Follow by Email

Friday, 27 November 2015

සල්පිල සහ මල්වට්ටි වෙන්දේසිය

ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානය 




කිරඹඔය ශ්‍රී ආනන්දාරාමය යනු අපේ ගමේ පන්සලයි. මෙය  මල්දෙණිය- කිරඹඔය දෙගම් වාසින්ට  වැඳුම් පිදුම් කීරීමට තිබු එකම  පන්සල විය .

එයට  චමින්දලා සහ අපේ ආතම්මලා ගෙවල් පැත්තේ අයද , මල්දෙණියේ අයද  හීල් දානය සහ දහවල් දානය රැගෙන ආහ.

මල්දෙනියෙන් පැමිණි දායක කාරකාදීන්  අතර අපේ තාත්තලා  පවුලේ අය මෙන්ම ජයංගනී නංගිලා ආතම්මලා ( කන්දේ ගෙදර නැන්දලා) ද වූහ.

මේ කියන කාලය 1975-1976  වසර දෙකින් එකකි . මේ වනවිට මම  අවුරුදු පහක හයක කොල්ලෙකි.

ඒ අනුව සිතා බලන විට ජයංගනී නංගි පසුවූයේ කිරිබොන  ළදරු වයසකයි.

මේ කාලයේදී  ඔවුන් සිටියේ වැලිකන්දේ ඔවුන්ගේ පියාගේ ගමේ බව මගේ විශ්වාසයයි.

එකල පන්සලේ ලොකු හාමුදුරුවෝ  වූ පන්නල බුද්ධ රක්ඛිත හිමි  අපේ පවුලේ ඉතා සමීප හිතවතෙක් විය.

අද මෙන් නොව ඒ කාලේ හාමුදුරුවෝ තාත්තා මුණ ගැහෙන්නට අපේ ගෙදරට පවා වඩින්නට පුරුදු වී සිටියහ.

1976-1977 කාලයේ රටේ පාලනය සමගි පෙරමුණු ආණ්ඩුවට තිබු අතර දායක සභාව කලේ එයට සමීප ගමේ අය වූ අපේ තාත්තලා ඇතුළු පිරිස විසිනි.

අපේ තාත්තා ඒ කාලේ පන්සලේ දායක සභාවේ සභාපතිත්වය දැරු බව මට මතකය.

තාත්තා පමණක් නොව අපේ අම්මාද පන්සලේ කටයුතු වලට ඉහලින්ම දායක වූ කාලයකි ඒ.

තාත්තා දායක සභාවේ සභා පති වූ ඒ කාලයේ අපේ අම්මා   ශ්‍රී විශාකා කුලඟන සමිතියේ ලේකම් ධුරය දැරුවාය.


අපේ අම්මා සහ ශ්‍රී විශාකා කුලඟන සමිතිය 



ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානයේ  හැම ඉරිදාවකම  හවස දෙකට පැවති රැස්වීමකි.  

ශ්‍රී විශාකා කුලඟන සමිතිය ලෙස හැඳින්වූ එයට සහභාගී වූ වේ අපේ ගම් දෙකේ සිටි කාන්තාවන් පමණි .  

සාමාජික ගාස්තුව වුයේ හාල් සේරු භාගයක් සහ ශත පණහකි.

ගමේ බවලතුන් සැහෙන පිරිසක් එහි සාමාජිකාවන් වූ නිසා සැලකිය යුතු මුදලක්  ආධාර වශයෙන් ලැබු බව මාගේ හැඟීමයි.

එසේ එකතුවන සාමාජික මුදල්  ලොකු හාමුදුරුවන් අතට දෙන්නේ අපේ අම්මා  හෝ ආතම්මා විසිනි.
මුල්‍ය ආධාර එසේ හාමුදුරුවන්ට දුන්නද  එකතුවන සහල් කෙලින්ම පන්සලේ තබන්නේ නැත.
සමිතිය අවසානයේ එකතුවන හාල් සේරු විසි තිස් ගණනක සාමාජික ගාස්තුව මුලින්ම ගරු භාණ්ඩාගාරික තුමියගේ නිවසට යයි. 

ඊළඟ සතියේ රැස්වීමට පෙර මේ සහල් මුදල් කිරීම සිදුවේ.

ඒවා බොහෝවිට සමිතියේ නිලධාරී මණ්ඩලයේ ගෙවල් වල හෝ ඔවුන්ගේ හිතවතියන් ගේ ගෙවල් වල පරිභෝජනයට ගැනේ.

ඊළඟ සමිති වාරයට පෙර සහල් වල මුදල් භාණ්ඩාගාරික තුමිය වෙත ලබා දිය යුතුය.

සහල් වලින් ලැබෙන අදායම  සතියේ වාර්තාවට ඇතුලත් කරන්නේ ගරු ලේකම් තුමිය විසිනි 

ගරු ලේකම් තනතුර හෙබවූ අපේ අම්මා ගේ මුළු නම රාජපක්ෂ මුදියන්සේලාගේ විමලාවතී කුමාරිහාමිය. 

ඇය කිරඹ ඔය රාජපක්ෂ පරපුරේ බලවත්ම පවුලක වැඩිමහල් දියණියයි.

ඇගේ මව හෙවත් අපේ ආත්තම්මා  රාජපක්ෂ මුදියන්සේලාගේ සිරිනාවති කුමාරිහාමි මැතිණියයි.  

ඇය තම දෙටු දියණිය ලේකම් වූ කුලඟන සමිතියේ භාණ්ඩාගාරික තනතුර හෙබවූවාය. 

සමිතියේ සභාපතිත්වය දැරුවේ  ජයසේගෙදර ජයසුන්දර මුදියන්සේලාගේ  බාල කුමාරිහාමි  නොහොත් හෙළ ගෙදර ආතම්මාය. 

ඇය මුගටි මුත්තාගේ බිරිඳ වූ අතර ඔවුන්ගේ පුත් මද්දුම බණ්ඩාර රාජපක්ෂ  ගැන මම කලින් සඳහන් කළා මතකය.

1977 චන්දයෙන් පසු අපේ තාත්තාට ඩන් ලොප්  වත්ත හරියේදී මග රැක පහර දුන්නේ ඔහු සහ තවත් යූ. ඇන් . පී. සගයින් පිරිසක්  විසිනි.

මද්දුම බණ්ඩාර මාම අදටත් අරලගංවිල මහා විද්‍යාලයේ ගණිත ගුරුවරයා ලෙස සේවය කරයි.

තාත්තාගේ අභාෂය නිසා අම්මත් අපේ ආතම්මත් හොඳ ශ්‍රී ලංකා කාරියන් වූ අතර  ජේ.ජේ. ඇම්. බාල කුමාරිහාමි මැතිණිය  අමුම අමු  යූ. ඇන් . පී. කාරියක් විය.

ඒ කාලේ අම්මාගේ ලඟම හිතවතා වූ මා  ඈ යන හැම තැනකම රැගෙන අම්මාගේ සිරිතකි. 

ශ්‍රී විශාකා කුලඟන සමිතියද  ඒ අතර  තිබු තවත් එක් ස්ථානයකි.

සතිපතා ඉරිදා හවසට පැවති මේ කාන්තා සමිතියේ යාව ජීව සාමාජිකයෙක් වන්නට කවිඳු ජයසිංහ කුල කුමරුවාට අවස්ථාවක් උදා වන්නේ මේ අනුවයි.

කුලඟන  සමිතියේ වාර්ථාව


ඉරිදා හවස රැස්වීමේ මුලසුන හෙබ වුයේ  පන්සලේ ලොකු හාමුදුරුවෝ  වූ පන්නල බුද්ධ රක්ඛිත හිමියන් විසිනි.

සෑම සමිති වාරයකම  කුලඟනන්  පංච ශීලයෙහි  පිහිටු වීම මුලින්ම උන්වහන්සේ  අතින් සිදුවෙයි.

මේ අතර  "සභාවෙන් අවසරයි . කරුණා කර නිශ්ශ්බ්ධ වන්න "  කියමින් සභාපති තුමිය   තමා  මෙහි කුලඟන පාර්ශවයේ ප්‍රධානියා බව සභාවට හඟවන්නිය.

මුගටි ආතම්මාට මෙසේ සභාව නිශ්ෂබ්ද කරන්නට සිදුවන්නේ දියවල ළඟ ආතම්මා , කන්දේ ගෙදර නැන්දලා වගේ අයගේ කච කචය නවත්වන්නටය.

සිල්ගත් දවසේදී මෙන් දියවල ළඟ අතම්මලා  මෙහිදීද  කරන්නේ ගමේ ගොඩේ සිදු වූ  දේවල් ගැන ඕපාදුප කීමයි.

අනතුරුව තිබෙන්නේ ලේකම්තුමිය විසින්  පසුගිය සමිතියේ වාර්ථාව  කියවීමයි.

අපේ අම්මා විසින්  කරන වාර්ථාව කියවීම  අවසාන වන්නේ   "සභා තොමෝ සතුටින් විසිර ගියහ"

යන වාක්‍ය ඛණ්ඩයෙන්ය.

අම්මා ආඩම්බරයෙන් කියවන මේ වාර්ථාව    ලියන්නේ සෙනසුරාදා රාත්‍රීයෙදිය.

ඒ අපේ සමන්ත හෝ ලොකු අක්කා විසිනි. සමහර විට අපේ රාජු මාමාද මේ වැඩබලන ලේකම් තනතුර දරන්නේය.

වාර්ථාවට පසු ගිය වාරයේ එකතු වූ අරමුදල් ප්‍රමාණය, හාල් සේරු ගණන වැනි කරුණු මෙන්ම  දියවල ළඟ ආතා වැනි "කුලාංගනාවන් " කල යෝජනා ආදියද ඇතුලත් වේ.

සාලයේ පුටුවක හාන්සි වී අම්මා කියවන වාර්ථාව ලියන අපේ කට්ටියට ඇය අවසාන වාක්‍ය කියන්නේ.. "ලොකු පුතා සභා තොමෝ සතුටින් විසිර ගියහ කියලා ලියපන් " යනුවෙනි.

වාර්ථාව අවසාන වන්නේ ගරු ලේකම් සහ සභාපති තුමියන්ගේ අත්සන් තැබුමට ඉඩ තැබූ තිත් ඉරි සහිත කොටසකිනි.

මෙහි ගරු ලේකම් .... යන ස්ථානයේ විමලා රාජපක්ෂ ලෙස අපේ අම්මා අත්සන් කළාය.

ගරු සභාපති .... යන ස්ථානයේ අත්සන් කරන හෙළ ගෙදර ආතම්මා  තම අත්සන යොදන්නේ " සභාපත්‍රී" යනුවෙනි. ඇය එහි කවදාවත් ඇගේ නම ලියන්නේ නැත.

සභාපත්‍රී  ආතම්මා ඒ කාලේ සමිතියේ කථා පවත් වත්දී  නිතර කියන කියමනක් වන්නේ  අපේ සමිතියේ බලාපොරොත්තු ව  " වටමාලේ වැඩ කරගෙන " ඉදිරියට යාමයි යන්නය.

මෙයින් ඇය අදහස් කලේ පන්සලේ බුදුගෙය වටා ඉදිකරමින් තිබු " වට මාලයට" ආධාර එකතු කරගැනීමයි.

වට මාලයට කුලඟන සමිතියෙන් එකතු වුයේ සුළු මුදලක් වුවත් එය හැම සතියකම පවතී නිසා ගමේ අඟනුන්  වටමාලේ වැඩට සෑහෙන දායකත්වයක් සැපයු බව සත්‍යයකි.

පන්සලේ ඉදිරි වැඩ කටයුතු වලට ආධාර හොයාගත් ප්‍රධාන ක්‍රමයක් වුයේ  මාස කිහිපයකට වරක් පැවති සල්පිල සහ මල්වට්ටි වෙන්දෙසියයි.

ශ්‍රී ආනන්දාරාමයේ  සල්පිල සහ මල්වට්ටි වෙන්දේසිය

"ඔබේ රාගී  මන කැළඹේදෝ... පිවිතුරු හදවත පෑරේදෝ..." මොහිදීන් බෙග් ගේ මේ ගීතයත්  සමග  පන්සලේ පැවැත්වෙන  සල්පිල ගැන ආරංචිය  ගම පුරා පැතිරේ. 

"කාරුණික පිණ්වත්නි.. මේ ඔබ අමතන්නේ  ශ්‍රී ආනන්දාරාම දායක සභාවයි "  

කියමින් පණිවිඩය අහල ගම්වලටත්  ළඟ ඇති රජයේ තේ වත්තේ ලැයිම් වලටත් ලබා දීම සිදුවේ.

නිවේදකයා  ජේ. එම් . නාමරත්න හෙවත් අපේ තාත්තා ය.  

 ඒ කාලේ අපේ  තාත්තාට මයික්‍රෆොනයක් අහුවුනොත් ලේසියෙන් අතහරින්නේ නැත.

"මෙයාට යකඩ කටක් අහුවුනොත්  නම් නොකා නොබී හරි  අල්ලා ගෙන ඉඳියි.. " අම්මා කියන්නේ මේ නිවේදක රෝගය ගැනය.

මේ අතර තවත් නැගී එන නිවේදකන් කිහිප පොලක් විය.  මේ අයට නිවේදක තනතුර ලබා ගන්නට පහසු නැත.

එහෙත්  අසල තේ වත්තේ කංකානිකු වූ සැම්සන් අය්යා වැනි අයට කළා තුරකින් මේ අවස්ථාව හිමිවේ. 


ඒ තාත්තා වැඩට ගොස් ඇති විටෙක හෝ  ගමෙන් පිටත  ගිය අවස්ථාවකයි.

එවිට සැම්සන් අය්යා ජනතාව අමතන්නේ 

" බවුද්ධ සාධුනි... මේ ඔබ අමතන්නේ ශ්‍රී ආනන්දාරාම දායක සභාවයි " යනුවෙනි.

කෙසේ ඇමතුවත් හවස හය හත වෙත්දී දෙගම් වාසි කොල්ලෝ කුරුට්ටෝ, දායක දායිකාවෝ මෙන්ම සඳතැන්න , වටගමුව , සිරිමල්වත්ත ගම්වාසීන්ද  පන්සලේ බණ මඩුවට එකතු වෙති . 

ඒ හැම කෙනෙක්ම වාගේ සල්පිලට තැබීමට යමක් රැගෙන ඒමට අමතක නොකරති.
මෙසේ ගෙනෙන සල්පිල් භාණ්ඩ අතර රෙක්සෝනා කැට, සන්ලයිට්  හෝ ලයිෆ් බෝයි සබන් කැට , කෙල්ලන් විසින් ගෙනත් තබන රෝස පාට කොටු කොටු ලේන්සුද වෙති.

මීට අමතරව  පාන් ගෙඩි, බත් පාර්සල්  නොයෙකුත් පලතුරු වර්ග  වැනි ආහාරයට ගත හැකි දේවල්ද වෙයි.

 එ පමණක් නොව අසල පිහිටි තේ වත්තේ ද්‍රවිඩ කම්කරුවෝ සැහෙන පිරිසක්ද  අපේ පන්සල වෙත ඇදී එන්නේ මේ සල්පිලේ කොටස් කාරයන් වන්නටය.

ඔවුන් සල්පිලට බඩු ගෙනත් තබන්නේ කලාතුරකින් වුවද සමහරක් කම්කරුවන් වඩේ  හෝ ඉට්ලි පාර්සල් මෙන්ම තේ කොළ බෑග් ද සල්පිලට ගෙනත් තැබූ බව මට මතකය.

තාත්තා සමග කලින්ම පංසලට යන සමන්තටත් මටත් මේ බඩු හොඳින් දැක ගත හැකි විය.

හතර වට මිනිසුන් , ගැහැනුන් සහ ළමා ළපටින් ගෙන් පිරී ගිය බණ මඩුවේ මැදට වන්නට ලස්සනට සැරසු මල් වට්ටිය සහ සල්පිල් භාණ්ඩ තබා තිබේ..

මුලින්ම ආරම්භ වන්නේ සල්පිල් වෙන්දෙසියයි. 

කිසියම් භාණ්ඩයක් අතට ගන්නා තාත්තා සමහර විට කවියක් හෝ එයට අදාල කතාවක් කියා ( ගෙනත් දුන් බවලතා ගැන හෝ ) 

 "ආ..තියන්න බලන්න ලන්සුවක් කියමින් සල්පිල ආරම්භ කරයි."

"ශත විසි පහයි " පළමු ලංසුව තබන්නේ එක් පත්තකිනි. අනික් පැත්තෙන් " ශත තිහයි " කියවේ.. මේ තරම් කලින් ඈවරයි.. දෑවරයි... කියන්නට තාත්තා සුදානම් නැත.

තව මිල ඉහල නග්ගන ලෙස ඔහු විවිධ කණ්ඩායම් අවුස්සයි. ටිකෙන් ටික ගාන වැඩිවී ගොස් ලංසුව සත අනූ වක් දක්වා පැමිණ තිබේ.

එක් වරම තාත්තා  "ඕරු රුවා අන්ද පක්කම් " කියමින් වතු කම්කරුවන් සිටි පැත්තට අත දික් කළා මතකය. 

අපේ අය්යත් මමත් වට පිට බැලුවේ සිදු වුයේ කුමක්ද යන්න දැන ගැනීමටයි.

ටික වෙලාවකින් තාත්තා

"රුපියල ..ඕරු රුවා.. රුපියල ඔරුරුවා.."

"රුපියලයි ඈවරයි, රුපියලයි දෑවරයි... තව කව්රුත් ඉන්නවද..???   "

"රුපියලයි.. රුපියලයි.. රු.. පි.... ය... ල,,, යි..රුපියලයි තුන් ඈවරයි. "

  කියමින් සල්පිල් භාණ්ඩය දෙමළ අය්යලා සිටි පැත්තට විසි කළේය.

ඒ අනුව අපි තේරුම් ගත්තේ  "ඕරු රුවා අන්ද පක්කම් " කියා තාත්තා කිවේ " මේ පැත්තෙන් රුපියලයි " යන්න බවයි.

අනතුරුව එළඹියේ මල්වට්ටි වෙන්දෙසියයි  සත 25 බැගින් යොමු කරමින් මල්වට්ටිය ගැනීමට මුදලේ අගය වැඩි කල හැකිය .

මෙහිදී බොහෝ විට අසල ගම් වල පොහොසත් අය මල් බදුන ගන්නට පොර කනු දක්නට ලැබේ. 

අපේ ගමේ වෙනුර අය්යා ( වෙනුර මුදලාලි) සහ සඳ තැන්නේ ප්‍රේමසිරි අය්යලා හෝ සඳ තැන්නේ පොඩි අප්පුහාමි මාමලා ( ලොකු අල කොටු කාරයින් ) හැප්පෙනවා දකින්නට ලැබෙන්නේ මෙහිදීය.

"වෙනුර" කියමින් වෙනුර අය්යා මුදල් යොමු කරන අතර සඳ තැන්නේ කට්ටිය " සඳ තැන්න " කියමින් මල් බඳුනට ලන්සු තබති.

මේ අතර ගමේ කොල්ලෝ " පුලිටි පුටේ පුටි පුලිටේ " හෝ "එක කළු කුකුළාට එක කුකුල් කකුලයි " වැනි තාත්තගේ දිව උලුක් වන යෙදුම් කියවා ගනිති,

ඒ මල් බඳුන ගන්නටම නොව  හුදු විනෝදය සඳහා පමණය.

මේ අතර තම පුතා නාවික හමුදාවේ  සෙබෙලෙක් වන  කළු ආතම්මා  "සත විසිපහයි  නාවික හමුදාව " කියා වරින් වර තාත්තා ලවා කියවන්නේ ඒ වෙනුවෙන් මුදල් යොදවමිනි.
මේ අතර " බෝට්ටුවේ ජොලි.. ජොලී.." කියා සත විසිපහක් වැටුනා මතකය.

මිනිසුන් නැවතත් මුහුණින් මුහුණ බැලුවේ සිද්ධිය පැහැදිලි නැති නිසාය.

ටික වෙලාවකින් තවත් සත විසිපහක් වැටුනේ " බේබි නෝනා  ..බෝට්ටුවේ ජොලි.. ජොලී " කියමිනි.
තාත්තාද හිනහ වෙමින්  උපාසක උපාසිකාවන් කියන ඒවා යකඩ කටින් කියවනු දක්නට ලැබිණි.

බෝට්ටු කතාව කුමක්දැයි ආරංචි වුයේ ඉස්කෝලේ ලොකු අය්යලා ගේ කතා වලට සවන් දීමෙන් අනතුරුවයි.

ටික කලකට පෙර කිරඹ ඔය විද්‍යාලයෙන් ගිය  විනෝද චාරිකාවකදී බේබි නෝනා නම් යුවතියක් සහ තවත් තරුණයෙක් මුල් කරගෙන සිදු වූ සිද්ධියක්   මේ කතාවට පාදක වී තිබිණි.





13 comments:

  1. It's very interesting. I wonder how you can still remember all those things in such details. The story about the couple " bottuwe jolly jolly " must be an interesting one. Looking forward to read that. (FROM ONE OF OUR FACE BOOK FRIENDS )

    ReplyDelete
  2. complete reminisce of good past! classic village life story which i was fortunate enough to be part of ,,, excellent piece of writing, good form, building up of the story , I like this ,,,

    ReplyDelete
    Replies
    1. Thanks Chaminda malllie yes, we were lucky enough to be part of these things.. Unfortunately current youngsters do not get this exposure at all. Annual "Sramadhana" in our village is another topic I would like to cover..those were some positives of village life those days..

      Delete
  3. Replies
    1. බොහොම ස්තුතියි... අද අම්මාට කතා කරහම කිව්වා ඊයේ කුලඟන සමිතියේ විශේෂ රැස්වීමක් තිබුනා කියලා... අම්ම ලේකම් තනතුරින් ඉල්ලා අස්වුණා කිව්වා ලඟදි... දැන් සභාපති දියවල ළඟ පුංචි (විමලා පුංචි) කියලා
      කිව්වා...දැන් කුලගන සමිතියේ සාමාජික ගාස්තුවට හාල් ගන්නේ නැතිලු රුපියල් පහ ගනනේ එත් රුපියල් 6000ක් විතර මාසෙට එකතු වෙනවලු..

      Delete
  4. මේ ලියවෙන්නේ සොඳුරු අතීතයම තමයි. මල්වට්ටි වෙන්දේසිය හා කුලඟන සමිතියේ කතා අපේ ගමේ වුනත් ඔය ආකාරයයි. ඒත් මට මේ තරම් සවිස්තරාත්මක මතකයක් නෑ . කවිඳු රසවතෙක් නිසා මේ රසවත් මතකය රැකගෙන. ලියවිල්ලත් වැඩිදියුණු වෙලා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.. බේබි නෝනා ගේ බෝට්ටුවේ කතාව අපේ ඉස්කෝලෙන් ගිය විනෝද චාරිකාවේදී සිදු වෙච්ච හැටි ඉදිරියේදී ගෙන එනවා...

      Delete
  5. Kaalaya mav venasaka arume.... Ada gam vala mewa venne harima kalathurakin. Minissu TV, computer, smart phone vala hira vela.

    ReplyDelete
    Replies
    1. තාක්ෂණික දියුණුව හොඳයි.. හරි විදිහට යොදා ගන්නවානම්.. ෆේස් බූක් එකේ ප්‍රේමය ගැන කියා කියා හිටපු අපේ ගමේ නංගි කෙනෙක් ඒ පාරෙන් මුදවලා නැති බැරි අයට උදවු කරන මාවතේ යවන්න අපට පුළුවන් උනා.. එයා තමයි ගමේ තියෙන "ගැමි ගති " නිසා අපට චායා රුපයක් ගෙන්වා ගන්න බැරි වෙලාවේ ෆේස් බුක් බලන ස්මාර්ට් ෆෝන් එකෙන් .. අපේ වර්තාකාරිය වගේ දුප්පත් පවුල් වල දියුණුව ගැන චායා රූප එවන්නේ... හොඳ අරමුණක් ඇතිව මග පෙන්වුවහොත් මේ වගේ අයගෙන් සෑහෙන සේවයක් ගත හැකියි.

      Delete
  6. Kaalaya mav venasaka arume.... Ada gam vala mewa venne harima kalathurakin. Minissu TV, computer, smart phone vala hira vela.

    ReplyDelete
    Replies
    1. ඔවු .. ඔවු .. දැන් කට්ටිය යන්නේ ස්මාර්ට් ෆෝන් පැත්තට තමයි.. තාක්ෂණික දියුණුව හොඳයි.. හරි විදිහට යොදා ගන්නවානම්.. අපි ෆේස් බූක් එකෙන් කට්ටිය සංවිධානය කරලා ගෙවල් දෙකක් හදන්න උදවු කළා.. සිස්‍යත්ව 3ක් හරි ගස්සලා දුන්නා.

      Delete
  7. දැන් ගම්වල ඔය එකමුතුව තියෙන්නෙ බොහොම කලාතුරකින්.
    උපාසකම්මලනං ඉතිං සෙට් උනොත් කොතන උනත් ඕපදූප තමයි. හැක්..

    බෝට්ටු කතාවත් ලියමු.

    ReplyDelete
    Replies
    1. අපේ ගමේ කට්ටිය නම් පන්සලේ වැඩකට එකතුවෙලා ශ්‍රමදානයක් කරනවා දැක්ක මේ මෑතක පන්සලේ අලුත් ධාතු මන්දිරයක් හදන එකට..

      Delete