Saturday 21 November 2020

පෝස්ටර් ව්‍යාපාරය



වයස අවුරුදු 23 සිට 27-28 දක්වා වූ තරුණ ජීවිතයේ වටිනාම කාලවකවාණුවක් මා ගෙවා දැම්මේ ගාල්ලේ මහමෝදර රෝහල ආශ්‍රිතවයි . ඒ වෛද්‍ය සිශ්‍යයෙක් ලෙස කරාපිටියේ පිහිටි රුහුණු වෛද්‍යපීටයට යන්න එන්න ටිකක් දුරබැහැර වුණත් නිදහස අතින් උපරිම වූ අපේ ආදරණීය ශිෂ්‍ය නේවාසිකාගාරය පිහිටා තිබුණේ මහමෝදර රෝහල් බිමේම කොටසක නිසයි.

අප මහමෝදර ජීවත්වූ කාලය රසකතා , භයානක කතා සහ සදානොමැකෙන මතක සටහන් වලින් පිරී ඉතිරී ගිය කාලයකි. සාමාන්‍යයෙන් මම ගැටුම්කාරි ගණුදෙණු වලට මැදිහත්වන්නෙක් නොවූවද මේ කියන්නට යන්නේ මහමෝදර අහම්බයෙන් මෙන් සිදුවෙන්නට ගිය ගැටුම් කිහිපයක විස්තරයි. 

ඒ කාලේ කරාපිටිය අවට බෝඩිම් වල රුපියල් අටසීය දාහ අතර මුදලක් අය කළ අතර විශේෂයෙන් අපේ බැච් එකේ අය වැඩි පිරිසක් රුපියල් 30 ක මාසික ගාස්තුවක් අය කළ මහමෝදර වෙනුවට තෝරාගත්තේ ඔය කියන පෞද්ගලික නිවාසමයි. ඔවුන්ගේ තර්කය වූයේ මහමෝදර හොස්ටල් ගියොත් වල බහින්න වෙන බවත් , පාඩම් කරන්නට වෙලාවක් නොලැබෙන බවත්ය.  එමෙන්ම ඒ කාලේ වනවිට මහමෝදර ශිෂ්‍ය දේශපාලනයට සම්බන්ධ අය ( විශේෂයෙන් 13 කණ්ඩායමේ ) සිටි තැනක් ලෙසද ප්‍රසිද්ධ වී තිබුණි.

ඒ නිසා 14 වන කණ්ඩායමේ කිසිවෙක් මහමෝදරට යන්නට වැඩි කැමැත්තක් දැක්වූයේ නැත. මේ සිරිත වෙනස් කරමින් මා මහමෝදරට යන්නට තීරණය කලේ   රැග් සීසන් එකේදීමය. ඒ සීනියර්ස්ලා ගේ රැග් වලට , දේශපාළන ගණුදෙනු වලට භය වෙනවාට වඩා මට මගේ දෙමව්පියන්ට කරදර නොකර මහපොළෙන් පමණක් ජීවත්වීමට හොඳම සහ පහසුම ක්‍රමය මහමෝදර පදිංචියට යාමබව වැටහුණු නිසයි. මුලින්ම තනියෙන්ම මහමෝදර විසූ මගේ තනියට තව බැචාලා දෙන්නෙක් පසු කාලීනව එකතු වූහ. කෙසේ වුවත් අදටත් පවතින වාර්තාවක් ලෙස සිශ්‍ය කණ්ඩායමක අඩුම නියෝජනයක් මහමෝදරට දෙන්නට  ඇත්තේ 14 වන කණ්ඩායම බව මාගේ විශ්වාසයයි.

මේ අවම සිසුන් සංඛ්‍යාවක් සිටින කණ්ඩායමක් වීම සමහරවිට වාසි සහගත විය හැකිවුවත් අනෙක් කණ්ඩායම් වල අයට  බලය , සවිය පෙන්වීමේදි අවාසි සහගතවිය හැකිය .. මේ කියන්නට යන්නේ එවැනි තදබල ලෙස අවාසි සහගත බව පෙනී ගිය අවස්තාවක් ගැනයි.

 තනියෙන් ජීවත් වුවද , විශාල කණ්ඩායමක් ලෙස ජීවත් වුවද ජේෂ්ඨ කණ්ඩායම් වල සිසුන්ට ඉහළින් නොයන්නට , ඔවුන්ට අදාළ ගෞරවය ලබාදෙන්නට සහ සමහර විට ඔවුන්ගේ කීමට අවනත වෙන්නට හුරුවූ ජීවන රටාවක් එකළ මහමෝදර තිබුණා කිව්වොත් නිවැරදියි. 


උදාහරණයක් ලෙස හොස්ටල් එකේ තිබූ හොඳම කාමර ( දොර අගුල්දමා යා හැකි , වෙනායෙකොට වහලේ උඩින් එන්නට බැරි , සින්ක් එකක් තිබූ කාමර ආදිය ) පාවිච්චි කලේ එකල සිටි ජේෂ්ඨම සිසුන් විසිනි. අප හොස්ටල් යන කාලයේ ඒවායේ සිටියේ වසර ගණනක් විභාග ෆේල් වෙමින් සිටි " ක්‍රොනික් වෙමින් සිටි " අය්යලා පිරිසකි. එකින් එක මේ කාමර හිස් වෙද්දී ජේෂ්ඨත්වයේ පිළිවෙලට ඒව අනෙකුත්  කණ්ඩායම් වල සිසුන්ට  හිමි වුණා . 

ඒ අනුව සින්ක් එකක් තිබ්බ කාමරය බුලත්ටත් , සෙමා නමින් ප්‍රසිද්ධව සිටි වසර ගණනාවක්  (දහයක් හෝ දොළහක්) වෛද්‍යපීටයේ සිටි අයෙක් භාවිත කල යටතට්ටුවේ කුඩා  කාමරයක් මටත් හිමිවුණා.. උඩ තට්ටුවේ  12 සහ 13 කණ්ඩායම් වල අයගේ  ගණුදෙනුවලට  වැඩි කැමැත්තක් දැක්වූ මගේ රූමා මේ සිද්ධියෙන් තරමක් හිත් අමනාප කර ගත්තත් මා මගේ පෞද්ගලිකත්වය අගය කල නිසා ගත් තීරණයක් ඒ අලුත් කාමරයකට යෑම . 

අප කළින් සිටි කාමර උඩින් විවෘත ලෑලි ගසා වෙන්කල කාමර වී අතර දොර උඩ වතුර කෝප්පයක් සෙට් කර බකට් කිරීම , අවශ්‍ය නම් උඩින් අනෙක් කාමර වලට යෑමට හැකිවීම සහ මැද මිදුළේ එහා පැත්තේ සිට කෑ ගසා පාඩම් කිරීමට භාධා කිරීම වැනි දේවල් කල හැකි වුණා. 

මා හොස්ටල් ගිය මුල්ම කාලයේ සිදුවූ යම් සිද්ධියක් මීට උදාහරණයක් ලෙස දක්වන්න පුළුවන්. මගේ කාමරයේ ඒ දවස්වල හිටියේ මම විතරයි ඊට ටික කලකට පස්සේ තමයි මගේ රූමා ඒකට එන්නේ..

 ඔන්න මම දවසක් මැද මිදුල පැත්තට වෙන්න තිබ්බ මේසේ ලඟට වෙලා හිස්ටොලොජි පොතක් කියවමින් ඉන්නවා. එක පාරම එහා පැත්තේ ජනේලෙකින් ඔලුව දාපු කෙනෙක් 

" අඩෝ මූණා උඹ මොනවටද ඔච්චර ක්‍රෑම දෙන්නේ.. පොඩ්ඩක් සෙල්ලම් කරළා එහෙම හිටපන් බං " 

කියලා කෑගහනවා.. මම ඔළුව පහත්කරගෙන පාඩම්  කරනවා . මේ කියන කෙනා අපේ කාමරේට ඉස්සරහ කාමරේට නිතර යන එන අය්යා කෙනෙක් .. 

මම "%& අය්යා මම  පොඩ්ඩක් පාඩම් කරන්න හිතුවා " කියලා හිනා වෙවී වැඩේ කරගෙන යනවා .. විනාඩියක් දෙකක් යන්නත් පෙර %& අය්යා මගේ පිටිපස්සේ මොකද මම දොර ලොක් කරලා තිබුණේ නෑ.. 

මගේ උරහිස උඩින් පොතට එබුණු ඔහු එක පාරම " මෙන්න මූණා හිස්ටෝ අදිනවෝ" කියලා මුළු හොස්ටල් එකටම ඇහෙන්න කෑ ගහනවා..  

මේ  කාලේ %& අපිට වඩා බැචස් තුනක් විතර සීනියර් කෙනෙක්  . කාගෙත් ගෞරවය දිනාගත්ත කෙනෙක් ලෙස පෙනී හිටියේ .  ලැජ්ජාවට පත්වූ මම පොත බැලිල්ල නවත්වා පත්තර මේසය දිහාට ගියා වගේ මතකයි.. 

ඔහුගේ හිතේ තිබ්බේ මොකක්ද දන්නේ නෑ සමහර විට කොල්ලෝ වුණාම ටිකක එළියට පහළියට ගිහින් ඉන්න ඕනේ වගේ අදහසක් වෙන්න පුළුවන් ..

හරි එකෙන් කමක් නෑ . කියන්න හිතපු කතාව කියමුකෝ. සිද්ධිය වුණේ අපි තුන්වන වසරේ ඉන්න කාලේ. අපේ තුන්වන වසරේ විභාගේ කට ලඟටම ඇවිල්ලා .. ඔන්න මම හිටපු කාමරේ ( යට තට්ටුවේ හොස්ටල් එකේ පොදු මුළුතැන්ගෙයට අල්ලපු කාමරේ ) ට වෙලා මම පාඩම් කර කර ඉන්නවා . කුස්සිය පැත්තෙන් පොඩි පොඩි සද්ද ටිකක්  ඇහුණත් මම ගණන් ගන්නේ නැතිව වැඩ . ඔන්න එක පාරම " කිමද සුමිහිරියේ මේ අරුමේ .." කියමින් සිංදුවක් ඇහෙනවා ඒ පැත්තෙන් . බැලින්නම් කොල්ලෝ කිහිපදෙනෙක්  කුස්සියේ මේසයකට තට්ටු දදා සිංදු කියනවා.. විභාගෙ අතලඟ නිසා මටත් වැඩ හිරවෙලා හිටියේ .. " උඹලා මොකද  මෙතන කරන්නේ ? අපිට පාඩම් කරන්න භාදා වෙනවා කියලා තේරෙන්නෙ නැද්ද? කියන සිංදුවක් වෙන දිහාක ගිහින් කියාගනිල්ලා මට පාඩම් කර ගන්න තියෙනවා "

 මම සද්දයක් දැම්මා .. බලනකොට කට්ටියක් කුස්සියේ බිම එළාගෙන පෝස්ටර් අඳිනවා ( මතක හැටියට ඒ කාලේ මහමෝදර තිබ්බ වෛද්‍ය - හෙදි ගැටුමේ කොටසක් විදිහට ගහපු පෝස්ටරයක් හරි එහෙමත් නැත්නම් මාතරින් ආපි ශිෂ්‍ය සංගම් පෝස්ටරයක් හරි ) . ඒ කාලේ කිසියම් කණ්ඩායමකට විභාගයක් තිබුණ කාලයක නම් භාදාවෙන ලෙස සද්ද බද්ද නොකරන සිරිතක් නේවාසිකාගාරයේ තිබ්බා . ඒ සිරිත කඩවීම ගැනයි මම විරෝධය පළකරේ . අනික වැඩේ කරන්නෙත් අපේ කණ්ෂ්ඨ සිශ්‍යයෝ වගයක් නේ . ඒ නිසාත් මම ජේෂ්ඨයා නිසා තනියෙන්ම තමයි සටනට ගියේ.

මෙතන පොඩි @# යා ඇතුළු අපේ ජූනියර් කණ්ඩායම් දෙකක සෙට් එක තමයි හිටියේ . හැමෝම පොඩ්ඩක් තුෂ්ණිම්භූත වෙලා ගියා වෙන්න ඕනේ කැම්පස් එකේ වැඩටකට /දේශපාලන වැඩකට ( ශිෂ්‍ය සංගම් වැඩකට ) මම විරුද්ධ වෙන කොට . මතක හැටියට කව් රු හරි කිව්වා මතකයි .. " මේක පොදු වැඩක් . අපි කරන්නේ ඔය හැමෝම වෙනුවෙන් කරන වැඩක් . ඒකයි අපි කුස්සිය තෝරගත්තේ " කියලා ..  පොදු වැඩක් නම් කොමන් රූම් එකට පළයල්ලා ඕකත් අරන්, කොමන් රූම් තියෙන්නේ ඒකට තමයි " මම ආයිත් සටනට  ගියා 

 .. මට  කොහොමටත් ඒ දවස්වල පොඩි @# ඇතුළු පිරිස පෙන්නන්න බෑ .. හේතුව දැන් කියන්න පුළුවන් ඒ කාලේ නොකිව්වාට .. අපි හැමෝම රැග් කාලා ජේෂ්ඨයන්ගෙන් වාතවෙලා ආපු තැනට ඔහු ආවේ අය්යා ශිෂ්‍ය සභාවේ සභාපති නිසා තිබ්බ @#අය්යාගේ මල්ලී කියන ගැම්මෙන්, මම ඒකට කැමතිම නෑ .. මොකද අපි හැමදාම හිතුවේ සමානාත්ම තාවයෙන් සළකනවා කිව්වාම අරයෙගේ මල්ලී මෙයාගේ අය්යා කියලා විශේෂයක් නෑ  පාරම්පරිකව කල විදිහට පිළිගැනීම් සිදුවිය යුතු බවයි . 

මාසතුනක් ජූනියස්ලා ගණන් ගන්නේ නැත්නම් ඒක සිශ්‍ය සභාවේ සබාපතිගේ මල්ලිටත් අදාලයි .. ඉතිං මගේ එක රූමේක් "@#අය්යා , @#අය්යා " කියමින් නැලවුණාට මට වැඩේ ඇල්ලුවේ නෑ මම මාස තුනක් නොව බොහෝ කලක් පොඩි @# නොසලකා හැරියා ( @#ලා දෙන්නා මේක කියවනවා නම් ඔන්න දැන් තේරුම් ගන්න පුළුවන් වෙයි හේතුව ) තවත් එකක් මගේ මෙ නොරුස්ණා ගතිය තවත් වැඩි කරමින් ඔහුත් මා හමුවන හැම තැනම " හා "කට්ටිය"   ...  කොහොමද කියමින් මට "කට්ටිය " යැයි ආමන්ත්‍රණය කරන්න ගත්තා . 

විශේෂයෙන් 13 අය සහ %& අය්යා @# මල්ලීට දැක්වූ කරුණාව අපට නොපෙන්වූ එකක් නිසා මම දිගටම මේ නොරුස්ණා ගතිය පවත්වා ගෙන ගියා මතකයි.. ඒවා මතක් වෙනකොට දැන් හිනා කාලා පණ ගියත් ඒ කාලයේ සිද්දි ඔහොමයි ඉතිං .. @# ලා දෙන්නම නරක එවුන් නෙවෙයි තරුණ කාලේ අපිට එහෙම පෙනුණට වැඩිහිටියන් ලෙස ඔවුන්ගේ ලොකු වැරැද්දක් පෙනෙන්නේ නෑ  (ඒ කාලේ පෙනී හිටි  දේශපාලන මත වලට හාත්පසින්ම විරුද්ධ මත දැරීම විතරයි ඉතිං වෙනසකට තියෙන්නේ).

පෝස්ටර් ලියමින් සිටි කට්ටිය සිංදුව නවතා ටිකකින් විසිර ගියා   ඊට ටික වෙලාවකට පස්සේ හෙන ගැංසියක් ( අපේ සීනියර් බැච් එකේ/13  සෙට් එකක්ම ) එනවා මාව හොයාගෙන. "මුණා මොකෝ උඹ මේ අපේ කට්ටියගේ පෝස්ටර් වැඩේ භාධා කරනවා කියන්නේ?" කට්ටියගේ ප්‍රධානියා ඒ කාලේ එම කණ්ඩායමේ සිශ්‍ය සංගම් නියෝජිතයා මගෙන් අහනවා .. මම කාරණේ පැහැදිළි කරා "මට විභාගයක් තියෙනවා පොදු වැඩ පෝස්ටර් වැඩ ඕනෙ දෙයක් අපිට භාධා නොවෙන විදිහට කරගත්තට කමක් නෑ .. කට්ටිය මෙතන කෑ ගහන්න ගත්තා ඒකයි විරුද්ධ වුණේ. .. ඉතිං මුන්ට පුළුවන්නේ කොමන් රූම් එකට ගිහින් පෝස්ටර් අඳින්න .." මම මගේ සින්නන්ට උත්තර දුන්නා.. එතන කොහොමටත් දහපහළොස් දෙනෙක් ( සීනියර් , ජූනියර් ඔක්කොම ඉන්න ඇති ) මම හිටියේ තනියෙන්. 

"ඇයි උන් කොමන් රූම් යන්නේ ? උඹ තනි මිනිහනේ උඹ ගියානම් ඉවරනේ .."

 ජේෂ්ඨ කණ්ඩායමේ තවත් කෙනෙක් කිව්වා . දැන් සමහරු අත්දෙක බැඳගෙන එහෙම මා දිහා බලන් ඉන්නවා . සීනියර් බැච් එකේ කටකාරයෝ දෙන්නෙක් මාත් එක්ක හෝ ගාලා කතාව . ලොකු ගැටුමකට   එන  ලකුණක් නම් පෙනුණේ  නෑ .  කොහොම වුණත් මාත් අතහැරියේ නෑ .. 

"එහෙම කොහොමද  තනි , ලොකු කණ්ඩායම් කියලා වෙනසක් නෑ  විභාගේ කරන එකාට ප්‍රමුඛතාවය තියෙන්න ඕනේ .. උඹලා  කව් රු කොහොම කිව්වත් මෙතන ආයි සද්ද කරන්න දෙන්නේ නෑ . අරන් පලයල්ලා උඹලා ගේ පෝස්ටර් කොමන් රූම් එකට මම මගේ රූම් එකේම තමයි පාඩම් කරන්නේ "

මගේ මතකය නම් කට්ටිය පෝස්ටර් අඳින්න වෙන තැනක් ( කොමන් රූම් හරි වෙන කාමරයක් හරි ) හොයාගෙන ගිය බවයි . එහෙම නැත්නම් කුස්සියේම පෝස්ටර් ඇන්ද සද්ද නොකර .. කොහොමහරි පස්සේ දවසක අපේ ජේෂ්ඨ කණ්ඩායමේ නියෝජිතයා මාත්තෙක්ක මේ කතාව කිව්වා..

" මචං උඹනම් මරු පොරක් අපි අච්චර සෙනඟක් ඇවිල්ලත් උඹ සරෙන්ඩර් වුණේ නෑ නේ අපිට එහෙම වෙන්නත් හෙන ගටක් තියෙන්න ඕන බං  "

( මෙසේ කිව්වේ ඒ කාලේ සටන්කාමී සිශ්‍යයෙක් ලෙස පෙනී සිටි දැන් දේශපාලන/පෞද්ගලික හේතුමත ඊට හාත්පසින්ම  විරුද්ධ මත දරණ කෙනෙක් , ඒත් මනුස්සයෙක් හැටියට හරි හොඳ ගති පැවතුම් තියෙන කෙනෙක් ).. 

ඊට පස්සේ තමයි මාත් හිතලා බැලුවේ  කට්ටියම එකතුවෙලා මට සටනක් දුන්නානම් තනි මම මොනවා කරන්නද?

 හැබැයි උන් එහෙම කලෙත් නෑ . තර්කය පිළි අරන් අයින් වුණා 


No comments:

Post a Comment