Follow by Email

Friday, 20 July 2018

ඔයා සෙල්ලම් කරන්නේ ඒ ළමයාගේ ජීවිතෙත් එක්කයි ඒක අමතක කරන්න එපා ( අවවාද සහ අනුශාසනා දෙවෙනි කොටස)


පසුගිය වතාවේ තාත්තා සමඟ මගේ කාමරය අමුත්තෙක් පැමිණුනා ඔබට මතක ඇති. ( ඒ කතාව මෙතැනින් ) 

ඒ ආවේ කවුද ඔහු කීවේ මොනවාද යන්න දැනගැනීමට කවුරුත් කැමැත්තෙන් පසුවන බව දනිමි. ඒ නිසාම වැඩ රාජකාරි අධික වුණත් මේ කතාවේ ඉතිරි ටික කියන්න ඕනි කියලා හිතුණා .

එදා මා ඇඳේ වැතිරී සිටිද්දී මා දෙස්ට පැමිණි තාත්තා  "චූටිපුතා.. මෙන්න දියකඩිත්ත ලඟ ගෙදර බාප්පා ඇවිල්ලා ඔයා හම්බවෙන්න.." කියලා කිව්වා. මම "එයා මේ වෙලාවේ මොකද මාව හම්බවෙන්න එන්නේ? " කියලා හිතුණත් ඒ බවක් තාත්තාට නොපෙන්වා අමුත්තා  සමඟ කතා කරන්නට මා  කැමති බව  හැඟවූවා.

කොහොමද අද ඉස්කෝලේ ගියාද?  කියමින් බාප්පා මා සමඟ කතාව  ආරම්භ කලා . තරමක ආඩම්බරකාරී , රාජකාරී ස්වරුපයෙන් කතාබහකරන්නෙකු වූ ඔහු ( ඒ දවස් වල අසල ගමක ග්‍රාම සේවක ලෙසයි ඔහු සේවය කලේ) මට පුතා කියා ඇමතුවේ නැහැ.

අමුත්තා කතාව පටන්ගනිත්ම අප දෙදෙනා කාමරයේ තනිකල තාත්තා නැවත සාලය පැත්තට ගියා.

මම හිටියේ ඔලුවට යටින් අතක් තියාගෙන සැතපෙන පිළිමයක් තියෙනවා වගේ ඇඳේ හාන්සිවෙලා  සාලයට දිවෙන දොර දෙස බලාගෙන .

දිය කඩිත්තේ සෝමසුන්දර බාප්පා මගේ පාඩම් මේසය ලඟ තිබුණ පුටුව ඇදලා අරන් මගේ ඇඳ අසලින් වාඩි වුණා.

අනතුරුව ඔහු "මට ඔයත් එක්ක වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා" කියමින් මාතෘකාවට පිවිසුණා.

"මොකක් ගැනද බාප්පා ? " කියා මා අසන්නටත් පෙරම  "ඔයාගෙයි අර පල්ලැහැ විමලා ටීචර් ගේ දුවයි අතර තියෙන සම්බන්ධය ගැන තමයි කතා කරන්න ඕනේ" කියලා ඔහුගේ මුවින් පිටවුණා.

"ඔයා දන්නවා මේ වැඩේට ඔයාලා අම්මලා තාත්තලා කොහොමත් කැමති නෑ කියලා .

අනික  ඔයලා වගේ ඉගෙනීමට දක්ෂ ළමයි ගැන උනන්දුවෙන් බලා ඉන්න අපි වුණත් එහෙම දෙයක් වෙනවාට කැමති නෑ.
අද හවසත්  පුංචියි මායි  කතා වුණේත් ඔයාලා අය්යයි ඔයයි ගැන ... මේ ගමේ  එකම ගෙදරකින් දොස්තරලා දෙන්නක් බිහිවෙන පළමුවෙනි අවස්ථාව මේ  කියලා .."

සෝමසුන්දර බාප්පා "පුංචී කියා" කියන්නේ මාත් , පල්ලැහැ විමලා අක්කාත් (ජයංගනීගේ අම්මා ) සමඟ සඳතැන්න විදුහලේ එක ම ගුරුමණ්ඩලයේ සේවය කරන අපේ ගමේ ඉන්න තුන්වන විමලාවතී ගැනයි. දියකඩිත්ත ලඟ ගෙදර විමලා පුංචිත්  (සෝමසුන්දරගේ බිරිඳ) ඒ කාලේ සඳතැන්න විද්‍යාලයේ උපගුරුවරියක්.

"මෙහෙම කවුරුත් කැමති නැති වැඩක් දිගටම කරන්න ඕනේ කියලා ඔයාට හිතුණේ ඇයි?

ඔයා මේ ගැන ඒ ළමයා එක්ක කතා කරාද?

එයා මොකද කියන්නේ?

ඔයලා දෙන්නා අනාගතේට මුහුණ දෙන්නේ කොහොම කියලද කතාවුණේ?"

බාප්පා දිගින් දිටගටම මහා බරපතළ ප්‍රශ්න වැලක් මා වෙත යොමුකලා.

යකෝ මුන් හැමෝටම පිස්සු,  
ඕ ලෙවල් වත් නොකරපු අවුරුදු පහලොවක කෙල්ලෙකුයි , කැම්පස් යන්න බලන් ඉන්න අතරේ වුණත් දහඅතේ මහින්සි වෙවී ගෙදරටයි , පවුළේ හැමෝටමයි උදව්කිරීම ගැනම හිතහිතා ඉන්න අවුරුදු විස්සක කොල්ලෙකුයි මොනවද කතා කරන්නේ , පැනලා යන්නද ? 
අනේ මුන් වගේ මී හරක් රැළක්? 

අපේ වැඩිහිහිටියන්ට සිදු වී ඇත්තේ කුමක්ද

මගේ යටි හිත මට පවසනවා .  

මෙයාලා හිතන් ඉන්නේ ජයංගනී මාව සම්පූර්ණයෙන් රවට්ටලා  දැලේ දාගෙන කියලද? 

මොකක්ද මෙයාලට තියෙන මේ හුඹස් භය?  

මට තේරෙන්නේ නෑ මේ කට්ටියට ඕනේ මොනවගේ උත්තරයක්ද කියලා ?

මම කිසිවක් නොකියා දිය කඩිත්ත ලඟ බාප්පාට තම අදහස් ප්‍රකාශ කරන්නට ඉඩ හරිමින් ඔහේ බලා ගෙන හිටියා.

තාත්තා ගේ අනුදැණුම ඇතිව මට අවවාද දෙන්නට ආ දෙවැනියා ( එදා අම්මා එක්ක ජයංගනී ලා ගෙදර ගිය ආතම්මා ගේ දෙටු පුත්‍ර රත්නය) දැන් දැන් මගේ කටින් වචනයක් පිටවෙතැයි බලන් ඉන්නවා..

ඉබ්බා ගෙන් පිහාටුවක් ගන්නවා වැනි වැඩකටත් වඩා අසීරු වැඩකට අතගසා සිටි දිය කඩිත්ත ලඟ ගෙදර බාප්පා පැයක දෙකක දේශනාවකින් පසුව වත් තම අරමුණු සඵල නොවන බව තේරුම් ගත්තා.

"මම මීට වඩා යමක් ඔයත් එක්ක කතා කරන්නේ නෑ මේ ගැන . ඔයාලට හොඳයි නම් කරගෙන යන්න ඉස්සරහට  හැබැයි අමතක කරන්න එපා ඔයා මේ කරන වැඩෙන් වෙන්නේ ඒ ළමයාගේ අනාගතය අඳුරු වෙන එක විතරයි. "

"ඔයා සෙල්ලම් කරන්නේ ඒ ළමයාගේ ජීවිතෙත් එක්කයි. ඒක අමතක කරන්න එපා"

 යනුවෙන් පවසා ඔහු මගෙන් සමුගත්තා..

ඊලඟ කොටසින් ....ඇත්තද මේ කියන්නේ?

2 comments:

  1. Replies
    1. බලමු "ඇත්තද කියන්නේ" අසමින් අනුශාසනා කලේ කවුද කියලා

      Delete