පසුගිය කළාපයෙන්
මගේ පළමු කාර් එක මිලදී ගන්න යද්දී සිදුවූ මුල්ම හමුවීම පසුගිය කළාපයෙන් ඔබ වෙත ගෙන ආවෙමි.
හින්නි අප්පුහාමි මා රැවටුවා වත්දෝ යැයි සිතුනද ඔහු මගේ කාර් සොයන සගයා ලෙස තව දුරටත් තබා ගත්තෙමි.
ඒ හින්නි අප්පුහාමි කාර් ගැන හොඳින් දන්නා කෙනෙක් යැයි අපේ සරප් මහතා කී කතාව මා දිගටම විශ්වාස කල නිසාය.
ඒ අදසහ මත මතම පදනම් වූ මම වෛද්‍ය පීඨයේ සිටි බ්‍රෝකර් වරුන් වෙනුවට හින්නිත් සමගම කාර් සෙවීම කරන්නට තීරණය කළෙමි.
දිනක් ඊ ෆැකල්ටියේ සිට මට ලැබුණු දුරකථන ඇමතුමකි.
අපේ දෙපාර්තමේන්තුවේ කාර්යාලයට පැමිණුන ඇමතුම ගැන මට කිවේ ප්‍රේමදාස විසිනි .
මගේ කාර්යාල කාමරය වෙත හැල්මේ දුව ආ ප්‍රේමදාස
අපේ දෙපාර්තමේන්තුවේ කාර්යාලයට පැමිණුන ඇමතුම ගැන මට කිවේ ප්‍රේමදාස විසිනි .
මගේ කාර්යාල කාමරය වෙත හැල්මේ දුව ආ ප්‍රේමදාස
"සර් . සර් අන්න සර්ට කෝල් එකක් ඊ ෆැකල්ටියේ හින්නි කිව්වා කතා කරන්නේ .
මන් හිතන්නේ සර්ගේ කාර් එකේ වැඩේ හරි වගේ .
ඉක්මනට වාහනයක් ගත්තා නම් හොඳයි සර්."
දුරකථන ඇමතුම ගැන කීමෙන් නොනැවතී මට වාහනයක ඇති වැදගත් කමද පැහැදිලි කරයි.
"මම දැක්කා මේ ඊයේ පෙරේදාත් කට කපලා සෙනග හිටිය කඩුගන්නාව බස් එකේදී මනුස්සයෙක් සර්ව තල්ලු කරලා මොකක්ද නරක දෙයක් කියනවා. සර් දැක්කේ නෑ මම බස් එකේ ඉන්නවා . හැබැයි මම සිද්ධිය හොඳට දැක්කා.
අපේ මිනිස්සුන්ට දොස්තර කෙනෙක් කියලා තේරෙන්නේ ලොකු කාර් එකක ආවොත් විතරයි සර්.
නැත්නම් ඔය සෙනග අස්සේ තෙරපි තෙරපි බැනුම් අහන්න වෙනවා දිගටම.
මට හරියට දුක හිතුනා එදා සිද්ධිය දැක්කම.
සල්ලි සල්ලි කියලා බලන්නැතුව මොකක් හරි ගන්න සර් "
ඔහුට පෙරදිනක මා වැඩ නිමවී ගෙදර යද්දී බසයේ පිටුපසට නොයා පොල්ල අල්ලාගෙන සිට ගෙන සිටි අම්මා කෙනෙක් ( අනෙකුත් මගීන්ට අවහිර වනසේ ) පසු කර මා බසයේ පසු පසට යද්දී
"මොකද ඔච්චර තල්ලු කරන්නේ හය්ය .. ...යිය පෙන්නවද අපිට ?"
කියමින් ඈ ඔරොප්පුවට මෙන් මා හට කතා කල අයුරු ඇසී තිබේ .
"ඕවා ගණන් ගන්න එපා ප්‍රේමේ . අපේ මිනිස්සු හොඳ කියන්න ගියාමත් ඔය වගේම තමයි. "
ප්‍රේමදාසගේ සිත සනසන අයුරින් කී මම කලකට ඉහතදී කාසල් විදියේ කාන්තා රෝහලේ සේවය කරද්දී සිදුවූ මිට හාත්පසින්ම වෙනස් සිද්ධියක් සිහියට නගා ගත්තෙමි.
ඒ බසයේ දී මට සැර දැමු අම්මා වැනිම දුප්පත් සහ නුගත් පෙනුමක් ඇති අම්මා කෙනෙක් තම බඩ දරු දියණියගේ හදිසි අවස්ථාවේදී සිමාවාසික වෛද්‍ය වරයා ලෙස මා කල සේවය අගය කල ආකාරයයි .
ඒ අදාළ දිනයේ දිවා ආහාර විවේකයයි.
කාසල් එකේ කොරිඩෝව දිගේ කැන්ටිම දෙසට පියමනිමින් සිටියෙමි .
කාසල් එකේ කොරිඩෝව දිගේ කැන්ටිම දෙසට පියමනිමින් සිටියෙමි .
අළුත උපන් බිලිඳෙක් වඩා ගත් වනාතමුල්ල පැත්තේ යැයි සිතිය හැකි තරුණ කාන්තාවක් , ඇයගේ සැමියා සහ කළු පැහැති වැහැරුණු මුහුණකින් යුත් මහළු මවක් මා ඉදිරියට එයි.
"අම්මේ මෙන්න අපේ දොස්තර මහත්තයා " මා දෙස සිනාවෙමින් ඒ තරුණ මව ඇයගේ මෑණියන්ට මා හඳුන්වා දුන්නාය.
දිවා විවේකයට ලෙඩ්ඩු බලන්නට එන මහා සෙනග මැද්දේ කොරිඩෝවේ දණගැසූ වූ ඒ අම්මා.
"ඔය වගේ රත්තරන් මහත්තුරු ඉන්න හිංදා තමයි අපේ කෙල්ල ගොඩ ගියේ .
එදා මහා රෑ ලේ ගලමින් අරන් ආපු මගේ කෙල්ලයි ළමයයි දෙන්නම ගොඩ දාන්න මූලික වුණේ සර් කියලා එයා මට කිව්වා .
සර්ට බුදු බව අත්වෙනවා සර්. හදපු වඩපු දෙමව්පියන්ටත් පිං සිද්ධ වෙනවා "
අපේ අම්මලා තරම් වයෙසේ කෙනක් වූ ඇය එසේ කියමින් මට ආචාර කළාය.
බලාපොරොත්තු නොවූ ලෙස මහා සෙනගක් මැද සිදු වූ දෙයින් මා අධික කම්පාවට පත්වුනෙමි.
ඒ මෙදා කඩුගන්නාව බසයේ සිදුවූ සිද්ධියේ අනෙක් පැත්තයි.
මේ සිද්ධි දෙකම ඉතා උපේක්ෂාවෙන් විඳ දරා ගන්නට හැකිවීම ගැන අද මට ඇතිවන්නේ මහත් සතුටකි.
මා පම්පෝරි ගසන්නෙක් යැයි සිතෙන්නේ නම් දැන් ගම්පොළ පැත්තට වී විශ්‍රාම සුවයෙන් කල් ගෙවනා ප්‍රේමදාස ට කතා කරන්න.
අනෙක් කතා කලයුතු පුද්ගලයා වන්නේ මා සීමාවාසික වෛද්‍ය වරයෙක් කාලයේ කාසල් විදියේ රෝහලේ අධ්‍යක්ෂක වරයා වූ වෛද්‍ය කරඳගොඩ මහතාය.
මේ දෙදෙනා මේ සිදුවීම් දෙක ගැන සාක්ෂි දරනු ඇත.
වසර දෙදාහේදී මා සායනික වෛද්‍යවරයෙක් ලෙස දිගටම නොඉඳ විශ්ව විද්‍යාලයට යන්නට යද්දී වඩාත්ම ශෝක වූ පුද්ගලයා වුයේ ද මේ කරඳගොඩ මහතාය.
" කවිඳු ඔයාගේ වැඩ ගැන , ඔයා ලෙඩ්ඩුන්ට දක්වන ආදරේ , කරුණාව ගැන මිනිස්සු මට කියනවා.
ඔයාලා වගේ අය තමයි හොස්පිටල් වල ඉන්න ඕනේ.
මමනම් කැමතියි ඔයා මේ ෆීල්ඩ් එකේම ඉස්සරහට ගිහින් කන්සල්ටන්ට් කෙනෙක් වෙනාවා නම් .
කමක් නෑ ඔයා කවදා හරි ආපහු ක්ලිනිකල් වලට එයි නේ .
එදාට මට සතුටු වෙන්න පුළුවන් "
මගේ ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් කරමින් ඔහු කී හැටි මට තාමත් මතකය.
ඔහු කී පරිදිම මම නැවතත් ක්ලිනිකල් වලට ආවෙමි.
ඒ ඔහුගෙන්ව සමුගෙන ගොස් වසර දහයක් ගතවූ පසුවයි.
අවාසනාවකට ඒ ශ්‍රී ලංකාවේ රෝහලකදී නොව ඔස්ට්‍රේලියාවේදීය.
ඔයින් මෙයින් හින්නි ගේ දුරකථන ඇමතුම ගැන කියන්නට අමතක වෙන්න බැරි නැත. අපි නැවතත් එතනට යමු.
මම ප්‍රේමේ සමග බස් රස බස් කතා කරමින් දුරකථනය වෙත ලඟා වුයෙමි.
"හලෝ හින්නි කොහොමද ? කාර් එකක් හම්බ වුනාද ? මේ ප්‍රේමේත් කියනවා ඉක්මනටම කාර් එකක් ගන්න කියලා "
යැයි මා පැවසුවේ මගේ දුරකථන සංවාදය දෙස ඉතා උවමනාවෙන් සවන් යොමා සිටි ප්‍රේමදාස දෙස බලමිනි.
"ඔව ඩොක්ටර්. පැණි දෙණියේ ඩොක්ටර් කෙනෙක් ළඟ කාර් එකක් තියෙනාවා කිව්වා යමුද බලන්න? "
"ඩොක්ටර් කෙනෙක් ? කොහේ වැඩ කරන කෙනෙක්ද ? "
අපේ ක්ෂේත්‍රයේ කෙනෙක් ගේ වාහනයක් නම් රැවටීමකට ලක්වීමේ ඉඩ අඩු යැයි සිතුනු මම ඉතා උනන්දුවෙන් ඇසුවෙමි.
"පේරාදෙණියේ කියලා කියන්නේ. නම සු...... කියලා කිව්වා"
හින්නි පැවසුවේ අදාළ දොස්තර වරයා වැඩ කරන්නේ අපේ ශික්ෂණ රෝහලේ බවයි.
"හරි හරි මම ඔය ඩොක්ටර් සු... ගැන ටිකක් විස්තර හොයලා බලලා ඔයාට කියන්නම් කෝ .
හවසට එන්නකෝ ප්‍රයිවෙට් එක පැත්තේ.
එහෙනම් තිබ්බා... බායි.. "
මම කාර් බැලිල්ල පසුදිනට කල් දැම්මේ ප්‍රේමදාස ඇතුළු ඔහුගේ සගයින් ගෙන් මේ කාර් විකුණන දොස්තර ගැන වැඩි විස්තර ගත හැකි බව ඉවෙන් මෙන් දැනුණු නිසයි.
පැණිදෙණියේ කාර් දොස්තර
මම කාර්යාලයෙන් එලියට විත් මගේ කාමරය දෙසට පියමැන්නෙමි . ප්‍රේමේද මගේ පස්සෙන්මය.
"මොකද සර් හින්නි කියන්නේ ? කාර් එකක් තියෙනවද? "
"තියෙනවා . තියෙනවා. විකුණන්නේ දොස්තර කෙනෙක් කියලා කියන්නේ. සු.... කියලා කෙනෙක්? "
මම ප්‍රේමේ දෙසට හැරුනේ මේ දොස්තර සු... කවුදැයි දැන ගන්නා අදහසිනි.
"ම්.. ම්.. කවුද ඔය ඩොක්ටර්?? "
ප්‍රේමේ අදාළ දොස්තර මතක් කරන්නට හදමින් මා සමග ඉදිරියට ගමන් කරයි.
අපි දැන් මගේ කාමරයද පසු කර ඉදිරියට ගොසිණි.
"ඔයාගේ අනිත් ගෝලයෝ සෙට් එක දන්නවද දන්නේ නෑ නේද? යමුකෝ මාත් එන්නම් ඒ පැත්තට "
මම පියතිලක ඇතුළු ප්‍රේමදාසගේ සගයින් සිටිනා විවේක කාමරය දෙසට ගමන් කලෙමි.
"මචං සෙනවි උඹ දන්නවද බං කාර් විකුණන දොස්තර මහත්තයෙක්? පැණිදෙනිය පැත්තේ ඉන්න?
අපේ සර්ට කාර් එකක් බලන්න යන්නේ සු.. කියලා දොස්තර මහත්තයෙක් ගාවලු තියෙන්නේ බං"
ප්‍රේමේ ප්‍රශ්නය දැම්මේ ෆැකල්ටියේ හොඳ නරක සියළු ඕපාදුප දන්නා දෙපාර්තමේන්තුවේ පැරණිම කම්කරු මහතා වෙතයි.
"මොකෝ බං මන් නොදන්නේ ?
ඔය අර සු.. මහත්තයනේ ?
අර පහුගිය දවස් වල ඇනටමි ස්පෙසිමන් බලන්න එහෙම එන්නේ ඇහුවේ අපෙන් . අන්න එයා. "
"ඒ කියන්නේ ඩොක්ටර් සු... සර්ජරි ස්පෙෂල් කරන්න ඉන්න කෙනෙක්ද? "
මම ඇසුවේ අපේ දෙපාර්තමේන්තුවේ ඇති ශරීර අවයව කොටස් වැඩිපුර අධ්‍යනය කරන්නට එන්නේ එවැනි දොස්තරවරු බැවිණි.
"මොනවා ඒ මහත්තයද සු.. කියන්නේ ?
ප්‍රේමදාස පුදුමයෙන් මෙන් තම සගයාගෙන් අසා සිටියේ මගේ පැනයට පිළිතුරක් ලැබෙන්නටත් පෙරමය.
"ඇයි ප්‍රේමදාස ඒ මහත්තයට කාර් එකක් තිබ්බේ නැද්ද ? "
"නෑ සර් ඔය කියන මහත්තයා දොස්තර කෙනෙක් නෙවෙයි .
සෙකන්ඩ් ඉයර් එකේ ස්ටුඩන්ට් මහත්තයෙක් .
බැච් මිස් වෙලා ඉන්නේ.
මන් හිතන්නේ ඇනටමි ඇරෙන්න අනික් සබ්ජෙක්ට් දෙක පාස්වෙලා ඉන්නේ . ඇනටමි තුන් පාරක්ම ෆේල් "
ප්‍රේමදාස කිව් දෙයින් මම අන්ද මන්ද වුයෙමි.
"ඒ කියන්නේ ඊළඟ පාර තමයි එයාට තියෙන ලාස්ට් චාන්ස් එක.
අයිසේ මිනිහා මාර මනුස්සයෙක් නේ එහෙම තියෙද්දී කාර් විකුණනවද? "
විමතියට පත්වූ මම මගේ දෙපාර්තමේන්තු සුළු සේවක සගයින්ගෙන් ඇසුවෙමි.
"ඔවු සර් සමහර මහත්තුරු එක එක සයිඩ් බිස්නස් කරනවනේ මෙයා කරන්නේ මන් හිතන්නේ එයා දොස්තර කෙනෙක් කියලා කාර් විකුණන එක"
සෙනෙවි කාර් විකුණන පොඩි දොස්තර මහතා ගැන තම මතය ඉදිරිපත් කළේය.
"හරි හරි ඒ කාර් බැලිල්ලෙන් කමක් නෑ මට වෙලාවක මිනිහා පෙන්නනවා කෝ? "
යැයි ප්‍රේමේ ඇතුළු පිරිසට පවසමින් මම එතණින් ඉවත් වුණෙමි.
එසේ පිටත් වෙද්දී මගේ මනස බෙහෙවින් කැළඹී තිබුනා කිව්වොත් එය අතිශෝක්තියක් නොවේ.
හේතුව මෙතරම් දුරකට මහන්සි වී ඉගෙනගත් මේ වෛද්‍ය සිසුවා තම දොස්තර කම නැතිවෙන්නට ඔන්න මෙන්න වෙද්දීත් එහි බරක් පතලක් නොදැකීමයි
අපේ විෂය ( කාය ව්‍යවච්චේද විද්‍යාව හෙවත් ඇනටමි) ඉගෙන ගැනීම පසෙක තබා කාර් විකුණ විකුණා සිටින මේ සිසුවා හඳුනා ගත යුතු යැයි මට සිතේ.
හරි මම හින්නි එක්ක කතා කරලා මේ "කාර් දොස්තර මහත්තයා" හොයා ගන්නම් කෝ .
මම කෙසේ හෝ මේ තම අධ්‍යාපන කටයුතු අවසන් වන්නට පෙර "කාර් දොස්තර " කෙනක් වූ වෙද සිසුවා හොයා ගන්නට අදිටන් කර ගත්තෙමි.
ඉතිරි කොටස මෙතැනින් ... ( ඉදිරියේදී බලාපොරොත්තු වන්න )









