Monday, 3 October 2016

කාර් විකුණන දොස්තර




පසුගිය  කළාපයෙන්


මගේ පළමු  කාර් එක මිලදී ගන්න යද්දී සිදුවූ  මුල්ම හමුවීම පසුගිය කළාපයෙන් ඔබ වෙත ගෙන  ආවෙමි.

හින්නි අප්පුහාමි  මා  රැවටුවා වත්දෝ යැයි සිතුනද  ඔහු මගේ කාර් සොයන  සගයා ලෙස තව දුරටත් තබා ගත්තෙමි.

ඒ හින්නි  අප්පුහාමි  කාර්  ගැන හොඳින්  දන්නා  කෙනෙක් යැයි   අපේ සරප් මහතා කී  කතාව මා දිගටම විශ්වාස කල නිසාය.

ඒ අදසහ මත මතම පදනම් වූ මම   වෛද්‍ය පීඨයේ සිටි බ්‍රෝකර් වරුන් වෙනුවට හින්නිත් සමගම  කාර් සෙවීම කරන්නට තීරණය කළෙමි.


දිනක්  ඊ ෆැකල්ටියේ සිට  මට ලැබුණු දුරකථන  ඇමතුමකි.

 අපේ  දෙපාර්තමේන්තුවේ කාර්යාලයට  පැමිණුන ඇමතුම  ගැන  මට කිවේ ප්‍රේමදාස  විසිනි .

මගේ කාර්යාල කාමරය වෙත හැල්මේ දුව ආ  ප්‍රේමදාස 

"සර් . සර්  අන්න සර්ට   කෝල් එකක්  ඊ ෆැකල්ටියේ හින්නි කිව්වා කතා කරන්නේ . 

මන් හිතන්නේ සර්ගේ කාර් එකේ වැඩේ හරි වගේ .

ඉක්මනට වාහනයක් ගත්තා නම් හොඳයි  සර්."

දුරකථන ඇමතුම ගැන කීමෙන් නොනැවතී   මට වාහනයක ඇති වැදගත් කමද  පැහැදිලි කරයි. 



"මම දැක්කා මේ ඊයේ පෙරේදාත්  කට කපලා සෙනග හිටිය කඩුගන්නාව බස් එකේදී මනුස්සයෙක් සර්ව තල්ලු කරලා  මොකක්ද නරක දෙයක්  කියනවා. 

සර් දැක්කේ නෑ මම බස් එකේ ඉන්නවා . හැබැයි මම සිද්ධිය හොඳට දැක්කා. 

අපේ මිනිස්සුන්ට   දොස්තර කෙනෙක් කියලා තේරෙන්නේ ලොකු කාර් එකක ආවොත් විතරයි සර්. 

නැත්නම් ඔය සෙනග අස්සේ තෙරපි තෙරපි බැනුම් අහන්න වෙනවා දිගටම. 

මට හරියට දුක හිතුනා එදා සිද්ධිය දැක්කම. 

සල්ලි සල්ලි කියලා බලන්නැතුව  මොකක් හරි ගන්න සර්  "



ඔහුට  පෙරදිනක මා වැඩ නිමවී ගෙදර යද්දී බසයේ පිටුපසට නොයා පොල්ල අල්ලාගෙන සිට ගෙන සිටි අම්මා කෙනෙක් ( අනෙකුත් මගීන්ට අවහිර වනසේ )  පසු කර මා බසයේ පසු පසට යද්දී   

"මොකද ඔච්චර තල්ලු කරන්නේ  හය්ය .. ...යිය  පෙන්නවද  අපිට ?"  

කියමින්  ඈ  ඔරොප්පුවට මෙන් මා හට  කතා  කල අයුරු ඇසී තිබේ . 

"ඕවා ගණන් ගන්න එපා ප්‍රේමේ . අපේ මිනිස්සු  හොඳ කියන්න ගියාමත් ඔය වගේම තමයි. "


ප්‍රේමදාසගේ සිත සනසන අයුරින් කී මම  කලකට ඉහතදී  කාසල් විදියේ  කාන්තා රෝහලේ සේවය කරද්දී සිදුවූ  මිට හාත්පසින්ම වෙනස් සිද්ධියක්  සිහියට නගා  ගත්තෙමි.

ඒ බසයේ දී මට  සැර දැමු අම්මා වැනිම   දුප්පත් සහ  නුගත් පෙනුමක් ඇති අම්මා කෙනෙක්  තම බඩ දරු දියණියගේ  හදිසි අවස්ථාවේදී සිමාවාසික වෛද්‍ය වරයා  ලෙස  මා කල සේවය අගය කල ආකාරයයි .

ඒ අදාළ දිනයේ  දිවා ආහාර විවේකයයි.

කාසල් එකේ  කොරිඩෝව දිගේ කැන්ටිම දෙසට පියමනිමින් සිටියෙමි .

අළුත උපන් බිලිඳෙක් වඩා ගත් වනාතමුල්ල පැත්තේ යැයි සිතිය හැකි තරුණ කාන්තාවක් , ඇයගේ සැමියා සහ  කළු පැහැති වැහැරුණු මුහුණකින් යුත් මහළු  මවක් මා ඉදිරියට එයි.

"අම්මේ මෙන්න අපේ දොස්තර මහත්තයා " මා දෙස සිනාවෙමින්  ඒ තරුණ මව ඇයගේ මෑණියන්ට  මා හඳුන්වා දුන්නාය.

දිවා විවේකයට ලෙඩ්ඩු බලන්නට එන  මහා සෙනග මැද්දේ  කොරිඩෝවේ  දණගැසූ   වූ ඒ අම්මා. 

"ඔය වගේ රත්තරන් මහත්තුරු  ඉන්න හිංදා තමයි අපේ කෙල්ල ගොඩ ගියේ .  

එදා මහා රෑ  ලේ ගලමින් අරන් ආපු මගේ කෙල්ලයි ළමයයි දෙන්නම ගොඩ දාන්න මූලික වුණේ සර් කියලා එයා මට කිව්වා .  

සර්ට  බුදු බව අත්වෙනවා  සර්. හදපු වඩපු දෙමව්පියන්ටත් පිං සිද්ධ වෙනවා  "

අපේ අම්මලා තරම් වයෙසේ කෙනක් වූ ඇය එසේ කියමින්  මට ආචාර කළාය.  

බලාපොරොත්තු නොවූ ලෙස  මහා සෙනගක් මැද සිදු වූ දෙයින්  මා අධික කම්පාවට පත්වුනෙමි.



ඒ මෙදා කඩුගන්නාව බසයේ සිදුවූ සිද්ධියේ අනෙක් පැත්තයි.

මේ සිද්ධි දෙකම ඉතා උපේක්ෂාවෙන්  විඳ දරා ගන්නට හැකිවීම ගැන අද මට ඇතිවන්නේ මහත් සතුටකි.






මා පම්පෝරි ගසන්නෙක් යැයි සිතෙන්නේ නම්  දැන් ගම්පොළ පැත්තට වී විශ්‍රාම සුවයෙන් කල් ගෙවනා ප්‍රේමදාස ට  කතා කරන්න. 

අනෙක් කතා කලයුතු පුද්ගලයා වන්නේ මා සීමාවාසික වෛද්‍ය වරයෙක් කාලයේ  කාසල් විදියේ රෝහලේ අධ්‍යක්ෂක වරයා වූ වෛද්‍ය කරඳගොඩ  මහතාය.

මේ දෙදෙනා මේ සිදුවීම් දෙක ගැන සාක්ෂි දරනු ඇත. 

වසර  දෙදාහේදී  මා සායනික වෛද්‍යවරයෙක්  ලෙස දිගටම නොඉඳ විශ්ව විද්‍යාලයට යන්නට යද්දී වඩාත්ම  ශෝක වූ පුද්ගලයා  වුයේ ද මේ කරඳගොඩ  මහතාය.

" කවිඳු  ඔයාගේ  වැඩ ගැන , ඔයා ලෙඩ්ඩුන්ට දක්වන ආදරේ , කරුණාව ගැන මිනිස්සු මට කියනවා.   

ඔයාලා වගේ අය තමයි  හොස්පිටල් වල ඉන්න ඕනේ.  

මමනම් කැමතියි ඔයා මේ ෆීල්ඩ් එකේම ඉස්සරහට ගිහින් කන්සල්ටන්ට්  කෙනෙක් වෙනාවා නම් . 

කමක් නෑ  ඔයා  කවදා හරි ආපහු ක්ලිනිකල් වලට එයි නේ . 

එදාට මට සතුටු වෙන්න පුළුවන් " 

මගේ ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් කරමින් ඔහු කී හැටි මට තාමත් මතකය.

ඔහු කී පරිදිම  මම  නැවතත් ක්ලිනිකල් වලට ආවෙමි.

 ඒ ඔහුගෙන්ව   සමුගෙන ගොස් වසර දහයක්  ගතවූ  පසුවයි. 

අවාසනාවකට  ඒ ශ්‍රී ලංකාවේ රෝහලකදී    නොව ඔස්ට්‍රේලියාවේදීය.   

ඔයින් මෙයින්  හින්නි ගේ දුරකථන ඇමතුම ගැන කියන්නට අමතක වෙන්න බැරි නැත. අපි නැවතත් එතනට යමු.

මම ප්‍රේමේ සමග බස් රස බස් කතා කරමින් දුරකථනය වෙත ලඟා වුයෙමි.

"හලෝ හින්නි කොහොමද ?  කාර් එකක් හම්බ වුනාද ?  මේ ප්‍රේමේත් කියනවා ඉක්මනටම  කාර් එකක් ගන්න කියලා "

යැයි මා  පැවසුවේ මගේ දුරකථන සංවාදය  දෙස ඉතා උවමනාවෙන් සවන් යොමා සිටි ප්‍රේමදාස දෙස බලමිනි. 

"ඔව ඩොක්ටර්.   පැණි දෙණියේ  ඩොක්ටර් කෙනෙක් ළඟ කාර් එකක් තියෙනාවා කිව්වා යමුද බලන්න? "

"ඩොක්ටර් කෙනෙක් ?  කොහේ වැඩ කරන කෙනෙක්ද ? " 

අපේ ක්ෂේත්‍රයේ කෙනෙක් ගේ වාහනයක් නම්   රැවටීමකට  ලක්වීමේ  ඉඩ අඩු යැයි සිතුනු  මම ඉතා උනන්දුවෙන්  ඇසුවෙමි.

"පේරාදෙණියේ කියලා කියන්නේ.  නම  සු...... කියලා  කිව්වා"

හින්නි පැවසුවේ  අදාළ දොස්තර වරයා වැඩ කරන්නේ අපේ ශික්ෂණ රෝහලේ බවයි. 

"හරි හරි මම ඔය ඩොක්ටර් සු... ගැන ටිකක් විස්තර හොයලා බලලා ඔයාට  කියන්නම් කෝ .

 හවසට  එන්නකෝ  ප්‍රයිවෙට් එක පැත්තේ. 

එහෙනම් තිබ්බා... බායි.. " 

මම කාර් බැලිල්ල  පසුදිනට කල් දැම්මේ ප්‍රේමදාස  ඇතුළු ඔහුගේ සගයින් ගෙන් මේ කාර් විකුණන දොස්තර ගැන  වැඩි විස්තර ගත හැකි බව ඉවෙන් මෙන් දැනුණු  නිසයි. 



පැණිදෙණියේ කාර් දොස්තර 






මම කාර්යාලයෙන්  එලියට විත් මගේ කාමරය දෙසට පියමැන්නෙමි . ප්‍රේමේද  මගේ පස්සෙන්මය.  

"මොකද සර් හින්නි කියන්නේ ?  කාර් එකක් තියෙනවද? "

"තියෙනවා . තියෙනවා.  විකුණන්නේ දොස්තර කෙනෙක් කියලා කියන්නේ. සු.... කියලා කෙනෙක්? "

මම ප්‍රේමේ දෙසට හැරුනේ මේ දොස්තර  සු...  කවුදැයි දැන ගන්නා අදහසිනි.

"ම්.. ම්.. කවුද  ඔය ඩොක්ටර්?? "

 ප්‍රේමේ  අදාළ දොස්තර මතක් කරන්නට හදමින් මා සමග ඉදිරියට   ගමන් කරයි. 

අපි දැන් මගේ කාමරයද පසු කර  ඉදිරියට ගොසිණි.  

"ඔයාගේ අනිත් ගෝලයෝ සෙට් එක දන්නවද දන්නේ නෑ නේද?  යමුකෝ මාත් එන්නම් ඒ පැත්තට  "

මම පියතිලක ඇතුළු ප්‍රේමදාසගේ  සගයින් සිටිනා විවේක කාමරය දෙසට ගමන් කලෙමි.

"මචං සෙනවි  උඹ දන්නවද බං  කාර් විකුණන දොස්තර මහත්තයෙක්?  පැණිදෙනිය පැත්තේ ඉන්න? 

අපේ සර්ට කාර්  එකක් බලන්න යන්නේ සු.. කියලා දොස්තර මහත්තයෙක් ගාවලු තියෙන්නේ බං"

ප්‍රේමේ ප්‍රශ්නය දැම්මේ ෆැකල්ටියේ  හොඳ නරක සියළු ඕපාදුප දන්නා  දෙපාර්තමේන්තුවේ පැරණිම  කම්කරු මහතා වෙතයි. 

"මොකෝ බං මන් නොදන්නේ ? 

ඔය අර සු.. මහත්තයනේ ?  

අර  පහුගිය දවස් වල ඇනටමි ස්පෙසිමන්  බලන්න එහෙම එන්නේ ඇහුවේ අපෙන් . අන්න එයා. "

"ඒ  කියන්නේ ඩොක්ටර්  සු... සර්ජරි  ස්පෙෂල්  කරන්න ඉන්න කෙනෙක්ද?  "

මම ඇසුවේ අපේ දෙපාර්තමේන්තුවේ ඇති  ශරීර  අවයව කොටස් වැඩිපුර අධ්‍යනය කරන්නට එන්නේ එවැනි  දොස්තරවරු බැවිණි.

"මොනවා   ඒ මහත්තයද සු.. කියන්නේ ?  

ප්‍රේමදාස පුදුමයෙන් මෙන් තම සගයාගෙන් අසා සිටියේ මගේ පැනයට පිළිතුරක් ලැබෙන්නටත්  පෙරමය. 

"ඇයි ප්‍රේමදාස  ඒ මහත්තයට  කාර්  එකක් තිබ්බේ නැද්ද  ?  "

"නෑ සර්  ඔය කියන  මහත්තයා  දොස්තර කෙනෙක් නෙවෙයි . 

සෙකන්ඩ් ඉයර් එකේ  ස්ටුඩන්ට් මහත්තයෙක් . 

බැච් මිස් වෙලා ඉන්නේ.  

 මන් හිතන්නේ   ඇනටමි  ඇරෙන්න අනික් සබ්ජෙක්ට් දෙක  පාස්වෙලා ඉන්නේ . ඇනටමි  තුන් පාරක්ම ෆේල් "

ප්‍රේමදාස කිව් දෙයින් මම අන්ද මන්ද වුයෙමි. 

"ඒ කියන්නේ  ඊළඟ පාර  තමයි එයාට තියෙන ලාස්ට් චාන්ස් එක.  

 අයිසේ මිනිහා මාර මනුස්සයෙක් නේ  එහෙම තියෙද්දී කාර් විකුණනවද? "

විමතියට පත්වූ මම මගේ දෙපාර්තමේන්තු සුළු සේවක සගයින්ගෙන් ඇසුවෙමි. 

"ඔවු සර් සමහර මහත්තුරු එක එක සයිඩ් බිස්නස් කරනවනේ  මෙයා කරන්නේ මන් හිතන්නේ  එයා දොස්තර කෙනෙක් කියලා කාර් විකුණන එක"

සෙනෙවි කාර් විකුණන පොඩි දොස්තර මහතා ගැන තම මතය ඉදිරිපත් කළේය. 

"හරි හරි ඒ  කාර් බැලිල්ලෙන්  කමක් නෑ මට වෙලාවක මිනිහා පෙන්නනවා කෝ? " 

යැයි ප්‍රේමේ ඇතුළු පිරිසට පවසමින් මම එතණින්  ඉවත් වුණෙමි.
  
එසේ පිටත් වෙද්දී මගේ මනස  බෙහෙවින් කැළඹී තිබුනා  කිව්වොත් එය අතිශෝක්තියක් නොවේ.  

හේතුව මෙතරම් දුරකට මහන්සි වී ඉගෙනගත්  මේ   වෛද්‍ය සිසුවා තම දොස්තර කම නැතිවෙන්නට ඔන්න මෙන්න වෙද්දීත්  එහි බරක් පතලක් නොදැකීමයි 

 අපේ විෂය  ( කාය ව්‍යවච්චේද  විද්‍යාව හෙවත් ඇනටමි)  ඉගෙන ගැනීම පසෙක තබා කාර් විකුණ විකුණා සිටින  මේ  සිසුවා හඳුනා ගත යුතු යැයි මට සිතේ.  

හරි මම  හින්නි එක්ක කතා  කරලා  මේ  "කාර්  දොස්තර මහත්තයා" හොයා ගන්නම් කෝ .  

මම කෙසේ හෝ මේ තම අධ්‍යාපන කටයුතු අවසන් වන්නට පෙර "කාර් දොස්තර "   කෙනක් වූ වෙද සිසුවා හොයා  ගන්නට අදිටන් කර ගත්තෙමි. 





ඉතිරි කොටස මෙතැනින් ... ( ඉදිරියේදී බලාපොරොත්තු වන්න ) 







Wednesday, 28 September 2016

හින්නි අප්පුහාමිලා සහ මගේ කාර් එක



මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ  පරිවාස කථිකාචාර්ය වරයෙකු ලෙස පත්වෙන්නේ වසර දෙදාහේ මැද භාගයේදීය.

තනිකඩයෙකු ලෙස පේරාදෙණියට පැමිණි මා  මුලින්ම නතර වුයේ  පිළිමතලාව පාරේ නිවසකයි.

විශ්ව විද්‍යාලයේ සරප් වරයෙකුට අයත් නිවසේ යට තට්ටුව මගේ ප්‍රථම කුලී නිවාසය විය.

ඒ කාලයේ මගේ මාසික කුලිය රුපියල්  හාර දහසකි. රුපියල් දොළොස් දහසක මාසික වේතනයක් ලැබූ මට
විශ්ව විද්‍යාල වැටුපෙන් පමණක් කල හැකි දේ ඉතාමත් සීමිත විය.

මාසිකව මුදලක් අම්මලාට යැවීමටත්  නිවසේ කුලිය ගෙවීමත් හැරුණු කොට මට ඉතිරි කල හැකි දෙයක් නොවිය.

පරිවාස කාලයේදීම පුද්ගලික බෙහෙත් ශාලාවක් ආරම්භ කරන්නට මා පෙලඹෙන්නේ ඒ නිසාමය.

උදේ අටේ සිට හවස හතර දක්වා විශ්ව විද්‍යාලයේ සේවය කල මම හවස  හතරෙන් පසු  පිළිමතලාව පාරේ පුද්ගලික බෙහෙත් ශාලාවක් පවත්වා ගෙන ගියෙමි.

මුල් කාලයේ පාරේ බස් එකේ ගමන් බිමන් ගිය මට මෝටර් රථයක් අත්‍යාවශ්‍ය බව හැඟුනේ  පුද්ගලික වෙදකම ආරම්භ කිරීමත් සමගයි.


"මම හිතුවේ මහත්තයා අද ඇවිත් නෑ කියලා .  කෝ කාර් එක පේන්න තිබුණේ නෑ නේ "

යැයි  කියමින් මා හමුවට එන ලෙඩුන් පවසන්නට පටන් ගැනීමත් සමග මේ අවශ්‍ය තාවය  තදින්ම දැනෙන්නට විය.

"නෑ මම තාම කාර් එකක් ගත්තේ නෑ . දැනට කාර් එකක් හොය හොයා ඉන්නේ "

මම ලෙඩා අස්වසාලන්නේ  කාර් එක ළඟ ලඟම එන බව ඉඟි කරමිනි.

"ඉතින් ඩොක්ටර් අර හින්නි අප්පුහාමි ගෙන් අහන්නකෝ  .

එයා හොයලා දෙයි හොඳ වාහනයක් "

"කවුද හින්නි අප්පුහාමි?  අර  මගෙන් බෙහෙත් ගන්න එන ඊ ෆැකල්ටියේ  ටෙක්නිෂන් මහත්තයද? "

"ඔව් . ඔව් එයා තමයි ඩොක්ටර් .

හින්නි මහත්තයා වැඩ කරන්නේ  මෝටර් මිකැනික් අංශයේ ම නේ ? "

ඒ වන තෙක් විශ්ව විද්‍යාල  කාර්ය මණ්ඩල ගැන විශේෂ අවධාණයක්  යොමු නොකල මට ඔවුනගේ ජිවිත ගැන බොහෝ පාඩම් ඉගෙන ගන්නට ඉඩ ලැබෙන්නේද මේ වකවානුවේදීය.

උදේ අටට වැඩට එන ටෙක්නිෂන් මහත්වරු බොහෝ දෙනෙක් දවස ගෙවන්නේ පත්තර බලමින් හෝ රේඩියෝ අහමිනි.

අපේ දෙපාර්තමේන්තුවේ පමණක් ටෙක්නිෂන් වරු අට දෙනෙක් සිටි බව මතකය.

සතියකට දෙතුන් වරක් එන ප්‍රැක්ටිකල්  එක සකස් කිරීම හැරුණු විට ඔවුන් කල වෙන වැඩක් මට නම් මතක නැත.

මට මතක හැටියට  ඒ කාලේ  අපේ දෙපාර්තමේන්තුවේ වැඩි බර ඇද්දේ කම්කරුවන් විසිනි .

ඒ අතරින් පියතිලක  , ප්‍රේමදාස වැනි කම්කරුවෝ ඉතා වෙහෙස වී වැඩ කල හැටි මට මතකය.

මෙය විශ්ව විද්‍යාලයේ බොහෝ දෙපාර්තමේන්තු වලට පොදු වූ ලක්ෂණයකි.

අනියම් කම්කරුවන්  වැඩ කරනා අතරේ ස්ථිර කම්කරුවන් සහ ටෙක්නිෂන් වරු තම තම අතිරේක රැකියා  වල වැඩිපුර යෙදුනේ අපේ දෙපාර්තමේන්තු වේ පමණක් නොවේ

සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාලයේ  ටෙක්නිෂන් වරු සහ බොහෝ කම්කරුවෝ තමන්ගේ රාජකාරියට  අමතරව වෙන රැකියා දෙකක් වත් කරති.

ත්‍රී විලර් එළවීම වැනි රැකියා කම්කරුවන් ගේ අතිරේක රැකියා වූ අතර ටෙක්නිෂන් වරු කිහිපදෙනෙක් ම වාහන බ්‍රෝකර් වරුන් ලෙස කටයුතු කළහ.

කෘෂිකර්ම පීඨයේ  සිසිල් සහ ඉංජිනේරු පීඨයේ  හින්නි අප්පු හාමි  මෙන්ම  වෛද්‍ය පීඨයේ රියැදුරෝ කිහිපදෙනෙක්ම මේ  බ්‍රෝකර් රැකියාවේ නිරත වූ බව මතකය.

ලේ වමනය කල රෝගියා 



ඒ මම  "පොල් කඩන්නට " පටන් ගත් මුල්ම කාලයේ දිනයකි.  පුරුදු පරිදි  සිල්ලර බඩු කඩයක උඩ තට්ටුවේ වූ  මගේ "ෆැමිලි කෙයා  " එකට වී සිටියෙමි.

මුහුණපුරා රැවුල වවා ගත්  කළු මිටි රෝගියෙක් මගෙන් බෙහෙත් ගන්නට පැමිණ සිටි.

"කෝ දොස්තර මහත්තයා ඉන්නවද? " මා සිටි මේසය ඇති කොටස වසා තිබු කොළ පාට තිරය මෑත්  කරමින් රෝගියා  මා ගැන විමසන්නට විය.

"ඉන්නවා . එන්න එන්න. මෙහෙන් ඇවිත් ඉඳ ගන්නකෝ "

"මාර වැඩේනේ ඩොක්ටර්  .ඊයේ පොඩි ඩ්‍රින්ක් එකක් ගත්තා යාළුවොත් එක්ක  අද කීප පාරක්ම ලේ  වමනේ  ගියානේ "

රෝගියා  රෝග ඉතිහාසය කියන්නට පටන්ගත්තේය.

ඒ කාලේ මගේ පොලේ රෝගීන් ගේ පැමිණීම දහයක් දොළහක් වැනි උපරිමයකට යටත් ව තිබුනා කිව්වොත් නිවැරදිය.

ඒ නිසා රුපියල් හැටත් අසුවත් අතර ගානක් මට ගෙවනා රෝගියෙකු වෙනුවෙන් අඩුම තරමේ විනාඩි විස්සක් හෝ පැය භාගයක් වැය කිරීම මගේ සිරිතයි.

රෝගියා ගේ මද්‍යසාර භාවිත කිරීමේ ඉතිහාසයේ සිට  මද්‍යසාර අධික ලෙස භාවිතා කිරීමෙන් ඇතිවිය හැකි ඵල විපාක (සිරෝසිස් වැනි අක්මාවේ  අබාධ තත්වද ඇතුළුව )  විස්තර කරන්නට  එය අවස්ථාවක් කර ගත්තෙමි.

ඔහුට ඇතිවී ඇති තත්වය  "මැලෝරි වයිස් ටෙයාර්"  නමින් හඳුන්වන   ගලනාලයේ  සියුම් ඉරීමක් විය හැකි බවත් එහෙත් ඔහුගේ  මද්‍යසාර  භාවිත කල ඉතිහාසය අනුව  අක්මාව  පිලිබඳ ලේ පරික්ෂා සහ  ගලනාලය තුලට  බටයක් දමා කාරනා පරීක්ෂණ වැනි දේවල් කලයුතු බවත්  රෝගියාට පැවසුවෙමි.

"මිට පස්සේ නම් අරක්කු බොන්නේ නෑ ඩොක්ටර් . 

යාළුවෝ එක්ක සෙට් වුනාම තමයි වැඩි පුර පෙවෙන්නේ "

රෝගියාද  මගේ වෛද්‍ය උපදෙස් පිළිගත් බවක් පෙන්නුම් කළේය.

පොල් කඩේ මුල්ම කාලය නිසා මගේ රෝගීන්ගේ  රැකියාව , පවුලේ විස්තර  , සිගරට් අරක්කු බිම වැනි පුරුදු ගැනද  කතා කිරීම මගේ සිරිතයි.

ඒ  අනුව  මේ ලේ වමනය ගොස්  පැමිණ සිටින්නේ  පේරාදෙණිය  ඊ ෆැකල්ටියේ   ටෙක්නිෂන්  කෙනෙකු සහ නමගිය  වාහන  බ්‍රෝකර් කරුවෙකු වූ  හින්නි අප්පුහාමි බව හඳුනා ගත්තෙමි. 


එමෙන්ම ඊට පළමුදා   රාත්‍රියේ ඔහු අරක්කු බී ඇත්තේ තවත් වාහන බ්‍රෝකර් කෙනෙක් මෙන්ම  පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ  ටෙක්නිෂන් කෙනෙකු ද වූ සිසිල් සමග බවද  දැනගත්තෙමි. 


මෙන්න මේ  බෙහෙත් ටික ගන්න කියමින් "ඇන්ටසිඩ් පෙති" සහ විටමින් වර්ග තුනක්  හින්නි අප්පුහාමිට දුන් මම දිගටම ලේ වමනය  ගියහොත් පේරාදෙණිය ශික්ෂණ  රෝහලට  යායුතු බවත් ඉහත සඳහන් කල පරීක්ෂණ  කර ගත යුතු බවත් පැවසුවෙමි. 

"බොහොම ස්තුතියි ඩොක්ටර් දුන්න උපදෙස් වලට  මම ගිහින් එන්නම් එහෙනම්"

රුපියල් අසුවක් මට දුන් රෝගියා  මගෙන් සමුගත්තේ ලබාදුන්   වෛද්‍ය උපදෙස් වලටද ස්තුති  කරමිනි. 

ඊට පසු කිහිපවතාවක්ම  හින්නි අප්පුහාමි සහ ඔහුගේ පවුලේ අය මගෙන් බෙහෙත් ගන්නට පැමිණි අතර  දින ගණනාවක් අතුලත ඔවුන්ගේ පවුලේ   වෛද්‍ය වරයා ලෙස මාව තෝරාගත් ලකුණු දක්නට ලැබිණ.







කාර් බැලු හැටි



මෙසේ කාලය  ගත වෙද්දී  මගේ  ලෙඩුන් සංක්‍යාවද  ටිකෙන් ටික වැඩි වෙන්නට විය. 

බොහෝවිට කඩුගන්නාව බස් එකක එල්ලී සේවය අවසන් කර එන මම කෙලින්ම පොලට යන්නට  හුරු වීමි.

නුවරට ආසන්න වුවද ප්‍රධාන පාරෙන් එපිට වූ ගම් වැසියන්ගේ  ඉල්ලීම පිට රාත්‍රී කාලයේ  නිවසේද  හදිසි රෝගීන්ට බෙහෙත් කරන්නට පටන් ගත්තෙමි. 

ඒ ගැන වඩාත්ම  සන්තෝෂ වුයේ මා කුළියට ගත් ඇනෙක්ස් එකේ හිමි කරු වූ සරප් මහතාය.

හේතුව ඔහුගේ  නිවසේ නැවති සිටින  දොස්තර මහතා ගෙන්  ගමේ අයට තිබෙන ඵල ප්‍රයෝජන අධික වීමයි.

විශේෂයෙන්  රාත්‍රියේ  සිදුවන හදිසි ආපදාවන් වලදී  දොස්තර කෙනෙක්  අතළඟ සිටීම ගම්මුන් බොහෝ සෙයින් අගය  කල කාරණයකි.

මෙසේ කාලය ගතවෙද්දී  මා වෙත  පැමිණි සරප්  මහතා

"ඒක  නෙවෙයි  ඩොක්ටර්  දැන් ලෙඩ්ඩුත්   ටික ටික වැඩිවෙනවා නේද?  දැන්නම් ඉතින් කාර් එකක් විතරයි අඩු "

යනුවෙන් මට කාර් එකක් ගැනීමේ  වැදගත් කම සිහිපත් කළේය.


"ඔව් ඔව්  සමහර ලෙඩ්ඩු මගෙනුත් අහනවා  කෝ ඩොක්ටර් අද කාර් එක කියලා එහෙම "

මම මගේ රෝගීන්  ගේ  කාර් එකක් සහ දොස්තර කෙනෙක් අතර අවස්ථා සම්බන්ධය දකින්නට ඇති  කැමැත්ත සරප් මහතාට මතක් කර දුන්නෙමි.

"මේකනේ ඩොක්ටර් වැඩේ .

ගොඩක් ලෙඩ්ඩු  ඩිස්පැන්සරියේ  දොර ඇරලද  කියලා බලනවට වඩා පුරුදු වෙලා ඉන්නේ මහත්තයාගේ  කාර් එක පාර අයිනේ තියෙනවද  කියලා බලන්න .

පාර අයිනේ කාර් එක පේන්න  තියෙනවා නම් ලෙඩ්ඩු දන්නවා දොස්තර මහත්තයා ඇවිත් ඉන්නේ කියලා .

ඔන්න ඔහේ  පොඩි කාර් එකකුත් ගමු ඩොක්ටර් එතකොට  ඔක්කොම සම්පුර්ණයි. "

සරප්  මහතා කියාගෙන ගියේය.

මේ අතර කිරිබත්කුඹුරේ  දුමි අය්යා ( අපේ සමන්ත ඉස්සර නැවතී සිටි ගෙදර )  මට කාර් එකක් ගැන හෝඩුවාවක් ලබා දුන්නේ ය.


ඒ  ඔවුන්ගේ නිවසට එහා පැත්තේ නිවසක සිට ඊට ආසන්න කාලයකදී මියගිය අංකල් කෙනෙක් පාවිච්චි කල  කොරොල්ලා  AE 81 කාර් එකක් විකුණන්නට  තිබෙන ආරංචියයි.



දුමි අය්යා ගේ පනිවිඩය ගැන සරප් මහතාට මතක් කලේ  මාත්  සමග කාර්  බලන්නට යන්නෙක් අවශ්‍ය  බව කියමිනි.

"ඉතින් ඩොක්ටර්  අර  හින්නි අප්පුහාමි එක්කන් යන්නකෝ  එයා වාහන ගැන හොඳට දන්නවනේ . 

මිනිහා ඩොක්ටර් ගෙන් බෙහෙත් ගන්නත් එනවා නේද ? " සරප් මහතා කාර් බැලීමට හොඳම  කෙනා මට මතක්  කර දුන්නේය .

ඊට ටික දිනකට පසු  පාර අයිනේ සිටි හින්නි අප්පුහාමි  හමුවූ මම කාර්  එක ගැන විස්තරය  ඔහු සමග පැවසුවෙමි.

"හරි ඩොක්ටර් මම වැඩ කරන ගමන් වෙලාවක ඩොක්ටර් එක්ක යන්න එන්නම්  . 

මම එනවෙලාවට  කෝල් එකක් දෙන්නම් කෝ " හින්නි වැඩේට එක පයින් කැමතිවුනේ මගේ හිතවත් රෝගියෙකු  ලෙසිණි.

හින්නිත් මමත් කාර් එක තිබු නිවසට ගොස් ලා කොලපාට ඉතා පිළිවෙලට තිබු කොරොල්ලා කාරය පරික්ෂා  කළෙමු.

කාර් එකේ ලොකු වරදක්  හෝ ලොකු හොඳක් නොකියා සිටීමට  හින්නි මහත්තයා  වග බලා ගත්තේය . 

අවසානයේ  මම නිහඬතාවය  බින්දෙමි .

"අන්තිම  ගාන කියද ඇන්ටි ? " 

"පුතා අංකල් මේක හරි ආදරෙන් පාවිච්චි කලේ  . 

අපිට මේකට දෙකයි තිහැක වත් ඕනෑ. 

ඔක්කොම ටුල්  කිට් එහෙම එහෙම්ම තියෙනවා . ඒවත් එක්කම  තමයි කාර් එක දෙන්නේ ".

"ඩොක්ටර්  දෙකයි දහයක්  කියන්න . ඔක  ඒ ගානට ගන්න පුළුවන් " හින්නි අප්පු හාමි මගේ  කනට කර පැවසුවේය.

මම දෙකයි දහයක් ලන්සුව ලෙස තැබුවෙමි.  කාර් එක එදිනම මගේ සිත් ගත්තද කාර් ගැන දන්නා  හින්නි  ගේ අදහසට  ඉහලින් යන්නට මට සිතුනේ නැත.

දින කිහිපයක් ගතවී  ගියේය. කිරිබත්කුඹුරේ දුමි අය්යා හමුවූ මොහොතක කාර් එක ගැන ඇසුවෙමි.

"අන්න මල්ලි ලොක්කා  උඹට වැඩේ දීල.

එදා උඹ එක්කන් ආපු බ්‍රෝකර් පහුවදාම වෙන මනුස්සයෙක් එක්කන් ඇවිත් අල්ලපු ගෙදර ඇන්ටිගේ  කාර්  එක දෙකයි තිහටම  විකුණලා  දීලා.

මරූ කාර් එක බන් අපරාදේ  උඹට එදාම  ගන්න තිබ්බේ "

දුමි අය්යා  කාර් එක විකුණු ආරංචිය  මා හට පැවසුවේ  එසේය.  හින්නි අප්පුහාමි මට මුල්ම  පාඩම ඉගැන්වූයේ  එසේය.

දෙවන පාඩම ඉදිරියේදී  බලාපොරොත්තු වන්න 







Wednesday, 14 September 2016

තුන්වරක් සැම්සන් දෙවන කොටස -ජයතිලකෙදි යලි හමුවී



මම මේ කියන කාලය වනවිට  වෛද්‍ය පීඨයේ අවසාන වසර විභාගය සමත් වී සිටියෙමි.  

ඒ වනවිටත් අය්යා සිටියේ අවිවාහකවයි .  

මා ජයංගනී නංගිගෙන් වෙන්කර තැබීමේ උපක්‍රමයක් ලෙස  අය්යාගේ තනියට නුවර යන ලෙස අම්මලා ගෙන් උපදෙස් ලැබිණි. 

ඒ වෙනුවෙන් සමන්තද  මට පේරාදෙණියේ තාවකාලික කථිකාචාර්ය තනතුරක් සහ සේවයෙන් පසු කල හැකි පුද්ගලික වෛද්‍ය සායන කිහිපයක්ද සාකච්චා කර තිබිණි.

මම පේරාදෙණියේ තාවකාලික කථිකාචාර්ය කෙනෙක් ලෙස වැඩ කරන්නට පටන් ගත්තෙමි. 

අය්යා දොඩම්වල පැත්තේ කුළියට ගෙන තිබු විශාල නිවස බලාගෙන උයා පිහාගෙන සිටීම මගේ රාජකාරිය විය.

ටික කලක් ගෙවී ගිය තැන ඔහුට  ඔහුගේ වර්තමාන බිරිඳ සම්බන්ධ වූ අතර ඔවුන් විවාහ වී දොඩම්වලට පැමිණීමත් සමග මම අලුත් නිවසක් සොයා යන්නට තීරණය කලෙමි.

"මල්ලී උඹ කැමති නැද්ද සබ් වෝඩන් කෙනෙක් වෙලා හෝල් එකකට යන්න ? " මම කැම්පස් එකට කතා කරලා අරන් දෙන්නම් .

සමන්ත මගෙන් විමසා සිටියේය. 

"ඉතින් මම මෙහෙ කොල්ලෝ අඳුරන්නේ නෑ නේ ? "

"නෑ.. නෑ.  උඹට උන් අඳුරගන්න අවශ්‍ය නෑ. 

හොස්ටල් එකේ තනි කාමරයක් දෙයි ඒකට වෙලා ඉන්නයි තියෙන්නේ . 

කොල්ලෝ උන්ගේ පාඩුවේ ඉඳියි "

හවසට ජිම් එක පැත්තේ එහෙම ගිහිල්ලා ,කැම්පස් එකේ රවුමක් ගහලා ඉන්න පුළුවන් . 

ඔය අතරේ උඹට පේරාදෙණි කෙල්ලෙක් වත් සෙට් වෙන්නත් බැරි නෑ"

"හරි හරි එහෙම හොඳයි . බෝඩිමක ඉන්නවාට වඩා හෝල් එකක ඉන්න එකට මම කොහොමත් කැමතියි. "

මෙතෙක් අය්යාගේ ගෙදර අයිතිකාරයා සේ මල් පාත්ති හදමින් මිදුල් අතුගාමින් සිටි මා "සබෙක් " ලෙස ජයතිකයට යන්නට තීරණය කලේ එසේය. 

ඒ කාලේ එම විශ්ව විද්‍යාලයේම කථිකාචාර්ය වරයෙකු වූ සමන්තට විශ්ව විද්‍යාලයේ බොහෝ සම්බන්ධකම් තිබිණි.


තරුණ කථිකාචාර්යවරයෙකු ලෙස ඔහු විශ්ව විද්‍යාලයේ ලොකු පොඩි කා අතරත් ජනප්‍රිය චරිතයකි. 

ඒ නිසාම  තම මල්ලී ට ජයතිලකයේ ස්ටාෆ් කාමරයක් සොයා දීම ඔහුට ඉතා ලෙහෙසියෙන්  හා පහසුවෙන් කල  හැකි විය. 


ජයතිලකේ කැන්ටිම








ජයතිල්කේ කුඩා කාමරයකට  මගේ රෙදි මල්ලත් සමග පිටත් වූ මට උඩ තට්ටුවේ මුල්ලක වූ සබ්වෝඩන් කාමරයක් ලැබිණි.

වෙනම බාත්රුම් ආදිය නොතිබුණු නිසා  කොල්ලෝ පාවිච්චි කරනා  නාන කාමර ,වැසිකිලිම ආදියටම මටද යන්නට සිදුවිය. 

ඒ වන විට ජයතිලකයේ සිටියේ අවසාන වසර වල සිසුන්ය ඉංජිනේරු හැර සියළුම පීඨ වල අවසාන වසරේ සිසුන් මෙහි වාසය කළහ.  

දින දෙක තුනක් ගත වෙද්දී  එහි සිටි අරලගංවිල සිසුන් ද මට මුණගැසුන අතර වෛද්‍ය සිසුන් වූ විමල් , නිහාල් සහ නිසල ගුණතිලකද  ඒ අතර විය .

මේ අය හලෝ මචං හෝ හලෝ අය්යා  කියා කතාබහ කලත්  මාත්  සමග වැඩි භජනයකට නො ආවේ ඔවුන් අවසන් වසරේ විභාග වැඩ වල යෙදී සිටි නිසා විය යුතුය. 

දැන් තදබල දේශපාලනයක යෙදෙනා  නිසල ඒ දිනවල ෆොටෝ කොපි බිස්නස් කරමින් තම පෙම්වතිය සමග රවුම් ගසමින් සිටි අයෙකි. 

අරලගංවිල මහා විද්‍යාලේ ගිය වෛද්‍ය සිසුන් තම පාඩම් වැඩ වල යෙදී "බිසී " වී සිටිද්දී මම තනියෙන් ජයතිලකයේ  එහා මෙහා සැරිසැරුවෙමි. 

කැන්ටිමට  ගොස් තනියෙන් කෑම කෑවෙමි. තේ බිව්වෙමි.

මහමෝදර  හොස්ටල් එකේ එක් එක් වසර වල කොල්ලෝ ගොඩක් මැද සිංහයෙකු මෙන් දිවි ගෙවූ මට මේ ජීවිතයේ  පුදුම තනිකමක් පාළුවක් දැනීම අරුමයක් නොවේ. 

වෛද්‍ය  පීඨයේ වැඩ නිමකළ මා ජය්තිලකයේ "සබා" ගේ කාමරයට පැමිණියෙමි. 






"වඩේ එකක් කාල ප්ලේන්ටියක් ගැහුවනම් හරි "

මම යට තට්ටුවේ ඇති කැන්ටිම වෙත යන්නට තීරණය කලෙමි. 

කොරිඩෝවේ මද දුරක් ගියා පමණි 

"හලෝ කවිඳු කොහෙද මෙහේ "  

මම කොරිඩෝව දිගේ ජයතිලක කැන්ටිම දෙසට යද්දී මා ඉදිරියට හමුවූ අමුත්තෙකි.

අතේ ෆ්ලොපි  ඩිස්ක් එකකි. වෙහෙසකර බවක් පෙන්වූ මුහුණේ නැගෙන අව්‍යාජ සිනහවත් සමග මම මගේ පැරණි සගයා හඳුනා ගත්තෙමි.

"දෙය්යනේ සැම්සන්? කොච්චර කාලෙකට  පස්සෙද ? "

"ඔයාත් කැම්පස් ඇවිල්ලා එහෙනම් ? 

මම වැල්ලවායේ ඉස්කෝලේ වැඩට ගියත් හරි  ඔයාගන විස්තර මට නැතිවුණා .

"කොහොමද  ? කොහොමද විස්තර ? මේ කොහෙද යන්නේ ?"

"කවිඳු  දක්කිනත් සන්තෝෂයි . මම  දෙවැනි පාර විභාගේ කළා ඒකෙන් ඇග්රි සිලෙක්ට් වුනා . 

දැන් ඉන්නේ ෆයිනල් ඉයර් එකේ . මේ ප්‍රොජෙක්ට් එකක් ලියන්න කොම්පියුටර් රුම් එකට යන ගමන් "

"එහෙනම් ඔයා බිසී ඇතිනේ. ?"

ටිකක් බිසී නම් තමයි. කමක්  නෑ කාලෙකින් නේ හම්බවුනේ යමු කැන්ටිමට තේ එකක් බොන්න"

මම නැවත හමුවූ මගේ පාඩම් සගයා සමග ජයතිලකයේ පඩිපෙළ බැස්සෙමි. 

"මුදලාලි අපිට වඩේ  හතරකුයි  ප්ලේන්ටි දෙකකුයි දෙන්න "

සැම්සන් කොටුදැලෙන් එබී බලනා මුදලාලි ට  ඕඩර් එක භාර දුන්නේය.

"එක නෙවෙයි දැන් මොකද කූජනා නංගි කරන්නේ ?  "

"එයා ඒ ලෙවෙල් එක පාරක් කරලා එන්. ටි. එස්. ගියා"

"දැන් එයා බදුල්ලේ එන්. ටි. එස් . එකේ ඉන්නේ "

"අම්මා තවම වැඩ කරනවද ?  "

"නෑ . නෑ .. එයාලත් බදුල්ලට ගියා . නංගිට දැන් පඩියක් හම්බවෙනවනේ "

"නියමයි. ඒක  නෙවෙයි   ඔයත් එක්ක පාඩම් කරපු විරරත්නට මොකද වුණේ ? 

 පොර කැම්පස් ගියාද  ? "

"නෑ නෑ වීරරත්න  පළවෙනි පාරම හොඳට පාස් වුනා. 

කැම්පස්  යන්න ලකුණු දෙකක්  තමයි මදි වුණේ. 

ඊට පස්සේ එයා බලන්ගොඩ පොලිසියේ කොස්තාපල් කෙනෙක් විදිහට වැඩට ගියා. 

ටික දවසකින් ඒ පැත්තෙන්ම බැන්දා කියලා ආරංචියි"

මම වඩේ එකක් හපමින් ප්ලේන්ටිය තොලගාන්නට ගත්තෙමි. 

සැම්සන්ලා , කූජනාලා හා අප සම්බන්ධ කතා බොහෝය. 

කුජානා සහ ජයංගනී එකට පංති ගිය ඒ කාලේ සැම්සන් සහ මම එකට පාඩම් කල හැටි මට සිහිවේ . 

දැන් දැන් සැම්සන් ජයංගනී ගැන අසනු ඇත්දෝයි  මා සිත අනියත බියක් හට ගත්තේය. 

සැම්සන් මගේ බර්ත් ඩේ කාර්ඩ් එකක් ජයන්ගනිට දෙන්නට ගොස් අපේ තාත්තාගෙන් බැනුම් ඇසු හැටි මට සිහි වෙයි .

එහෙත් අප දැන් වසර හත -අටකින් මුහුකුරා ගොස් ඇත්තෙමු. 

ඒ කාලේ කල කී දේවල් වලට වඩා සැම්සන්ට මා ගෙන් ඇසිය යුතු කරුණු බොහෝය. 

"කවිඳු මොකද බර කල්පනාවක? "

"දැන් ඉතින් අපි දෙන්නා එක හොස්ටල් එකේනේ ඉන්නේ . 

අනිවාර්යෙන් හවස වැඩ ඉවරවෙලා ආවම සෙට් වෙමු.

මම එහෙනම් කොම්පියුටර් රූම් එකට යනවා .රෑ කෑමට යනකොට ඔයා එක්ක යන්න එන්නම් "

සැම්සන් මගෙන් සමුගත්තේ තමන්ගේ ෆයිනල් ඉයර් ප්රෝජෙක්ට් එකේ වැඩ කරන්න යන්නටයි.

එදා සිට මා පේරාදෙණියේ සිට හැම දිනකම සැම්සන් සහ මා කෑම ගත්තේ  එකටය.  සමහරක් දිනවල ඔහු මගේ සබ් වෝඩන්  කාමරයේ නිදා ගත්තේය. 

මම ඔහුගෙන් ටික ටික දෙමළ ඉගෙන ගන්නට පටන් ගත්තෙමි. 

මම :

"රෙදි ටික හෝදගෙන එන්නම් "

සැම්සන් :

"උඩුප්පු කළුව වෙන්නුම් "


පසු සටහන:

පසු කාලිනව සැම්සන්  මඩකලපුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ බැංකුවක කළමනාකරු ලෙස වැඩ භාරගත්තේය . එම ප්‍රදේශයෙන්ම විවාහ වූ ඔහු දැන් දරු දෙදෙනෙකුගේ පියෙකි. 

මා සැම්සන් සමග අවසාන වරට දුරකථන සකච්ච්වක් කලේ 2011 දිය. 

ඒ වන විට සැම්සන් එම බැංකු ජාලයේ වයඹ පළාත් ප්‍රධාන කළමනාකරු ලෙස වගකිව යුතු නිලයක් දැරුවේය.

කුජානා නංගි ඒ වන විට රත්නපුර  මහා රෝහලේ හෙද නිලධාරිනියකි.  

මෙවර ලංකාවේ ගිය පසු සැම්සන් සහ කූජනා සොයා ය යුතුයැයි මම තීරණය කලෙමි.