Follow by Email

Saturday, 14 July 2018

අවවාද සහ අනුශාසනා



මා ගමේ සිටියදී යාළු වූ පළමු සහ එකම ගැහැණු ළමයා ගැන ඔබට කිව්වේ මීට වසර දෙක-තුනකට පෙර. ඒ සම්බන්ධ කතා මෙතැනින් බලන්න.

නැවත ඒ කතාවේ ඉතිරි කොටස් වලට පිවිසුමක් ලෙස තමයි මට වැල්ලවායට යන්න උවමනාව තිබෙද්දී බුත්තල දක්වා කැස්බෑවා ගසන්නට වූ කතාව පටන් ගත්තේ. මේ ලියවෙන්නෙත් එදා යොවුන් ප්‍රේමවන්තයින්ට මුහුණදෙන්න වූ තවත් අත්දැකීමක්

වෙන්ඩ නැන්දම්මාගේ අවවාදය


ජයංගනීගේ අම්මා ( අක්කා නැන්දා ) අපේ අම්මාට කල යෝජනාවත් සමඟ අපේ ගෙදර මහ කළබලයක් ඇති වුණා.
මමවත්  ජයංගනීවත් හීනෙකින් වත් නොහිතූ "එකලාසයක් වෙන" කතාවක් අපේ අම්මාගේ ඔළුවට වැටීම නිසා ඉන්ප්සු දිනවල මෙසේ සිදුවෙන්නට ඇති කියලා තමයි මට හිතෙන්නේ.
එදත් මම සුපුරුදු පරිදි සඳතැන්නේ ඉස්කෝලේ වැඩට යන්නට යන ගමන් . වෙනදාවගේම මඟක් හරියේදී පල්ලැහැ විමලා අක්කා ( ජයංගනීගේ අම්මා ) මා යන ගමනාත්තය දක්වා යන්නට එකතුවුණා.
මේ කාලේ එයාගේ හැසිරීම , කතා බහ බලලා ඔවුන්ගේ නිවසේ ජයංගනීට සහ මට බලපාන තත්ත්වයේ සිදුවීම් සිදුවෙනවා දැයි සොයා බැලීමේ පුරුද්දක් මට තිබුණා.
"ගුඩ් මෝනිං"  වෙනදා වගේම ඇයට  සුභ උදෑසනක් පතමින් මම  විමලා අක්කා  සමඟ ඉස්කොලේ පැත්තට යන්නට එකතුවුණා
මගේ සුභපැතුමට ප්‍රතිචාර දක්වන්නට මෙන් මා වෙත හැරුණු  විමලා අක්කා " ගුඩ් මෝනිං " කියනු වෙනුවට  තරමක් කේන්ති සහගතව මා දෙස බැලූ බවක් මට පෙනුණා.
"ඒකත් එකටම මොකක් හරි බාල්දියක් පෙල්ලිලා වෙන්න ඕනි" මම ඉදිරියට අහන්නට ලැබෙන්නේ කුමක්දැයි යන්න ගැන විමසිලිමත් වුණා.
"මහ ලොකු ගමේ වැදගත්ම කට්ටිය , කටේ සද්දේ තිබුණට තනියෙන් එන්න බය ඇති . ඒකනේ අර කට හැකර අම්මන්ඩිත් එක්ක ආවේ. "

"ඇයි ඇයි මොකෝ මේ තරහෙන් වාගේ ? මොකක් ගැනද මේ කියන්නේ?"

මම මගේ දෙසට එකවරම කඩා පනින්නාවාගේ සැර වාග් මාලාවක් එල්ල කල විමලා අක්කා ගෙන් ඇහුවා.

ඇත්තටම ඇය කියන්නට හදන්නේ කුමක් ගැනදැයි මම දැනගෙන හිටියේ නෑ

"ඒ අම්මණ්ඩිත් ඒකටම හරියන එක්කෙනා . මහලොකු උපාසකම්මා, හතර පෝයට ම සිල් ගන්නවා, ඒ වුණාට අහිංසක මිනිස්සුන්ට ගිනිගෙඩි දෙන්න නම් ඕන වෙලාවක එකතුවෙනවා."

"මොකක්ද මේ හතර බීරි කතාව ? මටනම් මොකවත් තේරෙන්නේ නෑ. ඔයා හරියට කිව්වේ නැතනම් මම දන්නේ කොහොමද කව්ද , මොකක්ද කියලා?"
"ඇයි අම්මා කිව්වේ නැද්ද එයා කරපු වීරක්‍රියාව ගැන ?

එයා ඊයේ හවස අපේ ගෙදර ආවනේ අර දියකඩිත්ත ලඟ ගෙදර මහ අම්මණ්ඩිත් එක්ක, අපේ පොඩි දුවට අවවාද කරන්න.
එයාගේ නල්ලමලේ පුතාට පාඩුවේ ඉගෙන ගන්න දෙන්නලු. පොඩ්ඩිට වෙන අතක් බලාගන්නලු.
විමලා නැන්ද විතරක් ආවනම් මට ඉවසුවහැකි, අර වයසක අම්මණ්ඩිත් එක්කං ආවන ? දැන් ගම ගිනිතියය . අපි කෙල්ලෝ බලෙන් ඔයාගේ ඇඟේ ගහනවා කියලා."

විමලා අක්කා සාධාරණ කේන්තියකින් යුතුව මට පවසයි. කතාවේ හැටියට පෙරදා සවස් යාමයේ අපේ අම්මා ජයංගනීලාගේ ගෙදර ගොස් තිබේ . ඒ මා හා ඇති සම්බන්ධය නවතා දමන ලෙස ඇයට අවවාද කරන්නටය. විමලා අක්කා කළබල වී ඇත්තේ අම්මා තනියෙන් ඔවුන්ගේ නිවසට පැමිණෙනවා වෙනුවට පන්සලේ සිල් කණ්ඩායමේ , කුළඟන සමිතියේ ආදී තැන්වල ඕපාදූප වපුරවන කෙනෙක් වූ දියකඩිත්ත ලඟ ගෙදර ආතාත් ඇදගෙනම එහි පැමිණීම ගැනයි.

අපේ අම්මලාත් කරන වැඩ . ඇත්තටම අරුන්දෑ එහේ ගෙනිච්චේ මොකටද . මමත් කල්පනා කරන්නට වුණේ අපේ අම්මා කල " වීර ක්‍රියාව" ගැන.

කොහොමින් කොහොම හරි පෙරදා සිදු වූ අවාවාදාත්මක සිද්ධියත් අසාගෙන  විමලා අක්කත් ශේප් කරගෙන මම ඉස්කෝලට සේන්දු වුණා.

ඊලඟ රසවත් සිද්ධිය සිදු වුණේ එදාම රාත්‍රීයේ හෝ ඊට පසුදා රාත්‍රියේදී.

අනුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කිරීම

මේ කියන දවසේ රෑත් මම පුරුදු පරිදිම මගේ කාමරයට වෙලා ඇත්තටම කියනවා නම් ජයංගනී සහ මාගේ අනාගතය  ගැන සිතමින් කල්පනා ලෝකයේ සැරිසරමිනුයි හිටියේ. 
කොට්ට දෙකක් උඩ හාන්සිවෙලා තව රෝසපාට උරයක් දැමූ කොට්ටයක් බදාගෙන මා ඇඳේ වැතිරී සිටි විලාශය දුටු ඕනෑම කෙනෙක් ( විශේෂයෙන් අපේ නිම්මි නංගී වගේ කෙනෙක් නම්  ) අනිවාර්යයෙන් මා සිතමින් ඉන්නට ඇත්තේ එවැන්නක් බව උපකල්පනය කරනවා.

කල්පනා ලෝකයේ ඈතට ඈතට මා සිතින් ගමන් කරද්දී මගේ දැහැන බිඳුනේ  "චූටි පුතා......"
 යන ඇමතුමත් සමඟ පැමිණි අපේ තාත්තා ගේ සැර පරුෂ, රළු පරළු කටහඬ්ත් සමඟයි.

කොට්ටය පැත්තකට විසිකල මම තිගැස්සී නැගිට්ටේ
 "ඇයි තාත්තා?" කියමින් කාමරයේ දොරදෙසට හැරෙන ගමන්.
අඩවල් කර තිබූ දොර සහ දොර රෙද්ද මෑත් කරමින් තාත්තා මා දෙසට එනවා. එන්නෙත් තනියම නෙවෙයි තවත් අමුත්තෙක් එක්ක.

එදා තාත්තා සමඟ මගේ කාමරයට ආවේ කවුද?         කියවමු ඊලඟ කොටසෙන් 

6 comments:

  1. ටිකයිනෙ. ඊගාව කොටසත් දාමු.

    ReplyDelete
    Replies
    1. ඊලඟ කොටස ලඟ එනවා . මේ දවස් වල පොඩ්ඩක් වැඩ වැඩියි . නැත්නම් ගොඩක් දේවල ලිඅයන්න තියෙනවා

      Delete
  2. ඔකනේ ඉතින් බාගෙට නවත්තල නේ

    ReplyDelete
    Replies
    1. කුතූහලය වැඩි කරවන උපක්‍රමයක් නේ

      Delete
  3. ඉතිිංිං ඉතිං

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මද්දා.. ඉතිරි හරිය ලියමින් ඉන්නේ ඉක්මණින් දෙන්නම්

      Delete