Friday 30 October 2015

බෙස්ට් සිලෙක්ෂන් ( හොඳම තෝරාගැනීම) - දෙවන කොටස


මේ වනවිට  අසුනමය අවුරුද්දේ අග භාගය  ආරම්භ වී තිබිණි. රටේ කලබල ස්වභාවය  එන්න එන්නම වැඩි වෙමින් තිබූ කාලයකි ඒ.

මේ අතර අපි තුන්දෙනා ( චමින්ද , සුරාජ් සහ මම ) අපේ දින චර්යාව  පුරුදු පරිදි පවත්වා ගත්තෙමු.

ඉන් ප්‍රධාන තැනක් ගත්තේ   උදේ පාන්දර පාසැල් බසයෙන් ( 314, බෙලගන්වැව)   අරලගන්විල දක්වා ගිය ගමනයි .

මෙහිදී අපේ ප්‍රධානම අරමුණ වුයේ සුජාතා එකේ සහ අනෙක් බාලිකාවට ගිය  අපේ හිතවතියන්  දැකගනිමයි.

ඒ කාලේ යලට මහට ඉස්කෝලේ ගිය අපි සමහරක් දිනවල පාසැලට ගොස්  අධ්‍යාපන කටයුතු වල යෙදුනෙමු.

තවත් දිනෙක සුගත්ලා ගේ කට්ටියත්  සමග රජයේ මර්ධනයට විරුද්ධව උද්ඝෝෂණ කළෙමු.

ඒ මොනවා කලත් මේ කාලයේ වැඩි පුර තිබුනේ අරලගන්විලට  ගොස් හැරෙන තැපෑලෙන්  ගෙද ර ආ දවස්ය.

එසේ ආපසු එන අප හවස පංති යනතෙක් හෝ දවස ඉවර වන තෙක් හෝ   කලේ චමින්දලා ගෙදරට වී පාඩම් කිරීමයි.

චමින්දලා ගෙදර උසස් පෙළ සාකච්චා

ඒ දවස්වල මම මගේ කාමරේ පාඩම් කරන්නට ඇඳ ඉස්සරහින් කළු ලැල්ලක් ගසා තිබුණා මතකය. 

ඒ කළු ලෑල්ලත් ඉස්කෝලේ ඒවා වාගේම බැටරි කූඩු, කෙසෙල් මුවකින් ගත් කහට ආදිය යොදා කළු කරගත් එකකි. 

මේ කළු ලෑල්ලේ  දින පතා එකිනෙකට වෙනස රසායන හා භවුතික විද්‍යා සමීකරණ ලියා තැබුවේ ඉබේම කට පාඩම් වන්නටය..

එපමනක් නොව සිවිලිමේ  හරියටම මගේ ඇඳ උඩින් වූ කොටසේද සමීකරණ ලියා තැබුවා මතකය.

මේ වා දැක තිබු  චමින්ද ඔවුන්ගේ ගෙදරද කළු ලැල්ලක් සකස් කළේ ඔහුට පාඩම් කරන්නටය.

එම කළු ලෑල්ල සවි කර තිබුනේ ඔවුන්ගේ ගෙදර ඉස්සරහ බිත්තියේ කොනකයි.

සමහර දිනවල යහළුවන් තිදෙනා පාඩම් කරන්නට සුදානම් වූ විට චමින්දගේ මේ කළු ලෑල්ල  යොදා ගන්නා අවස්ථාද තිබේ.

එවිට එක් අයෙක් උගන්වන අතර අනෙක් දෙදෙනා ඔහු කියා දෙන දෙය අවධානයෙන් අසා සිටිය යුතුය.

එහෙත් විශේෂයෙන් බණ්ඩාත්, සමහර විට චමින්දත් මමත් උගන්වන කෙනාට විහිළු කරමින් බාධා  කරන්නට පුරුදු වී සිටියේය.

" අද පාඩම  මඩු ශාකය ගැන" චමින්ද කළු ලෑල්ල අසල සිට කියයි.  ඉදිරියේ සිටින බණ්ඩා 

" මඩු  ද .. එහෙනම් බඩු තමයි  " කියමින් චමින්ද විහිළුවකට ගන්නට සැර සෙයි.

"හිටපන් මුගේ කට වහන්න.." කියමින් චමින්ද  " ගල් බනිස්" කියා කළු ලෑල්ලේ  කොනක ලියයි.

"ඔන්න උඹේ නංගිගේ නම කළු ලෑල්ලේ ලිව්වා... දැන් වත් කට වහගෙන කියන දේ අහගෙන හිටපන්."

ඇයි උගේ නංගිගේ නම විතරක්  කියා චෝක් කෑල්ල  ගන්නා මා ලෑල්ලේ අනෙක් කොනේ " පුස් බනිස්" කියා ලියන්නෙමි.

ටික වෙලාවක් මඩු ශාකයේ විද්‍යාත්මක පැත්ත කථා කරන අපි නැවතත් නංගිලා ගැන සාකච්ඡාවට යන්නෙමු.

"මචං කිටී.  උඹට මොකද බන් ඔච්චරම අර නංගිලාගේ පවුල ගැන තියෙන කැක්කුම.."
චමින්ද අසයි.

"මේකාට ඒ නංගි නෙවෙයි ගෙදර වෙන කවුරු හරි කොහේදී හරි දැක්කත් මාර සතුටක් නේ එන්නේ"

සුරාජ් හු මිටි තබයි.

මගේ සගයින් දෙදෙනා මේ කියන්නේ  " අපේ නංගි" හෙවත් ජයංගනී සහ ඇයගේ පවුලේ අයට මගේ තිබු ලැදියාව ගැනයි.

මේ වන විට බනිස් , පුස් බනිස් යන අය අතරට "අපේ නංගි" පැමිණ ගත වී තිබුනේ කෙටි කාලයකි.

මේ අතර සුරාජ් "ඇයි අපි දෙන්නගේ  අය විතරක්... කිටියගේ කෑල්ලත් මෙතැන ඉන්න එපැයි බං "

කියමින්  " අපේ නංගි "  කියා කළු ලෑල්ලේ පහලින් ලියයි.

මට ගුරුවරයා චරිතය ලැබුණු පසු කරන්නේද  තව තවත් මගේ සගයින් ඇවිස්සිමයි.

විෂය කරුණු ලෑල්ලේ ලියන අතර  අත පසුවීමකින් මෙන් " ගල් බනිස් "  ගල් බවට පත් කෙරුවෙමි.

මෙයින් ඇවිස්සෙන සුරාජ් ඇවිත්  " අපේ නංගි " මකා දමයි.  නැවතත් සාකච්චාව ඉදිරියට ඇදෙයි.

මම ආයිත්  චමින්ද අවුස්සනෙමි . ඒ  ඔහුගේ නංගී  "පුස් බනිස්" ගැන ලියු දෙයක් මකා දැමීමෙනි.

බෙස්ට් සිලෙක්ෂන් එක සහ පොඩි බණ්ඩාර  මාමලා නැන්දා

ඒ වන විට වයස අවුරුදු 19 ක් වුවද  කෙල්ලෙක් හා හාද වූ පසු එය පවත්වාගෙන  යාම  කරන්නේ කෙසේදැයි මට හරි වැටහීමක් තිබුනේ නැත.

නිතර හමුවීම  හමුවී  ඔහේ කතා කර කර සිටිම  වැනි කවුරුත් කල දේවල් කරමින් පසුවුයෙමි..

මේ වන විට "අපේ නංගි ට " යන්තම් අවුරුදු පහළොවක් වුවා පමණි.    එසේ වුවද අළුත් පෙම්වතා වූ මට ඇය වෙත ඇති මගේ  පැවති   ආදරය හා සෙනෙහස පවසන්නට අවශ්‍ය විය.

ලියුම් ලිවීම, පාසැල් බසයේ පිටුපසම ආසනයට ඉදිරි අසුනේ වාඩිවී කතා කර කර යෑම. සති අන්ත වල  පංති යෑමට පෙර රේල් පාර දිගේ  ගමන් කිරීම ආදිය මා ඒ වෙනුවෙන් තෝරා ගත් ක්‍රියා මාර්ග වලින්  සමහරකි.

එහෙත් පෙම් හසුනකින් හැරෙන්නට අනෙක් ක්‍රම දෙකෙන්ම කෙරුනේ මගේ ඇත්ත නංගිලා , යාළුවෝ ආදීන් ගැන වල් පල්  කථා කරමින් එකිනෙකා  ලඟට වී සිටීම පමණි.

 හිතේ තිබෙන දේ බොහෝය.   ඒවා  ඇය වෙත කියන්නට සුදුසු ක්‍රමයක්  සිතමින් ලත වු අවස්ථාද  බොහෝය..

අරලගංවිල නගරයේ තිබු "ගිහාන්ස් රෙකෝඩ් බාර්" එක සිහියට නැගුනේ ඔය අතරයි.




ඒ කාලේ ගිහාන්ස් එකේ හෙවත් අරලගංවිල " සිංදු කඩේ "  සේවය කලේ අපේ ගමේම යුවතියකි.

ඒ මල්දෙණියේ ඩිංගිරි බණ්ඩා මාමගේ දුවක්  වූ ප්‍රේමා අක්කාය.

ප්‍රේමා අක්කාට සිංදු ලිස්ට් එකක් ලියා දී TDK 60 කැසට් පටයක ඒවා පටිගත කර ගත්තෙමි.

කැසට් එක ආරම්භ වන්නේ  නන්දා මාලනීගේ " ඔබයි රම්‍ය  සඳ කිරණ " ගීතයෙනි.


ප්‍රේමා අක්කාට " මිදී යුෂ යැයි  රැවටී හලා හල විෂ .." කොටස ඉවත් කරන්නට අමතක වී තිබිණි. ඒක යම් තරමකට  මගේ අදහස අවුල් කරන්නක්    වුවත්  සිංදුව එසේම තිබෙන්නට හැරියෙමි.

ඊළඟට එන්නේ.. සෝමතිලක ජයමහගේ  " නුගසේවනක් සේ ඔබට.." ගීතයයි.



මේ ගීත එකතුවට බොහෝ ගායකයින්ගේ ගීත දෙක බැගින් තෝරා ගත්බව මතකය. එසේ තේරු සෝමතිලක ජයමහගේ අනෙක් ගීය  වුයේ ඔබ මලක් වෙලා... ගීතයයි


 

අපේ ප්‍රියතම ගායකයා මිල්ටන් ගේ ගීත දෙකක් සහ  ෂර්ලි ව්‍යිජයන්ත ගේ ගීත දෙකක්ද 
කැසට් එකට ඇතුල් කලෙමි. 
කැසට් පටයේ "බී"   හෙවත් අනෙක් පැත්තේ මුලටම තිබුනේ මිල්ටන් ගේ සුන්දරත්වයෙන් පිරී... ගීතයයි.





මිල්ටන්ගේ  චමින්දත් මමත් දෙදෙනාම ප්‍රිය කල "සිහිනෙන් ඔබ මට"  ගීතය මගේ  මේ කැසට් පටයට  නොගෙන ඉන්නේ කෙසේද?  එයත් මෙම  ගීත එකතුවට  ඇතුලත් කලෙමි.



අබේ වර්ධන බාලසුරියගේ  "රැලකින් තනිවී වනමැද  සරනා ... " මෙහි තිබු තවත් අරුත්බර  ගීතයකි.

මට මතක හැටියට මේ ගීතය සමන්තත් ඔහුගේ "බෙස්ට් සිලෙක්ෂන්" එකකට එකතු කර ගෙන තිබු එකකි.





මෙහි ගීත 12 ක්  තිබුණ අතර වික්ටර් රත්නායකගේ  ගීත දෙකක්ද  එයට  ඇතුලත් විය.

ඉන් පලමු ගීතය  " සීතල පිණි බිංදු බිංදු.." නම් වූ අතර අනෙක් ගීතය  බණ්ඩාර කේ . විජේතුංග ලියු   " සඟවා ගනු මැන ඔබේ රුව.. "  ගීතයයි.

මේ ගීත අඩංගු TDK කැසට් පටය  මම මුලින්ම " අපේ නංගිට"  දුන්නේ  " මේක අහලා මට පස්සේ ගෙනත් දෙන්නකෝ " කියමිනි.

ඇය සතියක් දෙකක් ගතවූ පසු  කැසට් එක මට නැවත ලබා දුන්නේ ය. එතැන් පටන් දිනපතා අපේ ගෙදර කැසට් යන්ත්‍රයේ  උපරිම ශබ්දයෙන් මේ ගීත වාදනය විය.
එමෙන්ම තුන්දෙනාගේ  කල්ලිය ගැවසෙන තැන් වලටද මෙය රැගෙන ගියෙමු.

ඉන් ප්‍රධානම තැනක් වුයේ මැදපුරණේ මහගෙදර  හෙවත් කුඩා බණ්ඩාර මාමලා ගෙදරයි.

ඒ  චමින්දලා පොඩි බාප්පා  විවාහ වූ අළුත බව මගේ හැඟීමයි.   මාමා ඒ දිනවල කුඩා තේ වතු එකේ වැඩට ගිය අතර දවල් කාලයේ ගෙදර හිටියේ  ඒ නැන්දා  සහ අනෙක් අයයි.

"මචන්ලා දැන් පාඩම් කරා ඇති වරෙල්ලා  බාප්පලා ගෙදර ගිහින් එන්න.."

යැයි චමින්ද කියාත්ම  චමින්දලා ගෙදර පාඩම් කරමින් සිටි අප තිදෙනා  හිටි හැටියේ  කුඩා බණ්ඩාර මාමලා ගෙදර යන්නෙමු.

ඒ  යන ගමනේදී  අප බොහෝවිට ගෙනයන දෙයක් තිබේ. ඒ මගේ " බෙස්ට් සිලෙක්ෂන් " TDK 60  කැසට් පටයයි..

කුඩා බණ්ඩාර  මාමගේ නැන්දා  ද අප සමග එකතු වී මේ ගීත වලට සවන්  දෙන්නීය.
ඒ වනවිට ඉතා තරුණ වියේ සිටි ඈ  කොල්ලෝ තුන්දෙනාගේ  නංගිලා  ගැන කතා ද දැන සිටියාය.


අවසානයේ  ඇය මෙහි අයිතිකාරයා  වූ කවිඳුට මෙසේ පැවසුවාය.. " පුතා සිංදු ටික නම් ශෝක් හැබැයි සමහර සිංදු ටිකක් අමුතුයි නේද? අහන් ඉන්න ටිකක් ...මොකක්ද වගේ  නේද?
"
ඇය එසේ කිව්වේ  මේ " සඟවා ගනු මැන  ඔබේ රුව.." ගීතය සම්බන්ධයෙනි.






















කෙසේ වුවත්  එම ගීතය හැරෙන්නට අනෙක් ගීත බොහොමයකම  මට අවශ්‍ය පණිවිඩය  ගැබ්වී තිබුනා යැයි කිවොත් නිවැරදිය.






ජයංගනී නංගි සතියක් හෝ දෙකක්  මගේ  ගීත එකතුවට  සවන් දෙන්නට ඇත.

සති කිහිපයකට පසු  උදා වූ දිනක .. " මේක  අහලා ගෙනත් දෙන්න "  කියමින් ඇය ඇයගේ  බෙස්ට් කලෙක්ෂන්  එක  මා අත තැබුවාය.

එහි තිබු පලමුවෙනි  ගීතය මගේ සිතට තදින්ම  කා වැදුනේ ඇයි දැයි පැහැදිලි නැත. එය තවමත් මගේ හිසේ කියැවෙනවා මෙන් දැනෙන ගීතයකි.

සුනිල් එදිරිසිංහ ගයන " ශීතල දිය පිරී..සුනිලවිලයි.. " ජයා නංගිගේ කැසට් පටයේ තිබු පළමුවෙනි ගීතයයි.


ඇයගේ කැසට් පටයේ තිබු හැම ගිතයකින්ම මට විශේෂ පණිවිඩයක් දුන් බව නම් හොඳින් මතකේ තිබේ.
ඒ කාලේ මම අකමැතිම ගායකයා  ( එහෙත් දැන්නම් මම ඔහුගේ සමහරක් ගීතවලට බොහෝ ප්‍රියකරමි ) ගේ ගීතයක්ද ඇය තෝරාගෙන තිබිණි.

 හේතුව කුමක්දැයි නොදනිමි, එහෙත්  ජෝතිගේ  සුදේහිනියේ...... නම්  ඒ ගීතයත් තවමත් මා සිත  පතුලේ රැව්  පිළිරැව් දෙන්නකි.



13 comments:

  1. http://sinduwagemiyasiya.blogspot.com/2013/07/blog-post.html?m=1
    මෙන්න කිටී අර ගීතයට පසුවදනක්

    ReplyDelete
  2. මම ඔය කතාව SLBC එකේ කලින් අහලා තියෙනවා .. හැබැයි ලිව්වේ ඩෝල්ටන් අල්විස් කියලයි අහලා තියෙන්නේ.. ඉන්ද්‍රා නම් ඒ ඉන්ද්රම තමයි..

    ReplyDelete
  3. හැබැයි දෙවැනි බෙස්ට් සිලෙක්ෂන් කැසට් එක.. ඒ වගේ සිංදු නැතිව කරා..
    මිල්ටන්ගේ සිංදු එහෙමනම් තිබුනා..

    ReplyDelete
  4. කතාවක් ලියන අතර සිංදු ටිකත් ඉදිරිපත් කරලා තියන එක හොදයි. මේ සින්දු දැන් නිතර අහන්න ලැබෙන්නේ නැහැ. මේ හැම එකක්ම මම කැමතිම.ස්තුතියි නැවත අහන්න සැලසුවාට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පියුමි. මම බයවුණේ සිංදු වැඩි වෙයිද කියලා ඒකයි රැලකින් තනිවී වන මැද සරනා .. සහ එකම මගක පියවර මැන යන්නයි ( පුන්සිරි සොයිසා ගේ ) එහෙම ඇතුල් කරේ නැත්තේ.. ඒ දෙකත් මගේ පලවෙනි බෙස්ට් සිලෙක්ෂන් එකේ තිබුනා නැත්නම්...

      Delete
  5. ඔව් ...ඒ දෙකත් හොඳ වින්දනාත්මක ගීත ... අද කාලෙ ගොඩක් අය ඒ වගේ ඒවා අහන්න කැමති නෑ ..රැප් කරලා කෑගහන ඒවාට තමා අහන්න කැමති.මට නම් එහෙම සින්දු ඇහෙනකොටත් ඔළුව රිදෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි.. අපි තවම අහන්නේ හැත්තෑව- අනුව කාලේ ගීත.. ඒවා හරි රසවත්.. මම ඒ සින්දුවත් දාන්නම්..

      Delete
  6. බොලා මෙව්වා ලියල මගේ යට ගිය කුනු අතීතය අවුසුසනවා වැ වැ ලියාගන්ඩ නිදහස් වෙලාවකු් නැනේ යකො

    ReplyDelete
    Replies
    1. තැන්කු...බොලාට කියන්න මටත් වෙලාව හරිම අඩුවෙන් තිබුනේ... කුඩා බණ්ඩාර මාමගේ අකල් මරණෙන් පස්සේ ඒ ගැන ලියන්න ගත්තු එකෙන් මේ කතාවට එනකන් එන්න වුනා.. මුලින් දඩි බිඩියේ ලියලා දාලා පස්සේ ටික ටික හැදුවා.. එහෙමයි අපි වෙලා නැතිකොට කරන්නේ... ඊයෙත් තවත් සින්දුවක් එකතු කරා.. ඔහේටත් ( අපේ මාතර ගොයියෝ කියන්න වගේ) තියෙන්නේ ඇහැක් විදියට මොනවා හරි කොටලා පටන් ගන්න....

      Delete
    2. අටමෝ...අතීත කුණු නොලියන ඔය දෑත මක්කටෙයි.??? ඔන්න ඔහේ ලියපල්ලා අපටත් බලන්න ..

      Delete
  7. බෙස්ට් සිලෙක්ෂන් එක අහන්න ඕනේ වෙලා තියෙන වෙලාවක. මම කැමැති සින්දු කීපයක්ම තියෙනෙව. අපේ නංගිගේ සිලෙක්ෂන් එක මොකක්ද?

    ReplyDelete
    Replies
    1. අපේ නංගි දුන්න කැසට් එකේ සින්දු ගොඩක් තිබුනා ඒවායින් මගේ හිතේ තදින්ම රැඳුනු ගීත දෙක තමයි .. සුනිල් ගේ ශීතල දිය පිරී සුනිල විලයි සහ ජෝතිගේ ( ඒ කාලේ මම අකමැති ගායකයෙක්.. දැන් හරි ආසයි ) සුදෙහිනියේ .. කියන ගීතය..

      Delete
    2. අපේ නංගි දුන්න කැසට් එකේ සින්දු ගොඩක් තිබුනා ඒවායින් මගේ හිතේ තදින්ම රැඳුනු ගීත දෙක තමයි .. සුනිල් ගේ ශීතල දිය පිරී සුනිල විලයි සහ ජෝතිගේ ( ඒ කාලේ මම අකමැති ගායකයෙක්.. දැන් හරි ආසයි ) සුදෙහිනියේ .. කියන ගීතය..

      Delete