Tuesday 26 January 2021

පහසුවෙන් දොස්තර කෙනෙක් වෙන්නේ කොහොමද?

 

අපි කුඩා කාලයේ කිරිඔරුවේ දොස්තර වරු දෙන්නෙක්  හිටි බවයි මතක. එක්කෙනෙකුට ගමේ අය කිව්වේ දත් දොස්තර කියලා ඒ අපේ ආත්තම්මලා ගෙට අල්ලපු ගෙදර හිටපු හීං මාමා . එයා ඒ දවස්වල නැෂනල් එක ගහලා උදේට අපි ඉස්කෝලේ යන බස් එකේම බණ්ඩාරවෙල චීන දත් බඳින ස්ථානයට යනවා . දත් බඳින ස්ථානයේ වැඩ කරපු නිසා තමයි එහාගේ හීං මාමාට ගමේ කට්ටිය දත් දොස්තර කියලා කියන්න ඇත්තේ.. 

අනෙක් දොස්තර  මාමා නම් දත් කෑල්ල නැතිදොස්තර කෙනෙක් .  කිරිඔරුවේ "ජයසේන" මාමා අපි ඉස්කෝලේ යන කාලේ අපේ පාසැල් බස් රථය වූ 314 හෙබරව බස් එකේ තමයි සඳුදාට යන්නේ.. එයා ඒ කාලේ වැඩකරේ මහියංගණය පැත්තේ . ජයසේන මාමගේ නෝනා බණ්ඩාරවෙල රෝහලේ උපස්ථායිකාවක් ඒ දවස්වල . ඒ නැන්දත් අපි ඉස්කෝලේ යන වෙලාවටමයි වැඩට යන්නේ .. ඉතිං ඔය ජයසේන මාමටත් කිරිඔරුවේ කට්ටිය කිව්වේ  " අපේ දොස්තර මහත්තයා" කියලා මොකද අපේ අම්මලා එහෙම ඒ කාලේ කියනවිදිහට මේ ජයසේන මාමා ඊට කලින් දොස්තර මහත්තයෙක් ලඟ ඇටෙන්ඩන් කෙනෙක් විදිහට වැඩ කරලා පස්සේ කාලෙක තවත් ටිකක් දුෂ්කර ගමකට ගිහින් ඩිස්පෙන්සරියක් දාගෙන බෙහෙත් දුන්නලු දොස්තර කෙනෙක් විදිහට .. ඉතිං ඒ නිසා එයත් දොස්තර කෙනෙක් වුණාලු නිකම්ම.. මටත් මතකයි ඒ කාලේ  ජයසේන මාමා කාකි දිගකළිසමක් ඇඳලා ඊට ගැලපෙන සුදු /ලා කහ කමිසයක් ඇඳලා කන්තෝරු බෑග් එකක් එහෙම අරගෙන අපිත් එක්කම හෙබරව බස් එකට නඟිනවා සඳුදා උදේට..බස් එකේ යන කොල්ලෝ ඒ දවස්වල අපිත් එක්ක කතාවෙනවා  " මචං ඔය ජයසේන මාමගේ බෑග් එකේ නළාවක් එහෙමත් තියෙනවළු  ඒ මාමා මහියංගණේ මිනිස්සුන්ට බෙහෙත් දෙනවළු   බං " කියලා . 

පස්සේ කාලෙක අය්යයි මමයි දෙන්නම වෛද්‍ය විද්‍යාලෙට ගියාම තමයි තේරුණේ අපි දොස්තරලා වෙලා තියෙන්නේ ජයසේන මාමලා තෝරාගත්ත පහසුම ක්‍රමේට නෙවෙයි කියලා. ඇයි ඉතිං අවුරුදු පහක්ම  රෑ දවල් නැතිව පාඩම් කර කර මාර ගේමක් දෙන්න වුණානේ දොස්තර කෙනෙක් වෙන්න

මේ දවස්වල නම්  ඊටත් වඩා ලේසියෙන් දොස්තර කෙනෙක් වෙන්න පුළුවන් . මොකක් හරි බෙහෙතක් හොයාගත්තා . රූපවාහිනි නාළිකාවක ඒක පෙන්නුවා .. ඊට පස්සේ   ෆේස්බුක් පේජ් එකක් ඇරියා Dr So and So කියලා.. වැඩේ සරළයි .. 

ජයසේන මාමලා ක්‍රමේටත් වඩා සරළයි සහ පහසුයි