Follow by Email

Thursday, 27 April 2017

මිහිරි සිහිනයක දැවටුණු මිහිරි ගීතයක් වාගේ





මේ වතාවේ මම ලංකාවට පැමිණි ගමනේදී මා හැදුනු වැඩුණු බණ්ඩාරවෙල පැත්තට කිහිපවරක්ම යන්නට අවස්තාව ලැබුණා.

සාමාන්‍යයෙන්  අම්මා සහ තාත්තා බලන්නට යන මුල්ම ගමන අප රටට පාතබා දිනක්  හෝ දෙකක්  ඇතුලත සිදු කිරීම මගේ සිරිතක් .

අප ගුවන් තොටුපළෙන් කෙලින්ම නිම්මිලාගේ මහගෙදරට යනනිසා එහි එක රැයක් ගතකර මගේ දෙමව්පියන් බැලීමට යෑමයි අපේ සිරිත.

මේ වතාවෙත් අපේ බණ්ඩාරවෙල යෑම සිදුවුනේ ඒ විදිහටමයි.

වෙනදාට වඩා වෙනසකට තිබුණේ අප වසර ගනණාවකින් වන් දැක නොතිබූ පවුල් හතරකට ගෙවල් හදා ගැනීමට සහය වී තිබීමත් , ඒ නිසාම ඔවුන්ගේ නිවාස බලන්නට යෑමට මට අවශ්‍ය වීමත්ය.

මේ ගමන් ගැන මගෙ සිතේ  තිබුණත් වසර ගනණාවකින් සියරට පැමිණි තම සොහොයුරා තම තම නිවාස වල කෑම වේල් වලට පැමිණෙන තෙක් බලා හිඳිනා අපේ සොහොයුරියන්  මට මග හැරිය නොහැකිය.







විශේෂයෙන් අපේ පුත්‍රයා සුපුන්  බණ්ඩාරවෙල ගමනෙදී ආවරණය කරන්නට යොදාගෙන තිබූ  රාවණා, දුන්හිඳ , දියලුම දියඇලි, හොර්ටන් තැන්න ආදී ගමන් බිමන් රාශියකි.

සුපුන්ගේ උපන්දිනය වෙනුවෙන් සූදානම් කර තිබූ  දාන මාන කටයුතු ද යොදාගෙන තිබුනේ මේ ගමන්වාරයටමය

රාජකාරී රාශියකි. හැමෝම සතුටුවන ලෙස ඒවා පෙළගැස්විය යුතුය.

සියල්ල ඉතා පරිස්සමින් කල යුතු විය. පොඩ්ඩ එහෙ මෙහෙ වුවහොත් සාමය කඩවිය හැකිය.

අප ලංකාවට පැමිණ සිටින්නේ නිවාඩු ගතකරන්නටය.

මගේ සිතැඟි ආශාවන්ට පමණක් මුල්තැන දිය නොහැකිය.

මේ කතාවට පාදක වන්නේ එසේ අපේ ගමට ගිය පළමු වතාවේ විනෝදචාරිකා, නෑදෑ හිතවතුන්ගේ ආරාධනා  ආදී නොයෙකුත් රාජකාරි මැද මගේ හිතට සතුටක් දෙන අනෙකුත් දේවල් වෙත මා යොමු වූ හැටියි.



රංජිත් අපේ ගෙදර ඇවිත්




මේ කියන දවසේ මහ ගෙදර පැමිණි අපි අම්මා තාත්තා ඇතුලු පවුලේ අයත් සමග විස්තර කතා කරමිනුයි සිටියේ.

මගේ ජංගම දුරකතනය නොනවත්වා නාද වෙනවා.

මේ අතරේ කිසියම් නෙත් දෙකක් කලබළයෙන් මෙන්  මගෙ දුරකතනය දෙස තම අවධානය යොමුකරනවා.

"හලෝ දොස්තර මහත්තයා කොහොමද? "

එහා පැත්තෙන් කතා කරන්නේ කිරිඔරුවේ රංජිත් රාජපක්ෂ , අපි උදව් කල හතරවෙනි නිවසේ අයිතිකාරයා.

"ගමේ ආවා කියලා නම් ආරංචි වුණා. ඒත් ඉතිං   අපට  තාම හරියට බලාගන්න බැරිවුණානේ .

දොස්තර මහත්තයාට මෙහෙ එන්න වෙලා නැතිව ඇති . අපි එන්නද ඔය පැත්තේ ඇවිත් යන්න? "

රංජිත් මට පිළිතුරක් ගලපාගන්න ඉඩ නොදීම කියාගෙන යනවා.

"ආ රංජිත් කොහොමද ? කොහෙන්ද නොම්මරේ හොයාගත්තේ?

අපි ඉතිං මෙහාට ආවා විතරයිනේ ? හිමිහිට හම්බවෙමු "

"නොම්මරේ නම් දුන්නේ ඇලෙක්සැන්ඩර් . ඒත් ඉතිං ඔච්චර උදව්වක් කරපු එකේ අපිට ආසයි පොඩ්ඩක් දැකලා කතා කරලා යන්න.

මම ළමයිනුත් එක්ක ඉක්මනට ඔහාට ඇවිල්ලා යන්න එන්නම් "

රංජිත් ගෙන් ගැලවීමක් නැති පාටය.

"හරි හරි පොඩ්ඩක් ඉන්නවා .

මම අනුන්ගේ ගෙදරකනේ ඉන්නේ අම්මාගෙන් අහලා බලලා කියන්නම් උදේ පාන්දර අමුත්තෝ ආවට කමක් නැද්ද කියලා. "

මම ගමන අනුමත කිරීමෙන් පසු විනාඩි කිහිපයක් ඇතුලත රංජිත් සහ ඔහුගේ දරු දෙදෙනා අප නිවසට ලඟා විය.

නිම්මී කඩිමුඩියේ රටින් ගෙනා චොක්ලට් ආදිය කුඩා දරුවන් දෙදෙනාට බෙදා දුන්නාය.

මා අසලට වන් රංජිත් තොරතෝංචියක් නැතිව කියවයි.

වහලය ගසා ගන්නට නොහැකිව තමා අවුරුදු දහයක් පමණ ලතවූ හැටි , හදිසියේ ඇලෙක්සැන්ඩර් විසින් අප ඔහුගේ නිවසේ වැඩ වලට යොමු කල හැටි ආදී නිම්මී අසා නොතිබූ කතා රාශියක් ඒ අතර විය.

"ඒක නෙවෙයි දොස්තර මහත්තයා. ඇලෙක්සැන්ඩර් ලා ගේ ගෙදර බලන්න ගියේ නැත්ද තවම?

ඒකත් හරි ලස්සනට තියෙනවා.  රංජිත් මා තවත් අමාරුවක දමන්නට සූදානම්ය. "

මගේ අපහසුව තේරුම් ගත් තාත්තා ..

"නෑ තවම ගියේ නෑ අද දවල් වෙලා ඔය ගෙවල් ටික ඔක්කෝම බලන්න යන්න තමයි ඉන්නේ "

යැයි පිළිතුරු දුන්නේය.

ටික වෙලාවක් අපේ ගෙදර ගැවසුණු රංජිත් සහ ඔහුගේ ළමයින් අපගෙන් සමුගත්තේ ඒ පැත්තේ එන ලෙස මට ආරාධනාවක්ද කරමිණි.

ඔවුන් පිටත් වී ටික වෙලාවකින් උදෑසන ආහාරය ගත් අප දිනයේ වැඩ කටයුතු ගැන සාකච්චා කලෙමු.

සුපුන් දියඇලි බලන්නට යා යුතු යැයි කියයි.

නිම්මිද ඒ අදහසට හූමිටි තැබුවේ.

"මෙහෙම ගියොත් මිනිස්සු එක්ක කතා කර කරම කාලේ ගතවෙයි ඔය කොහේවත් යාගන්න බැරිවෙයි"
 කියමිනි.

කට්ටිය එසේ කීවද අම්මලා පුතාලාට  ගමනක් යාමට සූදානම් වීමට අඩුම තරමින් පැයක් දෙකක් වත් ගතවේ

මේ අතර තාත්තා කදිම යෝජනාවක් ගෙනාවේය.

"චුටි පුතා වෙලාවල් බල බලා හිටියොත්  ඔය කොහේවත් යන්න බැරි වෙනවා.

දුවයි , සුපුන් පුතයි ලෑස්ති වෙනකම් අපි ටක් ගාලා අර ගෙවල් ටික බලලා එමුද?

එක ගෙදරකට විනාඩි පහයි.

තේ බි බී එහෙම ඉන්න ඕනෙ නෑ .

ගියා

ගෙදර වැඩ හොඳට කරලාද බැලුවා.

වචනයක් දෙකක් කතා කලා .

ආපහු ආවා. "

අපේ කඩිමුඩියට ගැලපෙන පන්නයේ ඒ යෝජනාව මගේ සිත්ගත්තේ  සියලු ගමන් බිමන් කරන අතරේ අපේ හිතවත් නිවාස හිමියන් මුණගැහෙන්නට වෙනත් හොඳ ක්‍රමයක් සිතට නොනැගුණු බැවිණි

මිහිරි සිහිනයක දැවටුණු මිහිරි ගීතයක් වාගේ






දණි පණි ගා ඩෙනිමක් සහ ටීසර්ට් එකක් දමා ගත් මම ගමනට සූදානම් වීමි.  

සරමක් කමිසයක් ඇඳගෙන  පොඩි කාලේ වගේ ගම මැදින් පයින් ගොස් කිරිඔරුවේ මහ පේළිය කුඹුරු යාය හරහා රංජිත් ලා ගෙදර පැත්තට යන්නට මගේ හිත කීවද  මා වටා ඇති "පවුරු වළලු" බිඳින්නට මට සිත් නොදේ. 

"චුටි පුතා ඔයාට පිස්සුද? හොඳ ඇඳුමක් දාගෙන යන්න. රටකින් රටකට ඇවිල්ලා ඔහොමද ගමනක් යන්නේ  ?"

අම්මා විමසනු නොඅනුමාණය. 

"මල කෝළං මෙන්න මෙයා පොඩි එකා වෙන්න හදනවා"

තව කෙනෙක් කියනු ඇත. 

මම කළබල , කතාබහ අඩුම ක්‍රමය තෝරාගත්තෙමි.  

කාරය පණගන්වා ගත් මම තාත්තාත් සමග කිරිඔරුව පැත්තට එය ධාවනය කලෙමි.

වාහනය පාරට ගනිත්ම තාත්තා මට ගමන් මාර්ගය සහ එක් එක් නිවසේ ගට කරණ කාලය ගැන හැඳින්වීමක් කලේය.

ඊට අනුකූලව අපට මුලින්ම යාමට තිබුණේ  ඇලෙක්ස් සහ කළු යුවලගේ නිවසටයි .

වෙනත්  විදිහකින්  කියනවානම් නිම්මී , මා  සහ සුපුන් ලංකාවට එනතුරු වැඩිපුරම උනන්දුවෙන් බලා සිටි නිවස වෙතයි .

මම මාරබැද්ද- මල්වත්ත පාරෙන් කළුලා නිවසට දිවෙන අඩිපාර අසල වාහනය නැවත්තුවෙමි.

"මතකයිනේ චුටි පුතා තේ බිබී එහෙම ඉන්න බෑ ඔන්න  .

ගෙදර බැලුවා.

චුට්ටක් කතා කලා .

ඕනෑම නම් ෆොටෝ එකක් දෙකක් ගත්තා .

ආපහු ආවා. "

තාත්තා මට කල්තියාම කාලය පිළිබඳව අනතුරු ඇඟෙව්වේය.

ඒ මම යමෙක් සමග කතාවට වැටුණ පසු කාලය පිළිබඳ එතරම් තැකීමක් නොකරන බව ඔහු හොඳින් දන්නා බැවිණි.

චමින්දලා කුඹුර මැදින්  ගොස් කළුලා නව නිවසට ගොඩ වුයෙමු. අප දැකීමෙන් කළු සහඇයගේ දරු තිදෙනා බෙහෙවින් සතුටු වූ බව පෙනෙන්නට තිබිණි .




ඇලෙක්ස් සහ කළුගේ නිවසේ චායාරූපයක් 




වසර විස්සකටත් වැඩි කාලයක්  හැබහින් දැක නොතිබූ නමුත්  ඔවුන්ගේ හිසට වහලක්  සපයා දීමට වෙහෙස වූ කෙනෙක් නිවසේ එළිපැත්තටම  පැමිණ තිබීම ඊට හෙතුවන්නට ඇත.

"සීයා වාඩි වෙන්න  , වාඩි වෙන්න චූටි මාමා , තේ එකක් හදන්නම් බොන්න? "

"ඒක නෙවෙයි  කෝ නෝනයි සුපුන් බබයි එහෙම?  ඇයි එයාලා ආවේ නැත්තේ ?"

කළු ආගන්තුක සත්කාරයට සැරසෙයි

( අප කළුලාට කිසිම ආකරයකින් නෑදෑයින් නොවුනද  කළුලා කුඩා කල නිතරම සිටියේ අපේ අසල්වැසි ජේන් අක්කා ගේ ගෙදරයි. ජේන් අක්කා කලුලා ගේ ආච්චී නිසා ඔවුන් පුරුද්දකට වාගේ අපේ අම්මාට "ආච්චි" කියන්න්ත් අපට "නැන්දා , මාමා " වැනි "නෑදෑකම්"  කියන්නත් පටන්ගත්හ) 

"තේ බි බී ඉන්න බෑ . අපිට යන්න තියෙනවා .

රංජිත්ලා ගෙදරටයි එයාලා අක්කලා ගෙදරටයි  ඒ ගෙවල් දෙකටත් යන්න තියෙනවානේ "

තාත්තා සුපුරුදු "ගමන් හදිස්සිය"  ඉදිරියට දැම්මේ මටද අනතුරු හැඟවීමක් ලෙසිණි.

තාත්තා සහ කළු ආගිය තොරතුරු කතා කරනා අතරේ  මම අප සෑදූ මුල්ම නිවසේ විස්තර බලමින් මිදුලට බැස්සෙමි.

අනතුරුව චමින්දලා අප්පච්චී විසින් කළුලට වෙන්කර දී තිබූ ඉඩම් කොටස සහ එහි සිට මහපාර දක්වා දිවෙන අඩිපාර අධ්‍යනය කලෙමි.

අධික බෑවුමක් සහිත අඩිපාර අලුතින් වල් ගස් කපා දමා පිළිවෙලක් කර තිබුණත් අල්ලපු වත්තේ වැටට හිටවා ඇති ගසක අත්තක් දෙකක් මගේ ගමනට අකුල් හෙලූ අවස්ථාද තිබූ බව මතකය.



මේ අඩිපාර කෙලින්ම පහළට ගොස් වැටෙන්නේ චමින්දලා කුඹුරත් තවලම්පොළ සුගත් අය්යලා කුඹුරත් වෙන් කරන ඇල වේල්ල ලඟටය.



ඒ ඇල කණ්ඩිය දිගේ ගොස්  රංජිත්ලා ගේ කුඹුරට ලඟා විය හැකිය.

ඒ කාලේ  (නමසිය අසූගණන් වල ) මමත් අපේ අය්යාත් රංජිත්ලා කුඹුරේ පැල් රකින්න ගියේ මේ කියන ඇල වේල්ල  දිගේ ඉහළට ගමන් කිරීමෙනි.

ඒ කැහපට ගස ගසා ගත් ඉරි ඉරි සරමත් රෑ සීතලට ඔරොත්තු දෙන ලෙස අම්මා සකස් කර දුන්  කහපාට බේල් " ජර්සියත් " යන  ඇඳුම් ආයිත්තම් වලින් සැරසීගෙනයි.

පැල් රකින්න යන ඒ ගමනේදී මගෙ එක අතක ටෝච් එකත් අනික් අතේ අපේ මුරකාර සහායක ටොමියා ගැටගැසූ දම්වැලත් තිබුණා මතකය.

මා සිත ඉතා වේගයෙන්  සිහිනයක් බඳු ඒ සුන්දර කාලයට ඇදී ගියේය.

ටොමියාත් රැගෙන   යන ගමනේදී පයේලා තිබූ සීපා සෙරෙප්පු දෙකෙන් චිරි චිරි ගේ මඩ පාගමින් ,  සෙරෙප්පු පටි දෙකේ මඩ ගැල්වී වැඩි වූ විටෙක ලිස්සා වැටෙමින්,  ගිය මුර සංචාරය නැවතත් යන්නට මගේ සිත මට බල කරන්නට විය

කැහැපට ගැසූ සරම් සහ සීපා සෙරෙප්පු නොව ඔස්ට්‍රේලියානු රෙදි සාප්පු වලින් ගත් ඩෙනිම් සහ නවීන පන්නයේ සපත්තු පැලඳ සිටින බව මට මොහොතකට අමතක විය.

එමෙන්ම හැකි ඉක්මණින් නිවස බලා යෑමට බලා සිටින තාත්තා කළුලා ගෙදරට වී සිටිනා බවද ඒ අයුරින්ම අමතක විය.

මම ඇල කණ්ඩිය දිගේ ඉහළට ගමන් කලෙමි.

ඇල කණ්ඩියේ වැවී තිබූ ලා තණපත් මත රැඳි මුතුවන් පිණිකැට මගේ පාවහන් පමණක් නොව කලිසමේ පහළම කොටස්ද හිමින් හිමින් තෙතබරිත කළේ ය.

මම රංජිත්ලා කුඹුර අසලට ළඟා වුණෙමි.

මේ කුඹුරු වල ගොයම් කන්නය අහවර  වී එලවළු  වගා කර තිබුණු කාලයක්.

රංජිතුත් තමන්ගේ කුඹුරේ බෝංචි හදලා තිබුණා.


















අපි ඒ කාලේ අල හදලා තිබ්බ මහලියද්ද පුරාම නිලට නිලේ දිලිසෙන බෝංචි යායක්.

මම බෝංචි කොටුව අයිනෙන් තව ටිකක් උඩහට ගමන් කරා.

 රංජිත්ගේ පැල..............






අය්යත් මමත් ඒ කාලේ  පැල හදපු තැනම  (ගොඩ ලියද්දේ කෙලවරට වෙන්නට  ) හදලා තියෙනවා.

මට ටොමියා පැල් කණුවක බැඳ තබා  , පැලේ බිම ගිනි මැලයක් හෙම  ගසා (අල මුරකරන මුවාවෙන්)  හිතේ හැටියට නිදාගත් හැටි මතක් වෙනවා.




අතේ තිබ්බ ජංගම දුරකතනයෙන් රංජිත්ගේ පැලෙත් , බෝංචි කොටුවෙත් චායාරූප ගැණුනේ ඉබේටමයි.


රංජිත්ගෙ බෝංචි කොටුව


රංජිත් කුඹුරේ හිටියේ නෑ . ඒත් අල්ලපු කුඹුරු වල එලවළු වලට පස් දාමින් කට්ටියක් ඉන්නවා. මම ඉබේටම ඒ පැත්තට ඇදුනා.

රත්පහේ බණ්ඩාරේ, හෙලතැන්නේ පොඩ්ඩේ අය්යා , රාළහාමී අය්යා ඇතුළු අපේ ජලේ ඉඳන් ම ගමේ එලවලු හදන කාණ්ඩයක් .


 ඒ අයත් එක්ක කතාවට වැටුණා.

මේ අතරේ මගේ දුරකතනය නොනැවතී නාද වෙනවා. එක පාරක් තාත්තා , අනික් පාර කළු .. මම ඒවාට උත්තර නොදී අතීතයත් වර්තමානයත් යා කෙරෙන ඒ මොහොත රස විඳිනවා.

කොහොමෙන් කොහොම හරි පැය භාගයක්-පැයක් විතර කාලයක් කිරිඔරුවේ කුඹුරු යාය මැද ගතවෙද්දී තාත්තා කළු හදා දුන් තේ එක එහෙම බීලා නොඉවසිල්ලෙන් මට ඇමතුම් දෙනවා.


"චුටි පුතා මේ තේ එකත් නිවෙනවා . ඔයා කොහෙද ඉන්නේ? "

හරි හරි මේ එනවා. පරණ යාළුවො කට්ටියක් හම්බ වුණානේ "

මම  කලුලා ගෙවල් පැත්තට යන අතරේ එයාලගේ ලොකුපුතා මාව හොයාගෙන පල්ලැහැට බහිනවා.




කළු ගේ කුඩා එලවලු පාත්තිය



"දැන් අනික් ගෙවල් වල යන්න වෙලාවක් නෑ .

අරෙහේ අම්මලා පුතාලා බලාගෙන ඇති .

අපි කෙලින්ම ගෙදර යමු තාත්තා .

පස්සේ වෙලාවක රංජිත්ලා ගෙවල් පැත්තේ එන්න බැරියැ.  "

"චුටිමාමා... මේ තේ එක?"

කළුගේ තේ කෝප්පයත් සප්පායම් වූ මම තාත්තා සමග වාහනය පැත්තට ගමන් කලා.






බ්ලොග් වසන්තය ඡන්ද පොලට ගොස් ඔබ කැමති බ්ලොග් ලිපි තුනකට ඡන්දය දෙන්න. මෙතැන ඔබන්න.



මා බ්ලොග් වසන්තය ට ලියූ අනෙක් ලිපි

1. අවුරුදු සූදානම (අවුරුද්දට කෙසෙල් ඉදවූ හැටි)


2. අපේ කුණුවල 







16 comments:

  1. ඉතා අගෙයි දොස්තර මහතමයා...

    ජ ය වේ වා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විදානේ.. ඉස්සර අපි පැලේ ගියාම අල්ලපු කුඹුරු වල පැල් රකින්න ඇවිත් එන්න කොල්ලෝ සෙට් එකම අපේ පැලට එනවා තේ එකක් බීලා කයිවාරුවක් ගහන්න එහෙම. එහෙම එන්න පුරුදු වෙලා හිටිය කෙනෙක් මේ පොස්ට් එක දැකලා කතා කලා ලඟදි .. එයාලා අපි බලන්න එනකොට අපි චෙස් අදිනවාලු "අය්යයි මල්ලියි ඉස්සර චෙස් අදිනවා පැලට වෙලා මට මතකයි අපි එනකොට " මේ ඒ අපේ හිතවතා ගේ වචන.

      Delete
  2. //මේ ගමන් ගැන මගෙ සිතේ තිබුණත් වසර ගනණාවකින් සියරට පැමිණි තම සොහොයුරා තම තම නිවාස වල කෑම වේල් වලට පැමිණෙන තෙක් බලා හිඳිනා අපේ සොහොයුරියන් මට මග හැරිය නොහැකිය.// නොගියහම තරහ වෙනවනේ. මම දැන් දෙතුන් පාරක් ඇවිත් නොකියම ගිය නිසා සමහරු ටිකක් තරහත් වෙලා. ගෙවල් හදල දුන්න එකනම් ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. මේ කෑම වේල් ආරාධනා වලට නොගියොත් කට්ටිය තරහා වෙනවා. අපි වෙලාව තියෙන හැටියට යනවා බැරිම වුනොත් ගෙදරට ගෙන්නා ගන්නවා ( අපේ ගමේම ඉන්න අයගේ කෑම සංග්‍රහ)

      Delete
  3. //ටොමියාත් රැගෙන යන ගමනේදී පයේලා තිබූ සීපා සෙරෙප්පු දෙකෙන් චිරි චිරි ගේ මඩ පාගමින් , සෙරෙප්පු පටි දෙකේ මඩ ගැල්වී වැඩි වූ විටෙක ලිස්සා වැටෙමින්, ගිය මුර සංචාරය නැවතත් යන්නට මගේ සිත මට බල කරන්නට විය// ඔබේ පරණ කතන්දර කියෝල තියෙන නිසා ඔයවගේ අවස්තාවක ඔහොම හිතෙන එක පුදුමයක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම පුදුම සතුටක් දැනුනේ මේ ගමන ඔය ඇල කණ්ඩිය දිගේ යද්දී.

      Delete
  4. පරණ මතක හිතේ තියාගෙන අළුත්වෙලා එන එක හරි වෙනස්ම අත්දැකීමක් වෙන්න ඇති.ඇවිදපු තැන් ගැනත් ඔය ගමන් ලියන්න .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ගිය ගමන් වලත් හොඳ කතා තියෙනවා කියන්න

      Delete
  5. මා සංචාරයට සිහින දකින තැන්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අනිවාර්යයෙන් යන්න වටිනා තැන්

      Delete
  6. හරිම අපූරුයි එක හුස්මට කියවාගෙන යනවිට සිතින් මම ත් ඔබ හා ගමන් කලෙමි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. මේ පැත්තේ ආවේ මුල්ම වතාවට මං හිතන්නේ? ඉතිරි කතා කියවන්න. ඔය බ්ලොග් වසන්තයට ලියපු එකක් චන්දයක් දෙන්නත් පුළුවන් උඩ ලින්ක් එකෙන් ගිහින්

      Delete