාත්තා ගෝලයා චන්දරේ මාමලා චූටි අය්යා  පරණ හයි ඒස් එකේ මාළිගාතැන්න - බණ්ඩාරවෙල මිනිස්සු අදිනවා. තාත්තත් තමන්ගේ අක්කගේ වාහනේ නිසා හරි උනන්දුවෙන් වැඩ.ඔහුගේ බෑනා චූටි අය්යත් හරිඋනන්දුවෙන් පුළුවන් තරම් කෑලි එකතු කරගන්න බලනවා ඇටම්පිටිය පාරේ ලංගම බස්වලට කපාගෙන යනගමන්.

මාමා බෑනා සුසංයෝගය සාර්ථකවෙද්දි චන්දරේ මාමා තීරණයකට එළැඹෙනවා. ඒ මාලිගාතැන්න  බණ්ඩාරවෙල වෙනුවෙට මෙතෙක් පෞද්ගලික වාහනයක් නොගිය පාරක්වූ බණ්ඩාරවෙල වැල්ලවාය පාර ආක්‍රමණය කරන්න.. හැබැයි අර රුක්මණී මොඩ්ල් වෑන් කෞවෙන් නෙමෙයි අළුත්ම අළුත් ඉසුසු එල්ෆ් වෑන් එකකින්. කහපාට වෑන් එකක් වූ ඒක ඉස්සෙල්ලාම වැල්ලවාය පාරට දැම්මේ ගරාජ් නම්බර් එකකින් .. ඒ අංකේ තමයි ඩී ඩී විසි එක කියන්නේ.

ඒ කාලේ බණ්ඩාරවෙල වැල්ලවාය පළවෙනි බස් එක තමයි මර්ග අංක 31 යටතේ බණ්ඩාරවෙල සහ මාතර අතර දුවන මාතර බස් එක . මේක බණ්ඩාරවෙල ඩිපෝවෙන් ගිය ප්‍රධාන බස්වලින් එකක් .. උදේට ශීට් පිරෙන්න සෙනඟ ඉන්න බස් එකක් තාත්තයි චූටි අය්යයි ඩී ඩී විසි එකෙන් උදේ පාන්දර හය වෙද්දී පිටත් වෙනවා මට මතකයි . ඒ මාතර බස් එකට කපාගෙන වැල්ලවායට යන බලාපොරොත්තුවෙන්. "31 මාතර" මගේ පුද්ගලික ඉතිහාසයටත් ගොඩක් සම්බන්ධයි මොකද මම වෙහෙරයාය ඉස්කෝලේ ගුරුවරයෙක් කාලෙත් ඒ වගේම කරාපිටියේ  වෛද්‍යශිෂ්ය‍යෙක් කාලෙත් මාව බණ්ඩාරවෙල සිට ගමනාත්යට අරන් ගියේ එයා නිසා .. අපි වෙහෙරයායෙ ඉන්න  කාලෙත් කරාපිටියේ ඉන්න කාලෙත් 31 හැඳින්වුවේ "කහ කුරුල්ලා කියලා . ඉතිං එවන් කහකුරුල්ලෙකුට කපාගෙන තමයි තාත්තලා  චූටි අය්යලා ඩී ඩී විසි  එක අරන් ගියේ.

බණ්ඩාරවෙලින් වැල්ලවායට ගිය ව්‍යවසායක්ත්වය

තාත්තා  ඩී ඩී විසි එකේ වැඩකරද්දී මම හිටියේ හයේ -හතේ පංතිවල.. ඒකාලේ හවසට අම්මගේ එළවළුවගාවට උදව්වෙනවා වගේම පොඩි පොඩි සයිඩ්බිස්නස් කරන එකත් මගේ සිරිතක්.. මගේ වැඩ දන්නා තාත්තා ( හරියට මම අපේ සුපුන් එක්ක දැන් කරනවා වගේ) මට එක එක වෙලඳ යෝජනා ගෙනෙනවා ඒ දවස්වල.. වැල්ලවායේ සියළු එලවළු පළතුරු වර්ගවල මිල බණ්ඩාරවෙලට වඩා  වැඩිවීම ඔහු මගේ කුඩා ව්‍යවසායික මනසට  ඇතුල් කරනවා.. 

"චූටිපුතා ඔයා ඔය මෙහේ කඩවල් වලට දෙන චව්, අළිපේර එහෙම වැල්ලවායට ගෙනිච්චොත් දෙගුණයක් හම්බකරතහැකියි"  
"ඒ කොහොමද? "  
 "එහේ  අලිපේර එහෙම බෙහෙතකටවත් හොයාගන්න නෑ.. ඔයා බඩු ටික එකතුකරලා උදේට වෑන් එකට දාන්නකෝ මම චූටි ලවා  වැල්ලවායේ පොළට යවලා විකුණලා දෙන්නම්" 

තාත්තාගේ යෝජනාව හිස්මුදුනෙන් පිළිගත් මම ඊලඟට වැඩේට බහිනවා.. මගේ ගමේ ගැංසියේ ඉන්න නඩරාජා , ප්‍රියන්ත වගේ කොල්ලෝ ලවා අලිපේර කඩවාගෙන උදේවෙද්දී ඩී ඩී 21 ට පටවනවා.. හවසට  තාත්තා මගේ අලාභය ගෙනැත් දෙනවා..


බිස්නස් නැගලා යද්දී චන්දරේ මාමටත් වැඩේ ඉව වැටෙනවා සමහර විට චූටි අය්යා . "ආන් අරහේ උඩහ චූටිමල්ලියා තාත්තාගේ ඩ්‍රය්වර් වැඩේ අස්සෙට් සයිඩ් බිස්නස් එකක් ගෙනියනවා"  කියලා කියනවා ඇති .
එක දවසක් තාත්තාට කතාකරන චන්දරේ මාමා වෑන් එකේ මගේ බඩු ගෙනියන්න එපා කියලා අවවාදයක් දෙනවා.. මට ඒක ගාණක් නැතිවුණාට තාත්තගේ හිතරිදෙන්න ඇති.. තවටික කාලයකින් තාත්තා ඩී ඩී 21 එකෙන් සමුගන්නවා.. ඒ වෙනකොට එයා චූටි අය්යාට ගුරුමුශ්ටි නැතුවම රියැදුරු ශිල්පය කියාදීලා ඉවරයි.


ප; ළි: අද ඒ අපි කොහෙද? චන්දරේ මාමා ගෙවල්ලඟ පොඩි පෙට්ටිකඩයක් කරනවා . චූටිඅය්යා මල්වත්තේ ටිකක් ලොකු කඩයක් කරනවා..සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නැවත සේවයේ පිහිටවූ තාත්තා මම අය්යා අක්කා නංගිලා දෙන්නා ( අපි හැමෝම ) තම තම රැකියා අංශවල ඉහළම ස්තරවල ඉන්න හැටි බලමින් විශ්‍රාම සුවයෙන් ගෙදර ඉන්නවා.. මේ කතාව ලියැවෙන්නේ තිලකසිත ලියන තිලකසිරි අය්යා මෑතකදී පටන් ගත්  ටෙක් ජොබ්ස්වැඩේට ඌණපුරණයක් විදිහටයි.. ව්‍යවසායකත්වයට, අලුත් රැකියාවලට මංපෙත් බොහොමයි මෙහි වෛද්‍යවරයෙක් , විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් වන මමත් ඒ කාලෙත් රජයේ නිළධාරියෙක් වූ අපේ තාත්තත් ඒ බවපෙන්වලා  තියෙනවා.. කොවිඩ් -19 කළබල අස්සේ රැකියා අවස්ථා  එහාමෙහා වූ ඔබටත් හිතන්න ඉඩක් මෙහි ඇතැයි කියලා හිතනවා. අපේ තාත්තාවගේ විවෘත මනසින් රැකියා දෙස බලන්න .. ඇත්තටම කිව්වොත් "කලනොහැක්කක් නොමැත" 

Thursday, 18 February 2016

අලදෙණිය රෝහලේ නේවාසික වී




පෙර කළාපයෙන්.
මගේ අ. පො. ස. ( සා/පෙ) අවසාන වී ගතකල සංක්‍රාන්ති සමයේ  මා මරණය අභිමුවට ගිය හැටි ඔබට කිව්වා මතකය. එහෙත් ඉන් අනතුරුව අප කතා බස් කලේ තරමක් වෙනස්   සිදුවීම් බව ඔබ කවුරුත් දනී.


කරුණාකර මගේ   ගැලවුම්කාරයා  නැවත කියවන්න.  මේ එන්නේ එහි ඉතිරි  කොටසයි..

අමතක වී තිබුණ මේ කොටස ගැන මතක් කර දුන්  අටම්පහුර ට මගේ ස්තුතිය.


අලදෙණිය  රෝහලේ නේවාසික වී



දිගින් දිගටම වමනය දමමින් පැමිණි මා රැගත් නිල්පාට ඩෙලිකා වෑන් එක අලදෙනියට සේන්දු විය.

අපව පිළිගන්නට පැමිණ සිටියේ අලදෙණිය වෙද විදුහලේ පළමු වසරේ සිසු  සමන්ත නාමරත්න සහ ඔහුගේ හිතවතුන් කිහිප පොළකි.

එතන සිටි බොහෝ දෙනෙක් ගේ නම් මට අමතක වුවද බොකුටු කොන්ඩේ සහිත කුඩා කොල්ලෙකු වූ දඹුල්ලේ පොඩි බණ්ඩා  මා මතකයේ තදින් රැඳී පැවති නමකි.

පොඩි බණ්ඩා නමේ අර්ථය මෙන්ම පෙනුමෙන් පොඩි අයෙකි.

"මචං පොඩි.. මෙයා තමයි  මගේ මල්ලී කවිඳු . අද එයා ප්රෝෆෙස  සුමල්  කරුණානායක ගේ වෝර්ඩ් එකට ඇඩ්මිට් කරන්න යන්නේ ".

තම සුපුරුදු දඟකාර සිනාවෙන් මා දෙස බැලු පොඩිබණ්ඩා

"හා මේ මලයා නේද අර උඩු රැවුලක් එහෙම වවලා ෆොටෝ අරන් තිබුණේ. ? මම ඇත්තටම හිතුවේ ඔයා "සමා" ගේ අය්යා කියලා "

සමන්ත මට පොඩි බණ්ඩා අය්යා ගැන සෑහෙන විස්තර පවසා තිබුණි.

ඒ අතර මගේ මතකයේ රැඳී තිබුණු කරුණු අතර ඔහු දඹුලු මහා විද්‍යාලයෙන් මෙඩිසින් ආ පළමු ශිශ්‍යා බවත්

 ඒ වෙනුවෙන් ඔහු නොවිඳිනා දුක් වින්ද කෙනෙක් බවත්ය.

පොඩි බණ්ඩා පසු කාලීනව  (1989/90)  භීෂණ  සමයේ අවසාන භාගයේදී   අවාසනාවන්ත ලෙස අපගෙන් සමුගත් බව  අය්යාගෙන්  දැන ගත්තෙමි.

අය්යාගේ මිතුරන් මුණ ගැසී ටික වෙලාවක්  ගිය පසු   හිල්ඩා ඔබේසේකර ශාලාවෙන් පිටත් වූයෙමු.

තාත්තා විසින් පැදවූ  වාහනය ඉතා ප්‍රියමනාප පෙනුමැති නවීන රෝහලක පෝටිකෝවේ නතර කෙරිණි.

"අලදෙණිය ශික්ෂණ රෝහල - ජපන් ශ්‍රී ලංකා මිත්ත්‍රත්ව පදනමේ පරිත්‍යාගයකි"

යැයි ලියු පුවරුවක් මා නෙත ගැටුනා මතකය.

ව්‍යිදය ෂන්මුගනාදන් හෙවත් "ෂන්"  හමුවූ හැටි



ඉතා දුර්වල තත්වයක සිටි රෝගියා වත්තන් කර ගත් සමන්ත සහ පිරිස මුලින්ම පිවිසියේ  බාහිර රෝගී අංශයටයි.  

තමා වෙද සිසුවෙක් බව සහ තම මල්ලී රැගෙන පැමිණි බව කියූ ඔහුට හෙදියන් සහ බාහිර අංශයේ වෙදැදුරන් කඩිනම් සේවයක් සැපයුහ.

අනතරුව මා රැගෙන ගියේ හතේ වාට්ටුවටයි.  හවස පහ හමාර හය පමණ වූ ඒ වෙලාවේ සුමල් කරුණානායක මහතා එහි සිටියේ නැත.

ඒ වෙනුවට අප පිළිගත්තේ ෂන්මුගනාදන්  නමැති ඔහුගේ  හිතවත්ම "රෙජිස්ට්‍රාර්වරයා" විසිනි.   

මේ රෙජිස්ට්‍රාර් යනු  ලියන කියන කෙනෙක් පමණක්ම නොව කායික රෝග විශේෂ උපාධිය හදාරන කණිටු වෙදැදුරෙකි.

සමන්තටත් මටත් මල්ලී යන ආමන්ත්‍රණය පාවිච්චි කල  ඔහු එසේ කීමට හේතු දෙකක් තිබිණි.

එක අපේ සමන්තත් වෙද සිසුවෙකු වීම. දෙක  ෂන් ගේ මල්ලී  උදය කුමාර් අපේ අය්යාගේ බැචෙක් වීම ඒ හේතු දෙකයි.

"කොහොමද මල්ලී ? .. ඔයා කීයේ පංතියේද ඉන්නේ?"

"මෙයා ඕ  ලෙවල් පාස්වෙලා ගෙදරට වෙලා ඉන්නේ මේ දවස් වල"  මගේ පිළිතුර ලැබුණේ සමන්තගෙනි.

"ආ .. ඇත්තද ?   කොහොමද ඔයාගේ රිසල්ට්ස් ? "

" ඩි  පහයි  .. සි  තුනයි "  

දුර්වල මනසකින්  පසුවුවද  ආඩම්බර හඬකින්  ඒ උත්තරය ලබා දුන්නේ මා විසින්මය.

"එහෙනම් ඔයාටත් අය්යට වගේම මෙඩිසින්  කරත හැකියි .. දැන්ම ඉඳලම  උසස් පෙළට වැඩ කරන්න"

යාපනයෙන් බිහි වූ ෂන්  සහ උදයකුමාර් වැනි දෙදෙනෙක්   අරලන්ගන්විල  පරදෙශ්යෙනුත් බිහිවනු ඇති බවට පළමු අනාවැකිය පලකල  ෂන්  මට යෝජනා කළේය. 

රෝගීන් බලනා විශේෂ කාමරයේ පැයක් පමණ මා පරික්ෂා කල ෂන්

"සමන්ත.... මල්ලියාට තියෙන්නේ  මිග්රේන් ( ඉරුවාරදය) ... එයා හොඳටම dehydrate වෙලා අපි සේලයින් දාලා බෙහෙත් පටන් ගමු  .

මම තව ටිකකින්   prof එක්ක කතා කරන්නම් "  යැයි ඔහුගේ  රෝග විනිශ්චය ලබා දුන්නේය.

මම හතේ වාට්ටුවේ  පළමු ඇඳට   යවන්නයි  හෙද සොයුරියට උපදෙස් දුන් ෂන්  සමන්තද  කැටුව වාට්ටුවෙන් පිටත් විය.

ඒ වනවිට  පුංචි රාල මාමලා වැන් එකද රැගෙන අම්මා සහ තාත්තා නැවතත් අරලගන්විල දක්වා යමින් සිටියහ.

තම ස්වාමියාගේ හයර් අඩුවීමෙන්  තමාගේද ආදායම අඩුවන බව තාත්තා හොඳින් දැන සිටියේය.

ඒ නිසාම ඔහු  වාහනයත් තබාගෙන අලදෙනියට වී ඉඳීම තේරුමක් නැති බව කියනු මට මතකය.


රෝගියාගේ  ආහාර සැපයුම



මාසයක් එක හමාරක් උගුරෙන් පහලට යන කිසිවක් රඳවා ගත නොහැකිව සිටි මා මේ වන විට  ආහාර "අරහං " තත්වයක පසු වූයෙමි.

වාට්ටුවේ ඇඳට වී  ඔහේ කල්පනා කරමින්  සිටි මට නින්ද ගොස් තිබිණි.

"ඒයි  චුටි පුතා  මෙන්න උඹට කෑම ගෙනාවා...නැගිටපන්  .. නැගිටපන්"

  රාත්‍රී හත පමණ වන විට සමන්ත නැවතත්   මා ඇඳ අසලට පැමිණියේ  ප්ලාස්ටික්  පෙට්ටියක මනාව අසුරා සකස් කල රාත්‍රී ආහාරයක්  ද සමගිනි.

පෙට්ටිය විවුර්ත කල ඔහු ලොකු චීස් පෙති මැදට දමා සකස් කල පාන් සහ පලතුරැ  ගොඩක්  මා වෙත දිගු කළේය.

" එපා .. මට කන්න බැහැ .. මට කන්න කිසි පිරියක් නෑ "  මම කෑම ප්‍රතික්ෂේප කලෙමි.

" මෝඩ වෙන්න එපා බන්.. මේ වගේ කෑමක් කැම්පස් එකේ ඉන්න අපිට ජීවිතේට කන්න ලැබෙන්නේ නෑ "
කතාව ඇත්තය.  

මෙවැනි විශාල චීස් කුට්ටි, තක්කාලි පෙති ආදිය තබා ලස්සනට හැදු  සැන් විච් එකක් මම මින් පෙර දැක තිබුනේ නැත.

එහෙත්  අමෘතය ගෙනාවත් කන්න බොන්න බැරි තරම් අපුලක් මට දැනේ..

සමන්ත මට බැන බැන කෑම එක නැවතත්  මල්ලට දැම්මේය.

"මේක මේ  උදය කුමාර්ලා අම්මා මූ වෙනුවෙන්  ම  හදපු  කෑම එක .. 

කොහෙද මේ  ගොනා කන්න බෑ කියනවනේ ?"

මහාචාර්ය  සුමල්  ගේ වාට්ටු සංචාරය 



පසුදා උදෑසන සියලු හෙද හෙදියන්  උනන්දුවෙන් එහෙ මෙහෙ  දුවනු දක්නට ලැබිණි.  

ඉතා වැදගත් යමක්  වාට්ටුවේ සිදුවන්නට නියමිත බව පළමු ඇඳේ සිටි මටද වැටහෙන්නට  විය.
ටික වෙලාවකින් පරිවාර සෙනග පිරිවරාගත්    සුදු දිග කබායකින් සැරසුණු මිනිසෙක් මා ඇඳ  අසල නතර විය.

ඔහුගේ හැඩරුව  ඇත්ත වශයෙන්ම  සමන්තටත්  මටත් බෙහෙවින් සමාන බවක්  ගත්තේය.
සුමලුත් මා මෙන්ම කළු පැහැ අයෙකි.

  සියළු  අංගෝපාන්ග ගැන සලකා බැලු විට සුමල් සමන්තට වඩා සමීපත්වයක් දැක්වුයේ මාගේ පෙනුමටයි.

ඒ  බව  පසු කලෙක අලදෙණියේ කථිකාචාර්ය වරයෙක්  වූ පසු මාගේ  දෙපාර්තමේන්තු මහාචාර්ය වරිය  මට නිතර නිතර මතක් කර දුන්නාය.

සුමල්  වාට්ටුවට ඇවිදන් එද්දී කිසිම ලෙඩෙක් දෙස කෙලින් බැලුවේ නැත .  

මා ලඟට එන තෙක්ම පහත් කරගෙන පැමිණි හිස එසවුනේ  ෂන්  විසින් මගේ රෝග විස්තරය ඔහු හට ඉදිරිපත් කරන විටයි.

බොහෝ ලාන්කික   කායික රෝග විශේෂ  වෙදදුරන් මෙන්  වචනයක් දෙකක්  කතා කල ඔහු මා සිටි තැනින් ඉවත් විය.

ඒ එසේ වුවද ඔහු සහ ඔහුගේ ගෝලයා වූ "ෂන්"  විසින් මරණ මංචකය දෙසට යමින් සිටි මා  ගොඩ දැමු බව මෙහි සඳහන්  කරන්නේ හද පිරී ස්තුතිය සමගයි.

අවසාන  ඇගයීමේදී    ඒ දෙදෙනා වෙත මා යොමුකරන්නට  තරම්  හිතක් පහලවූ  මගේ අය්යා  සමන්ත  මාගේ ප්‍රධාන ගැලවුම් කාරයා  ලෙස  සඳහන් කරන්නට කැමැත්තෙමි.   

Saturday, 15 August 2015

අපොස. උ. පෙ. එක (ආදරණිය සුරංජි )

උසස් පෙළ විද්‍යා පන්තිය.

අපි අරලගංවිල මහා විදුහලේ උසස් පෙළ විද්‍යා පංතියට එන්නේ 1987 වසරේ මැද භාගයේදීය.  ඒ වන විට මමත් , කදුරුගමුවේ තාරකත් ඇතුළු මගේ සා. පෙළ සගයින් කිහිප දෙනෙක්ම මා සිටි 12 වසර සී  පංතියට තේරී සිටියහ.

මේ අතර අපිත් එක්ක පොඩි පංති වල එකට සිටි බොට්ටා , වන්නි , ගැට්ටා ඇතුළු පිරිස  12 ඊ කොටසේ සාමාජිකයින් බවට පත්  වුහ.

12 සී කොටසට පැමිණි තවත් නවක සිසුවෙක් ගැන මෙහිදී  මා සිහියට නැගේ.

අවුරුදු දෙකක උසස් පෙළ කාලයේ මාත් කිරඹ ඔයේ චමින්දත් සමග නිතරම ගැවසුන අනිත් පුද්ගලයා ඔහු ය.

නමින් සුරාජ් බණ්ඩා නම් වූ ඔහු පැමිණියේ වැලිකන්ද පැත්තේ තිබු බෝගහමඩිත්ත ප්‍රදේශයෙනි.

12 සි පංතියේ මා සමග සිටි අනිත් සගයින් වුයේ දොළුවේ කණ්ඩුල සද්ධාමංගලත්  උහන ප්‍රදේශයේ සිට පැමිණි රංගජීවත් ය.

කණ්ඩුල  අපත් සමග සා.පෙ. ලිවූ අයෙක් වූ අතර රන්ගජීව සුරාජ් මෙන් අප සමග 12 වසරට අලුතින්  එක් වූ අයෙකි.

ඔහු සාමාන්‍ය පෙළ ලියා තිබුනේ උහනේ කුමාරිගම විද්‍යාලයෙනි. උහනේ සිට පැමිණි ඔහුට බෝඩිමේ ඇන්ටි කිවූ නමම අපිද පාවිච්චි කළෙමු . ඒ "උහනේ පුතා" යන නමයි.

මේ අතර සියඹලාණ්ඩුවේ වැලි යාය නම් ගමේ සිට අපේ 12 සී පංතියට පැමිණි තවත් අලුත් සගයෙකී.

ඉතා හීන්දැරි  මෙන්ම මගේ තරමටම සමාන උසකින් යුතු  ඔහු නමින් රටේ රාලලාගේ සුරංජිත් නම් විය.

සුරංජිත් සා.පෙ. දක්වා ඉගෙනගෙන තිබුනේ වැලියාය කනිෂ්ට විදයලයේය.

ඉතා ප්‍රියමනාප කාගේත් සිත් ගත් තරුණයෙකු වූ සුරංජිත්ට අරලගංවිල හොල්ලන් සිටි අපත් සමග කල්ලි ගැහෙන්නට වැඩි කාලයක් ගත වුයේ නැත.

මට මතක හැටියට සුරංජි වැලියාය කනිෂ්ටයේ අ. පො. ස. සා පෙ. හොඳම ප්‍රතිඵල ලැබූ ශිෂ්‍යයා විය.

මෙසේ අරලගංවිලට තරමක් දුර බැහැර සිට පැමිණි අය ( බොට්ටා , රන්ගජිව, සුරංජි වැනි සිසුන්  )  කොස්ගම  ගමේම හෝ අරලගන්විලට නගරයට කිට්ටු ප්‍රදේශ වල හෝ නේවාසිකාගාර වල නතර වුහ.

බොට්ටා , උහනේ පුතා හෙවත් රන්ගේ සහ නුවර එළියේ සිට පැමිණි දිලුම්  සෙට්ටිනායක නම් කඩවසම් කොල්ලෙකු නතර වී සිටියේ  අරලගංවිල - මුදුනාගල පාර අසල තිබු නවාතැනකයි.

 අපේ අනික් හිතවතා සුරංජිත් නතර වී සිටියේ අරලගංවිල -කොස්ගම පාරේ  බෝඩිමකය.

එය පිහිටා තිබුණේ අප කුඩා කල ඉගෙන ගත් අරලගංවිල කණිෂ්ඨයට ආසන්නවයි .

සුරන්ජිගේ මේ නවාතැනේ තවත් තිදෙනෙක් නැවතී සිටියහ.

ඒ තිදෙනාම  අප පාසැලේම පහළ පන්ති වල සිටි නංගිලා වුහ.

ඒ නිසාම එකම පිරිමියා වූ සුරන්ජිට බෝඩිමේ තනි කාමරයක් හිමි වී තිබුණි.

 එමෙන්ම සුරංජි මේ  නංගිලා ගේ එකම අය්යා වශයෙන් ඔවුන් සමග ඉතා ලෙන්ගතු කමකින් හැසිරෙන අයුරුද මට මතකය.

පාසලේ පහළ පංතිවල නංගිලා ගැන උනන්දුවෙන් පසුවූ සුරාජ් සහ අප වැනි අයට සුරන්ජිගේ බෝඩිමේ සිටි නංගිලා හඳුනාගෙන සිටීමද වැදගත් විය.

බෝඩිමේ සිටි නංගිලා නිසාම සුරන්ජිත්ට  පහළ පංතිවල නංගිලා සමග අපට වඩා සමීප ඇසුරක් තිබු බව මාගේ හැඟීමයි.

ඒ  නිසාම සුරන්ජියාට අප ගේ විහිළු තහළු වලට නිතරම භාජනය වන්නටද සිදු විය.

පාසලේදී  බොට්ටා,  උහනේ පුතා , දිලුම් ඇතුළු කල්ලිය ඇසුරු කල මට පාසැල් බසයේදී නැවතත් චමින්ද රාජපක්ෂ මුණ ගැසෙන්නේ මේ කාලයේදීය.

ඒ චමින්ද යෝධ ඇල මහා විද්‍යාලයේ උසස් පෙළ කෘෂිකර්මය ඉගෙන ගැනීමට යාමත් සමගය.

පාසැල් ඇරී උපකාරක පංති යන වෙලාවටත් සෙනසුරාදා ඉරිදාත් මා වැඩි පුර ගැවසුනේ චමින්දත්  ඔහුට නෑදෑකමට  මස්සිනා වූ  සුරාජ් බණ්ඩාත් සමගයි.

වැලියායේ සුරංජිත්ද  අප අප සමග එකට උපකාරක පන්ති ගිය අයෙකි. ඒ  පංති වල ලෑලි බැංකු වේ එක ළඟ වාඩිවූ පිරිස වුයේ මම, සුරංජිත්, උහනේ පුතා, චමින්ද සහ සුරාජ්ය.


මේ වන විට  යුගල වී සිටි  දිලුම්, බොට්ටා වැනි අය තම අනෙක් භාගයත් සමග  බංකු පේලියේ අයිනට වෙන්න වාඩි වූහ.


අරලගංවිල මහා විදුහලේ දේශපාලන කටුයුතු 


මේ කාලයේ රට කරවුයේ ජේ . ආර් . ජයවර්ධන ජනාදිපතිතුමා ප්‍රමුඛ UNP රජය විසිනි.

පාරවල් වල සිටි හැටියේ " නාකියා වියරුවෙන්- ජනතාව සීරුවෙන්" වැනි  සටන් පාඨ ලියවුනේද මේ කාලයේදීමය.

දිනක පාසැල් යනවිට පාරේ " ජේ. ආර්. මරමු" යැයි ලියා තිබෙනු දුටුවා මට මතකය.

මේ සටන් පාඨ ලිව්වේ එවකට තහනම්  රැඩිකල් සංවිධානයක් වූ ජනතා විමුක්ති පෙරමුණ විසිනි.

 රාජ්‍ය බලය යොදවා ඔවුන් ගේ ව්‍යාපාරය මර්ධනය කිරීමට විරුද්ධව ඔවුන් එකල සටන් කලේ ඒ ආකාරයටයි.

එමෙන්ම අරලගංවිල නගරයේ පාසැල අවසන් වීමෙන් පසු පයිප්ප බට උඩට වී කාලය ගෙවන අපට ඒ කාලේ බොහෝ විට ඇසුනේ  නන්දා මාලනී ගේ "පවන" වැනි කැසට් පටයි.

ඒ නගරයේ තිබු බොහෝ කඩ සාප්පු වල ඇයගේ ගීත වාදනය කල නිසාවෙනි. අවුරුදු දාහතක් වැනි වයසක පසුවූ අපට ඇත්තටම මේ දේශපාලනය එච්චරම තේරුමක්  වුයේ නැත.

එහෙත් එකල අරලගංවිල පාසැලේ සිටි සමහර සිසුන් UNP රජයේ මර්ධනයන් ගැන කථා කළහ..

විශේෂයෙන් අපට ඉහළ පංතියේ සිටි ශිෂ්‍යන් අතර බොහෝ අය මෙවැනි සිසුන්  බව පසුකලකදී අපට දැන ගත හැකි විය.

එලෙස දේශපාලනය ගැන උනන්දු වූ අය අතර  අපේ පංතිවල සිටි වැලිකන්ද 79 බසයේ පැමිණි පිරිසක්ද  වුහ.

පාසැලේ කා සමගත් ගනු දෙනු කල මට වැලිකන්දේ අකලංක චමල් බණ්ඩාර වැනි ඒ පැත්තට බර සිසුන්ද ලඟම මිතුරන් වූහ.

චමල් ලා  සා. පෙ. පංති වල සිටිද්දීද අප හා ඇසුරු කල අය වුහ.

හයේ පංතියේ සිටම වෙනත් හේතුන් නිසා 79 බසය ගැන උනන්දුවක් දැක්වූ මට  චමල් මිතුරෙක් නොවුවානම් පුදුමයකි.

උසස් පෙළ ගණිත අංශයේ සිටි චමල්ලා සමග මොණරාගල සිට පැමිණි ජයරත්න නම් ඉතාමත් ප්‍රිය මනාප සිසුවෙක්ද  එකතු වුයේ එකම දේශපාලන අරමුණකටය.

 එහෙත් ඔබ දන්නා පරිදිම මා වැඩිපුරම බර යෙදුවේ අධ්‍යාපනයටත් , කෙළිලොල්  කම් වලටත්ය. මට පාසලේදී බොට්ටා, දිළුම් , උහනේ පුතා වැනි විනෝදකාමීන් සමග කාලය ගෙව්වා මිස  දේශපාලනයට කෙලින්ම සම්බන්ධ වන්නට මා උනන්දු නොවුයේ ඒ බැවිනි.

12 සි පංතියේ සිටි අනිත් සගයා  මගේ එතරම්ම හිතවතෙකු නොවුවත් අපේ පංතියේ සිටි ඉගෙනීමට උනන්දු අයගෙන් එකෙකි.

ඔහු සොමිල ජයමාන්න නම් විය. සොමිල පසු කලෙක මා සමගම කරගම්පිටිය වෙද විදුහලටද ගිය අයෙකි.

මම පන්තියේදී  උහනේ පුතාලා සමග දඟකාරකම් කලේ වුවද සොමිල හා ඉන්ද්‍රානි  ගමගේ සමග physics ගණන් හදන්නටද පුරුදු වී සිටියෙමි.

අසූ හතේ යොවුන් පුරය


සුරංජිත් යන්තමින් වාගේ දැනගෙන සිටි මා ඔහු සමග ඉතාම කිට්ටු ඇසුරකට  වැටෙන්නේ මේ අතර වාරයේදීය.

ජේ. ආර්. ගේ රජය එක අතකින් තරුණයින් මර්ධනය කරන අතර තවත් අතකින් තරුණයින් ගේ අවධානය වෙනතකට යොමු කිරීමට උත්සාහ කළහ.

ඒ එවකට තරුණ කටයුතු හා අධ්‍යාපනය භාරව සිටි රනිල් වික්‍රමසිංහ විසින් ඇරඹු යොවුන් පුර වැඩ සටහන හරහායි.

අප උසස් පෙළ ඉන්නා කාලයේ රනිල්ගේ යොවුන් පුරයක් අරලගංවිල නගරයට පැමිණියේ ඒ අනුවයි.

නගරයේ පාසැල් සියල්ලේම රටේ හැම තැනින්ම පැමිණි යොවුන් සමාජ සාමාජික සාමාජිකාවෝ නැවතී සිටියහ.

අපේ පාසැල, සුජාතා එක , කොන්වන්ට් එක  ඇතුළු අරලගංවිල ප්‍රධාන පාසැල් රැසකට  නිවාඩු ලැබිණි.

සැම දිනකම වැඩ සටහන් අවසාන වන්නේ අරලගංවිල නගර සභා ක්‍රීඩාංගනයේ  පවත්වන සංගීත සංදර්ශන යකිනි.

පාසැල් නිවාඩු වත් සමග සුරංජිත් , බොට්ටා ඇතුළු පිරිස මටද ආරාධනා කලේ නගරයේ සංගීත වලට සහභාගී වන්නටයි.

රෑ දෙගොඩ හරිය වනතුරු  යොවුන් පුරයේ සංගීත වල නටන්නට අප යොමු වන්නේ එලෙසිනි.





ඒ ටෝනි හසන්, ජෝතිපාල-ලතා, ටී .එම්- නිලා , සමන් ද සිල්වා මෙන්ම යොවුන් ගී ගැයූ රූකාන්ත- චන්ද්‍රලේඛා වැනි ගායක ගායිකාවන් ගේ ගීත වල තාලයට පා තබමිනි.



සංගීතය අවසානයේ සිරිමලවත්තට නොඑන මා සුරංජිත් සමග ඔහුගේ නවාතැනට ගොස් නිදා ගත්තෙමි. බෝඩිමේ ඇන්ටි මට උදේ ආහාරය දෙන්නේ සුරංජිත් පුතාට දැක්වූ ලෙන්ගතු කමම මා වෙතටද පෙන්වමිනි.

එක බත් පත බෙදා ගෙන කන්නත් , දෙදෙනාගේ කමීස මාරු කර අඳින්නටත් , එක ඇඳේ නිදා ගන්නටත් අප දෙදෙනා පුරුදු වුයේ යොවුන් පුරය සමයේදීය.

මෙලෙස යොවුන් පුරය අවසන් වීමත් සමගම සුරංජිතුත් මාත් ඉතාම කුළුපග මිතුරන් බවට පත් වීමු.


පුණ්‍ය භුමිය ගිනි ගනියි 

ජවිපෙ දේශපාලනය සහ එයට සමීප ශිෂ්‍ය දේශපාලනය  විශ්ව විදයාල  සහ පාසැල් සිසාරා පැතිර ගියේය 



ඒ හා සමගාමිව රජයේ මර්ධන කටුයුතුද  ක්‍රම ක්‍රමයෙන් වැඩි වන්නට විය .

ජේ . ආර් . ගේ රජයේ මර්ධනය වැඩිවෙත්ම ඊට සාපේක්ෂව අනිත් පාර්ශවයෙන්ද සිදු නොවිය යුතු වර්ගයේ අකටයුතුකම් සිදු විය.

ඉන් කීපයක් මෙහි මතක් කරන්නේ සියලු පාර්ශව  වර්තමානයේ කරන දේවල් හා සංසන්දය කර ගන්නටත් උදව්වක් වශයෙනි.

උතුරු කොළඹ වෙද විදුහල නමින් මුදලට දොස්තර වරුන්  බිහි කරන ආයතනයක් ඇති වන්නේ මේ කාලයේදීය.

රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන ඇමති වශයෙන් කල යෝජනාවක ප්‍රතිඵලයකි ඒ.

 ජ . වී . පෙ. ට සම්බන්ධ  වූ මෙන්ම නොවූ විශ්ව විද්‍යාල සිසුන් හා පාසල් සිසුන් එයට එරෙහි වන්නේ එක පයින්මය.

මේ කාලයේ දෙවන වසරේ වෙද සිසුවෙකු වූ සමන්තද  මේ සිසුන් අතර ප්‍රමුඛත්වයක්  ගත්තේය.  අප එක එල්ලේ කිසිවක් නොකලද මාද උතුරු කොළඹ සංකල්පයට එක හෙලා විරුද්ධ වූවෙක්මි.

සිසුන් පමනක් නොව රජයේ රෝහල් වල සේවය කල දොස්තර වරුද මෙයට එරෙහිව නැගී සිටියහ.

රෝහණ විජේවීරගේ ව්‍යිදයවරයා වරයා යැයි කියමින් දොස්තර කෙනෙකු අත්අඩංගුවට ගන්නේ මේ අතරයි.

දොස්තර අතුල සුමතිපාල නම් ඔහු රාජ්‍ය හමුදා විසින් අත්අඩංගුවට ගැනීමත් සමගම  සියලු රෝහල් වැඩ අඩ පන කරමින් දිවයින පුරා අඛණ්ඩ වර්ජනයක් දියත් විය.

එකල හමුදා භාරයට පත් බොහෝ අය අතුරුදන් වුවද අතුල සුමතිපාල එලියට එන්නේ ඒ අනුවයි.

අද මානසික රෝග පිලිබඳ මහාචාර්ය වරයෙකු වන අතුල මහතා  "රණ විරුවන්"  විසින්  " දිනු දේශය රකින  " කණ්ඩායම සමග කටයුතු කරයි.

අසුහතේ කුප්‍රකට ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කෙරෙන්නේද අප අරලගංවිල මහා විදුහලේ උසස් පෙළ කරද්දීය. රටේ දකුණු ප්‍රදේශය වසා ගිය ගිනිදැල් දැන් දැන් අරලගන්විලටත් සේන්දු වෙමින් පවතී.


අරලගංවිලටත් ගිනි දළු


දිනක් උදෑසන අප පාසැල පුරා පැතිර ගිය නරක ආරංචියකි. ඒ දහතුන විද්‍යා සහ වාණිජ පංති වල සිසුන් හතර දෙනෙකු පොලිස් වෙඩි පහරින් මිය ගිය පුවතයි.

සිද්ධිය අපට ආරංචි වූ හැටියට මෙසේය. රටේ හැම තැනම යම් යම් සිදුවීම් සිදු වුවද අපේ ප්‍රදේශයේ කිසිම දෙයක් නොවීමේ කම්පාව  ඉස්මතු වී තිබේ.

රාත්‍රී එකට පාඩම් කරමින් සිටි මොවුන් අරලගංවිල - වැලිකන්ද පාරේ පිහිටි මහේස්ත්‍රාත් උසාවිය ගිනි තබන්නට සිතන්නේ එබැවිනි.

රජය ඒ වන විටත් මුරට පොලිස් කොස්තාපල් වරුන් දෙදෙනෙක් යොදවා තිබී ඇත. "කඩාකප්පල්කාරී" සිසුන් හතර දෙනාම හිසට වෙඩි තබා මරා දැමෙන්නේ ඒ අනුවයි.

පහල පංතියේ සිටි මා මිය ගිය සිසුන් එක්කෙනෙක් වත් කවුදැයි කියා හරියට හඳුනන්නේ නැත. එහෙත් එක් අයෙක් අරලගංවිල පොල් කඩයේ මුදලාලිගේ පුතෙක් බව අසා ඇත්තෙමි.

පසුදා අරලන්ගන්විල නගරයට පැමිණි  අප පුරුදු පාසැල් බසය එන තෙක් නගරයට වී සිටියෙමු.

නගරයේ තැපැල් කාර්යාල බිත්තිය දෙස විමතියෙන් බලා සිටින පිරිසකි.

"දේශ ද්‍රෝහී පොලිස් නිලධාරීන් දෙදෙනාට මරණය " යන අර්ථයෙන් ලියා තිබුණු දැන්වීම් කොලයක් බිත්තියේ අලවා තිබුණි.

අපේ ගමේ සුවඳ රත්න අය්යාද මෙම තැපැල් කන්තෝරුවේ වැඩ කල අයෙකි. පසුකාලයක සිදුවූ හමුදා පැහැරගැනීම් වලදී තැපැල් කාර්යාල සේවකයින් විශාල පිරිසක් ද අතුරුදහන් වූහ.

දැන්වීම ඇලවූයේ සුවඳේ ලාගේම යාළුවන් විය හැකි බව සිතන්නට හේතු බොහොමයකි.

කරුණු එසේ වුවත් අද සුවඳේ අය්යලා විසි එක්වන සියවසේ බිහිවූ රජෙක් සොයමින් සිටිති.

දැන්වීම බලා සිත සතුටු කරගත් අපි පුරුදු පරිදි පාසැල් ගියෙමු.

එදා දහවල් පාසලේ සිටිද්දී අපට ආරංචි වූයේ  අරලගංවිල නගරයේ උතුරු සහ දකුණු මායිම් වල තිබු පොලිස් නිලධාරීන් දෙදෙනාගේ නිවාස වලට පෙරදා රාත්‍රියේ පහර දී ඇති බවයි.

තවත් රැයක් ගෙවී ගියේ මිය ගිය සිසුන්ගේ නිවාස දෙකකට රජයේ පාර්ශ්වයෙන් ( පොලීසියෙන්) වෙඩි තැබීමත් සමගයි.

අපේ පාසලේ සිසුන් බොහෝ දෙනෙක් මේ නිවාස දෙස බලා එන්නට ගියා මට මතකය. මමත් ඒ අය අතර වූයෙමි.

හේතුව කුමක්දැයි මට පැහැදිලි නැත . එකට එක කරමින් ආරම්භ වූ ගින්න අපට විනෝදයක් වුවා දෝයි මට දැන්  සිතේ.

මේ කාලයේ විශ්ව විද්‍යාලයේ සිට ගෙදර එන සමන්ත ඇසුවේද නන්දා මාලනිගේ පවන. කපුගේ ගේ ගීත සහ විජය කුමාරතුංග ගේ වේදනා වැනි කැසට් පටයි.

නිතර මේවා අසමින් කල් ගෙවූ මමද චමල්, ජයරත්න ඇතුළු සිසුන් කරනා කැපවීම ගැන ආඩම්බර වූයෙමි.


එහෙත් චමින්ද, සුරාජ් වැනි පිරිස් සමග වෙනම ආකාරයක කොලු කාලයක් ගත කල මා චමල්ලාට   ඕනෑවට වඩා ලං නොවන්නට සිතුවෙමි.




සුරන්ජිත්ට දුන් අවවාදය 


දැන් දැන් අපේ පංතියේ සිටි බොහෝ සිසුන් චමල්, ජයරත්න ඇතුළු දේශපාලනයට බර කණ්ඩායම සමග එකතු වෙමින් සිටිති.

ඒ අතර අරලගංවිල සුමංගල මහා විද්‍යාලයේ විදුහල් පති තුමාගේ පුතා මෙන්ම හතරේ පන්තියේ සිටම අප දැන සිටි කත්‍රිආරච්චි ද විය.

තව අයෙක් වුයේ උඩ වෙල සිට පැමිණි පාසැල් ගුරුවරියකගේ පුතෙක් වූ උදේනි ය. උදේනිද අප සමග හතරේ පන්තියේ සිට එකට සිටි අයෙකි.

ගණිත අංශයේ චමල්, ජයරත්න ඇතුළු අය සමගම සිටි තවත් අයෙක් මේ පිරිසට එකතුවුයේ ඉමහත් ප්‍රසිද්ධියක්  ඇතිවයි.

 අරලගංවිල නගරයේම පිහිටි  ප්‍රේමදාසගේ නාගරික උදා ගමක් වූ  සමනළ ගම සිට පැමිණි ඔහු සුගත් නමැති අයෙකි.

 මේ අතර ටික දිනකින් මට ආරංචි වුයේ "කනිෂ්ක" නම් අන්වර්ථ නාමයක්ද ලබා ගනිමින් සුරංජිත් ද මේ කණ්ඩායම සමග එකතු වූ බවයි.

දිනක් සුරංජි ලඟට කැඳවූ මම කථාව පටන් ගත්තෙමි.

"මචං.. මම උඹට කතා කරන්න කියලා හිටියේ ටික දවසක් ඉඳන්."   "ආරංචි වුනා උඹත්  අර කණ්ඩායමට එකතු වුනා කියලා" .හේ

 "උඹේ හොඳම යාලුවෙක් විදිහට මේ කියන්නේ.. සියඹලාණ්ඩුව පැත්ත වගේ නෙවෙයි මෙහේ ඔය වැඩේ අමාරුයි. "
ma
"මේවා UNP බලකොටු. උඹට නොකරම බැරිනම් ගම පැත්තට ගිහින් එහේ ව්‍යාපාරයට සම්බන්ධ වෙයන්."

ටිකක් කල්පනා කල සුරංජි මට පිළිතුරු දෙයි.  "මචන් කිටී.. මේ පැත්තේ වැඩ අමාරු නිසාම තමයි අපි මෙහේ ඉන්න ඕනෑ.."

"තරහ වෙන්න එපා මචං ...මම අරලගංවිල පැත්තේම වැඩ කරනවා.. මම පරිස්සම් වෙන්නම් කෝ.  "

අවවාදය නොඇසුවාට මම සුරංජි සමග තරහ වුයේ නැත.

කාලය සෙමින් ගෙවී ගියේ අරන්ගන්විල ගිනි දළු තවත් ඉහල දමමිනි.



රටට නව ජනාධිපති කෙනෙක්



උතුරේත් දකුණේත් දෙපසම ගිනි ඇවිලෙමින් තිබු රටේ ජනාධිපතිකම  අත්හැර යන්නට අපේ පළමු ජනාධිපතිතුමා තීරණය  කළේය.


ඒ අනුව දෙකොන පත්තු වූ විලක්කුවක් මට ලැබුනා යැයි කියමින්  ජේ. ආර්. ගේ දෙවනියා  ලංකාවේ දෙවන විධායක ජනාදිපති බවට පත් විය. 

හොර මැර මගඩි වංචා මැදින් 1988දි රටේ නව ජනාධිපති ලෙස පත්වන්නේ 77 දී බුරුස් මාමලා කඩේ ළඟ පොල් බෑ දෙකක් පෙන්වූ  ආර්. ප්‍රේමදාසය. 

ප්‍රේමදාසගේ රජයේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය වරයා බවට පත්වුයේ රන්ජන් විජේරත්න නම් වැවිලි කරුවෙකි.
ජ. වී. පෙ. විසින් රජයට එකට එක කරමින්  දියත්කල  සටන් නිසා දකුණේ ඇවිලී තිබු විලක්කු කොන නිවා දැමීමේ කාර්ය ඉටු කරන ලද්දේ ඔහු විසිනි.

ඒ එතෙක් මෙතෙක් ලංකාවේ අසා නොතිබූ වර්ගයේ ම්ලේච්ඡ  ක්‍රම සහ විධි පාවිච්චි කරමිනි.

අවාසනාවකට දෝ ප්‍රතිවාදී කණ්ඩායමද තම න්‍යායට කොහෙත්ම නොගැලපෙන  ක්‍රම උපායන් පාවිච්චි කරමින්  ප්‍රේමදාස- රන්ජන් එළලූ දැලේ කදිමට පැටලුනේය.

ඒ අතොරක් නැතිව තමන්ට විරුද්ධ් යැයි හැඟුණු පිරිස් මරා දැමීම මගිනි.

ප්‍රතිඵලය වුයේ රට අමු සොහොනක් වීමයි. රජයේ හමුදා සහ නිල ලත් සහ නෙලා නොලත් නොයෙකුත් හමුදා විසින් දහස් ගණන් තරුණ තරුණියන් මහා මග ටයර් දමා පුළුස්සා දැමිණි.

අනෙක් පාර්ශවය විසින්ද  තම අදහසට විරුද්ධ මත දැරූ හොඳ මිනිසුන් පවා මරා දැමුණු බව අපට මතකය. UNP සාමාජිකයෙක් වීම පමණක් මරණයට හේතුවක් වූ අවස්ථා එමට තිබුණි.

කලක් යන විට අපරාධය සිදු වුයේ කොයි පාර්ශවයෙන්ද කියා සිතා ගන්නට වත් බැරි සිදු වීම් සිදු විය.
කොටින්ම රට අමු සොහොනක්ම විය.  මා මුලින් කිව් පරිදි නොවිය යුතු වූ සිදී වීම් මාලාවක් විසින් රට විනාශය කරා ගෙන ගියේය.


අරලගන්විල මහා විදුහලේ ශෝකාලාපය 



මෙසේ රට ගිනි ගනිද්දී උසස් පෙළ 13 වසරේ සිටි අප මේ කාලයේ සිදු වූ මහා පොලව නොඋහුලන අපරාධ  රාශියක් ගැන දැන ගන්නට තරම් අවාසනා වන්ත වීමු.

දිනක්  උදෑසනම අපේ පංති වල පැතිරී ගිය ආරංචිය කින් කියවුනේ අප විද්‍යාලයේ  ශෝක ගීතයේ ආරම්භය යැයි මම අදටත් සිතමි.

" ඊයේ රෑ අරුණ ශාන්තගේ තාත්තා වෙඩි තියලා මරලා"    ආරංචිය ලැව් ගින්නක් මෙන් විද්‍යා , ගණිත , වාණිජ ආදී සියලු පංති අතර පැතිර ගියේය.

අපත් සමග හයේ පන්තියේ සිට එකට හිටි අප කාගේත් හිතවතෙක් වූ අරුණ ශාන්තගේ පියා ඝාතනය
කෙරුනේ ඔහු UNP සාමාජිකයෙක් නිසා බව කියැවුනි.

සිද්ධියෙන් කණගාටුවට පත් ගැට්ටා වැනි අරුණ ශාන්ත ගේ ලඟම හිතවතුන් ඔහු වෙනුවෙන් වැළපුන හැටි, දුක්වුන හැටි මට තාම මතකය.

එහෙත් මේ වන විට රට ගමන් කරමින් තිබු දිශාව හේතුවෙන් බොහෝ දෙනෙක් මල ගෙදර යාමට පවා බියක් හෝ මැලි කමක් දැක වුහ.

මේ ආරංචිය අප හැම ඉතා තදින්  සසල කරන්නට හේතුවක් විය.

"මේ අපරාධය කරපු උන් මම දන්නවා"  අරුණ ශාන්ත හඩමින් කියා සිටියේය.   අපට දුක්විම හැර කිසිවක් කල නොහැකි විය.

මගේ  පුද්ගලික මතය අනුවනම් නම්  මේ කාලයේ ප්‍රේමදාස- රන්ජන් ලාගේ  ගැට නියමෙට වැඩ කලේය.

එකට එක කල  ජ. වී . පෙ. සටන් කාමින්ද ඒ උගුලේ හොඳ හැටි පැටලී සිටියහ.

 එකල සිදුවූ බොහෝ සිදුවීම් යන්තම් හෝ මොලයක් ඇති අයෙකුට තේරුම් ගත නොහැකි වන සේ  අවුල් සහ ගත  ස්වභාවයක් ගත්තේය.

කොටින්ම කියතොත් මොලේ නැති වැඩ වැඩි හරියක් සටන් කාමීන්ගේ ගිනුමට බර විය.

සිදුවීම් හරි හැටි දන්නා අය සිටිය හැකිය . එහෙත් මෙතෙක් කල් ඒවා එලියට පැමිණි බවක් මා අසා නැත.

මේ අතර UNP රජය සටන් කාමීන් අතින් මිය ගිය අයගේ පවුල් වල අයට ( තම පක්ෂයේ ) රජයේ රැකියා දීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කළේය. 

අරුණ ශාන්තටද යුද හමුදාවේ දෙවන ලුතිනන් වරයෙක් ලෙස පුහුණුව ලබන්නට අවස්ථාව ලැබෙන්නේ මෙම ක්‍රමය  අනුවයි.

එවකට අප සිටියේ 13 වසර සි පංතියේය.  කලබල එන්න එන්නම වැඩි වූ අතර කණ්ඩුල , තිලාන් වැනි  අධ්‍යාපනයටම  කැප වූ පිරිස් කොළඹ හෝ නුවර බලා ගියේ විභාගයට සුදානම් වීමටයි.

රටේ ගින්න තවත් උග්‍ර වනු ඇති යැයි සිතු අප අරලගන්විලටම වී සිටියේ විභාගය කල් යනු ඇති බවක් සිතමිනි.

මේ අතර රට පුරා ස්ථානගත වූ හමුදා කඳවුරු සහ පුනරුත්ථාපන කඳවුරු ලෙස නම් කෙරුණු වධකාගාර බිහි වෙන්නට විය.

අප ප්‍රදේශයේ ප්‍රසිද්ධ කදවුරු දෙකක් වුයේ "යෝධ ඇල මෝටර්ස්"   කඳවුර සහ දවුලගල තේ කර්මාන්ත ශාලාවක පැවති පුනරුත්ථාපන කඳවුරයි.

ඉතා ප්‍රසිද්ධියේ දේශපාලන කටයුතු කල සුගත් දවුලගල කඳවුර වෙත රැගෙන යන්නේ මුල් අවධියේ දීමය.

 එහි මාස තුනක පමණ කාලයක් රඳවා සිටි සුගත් එකල සිදුවූ සියලු සිද්ධි දැක ඇතුවාට සැක නැත. ඉන්පසු කත්‍රිආරච්චි, ජයරත්න , උදේනි ඇතුළු පිරිස් එහි ගෙන ගොස් තිබේ.

ඉන් අද ජීවත්ව ඉන්නේ සුගත් පමණි. ඔහු වැලිකන්ද ප්‍රදේශයේ රජයේ කාර්‍යාලයක සේවය කරයි.  සුගත් ජ.වී.පෙ . න් කැඩී ගිය පෙරටුගාමී පක්ෂයට හිතවත් බව  කවුරුත් දන්නා දෙයකි.

 මේ අතර  මගේ හිතවතා සුරංජිත් ද හමුදා අත් අඩංගුවට පත් වූ බව පාසැලේ ප්‍රසිද්ධ විය. ඔහු රැගෙන ගොස් තිබුනේ යෝධ ඇල මෝටර්ස් වධකගාරයටයි.

මෑතදී මා සුගත් ගෙන් අසා දැන ගත් පරිදි රජයේ හමුදාවට අසු වී පලා ගිය අප පාසලේ එකම ශිෂ්‍ය ක්‍රියාකාරිකයා සුරංජිය.

නමුත් සුරංජි ගලෙන්බිඳුනුවැව සිය පෙම්වතියගේ නිවසේ සිටියදී දෙවන වරටත් අල්ලා ගැනිණි.

යෝධ ඇල මෝටර්ස් හිදී දස වධ දුන් ඔහුගේත් තව තරුණියන් කිහිප දෙනෙකුගේත් මල සිරුරු  තෙළුල්ල - අරලගංවිල පාර අද්දර ටයර් සෑයක දැවුණු බව මට කිවේ දැනට ජිවත්වන එකම ක්‍රියාකාරිකයා වන සුගත් විසිනි.

එමෙන්ම වැලිකන්දේ  චමල්ලාගේ පිරිමි දරුවන් තිදෙනෙක් විසු පවුල සහමුලින් අවසන් කර තිබුනේ  පුද්ගලික පලිගැනීමක් හේතුවෙන් ඔවුන් රජයේ හමුදාවන්ට  අල්ලා දීමේ ප්‍රතිඵලයක් වශයෙනි


අද කත්‍රිගේ අම්මටත් , තාත්තාටත්  "ඔළුවේ අමාරු  හැදී ඇති බව " මට කිව්වේ ඔවුන්ගේ හිතවතෙකු වූ අපේ තාත්තා විසිනි.


තම පුතාලා දෙදෙනාම (උදේනිත් , මල්ලිත්) නැති සොවින් ඔවුන්ගේ මවද මානසික රෝගියෙක් වී ඇත.

මෑතකදී මට මුහුණු පොතේ මුණ ගැසුණු , තවත් මේ සියවසේ රජෙක් හොයනා උහනේ පුතා සුරංජි ලාගේ ගෙදර විස්තර මට කිවේය.

ඔහු සුරන්ජිලා ගෙදර හොයාගෙන සියඹලාණ්ඩුවට ගොස් තිබේ.

ඔහු දුටු ගමන්............ " කෝ මගේ පොඩි පුතා? "         කියමින්  අම්මා හඬා වැලපී තිබේ.




 "මචං සුරංජිලා අම්මටත් පිස්සු හැදිලා බන්.  " ඒ වර්තමානයේ උහන ප්‍රදේශයේ සාර්ථක ව්‍යාපාරිකයකු වූ රන්ග්ජිව මට කියූ දෙයයි.

දයාබර සුරංජි.. නුඹ සිටියානම්  ....... මගේ සිත  එදා අපි කෙළිදෙලෙන් ගෙවූ කාලය වෙත දිව යයි...








Saturday, 25 April 2015

අපි නමුණුකුල ගිහින්



හැත්තෑ හතේ මැතිවරණයට සහය දැක්වීමේ ප්‍රතිඵලයක් ලෙස සමන්ත අය්යාත් අපේ අක්කාත් ගමෙන් පිට කරන්නට අම්මාට සිදුවිය.
 ඒ කාලේ  ඔවුන්දෙදෙනා සිටියේ  නමුණුකුල බාප්පලා ගෙදරය.
ඉස්කෝලේ නිවාඩුවකට කාරිය අම්මා මාත් රැගෙන ඔවුන් බලන්නට නමුණුකුල යන්නට හුරුවී සිටියාය.

නමුණුකුල සිරි


අපේ අම්මාගේ නංගි කෙනෙක් විසු ඒ ගෙදර පිහිටා තිබුනේ නමුණුකුල කඳු පාමුල ඉතා මනරම් පරිසරයකයි. ගේ ලඟින්ම පහලට ගලා ගිය දීය කඳුර දෙපස උණගස් පෙලකින් හා දීය සීරාවට හැදෙන නොයෙකුත් පඳුරු වලින් වැසි පැවතින.

බාප්පලා ගෙදර ගල් රන්දක් අසල පිහිටා තිබුන අතර වත්ත පුරාම පිරි තිබුනේ පුවක් ගස්, කිතුල් ගස් සහ කොස් , දෙල්  වැනි බව භෝග වලිනි.


වත්තේ පහල උණ පඳුර ළඟ තිබු වැල් දොඩම් වැල් ද මගේ සිහියට එන්නේ ඒ දෙසට යෑමටද කැමත්තක් මා තුල තිබු බැවිනි.

නමුණුකුල යන්නට මා වඩාත් ප්‍රිය කල හේතුව වුයේ මේ එකක් වත් නොව අප එහි ලඟා වූ වහාම ගමේ පහළ පැත්තේ ගොස් බාප්පා කඩා ගෙන එන දෙල් සහ කොස් ය.

පුංචි අම්මා සැපට අබ උළුහාල් දමා තෙලින් බැද අපට හදා දෙන දෙල් මාලුව නිවාඩුවට එහි යන මගේ ප්‍රියතම අංගයයි.

පුංචිලාට ලතා, සීතා සහ රංජි යැයි දරුවන් තිදෙනෙකි. මින් මගේ වඩාත් සිත් ගත් තැනැත්තිය වුයේ ලතා අක්කා වුවත්,   අපි වැඩි පුර සෙල්ලම් කලේ දඟ කම් කලේ රංජි අය්යා සහ සිතා අක්කා සමගය.


ලතා අක්කා  ඒ දවස් වල ට්‍රැක්ටර් ඩ්‍රයිවර් කෙනෙක් එක්ක යාලු බවත් .. එහි බ්‍රෝකර් .. කළුවේ අය්යා බවත් කුඩා මට කියනවා මට තාමත් මතකය.








රංජි නම් අනිත් ව්‍යාවසායකයා


ඒ කාලේ රංජි අය්යාද මා මෙන් පොඩි බිස්නස් කාරයෙකි.

ගස් බඩ ගෑමේ ශුරයෙකු වූ ඔහු තම ව්‍යපාරය ලෙස කලේ පා වළල්ලක් බැඳ පුවක් ගස් බඩ ගෑමත්,  එලෙස කඩා ගන්නා පුවක් අටේ කණුවේ හන්දියේ කඩයට විකිනීමත්ය.


සමන්ත අය්යාට සම වයසේ සිටි ඔහු එකල සමන්ත මෙන් පොත පතේ ඇලි ගැලී සිටීමට වඩා කලේ මෙවැනි මුදල් උපයන ක්‍රියා කාරකම්ය.

ඊට අමතරව ඔහු අත්මාරක්ෂක සටන් කලාවක්ද ප්‍රගුණ කල බව මා අසා තිබේ.

ඔහු කිරඹ ඔයේ ලොකු මාමාගේ ප්‍රියතම බෑනා වුයේ මෙම ව්‍යාපාරික කටයුතු හැදෙන එකෙකුගේ ලක්ෂණ ලෙස ඔවුන් මහා ඉහලින් වර්ණනා කල නිසාය.

රංජි අය්යා මගේ බලවත්ම හිතවතෙක් නොවුයේ ඔහුගේ සමහර වැඩ ඒ තරම්ම හොඳ ඒවා නොවන නිසයි. ඔහු සමන්ත අය්යාට කළා යැයි මාමා අසා තිබු සුළු සුළු අඩන්තේට්ටම් ගැන අපේ අම්මා කියනු මා අසා ඇත .

ඉන් මා සිත තදින් රැඳී තිබුණු එක් අවසථාවක්  වුයේ  "රන්ජියා අපේ කොල්ලගේ පපුවට තුවක්කු බටේ තිබ්බා " කියා අම්මා විස්තර කල සිද්යධියි. 

එක් දිනක පොඩිඋන් අතර ඇතිවූ සුළු ගැටුමකදී ඔහු විසින් ගෙදර තිබු බාප්පාගේ ලැය්සොන් තුවක්කුව අපේ සමන්තගේ පපුවට තබා ඔහු බය කිරීම මෙම "භයානක" සිද්ධියයි 


නමුණුකුල දී කල දඟකාරකම්



සමන්ත වැඩිය පෙන්නන්න්න බැරි වුවද රංජි අය්යා කුඩා කවිඳුට නම්  ප්‍රිය කල බව පෙනෙන්නට තිබුණි. හේතුව..

කුඩා මම අපේ අය්යා මෙන් නොව ඕනෑම දඟ වැඩකට ඔට්ටු මල්ලියෙක් නිසා වන්නට ඇත. බාප්පලා ගෙදර සිට නාන්නට යන ගමන අපගේ මෙම සම්බන්දයට  කදිම උදාහරණයකි. 

එහි සිට දවල් කාලයේ දීය නාන්නට යන අපට ඒ සඳහා ප්‍රධාන  ක්‍රම දෙකක් තිබුණි. 

පළමු වැන්න පුංචි, ලතා අක්කා වැනි අය කරනවා මෙන්  ගේ ලඟම තිබු පිල්ලෙන් හෝ.. කඳුරේ ටිකක් උඩහට ගොස් දීය නෑ ගැනීමයි.


මා හිතන හැටියට සමන්ත අය්යා වඩා ප්‍රිය කලේ මේ ක්‍රමයයි . රංජි අය්යා හා මට අනුව මේ ගැනු ළමයින් වගේ නා ගැනීමයි.

අනික නමුණුකුල කඳු මුදුනින් පටන් ගෙන බිබිලේගම ඉස්කෝලෙට පහළින් ගලා යන "බොස බොස ගා වතුර ගලා ගෙන එන" ගඟෙන් නා ගැනීමයි.


මේ අතරින් ඉතා කලාතුරකින් රංජි අය්යලා මුණ ගැහෙන්න නමුණුකුල යන මා වඩාත් ප්‍රිය කලේ මේ කොල්ලන්ගේ ක්‍රමයට නා ගත හැකි.. එහෙත් දැන් මතක් වෙන විට ඇඟ කිලිපොලා යන අපේ ගඟේ වික්‍රමයටයි.


නමුණුකුලදී රා බිව් හැටි



එදා රංජි අය්යා "ගඟේ යමු චුටි මල්ලි "කියා මට කතා කරද්දී අප සමග හිටියේ සීතා අක්කාත්, අපේ අක්කාත් රංජි අය්යාත් පමණි.


සරම් කමිස සහ තුවායක්ද රැගෙන ගිය අපි "සබන් කෝ.." කියා ලතා අක්කගේ රාණි සබන්  කෑල්ල ගන්න හදන කොටම රංජි අය්යා කිවේ "සබන් ඕනෑ නෑ මල්ලී.. එහේ සබන් තියෙනවා" කියලයි.

දැන් අපි කළුවේ ලා ගේ ගෙදර පසු කර ගඟ දෙසට පල්ලම් බසිමින් සිටිමු. හදිසියේම අපි තුන් දෙනාට බිම වාඩි වෙන්නයි අතින් සන් කල රංජි අය්යා.. ඔහු බොහෝ වෙලාවට ගෙදර ඉන්නා සේ සරම පොට දෙපා අතරින් පසු පස්සට දමා අමුඩයක් ගසා ගන්නට පටන් ගත්තේය.

ඔහු කරන්නට යන දේ කුමක් දැයි හිතා ගන්නට බැරිව සිටි මා කෙල්ලෝ දෙන්නත් සමග තණකොළ ගොල්ලේ වාඩි වී සිටියේ  ඕනෑ දෙයක් වෙච්චාවේ යන හැඟීමෙනි.


අපට වැඩිය සද්ද නොකරන ලෙස කී රංජි අය්යා බඩ වැටියේ තිබු කිතුල් ගහේ කඳෙන් මතු වෙනවා දුටු විට කුඩා මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ වැඩේ එච්චරම දඟ නැති බව තේරුණු නිසා විය යුතුය. 


නෑමට පෙර පොල්කටු දෙක ගානේ



ඇඟ පුරා ගස් පොතු තැවරී සිටි රංජි අය්යා නැවත කැලයෙන් මතු වුයේ කළුවේ මදින කිතුලෙන් උණු උණුවේ බා ගත් සුදු පාටට පෙන දමමින් තිබු රා මුට්ටයක්ද අතින් එල්ලගෙනයි. දැන් අපි හතර දෙනා තණකොළ ගොල්ලේ මුට්ටිය වවටා බිම වාඩි වී සිටිමු.

රංජි අය්යා පොල්කට්ටෙන් එක ගානේ මටත් අක්කලා දෙන්නටත් රා පෙරා දුන්නේ හොඳ පුරුදු කාරයෙකු ලෙසිනි.සීතා අක්කාද තරමක පුරුදු කාරියක් යැයි මට සිතුනේ ඇය පෙරේත කමින් දෙවැනි පොල් කට්ටද ඉල්ලනවා දුටු බැවිනි.

තිත්තට තිත්තේ තිබු එහෙත් පෙන බුබුළු දකින විට කටට කෙළ උනන මේ පානය මට ප්‍රියතම එකක් නොවුවත් රංජි දුන් දෙවැනි කට්ටද මා ගුඩුස් ගා ගිල දැමුවේ ආශාවටද නැත්නම් ඔහුගේ තුවක්කු කට මතක් වීමෙන් දැයි මට අදටත් සිතා ගත නොහැකිය.


නෑමෙන් හොඳ නෑම



තරමක රා මතයෙන් යුත් අපි හතර දෙනා දැන් ගඟ දෙසට පල්ලම් බසිමින් සිටිමු. හෝ.. හෝ... ගා ගඟේ සද්දය ඇහෙන විට මට සියුම් භීතියක් ද ඇති විය.

 ඒ   උඩහ තේ වත්තේ පිල්ලෙන් හෝ කිරඹ ඔයේ පිල්ලෙන් මිස, ජීවිතේට මෙවැනි විශාල ගඟකින් ස්නානය කර නොතිබූ නිසා විය යුතුය.


අපේ නඩේ ගුරා රංජි අය්යා  කෙරෙහි මා සම්පුර්ණ විශ්වාසය තැබුවේ ඔහු හොඳ පුරුදු කාරයෙකු විය හැකි යයි සිතු නිසාය.

එමෙන්ම තවත් කෙල්ලෝ දෙන්නෙක් එක්ක මේ ගිය ගමනේ කුඩා මට වෙන කල හැකි දෙයක් නැති බව මට ඉවෙන් මෙන් වැටහී තිබුණි.

ගඟ දෙපස වූ ගොඩපර ගසකට නැගගත් රංජි අය්යා අප දෙසට ගොඩ පර ගෙඩි විසි කලේ "මෙන්න මල්ලිලා සබන්" කියමිනි.


සබන් ගා ගන්නේ කොහොමදැයි නොදැන සිටි මාගේ උදව්වට ආවේ සීතා අක්කාය.

"මල්ලි.. මෙන්න මෙහෙම ගෙඩිය ගලේ ගහලා අරන් එන නානු ඔළුවේ ගා ගන්න" යැයි කියමින් ඇය මට රූපලාවන්‍ය පාඩමක් කීයා දුන්නේ ඇය ගොඩපර සබන් ගා ගන්නා ගමන්මය.

සබන් නානු තවරා ගත අපි ඉන් අනතුරුව ගඟ වෙත පා නැගුවෙමු. රංජි අය්යත් සීතා අක්කාත් ගඟේ ගැඹුරු වලවල් වල පිහිනා අපට පෙන්වුයේ හොඳ පළපුරුදු කාරයින් මෙනි.



රංජි අය්යා මට කොහොමට වත් පිහිනන්න නොතේරෙන බව දැනගත් වහාම ලඟට පැමිණ මාව වේගයෙන් ගලා යන ජල පහර ගල් කුළු හේතුවෙන් අඩපනවූ ස්ථාන කරා රැගෙන ගියේය.


"චුටි මල්ලී... සරම දෙකට නමාගෙන මෙන්න මෙහෙම සරම පුම්බ ගන්න එතකොට ඔයා ගිලෙන්නේ නෑ..." යනුවෙන් පිහිනීමට ප්‍රයෝජනවත් .. ඔහු ප්‍රගුණ කල ප්‍රයෝගික කාරණයක් මට කීය දුන්නේය.

අපේ අක්කා කෙසේ පිහිනුවදැයි මට මතක නැත .. මම රංජි අය්යා කී ලෙස විවිද උපක්‍රම අත්හදා බලමින්.. ගඟේ වතුර ලීටර් ගණනාවක් බොමින්.. කාලය ගත කලෙමි.



අවසානයේ  මමද ඔවුන් සමග පන පිටින් ගෙදර ආ බව ඔබට කියන්නේ  තවමත් මා ජිවතුන් අතර සිටින්නේ කෙලෙසදැයි ..මටම අදහා ගත නොහැකි  නිසාවෙනි.



Friday, 24 April 2015

ගමයි පන්සලයි අපේ ජීවිතයි..

                                             

                                                     

  හවසට පන්සල් ගිය හැටි



හතරේ පහේ පංති වලදී පමණක් නොව මහා විද්‍යාලයේ සිටි කාලය පුරාවටම මම අපේ අය්යාට වඩා  වෙනස් චරිතයකි.

එකල ශාන්ත දාන්ත සිශ්‍යයෙක් වූ අපේ අය්යා හා සසඳන විට මා ඊට ගව්ගානක් එහා ට ගිය අන්ඩපාලයෙක්  කීවොත් නිවැරදිය
ගමේ සිට නගරයේ පාසැල්වලට ගිය ගමේ අනෙකුත් චන්ඩින් වූ නන්දි පාල අය්යලා ගැංසියට වැටී සිටි මා යහ මගට ගැනීමට අපේ අය්යා සෑහෙන්න උත්සාහ ගත් බව නොරහසකි

ඒ කාලේ හැමදාම හවසට මාත් එක්ක ගමේ පංසලට ගිය ගමන ඔහුගේ ඒ උත්සාහයේ එක ප්‍රතිපලයක් යැයි මට සිතේ

ඒ කාලේ හැමදාම හවස්වෙද්දී අය්යාත් මමත් කිරිඔරුවේ පංසලට යන්නෙමු . ඒ අපේ අසල්වැසි ජේන් අක්කගේ  අය්යා (ඩිංගිරි බන්ඩේ මාමා), මුල්ලේ ගෙදර කිරි බන්ඩේ මාමා සහ ගමේම පෝසතා වූ බාස් මාමා සමගයි.

වැඩිහිටියන් තිදෙනා ගමේ අනෙක් කෙලවරින් පටන් ගන්නා මේ පංසල් ගමනට අය්යා මලෝ දෙන්නා  එකතු වන්නේ හේරත් අය්යලා ගේ ළඟ තිබුණු පඩි පෙළ ළගදීය.

ඩිංගිරි බන්ඩේ මාමා


මාරබැද්දේ සීට්ටුගෙදර  ඩිංගිරි බන්ඩේ මාමාද අපේ ඇතිමලේ බාප්පා මෙන් මගේ ජීවිතය හැඩ ගන්වන්නට සමත් වූ අපේ  ගමේ සිටි අමුතු චරිතයකි.

ඔහු ඒ කාලේ අය්යාටත් මටත් වෙන වෙනම හදා ගන්න කියා  දුන් දෙළුම් පැල දෙක මල්දෙණියේ අපේ මහ ගෙදර තාමත් ආඩම්බරයෙන් බැබළෙයි.

කලාතුරකින් අපේ  මහගෙදර යන මට "ගුරු ගීතයේ ගස් වැටියටත්" මේ දෙළුම් ගස් දෙකත්  අතර සමාන කමක්  දැනුනේ  නිකමටම නොවේ.

ඔබට මතක් ඇත්නම් හැත්තෑ හතේ අපි ගල් ප්‍රහාරයට මුහුණ දෙද්දී අය්යත් මමත් බේරා ගත්තේ ඩිංගිරි බන්ඩේ මාමා විසිනි.

තම දේශපාලන දැක්ම අපේ තාත්තලා මෙන් ප්‍රසිද්දියේ නොපෙන්වූ මේ උදාර මිනිසා අපිට කීයා දුන් පාඩම් රාශියකි.

ඔහුගෙන් අප ඉගෙනගත්  දේවල් අතර අනෙකාගේ තනතුර තරාතිරම නොබලා කෙනෙකුට උදව් කිරීම හෝ අනුග්‍රහය දැක්වීමේ ලක්ෂණය වැදගත් තැනක් ගනී.

 සංවර්ධනය වී ඇති රටක ජිවත් වන මාත් ,සුපුනුත් , සුපුන්ගේ අම්මාත් මෑතකදී අලුත් අවුරුද්දට ලංකාවේ අයගේ ගෙදර වල් වල  ගිය ගමන  මට  ඩිංගිරි බන්ඩේ මාමා සිහි ගැන්විය.

 කුඩා පෝච්චියක හැදු ගොටුකොල පැලයක් හෝ මුකුණු වැන්න පැලයක් බැගින් පළාතේ සිටින සෑම ශ්‍රී ලාංකිකයෙකුටම රැගෙන ගියෙමි.

ඒ අලුත් අවුරුද්දට  අපෙන් දෙන  ත්‍යාගයක් ලෙසයි. ඔවුන් එය කෙසේ බාරගත්තා දැයි  මා දන්නේ නැත.

නමුත්  මා සිත තිබුණේ ඩිංගිරි බන්ඩේ මාමා සමන්තටත් මටත් දෙළුම් පැල ලබා දෙන විට ඔහු සිත තිබු සිතුවිල්ලම  යැයි මා සිතමි.

ඒ කාලේ හවස පහ හමාර හය හමාර වන විට සමන්ත අය්යත් මමත් ගමේ පන්සල වෙත ඇදෙන ඩිංගිරි බන්ඩේ මාමා ඇතුළු  වැඩිහිටියන් තිදෙනා සමග එකතු වන්නෙමු.

ඒ මගේ ආශාවටකට  වඩා ඉතා ධාර්මික සහ තැන්පත් කොල්ලෙක්  වූ අපේ අය්යාගේ උවමනාවටයි.

අපි මේ පුද්ගල ත්‍රිතත්වයත් සමග යන ගමනේ මුල් ආරම්භයේදීම  මගේ අතට "යමක්" දෙන්නේ ඩිංගිරි මාමා විසිනි .

ඒ ලොකු හාමුදුරුවෝ සමග තුන් සුත්‍රය කියවා ආපසු එන ගමනේදී  අඳුර නිවීමට පහනක්  ලෙස යොදා ගන්නා දෙයකි.

 ජෑම් බෝතලයක් ඇතුලට පහන් තිරයක් ගිල්වා හැදු එය ලන්තරුමක් වැනි ලාම්පුවයකි.


අපි අම්මා  සමග වගා කටයුතු වල යෙදුනු  ඒ කාලේ අපේ අල කොටුවේ එල්ලිමටද එවැනිම ලන්තැරුමක් ඔහු විසින්  හදා දුන් බව මතකය.

එකල අපේ ගමේ ප්‍රසිද්ධම  මේසන් බාස්ලා වූයේ  තාත්තගේ අය්යලා දෙදෙනෙකි.

තාත්තා ගමේ නැති ඒ  කාලේ  ඔවුන් අපේ ගෙදර වැඩකට ගෙන්වා ගැනීම ඉතාම අපහසු දෙයකි.

එමෙන්ම ලොකු බාස්ලා වූ මේ දෙදෙනා  සුළු සුළු මේසන් වැඩ වලට කොහොමටවත් එන්නේ  නැත.

තම ලොකු මල්ලිගේ පවුලේ වැඩක් කියා ඔවුන්ට විශේෂයක් දැනුනේද නැත.

වරක්  අපේ වැසිකිළියේ පොඩි අලුත් වැඩියාවක් අවශ්‍ය වී අම්මා වරින් වර තාත්තගේ අය්යලාට මතක් කල හැටි මතකය.

එහෙත් ඔවුන් දෙදෙනාම  එය මග හරියේ කුඩා අපට වැසිකිළිය පාවිච්චි කිරීම ඉතා අනතුරුදායක බව දැන දැනමය.

අවසානයේ වැසිකිළියේ අලුත්වැඩියාව  කර දුන්නේ එකල මේසන් කෙනෙක් නොවුවද   ගමේ ප්‍රචලිත "handy man" කෙනෙකු වූ ඩිංගිරි බන්ඩේ මාමා විසිනි.

තුන්සුත්‍රය කියවීම


කිරඹ ඔය පන්සල පිහිටා ඇත්තේ කිරඹ ඔයත් මල්දෙනියත් එකිනෙක වෙන් කෙරෙනා දෙගම් මැද වූ උස් තනි තලාවකය.

අපේ ගෙදර මල්දෙණිය පැත්තේ කඳු මුදුනේම පිහිටා තිබු අතර මගේ එකල අති ජාත මිත්‍රයා චමින්ද රාජපක්ෂලාගේ ගෙදරත්,  අපේ අම්මලා මහ ගෙදර වූ පහළ ගෙදරත් කිරඹ ඔය පැත්තේ කඳු බැවුමේ පිහිටා තිබුණි.

අපේ ගෙදර පිහිටා තිබුණු තැන ඉතාම සුන්දරක් එකකි.

 ඒ  එහි ජීවත්වූ පොඩි අපි සහ අපේ ආදරණීය අම්මා  නිසාම පමණක් නොව.. හවස තුන හතර වනවිට හාත්පස වෙලාගනිමින් පැතිරී යන සුදු මිදුම් වලාවන් විසින් අපේ ගෙමිදුලද වට කර ගන්නා නිසාය.

පන්සලේ බුදු ගෙය  බිත්ති  සුදු හුණු පිරියම් කර හා  බිමට පිගන් ගඩොල් අල්ලා තිබු ඉතා කුඩා එහෙත් මනරම් මන්දිරයකි.

බුදු පිළිමයට වම් පසින් එකත් පස්ව  වාඩි වී සිටියේ පන්සලේ ලොකු හාමුදුරුවෝ පන්නල බුද්ධ රක්ඛිත හිමියන්ය.

දකුණේ වැඩිහිටියන් තිදෙනාත් පොඩි හිටි අපි දෙදෙනාත් වාඩි වී සිටිමු. "ඒ වංමේ සුතං" කියමින් අපි සුත්‍ර කියවමු.

සමන්ත අය්යා දොහොත් මුදුන් දී බරටම පිරිත් කියද්දි මට කහඹිලියා ගාය හැදීගෙන එන්නේ "යානිධ භූතානි සමාග තානි .. එකේ දෙවෙනි කොටස කොයි වෙලේ කියවෙයිදෝ සිතමිනි.

 මම එහාට මෙහාට ඇඹරෙමින් එහෙත් ඇත්ත වශයෙන්ම හඬ නගා පිරිත් කියමින් බුදු ගෙය තුල කාලය මරන්නේ නිවනක් ගැන සත පහකට වත් නොසිතමිනි.

මේ ගමනේ අගය මට තේරුණේ අපේ පන්ති භාර මෙන්ම බුද්ධාගම ටීචර්ද වූ වන්නියලා අම්මා තුන් සුත්‍රය අපට කීය දෙද්දීය.

අටේ පංතියේ අණ්ඩ පාල කෙනෙකු වූ ජාලිය  ඔහුගේ ලඟම සගයන් මෙන්ම අපඅතරටද පැමිණ

" බැහැපන් දේවා මනුස්සයෙක් එනවා... මට පෙන්නේ එන පොට හොඳ නෑ වගේ... ආ ඕකා මොන සොත්තියෙක්ද.. මම බ්රුස් ගාලා බැහැල එන්නම්  හාමුදුරුවනේ....යැයි...

 "බහු දේවා මනුස්සාච...මංගලානි අචින්තයුන්...ආකංක මාන සොත්ථානං..... බෘහි මංගල මුත්තම" යන ගාථා ඛණ්ඩය අපේ භාෂාවෙන් විස්තර කරද්දී...

අන්ඩයා වුවත් පොත පතේ වැඩ හරියට කල  මම හිනාවෙමින් අපේ ගමේ පන්සල සිහියට ගත්තේ ඒ වනවිටත් මට සුත්‍ර තුනම කට පාඩම් නිසාවෙනි.

 සමන්තට එක හැන්දකිනුත් කවිඳුට තව හැන්දකිනුත් බෙදු ලොකු හාමුදුරුවෝ


සමන්ත බෝ පැලයක් යැයි කිව්වේ මම විතරක් ම නොවේ.

 ගමේ පන්සලේ ලොකු හමුදුරුවන්ද ඇතුළු සෙසු ගම් වැසියෝ හැමකෙක්ම අපේ අය්යා දැක්කේ ඉතා නිවුණු ගති ඇත්තෙකු ලෙසිණි.


ඔහු දහම් පාසැලේ වැඩ වලට මෙන්ම එකල තිබු  සර්වෝදය.. සිඟිති හවුල් .. ආදී මෙකි නොකී සමාජ වැඩ වැලට පන්සල කේන්ද්‍ර කර ගනිමින් යොදා ගත් ලොකු හාමුදුරුවෝ සමන්තට තද බල ඇල්මකින් පසුවූ සේක.


එහෙත්උන්වහන්සේ මා  දෙස බැලුවේ ඒ කෝණයෙන්ම නොවේ.

හේතුව මම ජීවිතේට ළදරු පාසැලකට හෝ දහම් පාසැලකට පා නගා නොතිබීම විය යුතුය.

පන්සලේ එවැනි වැඩ වල ප්‍රමුකත්වයක් නොගත්තද

වෙසක් පෝයට සිල් අරන් කටුස්සන්ට ගල් ගැහීම, ඉඳි ආප්ප දානේ බෙදද්දී කිරඹ ඔයේ "දොකන්" සමග තරඟයට ඒවා කෑම,  වැනි වැඩ වලදී  යසනන්ද අය්යලා මෙන්ම මාද ඉදිරියෙන්ම සිටි අයෙකි.

එහෙත් හාමුදුරුවන්ගේ සිත් තුල මා ගැන තිබු ඇල්ම බැල්ම මුලින්ම මතු වී ආ දිනය මට අද වාගේ මතකය.

ඒ කාලේ සමන්තට කටපුරා  සමන්ත කියා කතා කරන අපේ හාමුදුරුවෝ මගේ නම දැන සිටියේ නැත.

දිනය අපේ මාසික හීල් දානය දෙන 24 වෙනිදාය.  මම පුරුදු පරිදි අම්මත් සමග දම්මුරේ අරන් පංසලට ගියෙමි.

මා දුටු ලොකු හාමුදුරුවෝ..

"ආ ඔය ළමයා අද  දානේ අරන් ඇවිල්ලා තියෙන්නේ. මොකද අද සමන්ත නැද්ද?

ඒක නෙවෙයි මට ඇහෙනවා තමුන් රෑට ..රැට .පැල් රකින ගමන් .සින්දු කියන සද්දේ...

අම්මලා තාත්තලාට වගා කටයුතු වලට උදව් කරනවා නේද?

 ඒවා හොඳ වැඩ.. හොඳා හොඳා .. ඔහොම කරගෙන යමු . "

යයි ඇස යටින් බලා මා හට පැවසු උන් වහන්සේ තව මොන මොනාදෝ අම්මගෙන් ඇසුවේ මගෙන් ඔවුන්ගේ වගා සටනට තිබු උදව් පදව් ගැන විය යුතුය.

සෝමේලා ගෙට පහළ පැලේ සංගීත සාජ්ජය.




ඒ අපි වගා සටනට බැස්ස මුල්ම අවුරුද්ද හෝ දෙක ගෙවීයන කාලයයි..

 ගමේ මගුල් ගෙවල් වල බජව් කාරයෙකු වූ සෝමේ ,

"ජිවත් වීමට කොහොමත් බැරි මම කිරඹ ඔයට ආවා" යනුවෙන් සින්දු කිව්වේ මේ කාලයේදීය.

 ඔහු ගැයූ අනෙකුත් ගීත අතර.. "මම ගියා අපායේ බජව් එකකට සීයේ" "

ලොකු ලොකු හෝටල් ගානේ .. රොක් ඇන්ඩ් රෝල් ඩාන්ස් නටන්නේ".. යන ගීතද විය.



දුප්පත් වුවත් විනොදකාමියෙකු වූ සෝමේ එකල ජිවත් වූයේ කටු මැටි පැල්පතකයි.

එයට එක එල්ලේම  පහළින්  ආණ්ඩුවේ reservation එකක් ආසන්නයේ අම්මලා එළවලු හැදු අපේ "පල්ලැහැ වත්ත" පිහිටා තිබුණේය.

අම්මාත් මමත් අපි බීජ අල හෙවත් "ගොඩ අල" හදා තිබු මේ වත්තේ රාත්‍රියට  මුරට ගියේද මේ කාලයේමය.

ඉස්කෝලේ කොල්ලන් සමග දවල්ට කවකටු පෙට්ටි ඩ්‍රම් සෙට් ගැසූ මා  රාත්‍රියේ  අම්මා පැලේ ඇතුලේ නිදි අතර පැලේ එළිමහනේ තැනු කොටසේ ගිනිගොඩ ළඟ සිට මල් බාල්දි ඩ්‍රම් සෙට්  එකට ගසමින් සින්දු කිව්වෙමි.


එකල මාගැයූ ගීත අතර ප්‍රධාන තැනක් ගත්තේ ඒ දශකයේ  ජනප්‍රිය ගායකයෙක් ව සිටි මැක්ෂි ජයවිරයන්ගේ

" කවලා විළඳ ජාති.". ගීතයත් , "බැරි බර කරේ තියන් "  යන ගීතයත්ය.

මට මතක හැටියට මම  ඒ කාලේ මල්බාල්දී සාජ්ජය පටන්ගන්නේ

"ගෝ.. වේ... ගෝවේ  ගෑ නු පරාදයි  .. යන ගීතය  ගයමිනි.

මැක්සිගේ සිංදු දෙක එන්නේ සාජ්ජයේ මැද හරියේදීය.








ඒ කාලේ  මා වගේම   අය්යා සමන්තද ජනප්‍රිය ගායකයෙකී.

එසේ  වුවත් අම්මා ඔහු පැලේ සංගීත සජ්ජයට රැගෙන  ආවේ නැත.

හේතුව ඒ වනවිටත් තම ලොකු පුතා  පොත පතේ වැඩ වලට වැඩියෙන් යොමු කිරීමට ඇය සිතා සිටි නිසා විය යුතුය.



ප. ලි.

එදා පන්නල බුද්ධ රක්ඛිත හිමියන්  අපි හීල් දානේ  අරන් ගිය වෙලාවේ මට මතක් කලේ රෑ දෙගොඩ හරිය තෙක් උන්වහන්සේට ඇසුණු මේ නැගී එන බයිලා ගායකයාගේ කන් කරච්චලය ගැනයි.