Follow by Email

Wednesday, 11 July 2018

බුත්තලට ගිය කැස්බෑ ගමන


කාලෙකට ඉස්සර වෙලා ලියලා භාගෙට නවත්තපු අපේ ඉස්කෝලෙ කාලේ ආදර කථාවේ කණගාටුදායක හරියෙන් ආපහු පටන්ගන්න හිතුවා.   


මා ඉබ්බා ගැසීම හෝ කැස්බෑවා ගැසීම කර ඇත්තේ ඉතාම අඩුවෙන්. ඒ නැතිවම බැරි මොහොතක් උදාවූ විටකදීය. ඒ කාලේ එහෙම නැතිවම බැරි අවස්ථා කිහිපයක්ම උදාවී තිබූ නිසා කිහිප වතාවක් එසේ ගමන් කරන්නට ඇතැයි අනුමාන කලාට වරදක් නැත. අද කියන්නට යන්නේ කිසිවක්ම කර කියාගත නොහැකි වූ අවස්ථාවක එසේ සිදු වූ කැස්බෑ ගමනක් ගැනයි.

මේ වෙනකොට මම විශ්ව විද්‍යාල ප්‍රවේශය සමත් වෙලා හිටියේ. ඒත් නිකම් ගෙදරට වෙලා ඉන්න චාන්ස් එකක් ලැබුණේ නෑ මොකද මම එතකොට වැල්ලවාය ප්‍රදේශයේ ඉස්කෝලෙක ගුරුවරයෙක් ලෙස සේවය කරනවා.

සතියේ දවස් වල වෙහෙරයායේ සුද්දි අක්කලා ගෙදර බෝඩිමේ ඉඳලා ගෙදර එන්නේ සිකුරාදා හවසට. මේ ගමනේදී එවකටමගේ ජීවිතයේ වැදගත්ම කොටස්කාරිය වූ ජයංගනී හමුවීම හෝ ඇය හා සම්බන්ධ මොනයම් හෝ සිදුවීමක් සිදු නොවුනානම් ඒක ලෝක පුදුමයක්.


ගෙවී යමින් තිබුණේ අපි දෙන්නාට හරි වැදගත් කමක් තිබුණු කාලයක්. ඒ ජයංගනීගේ උපන්දිනය යෙදිලා තිබ්බ දවස්වලට කිට්ටු කාලයක්. රෝසපාට පුංචි කොටු කොටු ලේන්සුවකුත් එක්ක ජයංගනීට දෙන්න කියලා ගෙනැත් තිබ්බ උපන්දින කාර්ඩ් එක මගේ පොත් මේසේ තැනක හංගලා තිබ්බා මතකයි. අපේසම්බන්ධයට ගෙදරින් කචල් පිට කචල් වැටුණ කාලයක් නිසා හැමදේම හංගලා තමයි තිබ්බේ ඉතිං.

මම සෙනසුරාදා උදේ එයා පංති යද්දී එයාගේ අතට මේ දෙක දෙන්න කියලා තමයි හිතන් හිටියේ. මගේ පණිවිඩ කාරිය වුණේ උඩහ ලැයිමේ හිටපු සැම්සන්ගේ නංගී කූජනා. එයත් ජයංගනී ක්ලාස් ගිය සුදර්ශීයට තමයි යන්නේ ඒ දවස්වල.

අතුරුදන් වූ සුභපැතුම

උදේ පාන්දරම නැගිටලා කිරි තේ එකක් එහෙම බීලා දවසේ වැඩ අරඹන්න කියලා හිතුවා විතරයි. හිමින් හිමින් පොත් ගොඩ ඇවිස්සුවේ බර්ත්ඩේ කාඩ් එක හොයා ගන්න.
මල කෙළියයි කාඩ් එක තිබ්බ තැන නෑ.
දෙය්යනේ කාඩ් එක අම්මා ගත්තා වත්ද?

ඒකේ ලියලා තිබ්බ ඒවා එහෙම (නිල්පාට පෑනෙන්මුතු කැට අකුරින්) එයා කියවව්වා නම් මං ඉවරයි.

දැන් උදේ පාන්දරම මගේ ඔළුව යකාගේ කම්මල වගේ. කොයිදේටත් ඉස්සෙල්ලාම අල්ලාගන්න අපේ නිම්මි ( අපේ පොඩි නංගී) පිටවරද පටවන මුවාවෙන් මම කෑ ගැහුවා.

"නිම්මී නිම්මි මෙහෙ එනවා තමුසේ මගේ මේසේ ඇද්ද නේද?"

"ඔයාට පිස්සුද චූටි අය්යා? මම ඔය කාමරේ පැත්තටවත් ආවේ නෑ.  මෙන්න වැඩක්. මෙයාගේ මේස අදින්නේ මට වෙන වැඩ නැතිවටද? එන්න එපා ඕවට. මොකක් හරි හොර වැඩක් කරලා ඒක අහුවෙලාද කොහෙද එනවා මෙතන මාව අල්ලගන්න ඒවට. "

නිම්මි දිවැස් අත්තියකසේ සිදුවන්නට ඇති දෙය පිළිබඳ ඉඟියක්ද මට ලබා දෙමින් පැවසුවා.

මගේ ගෝරනාඩුව ඇහුණ තාත්තා ඒ පැත්තට ආවේ ඔන්න ඔය වෙලාවේ.

"චූටිපුතා මොකද මේ කෑ ගහන්නේ?
අහක යන උඩිච්චියෝ ලොකු වෙලා මදිවට තව ගෙදර ඉන්න කෙල්ලටත් සද්ද කරනවද?
ඔන්න බලපන් මම උඹේ ප්‍රියම්බිකාවට කරන දේ"

එසේ කියමින් මගේ පර්ස් එකේ තිබුණ ජයංගනීගේ තැපැල් හැඳුනුම් පතට ගත් චායාරූපය අතට ගත් තාත්තා එය කීතු කීතුවලට ඉරා දැම්මේ කිසිම අනුකම්පාවකින් තොර අයෙක්වගෙයි.

මගේ ඇස් ඉදිරිපිට මම ආශාම කරන රූපයක් ඉරා දමද්දී වුවත් හිස පහත් කරගෙන මොකුත් නොවුන ආකාරයෙන් ඉන්නට තරම් ආත්මශක්තියක්මට ලැබුණේ කෙසේදැයි අදහාගන්නත් අමාරුයි.

මගේ නොසැලෙන ඉරියව්ව දුටු තාත්තා තවතවත් කේන්ති ගත්තා.
"උඹ කාටද උපන්දින කාඩ් දෙන්න හැදුවේ. කියන දේ අහන්න බැරිදරුවන්ගෙන් මට වැඩක් නෑ. මගේ දෑහට නොපෙනී පලයන් යන්න. "
එකින් එක මගේ ටසෝ කලිසම්, සුදු කමිස, වැල්ලවායේ බෝඩිමේ ඉද්දි අඳින ඉරි ඉරි සරම් ආදි රෙදි පෙරෙදි සියල්ල මිදුලට ගෙනැත් දමමින් තාත්තා කෑ ගහනවා.
"උඹට ඒ ගැනිම නම් ඕන, මෙහේ ඒවා කරන්න බෑ, උඹට ඕනා දිහාකට ගිහින් ඒවා කර ගනින්"
එසේකියමින්අන්තිමටම එයා මම ගමන් යන්න අරන් යන නිල්පාට ඩෙනිම් රෙද්දෙන් මහපු මල්ලත් ගෙනැත් ඩොග් ගාලා මිදුලට අත් හැරියා.

මුහුණේ කිසිදු ඉරියව්වක් වෙනස් නොකල මම ඔහේ බලාගෙන ඉන්නවා. තාත්තට තවත් කේන්තියි.

මේ අතරේ හිතයටින් මට හිනා.

යකෝ මට යන්න බෝඩිමක් තියෙනවා. අනික මාසේ පඩියක් ලැබෙන රස්සාවකුත් තියෙනවා. මොන මගුලක්ද   අද සෙනසුරාදානම් තමයි වැඩිම වුනොත් සුද්දි අක්කා අහයි "මොකෝ මේ බණ්ඩාරවෙල මල්ලි ගිය පයින්ම ඇවිත් ? "කියලා.

මම හෙමින් හෙමින්  මිදුලේ තැන තැන විසිරිලා තිබුණ රෙදි ටික අර ඩෙනිම් බෑග් එක ඇතුලට ඔබා ගත්තා. ඔන්න දැන් ඒක බෙර ගෙඩියක් වගේ වෙන්න පිරිලා.

මල්ල දොර ලඟින් තියලා  ගෙට ගිහින් කලිසමකුයි ටී සර්ට් එකකුයි දා ගත්තා ..ලොක්කා වගේ පර්ස් එක පස්ස පැත්තේ සාක්කුවට ඔබන ගමන්  අම්මාලඟටගියා  ගිහින්  මම යනවා යන්න කියලා පාරට බැස්සා.

නිම්මී, චූටි නංගී අක්කා වගේම අම්මත් හොල්මන් වෙලා වගේ බලා ඉන්නවා. කිසි කෙනෙක් මීක් ගෑවේ නෑ තාත්තට බයේද කොහෙද මම ඔක්කොම එහෙම ඉද්දි පාරට බැස්සා.

බයක්, සැකක් දුකක් ඒ කිසිම හැඟීමක් මගේ ඔලුවට ආවේ නෑ. යන්නේ කොහේද කියලා හරියට හිතුවෙත් නෑ.

මල්වත්තට ගිහින් බස් එකකට ගොඩවෙනවා යන්තම් මතකයි. දැන්මම නගරයට ඇවිත්. ඔන්න තියෙනවා බුත්තල හරහා කතරගම කියලා ගහපු මාර්ග අංක 29 කියන බස් එක මම ඔන්න ඕකට ගොඩවුණා. තවම උදේ පාන්දර මේකේ ගිහින් බෝඩිමට ගියොත් සුද්දි අක්කා සැකහිතන්න පුළුවන් මොනවා වුණත් මගේ අතේ තිබ්බෙත් ඉතාම සුළු මුදලක් මාසේ පඩියෙන් භාගයක් ගෙදරට හාල් මිටියක් ගෙනැත් දාන්නයි ඉතිරි භාගේ සීට්ටුවකටයි යට කරලා තිබ්බ නිසා අතේ තිබුණේ හරියටම බෝඩිම පැත්තට යන්න අවශ්‍යමුදල විතරයි

"මට වැල්ලවාය ටිකට් එකක් දෙන්න.. "

මම මගේ සැලැස්ම ක්‍රියාතමක කරන්න තීරණය කලා. ඒ කිව්වේ වැල්ලවායට ටිකට් අරන් බුත්තලට හරි කතරගමට හරි කැස්බෑවා ගහන්න. ඊට පස්සේ ටිකක් රෑවෙනකන් ඒ ටවුන් එකේ කරක් ගහලා සුද්දි අක්කාට සැක නොහිතෙන විදිහට රෑ වෙන්න කිට්ටුව බෝඩිමට එන්න.



4 comments:

  1. හිහ හිහ.. පෝස්ට් එකේ අන්තිමටම තමයි ඉබි කැස්බෑ සීන් එක මීටර් උනේ.. අපි එහෙම කියල නැද්ද කොහෙද

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ක.මි. , කමී අරුණාලෝකය බලන්නේ නැද්ද .. ගොඩක් බ්ලොග් ලියන්නොයි, කමෙන්ට් කරන්නොයි දැන් එහෙනේ ඉන්නේ . ඒකෙ තමයි මේ ලඟදි ඔය ඉබ්බා ගැහීම හා කැස්බෑවා ගැහීම (කැම්පස් භාෂාවේ තියෙන යෙදුම් දෙකක්) ගැන කියලා තිබ්බේ. ඉබ්බා= බස් එකේ ටිකට් ගන්නේ නැතිව යනවා,කැස්බෑවා= පොඩි දුරකට ටිකට් අරන් වැඩි දුරකින් පිහිටි ගමනාන්තයකට යනවා.. මම මේ මාතෘකාවට මුවාවෙලා කාලෙකින් නොලිව්ව ආදර කතාවටයි ආපහු ගියේ..

      Delete
  2. බැක්ටුු අතීතය
    මරු

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මද්දා.. ඉතිරි හරිය ඉක්මණින් දෙන්නම්

      Delete