Saturday 8 June 2019

හොඳම දේ දරුවන්ටයි



අපේ මී මැසි පාලක කරුණාරත්න මහතා වගේම බණ්ඩාරවෙල මී මැසි පාලනය කළමණාකරණය කරන වසන්ත සංජීවත් මේ දවස්වල මී මැස්සෝ වගේම කඩිසරයි . එහාට දුවනවා මෙහාට දුවනවා. අද උදේ වරුවේ කරුණාරත්න මහත්මා හිටියේ බණ්ඩාරවෙල වලස්බැද්දේ. ඊයේ හිටියේ දෝව උඩුකුඹල්වෙල. 
මීට සුළුමොහොතකට පෙර වසන්තත් කරුණාරත්නත් යන දෙදෙනාම හිටියේ මී මැසි පෙට්ටි මිලදී ගන්න ගිහින් . අද දවසේ වලස්බැද්දට ගිය කරූ මහතාට දැක ගන්න ලැබුණු දේවල් ඔහුවත් ඒ හරහා වසන්තලා සහ අපිත් ඉතාමත් සතුටුදායක තත්ත්වයකට පත්කලා .
1. වලස්බැද්දට දුන්න පෙට්ටි 22 කම දැන් ජනපදවලින් පුරවලා ඉවරයි. ( අභයරාජා ප්‍රමුඛ වල්ස්බැද්දේ සමිති සාමාජික සාමාජිකාවන් විසින්)
මේ සමිතියේ වැඩිපුර ඉන්නේ සාමාජිකාවෝ.
2. කරූ මහතා එහි යනතෙක් බලාගෙන හිටපු අමුත්තෙකුගේ කථාව. 
ඔහු පහළොස් හැවිරිදි පාසැල් දරුවෙක් අම්මාට උදේම කියලා පාසැල් නොගිහින් නැවතිලා කරූ මහතා දෙන මී මැසි පාලන අධ්‍යාපනයට වහවැටිලා. 
කරූලා , වසන්තලා අභයරාජලා ඇතුළු අපෙන් පස්සේ පරිසරයට ,ගහටකොළට සතා සීපාවට ආදරේ කරන ළමයෙක් හැදෙන බව දුටු කරූට හරි සතුටුයි. අපි වැය කරන කාළය , ශ්‍රමය සහ මිලමුදල් අපතේ නොයා අනාගත පරපුරටත් යමක් යනවා දැක්කම සතුටු නොවී කොහොමද ?

Monday 3 June 2019

සොඳුරු සිහිනයක් -"ගමන් ගෙඩියක්"





සති අන්තයේ මහ අමුතු හීනයක් දැක්කා . ගුමු ගුමු ගාගෙන අපේ වත්තේ ( බණ්ඩාරවෙල මාරබැද්දේ මයෙ හිතේ ) පහළට "ගමන් ගෙඩියක්" යනවා . මගේ අතේ තිබ්බේ පෑණක් විතරයි . 
මම හනි හනිකට අම්මාටත් කෑගහගෙන ගෙට දුවනවා "අම්මා ඉලත්තට්ටුවක් ගේන්න .. ඉලත්තට්ටුවක් ගේන්න ." මොකද චූටි පුතා උඹ මේ ආඟිරි දෙන්නේ ? මොන මල යකෙක් වැහුණද උඹට? "
" නෑ නෑ මේ "ගමන් ගෙඩියක්" යනවා අම්මා ඉකමණට ඉලත්තට්ටුවයි යකඩ ඇණයකුයි ගේන්න. මේ මී මැස්සෝ ටික කොහේ හරි ගහක නවත්ත ගන්න. "
අම්මා එනපාටක් නෑ මම ලඟ තිබ්බ ටකරම් කෑල්ලකට ගගහා ගමන්ගෙඩිය පස්සෙන් දුවනවා. මී මැස්සො පස්සේ දුවලා දුවලා මහන්සියටම මට ඇහැ ඇරුණා.
බලනකොට මම ඔස්ට්රේලියාවේ මගේ ගෙදර ඇඳේ . කොහොමවුණත් "ගමන්ගෙඩිය" එක්ක මම බණ්ඩාරවෙලටම ගිහින් ..
මේ දවස් වලවෙන මොනවා ගැනද ඉතිං හීන දකින්නේ? මී මැස්සන් ගැන මිසක්. ........



ඔන්න ඕකයි ගමන් ගෙඩියේ කථාව