Friday 15 June 2018

මම කොහොමද දැන් ලෝකෙට මුහුණ දෙන්නේ?


මේ දවස් වල දවල් කාලේ නිම්මිගෙන් මට කෙටි පනිවිඩයක් දෙකක් එනවා

"අහවලාට විද්‍යාවට ලකුණු අනූ අටයි" , අහවලා තමයි පංතියේ වැඩිම ලකුණු වගේම ", "අහවලා පොඩ්ඩක් වත් කියන දේ අහන්නේ නෑ යාලුවොත් එක්ක ස්නැප් චැට් එකේමයි" වගේ පණිවිඩ තමයි ඒවයේ තියෙන්නේ.

මේ පණිවිඩ මට එන්නට කලින් ආරම්භක පණිවිඩය නිම්මිට එන්නේ අපේ සුපුන් ගොය්යාගෙන් "අම්මා  විද්‍යාව අනූ අටයි " වැනි යමක් තමයි ඒ වගෙන් කියවෙන්නේ.

ඒ වගේම ගෙදර ආවට පස්සේ වීරයා වගේ විද්යාව සහ ගණිතය වාර විභාග උත්තර පත්‍ර අප දෙසට විසි කරන්නත් අමතක කරන්නේ නෑ . "තාත්තා මේ පේපර් එක බලන්න" කියමින්

ලකුණු අඩු වුණ දවසට එස් එම් එස් එන ප්‍රමාදයක් හෝ අපි ඔහුව පාසැලෙන් ගේන්න යනතෙක් විස්තරේ ප්‍රමාද වෙන්නත් පුළුවන්. ඊයෙ සුපුන් ඉස්කෝලෙන් ගේන්න ගියේ මම.

මේ ඊයෙ අපි අතර ඇතිවුණ කතා බහ

"පුතා අද ඉංග්‍රීසි ලකුණු දුන්නද?"

 "ඔව්"

"අම්ම කීව ඔයාට ලකුණු අනූ දෙකයි තිබ්බේ කියලා ? ඇත්තද?"

" ඒ වුණාට අපිටනම් ටෝක් දුන්නේ මගේ කැමතිම විෂයයන් ඉංග්‍රීසියි, ගණනුයි විද්‍යාවයි කියලනේ?

මොකද ඔයාට ලකුණු  අඩුවුණේ?

බෙන්ටත් ලකුණු අඩුයිද ඉංග්‍රීසි වලට?"

(මේවන විටත් නිම්මී සහ මම ඔහුගේ ඉංග්‍රීසි උත්තර පත්‍රය බෑග් එකෙන් අරන් කියවලයි තිබුණේ

"There are 26 letters in English alphabet you forgot about the most important letter A"

යනුවෙන් ගුරුතුමිය විසින් පසු සටහනක් තබා තිබුණත් හේතුව කුමක්දැයි අප දෙදෙනාට එකවරම පැහැදිලි වූයේ නැත.  )

"නෑ බෙන් ට ලකුණු අනූ අටක් තියෙනවා.

මටත් අනූ අටක් තිබිලා ටිචර් හයක් කැපුවා කිව්වා මගේ අත් අකුරු හරි නෑ කියලා "

"අය්යෝ ළමයා මම කොහොමද දැන් ලොකේට මූණ දෙන්නේ?

ඔයා දන්නවද අපි පොඩිකාලේ මගේ අත් අකුරු තමයි පංති පහෙන්ම පළමුවෙනියට තේරෙන්නේ .

එහෙම එක්කෙනාගේ පුතාගේ  අත් අකුරු කැතයි කියලා ලකුණු හයක් කපා ගත්තා කිව්වම?

මට හිතෙනවා මේක ෆේස් බුක් එකේ හරි බ්ලොග් එකේ හරි ලියන්න..

බොරුනෙවෙයි  පුතා , අපිත් එක්ක ඉස්කොලේ ගිය ඇන්ටිලා අන්කල්ලා තවමත් මතක් කරනවා  ඒ දවස් වල මගේ අත් අකුරු ලස්සනයි කියන එක ."

සුපුන් ගෙන් අසා දැනගත් පරිදි සිදු වී ඇත්තේ ගුරුතුමිය විසින් ඔහුගේ ලකුණු හයක් අඩුකර තිබීමයි .

ඒ සුපුන් ආවට ගියාට ලියන අත් අකුරු වලින්  "ඒ" අකුර   "යු" අකුරක්  බවට පත්වී ඇති නිසාලු.



No comments:

Post a Comment