Saturday, 30 June 2018

මනෝ චිකිත්සක අවවාදය:


අපි කිසිදු හිතවත් කමක්, ලොකු දැනහැඳුනුම් කමක් නැති මිනිසුන් වෙනුවෙන් නිවාස හදාගන්න පටන් අරගත්තේ 2014 දි. ඒ මුල්ම නිවස හදද්දී නිවස් හිමියා ( ගෙදර පිරිමියා) සමඟ නිතර නිතර දුරකථන සංවාද කරන්නට මට සිදුවුණා . ඒ වගේම "ක්ෂුද්‍ර මූල්‍යමය ව්‍යාපෘතියක්" (Microfinance project ) ලෙස පටන් ගත් එයට මගේ පෞද්ගලික මුදල් වගේම හිතවතුන් /හිතවතියන් ගෙන් ලැබෙන උපකාරත් යොදාගන්නට සිදුවුණා. එවන් සමහර අය "ආධාරයයි" කියා ලියමින් මගේ ගිණුමට ඩොලර් පණහ , සියය වගේ මුදල් යොමු කලා නිතර නිතර මම මුහුණු පොතට ගියේ මේ වැඩේ කොහොම හරි කරගන්න ඕනා නිසා... ඔන්න ගෘහස්ත පොලීසිය කලබල වුණා .
"අහවල් දානපතියා කමෙන්ට් දානව වැඩියි"
"කෝ අද ඔයා ගේ .....පුතා කතා කරේ නැද්ද?
ඔයාට ඒ අහක යන මිනිස්සු ලොකුයි තමන්ගේ එවුන්ට වඩා"
".... මොනවා කරත් කමක් නෑ අපේ ගිණුම් වලට ආධාර කතා ගන්න එපා"
වගේ දෝස්මුර ආවා..
මට විශාල මානසික ආතතියක් ලැබුණා අහක යන පවුලක දුක බලන්න ගිහින් ( මේ වෙනකොට ඒ අය ඉතා දියුණුවෙන් දියුණුවට පත් වී අප වැනි මිනිසුන් අනවශ්‍ය තත්වයකට පත් වී සිටිනවා)
කෙසේ හෝ මගේ මානසික ආතතිය නැති කරන්නට මට ඔන්ලයින් සයිකොලොජිස්ට් කෙනෙක් ගෙන් අවවාද ගන්නට සිදුවුණා... අවවාදය තමයි
"ඔහොම තමයි ගැහැණු කට්ටිය,ගැහැනු කට්ටිය එක්ක ගණුදෙනු අමාරුයි.
තමන් , තමන්ගේ සැමියා , දරුවා ඇරෙන්න වෙන කවුරුවත් ගැන එයාලට හිතන්න ඕනේ නෑ.. නිතර එයා ලඟ ඉන්න.
ඔයා කැමති දේවල් වලට එයා අකමැති නම් ඒවා නොකර ඉන්න, හැබැයි එයා කැමැති දේවල් වලට ඔයා කැමැති වෙන්න පටන් ගන්න "
කියලා.
මම ඒ අවවාදය සියයට හැත්තෑපහක් පිළිගත්තා. ඒ කියන්නේ එයා කැමති දේවල් වලට කැමතිවෙන්න පටන් ගත්තා වගේම එයා අකමැති දේවල් එයාට නොදැනී යන ලෙස කරන්න ( මේ අපේ සමාජ සත්කාර සහ ඒවාට අදාල මිනිසුන් සමඟ දුරකතන සංවාද පැවැත්වීම පමණමයී, මේ දවස්වල කරන්නේ එසේ නොදැනෙන ලෙස කල පස් වෙනිවැඩේ)..
අන්තිමට සයිකොලොජිස්ට් කිව්වා වගේ පොලෝසියේ නම් ලොකු වෙනසක් වුණේ නෑ😛😜🤣 .

හැබැයි මම නම් දැන් නොවරදවාම "සිදූ " සහ "දෙවැනි ඉනිම " බලනවා..

Friday, 15 June 2018

මම කොහොමද දැන් ලෝකෙට මුහුණ දෙන්නේ?


මේ දවස් වල දවල් කාලේ නිම්මිගෙන් මට කෙටි පනිවිඩයක් දෙකක් එනවා

"අහවලාට විද්‍යාවට ලකුණු අනූ අටයි" , අහවලා තමයි පංතියේ වැඩිම ලකුණු වගේම ", "අහවලා පොඩ්ඩක් වත් කියන දේ අහන්නේ නෑ යාලුවොත් එක්ක ස්නැප් චැට් එකේමයි" වගේ පණිවිඩ තමයි ඒවයේ තියෙන්නේ.

මේ පණිවිඩ මට එන්නට කලින් ආරම්භක පණිවිඩය නිම්මිට එන්නේ අපේ සුපුන් ගොය්යාගෙන් "අම්මා  විද්‍යාව අනූ අටයි " වැනි යමක් තමයි ඒ වගෙන් කියවෙන්නේ.

ඒ වගේම ගෙදර ආවට පස්සේ වීරයා වගේ විද්යාව සහ ගණිතය වාර විභාග උත්තර පත්‍ර අප දෙසට විසි කරන්නත් අමතක කරන්නේ නෑ . "තාත්තා මේ පේපර් එක බලන්න" කියමින්

ලකුණු අඩු වුණ දවසට එස් එම් එස් එන ප්‍රමාදයක් හෝ අපි ඔහුව පාසැලෙන් ගේන්න යනතෙක් විස්තරේ ප්‍රමාද වෙන්නත් පුළුවන්. ඊයෙ සුපුන් ඉස්කෝලෙන් ගේන්න ගියේ මම.

මේ ඊයෙ අපි අතර ඇතිවුණ කතා බහ

"පුතා අද ඉංග්‍රීසි ලකුණු දුන්නද?"

 "ඔව්"

"අම්ම කීව ඔයාට ලකුණු අනූ දෙකයි තිබ්බේ කියලා ? ඇත්තද?"

" ඒ වුණාට අපිටනම් ටෝක් දුන්නේ මගේ කැමතිම විෂයයන් ඉංග්‍රීසියි, ගණනුයි විද්‍යාවයි කියලනේ?

මොකද ඔයාට ලකුණු  අඩුවුණේ?

බෙන්ටත් ලකුණු අඩුයිද ඉංග්‍රීසි වලට?"

(මේවන විටත් නිම්මී සහ මම ඔහුගේ ඉංග්‍රීසි උත්තර පත්‍රය බෑග් එකෙන් අරන් කියවලයි තිබුණේ

"There are 26 letters in English alphabet you forgot about the most important letter A"

යනුවෙන් ගුරුතුමිය විසින් පසු සටහනක් තබා තිබුණත් හේතුව කුමක්දැයි අප දෙදෙනාට එකවරම පැහැදිලි වූයේ නැත.  )

"නෑ බෙන් ට ලකුණු අනූ අටක් තියෙනවා.

මටත් අනූ අටක් තිබිලා ටිචර් හයක් කැපුවා කිව්වා මගේ අත් අකුරු හරි නෑ කියලා "

"අය්යෝ ළමයා මම කොහොමද දැන් ලොකේට මූණ දෙන්නේ?

ඔයා දන්නවද අපි පොඩිකාලේ මගේ අත් අකුරු තමයි පංති පහෙන්ම පළමුවෙනියට තේරෙන්නේ .

එහෙම එක්කෙනාගේ පුතාගේ  අත් අකුරු කැතයි කියලා ලකුණු හයක් කපා ගත්තා කිව්වම?

මට හිතෙනවා මේක ෆේස් බුක් එකේ හරි බ්ලොග් එකේ හරි ලියන්න..

බොරුනෙවෙයි  පුතා , අපිත් එක්ක ඉස්කොලේ ගිය ඇන්ටිලා අන්කල්ලා තවමත් මතක් කරනවා  ඒ දවස් වල මගේ අත් අකුරු ලස්සනයි කියන එක ."

සුපුන් ගෙන් අසා දැනගත් පරිදි සිදු වී ඇත්තේ ගුරුතුමිය විසින් ඔහුගේ ලකුණු හයක් අඩුකර තිබීමයි .

ඒ සුපුන් ආවට ගියාට ලියන අත් අකුරු වලින්  "ඒ" අකුර   "යු" අකුරක්  බවට පත්වී ඇති නිසාලු.