Follow by Email

Thursday, 19 November 2015

පුංචි අම්මාගේ විවාහය සහ අම්මාගේ යෝජනාව- අවසාන කොටස

 වැලිකන්ද පැත්තේ කඳු මුදුනින් හිරු මුවාවී  හෝරාවකටත්  වැඩිය . පල්ලැහැ  විමලා අක්කලා මගුල් ගෙදර ගිය උදවිය  තවමත් එන පාටක් නැත.  මම තට්ට තනියම ගෙදරට වී සිටියෙමි.

ජයංගනී සහ මගේ  හෙට දවස ගැන හිතන්න හොඳ වෙලාවකි.



කටයුතු සිදුවෙමින් පවතින ආකාරය අනුව නම්  අප හට විවරව ඇත්තේ  රෝසමල් ඇතිරූ මාවතක් ම විය නොහැකිය.

මෑතකදී තාත්තා අපේ අපේ අම්මා සමග කියූ කතාවක් මට මතක් වුයේ මේ අතරයි .

" අපේ එකාලුනේ පස්සෙන් යන්නේ. මට ජයරත්න කිව්වනේ " යන වාක්‍යයෙන් එය අවසාන වූ බවත් මතක් විය.

ඒ කියන්නේ සිද්ධිය දැන්  නාමරත්න දෙමහල්ලන් අතරටද පැමිණ තිබේ . ඒ මට අවාසි සහගත වන ආකාරයකටය.

එහෙත් මේ වන තෙක්ම අම්මා හෝ තාත්තා ජයංගනී ගැන මගෙන් විමසා තිබුණේ නැත.

ජයරත්න අය්යා තාත්තා සමග අප ගැන පවසා තිබුනද " ඕවා මේ පොඩි එවුන්ගේ වැඩ අපි දැන්මම කලබල වෙන්න ඕනා නෑ විමලෝ " කියා වත් තාත්තා අම්මාට කියන්නට ඇත.

සුදානම් ශරීරය කෝකටත් හොඳය. ජයංගනී සමග ප්‍රසිද්ධියේ කරන ගමන් බිමන් අඩු කල යුතුය.



අඳුර හාත්පසින්ම මා වට කරද්දී  මතු වූ අපේ තාත්තගේ හඬින් මම කල්පනා ලොවෙන් මිදුනෙමි.

"චුටි පුතා ඔයාටත් පුළුවන් නේ  අර  ඉස්කෝලේ මහත්තයා වගේ කරන්න "

 "මම කිව්වේ  ස්වප්නා දුව බැන්ද මහත්තයා  වැලිකන්ද පැත්තේ ඉංග්‍රීසි ගුරුවරයෙක් "  "එයා  හරි සල්ලියක් හොයන පාටයි ."

 "ගේ  වටේම ටකරන් මඩු ගහලා පංති කරන්න .. ළමයිනුත්  සීයක් හමාරක් එනවලු .."

තාත්තා ගෙට ගොඩ වුයේ  විමලා අක්කලා නංගි ස්වප්නගේ අළුත ගෙනා මනමාලයා ගැන වර්ණනා කරන ගමන්ය.

"ඉතින් ඔයා.. ඒ ළමයා  වැලිකන්දේ පංති නවත්තලා වටගමුව ඉස්කෝලෙට  ඇවිත් මොනවා කරන්නද ?"

අම්මා ආසන්නේ අනාගතයේ ඔහු පංති පවත් වන්නේ කෙසේද කියාය.

"එහේ පංති මල්ලිට භාර දෙනවා කිව්වා .  ඊට පස්සේ මෙයා මල්දෙණියේ පංතියක් පටන් ගනියි "

"මට කිව්වා ළඟ ඉස්කෝලෙකට මාරුවක් හදලා දෙන්නත්  කියලා. ඒකයි මම වටගමුව ගැන හිතුවේ "

 අපේ තාත්තා  වැලිකන්දෙන්  අරලගන්විලට කෙරුන ඔහුගේ ස්ථාන මාරුවද  සකස් කර දෙන්නට පොරුන්දු වී ඇත.

"හැමෝටම හරි සතුටුයි අපි ඔක්කොම ගිය එක ගැන "

අපි කන්දේගෙදර  අයගේ මගුල් ගෙදරකට ගියාමයිනේ ඔය "

අගස්ති මාලය සහ අතේ තිබු වළලු ටික ගලවා  අල්මාරියට දමමින් සිටි අම්මා ද මගුල් ගෙදර ගැන පවසන්නට විය.

"ඔයාගේ ප්‍රින්සිපල් එහෙමත් හම්බවුනා .. හිමිජ්ජා වගේ හිටියට එයා කුදාර් වෙන්න බොනවා නේද..?"

කියමින් අම්මා තවදුරටත් පැවසුවේ සඳතැන්නේ ගුරුමණ්ඩලය  එහෙම පිටින්ම එහි පැමිණ සිටි බවයි.

ඔච්චර ලොකු මගුල් ගෙදරක ගිහින් මට මගුල් කේක් කෑල්ලක් වත් ගෙනැත් තිබුණේ නැත.

නැතහොත්  විමලා අක්කලා කවිඳු මල්ලිට දෙන්න යැයි කියා එසේ කේක් එවා තිබුණේ නැත.


අම්මා රෑ බත් උයන අතර මම පුරුදු පරිදි ලිප උඩට වී සිටියෙමි.

දෙවැනි මනමාළියට හිඳ තිබුණේ  ජයංගනී ගේ අක්කා   රත්නා ලාලනී  නංගි බව ඇය අතින් කියවුනා මතකය.

එහෙත් ජයංගනී ගැන කිසිවක් නොකියා ඉන්නට අම්මා ප්‍රවේශම් වුවාය.

මගුල් ගෙදරදී  අපේ ලොකු සර් මෙන්ම තාත්තාද ජයරත්න අය්යා සහ  එකතු වී මධුවිතින් සප්පායම් වූ බවද එහිදී හෙළි විය.


උදේ පාන්දරින් පැමිණි  හිතවතිය



ගල උඩ පුටුව දෙසින් ලා හිරු රැස් වැටෙමින් තිබිණි . උඩහ තේ වත්තේ සවුක්කු ගස් අතරින් එන හිරු කිරණ   අපේ වත්තේ ඊතල මෙන් වූ  රටා  මවමින් තිබිණි.

"විමලා නැන්දා.. විමලා නැන්දා" උදේ පාන්දරම හුරු පුරුදු කාන්තා කට හඬක් ඉස්සර දොර පැත්තෙන් ඇසෙන්නට විය. 

මා ඉස්සරහ දොර වෙත ඇදුනේ පුරුද්දට මෙනි .  අපේ නංගිලා අම්මා විමලා අක්කා  අම්මා හොයාගෙන පැමිණ ඇත. 

" කෝ අම්මා ඉන්නවද?" 

ඇය මගෙන් ඇසුවාය .   " අම්මා කුස්සියේ ඉන්නවා  එන්න.. එන්න.." කියමින් මා ඇය අම්මා වෙත  කැඳවා ගෙන ගියෙමි.

ඒ හිතේ කිසියම් චකිතයක් ද නැතිවම නොවේ.

"මගුල් ගෙදරට ගිය නිසා ස්තුති කරන්නට එන්න ඇති" මම කලබල වූ මගේ සිත අස්වසන්නට උත්සාහ කලෙමි.  

මට කතා වෙන්නේ මොනවාදැයි දැන ගන්නම සිතේ. විනාඩි කිහිපයක් කාමරයට වී සිටි මා නැවතත් කුස්සිය දෙසට ගියෙමි.

අම්මා ලිප ළඟ පුටුවේ ඉඳන් තරමක් වේගයෙන් දර කඩයි. විමලා අක්කා මිරිස්ගල ළඟ තියෙන පුටුවේ වාඩිවී සිටියි.   

ඒ වන විටත් දෙදෙනා අතර බරපතළ  සාකච්චාව අවසාන වී නැත. 

"නැන්දා  මම ආවේ වැදගත් දෙයක් කතා කරන්න. මේ කටයුතු එකලාසයක් කරලා  දාමු කියන්නයි මම ආවේ 
විමලා අක්කා කියු වදන් විදුළියක් මෙන් විත්  මා සවනත වැකිණි. 

" කැවුම් ගෙනාවම අපි හිතුවේ ඇත්තටම කැමතියි කියලා " 

විමලා අක්කා අතින් කියවෙනවා  මට හොඳින්ම ඇහුනු තවත් කොටසකි.

මගේ සිත අපේ දෙමව්පියන් කෙරෙහි ඇතිවූ භීතියත් , විමලා අක්කා කෙරෙහි උපන් තරහත් , ජයංගනී සහ මා ගැන ඇතිවූ අප්‍රමාණ අනුකම්පාවත් වැනි   සිතිවිලි ගොන්නක පැටලී ගියේය.

පැයක පමණ සාකච්චාවකින් පසු මුහුණ බිමට හරවා ගත් විමලා ටීචර් පල්ලම් බසින අයුරු දුටුවෙමි.

මම සිදු වුයේ කුමක් දැයි දැන ගන්නා අටියෙන් කුස්සිය දෙසට ගියෙමි.

" ඔන්න පේනවනේ වැඩේ කෙල්ලොත් එක්ක පාරවල් ගානේ රස්තියාදු ගැහැව්වම වෙන දේ  " 

 "ඔන්න උඹේ නල්ල මලේ අක්කා උඹට මගුලක් කතා කරන්න ඇවිල්ලා"  

අම්මා තම සාධාරණ කේන්තිය  මා මතින් පිට කරන්නට පටන් ගත්තාය .

" මල්ලිට දැන් රස්සාවකුත් තියනවනේ.. අනික එයා හොඳට එළවලු වලිනුත් අදායම් ගන්න කෙනෙක් නේ .. ඒක නිසා අපි මේ කටුයුතු එකලාසයක් කරමු."

ඈ අම්මා හට පැවසූ කතාවේ සාරාංශය එයයි.

එදා සනිටුහන්  වූයේ අපේ නිවසේ හැමෝම මගේ සහ ජයංගනීගේ  සම්බන්ධයට අකුල් හෙලීමේ ක්‍රියාවලියේ ඉතා වැදගත් සංධිස්ථානයකි.

එමෙන්ම  අපේ තාත්තා ඇතුළු පවුලේ අය  ජයංගනීලා අම්මා ඇතුළු ඒ පවුලෙන් පන්න පන්නා පලි ගැනීමේ සිද්ධි දාමයේ ආරම්භය ද එදිනයි.


8 comments:

  1. මෙහෙම එක පිට එක පෝස්ට් දාන්න එපා , කියවන උන්ට මිස්වෙනව

    ReplyDelete
    Replies
    1. තිලක සිතත් කිව්වා සතියට එක ගානේ වගේ දාන්න කියලා.. වැඩේ තියෙන්නේ තේමා දෙකක් නේ.. නිවාඩු ලැබුනම ටිකක් ලියන්න හිතෙනවා.. තව එකක් රසිකයෝ ඉල්ලනවනේ..

      Delete
    2. කවිදු සදුදටයි බ්‍රහස්පතින්දටයි උදේට එක පෝස්ට් එක ගානේ දාන්න , ඕනනං ෂේඩූල් කරල තියන්නත් පුලුවන්නෙ

      Delete
  2. නියමයි. ඊළඟ කොටසත් ඉක්මනට දාන්න. ජයංගනී ගෙන් පස්සේ නිම්මිව මුණගැහුණු හැටි දැනගන්න පුදුමාකාර ආසාවක් තියෙනවා

    ReplyDelete
    Replies
    1. ටිකෙන් ටික යමුකෝ ඒ පැත්තට පොඩි කාලයක් ගත වෙයි හැබැයි..

      Delete
  3. ඊයේ අම්මාට කතා කරපු වෙලාවේ ඇහුවා අම්මා විමලා අක්කාට දුන්න උත්තරේ මොකක්ද කියලා.. එයා කිව්වා " ඉගෙන ගෙන ඉවර වෙන කන් ඉන්න කියන්න පොඩි දුවට "කියලා කිව්වා කියලා. හැබැයි එහෙමමද අම්මා උත්තර දුන්නේ කියලා දන්නේ අම්මයි විමලා අක්කයි විතරයි...

    ReplyDelete
  4. ඉතිං ඊට‍ පස්සෙ ?

    ReplyDelete
    Replies
    1. තව කාලයක් යයි විස්තරේ කියන්න.. මේ පැත්තේ ආවට ස්තුතියි.. ඉතිරි කොටස් ඉදිරියට එනවා..

      Delete