Sunday 12 June 2016

ටින් ටුං ටින් මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි



පසුගිය  දින කිහිපයේ පළවූ  කල්‍යාණ මිත්‍රගේ  මඩ ගුවන් විදුලි ප්‍රචාරයත්

රසිකලොගිස්ට්  යන්තමින් ගුවන් විදුලි ගැන කියා නැවතත්  ඔහුගේ මොබයිල් ෆෝන් සාකච්චාවට  පැමිණි මේ පොස්ට් එකත් දැක  හැත්තෑව- අසුව දශකයේ  ගුවන් විදුලිය  මා සිතේ අවදි වන්නට විය .

උදේ පාන්දර අවදිවන අපේ අම්මා ළිප ගිනි මොලවද්දී අපට රේඩියෝවේ හඬ ඇසේ .

ඒ ඇය කුස්සියට යද්දී සාලයේ වූ  සත පහේ බැටරි දමනා රේඩියෝවද  දමා යන බැවිණි.

ඈ එසේ කරන්නේ  ඉස්කෝලේ යන්නට ඉන්නා  අපව අවදි කරවන්නටයි.

පන්සිල් සහ සෙත් පිරිත් අවසානයේ විනාඩි  පහක "ධර්ම චින්තාවට " ට සවන් දෙමින් අවදිවන මා අම්මා තේ හදන තෙක්  කුස්සියේ ලිප් බොක්කේ හිඳ ගන්නෙමි.

අද උදැසන ධර්ම චින්තාව  පවත්වන්නේ පානදුරේ අරියධම්ම  ම හිමි පාණන් විසිනි

විනාඩි පහ අවසානයේ "දවසේ සිතුවිලි"  ආරම්භ වේ  සතියේ දවස් හයක්  ක්‍රිස්තියානි  පුජකයෙකු විසින් පවත්වන මෙය  සිකුරාදා  දිනවලට  වෙනස් ආරක්   ගනී

 "අස්ස්ලාම් අලෙයික් කුම්  ... ව්හම්තුල්ල්යි වබර කාතහුම් ... අසීමිත  දයාවන්ත  වුද.. අපරිමිත  කරුණාවන්ත  වුද .. අල්ලාහ් තාලා  ගේ  නාමයෙන් ආරම්භ කරමු.. "

අනෙකුත් ආගමික පුජකයින්ගේ වාග්  මාලාවන්ට  වඩා මේ වාග් මාලාව  මගේ සිත් ගත්තේ  එය මට අලුත්ම අද්දැකීමක්  නිසා විය යුතුය .

අනතුරුව "මොහම්මඩ් සල්ලල්ලාහු අලෙයිවසම් තුමා" ගැන කියන කතාවද මගේ සිත් ගත් යෙදුමකි.

ඉන් පසුව උදා ගී ඇරඹෙයි.



විල්බට් ඇන්තනීගේ "හිරු පායා එන." ඒ  කාලේ  එහි නිතර  වාදනය වන ගීතයකි.

වික්ටර් රත්නායකගේ  රුවන් නිදන  තවත් එවැනිම  ගීතයකි.


ආර්ථික  වශයෙන්  ඉහළම තත්වයක  නොවූ ඒ කාලේ අපේ ජිවිත  ගැට ගහගන්න  අම්මා විඳිනා දුක ඉතා ලඟින්ම   දැනුණේ මටයි.

ඒ නිසාම  උදා ගී වල ඇසෙනා සුනිල් එදිරිසිංහගේ  මේ ගීතය  මගේ සිතට තදින්ම  කා වැදුනා කිව්වොත් එය අතිශෝක්තියක් නොවේ. 

චමින්ද රාජපක්ෂ  ඇතුළු  සහචර කල්ලියත් එක්ක ගැවසුණු මගේ හිතට  නැවතත්  අධ්‍යාපනයේ වටිනාකම කියා දුන්   මේ  ගීතය පොඩි කාලේ  මගේ  ආදර්ශ  ගීතයයි. 

 මෙන්න ඒ  ගීතය.





මම අපේ සුපුන්ට  මේ ගීතය කට පාඩම් කරවුවේ  වයස මාස පහේ සිටම රටෙන් පිට ජිවත්හ වූ ඔහුට  යන්තම් අවුරුදු  පහක් -හයක් වෙද්දීය.

සුනිල් ශාන්තයන් ගේ  ගීතද  මේ උදා ගී වල  නිතරම  වාදනය වුවා මතකය.

මේ ඒවා අතරින් මා ජීවිතය හැඩ ගස්වන්නට බොහෝ සේ බලපෑ  එක ගීතයකි.



සුනිල් ශාන්තයන්ගේ  තවත්  මා කැමති  ගීත දෙකක්   එකල ඇසුනේ  මෙසේය







ජාතික හැඟීම් පිබිදුනු  ගීත  මා නොඅසුවා  කිවොත් එය ලොකු මුසාවදයකි. මේ උදා ගී වලින් මා සිතට තදින් කා   වැදුණු එවැනි ගීතයකි.



නන්දා  මාලනිය  ගැයූ  මේ ගීතය  අපට ඒ දිනවල උදා  ගී වල නිතර ඇසුණු තවත්  ගීතයකි.


මේ මෑතකදී   ( 2013 ) අපේ  හාදයා  බුද්ධානු  භාවෙන  කියූ ආකාරයයි.





උදා  ගී  අවසාන වෙද්දී   වදෙන් පොරෙන් මුහුණ කට සෝදා ගන්නා අපට පාසැල් බසයට  දිව යා යුතු යැයි සන් කරන්නේ   මෙන්න මේ තාලයයි.

"ඩඩ්ලි ඩඩ්ලි ගෙදර ගෙදර

ඩඩ්ලි ඩඩ්ලි ගෙදර ගෙදර

ඩඩ්ලි ඩඩ්ලි ගෙදර ගෙදර

ඩඩ්ලි ඩඩ්ලි හූ හු......."

මේ ශ්‍රී ලංකා  ගුවන් විදුලි සංස්ථාවයි  උදෑ සන ප්‍රවුර්ති  ප්‍රකාශය  දැන්..

මේ තේමා වාදනය පසු කාලීනව

ඇන් ඇම්ට  පුළුවන්ද අලි ඇත්තු  එලවන්න

කොල්වින්ට  පුළුවන්ද අලි ඇත්තු පෙරලන්න

සිරිමාට  පුළුවන්ද අලි  ඇත්තු එලවන්න

සිරිමාට  පුළුවන්ද  අලි ඇත්තූ තූ... එලවන්න  යනුවෙන් වෙනස් විය ...

මේ වාදනය පැමිණීමෙන් පසු ගැයුණු තවත්  උදා ගීතයක්  මගේ සිත් ගත්තේ එහි රචකයා  රණසිංහ ප්‍රේමදාස අගමැති තුමා බව දැන දැනමය.

එච්. ආර්. ජෝතිපාල ගේ සමනළ මුදුණින්  ..ඒ  ගීතයයි.




42 comments:

  1. "ඩඩ්ලි ඩඩ්ලි ගෙදර ගෙදර

    ඩඩ්ලි ඩඩ්ලි ගෙදර ගෙදර

    ඩඩ්ලි ඩඩ්ලි ගෙදර ගෙදර

    ඩඩ්ලි ඩඩ්ලි හූ හු......."

    මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි උදෑ සන ප්‍රවුර්ති ප්‍රකාශය දැන්..

    මේ තේමා වාදනය පසු කාලීනව

    ඇන් ඇම්ට පුළුවන්ද අලි ඇත්තු එලවන්න

    කොල්වින්ට පුළුවන්ද අලි ඇත්තු පෙරලන්න

    සිරිමාට පුළුවන්ද අලි ඇත්තු එලවන්න

    සිරිමාට පුළුවන්ද අලි ඇත්තූ තූ... එලවන්න යනුවෙන් වෙනස් විය ...

    +++++++++++++

    ReplyDelete
  2. ඔය රුවන් නිදන හෙලබිමයි කියන සිංදුව ඇහෙද්දි මට මැවිලා පේන්නෙ රෙද්දක් ඔලුවෙ ඉඳලා පෙරවගෙන පැදුරක නිදාගන ඉන්න ලමෙයෙක්ව. උගෙ නම රුවන්.

    ReplyDelete
    Replies
    1. ටිකක් ගලක් උඩ වගේ ඉහළ තැනක පැදුරක් දාගෙන බිම නිදියන කොලුගැටයෙක් වෙන්න ඕනෑ..
      සරම ඉහේ ඉඳන් පොරවාගෙන නිදා ඉන්න....

      Delete
    2. මගේ මල්ලීට පාසලේ එක් ගුරුවරයකු කතා කලේ ම රුවන් නිදන හෙළ බිමයි කියලායි.

      Delete
    3. නියම ගුරුතුමෙක් අපි වගේ එල පොරක් වෙන්න ඇති.. අපි ඉස්කෝලේ උගන්වන කාලේ නානායක්කාර කියලා ආණ්ඩපාල ළමයෙක් හිටියා . දවසක් මම ස්ටෆ්ෆ් රුම් එකට ගිය ගමන් "මචං අර නානා .. මෙහෙම වැඩක් කලානේ " කියලා විස්තරේ පටන් ගත්තා පස්සේ ටීචර් ලා ටික හිනවෙනකොටයි මතක් වුණේ අපි ගුරුවරු බව...

      Delete
  3. විස්තරේ පටන්ගන්නකොටම හිතුනා පිනිබරයාමේ සිංදුව ගැන තමයි මේ කියන්න යන්නේ කියලා... ඇත්තටම හරි අපුඍු ගීත පෙළක් ඒ කාලේ ඒවෙලාවට උචිත විදිහට ප්‍රචාරය වෙලා තියනවා නේද... දැනම් නම් ඒ පරිසරය වෙනස්... සෙත් පිරිත් ඇහුනත් ඊට පස්සේ ප්‍රවෘත්ථි, එහෙම නැත්නම් පත්තරවල විස්තර.....

    සුන්දර මතකයන්....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. දේශාභිමානී මිනිසුන් (පත්තරවල , රුපවාහිනියේ එහෙම ) හරියට හිටියට එහෙම ගීත දැන් ඇහෙනවා අඩුයි නේද?

      Delete
    2. ඔව් ඒක ඇත්තකවිදු... දේශාභිමානී ගීතයක තියන සුන්දරත්වය, අභිමානය කරන කතාවක කොහොමවත් නෑ....
      රූපවාහිනී තියන නිසා ගුවන්විදුලිය ඉස්සරට වඩා අපෙන් ඈතයි කියලයි මට හිතෙන්නේ....

      Delete
    3. ඒ වගේ පැරණි තාලයේ සහ දේශාභිමානී ගීත යම් පමණකට ප්‍රචාරය වෙනවා "හිත FM" කියන ගුවන්විදුලි සේවයේ...
      88.6 සහ 88.8 න් අහන්න පුළුවන්...

      Delete
    4. ස්තුතියි ලොකුපුතා ඔත්තුවට...

      Delete
  4. මට මතක 'පිටි දෙන්න- රොටි කන්න' වගේ මියුසික් එකක් ප්‍රවුර්ති වලට කලින්.. :) මම ඉස්සර හිතන් හිටියේ රේඩියෝ එක අස්සේ කුරුමිට්ටෝ ඉඳන් කතා කරනවා කියල.. හැක්..

    ReplyDelete
    Replies
    1. //මට මතක 'පිටි දෙන්න- රොටි කන්න' වගේ මියුසික් එකක් ප්‍රවුර්ති වලට කලින්..// එක එක වර්ෂන් තිබුනා . මේ තියෙන්නේ අපිට ජේන් අක්කා කියලා දුන්න එක...

      Delete
    2. කෝ කමි නෑනේ තවම හරි හමන් ලියවිල්ලක් වැටුනේ කාලෙකින්.. 16න් පස්සෙද?

      Delete
    3. ඊටත් පහුවෙයි.. මේ ටිකේ හිතේ කලබලෙන්.. :(

      Delete
    4. හපොයි.. බ්ලොග් වසන්තය.....

      Delete
  5. ඔබේ පුතාගේ ගායනය තමයි මටනම් හොඳම.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන් .. එයා ලවා පිනිබර යාමේ කියවන්න ඉන්නවා බලමු. දැන් වයස දහතුනකට ළඟ නිසා ටිකක් අදි මදි කරනවා..

      Delete
  6. අපිත් ඒ කාලෙ උදේ පාන්දරට රෙඩියෝ ඇහුව. ඒ කාලෙ ඉතිං ටීවී තිබුණ කියලැයි. ඔය ඇන්ඇම් ට පුලුවන්ද කියල ගිය මියුසික් එකෙන් පස්සෙ ප්‍රවෘත්ති වලට ලස්සන මියුසික් එකක් ආවෙ නෑ.

    පැරණි දේශාභිමානී ගීත නම් අදත් මම කැමැත්තෙන්ම අහන ගීත තමයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Praසන්ன .. ඔවු ඔවු ඈන් ඇම් ට පුළුවන්ද කියන තේමා වාදනේ සෑහෙන ගතියක් තිබුනා...

      Delete
  7. කවිඳු, මෙතන තියන ගොඩක් සින්දු අපිත් පොඩි කාලේ ඇහුව දැනුත් අහන අමතක නොවෙන සින්දු..මගෙ දඟමල්ලට පොඩි කාලේ ඉඳලා නැලවුනේ සින්දු වලින්, ඒ නිසාම එයා ගොඩක් අඩු වයසින් හැම සිංදුවක්ම වගෙ කට පාඩමින් කියනව. ඒ වගේම තාම අවුරුදු 5 ක් උනාට ගොඩක් අයගේ කටහඬවල් සහ සංගීත භාන්ඩ වල හඬ වෙන් කරන හඳුනා ගන්නවා.

    කවිඳුගේ පුතාට මේ සිංදු අහන්න දෙන එකත් සංගීතයට යොමු කරන එකත් අගය කරන්න ඕන දෙයක් කවිඳු..

    ReplyDelete
  8. ස්තුතියි.. ඔබේ දියණියත් සිංහල ගීත ගයමින් ශ්‍රවණය කරමින් හැදෙනා බව අහන්න ලැබීම සතුටක්. ඒ කාලේ දේශාභිමානී ගීත හොඳ සිහියෙන් අහපු කෙනෙක් රට ජාතිය , ආගම වෙනුවෙන් කපව්, කොටව් , මරව් වගේ දේවල් කියන්නේ නැහැ..එහෙම හිත හොඳ ළමයි හැදෙන්නේ මෙවැනි හොඳ තේරුමක් ඇති ගීත ඇහීම මගින් එවා ගැන කතා බස් කිරීම මගින් තමයි.

    ReplyDelete
  9. දැන් නැගිටින්න එලාම් තියන්න රේඩියෝ දාන්න ඕනා නෑ... උදේම දානවා පන්සලේ පීකරේ... මම නම් නැගිටින්නේ බුදු හාමුදුරුවොන්ගේ අම්මා මතක් කරගෙන... දරුවෙකුට පාඩම් කරන්න, ගෙදර කතා බහ කරන්න, ටී වී, රේඩියෝ බලන්න අහන්න මුකුත් බෑ... අම්මගේ රෙද්ද පැයක් විතර යනවා..

    ReplyDelete
    Replies
    1. ආගම් නරකම කණට තමයි
      දන්සැලක්වත් දෙන්නෙ නෑනෙ කණ පැලෙන්න මොහිදීන් බෙග්ව නොදා

      Delete
    2. මොහිදීන් බෙග් ගේ ඔබේ රාගී මන කැලඹේ දෝ... ගීතයත් සමගින් යන පන්සලේ සල්පිල ගැන කතාවක් ලිව්වා කාලෙකට ඉස්සර....http://helmalu.blogspot.com.au/2015/11/blog-post_27.html කියවන්න

      Delete
  10. ස්තුතියි මාතලන්.. //දේශාභිමානී ගීත හොඳ සිහියෙන් අහපු කෙනෙක් රට ජාතිය , ආගම වෙනුවෙන් කපව්, කොටව් , මරව් වගේ දේවල් කියන්නේ නැහැ// ඔය පන්සලේ පිකරේ, පල්ලියේ පිකරෙත් එක්ක තරගෙට ගහන්නේ ඔන්න ඔය කියපු ඩේ ඔළුවට වැටුනේ නැති "දේශානුරාගය" ආගම්වාදය නිසා ... වැරැද්ද බුදුහාමුදුරුවන්ගේ නෙවෙයි ඔය ක්‍රමේට උන්වහන්සේ අදහන්නන් ගේ ...

    ReplyDelete
  11. දහයේ පන්තියේ සිට මා පාසල් ගියේ 5:45 බසයේ නිසා පිරිත් ඉවරවෙලා තියෙන ඒවා අමතකයි.

    ඊට පෙර ගියේ 7:15 බසයේ නිසා නැගිට්ටේ පරක්කු වෙලා.

    ReplyDelete
    Replies
    1. ඒකෙත් හැටි රසිකට දේශාභිමානී ගී අහන්න චාන්ස් එකක් දීලම නැහැනේ මේ "කාලයා"

      Delete
  12. අපිත් ඉස්සර රේඩියෝ එකේ ප්‍රවෘත්ති අහනවා...
    ඇන් ඇම් ගේ වාදනේ ඉවර වෙලා "මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයයි" කියල කියන ගැඹුරු කටහඬ තාමත් මතකයි...
    පස්සේ කාලෙක අපේ රේඩියෝ එක අබලන් උනාම එහා ගෙදරට යනවා "මුවන් පැලැස්ස" එහෙම අහන්න...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලොකුපුතා... මුවන්පලැස්ස , මොණර තැන්න ඒ කාලේ තිබ්බ ජනප්‍රිය නාට්‍යනේ මම අනික් ගුවන් විදුලි වැඩසටහන් ගැන තව ටිකක් ලියන්න ඉන්නේ....

      Delete
  13. පුතාගෙ සිංදුව අපූරුයි.පොඩි එකාට බර සිංහල වචන කියවගන්න ටිකක් අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි .. දැන් ටිකක් ඊට වඩා දියුණුයි. ඉස්කෝලේ , මග තොටේ ඉංග්‍රීසි නේ පාවිච්චි වෙන්නේ. ගෙදරදී නම් අපි අමු සිංහලෙන් කතා කරන්නේ..

      Delete
  14. ප්‍රවෘත්ති ප්‍රකාශය රම්යා වනිගසේකර

    ReplyDelete
    Replies
    1. ඔව්.. සමහරක් වෙලාවට ධර්ම ශ්‍රී වික්‍රමසිංහ .. අපේ ගමේ කොල්ලෙකුට ධර්ම ශ්‍රී විජේසේකර කියලා නම තිබ්බා එයාගේ දෙමව්පියෝ ඔය කාලේ..

      Delete
  15. දවසම නැවුම් ගතියකින් හිත පිබිදිලා එන විදිහට ඉස්සර වැඩසටහන් පෙළගස්වලා තිබුනෙ.ප්‍රවෘත්ති කියන කොට නිවරදිව උච්ඡාරණය කරනවා.හරිම වැදගත් බවක් දැනෙනවා ප්‍රවෘත්ති වල.උදේ හීතල ගතියයි කුස්සියේ දුම් සුවඳයි මතක් උනා මේ පෝස්ට් එකෙන්.
    පොඩි එකාට තෙරුවන් සරණයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගස්... ඔව් ඔව් ඒ කාලේ හැමදෙයක්ම සිරියස් විදිහට අරන් කෙරුණා. මමත් හිතින් අම්මාගේ කුස්සියට ගියා මේක ලියද්දි..

      Delete
  16. ඒ දවස් වල කිව්ව නසරාණි එකක් තමයි:
    සිරිමක්ක දැන් ඉන්නේ දෙමලුන්ගේ පිටි පස්සේ // කියන එක. 1975 න් පස්සේ.
    ඇන් ඇම් ට පුලුවන්ද හත් හවුල පෙරලන්න වගේ එකක්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් එක එක විදිහේ යෙදුම් තිබුනා එකම තේමා වාදනයට

      Delete
  17. අර දරුවාට සංගීතය ටිකක් ඉගැන්වීම ඉහලින් අගය කරනවා. දරුවන්, තම අධ්‍යාපන කටයුතුවල බර වැඩිවීම නිසා, යකුන් බවට පත්වීම, සෑහෙන දුරට අඩුවෙනවා, ඔවුන්ට සංගීතය ඉගැන්වීමෙන්.

    ඒ කාලේ තිබුණ, රාත්‍රී 8.00 පටන්ගෙන, 10.30 ට අවසන් වෙන, 'සන්ධ්‍යා සේවය' තරුණ පරපුර අතරේ බොහොම ජනප්‍රියයි. සන්ධ්‍යා සේවයේ, එදින වැඩ කටයුතු ආරම්භ කිරීමට ප්‍රමාදවීම නිසා, කලබලයට පත් නිවේදකයකු, මෙන්න මෙහෙමයි වැඩ පටන්ගත්තේ.

    මේ ලංකා ගුවන්විදුලියේ 'සන්ධ්‍යා සේවයයි'.

    'උදා ගී' ආරම්භ කිරීමට, මෙන්න සී.ටී.ප්‍රනාන්දුගේ, 'දවස ගෙවී දැන් ටික ටික අඳුර වැටෙන්නා'

    ReplyDelete
  18. //අර දරුවාට සංගීතය ටිකක් ඉගැන්වීම ඉහලින් අගය කරනවා. දරුවන්, තම අධ්‍යාපන කටයුතුවල බර වැඩිවීම නිසා, යකුන් බවට පත්වීම, සෑහෙන දුරට අඩුවෙනවා, ඔවුන්ට සංගීතය ඉගැන්වීමෙන්. // මමත් තදින්ම විශ්වාස කරන දෙයක් . ස්තුතියි

    ReplyDelete
  19. මටත් මගේ පුංචි කාලේ මතක් උනා. අපේ අම්මත් අපිව උදේ අවදි කරන්න පාවිච්චි කරපු සුන්දරම විදිහ තමයි මේ. හිත නිවෙන ලස්සන නිර්මාණයක්. පුතු පැටියාගේ හඩත් හිත නිවෙන ගුණයෙන් සාරයි..

    ReplyDelete
    Replies
    1. අපේ පැත්තේ ආවට ස්තුතියි..ඒ කාලේ උදේ පාන්දර හරිම සුන්දර අත්දැකීමක් තමයි. අපේ පුත්‍රයා දැන් ටිකක් කම්මැලියි සින්දු රෙකොර්ඩ් කරන්න.. නරක වයසනේ,.....

      Delete