Friday, 8 November 2024

වත්තේ පඩිපොළට අළුත් වෙලෙන්ඳෝ දෙන්නෙක් ඇවිත්

 





මේ වගේ තැනක ඒ කියන්නේ අයිස්ලෙබි වතුයායේ කේෂන් කොටසේ  දළු මඩුව ලඟ  තමයි ඒ කාලේ " පඩි පොළ " තිබුණේ .. පඩිපොල තියෙන්නේ හැම මාසෙම දහවෙනිදා  හවස් වරුවට .. දවෙනිදා විශේෂ දවසක් . එදාට තමයි වත්තේ කට්ටියට පඩි දෙන්නේ .. දළු කඩන නැන්දලාට අක්කලාට ( අපේ ගෙවල් ලඟ හිටපු මල්ලිකා අක්කා , ඥාණ්ක්කා , කුසුමක්කා , බේබි නැන්දා වගේ අයට ) වගේම සොරඬි ගාණ කාණුකපන අය්යලාට , කංකාණිලාට  මේ හැමෝටම "පඩි දාන්නේ" එදාට ... අපේ ගෙවල් ලඟ හිටපු බණ්ඩේ අය්යා , විල්සන් අය්යා , සිරිසේන මාමා වගේ අයටත් එදාට සරුයි . සිරිසේන මාමායි විල්සන් අය්යයි දෙන්නා ඒ කාලේ වත්තේ කංකාණිලා , බණ්ඩේ අය්යා වත්තේ සාමාන්‍ය වැඩ ( සොරඬි ගාණ ) කම්කරුවෙක් .. 

මේ හැමෝම එන පඩිපොලට මටත් යන්න අවස්ථාවක් ලැබුණා 1982 -83 කාලේ .. ඒ බාස් මාමලා ගෙදර වල් කපපු නඩරාජා ගේ යෝජනාවකට අනුව .. නඩරාජයි මමයි ඒ කාලේ හොඳ යාළුවෝ  බණ්ඩාරවෙල කණිෂ්ඨයේ ඉස්කෝලට ගිහිල්ලා හවස්වරුවේ නඩරාජා වල් කපන තැන්වල ඉඳන් එයත් එක්ක කයිවාරු ගහණ කාලයක් තමයි ඒ කාලේ  .. ඔය දවස්වල කිරිඔරුවේ ඉස්කෝලේ තිබුණ නාට්‍යක ටොෆි , වේෆස් සහ සිගරට් විකුණලා මමත් පොඩි මුදලාලි කෙනෙක් වෙලා හිටියේ.. ඒ දවස්වල ඇඟේම තිබුණේ බිස්නස් , ඒ කියන්නේ සල්ලි හොයන්න උවමනාව.. 

අපි ඒ දවස්වල හිටියෙත් පල්ලැහැ පොඩි බාප්පලාගේ ගෙදර ,ඒ වෙනකොට අපේ සාත්තුවත් එක්ක ඒ වත්තේ ඔහේ තිබුණ කෙසෙල් පඳුරු එහෙම පිබිදිලා ඇවිත් ලොකු කෙසෙල් කැන් වැටෙනවා.. ඔය අතරේ මට  කෙසෙල් බිස්නස් එකක් කරන්න හිතක් පහළ වුණා.. මුලින්ම බැලුවේ පහසුම ක්‍රමේ , ඒකියන්නේ ලඟම තිබ්බ විද්දි අය්යලා කඩේට කෙසෙල් කැන් විකුණලා ගාණක් ගන්න එක.. දවසක් මම විද්දි අය්යා එක්ක මේ ගැන කතා කරා මට මතකයි 

"විද්දි අය්යා "

" කොහොමද චූටි මල්ලී "

" හොඳින් ඉන්නවා අය්යා,   ඒක නෙවෙයි මේ කෙසෙල් ගෙඩියක් කීය ගාණෙද ඔයා විකුණන්නේ  ? "

"සීනි කෙසෙල් ගෙඩියක් ශත තිහයි මල්ලී ඇම්බුන් නම් ශත පණහ ගානේ තමයි දෙන්නේ .. මල්ලිට මොනවයින්ද ඕනේ ? සීනි කෙසෙල් ඇවරියක් කපන්නද? "

"  නෑ අය්යා මට කෙසෙල් ගන්න ඕනේ නෑ නිකං දැනගන්න ඇහුවේ ..  අපි ගාව  කෙසෙල් කැන්  දෙක තුනක් තියෙනවා  . බිස්නස් එකක් කරන්න හිතාගෙන ඇහුවේ .."
"
" හරි හරි මල්ලි අරන් එන්නකෝ කැන බලලා ගාණක් කතාකර ගමුකෝ 

විද්දි අය්යා කෙසෙල් ගන්න කැමැත්ත පළකිරීමත් සමඟම ක්‍රියාත්මක වූ මම හවස් වෙද්දී මගේ සගයා කේෂන් වත්තේ ලැයිමක ඉඳන් ගමේ වල් කපන්න එන නඩරාජාට කතා කලෙමි..

" මචං  හෙට පොඩි වැඩක් තියෙනවා උඹට එන්න පුළුවන්ද? "
" හවස්වෙලා අපේ ගෙදර පැත්තේ වරෙන් කෙසෙල් කැන් දෙක තුනක් කපාගන්න තියෙනවා .. විද්දි අය්යාවට විකුණන්න... "

කතාකරගත් පරිදිම නඩා මම ඉස්කෝලේ ඇරිලා ඇවිත් සුළු මොහොතක් යද්දීම අපේ ගෙදරට ඇවිත් හිටියේ මගේ බිස්නස් එකට සහය වෙන්න .. දෙන්නත් එක්ක එකතුවෙලා කෙසෙල් කැන් තුනක් ( සීනි දෙකයි ඇම්බුන් එකයි  ) කපාගත්තා . ඒ ගමන්ම ඊට මීටර් දෙසීයක් විතර දුරින් තිබ්බ විද්දි අය්යාගේ කඩේට  කෙසෙල් කැන් ටික අරන් ගියා , නඩරාජා ගේ කරේ කෙසෙල් කැනයි   මගේ කරේ කෙසෙල් කැන් දෙකයි .. කඩේට ගියාම තමයි   හරි වැඩක් වුණේ.. 

"ආ මල්ලිලා බඩු ගෙනැල්ලා තියෙන්නේ .."

" විද්දි අය්යා මේ ටිකට කීයක් දෙන්න පුළුවන්ද බලන්න .."

" මල්ලී සීනි කෙසෙල් ගෙඩියකට ශත පහලොව ගාණෙයි ඇම්බුන් ගෙඩියකට ශත විසිපහ ගානෙයි දෙන්නම් .. හැබැයි මල් ඇවරිය අතෑරලා තමයි ගණන් කරන්නේ "


"ශත පහළොවට අරන් තිහට විකුණන්න "  ඒක හරි නෑනේ අය්යා ශත විසි පහ ගාණේ දෙනවා නම් දෙන්නම් නැත්නම් මම කෙසෙල් කැන් ටික ආපහු අරන් යනවා .."

 එකට එකක් ලාභ තියාගෙන විකුණන වැඩේට මගේ වැඩි කැමැත්තක් නැතිබව මම විද්දි අය්යාට හැඟවූවා .. 
" බෑ මල්ලි එහෙම කරොත් මට පාඩුයි , අවුලක්  නෑ චූටි මල්ලී එහෙනම් මල්වත්තේ කඩවලිනුත් අහලා බලන්නකෝ"

  බිස්නස් එක නොවුණාට විද්දි අය්යගෙයි අපෙයි යාළුකම් වලට පාඩුවක් නොවෙන බව හඟවමින් විද්දි අය්යා කියනවා.. 

"මචං නඩා , වරෙන් මේටික  අපි ආපහු ගෙදර අරන් යමු.. ඊට පස්සේ බලමු මොකද කරන්නේ කියලා .. "

  කොල්ලෝ දෙන්නා ආපහු අපේ ගෙවල් පැත්තට ඇදෙන්නේ කෙසෙල් කැන් ටිකත් ඔවුන් ගේ කරමත දරාගෙනය .. 
"ඒක නෙවෙයි මචං ඔය ටික අරන් යමුද මේ මාසේ පඩි පොළට ? "
 යෝජනාව නඩරාජා ගෙනි.. 
"තව දවස් කීපයක් තියෙනවානේ සපුකොළ ටිකක් එහෙම දාලා දුම් පාරක් දෙකක් ගැහුවා නම් ගාණට ඉදෙයි දහවෙනිදා වෙනකොට...  භයවෙන්න එපා මම උදව් කරන්නම් "


දහවෙනිදා උදාවිය. විද්දි අය්යාගෙන්ම ඉල්ලා ගත් ලොකු කාඩ්බෝඩ් පෙට්ටි දෙකකට  සීරුවට කෙසෙල් ඇවරි අසුරණ යහළුවන් දෙදෙනෙකි..  හවස එකවෙද්දී පඩිපොළට ලඟවීම අරමුණු කරගත් යහළුවෝ දෙදෙනා යුහුසුළුව  වෙලඳාමට සූදානම් වෙති .  

අපේ අම්මත් තාත්තත් දෙදෙනාම  මගේ වැඩකිසිවකටත් විරුද්ධව නොවුණු කාලයක් නිසා වැඩේ තවත් පහසු විය .. අම්මා මටත් නඩරාජාටත්  දහවල් කෑම බෙදා දුන්නාය..   

දිවා අහාරයෙන් පසු මමත් නඩරාජත්  මුල්ලේගෙදර , උඩුවර ගෙදර , බුරුස් මාමලා කඩේ , පණ්ඩිතේ අය්යලා ගෙදර , ප්‍රේමදාස මහත්තයලාගේ බංගලාව අදිය පසු කරමින් ගමන් කළෙමු .. ලොකු කාඩ්බෝඩ් පෙට්ටි දෙකක් හිසෙහි දරාගත් ගමේ සිංහල කොල්ලයි වත්තේ දෙමළ කොල්ලයි දෙදෙනාගේම බලාපොරොත්තුව විද්දි අය්යාට යන්න ගිය ලාභය මට ලබා ගැනීමය .. නඩරාජාට අතට ගාණක් දියයුතු බව මම කොහොමත් හිතාගෙන සිටි දෙයකි.. 
 
දවල්  එක වෙද්දී කේශන් එකේ දළු මඩුව ලඟ එකම කාලගෝට්ටියකි , සාරි ,  පවුඩර් , වළළු , ක්‍රීම් ජාති සබන් ආදිය විකුණන වෙලෙන්දන් වගේම  මනිබඩු කාරයින් පිරිසක්ද පාර අයිනේ තම තමන්ගේ වෙලඳාම පටන්ගෙන ඇත .. නඩාත් මමත් පුල්ලේ කාමරේ පැත්තේ බෝක්කු ගලක් ලඟ අපේ කෙසෙල් වෙලඳාම පටන් ගත්තෙමු ..

 "ලාභයි ලාභයි කෙසෙල් ලාභයි ..  

වාලපලම් වාලපලම් ,"

බිස්නස් එක නැගලා  යයි.. හවස තුන තුනහමාර වෙද්දී කෙසෙල් පෙට්ටි දෙකම හිස් වන බව දුටු  නඩරාජත් මමත් අපේ ගෙවල් බලා පල්ලම් බැස්සෙමු.

 ඒ සීනි කෙසෙල් ගෙඩියක් ශත තිහ ගාණෙත් ඇම්බුන් ගෙඩියක් ශත් පණහ ගානෙත් විකුණා ලැබූ අධික ලාභයත්   පළමුවෙනි වරට කේශන් පඩිපොලේ  බිස්නස් එකෙක් සාර්ථකව  අවසන් කිරීමෙන්  ලැබුණු අප්‍රමාණ ප්‍රීතියත්  යන දෙකම හරි හරියට බෙද හදාගනිමිනි