Sunday, 25 October 2015

සීට්ටුව.



"මිනිසෙක් තවත් මිනිසෙකුට  දක් වන ආදරය විවිධාකාරයෙන් අර්ථ ගැන්විය  හැකිය.

වරෙක ඒ  ආදරය දේශපාන  භාවිතයෙන් තමන්ට විරුද්ධ පවුලක උපන්  එහෙත් ඇත්තටම අහිංසක එමෙන්ම හුරුබුහුටි ගැහැණු ළමයෙක් කෙරෙහි ඇති වුවක් විය හැකිය. 

තවත් වරෙක එය තම දෙමාපියන් , සහෝදර සහෝදරියන්  තම පරම සතුරන්  ලෙස සලකන පවුලක   ඉපදුන, එහෙත් මේ සතුරු කම් ගැන කිසිත් නොදන්නා කුඩා දරු දැරියන්  පිරිසක් කෙරෙහි  ඇති වුවක් විය හැකිය.

ඒ ආදරය මේ කවර ආකාරයක එකක්  වුවත් කිසියම් අවධානයකට  ලක්විය යුතු එකක් යැයි  මා විශ්වාස කරමි.


ඒ  එක් දහස් නමසිය අනු දෙක  වසරයි.  මටත්  13 බී පන්තියේ  මගේ අසලම  ඩෙස්ක් එකේ සිටි තාරකටත්   ඉංග්‍රීසි ගුරු පත්වීම් ලැබුනේ  මේ කාලයේදීයි. අපි දෙදෙනාගේම  පත් වීම් දී තිබුනේ වැල්ලවායේ වෙහෙරයාය ප්‍රදේශයටයි.  

මා වෙහෙරයාය  කනිෂ්ටයේ  ඉංග්‍රීසි ගුරුවරයා ලෙසත් තාරක  වෙහෙරයාය  මහා විද්‍යාලයේ  ඉංග්‍රීසි ගුරු  තනතුරටත් පත්  කර තිබුණි.මේ අතර අපි දෙදෙනාම  රාගම වෙද විදුහලටද  තේරී පත් වී  සිටියෙමු.

මේ වන විට තාරක අකාලයේ පියා නැති වූ තම පවුලේ වැඩිමහල් දරුවා වශයෙන් ඉතා වගකීමෙන් කටයුතු කළේය. 

එහෙත් චමින්ද , සුරාජ්  ආදීන් සමග නංගිලා පිළිබඳව උනන්දුවෙන් සිටි මා එවැනි වගකීම් දැරූ අයෙක් නොවීමි.   

1992 වන විට මගේ සුරේඛා නංගි   ගැන තැබූ බලාපොරොත්තු සුන් වී ගොස් තිබිණි. එහෙත් චමින්දගේ සහ සුරාජ් ගේ උදව් පදව් ඇතිව වෙනත් නංගි කෙනෙක් හා හාද වන්නට ඒ වන විට  මට හැකි වී තිබුණි..

මට ගුරු[පත් වීමක් ලැබෙන විට   සුජාතා එකට ගිය අපේ ගමේ  කෙනෙක්  වූ ජයංගනී  නංගි මගේ පළමු පෙම්වතිය වී සිටියාය. 


සුජාතා නංගි  මට හමුවුයේ  කෙසේදැයි කියැවෙන කථාවද    බනිස් කථා වගේම රසවත් කථාවක්  වේ

ආරම්භය   එසේ වුවද   පසුකාලීනව අපේ ඇසුර  වටා සිදු වූ  දේවල්  හැලහැප්පීම්  වලින් ගහන ස්වරූපයක්  ගත්තේය.  

අපේ තාත්තා සහ අම්මා පමණක් නොව සමන්ත , අපේ අක්කා නංගිලා ඇතුළු සියළු දෙනා නොසිතූ විරූ ලෙස අපේ ආදරයට   විරුද්ධ වීම  එයට ප්‍රධාන හේතුවකි..

අපේ ගෙදර අය මේ පෙම් පළහිලව්වට  විරුද්ධ බව දැන ගත්  තාරක 

 "ඔන්න ඕක අතහැරලා දාපන්  මචං.."  

" අම්මලා තාත්තලා අකමැති දෙයක් කරලා ඇති වැඩේ මොකක්ද? " කියා මට අවවාද දුන්නේ වගකීමෙන් යුත් යාලුවෙක් හැටියටයි. 

අනුදෙකේ මම වැල්ලවායේ ගුරුවරයෙක් වන විට  අපේ ප්‍රේම කථාවේ  මේ හැලහැප්පීම් සහිත  කාල පරිච්චේදය  ආරම්භ වුවා පමණි. 

මේ වන විට ජයංගනී නංගි මගේ උපන්දින දෙකකට රෝස පාට කොටු කොටු ලේන්සු දෙකක් සහ  කුඩා එඩ්නා චොක්ලට් පෙති දෙකක් මට තෑගි දී තිබුණි. 

එසේම මා විසින්ද ඇගේ උපන් දින තුනකට  එවැනිම ත්‍යාග ලබා දී තිබුනෙමි. ඒ කාලයේ අතේ මිල මුදල් යහමින් ගැවසුනද  ඒ වන තෙක් චොකලට්ටුවකට වඩා වැඩි  යමක් ඈ වෙත තෑගි කරන්නට මා පෙළඹී තිබුනේ නැත.

මේ කාලයේ එළවලු වගාවට අමතරව මගේ ප්‍රධාන අදායම් මාර්ග වුයේ ටියුෂන් පංති  පැවැත්වීමයි.   

සුරේඛා ඉලක්ක කර දෙමළ ඉස්කෝලේ පටන් ගත් විද්‍යා හා ගණිත පංතිය  ( මේ වන විට ගණිතය ඉගැන්වූ සුගත් හමුදා අත්අඩංගුවේ  නිසා ගණිතය කොටසත් මා පිටම පැට වී තිබුණි.) මේ අතර ප්‍රධාන විය. 

 එමෙන් ම  චමින්දලා බාප්පලා ගෙදරටම ගොස්  ඉගැන්වීමෙන් මට මසකට රුපියල් සියයක අදායමක් ලැබිණ.  
මේ කණ්ඩායම් පංතිය මා පැවත් වුයේ ජිනදාස මාමගේ දරුවන් තිදෙනාට ගණිතය සහ විද්‍යාව ඉගැන්වීමටයි.

ජිනදාස මාමා ට වඩා  මේ කණ්ඩායම් පංතිය  ගැන උනන්දු  වුයේ ජිනදාස මාමගේ නැන්දාය. 

ඇය  මා ලවා සිය දරුවන් තිදෙනාට ගණිතය  සහ විද්‍යාව විෂයයන් උගන්වා ගත්තේය. 

වෙනත් අයුරකින් කිවහොත් සිය කුඩා දරු තිදෙනාගේ අමතර අධ්‍යාපන වගකීමෙන් වැඩි කොටසක්  මා වෙත භාර කලාය.   

ඒ අපේ තාත්තා  දේශපාලන වශයෙන්  ඔවුන්ට ( UNP එකට )  ප්‍රතිවිරුද්ධ  පැත්තේ ඉන්නා බව හොඳින් දැන සිටියදීය.  

කරුණු එසේ වුවද ඒ දින වලත් මම මේ දෙපක්‍ෂ දේශපාලනය ප්‍රතික්ෂේප කල අයෙක්මි.

එයට හේතුව ජයංගනී නංගිගේ  තාත්තාද උග්‍ර UNP කාරයෙක් වීම වත්  මම උපන්ගෙයි UNP කාරයෙකුගේ ( ජිනදාස මාමගේ ) දරුවන්ට උගන්වන්නෙක්  වීම වත් නොවේ.

අපේ ගම් දෙකේ සිටි දෙපක්‍ෂයේම  බලවතුන්   (අපේ තාත්තලා , ජිනදාස මාමලා  ඇතුළුව ) කටයුතු කලේ  ඉතා නොමනා ආකාරයකටය.

මේ බව  හොඳින් දැනගෙන  සිටි මා යු. ඇන්. පී. , ශ්‍රී  ලංකා  භේදය ගැන න  බලවත් ලෙස කල කිරී සිටියෙමි.

ඒ වන විට මම පාසැල් දැරිවියක් සමග ප්‍රේම සම්බන්දයක්ද  පවත් වන ඉලන්දාරියෙක් බව මැද පුරණේ පොඩි නැන්දා දැන සිටියාය. 

එහෙත් ඈ එය තම දරුවන් ගෙන්  මා ඉවත් කිරීමට හේතුවක් කර ගත්තේ නැත.




ජිනදාස මාමලා නැන්දා ගේ යෝජනාව.


අපේ අම්මා වාගේම ජිනදාස මාමලා නැන්දාද තම දරු තිදෙනාට ඉගැන්වීමට සෑහෙන වෙහෙසක් ගත්තාය. 

මේ කාලය වන විට ජිනදාස මාමගේ කඩේ UNP කාරයන්ට පච හලමින් ඉන්නට තිබු තැනක් මිස වැඩි අදායමක් ලැබුණු එකක්  නොවීය. 

අසල තිබු චමින්දලා කඩේට නොයන දෙතුන් දෙනෙක් පමණක් මෙහි තේ බොන්නට, බඩු ගන්නට ආ ගැනුම්කරුවෝ වුහ.

මේ නිසා නැන්දා දරු තිදෙනාගේ වියදම් ආවරණය කිරීමට විවිධ උපක්‍රම පාවිච්චි කලාය. සීට්ටු දැමීම ඉන් ප්‍රධාන තැනක් ගත් උපක්‍රමයකි.

අවුරුද්දකට වතාවක් රුපියල් දාහේ සීට්ටුවක් දමන ඈ මුල් සිට්ටුවට ඇයට ගත්තේ තව මාස 12 ක් යන තෙක් ඒ නය සීට්ටු වාරික ලෙස ගෙවිය හැකි බැවිණි.

දිනක් සෙනසුරාදා හවස පහට මා චමල් මල්ලිලාගේ  පංතියට ගියා පමණි.

පුතා මන් කාරණාවක් අහන්න හිටියේ ...

 " දැන් ඔයාට වැල්ලවායේ ඉස්කෝලෙනුත් පඩි හම්බවෙනවනේ "  

"කැමතිද අපේ දාහේ සිට්ටුවට එන්න..? "  " අපිට තව එක්කෙනෙක් අඩුයි " 

ජිනදාස මාමලා නැන්දා මගෙන් විමසා සිටියාය. 

"බෑ.. නැන්දා  සීට්ටුවට  දාහක්  දුන්නම මගේ අතේ කියක් වත් ඉතිරි වෙන්නේ නෑනේ "

මම පැවසු වේ බොරුවකට  නොවේ. 

මේ වන විට මගේ ගුරු පඩිය හරියටම  රුපියල් 2500කි.  සුද්දී අක්කගේ  බෝඩිමට ගාස්තුව ලෙස රුපියල් 800ක් ගෙව්වෙමි. 

මාස් පතා ගෙදරට කිලෝ පනහේ හාල් මිටියක්  ගෙනත් දුන් නිසා ඒ වෙනුවෙන්  රුපියල් 700- 800 අතර මුදලක් වැය වුයේය. 

සීට්ටුවට දාහක් දුන් විට ඉතිරි වන්නේ  සතිපතා වැල්ලවායේ යන්න වැය වන බස් ගාස්තුව පමණි.
"ඒ වුනාට පුතා... අන්තිමේට ඔයාට රුපියල් 12000 ක් ලැබෙනවානේ.."
නැන්දා අදහස අත් හරින්නට ලැහැස්ති නැත..

" ඔන්න ඔහේ  පටන් ගමු "

මම කැමැත්ත දුන්නෙමි.  එහෙත් අම්මාට හෝ තාත්තට සීට්ටුව ගැන නොකීවෙමි. ඒ කාලේ මගේ දුක සැප බෙදාගත් ජයා නංගිට පමණක් සීට්ටුව ගැන කියා තැබුවෙමි.


අම්මාගේ කන් කරච්චලය.

සීට්ටුව ගැන අම්මාට නොකියා සිටීමේ ඵල විපාක තේරුම් යන්නට වුයේ තවත් මාසයක් දෙකක් ගතවූ පසුවයි.. 

ජයංගනී ගේ ලියුම් සොයමින් මගේ පොත් මේසය අදින අම්මා සාමාන්‍යයෙන් එයින් සැහීමකට පත් වන්නේ නැත. 

මගේ බැංකු පොත , පර්ස් එක ආදී සියල්ලම ඇගේ උකුසු ඇසට හසුවේ. 

අපේ හිතවත් කමට වැඩි කැමැත්තක් නොදැක්  වූ ඇයට තවත් සැකයට තුඩුදෙන කාරණයක් අසු වී ඇත. 

රුපියල් දෙදහස් පන්සියක් ගෙඩි පිටින් ගන්න චුටි පුතාගේ අතේ සතේ නැති වීම  ඈ සිතට ඇති කලේ බලවත් සැකයකි.. 

ගුරුවරයෙක් ලෙස සේවය කර ලබන වැටුපෙන් කිසියම් මුදලක් මා ජයංගනී නංගිට වියදම්  කරන බව ඈ සිතන්නට ඇත. 

ඒ නිසා නිරපරාදේ ඇය මගේ හිතවතියට බැන වදින්නට පුරුදු වුවාය.

අම්මා වැඩි පුරම කලබල වුයේ  මාස් පතා රුපියල් දහසක මුදලක්  මගේ අය වැයෙන් මග හැරෙන බව තේරුම් ගිය පසුවයි.

ඇත්තටම මොකුත් නොදන්නා අහිංසක කෙල්ලෙක් අම්මාගේ උදහසට ලක්වුයේ  සීට්ටුව ගැන අම්මාට නොකියා මා කල මෝඩ කම නිසාය. .  



අපේ ගෙදරටත් විදුලිය 

මා මුලින්ම ලිවූ බ්ලොග් පොස්ටුවක සඳහන් කල පරිදි   අපේ ගමට විදුලිය දෙන කාලයේ අපේ ගෙවල් අහලකටවත් ලයිට් කණුවක් වැටුනේ නැත.  

යු .ඇන්. පි.  ශ්‍රී ලංකා භේදයේ ප්‍රතිඵලයක් ලෙස  ප්‍රභල ශ්‍රී ලංකා කාරයෙකු වූ  අපේ තාත්තා සිටින අහලකින් වත් කණු නොවැටෙන  ලෙස  කම්බි ඇදීම සිදු කර තිබිණි.

ඒ කාලේ  යු .ඇන්. පි රජයෙන් කල බොහෝ වැඩ කටයුතු අපේ  ගමේ සිදු වුයේ ජිනදාස මාමා ප්‍රමුඛ  කිරඹ ඔයේ යු .ඇන්. පි කාරයින්ට අවශ්‍ය ආකාරයටයි.

මේ වන විට මමත් සමන්තත්  චිමිනි ලාම්පු එළියෙන් පාඩම් කර වෙද විදුහල්  වලට තේරී පත් වී සිටියෙමු.

කෙසේ වෙතත් 1992 -1993 කාලයේ  මා විශ්ව විද්‍යාලයට යන්න මාස කිහිපයක් තිබියදී  අපේ නිවසට ත්  විදුලිය ලබා ගැනීමට අවස්ථාවක් උදා විය.

එවකට අරලගංවිල සිටි ශ්‍රී ලංකා . පළාත් සභා මන්ත්‍රී කෙනෙක්  ( ගැටමාන්නේ  රත්නායක  මහත්තයා ) රුපියල් 35000 ක මුදලක් යොදවා ලයිට් කණු තුනක් ලබා දී තිබුණි.

"රත්නායක මහත්තයට පින් සිද්ධ වෙන්න ලයිට් කණු  නම් එනවා .. වයරින් කරන එක තමයි වැඩේ .. "
අම්මා නිතර දෙවේලේ කීවේ  ඉතිරි වැඩ කරගන්න  තරම් මුදලක්  ඈ අත නොමැති බවයි.

"අම්මා කලබල වෙන්න එපා .. මං ඉතිරි වැඩ ටික කරලා දෙන්නම්.."

මම වීරයා සේ පැවසුවෙමි.  

"උඹට කොහෙන්ද එච්චර සල්ලියක් චුටි පුතා.? .. "  අම්මාට ඇත්ත කියන්න වෙලාව පැමිණ තිබේ. 

"අම්මා මට සීට්ටුවක් හම්බ වෙන්න තියෙනවා  ජිනදාස මාමලා  නැන්දගෙන්. "   " මම එයා ළඟ රුපියල් දාහේ සීට්ටුවක් දැම්මනේ" 

"මගේ දාහ නැතිව එතන එකොළොස්  දාහක් තියෙනවා " මම  අම්මාට මෙතෙක් නොකියූ සීට්ටු කතාව  පැවසුයෙමි. 

අම්මාගේ දෑස් සංතෝෂයෙන් දිලිසෙයි.  තම පොඩි පුතා ගැන අවංකවම සතුටු වන මවකගේ මුහුණ ඇයගෙන් දිස්වෙයි.

මගේ හිතටත් බලවත් සන්තෝෂයක් දැනුනේ අම්මා  ගේ සතුට දැකීම නිසා මෙන්ම මගේ හිතවතිය ගැන ඈ තුල තිබු වැරදි වැටහීමද  දුරු වූ බව තේරුම් යාමෙනි..

පොරුන්දු වූ පරිදි සීට්ටුවෙන්  එකොළොස් දාස්  ගණනක වයරින් බඩු ගෙනාවෙමි.  බාස් කුලී ගෙවන්නට අවශ්‍ය වුයේ නැත 

 තාරකලා අපිත් එක්ක එකට උසස් පෙළ පංති ගිය වෙහෙරයායේ සුගත් ප්‍රියන්ත විසින්  වයරින් එක නොමිලයේම කර දුන්නේය.





  

14 comments:

  1. රසවත් සැමරුම්! . ආරම්බක වැකිය කතාව එක්ක ඉදිරියට යන්නේ නෑ නේද ? කතාවේ ගලා යෑම තව ටිකක් දියුණු කලොත් ඔබේ විසිතුරු අත්දැකීම් බොහෝ දෙනාගේ අවධානයට ලක් වනු ඇත

    ReplyDelete
  2. බොහොම ස්තුතියි.. වෙනස් කරන්නම් අද දිනය ඇතුලත..

    ReplyDelete
  3. මචං අම්මා කියපු ඒවා ඒ විදියටම දාන්න එපා. අම්මා ඒ වෙලාවේදී නිවැරදි නොව්නත් උබගේ අප්ප්ර්පසාදය හොද විදියට ලියාපන් . මට හිටෙනවා මේ විදියට.
    “මාගේ ...ට මාගෙන් මුදල් සහ වාසි ලැබෙනවා යයි සිතු අම්මා ගේ දොසරෝපනය සහ අප්රගසාදය ඉතාම දැඩි විය. එය මට අසා ගෙන ඉන්න නොහැකි තරම් විය” .
    නැත්නම් එය කියවන ...ට අම්මා ගැන අප්රමසාදයක් ඇති විය හැකි.

    ReplyDelete
  4. කියවන්නට තරමක් ප්‍රිය වෙන විදිහට පොස්ටුව තරමක් වෙනස් කළා. සත්‍ය සිදුවීම මතක් වන විට තරමක් ආවේගශීලි වුවා විය හැකියි.. වැරැද්ද පෙන්වා දුන්නට ස්තුතියි..

    ReplyDelete
  5. ඉතාමත් අනර්ගයි.. එත් ප්‍රශ්නයක් ඉතුරුයි. මාසෙකට හාල් කිලෝ පනහක බත් කන්න ගෙදර කී දෙනෙක් හිටියද බොලේ... සොරි වෙන්න ඕන අනවශ්‍ය ප්‍රශ්නයක් මතු කරාට. මටත් ඉතින් හිතට කුතුහලයක් ආවාම එක විසදෙනකම් ඉස්පාසුවන් නැහැ නෙවැ

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් අපි පොඩි කාලේ ගෙදර එක්කෙනෙක් හාල් කිලෝ 12ක බත් කනවා. මම හොදට දන්නේ මමනේ වී කොට්ටන්නේ. මාසයකට අපේ ගෙදර හත් දෙනාට වී බුසල් 6ක් කොටන්න ඕනි.

      Delete
    2. ඉඳුනිල් ලා ගෙදරත් හතක්ද? අපේ ගෙදර හිටපු ගාණත් හතක් .. අම්මයි තාත්තයි එක්ක. අපි හැමෝම තුන් වේලටම බත් කන්න තමයි කැමති. මමනම් දැනුත් එහෙමයි.. ඉතින් කිලෝ පණහ ලොකු දෙයක් නෙමේ..

      Delete
  6. මම සමහර වේලකට කෑමට ගෙදර ඉන්නේ නෑ. ඒත් අපේ ගෙදර බිරිඳ , දරු දෙදෙනා ඇතුළු හතර දෙනාටත් හාල් කිලෝ 45 ක් විතර මාසයකට වැය වෙනවා...තුන් වේලම බත් තමයි.

    ReplyDelete
    Replies
    1. අලුත් පරම්පරාවත් ඒ වගේ බතට බුලතට කැමතියි කියලා අහන්නත් සතුටුයි.. දියුණු වූ යැයි කියන රටක සිටියත් අපේ පුතා "සුපුන් " හොඳට එළවලු මාළු පිණි එක්ක බත් කනවා.. එයා දැන් වෙනකොට MacDonlad වගේ බහු ජාතික සමාගම් වල වෙළද ක්‍රමය ප්‍රශ්න කරනවා.. ඊයේ රෑ බරක් ඔබාමාගේ දේශපාලනයේ වැරදි භාවිතාව ගැන කිය කියා හිටියා මනුස්සයා..

      Delete
  7. ගිය පාර ලංකාවේ ගිය වෙලාවේ අපේ ගෙදර වයරින් එක කරපු සුගත් ප්‍රියන්ත මුණගැහුණා. එයා දැන් නුවරඑළිය නගර මධ්‍යයේ සාර්ථක දන්ත ව්‍යිදය වරයෙක් ලෙස වැඩ කරනවා.. කවිඳු උඹට මාව මතක් වෙන්න ... කියලා මගේ දත් ටික සුද්ධ කරලා .. ඉස්සරහම කෘන්තක දතේ කොනක් කැඩී තිබුණු එකත් නොමිලේම හදලා දුන්නා... සුගත්ලා අපි සමන් අය්යාගේ රෑ කෙමිස්ට්‍රි පන්තියට ගිය හැටි ලස්සන කතාවක් ඒක පස්සේ ලියන්නන ඕනේ..

    ReplyDelete
  8. සීට්ටු දැමීම... කෙල්ලෙක් එක්ක යාළු වුනාම ඕනෑවට වඩා කලබල වීම... වැසිකිලියට යාම පවා දේශපාලන ගැත්තන් ට අනුව සිදු කලයුතු වීම ....ඒ කාලේ ලංකාවේ අපේ වගේ ගම් පළාත් වල තිබුණු හොඳ සහ සමහර විට ප්‍රශ්න කලයුතු ගති වලින්සමහරක්.. තවමත් මේ දේශපාන ගැති ස්වභාවය අපේ රටේ.. බොහෝ ප්‍රදේශ වල තියෙනවා.. හරි කනගාටුදායකයි.

    ReplyDelete
  9. Replies
    1. ස්තුතියි.. ආශ්‍රිත කතා කියවන්න.

      Delete